ද්‍වෙගතිප්‍ර‍ශ්නය

(320) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘යමෙක් ගෘහස්ථභූමියෙහි දී ම රහත්ඵලයට පැමිණියේ වී නම්, එදවස් ම ඔහු පැවිදි වන්නේ හෝ ය. පිරිනිවන් පාන්නේ හෝ ය. ඕහට මේ ගතිහු දෙකෙක් ම වන්නාහ. අනික් ගතියෙක් නැත්තේ ය. ඒ රහත් වූ දවස ගෘහස්ථභූමියෙහි ම සිට අතික්‍රාන්ත කරන්නට නො හැක්කේ ය’ යි කියා නුඹ වහන්සේ වදාරණ සේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් ඒ ගෘහස්ථභූමියෙහි දී රහත් වූ පුද්ගලතෙම ඒ රහත් වූ දවස්හි ම කර්මවාක්‍යය කියන ආචාර්යයක්හු හෝ සිවුරු නිස දෙන උපාධ්‍යායයක්හු හෝ පාත්‍ර‍ය හා තුන්සිවුරු හෝ නො ලැබුනේ වී නම්, කිමෙක් ද, ඒ රහතන් වහන්සේ තෙමේ ම පැවිදි වනසේක් ද? දවස අතික්‍රාන්ත කරණසේක් ද? සෘද්ධි ඇති රහතන් වහන්සේ කෙනෙක් හෝ අවුත් ඔහු පැවිදි කරවා වදාරණසේක් ද? නොහොත් පිරිනිවන් පානාසේක් දැ?” යි විචාළෝ ය.

“මහරජානෙනි, ඒ රහතන් වහන්සේ තෙමේ ම පැවිදි නො වනසේක. තෙමේ ම පැවිදි වීමෙන්[1] ලිංගත්ථෙනභාවයට පැමිණෙන්නේ ය. එහෙයින් පැවිදි නො වනසේක. දවස ද අතික්‍රාන්ත නො කරණසේක. අනික් රහතන් වහන්සේ කෙනෙකුන්ගේ ආගමනයක් වන්නේ හෝ ය. නොහොත් නො වූයේ වී නම්, එදවස් ම පිරිනිවන් පානසේකැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමක් කරණ කොට ගෙණ පැමිණියා වූ රහත්ගුණය ජීවිතය නැසීම පිණිස වේ ද, ඒ කාරණයෙන් රහතන් වහන්සේගේ සත්පුරුෂගුණභාවය පහවන ලද වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ගිහිවෙශය විෂම වූයේ ය. විෂම වූ වෙශයෙහි වෙශයාගේ දුර්වල බැවින් රහත් වූ ගෘහස්ථතෙම එදවස්හි ම පැවිදි වන්නේ හෝ ය. පිරිනිවන් පාන්නේ හෝ ය. මහරජානෙනි, මේ දොෂය රහතන් වහන්සේගේ නො වන්නේ ය. ගිහිවෙශයාගේ දුර්වල බැවිනැ යි කියා මේ ගිහිවෙශයාගේ මේ දොෂය නම් වන්නේ ය. මහරජානෙනි, යම් සේ සකල සත්වයන්ගේ ආයු පාලනය කරන්නා වූ සාලිමංසාදිභොජනය ජඨරාග්නිය මඳ ව දුර්වලග්‍ර‍හණික වූ විෂම වූ කුක්ෂියගේ ආහාරය නො පැසීමෙන් ජීවිතය නස්නේ ද, මහරජානෙනි, මේ දොෂය භොජනයාගේ නො වන්නේ ය. මේ දොෂය මන්දාග්නි වූ කුක්ෂියගේ වන්නේ ය. (එනම්[2]) ජඨරාග්නිය දුර්වලබව ය. මහරජානෙනි, එපරිද්දෙන් ම විෂම වූ වෙසයෙහි වෙසයාගේ දුර්වල බැවින් රහත්ඵලයට පැමිණි ගෘහස්ථ තෙම එදවස්හි ම පැවිදි වන්නේ ය. නොහොත් පිරිනිවන් පාන්නේ ය. මහරජානෙනි, මේ දොෂය රහතන් වහන්සේගේ නො වන්නේ ය. මේ දොෂය ගිහිවෙශයාගේ ම ය. (එනම්)[3] ගිහිවෙසයාගේ දුර්වල බව ය. තවද, මහරජානෙනි, යම් සේ ස්වල්ප වූ තෘණසලාකාසංඛ්‍යාත හුණු ලෑල්ලක් මත්තෙහි මහත් වූ ගලක් තැබූ කල්හි දුර්වල බැවින් බිඳී වැටෙන්නේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම රහත්ඵලයට පැමිණි ගෘහස්ථතෙම ඒ ගෘහස්ථවෙශයෙන් රහත්භාවය ධරන්ට නො හැකි ව එදවස්හි ම පැවිදි වනසේක. නොහොත් පිරිනිවන් පා වදාරණසේක.

(321) “තවද, මහරජානෙනි, යම් සේ ශරීරබලයක් නැති බැවින් අබල වූ පිරිස්බලයක් නැති බැවින් දුර්වල වූ රාජබ්‍රාහ්මණ ගොත්‍ර‍ නො වන බැවින් හීනජාති ඇත්තා වූ පෙර කළ මහත් වූ පිණක් නැති බැවින් මඳ පින් ඇත්තා වූ පුරුෂයෙක්තෙම මහත් වූ රාජ්‍යසම්පත්තියක් ලැබ ක්ෂණයකින් ම නො බෝ කලකින් ම එයින් පිරිහෙන්නේ ය, නසින්නේ ය, පසු බසින්නේ ය, ඒ රාජඉසුරු ධරන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අර්හත්ඵලයට පැමිණියා වූ ගෘහස්ථතෙම ඒ ගිහිවෙශයෙන් රහත්භාවය ධරන්ට නො හැකි වනසේක. ඒ කාරණයෙන් එදවස්හි ම පැවිදි වනසේක. නැතහොත් පිරිනිවන් පා වදාරණ සේකැ” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නයත් මම එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

ද්වෙගතිප්‍ර‍ශ්නය නිමි.

  1. වෙමින්

  2. හේ කවරේද යත්

  3. මෙහි ‘යදිදං යන නිපාතයෙන් හේ කවරේ ද යන අර්ථය’ යන පාඨයක් පෙණේ. ‘යදිදං’ යනු ‘යං’ ඉදං’ යන නාම පද දෙකයි ‘යම් මේ පනු එහි අර්ථ යි.