ඤාණපරිපාක ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සියලු ම බොධිසත්වවරයෝ දුෂ්කරක්‍රියාව කරන්නාහු ද? නොහොත් ගෞතම බොධිසත්වයන් වහන්සේ විසින් ම දුෂ්කරක්‍රියාව කරණ ලද්දේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සියලු ම බොධිසත්වවරයන්ගේ කරණ දුෂ්කර ක්‍රියාවෙක් නැත්තේ ය. ගෞතම (362) බොධිසත්වයන් වහන්සේ විසින් ම දුෂ්කර ක්‍රියාව කරණ ලදැ” යි වදාළසේක. “භවත් නාගසෙනයන් වහ්නස, ඉදින් මෙසේ බොධිසත්වයන්ගේ බොධිසත්වයන් හා වමත්තතාවෙක් වන්නේ ය යි යන යමෙක් ඇද්ද, ඒ වෙනස් බව අයුත්ත ය” යි කීහ. “මහරජානෙනි, සතර කාරණයකින් බොධිසත්වයන්ගේ බොධිසත්වවරයන් හා වෙමත්තතාව වන්නේ ය. කවර නම් සතර කාරණයකින් ද? යත්- ක්ෂත්‍රිය මහාසාරවංශයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාරවංශයෙහි හෝ ඉපදීම් වශයෙන් කුලයාගේ වෙමත්තතාව ද උපදනා කාලයෙහි හවුරුදු සියදහස් ලක්ෂ වශයෙන් අද්ධානවෙමත්තතාව ද එසේ ම ආයුෂයාගේ වෙමත්තතාව ද ඒ ඒ කාලයෙහි පුරුෂප්‍ර‍මාණ ව උපදනා වෙමත්තතාව දැ යි යන, මහරජානෙනි, මේ සතර කාරණයෙන් බොධිසත්වවරයන් වහන්සේලාගේ සමහර බොධිසත්වවරයන් වහන්සේලා හා විශෙෂතාව වන්නේ ය. මහරජානෙනි, සියලු ම බුදුවරයන් වහන්සේලාගේ රූපයෙහි ශීලයෙහි සමාධියෙහි ප්‍ර‍ඥායෙහි විමුක්තියෙහි විමුක්තිඥානදර්ශනයෙහි චතුර්වෙශාරද්‍යයෙහි දශවිධතථාගතබලයෙහි ෂඩ්විධ අසාධාරණඥානයෙහි චතුර්දශබුද්ධඥානයෙහි අෂ්ටාදශබුද්ධධර්මයෙහි සියලු ම බුද්ධධර්මයෙහි ද යන මෙහි වෙමත්තතාවෙක් නැත්තේ ය. සියලු සර්වඥවරයෝ ම බුද්ධ ධර්මයෙන් සම සම වූහ” යි වදාළසේක. “ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහ්නස, සියලු බුදුවරයෝත් බුද්ධධර්මයෙන් සම සම වූ නම්, කවර කාරණයකින් ගෞතම බොධිසත්වයන් වහන්සේ විසින් ම සාවුරුද්ද මුළුල්ලෙහි දුෂ්කරක්‍රියාව කරණ ලද්දේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, චතුස්සත්‍යය දක්නා ඥානය නො මූ කළ කල්හි සර්වඥතාඥානය නො මූ කළ කල්හි අප ගෞතම බොධිසත්වයන් වහන්සේ නෛෂ්ක්‍ර‍ම්‍යයට නික්මුනුසේක් නො මූ කළ ඥානය පැසවන්නා වූ බොධිසත්වයන් විසින් දුෂ්කරක්‍රියාව කරණ ලදැ” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් බොධිසත්වයන් වහන්සේ ඥානය නො මූ කළ කල්හි සර්වඥතාඥානය නො මූ කළ කල්හි මහබිනික්මන් නික්මුනුසේක් ද? චතුස්සත්‍යඥානය මෝරවා ගෙණ ඥානය මෝරා සිටි කල්හි මහභිනික්මන් නික්මිය යුත්තේ ය. කිමෙක් ද, එසේ නපුරු දැ?” යි කීහ. “මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේ උද්‍යාන ගමනින් කලකිරී අවුත් පරම රමණිය වූ ප්‍රාසාදාභිරූඪ ව සිරිසයනයෙහි වැදහොත් සේක. එකල සුද්ධොදනමහරජානන්ගේ නියොගයෙන් දෙවඟනන් හා සදෘශ වූ සතළිස්දහසක් පමණ තරුණ පුරාංගනාවෝ දිව්‍යාංගනාවන් සේ සැරහී මනොහර වූ මධුරධ්වනි මෘදංඟ වීණාදී තූර්‍ය්‍යභාණ්ඩයන් ගෙණ ‘මහතානන් පඤ්චකාමයෙන් බඳුම්හ’ යි කියා පිරිවර ගෙණ අනන්තලීලා දක්වමින් නෘත්‍යගීත වාදිත ගායනාදියෙහි ව්‍යාප්ත වූහ. බොධිසත්වයන් වහන්සේ ක්ලෙශකාමයෙහි සිත නො ඇලෙන බැවින් මඳක් නිද්‍රාවට පැමිණිසේක. නාටකස්ත්‍රීහු ඒ දැක ‘අහෝ! අපගේ ස්වාමීන් වහන්සේ නිද්‍රා කර වදාරණ කල අපි කාට නෘත්‍ය ගීත දක්වමෝ දැ?’ යි කියා ගත්ගත් තූර්‍ය්‍යභාණ්ඩ වැලඳ ගෙණ ඒ ඒ තැන වැද හෙව නිදන්නාහු ය. සමහරෙක් කටින් කුණුකෙළ පෙරති. සමහරෙක් කට දත් කති. සමහරෙක් කථා (363) කරමින් ගොරවති. සමහරෙක් නොයෙක් දෑ දොඩවති. සමහරෙක් අපගතවස්ත්‍රයෙන් වෙසෙති. සමහරෙක් භය ගෙණ දඟලති, සමහරෙක් මුක්තකෙශි ව නොයෙක් විකාර කෙරෙති. මහාබොධිසත්වයන් වහන්සේ පිබිද ශ්‍රීයහන් මස්තකයෙහි බද්ධපර්‍ය්‍යංකයෙන් හිඳ ඒ ස්ත්‍රීන්ගේ විපරීත වූ විකාරය දැක විපිළිසර වූසේක. ඒ විපිළිසර වූ බොධිසත්වයන් වහන්සේට අරතිසිත් උපන්නේ ය. ඒ අරතිසිත් උපන්බව දැක එක්තරා මාරකායික දිව්‍යපුත්‍රයෙක් ‘සිද්ධාර්ථකුමාරයන්ගේ අරතිචිත්තය ප්‍ර‍හාණය කරණ පිණිස මේ කලැ’ යි සිතා දෙව්ලොවින් දිව අවුත් ප්‍රාසාදයට නුදුරු ව ආකාශයෙහි සිට ‘මාගේ නිදුකානෙනි, නුඹ වහන්සේ නො කලකිරෙන්නේ ය. නුඹ වහන්සේට මෙයින් සත්වැනි දවස්හි දහසක් දැවී ඇත්තා වූ නිම්වළලු සහිත වූනාභි සහිත වූ සර්වාකාර පරිපූර්ණ වූ දිව්‍යමයචක්‍ර‍රත්නය පහළ වන්නේ ය. ආකාශයෙහි සිටිනට සමර්ථ වූ හස්තිරත්නාදිය හා පෘථිවිගත වූ සෙසු රත්නයෝ ද තොපට තෙමේ තෙමේ ම අවුත් පහළ වෙති. දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහාද්වීපයෙහි තොපගේ එක මුඛයෙන් ආඥා පවත්වනු ලබන්නේ ය. ශූර වූ දෙවියන් වැනි වූ රූ ඇත්තා වූ වීර්‍ය්‍යවත් ශරීර ඇත්තා වූ සතුරුසේනා මර්දනයෙහි සමර්ථ වූ දහසකින් වැඩියක් පුත්‍රයෝ තොපට පහළ වන්නාහු ය. ඒ පුත්‍ර‍යන් විසින් පිරිවරණ ලද්දා වූ තෙපි සප්තරත්න සමන්නාගත ව සතර මහාද්වීපයට අනුශාසනා කරන්නහු ය’ යි කියා මේ වචනය කීයේ ය.

“එකල යම් සේ දවසක් මුළුල්ලෙහි උෂ්ණයෙක ලා රත් කරණ ලද්දා වූ සර්වභාගයෙන් ම ඇල් විය නො හැකි ව දවන්නා වූ යකඩ උලක් කර්ණශ්‍රොත්‍ර‍යට වැද ගියේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ වචනය බොධිසත්වයන් වහන්සේගේ කර්ණශ්‍රොත්‍ර‍යට ප්‍ර‍විෂ්ට ව ගියේ ය. මෙසේ ඒ බොධිසත්වයන් වහන්සේ ආකෘතියෙන් ම කලකිරුණුසේක. ඒ මාරකායිකදෙවතාවාගේ වචනයෙන් නැවතත් අප්‍ර‍මාණ ව කලකිරුණුසේක. භය වූසේක. සංවේගයට පැමිණිසේක. තව ද, මහරජානෙනි, යම් සේ දිලියෙන්නා වූ මහත් වූ මහාවහ්නිස්කන්ධය වෙනින් දැර දැමූ කල බොහෝ සෙයින් දිලියෙන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍කෘතියෙන් ම කලකිරුණා වූ බොධිසත්වයන් වහන්සේ ඒ මාරකායිකදෙවතාවාගේ වචනයෙන් බොහෝ සෙයින් ම කලකිරුණු සේක. භය වූසේක. සංවේගයට පැමිණිසේක. තව ද, මහරජානෙනි, යම් සේ ප්‍ර‍කෘතියෙන් ම තෙත් වූ හට ගන්නා ලද තෘණ ගහන හා අභිනව තෘණ ඇත්තා වූ වැලඳ ගිය ජලය ඇත්තා වූ උපන් කර්දමය ඇත්තා වූ මහාපෘථිවිය නැවත නැවතත් මහාමෙඝය වර්ෂා කරණ කල බොහෝ සෙයින් ම චික්ඛල්ලතර වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍කෘතියෙන් ම කලකිරුණා වූ බොධිසත්වයන් වහන්සේ ඒ මාරපාක්ෂික වූ දෙවතාවාගේ වචනයෙන් බොහෝ සෙයින් කලකිරුණුසේක. භය වූසේක. සංවගෙයට පැමිණිසේක.”

“කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බොධිසත්වයන් වහන්සේට ‘ඉදින් සත්වැනි දවස්හි දිව්‍යචක්‍ර‍රත්නය පහළ වන්නේ වී නම් බොධිසත්වයන් වහන්සේ දිව්‍යචක්‍ර‍රත්නය පහළ වූ කල්හි මහණ නො වී නවතිනසේක් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සත්වන දවස්හි (364) බොධිසත්වයන් වහන්සේට දිව්‍යචක්‍ර‍රත්නය පහළ නො වන්නේ ය. එතෙකුදු වුවත් පඤ්චකාමයෙහි ආලය වඩවා සිත් පොලඹන පිණිස ඒ මාරකායිකදෙවතාවා විසින් මුසාවාදයක් කියන ලද්දේ ය. මහරජානෙනි, ඉදින් සත්වන දවස්හි දිව්‍යචක්‍ර‍රත්නය පහළ වන්නේ වී නමුත් බොධිසත්වයන් වහන්සේ මහණ නො වී නො නවත්නාසේක. කවර කාරණයකින් ද? යත්- මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේ රූප වෙදනා සංඥා සංස්කාර විඥාන යන පඤ්චස්කන්ධය අනිත්‍ය ය යි කියා දැඩි කොට සිතා ගත්සේක. ජාති ජරා ව්‍යාධි මරණාදි විසින් සංසාර ප්‍ර‍වෘත්තිය දුකැ යි කියා දැඩි කොට සිතා ගත්සේක. පංචස්කන්ධය අනාත්ම ය යි කියා දැඩි කොට සිතා ගත්සේක. උපාදානස්කන්ධය යි කියන ලද ආලය වශයෙන් ගැන්මගේ ක්ෂයට පැමිණිසේක. මහරජානෙනි, යම් සේ අනොතත්ත විලින් ජලයනික්ම ගංගා නම් ගඟින් මහාසමුද්‍ර‍යට යන්නේ ය. මහසමුද්‍රයෙන් පාතාලමුඛයට යන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, පාතාලමුඛයට ගියා වූ ඒ උදකය නැවත කරකැවී මහාසමුද්‍ර‍යට ප්‍රවෙශ වේ ද? මහාසමුද්‍රයෙන් ගංගා නම් ගඟට ප්‍රවෙශ වේ ද? ගංඟා නම් ගඟින් නැවත අනොතත්ත විලට ප්‍රවෙශ වේ ද?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, ඒ උදකය නැවත නො එන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම බොධිසත්වයන් වහන්සේ විසින් සාරාසංඛෙය්‍ය කප්ලක්ෂයක් මුළුල්ලෙහි ලොවුතුරා බුදු වන මේ භවය පිණිස ම සමත්‍රිංශත්පාරමිතා කුශලධර්මය මුහු කරවන ලද්දේ ය. ඒ මේ අන්තිම ආත්මභාවය පැමිණියේ ය. සර්වඥතාඥානය මෝරා සිටියේ ය. සහවුරුද්දකින් මත්තෙහි ලොකාග්‍ර‍පුද්ගල වූ සර්වඥ වූ ලොවුතුරා බුදුවනසේක. කිමෙක් ද, මහරජානෙනි, බොධිසත්වයන් වහ්නසේ චක්‍ර‍වර්තිරාජ්‍යය පිණිස බුදු නො වී වළක්නාසේක් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ.

“තවද, මහරජානෙනි, සියලු ම වන සහිත වූ පර්වත සහිත වූ මහා පෘථිවිය පෙරළේ නමුදු මහාබොධිසත්වයන් වහ්නසේ සම්‍යක් සම්බොධියට නො පැමිණ නො නවත්නාසේක් ම ය. මහරජානෙනි, ඉදින් ගංඟා නම් නදියගේ උදකය උඩුගඟට නැඟෙන්නේ නමුදු මහාබොධි සත්වයන් වහන්සේ සම්‍යක්සම්බොධියට නො පැමිණ නො නවත්නා සේක් ම ය. තව ද, මහරජානෙනි, ඉදින් මහාමේරුපර්වතරාජයා සියක්කඩ ව දහසක් කඩ ව හෝ පැළී යේ නමුදු මහාබොධිසත්වයන් වහ්නසේ සම්‍යක්සම්බොධියට නො පැමිණ නො නවත්නාසේක් ම ය. තවද, මහරජානෙනි, ඉදින් තාරකාවන් සහිත වූ චන්ද්‍ර‍සූර්‍ය්‍ය දෙදෙන කුරු මෙන් වහා පෘථිවියෙහි වැටෙන්නාහු නමුදු මහාබොධිසත්වයන් වහන්සේ සම්‍යක්සම්බොධියට නො පැමිණ නො නවත්නාසේක් ම ය. තවද, මහරජානෙනි, ඉදින් ආකාශය කලල්කඩක් මෙන් හැකිළේ නමුදු මහබොධිසත්වයන් වහන්සේ සම්‍යක්සම්බොධියට නො පැමිණ නො නවත්නාසේක් ම ය. ඊට කාරණා කවරේ ද? යත්- සියලු ම සංසාරබන්ධනයන් ප්‍ර‍දාලනය කර වදාළ බැවිනැ” යි වදාළසේක.

(365) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ලොකයෙහි බන්ධනයෝ කොපමණ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ලෝකයෙහ යම් බන්ධනයකින් බැඳුනා වූ සත්වයෝ ගිහිගෙයින් නො නික්මෙද් ද, නික්ම ගොස් නැවැත ගිහිගෙට ම එද්ද, ඒ මේ බන්ධනයෝ දශදෙනෙක. කවර දශදෙනෙක් ද? යත්-

“මාතා මහාරාජ ලොකෙ බන්‍ධනං. පිතා මහාරාජ ලොකෙ බන්‍ධනං. භරියා මහාරාජ ලොකෙ බන්‍ධනං. පුත්තා මහාරාජ ලොකෙ බන්‍ධනං. ඤාතී මහාරාජ ලොකෙ බන්‍ධනං. මිත්තා මහාරාජ ලොකෙ බන්‍ධනං. ධනං මහාරාජ ලොකෙ බන්‍ධනං. ලාභ සක්කාරො මහාරාජ ලොකෙ බන්‍ධනං. ඉස්සරියං මහාරාජ ලොකෙ බන්‍ධනං. පඤ්චකාමගුණා මහාරාජ ලොකෙ බන්‍ධනං. ඉමානි ඛො මහාරාජ දස ලොකෙ බන්‍ධනානි, යෙහි බන්‍ධනෙහි බද්ධා සත්තා න නික්ඛමන්ති. නික්ඛමිත්‍වා පටිනිවත්තන්තී” තී.

“මහරජානෙනි, ‘ශාසනයෙහි මහණ වීම් නම්, මාගේ මෑනියෝ ජීවත් විය නො හෙති’ යි සිතන විසින් ලොකයෙහි මෑනියෝ ද මහණ විය නො හැකි වන ගෘහබන්ධනයෙක. එසේ ම මහරජානෙනි, පියානෝ ද ලොකයෙහි ගෘහබන්ධනයෙක. ප්‍රෙමතර වූ භාර්යාවෝ ද මහරජානෙනි, ලොකයෙහි ගෘහබන්ධනයෙක. ප්‍රියතර ලදරු වූ පුත්‍රයෝ ද මහරජානෙනි, ලොකයෙහි ගෘහබන්ධනයෙක. අසරණීභූත වූ නෑසමූහයා ද මහරජානෙනි, ලොකයෙහි ගෘහබන්ධනයෙක. සුවදුක්හි සම ව පවත්නා වූ මිත්‍රයෝ ද මහරජානෙනි, ලොකයෙහි ගෘහබන්ධනයෙක. අපරිමිතධන සම්පත්තිය ද මහරජානෙනි, ලොකයෙහි ගෘහබන්ධනයෙක. ලාභසත්කාරය ද මහරජානෙනි, ලොකයෙහි ගෘහබන්ධනයෙක. රාජාමාත්‍යාදි ඉසුරු සම්පත්තිය ද මහරජානෙනි, ලොකයෙහි ගෘහබන්ධනයෙක. පඤ්චකාමගුණය ද මහරජානෙනි, ලොකයෙහි මහණ විය නො හැකි වූ ගෘහබන්ධනයෙක. මහරජානෙනි, යම් බන්ධනයකින් බැඳුනා වූ සත්වයෝ ගිහිගෙය හැර නො යෙද්ද, නික්ම ගොස් නැවත ගිහිගෙට ම එද්ද, ලොකයෙහි ඒ මේ බන්ධනයෝ දසදෙන ය. ඒ දශප්‍ර‍කාර වූ බන්ධනයෝ මහාබොධිසත්වයන් වහන්සේ විසින් නිරාලය වශයෙන් සිඳ හරණ ලද්දාහු ය, ප්‍ර‍දාලනය කරණ ලද්දාහු ය, මහරජානෙනි, ඒ කාරණයෙන් මහාබොධිසත්වයන් වහන්සේ චක්‍ර‍වර්තිරාජ්‍යය පිණිස මහණ නො වී නො නවත්නාසේකැ” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් මහබොධිසත්වයන් වහන්සේ මාරකායිකදෙවතාවාගේ වචනයෙන් අරතිචිත්තය උපන් කල්හි චතුස්සත්‍යඥානය නො මූ කළ කල්හි ම සර්වඥතාඥානය නො මූ කළ කල මහාභිනික්මන් නික්මුනුසේක. ඒ මහාබොධිසත්වයන් වහන්සේ විසින් කරණ ලද්දා වූ දුෂ්කරක්‍රියාවෙන් කම් කිම් ද? චතුස්සත්‍යඥාන පරිපාකය බලා වදාරන්නා වූ බොධිසත්වයන් වහන්සේ විසින් බුදු වන කල් පැමිණෙන තුරු සියලු ම සම්පත් අනුභව කිරීමෙන් යුක්ත ව විසීම නපුරු දැ?” යි කීහ.

“මහරජානෙනි, පුද්ගලයෝ දසදෙනෙක් ලොකයෙහි ලාමක කරණු ලබන්නාහු ය. අවඥා කරණු ලබන්නාහු ය, ගර්හා කරණු ලබන්නාහු ය, ක්‍රෑරබස් අසනු ලබන්නාහු ය, නින්දා කරණු ලබන්නාහු ය, දොෂ තෙපුල් අසනු (366) ලබන්නාහු ය. අනාදර කරණු ලබන්නාහු ය. මහරජානෙනි, ලොකයෙහි පුරුෂයා නැති ස්ත්‍රීතොම ජනයන් විසින් ලාමක කරණු ලබන්නී ය, අවඥා කරණු ලබන්නී ය, ගර්හා කරණු ලබන්නී ය. ක්‍රෑරබස් අසනු ලබන්නී ය, නින්දා කරණු ලබන්නී ය, දොෂතෙපුල් අසනු ලබන්නී ය. අනාදර කරණු ලබන්නී ය. මහරජානෙනි, කලහකාමී වූ දුරුවල පුරුෂ තෙමද, මහරජානෙනි, ඥාතිමිත්‍ර‍ විරහිත වූ පුද්ගලතෙම ද, මහරජානෙනි, පමණ නොදැන මහත් කොට බොහෝ අනුභව කරණ පුද්ගලතෙම ද, මහරජානෙනි, අගෞරව කුලවාසී පුද්ගලතෙම ද, මහරජානෙනි, පාපමිත්‍ර‍යන් භජනය කරණ පුද්ගලතෙම ද, මහරජානෙනි, ධනහීන වූ පුද්ගලතෙම ද, මහරජානෙනි, ජාතිගොත්‍ර‍යට නිසි වූ චාරිත්‍ර‍හීන වූ පුද්ගලතෙම ද, මහරජානෙනි, කෘෂිවාණිජ්‍යාදී කර්මාන්ත හීන වූ පුද්ගලතෙම ද, මහරජානෙනි, ප්‍රයොග හීන වූ පුද්ගලතෙම ද ලොකයෙහි සත්වයන් විසින් ලාමක කරණු ලබන්නේ ය, අවඥා කරණු ලබන්නේ ය, ගර්හා කරණු ලබන්නේ ය. ක්‍රෑරබස් අසනු ලබන්නේ ය, නින්දා කරණු ලබන්නේ ය, දොෂතෙපුල් අසනු ලබන්නේ ය, අනාදර කරණු ලබන්නාහු ය. මහරජානෙනි, මේ දසකාරණය සිහි කර වදාරන්නා වූ මහාබොධිසත්වයන් වහන්සේට මෙබඳු සංඥාවෙක් උපන්නේ ය. ‘ඉදින් මම වනාහි කර්ම හීන නො වන්නෙමි. දිව්‍යමනුෂ්‍යයන් විසින් ගර්හිත වූ ප්‍රයොගහීනයකුදු නො වන්නෙමි. මම කර්මස්වාමි වීම් නම් ඉතා යෙහෙක. ක්‍රියාව ම ගරු කොට ඇත්තා වූ කර්මය ප්‍ර‍තිෂ්ඨා කොට ඇත්තා වූ කර්මය ම උසුලන්නා වූ කර්මසංඛ්‍යාත වූ ක්‍රියාව ම ගෘහවාස කොට ඇත්තා වූ මම කායචිත්ත වීර්යයෙන් අප්‍ර‍මාද ව වාසය කෙරෙමි’ යි කියා මෙබඳු වූ සංඥාවෙක් උපන්නේ ය. මහරජානෙනි, මෙසේ මහාබොධිසත්වයන් වහන්සේ බුද්ධඥානය මුහු කරවමින් සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කර වදාළසේකැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මහාබොධිසත්වයන් වහන්සේ දුෂ්කරක්‍රියා කරණසේක් ‘මම වනාහි මේ කටුක වූ දුෂ්කර ක්‍රියාවෙන් උතුම් වූ සර්වඥතාඥාන දර්ශනයට පොහොසත් වූ විශෙෂයකට හෝ උත්තරිමනුෂ්‍යධර්මයට නො පැමිණෙන්නෙමි. සර්වඥතා ඥානාවබොධය පිණිස අනික් සැහැල්ලු වූ මාර්ගයෙක් වන්නේ ම ය’ යි මෙසේ කීසේක් නො වේ ද? සිතූසේක් නො වේ ද? කිමෙක් ද? එසමයෙහි ආර්යමාර්ගය අරභයා මහාබොධිසත්වයන් වහන්සේට සතිසම්මොසය වී දැ?” යි විචාළෝ ය. මහරජානෙනි, යමක් විසින් දුර්වල කරණ ලද්දා වූ චිත්තය ආශ්‍ර‍වයන්ගේ ක්ෂය කිරීම පිණිස මනාව ම නො පැමිණේ ද, ඒ මේ චිත්තදුබ්බලීකරණධර්මයෝ පස්විසිදෙනෙක, කවර නම් පස්විසිදෙනෙක් ද? යත්-

“කොධො මහාරාජ චිත්තස්ස දුබ්බලීකරණො ධම්මො, යෙන දුබ්බලිකතං චිත්තං න සම්මා සමාධියති ආසවානං ඛයාය. උපනා හො-මක්ඛො-පලාසො-ඉස්සා-මච්ඡරියං-මායා-සාඨෙය්‍යං-ථම්භො- (367) සාරම්භො- මානො-අතිමානො- මදො- පමාදො-ථීනං-මිද්ධං-තන්‍දි-ආලස්සං-පාපමිත්තතා-රූපා-සද්දා-ගන්‍ධා-රසා-ඵොට්ඨබ්බා-ඛුදා-පිපාසා-අරති මහාරාජ චිත්තස්ස දුබ්බලී කරණො ධම්මො, යෙන දුබ්බලී කතං චිත්තං න සම්මා සමාධියති ආසවානා ඛයාය.”

“මහරජානෙනි, යම් ක්‍රොධ ධර්මයකින් දුර්වල කරණ ලද චිත්තය ආශ්‍ර‍වක්ෂය පිණිස මනා කොට එකඟ නො වේ ද, නවාඝාතවස්තුක වශයෙන් අනුන් කෙරෙහි කරණ ක්‍රොධය චිත්තයාගේ දුර්වලීකරණධර්මයෙක. වෛර බැඳීම ද අනුන්ගේ ගුණමකු බව ද, යුගග්‍රාහ ලක්ෂණ වූ ගුණ ඇත්තවුන් හා තමා සම කොට සිතා ගැන්ම ද, අනුන් කෙරෙහි කරන ඊර්ෂ්‍යාව ද, මසුරුබව ද, තමාගේ ඇති අගුණ සඟවන මායාව ද, තමාගෙග් නැනතින ගුණ පහළ කරණ සඨගුණය ද, මහතුන්ගේ අවවාදයට නො නැමෙන දැඩි වූ සිත් ඇති බවද, ‘යමෙකු එකක් කී කල මම දෙකක් කියමි’ යි යන කරණුත්තරිය කරණය ද, මානය ද, අධික වූ මානය ද, ජාත්‍යාදීන් කරණ මදය ද, ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවස්තුවෙහි ප්‍ර‍මාද වන බව ද, දාන ශීල ධ්‍යාන භාවනායෙහි චිත්තසංකොචන ලක්ෂණ වූ ථීනය ද, කායාකර්මණ්‍යලක්ෂණ වූ මිද්ධය ද, තන්දි සංඛ්‍යාත වූ නිද්‍රා බහුල බව ද, අලස බව ද, පවිටුමිතුරන් සෙවනය කරණ බව ද, ස්ත්‍රීරූපාදි රූපදර්ශනය ද, භෙරිවීණාදි ශබ්දශ්‍ර‍වණය ද, ශාන්දු ජබාදි පුෂ්පාදි සුගන්ධාඝ්‍රාණය ද, ශාලිමාංසාදිභොජනරසය ද, මෘදු ස්නිග්ධ වස්ත්‍ර‍රූපාදියක් සෙයින් ස්පර්ශ කිරීම ද, බලවත් වූ ක්ෂුධාව ද, බලවත් වූ පිපාසය ද මහරජානෙනි, යම් ධර්මයකින් දුර්වල කරණ ලද්දා වූ චිත්තය චතුරාශ්‍ර‍වයන්ගේ ක්ෂය කිරීම පිණිස මනා කොට එකඟ නො වේ ද, ඒ මේ අරතිය චිත්තයාගේ දුර්වලීකරණ ධර්මයෙක. මහරජානෙනි, යම් ධර්ම කෙනෙකුන් විසින් දුර්වල කරණ ලද්දා වූ චිත්තය චතුරාශ්‍ර‍වයන්ගේ ක්ෂය කිරීම පිණිස මනා කොට එකඟ නො වේ ද, ඒ මේ පස්විසිධර්මයෝ චිත්තදුබ්බලීකරණ ධර්මයෝ ය. මහරජානෙනි, ක්ෂුධාපිපාසාද්‍වය බොධිසත්වයන් වහන්සේගේ ශරීරයෙහි ව්‍යාප්ත වූවාහු ය. ක්ෂුධාපිපාසාද්වය ශරීරයෙහි ව්‍යාප්ත වූ කල්හි චිත්තය ආශ්‍ර‍වයන්ගේ ක්ෂය කිරීම පිණිස මනා කොට එකඟ නො වන්නේ ය.

“මහරජානෙනි, මහාබොධිසත්වයන් වහන්සේ සාරාසංඛෙය්‍ය කප් ලක්ෂයක් මුළුල්ලෙහි මහාජනක සරභංගාදී ඒ ඒ ජාතියෙහි චතුරාර්ය සත්‍යධර්මයන්ගේ ප්‍ර‍තිවෙධය ම සොයා වදාළසේක. කිමෙක් ද, ඒ මහාබොධිසත්වයන් වහන්සේට පශ්චිමභවික වූ චතුරාර්යසත්‍යධර්මය ප්‍ර‍තිවෙධය වන්නා වූ මේ ජාතියෙහි චතුරාර්යමාර්ගය අරභයා සතිසම්මොසය වේ ද? මහරජානෙනි, එතෙකුදු වුවත් දුෂ්කරක්‍රියා කරන්නා වූ මහාබොධිසත්වයන් වහන්සේට චතුස්සත්‍යප්‍ර‍තිවෙධය පිණිස අනික් මාර්ගයෙක් වේ දෝ හො යි කියා සංඥාමාත්‍රයෙක් උපන්නේ ය. මහරජානෙනි, බුදුවීමට පූර්වයෙහි බොධිසත්වයන් වහන්සේගේ උපන් ජාතියෙන් එකමාසික වූසේක් තමන් වහන්සේගේ පිතෘ වූ සුද්ධොදන නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ මංගල්‍ය නෙය්‍යාඩම් ඇති වප්මඟුල් දවස්හි කර්මාන්ත භූමියට නුදුරු වූ සිහිල් වූ දඹරුක් සෙවණැල්ලෙහි විචිත්‍ර‍ විතාන තොරණ තිර ජවනිකාදියෙන් සුරක්ෂිත වූ පරික්ෂෙප ඇති ශ්‍රී යහන් මස්තකයෙහි රන්පිළිමයක් සේ පලඟ බැඳ (368) වැඩ හිඳ වස්තුකාම ක්ලේශකාමයෙන් වෙන් වූ රාගද්වෙෂාදී අකුශලධර්මයෙන් වෙන් වූ විතර්කසහිත වූ විචාරසහිත වූ විවෙකයෙන් උපන්නා වූ ප්‍රීතිසැප ඇති ප්‍ර‍ථමධ්‍යානය උපදවා විහරණය කළසේක. විතර්ක විචාර දෙදෙනාගේ සන්හිඳීම හෙතු කොට ගෙණ ස්වසන්තානය විශෙෂයෙන් ම පැහැදීම කරන්නා වූ චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන්නා වූ ප්‍රීතිසැප ඇති ද්විතීයධ්‍යානය උපදවා විහරණය කළසේක. ප්‍රීතියගේ විරාගය හෙතු කොට ගෙණ ද උපෙක්ෂා ඇත්තේ ද ස්මෘති ඇත්තේ ද සම්පජානකාරී වූයේ ද වසන්නේ ය. ආර්යයෝ ‘යම්බඳු වූ ඕහට උපෙක්ෂා ඇත්තේ ය. ස්මෘති සම්පන්න ය. සැපවිහරණයන් ඇත්තේ ය’ යි කියද් ද, එබඳු සැපය ද කයින් විඳින්නේ තෘතීයධ්‍යානයට සමවැද විහරණය කළසේක. සැපයාගේ ප්‍ර‍හාණය හෙතු කොට ගෙණ ද දුඃඛයාගේ ප්‍ර‍හාණය හෙතු කොට ගෙණ ද සෞමනස්‍ය දෞර්මනස්‍යයන්ගේ පළමු විනාසය හෙතු කොට ගෙණ දුක් නැති සැප නැති උපෙක්ෂා ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්ථධ්‍යානයට සමවැද විහරණය කළසේක. මහරජානෙනි, චතුරාර්යසත්‍යධර්මය ප්‍ර‍තිවෙධය කිරීම සොයන්නා වූ මහාබොධිසත්වයන් වහන්සේට සතිසම්මොසය නො වන බව මෙයින් දත යුතු ය” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, චතුස්සත්‍යඥානය මුහු කරවන්නා වූ මහාබොධිසත්වයන් වහන්සේ දුෂ්කරක්‍රියා කර වදාළසේක. මෙසේ මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

ඤාණපරිපාක ප්‍ර‍ශ්නය යි.