සතර වැනි වර්‍ගය.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒකීභාවයට ගියා වූ ස්පර්ශාදි මේ යථොක්ත ධර්මයන්ගේ නානා කරණයන් වෙන් වෙන් කොට බෙදා ‘මේ ස්පර්ශය, මේ වේදනාවය, මේ සංඥාවය, මේ චෙතනාවය, මේ විඤ්ඤාණය, මේ විතර්කය, මේ විචාරය’ යි කියා දක්වන්නට හැකි වේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඒකීභාවයට ගියා වූ මේ ධර්මයන්ගේ ‘මේ ස්පර්ශය, මේ වේදනාවය, මේ සංඥාවය, මේ චේතනාවය, මේ විඤ්ඤාණය, මේ විතර්කය‍, මේ විචාරය’යි කියා නානාකරණයන් දක්වා අඟවන්නට නො හැක්කේ ය” යි කීසේක.

“උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම්සේ රජ්ජුරුවන්ගේ රස කරණ අරක්කැමිතෙම (66) යම් [1]මසක් හෝ රසයක් හෝ කරන්නේ වී නම්, හෙතෙම ඒ රසයෙහි දීකිරිත්, ප්‍ර‍ක්ෂෙප කරන්නේ ය. ලුණුත් ප්‍ර‍ක්ෂෙප කරන්නේ ය. ඉඟුරුත් බහා ලන්නේ ය. දුරුත් බහා ලන්නේ ය. මිරිසුත් බහා ලන්නේ ය. සෙසු ප්‍ර‍කාර වූත් රසවත් දෙය බහා ලන්නේ ය. මෙසේ රසවත් කොට සදා රජහට පිරිනමාලූ කල්හි රජ්ජුරුවෝ ඕහට ‘එම්බල පුරුෂය, මට මේ දීකිරෙහි රස ගෙණ දෙව. ලවණයාගේ රස ගෙණ දෙව. ශෘංගවෙරයාගේ රසය මට ගෙණ දෙව. දුරුරසය මට ගෙණ දෙව. මිරිස්රසය මට ගෙණ දෙව. මෙහි බහාලූ සියල්ලෙහි ම රසයන් මට ගෙණ දෙව’ යි මෙසේ කියන්නේ වී නම්, මහරජානෙනි, එක ම රසභාවයට ගියා වූ ඒ රසයන්ගේ රසය වෙන් වෙන් කොට ඇඹුල් බව හෝ තික්ත බව හෝ කටුක බව හෝ කසට බව හෝ මධුර බව හෝ ගෙණ හැර දෙන්ට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ඒකීභාවයට ගියා වූ ඒ රසයෙන් රසය ඇඹුල්බවක් වත් ලුණු බවක් වත් තික්තබවක් වත් කටුක බවක් වත් කසට බවක් වත් මධුරබවක් වත් වෙන් වෙන් කොට ගෙණ හැර දෙන්ට නො හැකි වන්නේ ය. එතෙකුදු වුවත් ස්වකීය වූ ලක්ෂණයෙන් ම වැටහෙන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ඒකීභාවයට ගියා වූ මේ ස්පර්ශාදි ධර්මයන්ගේ ස්පර්ශය නම් මේ[2] ය, වේදනාව නම් මෝ ය, සංඥා නම් මෝ ය, චේතනාව නම් මෝය, විඤ්ඤාණය නම් මෙ2ය, විතර්කය නම් මේ2ය, විචාරය නම් මේ2ය” යි කියා නානාකරණයන් වෙන් වෙන් කොට දක්වා හඟවන්නට නො හැකි වන්නේ ය. එසේ නමුත් ස්වකීය ස්වකීය ලක්ෂණයෙන් වැටහෙන්නාහු ය” යි වදාළසේක. එකල “කල්ලොසි භන්තෙ නාගසෙන” යි කියා ස්තුති කළහ.

නාගසෙනතෙරුන් වහන්සේත් සිතනසේක්:- “මේ රජහු විසින් බොහෝ ප්‍ර‍ශ්නයෝ අසන ලද්දාහු ය. මා විසිනුත් ස්වල්පතර ප්‍ර‍ශ්නයක් විචාළ මැනැවැ”යි සිතා “මහරජානෙනි, ලුණු චක්ෂුර්විඥෙය දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ලුණු ඇසට දැනෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, මනා කොට ම සිත් එලවා දැන ගණුව” යි කීසේක. “ස්වාමීනි, කිමෙක් ද? ලුණු ජිව්හාවිඤ්ඤෙය්‍ය දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, දිවට දැනෙන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, කිමෙක් ද? සියලු ම ලුණුජාතිය දිවෙන් ම දැන ගන්නේ දැ?” යි කීහ. “එසේය මහරජානෙනි, සියලු ම ලුණු දිවෙන් ම දැන ගන්නේ ය”යි කීසේක. “ඉදින් ස්වාමීනි, සියලු ම ලුණු දිවෙන් ම දැන ගන්නේ වී නම්, කුමක් පිණිස වෘෂභයෝ ඒ ලුණු ගැලින් ගෙණ එන්නාහු ද? ලුණු ම ගෙණා යුතු නොවේ දැ?” යි කීහ. “මහරජානෙනි, ගැල් ගොන් ආදිය නැති ව ලුණු පමණක් ගෙණ එන්නට නො හැක්කේ ය. මෙකී ධර්මයෝ ලුණු ගෝණි යනාදී වශයෙන් එකී භාවයට ගියාහු ය. හැසිරීම නානාත්වයට ගියාහු ය. ලුණු භාරභාවය වන්නේ ය. ‘මහරජානෙනි, ලුණු තරාදියෙන් කිරන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ලුණු කිරන්නට හැකි වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එසේ ලුණු තරාදියෙන් කිරා පියන්නට නො හැක්කේ ය. ලවණයාගේ භාරභාවය තරාදියෙන් කිරණු ලබන්නේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ශ්න විසඳීමෙහි දක්ෂ වූසේකැ”යි ස්තුති කළහ.

සකලජනමනොනන්දනීය වූ මිලින්දප්‍ර‍ශ්න නම් වූ මේ සද්ධර්මාදාසයෙහි මිලින්දරාජ නාගසේන මහාප්‍ර‍ශ්නයෝ නිමියාහු යි.

(67) නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් මේ පඤ්චායතනකෙනෙක් ඇද් ද, කිමෙක් ද, චක්ඛායතනාදි ඒ පඤ්චායතනයෝ ඔවුනොවුන්ගේ නොයෙක් කර්මයෙන් උපන්නාහු ද? නොහොත් එක ම කර්මයෙකින් උපන්නාහු දැ?” යි කීහ. “මහරජානෙනි, ඔවුනොවුන්ගේ නොයෙක් කර්මයෙන් උපන්නාහු ය. එක ම කර්මයකින් නො උපන්හ” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, හේ කුමක් සිතන්නහු ද? එක ම කෙතක මහවී හැල්වී ආදි වූ බිජු පස්වර්ගයක් වපුරණ ලද්දේ වී නම්, ඒ නොයෙක් බීජයන් වැඩී පැසෙන කල වර්ග ජාති ලෙසින් වෙන් වෙන් ව නොයෙක් ඵල උපදින්නාහු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ඒ ඒ ජාති ලෙසින් ම ඒ ඒ ඵල උපදින්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් මේ පඤ්චායතනකෙනෙක් ඇද් ද, ඒ ආයතනයෝ ඔවුනොවුන්ගේ නොයෙක් කර්මයෙන් ම උපන්නාහු ය. එක ම කර්මයකින් නූපන්හ”යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ”යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් සියලු මනුෂ්‍යයෝ එක සම නො වන්නාහු ද? සමහර කෙනෙක් මන්දායුෂ්කයෝ ය. අනෙක් කෙනෙක් දීර්ඝායුෂ්කයෝ ය. සමහර කෙනෙක් බොහෝ ආබාධ ඇත්තාහ. සමහර කෙනෙක් අල්පාබාධ වූහ. සමහර කෙනෙක් දුර්වර්ණ ඇත්තාහ. සමහර කෙනෙක් යහපත් වූ වර්ණ ඇත්තාහු ය. සමහර කෙනෙක් අල්පෙශාඛ්‍ය වෙති. සමහර කෙනෙක් මහෙශාඛ්‍යයෝ ය. සමහර කෙනෙක් මන්දභොගීහ. සමහර කෙනෙක් මහත් භොග ඇත්තාහ. සමහර කෙනෙක් හීනකුල ඇත්තාහ. සමහර කෙනෙක් මහත් වංශ ඇත්තාහ. සමහර කෙනෙක් ස්වල්ප නුවණ ඇත්තාහ. සමහර කෙනෙක් මහත් ප්‍ර‍ඥාව ඇත්තාහු ය”යි කීහ. එකල තෙරුන් වහන්සේ “මහරජානෙනි, කුමක් පිණිස වනාහි සියලු ම වෘක්ෂයෝ එකසම නො වන්නාහු ද? අන්‍යවෘක්ෂකෙනෙක් ඇඹුල් රස ඇත්තාහ. අන්‍යවෘක්ෂකෙනෙක් ලවණරස ඇත්තාහ. අන්‍යවෘක්ෂකෙනෙක් තික්තරස ඇත්තාහ. අන්‍යවෘක්ෂකෙනෙක් කටුකරස ඇත්තාහ. අන්‍යවෘක්ෂකෙනෙක් කසටරස ඇත්තාහ. අන්‍යවෘක්ෂකෙනෙක් මධුර රස ඇත්තාහු ය”යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, බීජජාතීන්ගේ වෙන් වෙන් කාරණාවෙනැ’යි සිතමි”යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලාකුශලකර්මයන්ගේ නානාකරණයෙන් සියලු ම මනුෂ්‍යයෝ එකසම නො වූහ. සමහර කෙනෙක් මන්දායුෂ්කයෝ ය. සමහර කෙනෙක් දීර්ඝායුෂ්කයෝ ය. සමහර කෙනෙක් බොහෝ වූ රෝගාබාධ ඇත්තාහ. සමහර කෙනෙක් අල්පාබාධ ඇත්තාහ. සමහර කෙනෙක් දුර්වර්ණ වූහ. සමහර කෙනෙක් යහපත්වර්ණ ඇත්තාහු ය. සමහර කෙනෙක් අල්පෙශාඛ්‍ය වූහ. සමහර කෙනෙක් මහෙශාඛ්‍ය වූහ. අනික් කෙනෙක් අල්පභොගී වූහ. අන්‍ය වූ කෙනෙක් මහාභොගී වූහ. සමහර කෙනෙක් නීච කුලීන වූහ. සමහර කෙනෙක් මහාකුලීන වූහ. අන්‍යකෙනෙක් දුෂ්ප්‍රාඥ වූහ. අන්‍යකෙනෙක් ප්‍ර‍ඥාවත් වූහ. මහරජානෙනි, අප භාග්‍යවත් වූ සර්වඥරාජොත්තමයානන්වහන්සේ විසින් සුභ නම් මාණවකයාහට ‘මානවකය, සත්වයෝ කර්මය ම ස්වකීය කොට (68) ඇත්තාහ. කර්මය ම දායාදය කොට ඇත්තාහ. කර්මය ම උත්පත්ති කොට ඇත්තාහ. කර්මය ම බන්ධු කොට ඇත්තාහ. තමන් කළ කර්මය ම පිළිසරණ කොට ඇත්තාහ. කර්මයතෙම මේ හීනප්‍ර‍ණීතභාවය පිණිස සකල සත්වයන් විභජනය කරන්නේ ය” යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය’යි කියා මේ ශ්‍රීමුඛපාලිය ගෙණ හැර දක්වා ලූසේක. එකල රජ්ජුරුවෝ අතිප්‍ර‍සන්න ව “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ”යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ‘කිමෙක් ද, මහරජ, මේ වර්තමාන වූ දුක්ඛය නිරුද්ධ වේ ද, අනික් අනාගත වූ දුකක් නො උපදී ද, මෙම අර්ථය පිණිස අපගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව වන්නේ ය’යි කියා කීසේක් නො වේ ද? කිමෙක් ද? පළමු කොට වීර්ය කිරීමෙන් ද? නොහොත් සම්ප්‍රාප්ත වූ කාලයෙහි වීර්ය කට යුතු දැ?”යි කීහ. එකල තෙරුන් වහන්සේ කියනසේක්:- “මහරජානෙනි, සම්ප්‍රාප්තකාලයෙහි කරණ ලද වීර්යතෙම අකර්තව්‍ය වන්නේ ය. පළමු කොට ම කරණ ලද වීර්ය ම කර්තව්‍ය වන්නේ ය” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, හේ කුමක් නම් සිතන්නහු ද? යම් කලෙක තෙපි පැන් පිපාසිත වන්නහු වූ නම්, එකල තෙපි ‘පැන් පානය කෙරෙමි’යි කියා ලිඳක් කොටවන්නහු ද? පොකුණක් සාරවන්නහු දැ”යි විචාළසේක. “නැත; ස්වාමීනි”යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම සම්ප්‍රාප්ත කල්හි වීර්ය අකර්තව්‍ය වන්නේ ය. පළමු කොට ම කරණ ලද වීර්ය ම කර්තව්‍ය වන්නේ ය”යි කීසේක. “නැවතත් උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, හේ කුමක් සිතන්නහු ද? යම් කලෙක තෙපි ක්ෂුධාවෙන් පීඩිත වන්නහු වූ නම් එකල්හි තෙපි ‘බත් අනුභව කෙරෙමි’යි සිතා කුඹුරක් සාවා පියන්නහු ද? ඇල් රොපණය කරවන්නහු ද? ධාන්‍යජාති ගෙන්වා රැස් කරන්නහු දැ”යි විචාළසේක. “නැත; ස්වාමීනි”යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම සම්ප්‍රාප්ත කල්හි ව්‍යායාමය අකර්තව්‍යය වන්නේ ය. පළමු කොට කරණ ලද ව්‍යායාමය කෘත්‍යසාධක වන්නේ ය”යි කීසේක. “නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, හේ කුමක් සිතන්නහු ද? යම් කලෙක තොපට සංග්‍රාමයක් පැමිණියේ වී නම් එකල්හි තෙපි නුවර වට දියඅගළ කරවන්නහු ද? ප්‍රාකාරය කරවන්නහු ද? දොරටුව කරවන්නහු ද? මුරපැල කරවන්නහු ද? ධාන්‍යජාතීන් ගෙන්වා රැස් කරන්නහු ද? ඒ යුද්ධයට යන දවස්හි තෙපි ඇතුන් නැඟීමෙහි හික්මෙන්නහු ද? අශ්වශිල්පයෙහි හික්මෙන්නහු ද? රථ නැඟීමෙහි හික්මෙන්නහු ද? ධනුශ්ශිල්පයෙහි හික්මෙන්නහු ද? ඛඞ්ගමුෂ්ටිග්‍ර‍හණයෙහි හික්මෙන්නහු ද?” යි විචාළසේක. “නැත; ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ‘අනුපාදානිර්වාණය සම්ප්‍රාප්ත කල්හි වීර්ය කෙරෙමි’යි සිතා කල් යවා කරණ ව්‍යායාමය අකර්තව්‍ය වන්නේ ය. පළමු කොට ම කරණ ලද ව්‍යායාමය කෘත්‍යසාධක වන්නේ ය. මහරජානෙනි, මෙම කාරණය අප භාග්‍යවතුන් වහන්සේ විසින් ද වදාරණ ලදි:-

(69) “පටිගච්චෙව නං කයිරා-යං ජඤ්ඤා හිතමත්තනො,

න සාකටිකචින්තාය-මන්තා ධීරො පරක්කමෙ.

-

“යථා සාකටිකො නාම[3]-සමං හිත්‍වා මහාපථං,

විසමං මග්ගමාරුය්හ-අක්ඛච්ඡින්නො‘වඣායති.

-

“එවං ධම්මා අපක්කම්ම-අධම්මමනුවත්තිය,

මන්‍දො මච්චුමුඛං පත්තො-අක්ඛච්ඡීන්නො‘ව සොචති”[4]

යනාදීන් යම් බඳු වූ අනුපාදානිර්වාණය ලැබීමට පළමු කොට ම තමහට යම් වැඩක් දන්නා වූ මන්ත්‍ර‍ණශක්තියෙන් යුක්ත වූ ප්‍ර‍ඥාවත් පුරුෂතෙම අනුන් විසින් සිහි කරවන සාකටිකචිත්තය[5] බලා නො හිඳ ඒ අනුපාදානිර්වාණයට වීර්ය කරන්නේ ය. යම් සේ ගැල් පදනා සාකටික නම් පුරුෂතෙම සම වූ මහාමාර්ගය හැර විසම වූ මාර්ගයට ගැල නඟා පැමිණ ගැලෙහි අකුර බිඳමින් චිත්තවික්ෂෙපයට පැමිණෙන්නේ වන්නේ ද, එපරිද්දෙන් ම නුවණ මඳ අඥානතෙම කුශලධර්මය කෙරෙන් පහ ව අධර්මයෙහි හැසිර මරුමුඛයට පැමිණෙමින් ගැලෙහි අකුර බිඳී ශොක පත් වූ පුරුෂයා මෙන් ශොක කරන්නේ ය” යි මෙසේ කී කල්හි රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොව ප්‍ර‍කෘතිගින්නට වඩා නිරයෙහි ගිනි මහත් භයානක වන්නේ ය. ප්‍ර‍කෘති ගින්නෙහි කුඩා ගල්කැටයක් බහා ලමින් දවසක් මුළුල්ලෙහිත් උෂ්ණයෙන් පිඹ දවනු ලබන්නේ විනාශයට නො යන්නේ ය. නරකාග්නියෙහි බහා ලන ලද්දා වූ මහත් වූ උඩුමහල්ගෙයක් පමණ ගලක් වී නමුත් ක්ෂණයකින් විනාශයට යන්නේ ය යි නුඹ වහන්සේ කියනසේක. ඒ මේ වචනය නො අදහමි. මෙසේ ද වනාහි ඒ නරකයෙහි උපන්නා වූ යම් සත්ව කෙනෙක් ඇද් ද, ඒ නිරිසත්වයෝ නොයෙක් වර්ෂසහස්‍රයෙහි නිරයෙහි පැසෙමින් විනාශයට නො යන්නෝ ය යි කියාත් නුඹවහන්සේ කියන සේක. ඒ වචනයත් මම නො අදහමි”යි කීහ. එකල තෙරුන් වහන්සේ කියනසේක්, “මහරජානෙනි, තෙපි කුමක් සිතන්නහු ද? යම් ඒ දැතිමෝර[6] කෙනෙක් කිඹුල්ධෙනු කෙනෙක් කැස්බිනිකෙනෙක් මොනරධෙනුකෙනෙක් පරෙවිධෙනු කෙනෙක් ඇද් ද, කිමෙක් ද? ඒ තිරිසන්ධෙනූහු කර්කශ වූ ගල් හා බොරළුගල් කන්නාහු දැ?” යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, කන්නාහු ය” යි කීහ. “කිමෙක් ද, මහරජ, ඒ බොරළුගල් ආදිය ඔවුන්ගේ කුක්ෂියෙහිදී උදරාභ්‍යන්තරගත ව විනාශයට ජීර්ණභාවයට යන්නාහුදැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, විනාශයට යන්නාහු ය” යි කීහ. “ඔවුන්ගේ කුක්ෂියෙහි යම් දරුගැබක් ඇද්ද, ඒ දරුගැබත් විනාශයට යේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “කවර කාරණයකින්දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අධික කර්ම බැවින් දරුගැබ විනාශයට නො යන්නේ ය යි සිතමි”යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කර්මය අධික බැවින් නිරිසත්වයෝ අනෙකවර්ෂකොටිසහස්‍රයෙහි නරකයෙහි පැසෙන්නාහු විනාශයට නො යෙති. එහි ම උපදිති. එහි ම වැඩෙති. එහි ම මියෙති. මහරජානෙනි, අප භාග්‍යවත් වූ ත්‍රිභුවනාචාර්යයන් වහන්සේ විසින් (70) මෙම කාරණය වදාරණ ලද්දේ ය. ‘මහරජානෙනි, යම්තාක් කල් ඒ පාපකර්මය විනාශ නො වේ ද, ඒ තාක් කල් ඒ නිරිසත්වතෙම කාලක්‍රියා නො කරන්නේ ය’ යි වදාළසේකැ” යි කියා ශ්‍රීමුඛපාලිය ගෙණ හැර දක්වා ලූසේක.

ඒ අසා, රජ්ජුරුවෝ “ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, හේ තෙපි කුමක් සිතන්නහු ද? යම් ඒ සිංහධෙනුකෙනෙක් ඇද් ද, ව්‍යාඝ්‍රධෙනු දිවිධෙනු සුනඛධෙනු කෙනෙක් ඇද් ද, කිමෙක් ද? ඔවුහු කර්කශ වූ මිනීඇට හා මස් අනුභව කරන්නහු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, මිනීඇට ආදිය අනුභව කරන්නහු ය”යි කීහ. “කිමෙක් ද, ඔවුන්ගේ කුක්ෂියෙහි උදරාභ්‍යන්තරයට ගියා වූ ඒ අස්ථිආදිය විනාශයට-ජීර්ණභාවයට යන්නාහු දැ?” යි විචාළ සේක. “එසේ ය, ස්වාමීනි, විනාශයට යන්නාහු ය” යි කීහ. “ඔවුන්ගේ කුක්ෂියෙහි යම් දරුගැබක් ඇද් ද, ඒ දරුගැබත් විනාශ ව යේ දැ යි විචාළසේක. “නැත; ස්වාමීනි” යි කීහ. “හේ කවර කාරණයෙකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, කර්මය අධික හෙයින් දරුගැබ විනාශයට නො යන්නේ ය යි සිතමි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කර්මය බලවත් බැවින් නිරාදුක් විඳින නිරිසත්වයෝ අනෙකවර්ෂශත සහස්‍රයෙහි නරකයෙහි පැසෙන්නාහු විනාශයට නො යන්නාහු ය” යි කීසේක. “ස්වාමීනි, නැවැතත් බොහෝ සේ උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, හේ තෙපි කුමක් සිතවු ද? තොපගේ මේ යොනකදෙසයෙහි උපන් යම් ඒ යොනකසුඛුමාලිනී කෙනෙක් ඇද් ද ක්ෂත්‍රියසුඛුමාලිනී කෙනෙක් ඇද් ද, බ්‍රාහ්මණසුඛුමාලිනී කෙනෙක් ඇද් ද, ගෘහපතිසුඛුමාලිනී කෙනෙක් ඇද් ද, කිමෙක් ද? ඒ ස්ත්‍රීහු කර්කශ වූ කැවිලි ආදිය හා මස් ආදිය අනුභව කරන්නාහු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, අනුභව කරන්නාහු ය” යි කීහ. “කිමෙක් ද[7] ඒ ස්ත්‍රීන්ගේ කුක්ෂියෙහි උදරාභ්‍යන්තරයට ගියා වූ ඒ කැවිලි ආදිය දිරා විනාශයට යන්නේ දැ?” යි විචාළසේක. “එසේ ය. ස්වාමීනි, විනාශයට යන්නේ ය”යි කීහ. “ඒ ස්ත්‍රීන්ගේ ගර්භයෙහි යම් දරුගැබක් ඇද් ද, ඒ දරුගැබත් විනාශයට යේ දැ?” යි විචාළසේක. නැත ස්වාමීනි,” යි කීහ. “කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ‘කර්මය අධික බැවින් විනාශයට නො ය්නනේ ය’ යි සිතමි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කර්මය අධික බැවින් නරකයෙහි වසන නිරිසත්හු අනෙකවර්ෂශතසහස්‍රයෙහි නිරයෙහි පැසෙන්නාහු විනාශයට නො යන්නාහු ය. එහි ම උපදිති. එහි ම වැඩෙති. එහි ම වධයෙන් මියෙති. මහරජානෙනි, මෙම කාරණය අප භාග්‍යවත් වූ අචින්තෙය්‍යරූපීන් වහන්සේ විසින් ‘සො න තාව කාලං කරොති යාච න තං පාපං කම්මං ව්‍යන්තිහොති’ යි යනුවෙන් මෙසේ වදාරණ ලදැ” යි කියා සද්ධර්ම සාක්ෂියක් ගෙණ හැර දක්වා වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මිහිරිකොට කියන ප්‍ර‍ශ්නකථාවෙහි දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටන ලද්දේ ය. ඒ ජලය වාතයෙහි පිහිටන ලද්දේ ය. වාතයතෙම යට අජටාකාශයෙහි පිහිටන ලද්දේ ය’ යි කියා නුඹ වහන්සේ කියනසේක. මම මේ වචනයත් නො අදහමි” යි කීහ. (71) එකල තෙරුන් වහන්සේ ඩබරාවකින් පැන් ගෙණ “මහරජානෙනි, යම් සේ මේ වතුර වාතයෙහි ධරණ ලද ද, එපරිද්දෙන් ම ඒ ජලපොළෝ සංඛ්‍යාත වූ ඒ මහවතුරත් මහත් වූ වාතයෙන් ධරණ ලද්දේ ය”යි කියා මිලිඳු රජ්ජුරුවන්ට අවබොධකරවා වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ”යි කියා ප්‍ර‍ශංසා කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිරොධ ය යි කියන ලද සර්වසංස්කාරප්‍ර‍වෘත්තිධර්මයන්ගේ නිරුද්ධ කිරීම නිර්වාණය දැ?”යි කීහ. “එසේ ය, මහරජානෙනි, නිරුද්ධිය නිර්වාණය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිරොධය නිර්වාණය වූයේ කෙසේ දැ?” යි කීහ. “මහරජානෙනි, මහත් වූ ක්ලේශයන් ඇති බැවින් පෘථග්ජන නම් වූ සියලු ම අඥාන පෘථග්ජනයෝ වනාහි අනාදිමත් සසර බොහෝ කරණ හෙයින් ආයතන නම් වූ ඒ අධ්‍යාත්මිකබාහිරායතනයෙහි විශෙෂයෙන් ම සතුටු වෙති. විශෙෂයෙන් ම ගුණ කියති. එහි ම බැස සිටිති. චක්ඛායතන රූපායතනාදී ද්වාදශායතන නමැති මහඋදකසොතයෙන් සංසාරමුහුදට ගෙණ යනු ලැබෙති. ජාති ජරා මරණ සොකයෙන් හා හැඬීමෙන් දුක්දොම්නසින් උපායාසයෙන් නො මිදෙති. එහෙයින් සියලු ම සංසාරදුක්ඛයෙන් නො මිදෙන ලද්දාහු ය යි කියමි. මහරජානෙනි, රූප ශබ්දාදියෙහි දොෂ ඇසීමෙන් ශ්‍රැතවත් වූ ආර්යශ්‍රාවකතෙම වනාහි ආධ්‍යාත්මිකබාහිරායතනයන් කෙරෙහි සන්තොෂ නො වන්නේ ය. කිසි ගුණයක් නො කියන්නේ ය. ආයතනයෙහි බැස නො සිටින්නේ ය. ඒ චක්ෂුරාදි ද්වාදශායතනයන්හට සන්තොෂ නො වන්නා වූ එහි ගුණ නො කියන්නා වූ එහි බැස නො සිටින්නා වූ ඒ ආර්යශ්‍රාවකයාගේ කාම තෘෂ්ණාදි වූ අෂ්ටොත්තරශතප්‍රභෙද වූ තෘෂ්ණාව නිරුද්ධ වන්නේ ය. ඒ තෘෂ්ණා නිරොධය හෙතු කොට ගෙණ උපාදාන ය යි කියන ලද කිඹුලා කටින් ඩැහැ ගත් දෙයක් හරවා ගත නො හැක්කා සේ, යම්කිසි කා විසිනුත් කියා හරවා ගත නො හැක්කා වූ පඤ්චකාම, මිත්‍යාදෘෂ්ටි, ගොශීලාදි බාහිරශීලය, ආත්මය ඇතැ යි කියා ගැණීම ය යන මෙහි අරමුණු දැඩි කොට ගැණීම නිරුද්ධ වන්නේ ය. ඒ කාමූපදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය, අත්තවාදූපාදානය යන චතුර්විධ වූ උපාදානයන්ගේ නිරොධය හෙතු කොට ගෙණ කාමභවාදි ත්‍රිවිධභවයාගේ නිරුද්ධිය වන්නේ ය. ඒ ත්‍රිවිධභවයාගේ නිරොධය හෙතු කොට ගෙණ දිව්‍යබ්‍ර‍හ්මමනුෂ්‍යාදි උත්පත්ති ජාතියාගේ නිරුද්ධිය වන්නේ ය. ඒ ජාතියෙහි නිරොධය හෙතු කොට ගෙණ ජරා මරණ සොක හැඬීම හා දුඃඛ දෞර්මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සියලු ම සංසාර දුඃඛසමූහයාගේ නිරුද්ධත්වය වන්නේ ය. මහරජානෙනි, මෙසේ වනාහි සර්වසංස්කාරප්‍ර‍වෘත්තිධර්මයන්ගේ නිරොධයතෙම නිර්වාණ ය” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අති දක්ෂ වූසේකැ”යි ප්‍ර‍ශංසා කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සියලු ම සත්වයෝ නිර්වාණය ලබන්නාහු දැ?” යි කීහ. “මහරජානෙනි, සියලු සත්වයෝ ම නිර්වාණය නො ලබති. එතෙකුදු වුවත් මහරජානෙනි, යමෙක් මනා කොට පිළිපදිමින් දැන ගත යුතු ධර්මයන් දැන ගණී ද, (72) පරිඤ්ඤෙය්‍ය වූ දුඃඛසත්‍යධර්මයන් දුකැ යි කියා දැන ගණී ද, දුරු කළ මනා වූ සමුදයසත්‍යධර්මයන් දුරු කෙරේ ද, භාවිත කළ මනා වූ මාර්ග සත්‍යධර්මයන් භාවිත කෙරේ ද, සාක්ෂාත් කළ යුතු වූ නිරොධසත්‍ය ධර්මයන් සිද්ධ කෙරේ ද, ඒ උත්තම පුරුෂතෙම නිර්වාණසම්පත්තිය ලබන්නේ ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් නිර්වාණය නො ලබා නම්, ඒ පුරුෂතෙම නිර්වාණය සැප ය යි කියා දනී දැ?” යි විචාළහ. “එසේ ය; මහරජානෙනි, යමෙක් තෙම නිර්වාණය නො ලබා ද, ඒ පුරුෂතෙම නිර්වාණය සැප ඇතැ යි කියා දන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නිවන් නො ලබන්නා වූ පුරුෂතෙම ‘නිර්වාණය සැප ඇතැ’ යි කියා කෙසේ දනී දැ?” යි කීහ. මහරජානෙනි, හේ කුමක් සිතන්නහු ද? යම් කෙනෙකුන්ගේ කන් නාසා හස්ත පාද සිඳිනා නො ලද්දේ වී නම්, මහරජානෙනි, නො සිඳිනා ලද හස්තපාදයන් ඇති ඒ සත්වයෝ අත් පා කැපීම දුක්ඛවෙදනා ඇතැ යි කියා දන්නාහු දැ?” යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, දනිති”යි කීහ. “කෙසේ දනිද් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අත් පා කපන ලද්දා වූ සෙසු සත්වයන්ගේ හැඬීම් හා විලාපශබ්දයන් අසා ‘අත් පා කැපීම ඉතා දුකැ’ යි කියා දන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කෙනෙකුන් විසින් අමෘතමහානිර්වාණය දක්නා ලද ද, ඔවුන්ගේ උදාන ප්‍රීතිවාක්‍ය ශබ්දයන් අසා ‘නිර්වාණය සැප ඇතැ’ යි කියා දනිති” යි වදාළ සේක. එකල රජ්ජුරුවෝ “කල්ලොසි භන්තෙ නාගසෙන” යි ස්තුති කළහ.

සකලජනමනොනන්දනීය වූ මේ මිලින්දප්‍ර‍ශ්න නම් වූ ශ්‍රීසද්ධර්මාදාසයෙහි සතරවන වර්ගය නිමියේ ය.

  1. ඉස්මක්-සමහර පොත්හි

  2. මෝ

  3. ‘පන්ථං’-සංයුත්තනිකාය

  4. ‘ඣායති’-සංනි

  5. මෙහි පරිවර්තනය වැරදිය

  6. මෝරුන්

  7. කිමෙක්ද වනාහි