නිෂ්ප්‍ර‍පඤ්චප්‍ර‍ශ්නය

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, තෙපි නිෂ්ප්‍ර‍පඤ්චාරාම ව වාසය කරවු. නිෂ්ප්‍ර‍පඤ්චයෙහි ඇලි වාසය කරව්’ කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ වදාළ නිෂ්ප්‍ර‍පඤ්චය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, දෘෂ්ටිප්‍ර‍පඤ්චයෙන් විරත හෙයින් සොතාපත්තිඵලය නිෂ්ප්‍ර‍පඤ්චය නම් වන්නේ ය. සකෘදාගාමිඵලය ද නිෂ්ප්‍ර‍පඤ්චය නම් වන්නේ ය. තෘෂ්ණාප්‍ර‍පඤ්චයෙන් විරත හෙයින් අනාගාමිඵලය නිෂ්ප්‍ර‍පඤ්චය නම් වන්නේ ය. තෘෂ්ණා දෘෂ්ටි මාන ප්‍ර‍පඤ්චය යන ත්‍රිවිධ ප්‍ර‍පඤ්චයෙන් විරත හෙයින් අර්හත්ඵලය නිෂ්ප්‍ර‍පඤ්චය නම් වන්නේ ය” යි වදාළසේක. “ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සොතාපත්ති ඵලයත් නිෂ්ප්‍ර‍පඤ්චය වී නම්, සකෘදාගාමිඵලයත් නිෂ්ප්‍ර‍පඤ්චය වී නම්, අනාගාමිඵලයත් නිෂ්ප්‍ර‍පඤ්චය වී නම් රහත්ඵලයත් නිෂ්පප්‍ර‍පඤ්චය වී නම්, කුමක් පිණිස වනාහි මේ ශාසනගත වූ භික්ෂූන් වහන්සේලා බුදුන් වදාළ ‘සූත්‍ර’ නම් ධර්මයක් ඇද් ද, ‘ගෙය්‍ය’ නම් ධර්මයක් ඇද්ද, ‘වෙය්‍යාකරණ’ නම් ධර්මයක් ඇද්ද, ‘ගාථා’ නම් ධර්මයක් ඇද්ද, ‘උදාන’ නම් ධර්මයක් ඇද්ද, ‘ඉතිවුත්තක’ නම් ධර්මයක් ඇද්ද, ‘ජාතක’ නම් ධර්මයක් ඇද්ද, යම් ‘අබ්භූත’ නම් ධර්මයක් ඇද්ද, ‘වෙදල්ල’ නම් ධර්මයක් ඇද්ද යන මේ නවාංගශාස්තෘශාසනය වාචුග්ගත කොට හදාරණසේක්ලා ද, එහි අර්ථ විචාරණසේක්ලා ද, කුමක් පිණිස දානයෙන් ද පූජාසත්කාර කරණයෙන් ද ඛණ්ඩුඵුල්ලපටිසංඛරණ (318) යෙන් ද නවකර්මාන්තයෙන් ද පලිබොධය වනසේක්ලා ද, ඒ භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේ විසින් ප්‍ර‍තික්ෂෙප කරණ ලද්දා වූ කට යුතු කරන්නාහු නො වෙත් දැ” යි කීහ. “මහරජානෙනි, ඒ ශාසනගත වූ යම් භික්ෂුකෙනෙක් සූත්‍ර‍ ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූත ධර්ම ය, වෙදල්ල ය යන නවාංගශාස්තෘශාසනය හදාරද්ද, අර්ථ විචාරත් ද, දානයෙන් ද, පූජායෙන් ද, ඛණ්ඩඵුල්ලපටිසංඛරණාදි නවකර්මයෙන් ද පලිබොධය වෙද්ද, ඒ සියලු ම භික්ෂූන් වහන්සේලා රහත්ඵලයට පැමිණීම පිණිස ම ඒ කට යුතු කරන්නාහු ය. මහරජානෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් ස්වභාවයෙන් ම පිරිසිදු වූ පූර්වයෙහි කරණ ලද වාසනා ඇත්තාහු ද, ඒ අල්පරජස්කයෝ එක ම චිත්තක්ෂණයෙහි ම රහත් වෙති. යම් ඒ භික්ෂුකෙනෙක් මන්දභාග්‍ය ඇත්තාහු ද, ඒ මහාරජස්කයෝ මේ බණ භාවනාදි ප්‍රයොගයෙන් ක්‍ර‍මයෙන් ම රහත් වෙති. මහරජානෙනි, යම් සේ එක් පුරුෂයෙක්තෙම ක්ෂේත්‍රයෙහි බිජු වපුට රොපණය කොට තමාගේ යථාබල වූ වීර්යයෙන් ක්ෂේත්‍ර‍ය වටා පෙර කළ අගල් ඉවුරු ඇති බැවින් අළුත් ප්‍රාකාරයක් හෝ වැටක් හෝ නැති ව ම සැප සේ ම ධාන්‍යයන් නඟා ගන්නේ ය. එහි යම් හෙයකින් ධාන්‍යය ගැණීම පිණිස ඒ අලසපුරුෂයාගේ ඒ වතිප්‍රාකාරයන් සෙවීමක් අමුතුවෙන් නැත්තේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ස්වභාවයෙන් ම පරිශුද්ධ වූ යම් ඒ භික්ෂු කෙනෙක් පූර්වයෙහි කරණ ලද වාසනා ඇත්තාහු ද, ඒ ඛිප්පාභිඤ්ඤ භික්ෂූන් වහන්සේලා එක චිත්තක්ෂණයෙන් ම වතිප්‍රාකාර නැති ව සැප සේ වී නඟා ගන්නා පුරුෂයා මෙන් රහත් වන්නාහු ය. යම් ඒ භික්ෂු කෙනෙක් බලවත් වූ රාගාදිකෙලෙස් ඇත්තාහු ද, ඒ මහාරජස්කයෝ මේ ප්‍රයොගයෙන් ගොස් වතිප්‍ර‍කාර කොට ධාන්‍ය නඟා ගන්නා පුරුෂයා මෙන් රහත් වන්නාහු ය. තවද, මහරජානෙනි, යම් සේ මහත් වූ ආම්‍ර‍ වෘක්ෂයක් මස්තකයෙහි මහත් ඵලපිණ්ඩයෙක් වී නම්, එකල ඒ අඹ කැමැත්තා වූ යම් කිසි අහසින් යන සෘද්ධිමත් කෙනෙක් අවුත් ඒ වෘක්ෂයාගේ ඵලය සැප සේ ගෙණ යන්නේ ය. එතැනට සෘද්ධියක් නැති කිසිවෙක් ආයේ වී නම්, එතෙම වනයෙන් දඬුවැල් කපා ගෙණවුත් හිණිමඟක් බැඳ ගෙණ එයින් රුකට නැඟී ඵල කඩා ගෙණ යන්නේ ය. ඵල ග්‍ර‍හණය පිණිස ඒ සෘද්ධිමත්හුගේ යම් ඒ නිස්සෙණි සෙවීමක් නැත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ස්වභාවයෙන් ම පිරිසිදු වූ අංගුලිමාලමහාකාශ්‍යප ස්ථවිරාදි වූ යම් ඒ භික්ෂු කෙනෙක් ඇද්ද, පූර්වයෙහි කරණ ලද වාසනා ඇත්තාහු ද, ඒ ඒ උත්තමයෝ එකචිත්තක්ෂණයෙන් ම අඹරුකින් ඵල ගෙණ යන්නා වූ සෘද්ධිමතුන් වහන්සේ මෙන් මාර්ගඵලසමංගීහු වෙති. යම් ඒ භික්ෂු කෙනෙක් බලවත් වූ කෙලෙස්රජස් ඇති බැවින් මහාරජස්ක වූ ද ඒ භික්ෂූහු මේ ප්‍රයොගයෙන් නිස්සෙණියෙන් අඹරුකකට නැඟී අඹ නෙළා ගෙණ ගිය පුරුෂයා මෙන් චතුස්සත්‍යධර්මයන් අභිසමය කරන්නාහු ය.

“තවද, මහරජානෙනි, යම් සේ ස්වාර්ථසිද්ධිකාරක වූ එක් යොධ පුරුෂයෙක් තමාගේ ස්වාමිපුරුෂකෙනෙකුන්ගේ කිසි කට යුත්තක් පැමිණි කල්හි තෙමේ එකලා ව ම ගොස් ඒ ස්වාමිපුරුෂයාගේ අර්ථය සිද්ධ කරන්(319) නේ ය. එසේ ම අසමර්ථ වූ ධනවත් වූ එක් පුරුෂයෙක් ධනය වශයෙන් පිරිස වඩා ගෙණ ඒ පිරිස ලවා පැමිණි අර්ථය සිද්ධ කරවා ලන්නේ ය. පැමිණි අර්ථය සිද්ධ කිරීම පිණිස ඒ යොධපුරුෂයාගේ යම් ඒ පිරිස් රැස් කිරීමෙක් නැත්තේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්ෂුකෙනෙක් ස්වභාවයෙන් ම පිරිසිදුහු ද, පෙර කරණ ලද වාසනා ඇත්තාහු ද, ඒ අල්පරජස්කයෝ පමා නො වී එක චිත්තක්ෂණයෙන් ම එකලා ව ම, අර්ථසිද්ධිය රැස් කරන්නා වූ පුරුෂයා මෙන්, ෂඩ්අභිඥායෙහි වසීභාවයට පැමිණෙන්නාහු ය. යම් ඒ භික්ෂුකෙනෙක් මහාරජස්ක වූ ද, ඒ මහාරජස්කයෝ මේ ප්‍රයොගයෙන්, පිරිස ලවා අර්ථ සිද්ධිය කරවන්නා වූ පුරුෂයා මෙන් ශ්‍රාමණ්‍යාර්ථය සාධන්නාහු යි. මහරජානෙනි, පෙළපාළිය සකසා හැදෑරීම ද බොහෝ උපකාර ඇත්තේ ය. එම පෙළ අර්ථ ඇසීම ද බොහෝ උපකාර ඇත්තේ ය. ඛණ්ඩපුල්ල පටිසංඛරණානි නවකර්මය ද බොහෝ උපකාර ඇත්තේ ය. ආමිසදාන ධර්මදාන ශබ්දදානය ද බොහෝ උපකාර ඇත්තේ ය. රත්නත්‍රයෙහි පූජා සත්කාරකරණය ද බොහෝ උපකාර ඇත්තේ ය. ඒ ඒ කට යුත් කෘත්‍යයෙහි බොහෝ වූ ආනිසංස ඇත්තේ ය. මහරජානෙනි, යම් සේ රජ්ජුරුවන් සේවනය කරන්නා වූ අමාත්‍ය යොධ භට බල ප්‍ර‍ධානික දොරටුපාල රජගෙය රක්නා අනීකට්ඨ පාරිෂද්‍යජනයා අතුරෙන් හැමට වඩා රජ්ජුරුවන්ගේ සිත සේ රාජසෙවනය කරන්නා වූ පුරුෂයෙක් වී නම්, ඒ රාජකාරුණිකපුරුෂයාහට යම් කට යුත්තක් පැමිණි[1] කල්හි ඒ අමාත්‍ය යොධ භට බල ප්‍ර‍ධානිකාදි සියල්ලෝ උපකාර වන්නාහු ය. ආදර වන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ ඒ කට යුතු අතුරෙන් පෙළපාළිය හැදෑරීමත් බොහෝ උපකාර ඇත්තේ ය. අර්ථ විචාරීමත් බොහෝ උපකාර ඇත්තේ ය. නවකර්මයත් බොහෝ උපකාර ඇත්තේ ය. දන් දීමත් බොහෝ උපකාර ඇත්තේ ය. පූජාසත්කාරත් බොහෝ උපකාර ඇත්තේ ය. මහරජානෙනි, ඉදින් සියල්ලෝ ම ස්වභාව ජාතියෙන් ම පිරිසිදු වන්නාහු නම්, අනුශාසක වූ බුදුන්ගෙනුත් කට යුත්තක් නො වන්නේ වේ ද? මහරජානෙනි, යම් හෙයකින් සද්ධර්ම ශ්‍ර‍වණයෙන් කට යුත්තෙක් වන්නේ ම ය. මහරජානෙනි, අපරිමිත අසංඛ්‍යගණන් කල්ප පටන් රැස් කරණ ලද දානශීලාදි කුශලමූලයන් ඇත්තා වූ ප්‍ර‍ඥාවෙහි කෙළ පැමිණියා වූ ශාරිපුත්‍ර‍ මහාථෙර සාමීන් වහන්සේ ද තමන් වහන්සේ පවා ආශ්‍ර‍වක්ෂයකට පැමිණීමට සද්ධර්මශ්‍ර‍වණය හැර නො හැකි වූසේක. මහරජානෙනි, එසේ හෙයින් සද්ධර්මශ්‍ර‍වණය බොහෝ වූ උපකාර ඇත්තේ ය. එසේ ම පෙළ හැදෑරීම ද අර්ථ විචාරීම ද බොහෝ වූ උපකාර ඇත්තේ ය. එහෙයින් උද්දෙසපරිපුච්ඡාතොම ද නිෂ්ප්‍ර‍පඤ්ච සංඛ්‍යාත වූ අසංඛතධර්මයෙකැ” යි වදාළසේක.

“සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍ර‍ශ්නය තෙම නුඹ වහන්සේ විසින් මනා කොට ම චින්තනය කරණ ලද්දේ ය. මෙසේ මේ ප්‍ර‍ශ්නයත් එසේ පිළිගන්නෙමි” යි කීහ.

නිෂ්ප්‍ර‍පඤ්චප්‍ර‍ශ්නය නිමි.

  1. පැමිණෙන්නේ