පස්වන වර්ගය

star_outline

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස; නුඹ වහන්සේ විසින් සර්වඥ වූ බුදුවරතෙම දක්නා ලද්දේ දැ?” යි කීහ. “නැත, මහරජානෙනි,’ යි කීසේක. “එසේ වී නම් නුඹවහන්සේගේ ආචාර්යයන් වහන්සේ විසින් බුදුවරතෙම දක්නා ලද්දේ දැ?” යි කීහ. “නැත, මහරජානෙනි,” කීසේක. “එසේ වී නම් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘සර්වඥතෙම නැතැ” යි කීහ. “කිමෙක් ද? මහරජානෙනි, හිමාලයෙහි වූ ඌහා නම් ගංගාව තොප විසින් දක්නා ලද්දේ දැ?” යි කීසේක. “නැත, ස්වාමීනි” යි කීහ. නැවැත තොපගේ පියානන් විසින් ඌහා නදිය දක්නා ලද්දේ දැ?” යි කීසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “එසේ වී නම්, ‘මහරජානෙනි, ‘ඌහා නම් ගංගාතෙම නැතැ” යි කීසේක. “ඇත, ස්වාමීනි, එනම් ගංගාවක් කිසි සේත් මා විසින් ඌහා නදිය නුදුටුයේ නමුත් මාගේ පියානන් විසින් ඌහා නදිය නො දක්නා ලද්දේ වී නමුත් එතෙකුදු වුවත් ඌහා නදීතොම ඇතැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කිසිසේත් මා විසින් භාග්‍යවතුන් වහන්සේ නො දක්නා ලද්දේ වී නමුත්, මාගේ ආචාර්යයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ නො දක්නා ලද්දේ වී නමුත්, එතෙකුදු වුවත් භාග්‍යවත් වූ බුදුරජානන් (73) වහන්සේ ඇතැ” යි කීසේක. එකල රජ්ජුරුවෝ “කල්ලොසි භන්තෙ නාගසෙන” යි කියා සතුටු වූහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥයන් වහන්සේ නිරුත්තර වූසේක් දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ නිරුත්තර වූසේකැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පෙර නුදුටුවා වූ සර්වඥයන් වහන්සේ නිරුත්තර වූසේකැ’ යි කියා නුඹ වහන්සේ කෙසේ දන්නාසේක් දැ?” යි විචාළහ. “මහරජානෙනි, හේ තෙපි කුමක් නම් සිතන්නහු ද? යම් කෙනෙකුන් විසින් මහාසමුද්‍ර‍යතෙම පෙර නො දක්නා ලද්දේ වී නම්, මහරජානෙනි, මහාසමුද්‍ර‍ය වනාහි මහත් වූයේ ය. ගම්භීර වූයේ ය. අප්‍ර‍මාණ වූයේ ය. බැස එතෙර විය නො හැක්කේ ය. යම් තැනෙක්හි මේ පඤ්චමහා ගංගාවෝ නිරන්තරයෙන් සමාගමයට පැමිණෙද් ද, ඒ නදීහු කවරහු ද? “ගංගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන මේ පඤ්චමහා ගංගාවෝ ඒ මුහුද කරා පැමිණෙති. එසේ නමුත් ඒ මහාසමුද්‍ර‍යාගේ ඌන බවක් හෝ පිරෙණබවක් හෝ නො ම දැනෙන්නේ ය. නො පෙණෙන්නේ ය’ යි කියා සමුද්‍ර‍ය නුදුටු ඒ ජනයෝ දනිද් දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, දනිති” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම පිරිනිවියා වූ මහානුභාව සම්පන්න වූ ශ්‍රාවකයන් වහන්සේලා දැක අප භාග්‍යවත් බුදුරජානන් වහන්සේ අනුත්තර වූසේකැ යි කියා දනිමි” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අති දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥයන් වහන්සේ නිරුත්තර වූසේකැ යි කියා දැන ගන්ට හැකි වේ දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ නිරුත්තර වූසේකැ යි කියා දැන ගන්ට හැකි වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥයන් වහන්සේ අනුත්තර වූසේකැ” යි කියා කෙසේ නම් දැන ගන්ට හැකි වේදැ?” යි කීහ. “මහරජානෙනි, පෙර වූ දෙයක් කියමි:- පළමු තිස්ස නම් තෙරණු කෙනෙක් මේ නුවර ලියනාචාර්ය වූසේක. දැන් කාලක්‍රියා කරණ ලද ඕහට බොහෝ වූ අවුරුදු ගණනක් ඉකුත් විය. ඒ තෙරුන් වහන්සේ කෙසේ දැනෙන්නාහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, උන්වහන්සේගේ අකුරු ලියමන කරණ කොට ගෙණ දැන ගණුම්හ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක්තෙම ධර්මය දකී නම්, ඒ පුරුෂතෙම ‘භාග්‍යවත් බුදුරජානන් වහන්සේ නිරුත්තර වූසේකැ’ යි කියා දන්නේ ය. “මහරජානෙනි, ධර්මය වනාහි අප භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලද්දේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍ර‍ශංසා කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ විසින් සද්ධර්මයතෙම දක්නා ලද්දේ දැ?” යි කීහ. “මහරජානෙනි, නො දක්නා ලද මාර්ගයෙක් වී නම් කෙසේ හැසිරෙණු ලැබේ ද? බුදුරජානන් වහන්සේ විසින් දෙශනා කරණ ලද නෙන්ති නම් වූ විනය ධර්මදෙශනායෙහි ද, බුදුන් විසින් පණවන ලද ශික්ෂාපදප්‍ර‍ඥප්තියෙහි ද ශ්‍රාවකයන් විසින් දිවිහිමියෙන් හැසිරිය යුතු නො වේ දැ” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමිනි, නාගසෙනයන් වහන්ස, මේ ආත්මභාවය අන් තැනකට යන්නේත් නැත. අන් තැනක (74) උපදින්නේත් ඇද්දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, අන් තැනකට යන්නේත් නැත. අන් තැනක උපදිනවාත් ඇතැ” යි වදාළසේක. “ස්වාමීනි, ‘අන් තැනකට නො යන්නේත් අන් තැනක උපදින්නේත් කෙසේ දැ’ යි උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසි යම් පුරුෂයෙක් තෙම ප්‍ර‍දීපයකින් ප්‍ර‍දීපයක් දල්වා ගත්තේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ ප්‍ර‍දීපය අනික් ප්‍ර‍දීපය කෙරෙන් නික්ම ආයේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ කය යන්නේත් නැත. අන් තැනක උපදිනවාත් ඇතැ” යි කීසේක. “ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, ලදරු වයස් ඇත්තා වූ තෙපි ශාස්ත්‍ර‍ උගන්නා වූ ශ්ලෝකාචාරීන්ගේ සමීපයෙහි කිසියම් ශ්ලෝකයක් උගන්නා ලද්දේ නො වේ ද? ඒ දන්නහු දැ?” යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, දන්නෙමි” යි කීහ. ‘කිමෙක් ද? මහරජානෙනි, ඒ ශ්ලෝකයතෙම ගුරුන් කෙරෙන් නික්ම ආයේ දැ?” යි විචාළසේක. “නැත; ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ආත්මභාවය අන් තැනකට යන්නේත් නො වෙයි. අන් තැනක ප්‍ර‍තිසන්ධිග්‍ර‍හණය කරන්නේත් ඇතැ” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වෙදගු නම් ආත්ම සංඛ්‍යාත ප්‍රාණජීවයෙක් ලැබේ දැ?” යි විචාළෝ ය. එකල තෙරුන් වහන්සේ “මහරජානෙනි, පරමාර්ථ වශයෙන් වනාහි වෙදගු නම් ආත්මකෙනෙක් නො ලැබෙති” යි කීසේක. එවිටත් රජ්ජුරුවෝ කල්ලොසි භන්තෙ නාගසෙන” යි කියා ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සත්වයෙක් තෙම මේ නාමරූපශරීරයෙන් අනික් ශරීරයකට යේ ද, එබඳු වූ කිසි සත්වයෙක් ඇද් දැ?” යි කීහ. “නැත මහරජානෙනි,” යි කීසේක. “ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ශරීරයෙන් අනික් ශරීරයකට යන්නා වූ සත්වයෙක් නැත් නම්, සත්වතෙම පාපකර්මයෙන් මිදෙන ලද්දේ වන්නේ නො වේ දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, ඉදින් අනික් තැනක නො පිළිසිඳ ගන්නේ වී නම් පාපකර්මයෙන් මිදෙන ලද්දේ වෙයි. මහරජානෙනි, යම් හෙයකින් අනික් තැනක පිළිසිඳ ගන්නේ ද, එහෙයින් අකුශල කර්මයෙන් නො මිදෙන ලදැ” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසි යම් පුරුෂයෙක් තෙම අන්‍යතරපුරුෂයෙකුගේ අඹ සොරකම් කෙළේ වී නම්, කිමෙක් ද, ඒ පුරුෂතෙම වධප්‍රාප්ත වේ දැ?” යි විචාළ සේක. “එසේ ය, ස්වාමීනි, වධප්‍රාප්ත වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ අඹ ස්වාමියා විසින් යම් අඹබීජකෙනෙක් රොපණය කරණ ලද ද, ඒ අඹබීජයන් ඒ අඹ සොර පුරුෂතෙම නො ම සොරකම් කෙළේ ය. කුමක් නිසා වධප්‍රාප්ත වන්නේ දැ?” යි විචාළසේක. “හැයි, ස්වාමීනි, ඒ පෙර රොපණය කළ අඹඇට නිසා ඒ පසු ව පල ගත් අඹ උපන්නේ ය. ඒ නිසා සොරතෙම වධප්‍රාප්ත වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ නාමරූපයෙන් ශොභන වූ කුශලයක් හෝ අශොභන වූ අකුශලයක් හෝ යම් කර්මයක් කෙළේ වී නම්, ඒ කර්මයෙන් අනික් නාමරූපයක් (75) පිළිසිඳ ගන්නේ ය. එසේ හෙයින් පාපකර්මයෙන් නො මිදෙන ලද්දේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “කල්ලොසි භන්තෙ නාගසෙන” යි කියා ස්තුති කළහ.

තවත් ප්‍ර‍ශ්නයක් අසනු කැමති රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ නාමරූපයෙන් කුශලකර්මයක් හෝ අකුශලකර්මයක් හෝ කරණ ලද ද, ඒ කුශලාකුශලකර්මයෝ කො තැන්හි සිටින්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඒ කුශලාකුශලකර්මයෝ පහ ව නො යන්නාහු ඡායාව මෙන් කැටු ව ම යන්නාහු ය” යි කීසේක. “ස්වාමීනි, ඒ කුශලාකුශලකර්මයෝ වනාහි මෙතැන්හි හෝ මෙතැන්හි හෝ සිටින්නාහු ය” යි කියා දක්වන්නට හැකි වේ දැ?” යි කීහ. “මහරජානෙනි, ඒ කුශලාකුශලකර්මයෝ මෙතැන්හි හෝ මෙතැන්හි හෝ සිටින්නාහු ය” යි කියා දක්වන්නට නො හැක්කේ ය” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, හේ තෙපි කුමක් නම් සිතන්නහු ද? නො හට ගත් ඵල ඇති යම් මේ වෘක්ෂජාතියෙක් ඇද් ද, ඔවුන්ගේ ඵලයෝ ම මේ මේ තැන ඇතැ යි කියා ඒ හට නො ගත් ඵලයන් දක්වන්නට හැකි වේ දැ?” යි කීසේක. “ස්වාමීනි, එසේ නො හැක්කේ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො සිඳී පවත්නා සංසාරවෘත්ති සංඛ්‍යාත සන්තතියෙහි ඒ කුශලාකුශලකර්මයෝ මෙතැන මෙතැන සිටින්නාහු ය යි කියා ඒ කුශලාකුශලකර්මයන් දක්වන්නට නො හැක්කේ ය”යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් යම් තැනෙක උපදනේ වී නම් එතෙම ‘මම උපදිමි’ යි කියා දන්නේ දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, යමෙක් උපදනේ වී නම්, එතෙම ‘මම උපදිමි’ යි කියා දන්නේ ය” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ සීසා ගොවිතැන් කරණ ගෘහපතියෙක් තෙම පෘථිවියෙහි වී වපුට යහපත් කොට වැසි වස්නා කල්හි ධාන්‍ය සංඛ්‍යාත වී උපදනේ ය යි කියා දනී දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, දන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් උපදනේ වී නම්, එතෙම ‘මම උපදින්නෙමි’ යි කියා දන්නේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි කියා ප්‍ර‍ශංසා කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥයන් වහන්සේ ඇත්තාහු ම දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ ඇතැ” යි කීසේක. එසේ වී නම් “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේගේ සර්වඥයන් වහන්සේ මේ මේ තැන හිඳිනාසේකැයි කියා මට දක්වා පියන්නට හැකි වේ දැ” යි කීහ. “මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ අනුපාදිශෙෂ වූ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පා වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ මෙතැන මෙතැන ය යි කියා දක්වන්නට නො පිළිවනැ” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, හේ කුමක් සිතන්නහු ද? දිලියෙමින් ඇවිළෙන්නා වූ මහත් වූ අග්නිස්කන්ධයාගේ විනාසයට ගියා වූ යම් ගිනිදළුවක් ඇද් ද, ඒ මුදුන් ගිනිදළුව මෙතැන හෝ මෙතැන හෝ සිටින්නේ ය යි කියා දක්වන්නට හැකි වේ දැ?” යි (76) විචාළසේක. “නො හැක්ක ස්වාමීනි, ඒ ගිනිදළුව නිරුද්ධ ව අදර්ශනයට -එනම් පුවත නැති බවට යන ලදැ”යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප භාග්‍යවතුන් වහන්සේ අනුපාදිශෙෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළසේක. සංසාර නමැති අස්තගිරිපර්වතය ගෙවා වැඩි සේක. භාග්‍යවත් සර්වඥයන් වහන්සේ ‘මෙතැන මෙතැන’ යි කියා දක්වන්නට නො හැක්කේ ය. මහරජානෙනි, චතුර්වෛශාරද්‍ය ඥානාදි වූ ධර්මකාය කරණ කොට ගෙණ වනාහි භාග්‍යවතුන් වහන්සේ ය යි කියා දක්වන්නට හැකි වන්නේ ය. මහරජානෙනි, සද්ධර්මය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලද්දේ ය” යි කීසේක. ඒ අසා රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස අතිදක්ෂ වූසේකැ” යි කියා ස්තුති කළහ.

සකලජනමනොනන්දනීය වූ මේ මිලින්දප්‍ර‍ශ්න නම් වූ ශ්‍රී සද්ධර්මාදාසයෙහි පස්වන වර්ගය නිමියේ ය.