ඥාතිප්‍රෙත පින්පෙත් ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකවාසී දායකයෝ දන් දී තමන්ගේ මිය පරලොව ගියා වූ, ඥාතිප්‍රෙතයන්ට ‘මේ දානයෙහි පින්පෙත් ඒ අපගේ ඥාතිප්‍රෙතයන්ට පැමිණේව’ යි කියා පින් දෙන්නාහු ය. කිමෙක් ද, ඒ පින් දුන් කාරණයෙන් මදක් වුවත් විපාකයක් ඒ ඥාතිප්‍රෙතයෝ ලබන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සමහර ප්‍රෙත කෙනෙක් ලබති, සමහර ප්‍රෙත කෙනෙක් නො ලබන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීන් වහන්ස, කවර කෙනෙක් ලබන්නාහු ද? කවර කෙනෙක් නො ලබන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, එක්සිය සතිස් මහනරකයෙහි උපන්නා වූ නිරිසත්වයෝ පින්පෙත් හා දුන් බත් නො ලබති. ස්වර්ගලොකයට පැමිණියා වූ දෙවියෝත් නො ලබන්නාහ. තිරශ්චීන යොනිගතසත්වයෝත් නො ලබන්නාහු ය. ප්‍රෙතයොනිගත වූ චතුර්විධප්‍රෙතයන්ගෙන් අනෙකවර්ෂශතසහස්‍රයෙහි මහදුක් අනුභව කෙරෙමින් ඒ ඒ තන්හි වමන ගර්භමාලාදිය අනුභව කෙරෙමින් වසන්නා වූ වන්තාසික නම් ප්‍රෙතයෝ ද, අනෙකබුද්ධාන්තරයෙහිත් යැපෙන ආහාර පානයක් නොලදින් සාපිපාසායෙන් පෙළෙන්නා වූ ඛුප්පිපාසික ප්‍රෙතයෝ ද, ජීර්ණ වූ රුක්සිදුරු ඇවිළ ගත් ගිනි සෙයින් ඇතුළු කුක්ෂියෙහි ඇවිළ දවන්නා වූ වහ්නිජ්වාලාවෙන් දැවී (373) මහදුක් අනුභව කරන්නා වූ නිජ්ඣාමතණ්හික නම් ප්‍රෙතයෝ ද යන මේ ත්‍රිවිධ වූ ප්‍රෙතයෝත් ඒ පින් පෙත් නො ලබති. ඥාතිමිත්‍රාදීන් විසින් දුන් දෙයින් යැපෙන්නා වූ ප්‍රෙතයෝ ඒ පින්පෙත් ලබති. ඒ පරදත්තූපජීවී වූ ප්‍රෙතයෝ ද සිහි කරන්නාහු ම ලබන්නාහු ය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ප්‍රෙතකෙනෙකුන් උදෙසා දානාදියක් කරණ ලද්දේ ද, ඉදින් ඒ ප්‍රෙතයෝ පින්පෙත් නො ලබන්නාහු නම්, ඒ කාරණයෙන් දායකයන්ගේ දානය අස්ථානගත වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, දානය අඵල නො වන්නේ ය. අවිපාක නො වන්නේ ය. දායකයෝ ඒ දානයාගේ ඵලානිසංසය අනුභව කරන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීන් වහ්නස, එහෙයින් මට කාරණයකින් අඟවා වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, මේ ලොකයෙහි කිසි මනුෂ්‍යයෙක් තමන්ගේ නෑයින් බලාපියන්නට යනු කැමැති ව මත්ස්‍යමාංස සුරා හා බත් ද කැවිලි ද පිළියෙල කොට ගෙණ ඥාතීන්ගේ කුලයට යෙති. එකල ඉදින් ඒ නෑයෝ සම්භව නො වීමෙන් ඒ මත්ස්‍යමාංස සුරා කැවිලි සහිත වූ බත නො පිළිගත්තු නම්, කිමෙක් ද, උපායනය යි කියන ලද ඒ පර්ණාකාර අස්ථානයට යන්නේ වේ ද, විනාස වනනේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීන් වහන්ස, ඒ ගෙණා පඬුරු අස්ථානයෙහි නො නස්නේ ය, හිමියන්ට ම වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම දායකයෝ ම ඒ දානයාගේ ඵලය අනුභව කරන්නාහු ය. තව ද, මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් ගෘහගර්භයකට ප්‍ර‍විෂ්ට වූයේ පෙරට නික්ම යන දොරටුවක් නැති කල්හි කවර තෙනකින් නික්මයේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ප්‍ර‍විෂ්ට වූ ද්වාරයෙන් ම නික්ම යන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම දායකයෝ ම ඒ දානයාගේ ඵලය අනුභව කරන්නාහු ය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ වදාළ කාරණය එසේ ම වේවා. මම ද එසේ ම පිළිගන්නෙමි. දායකයෝ ම ඒ දානයාගේ ඵලය අනුභව කරන්නාහු ය. ඒ කාරණය අපි විරුද්ධ නො කරම්හ. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් මේ දායකයන් විසින් දෙන ලද්දා වූ මතකදානය ඥාතිප්‍රෙතයන්ට පැමිණෙන්නේ ය. ඒ ඥාතිප්‍රෙතයෝ ද ඒ දානයාගේ විපාකය අනුභව කෙරෙති. ඒ කාරණයෙන් ප්‍රාණඝාත කරන්නා වූ රෞද්‍ර‍ වූ සත්වඝාතනය කිරීමෙන් ලේ වැකුණු අත් ඇත්තා වූ පදුෂිත වූ චිත්තසංකල්පනා ඇති යමෙක් බොහෝ මනුෂ්‍යයන් නසා දරුණු වූ අකුශලකර්මයන් කොට ‘මාගේ මේ අකුශලකර්මයාගේ විපාකය ඥාතිප්‍රෙතයන්ට පැමිණේව’ යි කියා ඥාතිප්‍රෙතයන්ට අකුසල් දෙන්නේ වී නම්, කිමෙක් ද, ඒ අකුශලකර්මයාගේ විපාකය ඥාතිප්‍රෙතයන්ට පැමිණේ දැ?”යි විචාළෝ ය. “මහරජානෙනි, එසේ අකුසල් නො පැමිණෙන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමක් කරණ කොට ගෙණ කුශලකර්මය පැමිණෙන්නේ ය. අකුසලකර්මය නො පැමිණෙන්නේ ය’ යි වදාළ වූ ඒ අර්ථයෙහි එසේ වන්නට හෙතුවෙක් නැත්තේ ය. එසේ වන්නට කාරණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ තෙම ඇසිය යුතු වූ ප්‍ර‍ශ්නයෙක් නො වන්නේ ය. මහරජානෙනි, (374) (තෙපි නහමක් විසඳන්නෙක් ඇතැ යි නො සිතව. තෙපි නො ඇසිය යුත්තක් විචාළාහු ය.[1]) ‘කුමක් පිණිස ආකාශය එල්වී ගත හෙන දෙයක් නැති ව නිරාලම්බන වී ද? කුමක් පිණිස ගංගාවෝ ඌර්ධවමුඛ ව නො යන්නාහු ද? කුමක් පිණිස මේ මනුෂ්‍යයෝ ද්විපද වූ ද? කුමක් පිණිස පක්ෂීහු ද්විපද වූ ද? කුමක් පිණිස මෘගජාතීහු චතුෂ්පදි වූ දැ’ යි කියා ඒ කාරණයත් තෙපි මාගෙන් විචාරන්නාහු ද? මෙබඳු වූ දෙය විචාළ යුත්තක් නො වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම නුඹවහන්සේ වෙහෙසනු කැමැති ව නො විචාරන්නෙමි. එතෙකුදු වුවත් ශංකාවගේ ප්‍ර‍තිබාහනය පිණිස විචාරන්නෙමි. ‘ලොකයෙහි බොහෝ වූ මනුෂ්‍යයෝ වාමග්‍රාහී වූහ. වරදවා ගන්නාහ. පහ වූ නුවණැස් ඇත්තාහ. කිමෙක් ද? ඒ අඥානයෝ අවකාශයක් නො ලබත්ව’ යි සිතා මෙසේ මම නුඹ වහන්සේගෙන් විචාරන්නෙමි” යි කීහ.

“මහරජානෙනි, පාපකර්මය සමග නො කළ කල්හි දු ‘මෙබඳු වූ ප්‍රයොගයෙන් ප්‍රාණඝාතාදිය කරව’ යි කියා නො අනුදත් කල්හි දු පාප කර්මය සමග බෙදා ගන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, යම් සේ මනුෂ්‍යයෝ හුණබටමාතිකාදි උදකය ඉසිලීමෙන් ජලය ඉතා දුරට ද ගෙණ යන්නාහ. කිමෙක් ද, මහරජානෙනි, ඝනශෛලමහාපර්වත හුණ ඵලකාදි ඉසිලීමකින් අභිප්‍රාය තෙනකට ගෙණ යන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලකර්මය බෙදා ගන්නට හැකි වන්නේ ය. අකුශල කර්මය බෙදා ගන්නට නො හැකි වන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ තිලතෛලාදීන් ප්‍ර‍දීපය දල්වන්නට හැකි වන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ජලයෙනුත් ප්‍ර‍දීපය දල්වන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලකර්මය ඔවුනොවුන්ට බෙදා ගන්නට හැකි වන්නේ ය. අකුශලකර්මය බෙදා ගන්නට නො හැක්කේ ය. තවද මහරජානෙනි, යම් සේ හීකාරයෝ විලින් පැන් හරවා ගෙණ ගොස් ධාන්‍ය වපුට පැස වන්නාහු ය. කිමෙක් ද, මහරජානෙනි, මහාසමුද්‍රයෙනුත් පැන් හරවා ගෙණවුත් ධාන්‍යය පැසවා ගන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුසල් බෙදා ගන්නට හැක්කේ ය. අකුසල් බෙදා ගන්නට නො හැක්කේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් කුසල් බෙදා ගන්නට හැකි වේද? අකුසල් බෙදා ගන්නට නො හැකි වේ ද? කාරණයකින් මට අඟවා වදාළ මැනැව. මම කිසිවක් නො දක්නා අන්ධයෙක් නො වෙමි. නුඹ වහන්සේ වදාළ දැයක් අසා දැන ගන්නෙමි” යි කීහ. “මහරජානෙනි, අකුශලය ඉතා ස්වල්ප වන්නේ ය. මඳ වන්නේ ය. කුශලය ඉතා බොහෝ වන්නේ ය, මහත් වන්නේ ය, ස්වල්ප බැවින් අකුශල කරන්නාහු ම ග්‍ර‍හණය කෙරෙයි. කුශලය මහත් බැවින් දෙවියන් සහිත වූ ලොකයෙහි පැතිරෙන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, මීට ම උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ඉතා ක්ෂුද්‍ර‍ වූ ජල බින්දුවක් මහාපෘථිවියෙහි පතිත වන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ ජල බින්දුව මහාපෘථිවියෙහි දසදොළොස් යොදුනක් තැන් පැතිරේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, යම් (375) තැනෙක ඒ ජල බින්දුව පතිත වන ලද ද, එතැන්හි ම සිඳී යන්නේ ය” යි කීහ. “මහරජානෙනි, හේ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ජල බින්දුවගේ කුඩා බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අකුසලය ඉතා කුඩා වන්නේ ය. ස්වල්ප බැවින් පව් කරන්නාහු ග්‍ර‍හණය කොට හිඳිනේ ය. අනුන් හා බෙදන්ට නො හැක්කේ ය. තවද, මහරජානෙනි, යම් සේ මහත් වූ මහාමෙඝයෙක් සකල පෘථිවිතලය පීණනය කෙරෙමින් වස්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාමෙඝය හාත්පසින් දිසානුදිසායෙහි පැතිරේ දැ?” යි විචාළසේක. “එසේ ය. ස්වාමීන් වහන්ස, ඒ මහාමෙඝයතෙම හෙප් විල් ගංගා සුළු ගංගා කඳුරැළි පෘථිවි පැළුණු විවර මහවිල් ලිං පොකුණු පුරවා ගෙණ දසදොළොස් යොදුන් තන්හි පැතිරෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, හේ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, මහාමෙඝයාගේ ඉතා මහත් බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලය ඉතා බොහෝ වන්නේ ය. ඉතා බොහෝ බැවින් සියලු දිව්‍යමනුෂ්‍යයන් හා සමගත් බෙදන්නට හැක්කැ” යි වදාළසේක.

“ස්වාමීනී, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් අකුසල් මඳ වී ද, කුසල් බොහෝ වී දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ ලොකයෙහි යම් කිසිවෙක් බුද්ධාදීන්ට දන් දෙන්නේ ය. සිල් සමාදන් වන්නේ ය. පොහෝ කර්මාන්ත කරන්නේ ය. එකල්හි ඒ පුරුෂතෙම සතුටු වන්නේ ය. විශෙෂයෙන් ම සතුටු වන්නේ ය. සන්තොෂ වන්නේ ය. විශෙෂයෙන් ම සන්තෝෂ වන්නේ ය. ප්‍ර‍මුදිත වන්නේ ය, ප්‍ර‍සන්න වූ සිත් ඇත්තේ ය, ජනිත වූ ප්‍රීති ඇති වන්නේ ය, ඕහට නැවත නැවතත් ප්‍රීති උපදනේ ය, ප්‍රීතිසිත් ඇත්තාහට නැවත නැවතත් කුසල් වඩින්නේ ය. මහරජානෙනි, යම් සේ බොහෝ වූ මධුරජලයෙන් සම්පූර්ණ වූ ලිංහි එක් දෙසින් උල්පත්ජලය ලිඳට ප්‍රවෙශ වන්නේ වී නම්, එක් දෙසකින් පිරුණු පැන් නික්ම යන්නේ ය, එසේ නිරන්තරයෙන් පැන් නික්ම යන කල්හිත් නැවත නැවතත් පැන් උපදනේ ය. කිසි කෙනෙකුන් විසින් ඇදපියාත් ඒ ලිඳපැන් විනාශයට පමුණුවාපියන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලකර්මය නැවත නැවතත් වඩින්නේ ය. මහරජානෙනි, ඉදින් පුරුෂතෙම අවුරුදු සියයකිනිදු ඈත කරණ ලද්දා වූ කුශලකර්මය ආවර්ජනා කරන්නේ වී නම්, ආවර්ජිත ආවර්ජිත ක්ෂණයෙහි නැවත නැවතත් කුසල් වඩින්නේ ය. ඒ පුරුෂයාගේ ඒ කුශල කර්මය යම් කැමැති කෙනෙකුන් හා සමග බෙදා ගන්නට හැකි වන්නේ ය. මහරජානෙනි, මේ ප්‍ර‍ශ්නයෙහි යම් කාරණයකින් කුශලකර්මය ඉතා බොහෝ වී ද, ඊට ම දක්වාලූ මේ කාරණය” යි වදාළසේක. “මහරජානෙනි, යමෙක් අකුශලකර්මය කෙරෙමින් අජාතශත්‍රැනරෙන්ද්‍රාදීන් මෙන් පසු ව විපිළිසර ඇති වන්නේ ය. ‘මා කළ දෑ නපුරැ’ යි කියා විපිළිසර වන්නාහුගේ චිත්තය හැකිළෙන්නේ ය, වළකින්නේ ය, ආවට්ටනය වන්නේ ය, නො පැතිරෙන්නේ ය, සොක කරන්නේ ය, තැවෙන්නේ ය, භය වන්නේ ය, තෙමේ ම චෝදනාවට පැමිණෙන්නේ ය, නො වැඩෙන්නේ ය, එහි ම ක්ෂයභාවයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, යම් සේ බොහෝ උස් මිටි වූ (376) බොහෝ වැලි ඇත්තා වූ වියලි ගංගායෙහි වකුටු වූ එක් භාගයකින් ගඟ ඉහළ පටන් එන්නා වූ ස්වල්ප වූ ජලය පිරිහෙන්නේ ය, ක්ෂය වන්නේ ය, නො වඩින්නේ ය, ඒ ගඟ වැල්ලෙහි ම සිඳෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අකුශලකර්මය කරන්නාහුගේ චිත්තය හැකිලෙන්නේ ය, වකුටු වන්නේ ය, පෙරළෙන්නේ ය, නො පැතිරෙන්නේ ය, සොක කරන්නේ ය, තැවෙන්නේ ය, පිරිහෙන්නේ ය, ක්ෂය වන්නේ ය, නො වැඩෙන්නේ ය, පව් කළ තන්හි ම ක්ෂය භාවයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, මේ ප්‍ර‍ශ්නයෙහි යම් කාරණයකින් අකුශලකර්මය ස්වල්ප වී ද, මඳ වී ද, ඊට ම දක්වා ලූ මේ කාරණය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කියා ස්තොත්‍ර‍ කළහ.

ඥාතිප්‍රෙත පින්පෙත්ප්‍ර‍ශ්නය නිමි.

  1. වරහන් තුළ තිබෙන පාඨය “විසඳන්නෙකු ඇතැයි සිතා නො විචාළ යුත්තක් නො විචාරව” යි විය යුතු ය.