“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස ගිහිවිනය වරදවා පිළිපදින්නා වූ ගෘහස්ථදුශ්ශීලයාගේ ද ශ්‍රමණවිනය වරදවා පිළිපදින්නා වූ ශ්‍රමණදුශ්ශීලයාගේ ද විශෙෂය කවරේ ද? වෙනස් වූ කාරණය කිමෙක් ද? මොහු දෙදෙන ම මරණින් මත්තෙහි සම සම වූ දුර්ගතිගමන් ඇත්තා වූ ද දෙදෙනාහට ම සමසම වූ දුක්ඛවිපාකය වේ ද? නොහොත් මඳක් වත් වෙනස් කාරණයක් ඇද්දැ” යි විචාළහ. “මහරජානෙනි, ශ්‍රමණදුශ්ශීලයාගේ ගෘහස්ථදුශ්ශීලයාට වඩා විශෙෂයෙන් ඉතිරි වූ මේ ගුණයෝ දශ දෙනෙක. ඉතිරි වූ කාරණා දශයකින් ද දක්ෂිණාව පිරිසිදු වන්නේ ය. ශ්‍රමණදුශ්ශීලයාගේ ගෘහස්ථදුශ්ශීලයාට වඩා විශෙෂයෙන් ම අතිරෙක වූ දශගුණය කවරේ ද? යත්- මහරජානෙනි, මේ ශාසනයෙහි ශ්‍රමණදුශ්ශීල තෙම බුදුන් කෙරෙහි ගෞරව ඇති වන්නේ ය. ධර්මයෙහි ගෞරව ඇති වන්නේ ය. සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව ඇති වන්නේ ය. උද්දෙස පටිපුච්ඡායෙහි වීර්ය කරන්නේ ය. බොහෝ වූ ඇසීම් ඇති වන්නේ ය. මහරජානෙනි, භින්නශීලී වූ දුශ්ශීලතෙම යම් පිරිසකට ගියේ ද, මනා වූ ස්මෘති උපදවන්නේ ය. ගර්හාභයින් කායිකය වාචසිකය රක්ෂා කරන්නේ ය. ඔහුගේ සිත භාවනාභිමුඛ (312) වන්නේ ය. භික්ෂූන්ගේ ශ්‍රාමණ්‍යයට එළඹෙන ලද වන්නේ ය. මහරජානෙනි, ශ්‍රමණදුශ්ශීල තෙම පව් කරන්නේ ද ප්‍රතිච්ඡන්න කොට හැසිරෙන්නේ යි. මහරජානෙනි, යම් සේ පුරුෂයා ඇති ස්ත්‍රීතොම සැඟ වී රහසින් ම පරපුරුෂ පාප ක්‍රියාවෙහි හැසිරෙන්නී ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ශ්‍රමණදුශ්ශීල තෙම පව් කරන්නේ ද, ප්‍රතිච්ඡන්න ව ම හැසිරෙන්නේ ය. මහරජානෙනි, මොහු වනාහි ශ්‍රමණදුශ්ශීලයාගේ ගෘහස්ථදුශ්ශීලයට වඩා විශෙෂයෙන් ම අතිරෙක වූ දශගුණයෝ යි.
‘කතමෙහි දසහි කාරණෙහි උත්තරිං දක්ඛිණං විසොධෙති. අවජ්ඣකවචධාරණතායපි දක්ඛිණං විසොධෙති. ඉසීසාමඤ්ඤ-භණ්ඩුලිඞ්ගධාරණතොපි දක්ඛිණං විසොධෙති. සංඝසමය මනුපවිට්ඨතායපි දක්ඛිණං විසොධෙති. බුද්ධ ධම්ම සඞ්ඝ සරණගතතායපි දක්ඛිණං විසොධෙති. පධානාසයනිකෙත වාසිතායපි දක්ඛිණං විසොධෙති. ජිනසාසනධනපරියෙසනතොපි දක්ඛිණං විසොධෙති. පවරධම්මදෙසනතොපි දක්ඛිණං විසොධෙති. ධම්මදීපගති පරායණතායපි දක්ඛිණං විසොධෙති, අග්ගො බුද්ධොති එකන්ත උජුදිට්ඨිතායපි දක්ඛිණං විසොධෙති, උපොසථසමාදානතොපි දක්ඛිණං විසොධෙති. ඉමෙහි ඛො මහාරාජ දසහි කාරණෙහි උත්තරිං දක්ඛිණං විසොධෙති’.
“කවර නම් දශවිධ වූ කාරණයකින් මත්තෙහි දක්ෂිණාව පිරිසිදු කෙරේ ද? යත්- ඒ ශ්‍රමණදුශ්ශීලතෙම සර්වක්ලේශශත්‍රැමථනයට ත්‍රිවිධ බුදුවරයන් වහන්සේලා විසින් පැලඳ වදාරණ ලද්දා වූ අර්හධ්වජ නමැති අවධ්‍යස්වරූප වූ උරච්ඡදනධාරණතායෙනුදු දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. සෘෂිශ්‍රාමණ්‍යභාවොපගත වූ මුඩුසෙ ධාරණයෙන් ද දක්ෂිණාව ස්වර්ගමොක්ෂ සම්පත් සාධා ලීම් වශයෙන් පිරිසිදු කරන්නේ ය. සංඝසමූහයාට ඇතුළත් වූ ප්‍රවිෂ්ට වූ බැවින් ද පරලෝ අදහා දෙන්නා වූ දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. බුද්ධ ධර්ම සංඝ සරණගත බැවින් ද දක්ෂිණාව පිරිසිදු වන්නේ ය. වීර්යකරණයට ආධාර වූ ජනශූන්‍ය ගෘහයෙහි වාසය කරණ බැවින් ද දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. සර්වඥ ශාසන නමැති ශ්‍රෙෂ්ඨ වූ ධනය සොයන බැවිනුත් දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. ප්‍රවරසද්ධර්මය දෙශනා කරණ බැවින් ද දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. ධර්මදීපගති පරායණ බැවින් ද දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. බුදුරජානන් වහන්සේ තුන් ලොවට අග්‍ර ය, යි කියා එකාන්තයෙන් ම සෘජු වූ දෘෂ්ටි ඇති බැවින් ද දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. නවඋපොසථය නො වරදවා සමාදන් ව පාමොක් ඇසීමෙන් ද දක්ෂිණා පිරිසිදු කරන්නේ ය. මහරජානෙනි, මේ දශවිධ වූ කාරණයෙන් මත්තෙහි කුශලර්ථීන් විසින් දෙන ලද්දා වූ දක්ෂිණාදානය පිරිසිදු කරන්නේ යි. මහරජානෙනි, ඉතා විපරිත වූ පිළිපදින්නේ ද ශ්‍රමණදුශ්ශීල තෙම දායකයන්ගේ දක්ෂිණාව පිරිසිදු කරන්නේ ය. මහරජානෙනි, යම් සේ ජලයතෙම ඉතා බොහෝ වූ කලල කර්දම රජොජල්ලිකා කසළ සෝදා පහ කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඉතා විපරිත ව පිළිපදින්නේ ද ශ්‍රමණදුශ්ශීලතෙම දායකයන්ගේ දක්ෂිණාව පිරිසිදු කරන්නේ යි. තවද මහරජානෙනි, යම් සේ ඉතා දැඩි ව හුණු වූ උෂ්ණොදකයතෙමේ ගිනි ගෙණ දිලියෙන්නා වූ මහත් වූ ගිනිකඳ වුවත් නිවාලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඉතා විපරි (313) තව පිළිපන්නා වූ ශ්‍රමණදුශ්ශීලතෙම ද දායකයන්ගේ දක්ෂිණාව පිරිසිදු කරන්නේ යි. තවද මහරජානෙනි, යම් සේ පහ වූ රස ඇත්තා වූ ද භොජනයතෙම ක්ෂුධාග්නි හා ශරීර දුර්වලබව පහ කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඉතා වරදවා පිළිපන්නා වූ ද ශ්‍රමණදුශ්ශීලතෙම දායකයන්ගේ දක්ෂිණාව විශොධනය කරන්නේ ය. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ සනරාමරලොකස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් මධ්‍යමනිකායවරලාඤ්ඡනයෙහි වූ වෙය්‍යාකරණ සංඛ්‍යාත දක්ඛිණාවිභංග සූත්‍රාන්තයෙහි ද වදාරණ ලද්දේ ය.
‘යො සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මෙන ලද්ධා සුපසන්නචිත්තො,
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති’ යි.
‘පූර්වාපරමධ්‍යමචෙතනා සුද්ධ කරණ විසින් සුප්‍රසන්න සිත් ඇත්තා වූ යම් සිල්වත් පුද්ගලයෙක්තෙම නිරාශායෙන් කොට සකල සම්පත්ති ප්‍රදානය කිරීමෙන් මහත් වූ කුශලකර්මඵලය විශෙෂයෙන් අදහමින් දැහැමින් ලබන ලද්දා වූ ධනයකින් කිසි දානයක් දුශ්ශීලයන් කෙරෙහි දෙන්නේ වී නම්, ඒ දක්ෂිණාතොමෝ දායකයා කෙරෙන් පිරිසිදු වන්නේ ය. මහත්ඵල වන්නේ යි.’
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්නය විසඳා වදාළ පරිදි ඉතා ආශ්චර්ය වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්නය විසඳූ නියාව ඉතා අද්භූත වන්නේ ය. අපි එපමණකට ප්‍රශ්නය විචාළීම්හ. ඒ ප්‍රශ්නය නුඹ වහන්සේ නොයෙක් උපමා විසින් කාරණා විසින් විභාග කෙරෙමින් ශ්‍රොත්‍රයට අමෘතමධුර රස කොට පශ්චිමජනයාහට කර්ණාභරණ කොට තබා වදාළසේක. ස්වාමීනි, යම් සේ රජ්ජුරුවන්ගේ සූදයෙක් හෝ සූදයාගේ අතවැසියෙක් හෝ එපමණකට මාංසයක් ලැබ නානාප්‍රකාර වූ දුරුමිරිස්ලාවණාදියෙන් සම්පාදනය කොට රාජූපභොගය කෙරේ ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, එපරිද්දෙන් ම එපමණකින් අපි ප්‍රශ්නය විචාළම්හ. ඒ ප්‍රශ්නය නුඹවහන්සේ නොයෙක් උපමා විසින් කාරණා විසින් විභාග කොට අමෘතමධුර වූ ශ්‍රවණොපගය කර වදාළ සේකැ” යි කීහ.
ශ්‍රමණදුශ්ශීලප්‍රශ්නය යි.