සංඝපූජනීය ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ලොවුතුරා බුදුන්ගේ මාතෘ වූ මහාමායාදෙවීන්ගේ නැගනි වූ මහාප්‍ර‍ජාපතිගොතමි නම් කුඩා මෑනියන් විසින් තමන් වහන්සේට වැසිසළුසිවුරක් දෙන කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ගෞතම ගොත්‍ර‍ ඇති මා මෑනියෙනි, තෙල සිවුර සංඝයා කෙරෙහි දුන මැනැව. නුඹ විසින් සංඝයා කෙරෙහි සිවුර දුන් කල්හි මම ද පුදන ලද වීමි. සංඝතෙමේ ද පුදන ලද වන්නේ ය’ යි කියා මෙපවත් වදාරණ ලද්දේ ය. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සංඝරත්නයට වඩා බැරෑරුම් නො වනසේක් ද? මහත් නො වනසේක් ද? දක්ෂිණාර්හ නො වනසේක් ද? තථාගතයන් වහන්සේ තමන්ගේ කුඩා මෑනියන් විසින් තමා ම පිඤ්ජනය කරණ ලද්දා වූ තමා ම සිඳින ලද්දා වූ තමා ම පොථිත කරණ ලද්දා වූ යම් වැසිසළුසිවුරක් තමන් වහන්සේට දෙන කල්හි සංඝයා වහන්සේට දෙවා වදාළසේක. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සංඝරත්නයට වඩා උත්තරීතර වනසේක් වී නම්, අධිකතර (287) වනසේක් වී නම්, විශෙෂතර වනසේක් වී නම්, සිවුර මට දුන් කල්හි මහත් ඵලය වන්නේ ය’ යි කියා දන්නාසේක් වී නම් තථාගතයන් වහන්සේ කුඩා මෑනියන් ලවා තමා විසින් ම පිඤ්ජනය කරණ ලද්දා වූ තමා විසින් ම ලුඤ්චනය කරණ ලද්දා වූ තමා විසින් ම පුලුන් ගසන ලද්දා වූ තමා විසින් ම කටින ලද්දා වූ තමා විසින් ම වියන ලද්දා වූ වැසිසළුසිවුර සංඝයා කෙරෙහි නො දෙවා වදාරණසේක. ‘ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් හෙයකින් තථාගතයන් වහන්සේ තමන් පූජාවට නො එළඹෙනසේක් සමීප නො වනසේක් ද, එහෙයින් තථාගතයන් වහන්සේ කුඩා මෑනියන් ලවා වැසිසළුසිවුර සංඝයා වහන්සේ් දෙවා වදාළසේකැ” යි කීහ.

“මහරජානෙනි, සුද්ධෝදන නම් මහරජානන්ට අග්‍රමෙහෙසිකා වූ මහාමයාදේවීන් වහන්සේ අප බුදුන් උපන් සත්දවසින් කලුරිය කොට දෙවුලොව උපන්හ. එකල මහාප්‍ර‍ජාපතීගොතමී වහන්සේ එදවස් තමන් කුසින් උපන් නන්දකුමාරයන් කිරිමවුන්ට භාර කොට මහාබොධිසත්වයන් මහත් වූ ප්‍රෙමයෙන් වැඩූහ. එහෙයින් ලොවුතුරා බුදු ව ඥාති සංග්‍ර‍හය පිණිස කපිලවස්තුපුරයට වැඩි ගමනේ අනන්ත වූ බුද්ධශ්‍රීයෙන් බබළන්නා වූ ලොවුතුරා බුදුන් දැක ‘මේ නියා ලොවුතුරා තුන්ලොවට සෙත්සිරිදෙන බුදුරුවනක් පොෂ්‍යය කොට වැඩූයෙමි’ යි කියා මහත් වූ ප්‍රීතියට පැමිණ මහත් වූ ප්‍රෙමයෙන් ස්වහස්තයෙන් ම සිවුරක් කොට ‘ලොවුතුරා බුදුන් පලඳවමි’ යි සිතා සමීපාපණයකින් කපු ගෙන්වා ගෙණ සියතින් කපු කපා පුළුන් තළා වළු කොට සිහින් නූල් කැට ඇතුළු මළුයෙහි ම ශාලාවක් කරවා පෙහෙරුන් රැස් කරවා කෑම්පීම් ආදිය දෙවා වියමන් සදවා දෙවඟනක් සේ මහත් වූ ශ්‍රීයෙන් ස්ත්‍රින් පිරිවරා ශාලාවට ගොස් නඩාව හෙළා වෙළුම කෙළවර අල්වා තද කොට එක් නුහුලක් වියා පෙහෙරුන්ට සත්කාර කරවා සළුදෙකක් වියවා ගෙණ සුවඳ කවා පත් කොට විසිතුරු කරඬුවෙක ලා හිස තබා ගෙණ නොයෙක් පෙරහරින් නිග්‍රොධාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ ස්වහස්තයෙන් නුඹ උදෙසා ම කළ මේ සිවුරු පිළිගෙණ වදාළ මැනැවැ’ යි කියා පිරිනමාලුව.

“එකල භාග්‍යවත් බුදුරජානන් වහන්සේ විසින් ඒ මාතෘ නැඟනි වූ මහාප්‍ර‍ජාපතීගොතමීන් වහන්සේ විසින් ඒ වැසිසළුසිවුරු දෙන කල්හි ‘ගෞතමගොත්‍ර‍ ඇති මාගේ මෑනියෙනි, සිවුරු සංඝයා කෙරෙහි දුන මැනැව. සංඝයාට දුන් කල්හි මම ද පුදනු ලබන්නෙමි යි, සංඝතෙම ද පුදන ලද වෙයි’ කියා, මෙපවත් වදාරණ ලද්දේ ය ඒ වදාළ බව වනාහි තමන් වහන්සේට පූජා කළාහට අවිපාක බැවිනුත් නො වන්නේ ය. අදක්ෂිණාර්හ බැවිනුත් නො වන්නේ ය. එතෙකුදු වුවත් ‘මතු පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි සංඝතෙම මාගේ ඇවෑමෙන් ලොකයා විසින් පූජා කරණ ලද වේවා’ යි සිතා සංඝයාගේ විද්‍යමාන වූ ගුණය ම ප්‍ර‍කාශ කර වදාරණසේක් ‘ගෞතමගොත්‍ර‍ ඇති මෑනියෙනි, සිවුර සංඝයා කෙරෙහි දුන් කල්හි මම ද පුදන ලද වන්නෙමි. සංඝතෙම ද පුදන ලද වන්නේ ය’ යි කියා මෙසේ සංඝයාට හිතවැඩ පිණිස අනුකම්පාවෙන් ම වදාළසේක. තව ද මහරජානෙනි, යම් සේ පියානන් ජීවත්වන කාලයෙහි ම තමාගේ පුත්‍ර‍යා ගුණ කියා ‘මේ රාජසභායෙහි තබන ලද්දේ වී නම්, අනාගත කාලයෙහි ජනසමූහයා මධ්‍යයෙහි පූජිත වන්නේ ය’ යි සිතා පුත්‍ර‍යා ගෙණ ගොස් අමාත්‍ය යොධ භට බල ප්‍ර‍ධානික දොරටුපාල රාජදෙහාවයට රක්නා අමාත්‍යරාජ (288) පිරිස්ජනමධ්‍යයෙහි රජ්ජුරුවන් සමීපයෙහි දී පුත්‍ර‍යාගේ විද්‍යමාන වූ ගුණය ම ප්‍ර‍කාශ කොට කියන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේත්:-

‘හිතත්‍ථාය අනුකම්පාය අනාගතමද්ධානං සංඝො මමච්චයෙන චිත්තීකතො භවිස්සතීති විජ්ජමානෙයෙව ගුණෙ පරිකිත්තයන්තො එවමාහ: ‘සංඝෙ ගොතමී දෙහි. සංඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සංඝො ච’ යි

කියා මෙම අර්ථය වදාළසේක. මහරජානෙනි, වස්සිකසාටිකානුප්‍ර‍දානමාත්‍ර‍ වූ එපමණකින් ම සංඝතෙම තථාගතයන් වහන්සේට වඩා අධිකතර නො වනසේක. විශෙෂතර ද නො වනසේක. තවද, මහරජානෙනි, යම් සේ දෙමවුපියෝ පුත්‍ර‍යාගේ ඇඟ උළන්නාහු ය, මර්දනය කරන්නාහු ය, නහවන්නාහු ය, සම්බාහණය කරන්නාහු ය, කිමෙක් ද, මහරජානෙනි, ඒ උච්ඡාදන පරිමර්දන නහාපන පමණකින් ම පුත්‍රතෙම මාතෘපිතෘන්ට වඩා අධිකතර වේ ද? විශෙෂතර වේ දැ? යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, ස්වාමීනි, පුත්‍රයෝ මාතෘපිතෘන් විසින් අකාමකරණීයෝ ය. පුත්‍ර‍යන්ගේ නො කැමැත්තෙන් ම කෙරෙති. එසේ හෙයින් ම දෙමවුපියෝ පුත්‍ර‍යන්ගේ ශරීරය උච්ඡාදන පරිමර්දන නහාපන සම්බාහනය කරන්නාහු ය’ යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම එපමණ වැසිසළුසිවුර දුන් මාත්‍ර‍යකින් ම සංඝතෙම තථාගතයන් වහ්නසේට වඩා අධික නො වනසේක. විශෙෂ නො වනසේක. එතෙකු දු වුවත් තථාගතයන් වහන්සේ අකාමකරණීය කරණසේක් කුඩා මෑනියන්ගේ ඒ වැසිසළුසිවුර සංඝයා වහන්සේට දෙවා වදාළසේක. තවද, මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් පෘථිවිශ්වර වූ රජක්හට අයපඬුරක් ගෙණවුත් දැක්වූයේ වී නම්, රජ්ජුරුවෝ ඒ අයපඬුරු ගෙණ එක්තරා යොධභටයෙකුට හෝ බලප්‍ර‍ධානයෙකුට හෝ සෙනාපතිහට හෝ පුරෝහිතයාහට හෝ දෙන්නාහු ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ අයපඬුරු ප්‍ර‍තිලාභ[1] මාත්‍ර‍යකින් ම ඒ පුරුෂතෙම ඒ රජහට අධිකතර වේ ද? විශෙෂතර වේ දැ” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, ඒ පුරුෂතෙම රාජභතිකයා ය. ස්වාමීනි, රජ්ජුරුවන් නිසා ජීවත් වන්නවුන් ඒ ජීවනස්ථානයෙහි තබන්නා වූ රජ්ජුරුවෝ ඒ අයපඬුර දෙනසේකැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම වස්සිකසාටිකානුප්‍ර‍දානමාත්‍ර‍ වූ එපමණකින් ම සංඝයා වහන්සේ තථාගතයන් වහන්සේට වඩා අධික නො වනසේක. විශෙෂතර ද නොවන සේක. එසේ කල සංඝතෙම බුදුන් අනුදත් දෙයක් ම අනුභව කරණ හෙයින් තථාගත භොජක වනසේක. තථාගත ජීවික වූ සංඝයා ජීවනස්ථානයෙහි තබා වදාරන්නා වූ තථාගතයන් වහන්සේ සංඝයා වහන්සේට වැසිසාරමසට වලඳින වැසිසළු සිවුර දෙවා වදාළසේක. එතෙකුදු වුවත්, මහරජානෙනි, අප තථාගතයන් වහන්සේට මෙ බඳු වූ කරුණාවෙක් වි ය. මාගේ මේ සංඝතෙම ද ස්වභාවයෙන් ම පූජනීය වූයේ ය. එහෙයින් මා සන්තක ව පිරිනැමුනු මේ සිවුරෙන් සංඝයා පූජා කෙරෙමි යි සිතා සංඝයා වහන්සේට වස්සිකසාටිකය දෙවා වදාළසේක. මහරජානෙනි, තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ම කරණ පූජාව වර්ණනා නො කරණසේක, නොහොත් ලොකයෙහි යම් කෙනෙක් පූජාසත්කාරයට සුදුසු වෙද්ද, ඔවුන්ට කරණ පූජා (289) සත්කාරය ද තථාගතයන් වහන්සේ වර්ණනා කර වදාළසේක. මහරජානෙනි, අල්පෙච්ඡ වූ ප්‍ර‍තිපත්තිය ප්‍ර‍කාශ කර වදාරන්නා වූ දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් මධ්‍යමනිකායවරලාංඡනයෙහි වූ ධර්මදායාදසූත්‍රයෙහි ‘මාගේ පූජ්‍යතර වූ ප්‍ර‍ශස්‍යතර වූ පළමුවන භික්ෂුනමෙක් වූයේ ම ය’ යි[2] කියා මේ බව වදාරණ ලද්දේ ය. මහරජානෙනි, තථාගතයන් වහන්සේට වඩා දක්ෂිණාර්හ වූ උත්තරීතර වූ හෝ අධික ව හෝ විශෙෂතර වූ හෝ කිසි ම සත්වයෙක් භවත්‍රයෙහි ම නැත්තේ ය. තථාගතයන් වහන්සේ ම උත්තරතර වූසේක. අධික වූසේක. විශෙෂතර වූසේක. මහරජානෙනි, මේ කාරණය සංයුත්සඟිවරයෙහි මාණවගාමික නම් දිව්‍යපුත්‍ර‍යා විසින් ලොවුතුරා බුදුන්ගේ ඉදිරිපිට සිට සියලු දිව්‍යමනුෂ්‍යයන් මධ්‍යයෙහි කියන ලද්දේ ය:-

‘විපුලො රාජගහිකානං-ගිරි සෙට්ඨො පවුච්චති,

සෙතො හිමවතං සෙට්ඨො-ආදිච්චො අඝගාමිනං.

සමුද්දො උදධීනං සෙට්ඨො-නක්ඛත්තානඤ්ච චන්‍දිමා,

සදෙවකස්ස ලොකස්ස-බුද්ධො අග්ගො පවුච්චති.’

යනුවෙන් ‘ලොවුතුරා බුදුරජානෙනි, රජගහනුවර වටා පිහිටි සියලු පර්වතයන්ට වඩා මේ විපුල නම් පර්වතය ශ්‍රෙෂ්ඨ ය’ යි කියනු ලැබෙයි. හිමාලයෙහි වූ පර්වතයන්ට වඩා ශ්වෙත නම් පර්වතය ශ්‍රෙෂ්ඨ වන්නේ ය. ආකාශගාමීන්ට වඩා සූර්යදිව්‍යරාජතෙම ශ්‍රෙෂ්ඨ වන්නේ ය. සියලු ම ජලස්ථානයන්ට වඩා මහාසමුද්‍ර‍ය ශ්‍රෙෂ්ඨ වන්නේ ය. සියලු ම නක්ෂත්‍ර‍ තාරකාවන්ට වඩා චන්ද්‍ර‍දිව්‍යරාජතෙම ශ්‍රෙෂ්ඨ වන්නේ ය. දිව්‍යබ්‍ර‍හ්ම මාරමානුෂික සකල සත්වලොකයාහට සව්නේ ගෙවා දත් ලොවුතුරා බුදුරජානෝ අග්‍ර‍ ය යි කියනු ලැබෙ’ යි කියා මෙසේ කීයේ ය: මහරජානෙනි, ඒ මේ වනාහි මාණවගාමිකදිව්‍යපුත්‍ර‍යා විසින් ගාථා මනා කොට කියන ලද්දේ ය. නපුරු කොට නො කියන ලද්දේ ය. සුභාෂිත කොට කියන ලද්දේ ය. දුර්භාෂිත කොට නො කියන ලද්දේ ය බුදුන් විසින් ද මැනැවැයි අනුදන්නා ලද්දේ ය. මහරජානෙනි, සද්ධර්මසෙනාධිපති වූ සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් ද ‘මාරබල නසන්නා වූ ලොවුතුරා බුදුන් කෙරෙහි කරණ ලද එක ම චිත්තප්‍ර‍සාදයෙක් හෝ සරණාගමනයෙක් හෝ නමස්කාරයෙක් හෝ ඇද්ද, ඒ තෙම ඒ සත්වයන් සසරින් එතෙර කරන්ට සමර්ථ වන්නේ ය’ යි කියා වදාරණ ලද නො වේ ද? දෙවාතිදෙව වූ අප භාග්‍යවතුන් වහන්සේ විසින් ද ‘මහණෙනි, ලොකයෙහි එක් පුද්ගලයෙක් උපදිමින් බොහෝ ජනයාහට හිත පිණිස සැප පිණිස ලෝකානුකම්පා පිණිස ප්‍රයෝජන පිණිස දිව්‍යමනුෂ්‍යයන්ට හිතසැප පිණිස උපදනේ ය. ඒ කවර නම් එක පුද්ගලකෙනෙක් ද? යත්:- තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥරාජතෙම සියලු ම දිව්‍යමනුෂ්‍යාදින්ට හිතසැප පිණිස උපදනේ ය’ යි යනාදි වදාරණ ලද්දේ ය. එතෙකුදු වුවත්, මහරජානෙනි, අප තථාගතොත්තමයාන් (290) වහන්සේ දක්ෂිණාවිභංගසූත්‍රාන්තයෙහි තුදුස්ප්‍ර‍කාර පුද්ගලිකදානයන් ප්‍ර‍කාශ කොට දානානිසංසහා සංඝගත දක්ෂිණායෙහි මහත්ත්වය දක්වනසේක්:-

‘තත්‍රානන්‍ද, තිරච්ඡානගතෙ දානං දත්‍වා සතගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බං. පුථුජ්ජනදුස්සීලෙ දානං දත්‍වා සහස්සගුණා පාටිකංඛිතබ්බා. පුථුජ්ජනසීලවන්තෙ දානං දත්‍වා සත සහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා. බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දත්‍වා කොටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්‍වා අසංඛෙය්‍යා අප්පමෙය්‍යා දක්ඛිණා පාටිකංඛිතබ්බා. කො පන වාදො සොතාපන්නෙ? කො පන වාදෙ සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ? කො පන වාදො සකදාගාමිස්ස? කො පන වාදො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො? කො පන වාදො අනාගාමිස්ස? කො පන වාදො අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෙ? කො පන වාදො අරහන්තෙ? කො පන වාදො පච්චෙකබුද්ධෙ? කො පන වාදො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ?

‘සත්ත ඛො පනීමානන්‍ද, සඞ්ඝගතා දක්ඛිණා-බුද්ධපමුඛෙ උභතොසඞ්ඝෙ දානං දෙති, අයං පඨමා සඞ්ඝගතා දක්ඛිණා. තථාගතෙ පරිනිබ්බුතෙ උභතොසඞ්ඝෙ දානං දෙති, අයං දුතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුසඞ්ඝෙ දානං දෙති, අයං තතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුණීසඞ්ඝෙ දානං දෙති. අයං චතුත්‍ථි සඞ්ඝගතා දක්ඛිණා. එත්තකා මෙ භික්ඛු ච භික්ඛුණියො ච සඞ්ඝතො උද්දිසථාති දානං දෙති, අයං පඤ්චමී සඞ්ඝගතා දක්ඛිණා. එත්තකා මෙ භික්ඛුසඞ්ඝතො උද්දිසථාති දානං දෙති, අයං ඡට්ඨි සඞ්ඝගතා දක්ඛිණා. එත්තකා මේ භික්ඛුණියො සඞ්ඝතො උද්දිසථාති දානං දෙති, අයං සත්තමී සඞ්ඝගතා දක්ඛිණා. භවිස්සන්ති ඛො පනානන්‍ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලෙසු සඞ්ඝං උද්දිස්ස දානං දස්සන්ති, තදාපහං ආනන්‍ද සඞ්ඝගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්‍වෙවාහං ආනන්‍ද, කෙනචි පරියායෙන සඞ්ඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි.’

“ආනන්දයෙනි, එහි තිරශ්චීනගත සත්වයා කෙරෙහි දන් දී ඒ පින්කමින් සියක්ජාතියෙහි ආයු වර්ණ සැප බල නුවණ යන අනුසස්පසක් බැගින් පන්සියක් අනුසස් ලැබීමෙන් ඒ දක්ෂිණාව[3] සියයක් අනුසස් කැමැති විය යුතු වන්නේ ය. ලැබිය යුතු වන්නේ ය. මෙසෙයින් පෘථග්ජන දුශ්ශීල මිනිසක්හට දන් දී දහසක් ජාතියෙහි පන්දහසක් අනුසස් ලැබිය යුතු වන්නේ ය. පෘථග්ජන සිල්වත් මිනිසක්හට දන් දී (291) ලක්ෂයක් ජාතියෙහි පනස්ලක්ෂයක් අනුසස් ලැබිය යුතු වන්නේ ය. ශාසනයෙන් පිටත පහ වූ කාමරාග ඇති ධ්‍යාන ලාභියක්හට දන් දී කොටිලක්ෂයක් ජාතියෙහි පස්කොටිලක්ෂයක් අනුසස් ලැබිය යුතු වන්නේ ය. සෝවාන්මාර්ගයට පැමිණියක්හට දන් දී අසංඛෙය්‍ය වූ අප්‍රමෙය වූ අනුසස් ලැබේ ම ය. සෝවාන්ඵලප්‍රාප්ත වූ කෙනෙකුන්හට දුන් දානයෙහි අනුසස් කියනු ම කවරේ ද සකෘදාගාමි මාර්ගයට පැමිණියක්හට කියනු ම කවරේ ද? සකෘදාගාමිඵලයට පැමිණියක්හට කියනු ම කවරේ ද? අනාගාමිමාර්ගයට පැමිණියක්හට කියනු ම කවරේ ද? අනාගාමිඵලයට පැමිණියක්හට කියනු ම කවරේ ද? අර්හත් මාර්ගයට පැමිණියක්හට දුන් දානයෙහි අනුසස් නො බුදු වූ කවරෙක් කියා ද? එසේ ම රහත් කෙනකුන්හට දුන් දානයෙහි අනුසස් කියනු ම කවරේ ද? පසේබුදු කෙනකුන්හට දුන් දානයෙහි අනුසස් කියනු ම කවරේ ද? තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙකුන්හට දුන් දානයෙහි අනුසස් කවරෙක් නම් කියා ද?

“ආනන්දයෙනි, මේ සංඝගත දක්ෂිණාවෝ සත්වැදෑරුම් වෙති. හේ කවරේ ද? යත්:- බුදුන් ප්‍ර‍මුඛ වූ භික්ෂුභික්ෂුණී සංඛ්‍යාත වූ උභතො සංඝයා වඩා හිඳුවා දන් දෙන්නේ ය. මේ පළමු වන සංඝගතදක්ෂිණාව ය. තථාගතයන් පිරිනිවි කල දෙපාර්ශවයෙහි උභතොසංඝයා වඩා හිඳුවා මධ්‍යයෙහි බුද්ධාසනයක් පණවා ඒ අස්නට සධාතුක පිළිමයක් වඩා බුදුන් පෙරටු ව ආධාරයෙක හැම පිදිය යුතු[4] දෑ සදා තබා ‘ඉමං භික්ඛං සසූපබ්‍යඤ්ජනං ඉමස්මං නිසින්නස්ස බුද්ධපමුඛස්ස සකලස්ස භික්ඛුසංඝස්ස දෙමි’[5] යන වාක්‍යය කියා හැමදෑ පළමු ව බුදුන්ට පුදා සඟනට පිළිවෙළින් දිය යුතු වන්නේ ය මේ දෙවෙනි වූ සංඝගත දක්ෂිණාව ය. සඟුන් ම වඩා හිඳුවා පසය එළවා ‘මෙහි වැඩඋන් සියලු සඟනට මේ පසය දෙමි’ යි කියා දෙන්නේ ය. මේ තුන්වැනි සංඝගතදක්ෂිණාව ය. භික්ෂුණීසංඝයා ම වඩා හිඳුවා ‘මෙහි වැඩඋන් සියලු භික්ෂුණීසංඝයාට මේ පසය දෙමි’ යි කියා දෙන්නේ ය. මේ සතරවන සංඝගතදක්ෂිණාව ය. යමෙක් වෙහෙරට ගොස් සඟුන් වැඳ ‘වහන්ස, සඟින් මට මෙපමණ භික්ෂුසංඝයා මෙපමණ භික්ෂුණීසංඝයා දෙන්නේ ය’ යි කියා සාංඝිකනිමන්ත්‍ර‍ණයක් පවරා දන් දෙන්නේ ය. මේ පස්වන සංඝගත දක්ෂිණාව ය. ‘වහන්ස, මට සඟින් මෙපමණ සංඝයා දෙන්නේ ය’ යි කියා සාංඝික නිමන්ත්‍ර‍ණයෙන් පවරා දන් දෙන්නේ ය. මේ සවන සංඝගතදක්ෂිණාව ය. ‘වහන්ස, මට සඟින් මෙපමණ භික්ෂුණීසංඝයා දෙන්නේ ය’ යි කියා පවරා දන් දෙන්නේ ය. මේ සත්වන සංඝගතදක්ෂිණාව ය. ආනන්දයෙනි, අනාගත කාලයෙහි සහඹු ව වාසය කිරීමෙන් පාපධර්මසමන්නාගත වූ දුශ්ශීලාචාර ඇති කර බැඳි කඩින් ‘උපසම්පන්නයම්හ’ යි කියා ප්‍ර‍තිඥා ඇති ගොත්‍ර‍භූ නම් දුශ්ශීලයෝ වර්ගයෙක් වෙති. එකල කුසල් කරණ සත්වයෝ ‘දන් සරහා සංඝයාහට දෙම්හ’ යි කියා ඒ දුශ්ශීලයන්ට මාගේ සංඝයා උදෙසා දන් දෙති. ‘ආනන්දයෙනි, එකල්හි දු සංඝගත වූ ඒ දක්ෂිණාව අසංඛෙය්‍ය වූ අප්‍රමෙය වූ අනුසස් ඇතැ’ යි මම කියන්නෙමි. ‘ආනන්දයෙනි, සංඝගත වූ හා දක්ෂිණාව (292) පුද්ගලීකදානය කවර කාරණයකින් මහත් ඵල ඇතැයි කියා මම නො කියන්නෙමි’ යි කියා පස්වාදහසක් හවුරුදු මුලුල්ලෙහි සංඝරත්නය දිව්‍යමනුෂ්‍යයන්ට පින්කෙත් කොට තබා වදාළ සේකැ” යි කීසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නය එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

සංඝපූජනීයප්‍ර‍ශ්නය යි.

  1. ප්‍ර‍තිෂ්ඨා ලාභ

  2. මෙහි ද පරිවර්තනය වැරදී ය ‘පිණ්ඩපාතය නො වැළඳූ ඒ පළමු භික්ෂු නම ම ඉතා පිදිය යුතු ද පැසසිය යුතු ද වෙයි’ යනු පාළිපාඨයෙහි තේරුම යි.

  3. දක්ෂිණාතොම

  4. පිදිය

  5. මේ පාඨය ද ධර්මානුකූල නො වේ.