උදකප්‍රාණිප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සීතොදකය ගින්නෙන් තවන කල්හි බොහෝ කොට චිට්විටායන ශබ්ද වන්නේ ය. චිටිචිටායන ශබ්ද වන්නේ ය. තව තවත් කුදුමහත් ශබ්ද වන්නේ ය. කිමෙක් ද, ස්වාමීනි, නාග(314) සෙනයන් වහන්ස, උදකය ප්‍රාණය සහිත ව ජීවත් වන්නේ ද? කිමෙක් ද? කෙළිමින් ශබ්ද වන නිසා ද? නොහොත් අනික් කෙනෙකුන් විසින් පීඩිත කරණ ලද්දේ ශබ්ද කෙරේ ද?” යි විචාළහ. “මහරජානෙනි, උදකය ජීවත් නො වන්නේ ය. උදකයෙහි ජීවිතයෙක් හෝ ප්‍රාණයෙක් හෝ නැත්තේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් අග්නිසන්තාපවෙගයාගේ මහත් බැවින් උදකය චිට්චිටායන ශබ්ද වන්නේ ය. චිටිචිටායන ශබ්ද වන්නේ ය. වෙනත් බොහෝ ශබ්ද වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකයෙහි සමහර මිථ්‍යාදෘෂ්ටික කෙනෙක් ‘උදකය ජීවත් වන්නේ ය’ යි කියා ප්‍රාණඝාත භයින් සිහිල්පැන් ප්‍ර‍තික්ෂෙප කොට පැන් හුණු කරවා ගෙණ හුණුහුණුයෙන් අනුභව කරන්නාහු ය. ඒ මිථ්‍යාදෘෂ්ටීහු නුඹ වහන්සේලාට ‘අහෝ! ශ්‍ර‍මණ භවත් ගෞතමයන්ගේ ශ්‍ර‍මණශාක්‍යපුත්‍රයෝ ප්‍රාණජීවය පමණින් එකින්ද්‍රිය වූ ජීවය නසන්නාහු ය’ යි කියා ගර්හා කරන්නාහු ය. නින්දා කරන්නාහු ය. ඒ මිථ්‍යාදෘෂ්ටීන්ගේ ගර්හාව, නින්දා කිරීම දුරු කර වදාළ මැනව. පහ කර වදාළ මැනැව. හරවා වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, උදකය ජීවත් නො වන්නේ ය. මහරජානෙනි, උදකයෙහි ප්‍රාණජීවයෙක් හෝ සත්වයෙක් හෝ නැත්තේ ය. චිට්චිටායන ශබ්ද වන්නේ ය. චිටිචිටායන ශබ්ද වන්නේ ය. තවත් බොහෝ ශබ්ද වන්නේ ය” යි වදාළසේක.

“තවද, මහරජානෙනි, යම් සේ හෙප් විල් නදී දහ තළාක කන්දර පැළී[1] විවර වූ ද පදර හා ලිං හෝ පොකුණු ගත වූ උදකය වාතාතපවෙගයා ගේ මහත් බැවින් පෘථිවියෙහි ව්‍යාප්ත වන්නේ ය. සිඳී යන්නේ ය. ක්ෂය වන්නේ ය. කිමෙක් ද? හෙප් සර සරිතාදියෙහිත් උදකය චිට්චිටායන ශබ්ද වේ ද? චිටිචිටායන ශබ්ද වේ ද? වෙනත් බොහෝ ශබ්ද වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “ඉදින් මහරජානෙනි, උදකය ජීවත් ව ප්‍රාණය ඇති කෙනෙක් වී නම්, ඒ හෙප් සර නදී ආදියෙහිත් උදකය ශබ්ද වන්නේ ය. මහරජානෙනි, මේ කාරණයෙනුත් තෙපි දැන ගණුව. උදකයෙහි ජීවයෙක් හෝ සත්වයෙක් හෝ නැත්තේ ය. අග්නි සන්තාපවෙගයාගේ මහත් බැවින් උධකය චිට්චිටායන ශබ්ද වන්නේ ය. චිටිචිටායන ශබ්ද වන්නේ ය. වෙනත් බොහෝ වූ ශබ්ද වන්නේ යි. තවද, මහරජානෙනි, අනිකුදු ඉතිරි කාරණයක් ඇසුව මැනව. උදකයෙහි ජීවයෙක් හෝ සත්වයෙක් හෝ නැත්තේ ය. අග්නිසන්තාපවෙගයාගේ ඉතා මහත් බැවින් උදකය ශබ්ද වන්නේ ය. මහරජානෙනි, යම් සේ උදකය යම් කලෙක සහල් හා මිශ්‍ර‍ ව භාජනගත වූයේ වේ ද, වසන ලද්දේ උදුනෙහි නො තබන ලද්දේ වේ ද, එකල්හි කිමෙක් ද, ඒ භාජනගත වූ උදකය ශබ්ද කෙරේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, ශාන්ත ශාන්ත ව අචල වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ සිහිල් උදකය ම භාජනගත කොට ගිනි දල්වා උදුනෙහි තබන ලද්දේ වේ ද, කිමෙක් ද, එහි උදකය ශාන්ත ශාන්ත ව අචල ව ම පවත්නේ දැ“ යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, කම්පා වන්නේ ය, (315) චලිත වන්නේ ය, ලෙල දෙන්නේ ය, කැළඹෙන්නේ ය, රැළ ඉපදීම වන්නේ ය, ඌර්ධ්වාධොදිශානුදිශාවට යන්නේ ය, ඉතිරෙන්නේ ය, පැතිරෙන්නේ ය, ඵෙණමාලාකුල වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස ඒ ප්‍ර‍කෘති වූ උදකය නිශ්චල වේ ද? ශාන්ත ශාන්ත වේ ද? කුමක් පිණිස වනාහි වහ්නිගත කල්හි කම්පා වන්නේ ද? චලිත වන්නේ ද? ලෙල දෙන්නේ ද? කැළඹෙන්නේ ද? රැළ පතර ඉපදීම වන්නේ ද? උර්ධ්වාධොදිශානුදිශාවට යන්නේ ද? ඵෙණමාලාකුල වන්නේ දැ?” යි විචාළසේක. “ස්වාමීන් වහන්ස, ප්‍ර‍කෘති වූ උධකය නො සෙලවෙන්නේ ය. අග්නිගත වූ උදකය වනාහි අග්නිසන්තාපවෙගයාගේ ඉතා මහත් බැවින් ‘චිට්චිටායන’ ශබ්ද වන්නේ ය. ‘චිටිචිටායන’ ශබ්ද වන්නේ ය. බොහෝ වූ වෙනත් ශබ්ද වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙනුදු ඒ සීතොදකයෙහි ජීවයෙක් හෝ ප්‍රාණයෙක් හෝ නැත්තේ ය. අග්නිසන්තාප වෙගයාගේ ඉතා මහත් බැවින් උදකය ශබ්ද වන්නේ ය යි කියා දැන ගණුව” යි වදාළ සේක.

තවද, මහරජානෙනි, ඉතිරි කාරණයක් ඇසුව මැනව. උදකයෙහි ජීවයෙක් හෝ ප්‍රාණයෙක් හෝ නැත්තේ ය. අග්නිසන්තාපවෙගයාගේ මහත් බැවින් උදකය ශබ්ද වන්නේ ය. මහරජානෙනි, ඒ සීතොදකය ගෙයක් ගෙයක් පාසා ම පැන්කළගත ව තබන ලද වේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, මනුෂ්‍යයෝ එසේ උධකඝට තබති” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ ඒ භාජනගත වූ උදකය කම්පා වේ ද?” චලිත වේ ද? ලුලිත වේ ද? කැලඹේ ද? රැළ උපදනා ලද වේ ද? ඌර්ධ්වාධො දිශානුදිශාවට යේ ද? ඉතිරේ ද? ඵෙණමාලාකුල වේ දැ?” යි විචාළ සේක. “නැත, ස්වාමීන් වහන්ස, ප්‍ර‍කෘති වූ ජලය ඒ පැන්කළගත කල දු අචල වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, තොප විසින් වනාහි මහා සමුද්‍රයෙහි උදකය කම්පා වන්නේ ය, චලිත වන්නේ ය, ලුලිත වන්නේ ය, ආවිල වන්නේ ය, රැළ උපදනා ලද වන්නේ ය, ඌර්ධ්වාධොදිශාවට යන්නේ ය, ඉතිරෙන්නේ ය, පැතිරෙන්නේ ය, පෙණමාලාකුල වන්නේ ය, උස් ව පැන පැන මුහුදුවෙරලෙහි වැද යන්නේ ය, බොහෝ ශබ්ද පවත්වන්නේ ය යි කියා අසන ලද්දේ ඇද්ද?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, මේ වදාළ කාරණය මා විසින් අසන ලද්දේ වී ය. දක්නා ලද්දේ වී ය. මහාසමුද්‍රයෙහි උදකය සියක් රියන් තැන්හි ද දෙසියක් රියන් තැන්හි ද ආකාශයෙහි පනින්නේ ය” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස පැන් කළයට පැමිණියා වූ උදකය කම්පා නො වේ ද? ශබ්ද නො පවතී ද? කුමක් පිණිස වනාහි මහාසමුද්‍රයෙහි උදකය කම්පා වේ ද? ශබ්ද පවතී දැ?” යි විචාළසේක. “ස්වාමීනි, වාතවෙගයාගේ මහත් බැවින් මහාසමුද්‍රයෙහි උදකය කම්පා වන්නේ ය. පැන්කළය ගත වූ කල්හි උදකය කිසිවකින් ඝට්ටනය නො කළ කල්හි කම්පා නො වන්නේ ය, ශබ්ද නො පවත්නේ ය” යි කීහ. “මහරජානෙනි, යම් සේ් වාතවෙගයාගේ මහත් බැවින් මහාසමුද්‍රයෙහි උදකය කම්පා වෙ ද, ශබ්ද පවතී ද, එපරිද්දෙන් ම අග්නිසන්තාපවෙගයාගේ මහත් බැවින් උදකය ශබ්ද පවත්නේ ය” යි වදාළසේක.

“මහරජානෙනි, වියලුනා වූ භෙරිමුඛය වියලුනා වූ ගෙරිසමින් වලඳවා ලන්නේ ද? සදා ලන්නේ දැ? යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්සැ” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ භෙරියාගේ ප්‍රාණජීවයෙක් හෝ සත්වයෙක් හෝ ඇද් දැ?” යි විචාළසේක. “නැත. ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, කුමක් පිණිස කෙසේ ඒ භෙරිය ශබ්ද කරා දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ හේ තත්කෘත්‍යසාධක වූ වීර්‍ය්‍යයෙන් හෝ උත්සාහයෙන් හෝ භෙරි ශබ්ද පවත්නේ ය” යි කීහ. “මහරජානෙනි, යම් සේ ස්ත්‍රියකගේ හෝ පුරුෂයාගේ හෝ තර්ජනයෙන් තෝ ව්‍යායාමයෙන් හෝ[2] භෙරි ශබ්ද පවතී ද? එපරිද්දෙන් ම අග්නිසන්තාපවෙගයාගේ මහත් බැවින් උදකය ශබ්ද පවත්නේ ය. මහරජානෙනි, මේ කාරණයෙනුදු උදකයෙහි ජීවකයෙක් හෝ සත්වයෙක් හෝ නැත්තේ ය. ‘අග්නිසන්තාපවෙගයාගේ මහත් බැවින් උදකය ශබ්ද පවත්නේ ය.’ යි කියා දැන ගණුව” යි වදාළසේක.

“මහරජානෙනි, මෙසේ මේ ප්‍ර‍ශ්නය යම් තාක් මනා වූ විනිශ්චය වේ ද? ඒ තාක් දක්වා මා විසිනුත් තොපගෙන් විචාළ ම යුත්තෙක් ඇත්තේ ය. කිමෙක් ද මහරජානෙනි, තවනු ලබන්නා වූ උදකය සියලු භාජනයෙහි ම ශබ්ද පවත්වා[3] ද? නොහොත් තවනු ලබන්නා වූ උදකය සමහර භාජනයෙක්හි ශබ්ද පවත්වා2 දැ?” යි විචාළසේක. “ස්වාමීන්වහන්ස, තවනු ලබන්නා වූ උදකය සියලු භාජනයෙහි ම නො ම ශබ්ද පවත්වන්නේ ය. තවනු ලබන්නා වූ උදකය ඇතැම් භාජනයෙක්හි ශබ්ද පවත්වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් තොපගේ ස්වකීය දෘෂ්ටිය තොප ම හරණ ලද්දේ ය. මාගේ විෂයට ම තෙපිත් පැමිණියාහු ය. උදකයෙහි ජීවයෙක් හෝ සත්වයෙක් හෝ නැත්තේ ම ය. ඉදින් මහරජානෙනි, තවනු ලබන්නා වූ උදකයෙහි සියලු ම භාජනවල ශබ්ද පවත්නේ වී නම් මේ ‘සීතොදකය ජීවත්වන ප්‍රාණයෙකැ’ යි කියන්නට යුතු වන්නේ ය. මහරජානෙනි, යම් ‘සීතොදකයක් ශබ්ද පවත්වා ද, ඒ සීතොදකය ජීවත් වන්නේ ය. යම් සීතොදකයක් ශබ්ද නො පවත්වා ද, ඒ සීතොදකය ජීවත් නො වන්නේ ය’ යි කියා එක ම සීතොදකය දෙකක් නො වන්නේ ය” යි වදාළසේක. ඉදින්, මහරජානෙනි, උදකය ජීවත් වන්නේ වී නම් සොඬින් උරවා නඟා ගෙණ මුඛයෙහි ප්‍ර‍ක්ෂෙප කොට කුක්ෂියට ප්‍රවෙශ කරන්නා වූ ත්‍රිමදගලිත වූ උත්සන්න වූ මදමණ්ඩල ඇති සභෙදන වූ මත්තහස්තිරාජයන්ගේ ඒ සොඬින් ගත් උදකය ද ඔවුන්ගේ දත් අතුරෙහි තැර දෙන ලද්දේ ශබ්ද පවත්වන්නේ ය. මහත් වූ අතිහාර වූ නොයෙක් සියදහස්ගණන් භාණ්ඩයෙන් හා බොහෝ මනුෂ්‍යයන්ගෙන් පිරුණා වූ සියක් රියන් දිග ඇත්තා වූ මහානෞකාවෝ මහාසමුද්‍රයෙහි වාතවෙගයෙන් ඔබිනොබ හැසිරෙන්නාහ. ඒ නෞකාවලින් තැර දෙන ලද්දා වූ උදකය ශබ්ද පවත්වන්නේ ය. තව ද, මහරජානෙනි, නොයෙක් සියගණන් යොදුන් දිග ශරීර ඇත්තා වූ තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය යනාදි මහත් වූ මත්ස්‍යයෝ මහාසමුද්‍ර‍ය ඇතුළෙහි ගැලී මහාසමුද්‍රයෙහි වාසස්ථාන බැවින් වාසය කරන්නාහු මහා උදකධාරාවන් ආචමනය කරන්නාහ. ගිලින්නාහ. ශබ්ද කරන්නාහ. පිඹින්නාහ. ඒ මහාමත්ස්‍යයන්ගේ ද දත් අතුරෙහිත් උදරාන්තරයෙහිත් මිරිකෙන ලද්දා වූ උදකය ශබ්ද පවත්වන්නේ ය. මහරජානෙනි, යම් හෙයකින් මෙබඳු වූ මෙබඳු වූ මහත් වූ මහත් වූ පීඩනයෙන් පීඩිත වූ උදකය ශබ්ද නො කරන් (317) නේ ය. එහෙයින් උදකයෙහි ජීවයෙක් හෝ සත්වයෙක් හෝ නැත්තේ ය. මහරජානෙනි, මා කී මෙපරිද්දෙන් ම උදකයෙහි ප්‍රාණියෙකු නැති බව දරා ගණුව, අදහා ගණුව” යි වදාළසේක.

“යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥදෙශනාගත වූ ප්‍ර‍ශ්නයතෙම සුදුසු වූ බෙදීමෙන් ම බෙදන ලද්දේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සේ මාහැඟි වූ මහත් වූ මාණික්‍යරත්නයක් සුශික්ෂිත වූ අතිදක්ෂ වූ සමර්ථ වූ ගුරුගොත්‍ර‍ ඇති මණිකාරයකු කරා පැමිණ කීර්තියක් ම ලබන්නේ ය. ස්තුතියක් ම ලබන්නේ ය. ප්‍ර‍ශංසාවක් ම ලබන්නේ ය. මාහැඟි වූ මුතුරත්නයක් හෝ මුතුකරන්නක්හු කරා පැමිණ මාහැඟි වස්ත්‍ර‍යක් හෝ සායම්කාරයකු කරා පැමිණ රක්ත චන්දනයක් හෝ සුවඳ කරන්නා කරා පැමිණ කීර්තියක් ම ලබන්නේ ය. ස්තුතියක් ම ලබන්නේ ය. ප්‍ර‍ශංසාවක් ම ලබන්නේ ය. එපරිද්දෙන් ම ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥ දෙශනා ගත වූ මේ ප්‍ර‍ශ්නය සුදුසු වූ බෙදීමේ බෙදා දීමෙන් බෙදා වදාරණ ලද්දේ ය. මෙසේ මේ ප්‍ර‍ශ්නය මම ද එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

උදකප්‍රාණිප්‍ර‍ශ්නය යි.

සකලජනමනොනන්දනීය වූ ශ්‍රී සද්ධර්මාදාසයෙහි සවන වර්ගය නිමියේ ය.

  1. පාළි

  2. ‘තර්ජනයෙන්’ යනාදී පරිවර්තනය වැරදී යි ‘තජ්ජෙන වායාමෙන’ යනු පාළි යි. ‘ඒ ස හා වූ උපන් වෑයමින්’ යනු එහි අර්ථ යි.

  3. පවතී.