“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රහතන් වහන්සේගේ සිහි මුළා වීමෙක් ඇද්ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, රහතන් වහන්සේලා පහ වූ සතිසම්මොස ඇතිසේක්ලා ය. රහතන් වහන්සේලාගේ සිහි මුළා වීමෙක් නැතැ” යි වදාළසේක. “ස්වාමීන් වහන්ස, රහතන් වහන්සේ ආපත්තියට පැමිණ වදාරණසේක් දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජ, පැමිණෙන්නේ ඇතැ” යි වදාළසේක. “කවර වස්තුවෙක්හි දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සුගත්වියතින් දොලොස්වියතක් දිගින් හා සත්වියතක් පුළුලින් හා කුන්ථකීපිල්ලිකබීලාදි උපද්‍රවයක් නැති ගොන් යෙදූ රථය ගෙපළ වටා පැද යා හැකි උපචාරය ඇති ව, සඟුන් වඩා භූමිය දෙසා උඩින් යටින් සිතියම් කර්මාන්ත කොට තෙමේ ම තමා උදෙසා ම කරන්නා වූ (කුටිය පිළිබඳ) කුටිකාරකශික්ෂාපදයෙහි සොපද්‍රවභූමියෙහි හෝ අනුපචාරයෙහි හෝ වස්තු දෙසීමට සඟුන් නො එළවා හෝ වදාළ තාක් ප්‍රමාණයෙන් මඳක් වඩා හෝ සංයාචික කුටිය කරන්නා වූ රහතන් වහන්සේ අවිත්තකසමුට්ඨාන හෙයින් කුටිකාරකසංඝාදිසෙසාපත්තියට පැමිණෙනසේක. මහරජානෙනි, ස්ත්‍රීපුරුෂ දෙදෙනාගෙන් අභිප්‍රාය ගෙණ ඔබිනොබ කියා හැසිරීමෙන් වන්නා වූ ඡසමුට්ඨානික වූ සංචරිත්තසංඝාදිසෙසාපත්තිය කයිනුත් නඟින්නේ ය, වචනයෙනුත් නඟින්නේ ය, කායවචනයෙනුත් නඟින්නේ ය, කායචිත්තයෙනුත් නඟින්නේ ය, වාචාචිත්තයෙනුත් නඟින්නේ ය, කායවාචාචිත්තයෙනුත් නඟින්නේ ය. එහෙයින් වදාළ ප්‍රඥප්තිය නො දන්නා වූ රහතන් වහන්සේටත් කායවාචාසමුට්ඨානයෙන් ආපත්තිය නඟින්නේ ය. රහතන් වහන්සේගේ මවුපියදෙදෙන කලහ වඩා වෙන් ව පලා ගියාහු වෙද් ද, එකල රහතන් වහන්සේ පියානන් නිසා ගෘහයට වැඩි කල ‘අනේ! ස්වාමීනි, නුඹගේ මෑනියන් වහන්සේ මහලු වූ මා හැර නෑකුලයට ගියාහ. ස්වාමීනි, මෑනියන් ලඟට ගොස් ඈ මට උපස්ථානයට එවා වදාළ මැනැවැ’ යි කීකල පියානන්ගේ වචනය ගෙණ මෑනියන් ලඟට ගොස් විමසා නැවත පියානන්ට ලඟට අවුත් මෑනියන් එන බව හෝ නො එනබව හෝ (322) කියන්නා වූ රහතන් වහන්සේ සංඝාදිසෙසාපත්තියට පැමිණෙනසේක.[1] හිරු අවර වීමෙන් විකල වූ අකාලයෙහි කාලසංඥාවෙන් ආහාරකෘත්‍යය කරන්නා වූ රහතන් වහන්සේ විකාලභොජනාපත්තියට පැමිණෙනසේක. සප්තවිධධාන්‍යයෙන් කළ බත ය. සප්තවිධධාන්‍යයන් කරණ කොට හිරු අවර වීමෙන් විකල වූ අකාලයෙහි කාලසංඥාවෙන් ආහාරකෘත්‍යය කරන්නා වූ රහතන් වහන්සේ විකාලභොජනාපත්තියට පැමිණෙනසේක. සප්තවිධධාන්‍යයෙන් කළ බත ය. සප්තවිධධාන්‍යයන් කරණ කොට බැඳ සුණු කරණ ලද යවයෙන් කළ කොමු ය. දියෙහි උපන් මස් ය, ගොඩ උපන් මස් ය යන මේ පඤ්චවිධ වූ භොජනයෙන් එකක් වළඳමින් සිටිනවිට[2] දායකයා දෙරියන්වියත් අත්පසට පැමිණ[3] පඤ්චවිධභොජනයෙන් එකක් දෙනු[4] කැමැති ව පිරිනැමූ විට[5] කායවිකාරයෙන් හෝ වචනයෙන් ප්‍රතික්ෂෙප කිරීම ය යන මේ පඤ්චාංගයෙන් පවාරණය වූ කල්හි අප්පවාරිතසංඥාවෙන් යම්කිසි භොජනයක් වළඳන්නා වූ රහතන් වහන්සේ පාචිත්තියාපත්තියට පැමිණෙනසේක. සුශීලභික්ෂුනමක් ලඟ උක්කුටුකයෙන් ඇඳිලි බැඳ හිඳ ‘න පුනෙවං කරිස්සාමි’ යන දෙසනා සුද්ධිවාක්‍යය දෙසා ආපත්තියෙන් මිදෙන්නේ ය. උදය පවාරණ ව කිසිවක් නො වැළඳිය යුතු ව සිට සප්තවිනය කර්මයෙන් කැප කළ අතිරිත්තභොජනයෙහි පඤ්චවිධ වූ ශ්‍රමණව්‍යවහාර කප්පියයෙන් කැප කරණ ලද්දා වූ භික්ෂූහු විසින් පිළිගෙණ කරණ ලද්දා වූ, කැප කරවා ගැණීමට ආ භික්ෂූන් වහන්සේ ලවා භාජනය මඳක් නඟවා හෝ ඇලයකට නම්වා කරණ ලද්දා වූ, කැප කරවා ගැණීමට ආ භික්ෂූන් වහන්සේගේ අත්පසින් ඇතුළත සිටියාහු විසින් කරණ ලද්දා වූ, කැප කරණ භික්ෂූන් වහන්සේ විසින් පවාරණය වීමට සෑහෙන භොජනයක් වළඳන ලදු ව කරණ ලද්දා වූ, අනුභව කළා වූ පවාරණ කළා වූ, ආසනයෙන් නො නැංගා වූ භික්ෂූහු විසින් කරණ ලද්දා වූ, කැප කරණ භික්ෂූන් වහන්සේ විසින් ‘අලමෙතං සබ්බං’ කියා කැප කරණ වාක්‍යය කියන ලද්දා වූ මේ සප්තවිධ වූ විනයකර්මයෙන් කැප කළ අතිරිත්තභොජනය ද ගිලන්හට ගෙණවුත් ඉතිරි වූ අතිරිත්තභොජනය දැ යි යන මේ අතිරිත්ත වූ භොජන (යෙන් අන්‍ය වූ අනතිරිත්තභොජනයක් අතිරිත්තභොජන) සංඥාවෙන් වළඳන්නා වූ රහතන් වහන්සේ පාචිත්තියාපත්තියට පැමිණෙනසේක. තමන් කෙරෙහි විද්‍යමාන වූ උත්තරීමනුෂ්‍යධර්මය අනුපසම්පන්නයක්හට කියන්නා වූ රහතන් වහන්සේ පාචිත්තියාපත්තියට පැමිණෙනසේක. ප්‍රඥප්තිය නො දන්නා වූ රහතන් වහන්සේ කායසමුට්ඨානයෙන් ද වාචාසමුට්ඨානයෙන් ද කායවාචා සමුට්ඨානයෙන් ද යන ත්‍රිවිධ අචිත්තක සමුට්ඨානයෙන් වන්නා වූ ආපත්තියට පැමිණෙනසේක” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘යම් උපසම්පන්න කෙනෙක් ආපත්තියට පැමිණෙද්ද, ඒ සඟහු ශික්ෂාපදයෙහි අනාදරයෙන් හෝ ශික්ෂාපදය නො දැනීමෙන් හෝ යන කාරණද්වයෙන් ආපත්තියට පැමිණෙන්නාහු ය’ යි කියා නුඹ වහන්සේ වදාරණසේක. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රහතන් වහන්සේ යම් ආපත්තියකට පැමිණෙනසේක් ද, එහෙයින් රහතන් වහන්සේට ශික්ෂාපදයෙහි අනාදර වේ දැ” යි විචාළෝ ය. “මහරජානෙනි, රහතන් වහන්සේට අනාදරය නො වන්නේ ය” යි වදාළසේක. “ඉදින්, ස්වාමීනි, නාගෙසනයන් වහන්ස, රහතන් වහන්සේ ආපත්තියට පැමිණෙනසේක් නම්, රහතන් වහන්සේට අනාදරයෙක් නො වේ නම්, ඒ (323) කාරණයෙන් රහතුන් වහන්සේට සිහි මුළා වීම ඇතැ” යි කීහ. “මහරජානෙනි, රහතන් වහන්සේට සිහි මුළා වීම නැත්තේ ය. රහතන් වහන්සේ ආපත්තියට පැමිණෙනසේකැ” යි වදාළසේක. “එහෙයින් ස්වාමීනි, මට කාරණයකින් අඟවා වදාළ මැනැව. එහි කාරණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ‘ක්ලේශයෝ ලොකවද්‍ය ය, ප්‍රඥප්තිවද්‍ය ය’ යි කියා දෙදෙනක. මහරජානෙනි, ඒ ලොකවද්‍යය කවරේ ද යත්- ‘ප්‍රාණඝාත අදින්නාදාන කාමමිථ්‍යාචාර මුසාවාද පිසුනාවාචා සම්ඵප්‍රලාප අභිද්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටිය යන දශඅකුශලකර්මපථයෝ මේ ලොකාවද්‍යය’ යි කියනු ලැබේ. ප්‍රඥප්තිවද්‍යය කවරේ ද? යත්- ‘ලොකයෙහි ශ්‍රමණශාක්‍ය පුත්‍රයන්ට සුදුසු නො වන්නා වූ අනුලොමි නො වන්නා වූ ගිහින්ට අනවද්‍ය වූ යමක් ඇද්ද, එහි දිවිහිමියෙන් නො ඉක්මිය යුතු ය’ යි කියා බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවා වදාළසේක.
‘විකාල භොජනං මහාරාජ ලොකස්ස අනවජ්ජං, තං සාසනෙ වජ්ජං. භූතගාමවිකොපනං මහාරාජ ලොකස්ස අනවජ්ජං, තං ජිනසාසනෙ වජ්ජං. උදකෙ හස්සධම්මං මහාරාජ ලොකස්ස අනවජ්ජං. තං ජිනසාසනෙ වජ්ජං. ඉති එවරූපානි මහාරාජ ජිනසාසනෙ වජ්ජානි. ඉදං වුච්චති පණ්ණත්තිවජ්ජං. යං කිලෙසං ලොකවජ්ජං, අභබ්බො ඛීණාසවො නං අජ්ඣාචරිතුං, යං කිලෙසං පණ්ණත්ති වජ්ජං, තං අජානන්තො ආපජ්ජෙය්‍ය’ යී.
“මහරජානෙනි, විකාලභොජනය ලොකයාහට අනවද්‍ය වන්නේ ය. ඒ විකාලභොජනය සර්වඥශාසනයෙහි සාවද්‍ය වන්නේ ය, මහරජානෙනි, තෘණවෘක්ෂාදිය විකොපනය කිරීම ලොකයාහට නිරවද්‍ය වන්නේ ය. ඒ තෘණවෘක්ෂාදිය විකොපනය කිරීම සර්වඥශාසනයෙහි සාවද්‍ය වන්නේ ය. මහරජානෙනි, උදකයෙහි සිනා කොට දිය කෙළීම ලොකයාහට නිරවද්‍ය වන්නේ ය. ඒ උදකක්‍රීඩා සර්වඥශාසනයෙහි සාවද්‍ය වන්නේ ය. මහරජානෙනි, මෙසේ මෙබඳු මෙබඳු වූ දෙය සර්වඥශාසනයෙහි සාවද්‍ය වන්නේ ය. මේ ප්‍රඥප්තිවද්‍ය ය යි කියනු ලැබේ. ලොකවද්‍ය වූ යම් ක්ලේශධර්මයක් ඇද්ද, ඒ සාවද්‍යධර්මයෙහි හැසිරෙන්නට ක්ෂීණාශ්‍රවයන් වහන්සේ අයොග්‍ය වනසේක. ප්‍රඥප්තිවද්‍ය වූ යම් ක්ලේශධර්ම කෙනෙක් ඇද්ද, ඒ ධර්මයෙහි ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නො දැන පැමිණෙනසේක. මහරජානෙනි, ශුෂ්කවිදර්ශක වූ ඇතැම් රහතන් වහන්සේ කෙනෙකුන්හට සියලු ම දෙය දැනගන්ට අවිෂය වන්නේ ය. ඒ ශුෂ්ක විදර්ශක භික්ෂූන් වහන්සේට සියල්ල දැන ගන්ට ඥානබලයක් නො ම ඇත්තේ ය. මහරජානෙනි, සර්වක්ලේශයන්ගේ සිවි නැති කොට කැඩූ ආශ්‍රවක්ෂයකරඥානය පමණක් ලද්දා වූ රහතන් වහන්සේ විසින් තමන් නො හඳුනන ස්ත්‍රීපුරුෂයන්ගේ නාමය ද ගොත්‍රය ද නො දන්නා ලද්දේ ය. ඒ රහතන් වහන්සේ විසින් පෘථිවියෙහි නො පුරුදු මාර්ගය නො දන්නා ලද්දේ ය. මහරජානෙනි, දිව්‍යඥානපූර්වෙනිවාසානුස්මෘතිඥානාදි කිසි විශෙෂයක් නැති ඇතැම් රහතන් වහන්සේ නමෙක් අර්හත්ඵල විමුක්තිය ම දන්නාසේක. කෙලෙසුන් නැසූ පමණෙක් ම ය. දිව්‍ය (324) චක්ෂුරභිඥානාදි ෂඩ්භිඥාලාභී වූ මහරහතන් වහන්සේ තමන්ගේ විෂය වූ සියලු ධර්මය දන්නාසේක. මහරජානෙනි, සර්වඥතාඥානයට පැමිණියා වූ තථාගතයන් වහන්සේ ම සියල්ල ම දැන වදාරණසේක. එහෙයින් බුදු පසේබුදු දෙදෙනා වහන්සේ ම ආපත්තියට නො පැමිණෙනසේක. සෙසු රහතන් වහන්සේ ප්‍රඥප්තිවද්‍ය වූ ආපත්තියට පැමිණෙනසේකැ” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍රශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.
අසම්මොහප්‍රශ්නය නිමි.