“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කුශලකර්මය හෝ අකුශලකර්මය හෝ මේ දෙකින් කවරෙක් විශෙෂයෙන් ම බලතර වී දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, කුශලකර්මය විශෙෂයෙන් ම බලතර වන්නේ ය. අකුශලකර්මය එසේ අධිකතර නැතැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කුශලකර්මය විශෙෂයෙන් ම බලතර වන්නේ ය. අකුශලකර්මය එසේ අධිකතර නැතැ’ යි කියා වදාළ ඒ වචනය මම නො පිළිගන්නෙමි. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකයෙහි ප්‍රාණඝාතය කරණුවෝ ද දනා අයත් වස්තු සොරකමින් හෝ බලාත්කාරයෙන් ග්‍රහණය කරණුවෝ ද, සස්වාමික ස්ත්‍රීපුරුෂයන් සම්බන්ධිත වූ කාමයෙහි මිථ්‍යා ව හැසිරෙණුවෝ ද, මුසාවාද කියනුවෝ ද, ගාමඝාතකයෝ ද, මාර්ගයෙහි යන එන්නන් නසා වස්තු පැහැර ගන්නෝ ද, සැඟවී හිඳ වස්තු පැහැර ගන්නා වූ නෙකතිකයෝ ද, නොයෙක් වඤ්චනප්‍රයොග ඇත්තාහු ද යනාදි සත්වයෝ දක්නා ලැබෙති. ඒ සියලු ජනයෝ එපමණ වූ පාපක්‍රියාවෙන් හස්තච්ඡෙදය පාදච්ඡෙදය කර්ණච්ඡෙදය නාසාච්ඡෙදය කර්ණනාසාච්ඡෙදය බීලංගතාලික වධය සංඛමුණ්ඩි වධය රාජමුඛ වධය ජොතිමාලික වධය හත්ථපජ්ජොතික වධය ඒරකවත්තික වධය වීරක වාසික වධය එණෙය්‍යක වධය බලිසමංසික වධය කහාපණක වධය ඛාරාපතච්ඡික වධය පළිඝපරිවත්තික වධය පලාලපීඨක වධය හුණු කළ තෙලින් ඇඟ වත් කිරීම ය, සුනඛයන් ලවා ඇඟ කවාලීම ය, දිවස්හුල නැඟීම ය, කඩුවෙන් හිස කැපීම ය යනාදීන් (369) නොයෙක් වධබන්ධන ලබන්නාහු ය. සමහර කෙනෙක් රාත්‍රියෙහි මිත්‍යාචාරාදි පාපක්‍රියාවන් කොට දවල්හි ම වධබන්ධනාදි විපාක අනුභව කරන්නා. කිසි කෙනෙක් දවල්හි පාපක්‍රියාවන් කොට එදවස් ම වධබන්ධනාදිය අනුභව කරන්නාහ. සමහරකෙනෙක් දවල්හි ප්‍රාණඝාතාදි පව් කොට එදවස් ම රාත්‍රියෙහි කර්කශ විපාක අනුභව කරන්නාහ. කිසිකෙනෙක් පවිටුකර්ම කොට දෙතුන් දවසක් ඉකුත් වූ කල විපාක අනුභව කරන්නාහ. ඒ සියලු දෙන ම ඉහාත්මභාවයෙහි දී ම විපාක දෙන්නා වූ දෘෂ්ටධර්මයෙහි ම විපාක අනුභව කරන්නාහු ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, එක්නමකට හෝ දෙනමකට හෝ තුන්නමකට හෝ සතරනමකට හෝ පස්නමකට හෝ දසනමකට හෝ සියක්නමකට හෝ දහසක්නමකට හෝ ලක්ෂයක් දෙනා වහන්සේට හෝ පිරිකර සහිත වූ මහදන් දී දෘෂ්ටධාර්මික වූ භොගයක් හෝ යශසක් හෝ සැපතක් හෝ අනුභව කළා වූ යම්කිසි ශ්‍රද්ධාවත් වූ උපාසකකෙනෙක් ඇද්ද? ශීලයෙන් හෝ උපොසථකර්මයෙන් හෝ මේ ලොව ම සැප ලැබූ කෙනෙක් ඇද් ද?” යි විචාළෝ ය.
“හැයි, මහරජානෙනි, දන් දී සිල් සමාදන් ව ගෙණ පොහොය පෙහෙවි උපොසථකර්මය කොට දෘෂ්ටධර්මවෙදනීය කුශලකර්මයෙන් එම ශරීර දෙහයෙන් ම දිව්‍යලොකයෙහි අනන්ත වූ යසසම්පත්තියට පැමිණියා වූ පුරුෂයෝ සතරදෙනෙක් ඇතැ” යි වදාළසේක. “ස්වාමීනි, ඔහු කවුරු කවරු දැ?” යි විචාළෝ ය.
“මහරජානෙනි, මහාමන්ධාතුරජ්ජුරුවෝ ය, නිමිරජ්ජුරුවෝ ය, සාධීනරජ්ජුරුවෝ ය, ගන්ධර්වයෙහි දක්ෂ වූ ගුත්තිලපණ්ඩිතයේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ කාරණය නොයෙක් සියදහස්ගණන් ජාතියෙන් අතර වූ දෙයක. මේ නුඹ වහන්සේ වදාළ කාරණය අපදෙපක්ෂයට ම පරොක්ඛ ය යි කියන ලද අනුමාන වූ නො දුටු කාරණයෙක. ඉදින්, ස්වාමීනි, නුඹ වහන්සේ සමර්ථසේක් වී නම්, මේ වර්තමානකාලයෙහි අප බුදුන් ධරමාන කාලයෙහි කථාවක් වදාළ මැනැවැ” යි කීහ.
“මහරජානෙනි, මේ වර්තමානභවයෙහි ද පූර්ණක නම් දාසතෙම සැරියුත්මහතෙරුන් වහන්සේට දන් දී එදවස්හි ම සිටුතනතුරට පැමිණියේ ය. ඒ පූර්ණකයා දැන් මෙසමයෙහි පූර්ණකසිටානෝ ය’ යි කියා මුළුලොව ප්‍රසිද්ධ වී ය. ගොපාල මාතෘදෙවී නම් දුක්පත් සිටුදුවනියෝ තමාගේ හිසකේ කපා විකුණා ලත් අටකහවණුවකින් දන් සපයා මහාකෘත්‍යායනස්ථවිරයන් වහන්සේ අටවැනි කොට ඇති සඟ අටනමකට පිණ්ඩපාතදානය දී එදවස්හි ම උදේනි නම් නරනිඳුන්හට අග්‍රමෙහෙසිකා තනතුරට පැමිණියාහ. සුප්පියා නම් උපාසිකාතොමෝ අන්‍යතර වූ උපසපන් ගිළන්නමකට තමාගේ කලවේ මාංසයෙන් මාංසරසයක් කොට දන් දී දෙවෙනි දවස්හි පිරී ප්‍රකෘති වූ වණච්ඡවි ඇති ව අරෝගී වූහ. මල්ලිකා දෙවී ලොවුතුරා බුදුන්ට රැයක් ඉකුත් වීමෙන් ආභිදොසික වූ කොමුපිඬු දන් දී එදවස්හි ම කොසොල්මහරජහට අග්‍රමෙහෙසිකා වූහ. සුමන නම් මාලාකාරතෙම සමන්මල් අටමිටකින් ලොවුතුරා බුදුන්ට පූජා කොට එදවස්හි ම මහත් වූ සම්පත්තියට පැමිණියේ ය. එකසාටකබ්‍රාහ්මණ තෙම තමාගේ උතුරුසළුවෙන් බුදුන් පුදා එදවස්හි ම ගම්වර අටක් බැගින් (370) සියල්ලෙන් ම සබ්බටඨක නම් මහාරාජසම්මානයක් ලැබුයේ ය. මහරජානෙනි, මේ කී සියලුදෙන ම ඉහාත්මභාවයෙහි ම ලැබිය යුතු දෘෂ්ටධාර්මික වූ භොගය ද යශස් ද අනුභව කළාහු ය” යි වදාළසේක.
“අනේ! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මහාසමුද්‍රයට වැද මුතු සයක් සොයා ගත් කෙනෙකුන් මෙන් නුඹ වහන්සේ මෙතෙක් ජිනෙන්ද්‍ර ශාසනයට වැද සොයසොයා ගොස් සදෙනෙකුන් ම දැක වදාළසේකැ” යි කීහ. “එසේ ය, මහරජ” යි වදාළසේක. “එහෙයින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අකුශලකර්මය විශෙෂයෙන් ම බලතර වන්නේ ය. කුශලකර්මය එසේ අධිකතර නැත්තේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම වනාහි එකදවසෙක්හි ම පාපකර්මයාගේ විපාකයෙන් දිවස්හුල නගන්නා වූ පුරුෂයන් දශදෙනෙකුනුදු දක්නෙමි. විස්සකුදු තිහකුදු සතළිසකුදු පණස් දෙනෙකුනුදු පුරුෂයන් දක්නෙමි. පාපකර්මයාගේ විපාකයෙන් හුල හිඳුවන්නා වූ පුරුෂයන් සියයකුදු පුරුෂයන් දහසකුදු දක්නෙමි. තවද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ දඹදිවට අධිපති ව රජ කළ නන්දගුත්ත නම් බ්‍රාහ්මණවංශයෙහි භද්‍රසාල නම් සෙනාපති පුත්‍රයෙක් වි ය. එතෙම ශාක්‍යවංභාභිජාත වූ චන්ද්‍රගුප්ත නම් රජහට විරුද්ධ ව අනන්තසෙනාවාහන ගෙණ ඒ චන්ද්‍රගුප්ත නම් රජු හා යුද්ධ කරණු පිණිස සන්නද්ධ ව අවුත් පැමිණි කල්හි මහත් වූ සංග්‍රාමයෙක් පැමිණියේ වී ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ දෙදෙනාගේ යුද්ධයෙහි උභයපක්ෂයෙන් ම බලසෙනායෙහි අසූවක් ඉමණ කවන්ධ රූපීහු වූහ. ඇතුන් දසදහසක් හා අසුන් ලක්ෂයක් හා රථ පණස්දහස් එක්සියයක් හා පාබලසේනාවගෙන් සියක්කෝටියක් සත්වඝාතන වූ යුද්ධභූමියෙහි ශීර්ෂරාශියට ශීර්ෂකලන්ද ය යි කියා පරසමයවාදීන්ගේ මතයෙක. ඒ එකම ශීර්ෂකලන්දයක් පරිපූර්ණ වූ කල්හි කවන්ධරූපය’ යි කියන ලද හිස් නැති එක් මෘතශරීරයක් නැඟිට යුද්ධභූමියෙහි නටන්නේ ය. මෙබඳු කවන්ධරූප අසූවෙක් වරින් වර ඒ යුද්ධභූමියෙහි නැංගේ ය. මෙ කී සියලු දෙන ම පවිටුකර්මයාගේ විපාකයෙන් මහත් වූ අනයව්‍යසනයට පැමිණියාහු ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ කාරණයෙනුදු අකුශලය ම විශෙෂයෙන් ම බලතර වන්නේ ය’ යි කියන්නෙමි. කුශලය එසේ අධිකතර නැත්තේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ගෞතමබුදුන්ගේ ශාසනයෙහි කොසොල්මහරජානන් වහන්සේ විසින් අසදෘශදානයක් දෙන ලද්දේ ය යි කියා අසන ලද්දේ ඇද් දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, අසන ලද්දේ ය” යි වදාළසේක. “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ කොසොල්මහරජානන් වහන්සේ ඒ අසදෘශදානය දී ඒ හෙතුයෙන් මදක් වත් දෘෂ්ටධාර්මික වූ භොගයක් හෝ යශසක් හෝ සැපතක් හෝ ලැබූසේක් දැ?” යි විචාළෝ ය. “නැත, මහරජ” යි වදාළසේක. “ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කොසොල්මහරජානන් වහන්සේ මෙබඳු වූ නිරුත්තර වූ මහා දානයක් දී පියාත් ඒ දන් දුන් හෙතුයෙන් දෘෂ්ටධාර්මික වූ භොගයක් හෝ යශසක් හෝ සැපතක් හෝ නො ලැබූසේක් වී නම්, එහෙයින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අකුශලය ම විශෙෂයෙන් ම බලතර වන්නේ ය. කුශලය එසේ අධිකතර නැතැ” යි කීහ.
(371) “මහරජානෙනි, අකුශලය ඉතා ස්වල්ප බැවින් වහා ම පිරිනැමෙන්නේ ය. කුශලය ඉතා මහත් බැවින් දීර්ඝකාලයකින් පිරිනැමෙන්නේ ය. මහරජානෙනි, මේ කාරණය උපමායෙනුදු පරීක්ෂා කටයුත්තේ ය. මහරජානෙනි, යම් සේ අපරන්තජනපදයෙහි වපුරන්නා වූ කුමුදභාණ්ඩිකා නම් ධාන්‍යජාතියක් මසින් සිඳින හෙයින් මසලු නම් විය, ඒ ධාන්‍යජාතිය ගොවියන්ගේ ඇතුළු ගෙට එක්මසින් යන ලද වන්නේ ය. හැල්ජාතිය පස්මාසයකින් ගොවියන්ගේ ගෙට පැමිණෙන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, කුමුදුභණ්ඩිකා නම් ශස්‍යජාතියගේ ද හැල් ජාතියගේ ද යන මේ දෙභාගයෙහි භෙද වූ විශෙෂය කවරේ දැ?” යි විචාළ සේක. “ස්වාමීන් වහන්ස, කුමුදුභණ්ඩික ධාන්‍යජාතියගේ ස්වල්ප බැවින් හා හැල්ජාතීන්ගේ ඉතාමහත් බැවින. භවත් නාගසෙනයන් වහන්ස, හැල්ජාතිය නම් රාජාර්හ වන්නේ ය. රාජභොජනය වන්නේ ය. කුමුදභණ්ඩිකා ධාන්‍යය නම් දාසකර්මකාරයන්ට භොජනය වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අකුශලය ස්වල්ප බැවින් වහා පිරිනැමෙන්නේ ය. කුශලය ඉතා මහත් බැවින් දීර්ඝකාලයකින් පරිනැමෙන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, එහි යමක් වහා පිරිනැමේ නම්, ඒ දෙය ලොකයෙහි විශෙෂයෙන් ම බලතර නම් වන්නේ ය. ඒ කාරණයෙන් අකුශලය විශෙෂයෙන් ම බලතර වන්නේ ය. කුශලය එසේ අධිකතර නැත්තේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සේ යම්කිසි යොධයෙක් මහත් වූ මහායුද්ධභූමියකට ගොස් බලවත් සතුරන් අල්වා ගෙණ හිස් කිසිල්ලෙන් දැඩි කොට ගෙණ ඇද ගෙණ වහා ම තමාගේ ස්වාමීන්ට සමීප කොට නමන්නේ වී නම්, ඒ යොධතෙම ලොකයෙහි සමර්ථ නම් වන්නේ ය. ශූර නම් වන්නේ ය. යම් වෛද්‍යාචාරියෙක් තෙම අනුන් වෙර ඇනි උලක් වහා උගුළුවා සුවපත් කෙරේ ද, ව්‍යාධි පහ කොට සුවපත් කෙරේ ද, ඒ වෛද්‍යාචාරිතෙම දක්ෂ නම් වන්නේ ය. යම් ගණකයෙක් වහ වහා ගණන් කොට කඩිනම දක්වා ද, ඒ ගණකතෙම දක්ෂ නම් වන්නේ ය. යම් මල්ලවයෙක් වහා ම ප්‍රතිමල්ලවයා ඔසවා උත්තාන කොට ඇද හෙළන්නේ වී නම්, ඒ මල්ලවතෙම සමර්ථ වන්නේ ය. ශූර නම් වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, එපරිද්දෙන් ම කුශලය හෝ අකුශලය හෝ යමක් වහා ම පිරිනැමෙන්නේ වී නම්, ඒ දෙය ලොකයෙහි විශෙෂයෙන් ම බලතර වන්නේ ය’ යි කීහ. “මහරජානෙනි, මේ කුශලාකුශලකර්මදෙක මත් අනතුරු භවයෙහි ඉෂ්ටානිෂ්ට වූ විපාකානිසංස විඳුවන්නේ ම ය. එතෙකුදු වුවත් අකුශලය සාවද්‍ය බැවින් පව් කළ ඇසිල්ලෙන් ම දෘෂ්ටධර්මවෙදනීය වූ දුක්ඛවිපාක වන්නේ ය. මහරජානෙනි, පූර්ව වූ රජදරුවන් විසින් ‘යමෙක් ප්‍රාණඝාතය කෙළේ නම්, එතෙම වධදණ්ඩයට ධනදණ්ඩයට සුදුසු වන්නේ ය. යමෙක් වස්තු ස්වාමීහු විසින් කයින් වචසින් නුදුන් වස්තු සොරකමින් හෝ බලාත්කාරයෙන් ගණී ද, යමෙක් අනුන් පිළිබඳ ස්ත්‍රීන් කෙරෙහි හැසිරේ ද, යමෙක් මුසාවාද කියා ද, යමෙක් මං පැහැර ගණී ද, යමෙක් සැඟවී හිඳ වස්තු පැහැර ගැණීම් ආදී වූ වඤ්චන ප්‍රයොග කෙරේ ද, හෙතෙ වධදණ්ඩයට ධනදණ්ඩයට සුදුසු වන්නේ ය. ඔහු අල්වා වධ කළ යුත්තේ ය. කැපිය යුත්තේ ය, බින්ද යුත්තේ ය, නැසිය (372) යුත්තේ ය’ යි කියා මේ නියමය තබන ලද්දේ ය. ඒ නියම කළ වධ්‍යයා[1] සොයා ගෙණ ඒ වධකාරකජනයෝ දඬුවම් කෙරෙති. වධ කෙරෙති. හිස් කපති, අත් පා බිඳිති, ජීවිතය නසති. කිමෙක් ද මහරජානෙනි, ‘යමෙක් දානයක් හෝ දේ ද, ශීලයක් හෝ රක්ෂා කෙරේ ද, උපොසථකර්මයක් හෝ කෙරේ ද, ඕහට ධනයක් හෝ යශසක් හෝ දිය යුත්තේ ය’ යි කියා කිසි කෙනෙකුන් විසින් තබන ලද්දා වූ නියමයෙක් ඇද්ද? නොහොත් කරණ ලද පාපක්‍රියා ඇති සොරහුහට කරණ වධබන්ධනය මෙන් ඒ සුචරිතක්‍රියාව කළා වූ පුරුෂයා සොයා ධනයක් හෝ යශසක් හෝ දෙන්නාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ’ යි කීහ.
“ඉදින්, මහරජානෙනි, දායකයන්ටත් සොයසොයා ධනසම්පත් හෝ යසසම්පත් හෝ දෙන්නාහු වී නම්, කුශලධර්මයන් දෘෂ්ටධර්මවෙදනීය වන්නේ ය. මහරජානෙනි, යම් හෙයකින් ‘ධනයක් හෝ යශසක් හෝ දෙම්හ’ යි කියා කිසි කෙනෙක් දායකයන් නො සොයද්ද, එහෙයින් කුශලකර්මය දෘෂ්ටධර්මවෙදනීය නො වන්නේ ය. මහරජානෙනි, මේ කාරණයෙනුදු අකුශලකර්මය දෘෂ්ටධර්මවෙදනීය වන්නෙ ්ය. යම් දායකයෙක් පරලෙව්හි සැපවෙදනාව විඳිනු ලැබේ ද, එහෙයින් ඒ කුශලකර්මය විශෙෂයෙන් ම අධිකතර ය” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹවහන්සේ හා සදෘශ වූ ප්‍රඥාවතුන් වහන්සේ කෙනෙකුන් විසින් හැර මේ ප්‍රශ්නය සුනිර්වෙඨනය කළ හැකි නො වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මා විචාළ මේ ලෞකික වූ ප්‍රශ්නය ලොකොත්තර වූ අර්ථයෙන් අඟවන ලදැ” යි කියා ස්තොත්‍ර කළහ.
පුණ්‍යාධිකතරභාවප්‍රශ්නය නිමි.
-
වධය ↑