“පින්වත් වූ නාගසෙනස්ථවිරොත්තමයානෙනි, ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මම ගෘහස්ථයාගේ හෝ ප්‍රව්‍රජිතයාගේ හෝ සම්‍යක්ප්‍රතිපත්තිය වර්ණනා කෙරෙමි. මහණෙනි, ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ මනා කොට පිළිපන්නේ සම්‍යක්ප්‍රතිපත්ති කරණයෙන් අනවද්‍ය වූ යහපත් වූ නිර්වාණධර්මය සිද්ධ කිරීමෙන් ආරාධක වන්නේ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ශ්වෙතවස්ත්‍රාදි විසිතුරු වූ වස්ත්‍ර ධරන්නා වූ පඤ්චකාමසම්පත් අනුභව කරන්නා වූ පුත්‍රදාරාවන්ගෙන් සම්බාධ වූ සයනයෙහි වාසය කරන්නා වූ ඡවිරාග කරණය සඳහා කසා සඳුන් වලඳින්නා වූ මල්සුගන්ධ විලෙපනයෙන් ධාරණයෙන් සැරහෙන්නා වූ ස්වර්ණරජතාදිය සිතින් ඉවසන්නා වූ මාණික්‍යස්වර්ණයෙන් විචිත්‍ර වූ ඔටුනු බඳනා ලද්දා වූ මනා කොට පිළිපන්නා වූ ගෘහස්ථ තෙම අනවද්‍ය වූ නිර්වාණධර්මය සිද්ධ කරන්නේ වේ නම්, හිස මුඩු ව ගෙණ කාෂාවස්ත්‍ර ධරන්නා වූ දොර දොර සිඟා ලබන රසපිණ්ඩයට එළඹෙන්නා වූ චතුර්විධශීලස්කන්ධයෙහි මනා කොට සම්පූර්ණකාරී වූ එසියපණසක් පමණ ශික්ෂාපදයන් සමාදන් ව පවත්නා වූ තෙළෙස් ධුතාංගගුණයන් නිරවශෙෂ කොට සමාදන් ව පවත්නා වූ මනා කොට පිළිපන්නා වූ ප්‍රව්‍රජිතයන් වහන්සේ ද අනවද්‍ය වූ නිර්වාණධර්මය සිද්ධ කර ගන්නේ වේ නම්, ස්වාමීනි, එහි ගෘහස්ථයාගේ ද ප්‍රව්‍රජිතයන් වහන්සේගේ ද විශෙෂ කවරේ ද? තපස්ක්‍රියාව අඵල වන්නේ ය. ප්‍රව්‍රජ්‍යාවත් නිරර්ථක වන්නේ ය. ශික්ෂාපද රක්ෂා කිරීමත් වඳ වන්නේ ය. ධුතාංගගුණසමාදානය ද සිස් වන්නේ ය. ඒ ප්‍රව්‍රජිතකෘත්‍යයෙහි දුක් රැස් කිරීමෙන් කම් කිම් ද? සැපයෙන් ම සැපතට පැමිණිය යුතු නො වේ දැ’ යි කීහ.
“සැබෑව, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්-
‘ගිහිනො වාහං භික්ඛවෙ පබ්බජිතස්ස වා සම්මාපටිපත්තිං වණ්ණෙමි. ගිහී වා භික්ඛවෙ පබ්බජිතො වා සම්මාපටිපන්නො සම්මාපටිපත්තාධිකරණං ආරාධකො හොති ඤායං ධම්මං කුසලං’ යි
කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. ඒ වදාළ කාරණය එසේ ම ය. මහරජානෙනි, මනා කොට පිළිපන්නා වූ පුද්ගලයා ම ශ්‍රෙෂ්ඨ වන්නේ ය. මහරජානෙනි, යමෙක් ප්‍රව්‍රජිත වූයේ ද, මම පැවිදි වීමි යි කියා මනා කොට මහණධර්මය නො පිළිපදිනේ වී නම් එසේ කල හෙතෙම[1] ශ්‍රමණ භාවයෙන් දුරු (293) වූයේ ය. උත්තමභාවයෙන් ද දුරු වූයේ ය. ශ්වෙත වස්ත්‍රධාරී වූ ගෘහස්ථයා මනා කොට පිළිපදී නම් කියනුම කවරේ ද? මහරජානෙනි, මනා කොට පිළිපන්නා වූ ගෘහස්ථතෙම අනවද්‍ය වූ නිර්වාණ ධර්මය සිද්ධ කරන්නේ වේ. මහරජානෙනි, ප්‍රව්‍රජිත වූයේ ද මනා කොට පිළිපදනේ අනවද්‍ය වූ නිර්වාණධර්මය සිද්ධ කරන්නේ වේ ද, මහරජානෙනි, එතෙකුදු වුවත් ප්‍රව්‍රජිතයන් වහන්සේ ම ශ්‍රමණබවට ඊශ්වර වන්නේ ය. අධිපති වන්නේ ය, මහරජානෙනි, ප්‍රව්‍රජ්‍යාව බොහෝ වූ ගුණ ඇත්තේ ය. අනෙක ගුණ ඇත්තේ ය. අප්‍රමාණ වූ ගුණ ඇත්තේ ය. ප්‍රව්‍රජ්‍යාවගේ ගුණය ප්‍රමාණ කරන්ට නො හැක්කේ ය. මහරජානෙනි, යම් සේ කැමැති කැමැති සියලු ම සම්පත් දෙන්නා වූ චින්තාමාණික්‍ය රත්නයාගේ අනගිබව මාණික්‍යරත්නයට ‘මිල ය මෙපමණ ය’ යි කියා කිසි ධනයක් හා ප්‍රමාණ කරන්ට නො හැක්කේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍රව්‍රජ්‍යාව බොහෝ වූ ගුණ ඇත්තේ ය. අනෙකගුණ ඇත්තේ ය. අප්‍රමාණ වූ ගුණ ඇත්තේ ය. ප්‍රව්‍රජ්‍යාවගේ ගුණය ප්‍රමාණ කරන්ට නො හැක්කේ ම ය.
“තවද, මහරජානෙනි, යම් සේ මහාසමුද්‍රයෙහි රැළ නැඟීම් ‘මහාසමුද්‍රයෙහි රැළ මෙපමණ ය’ යි කියා ප්‍රමාණය කරන්නට නො හැක්කේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍රව්‍රජ්‍යාව බොහෝ වූ ගුණ ඇත්තේ ය. අනෙක ගුණ ඇත්තේ ය. අප්‍රමාණ වූ ගුණ ඇත්තේ ය. ප්‍රව්‍රජ්‍යාවගේ ගුණය ප්‍රමාණ කරන්නට නො හැක්කේ ම ය, මහරජානෙනි, ප්‍රව්‍රජිතයන් වහන්සේගේ යම් කිසි කළ මනා කෘත්‍යයෙක් ඇත්තේ වී නම්, ඒ සියලු ම කෘත්‍යය වහා ම සිද්ධ වන්නේ ය. බොහෝ කල් නො යවන්නේ ය. එයට කාරණා කවරේ ද? යත්:- මහරජානෙනි, ප්‍රව්‍රජිතයන් වහන්සේ අල්පෙච්ඡ වනසේක. සන්තුෂ්ට වනසේක. විවෙක වනසේක. අසංසෘෂ්ට වනසේක. පටන් ගන්නා ලද වීර්ය ඇති වනසේක. නිරාලය වනසේක. නිත්‍යගෘහයක් නැති වනසේක. සම්පූර්ණ වූ සිල් ඇති වන සේක. සැහැල්ලු ප්‍රවෘත්ති ඇති වනසේක. ධුතාංගප්‍රතිපත්තියෙහි දක්ෂ වනසේක. ඒ කාරණයෙන් ප්‍රව්‍රජිතයන් වහන්සේගේ යම්කිසි කටයුතු කෘත්‍යයෙක් ඇද්ද, ඒ සියල්ල ම කල් නො යවා වහා ම සමෘද්ධ වන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ කිසි ග්‍රන්ථියක් නැත්තා වූ වට සම වූ යහපත් සේ මුවහත් කරණ ලද්දා වූ සෘජු වූ නිර්මල වූ යහපත් කොට හරණ ලද්දා වූ අයොමය නාරාචයතෙම මනා කොට පැමිණේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම මහණුන් වහන්සේගේ යම් කිසි කට යුතු කෘත්‍යයෙක් ඇද්ද, ඒ සියල්ල ම වහා ම සමෘද්ධ වන්නේ ය. බොහෝ කලක් පමා නො වන්නේ ය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍රශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.
ප්‍රව්‍රජ්‍යාවිශෙෂප්‍රශ්නය යි.
-
ඔහු ↑