“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්:-
‘අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං එකිස්සා
ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං
අචරිමා උප්පජ්ජෙය්‍යුං, නෙතං ඨානං විජ්ජති’ යි.
යන මෙයින් බහුධාතුකසූත්‍රයෙහි ‘මහණෙනි, එක් ලොකධාතුයෙක්හි අර්හත් සම්‍යක් සම්බුද්ධවරයෝ දෙදෙනෙක් එක් ව උපදනාහු ය යන යමෙක් ඇද් ද, ඒ බව අකාරණයෙක. එබඳු ප්‍රත්‍යයයෙක් නො වන්නේ ය. එබඳු කාරණයක් විද්‍යමාන නො වන්නේ ය’යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දෙශනා කරන්නා වූ ද සියලු ම තථාගතයන් වහන්සේලා සත්තිස්බොධිපාක්ෂිකධර්මයන් දෙශනා කරණසේක්ලා ය. කථනය කෙරෙමින් ද චතුරාර්යසත්‍යධර්මය කථනය කරණසේක්ලා ය. ශික්ෂණය කරවන්නාහු ද ත්‍රිවිධශික්ෂායෙහි ම ශික්ෂණය කරවති. අනුශාසනා කරන්නාහු ද අප්‍රමාදප්‍රතිපත්තියෙන් අනුශාසනා කෙරෙති. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සියලු ම තථාගතයන් වහන්සේලාගේ එක දෙශනාව ම ය. කථාවත් එක ම ය. ශික්ෂාවක් එක ම ය. අනුශාසනාවත් එකාකාර ම ය. කවර කාරණයකින් තථාගතයන් වහන්සේලා දෙදෙනෙක් එකවිට ඒ ක්ෂණයෙහි නොවුපදනාසේක් ලා ද? එක ම ලොවුතුරා බුදුකෙනෙකුන්ගේ බුද්ධොත්පාදයෙන් ම මේ දශසහශ්‍රීලොකයතෙම ප්‍රභාවත් වි ය. ඉදින් තවත් දෙවෙනි බුදුකෙනෙක් පහළ වූසේක් නම්, ඒ දෙදෙනා වහන්සේගේ ප්‍රභාවෙන් මේ දශසහශ්‍රී ලොකයතෙම (284) බොහෝ සෙයින් ම ප්‍රභාවවත්[1] වන්නේ ය. අවවාද කර වදාරන්නා වූ තථාගතයන් වහන්සේලා දෙදෙන ද සැප සේ අවවාද කරන්නාහු ය. අනුශාසනා කරන්නාහු ද සැප සේ අනුශාසනා කෙරෙති. එහි මම යම් ප්‍රකාරයකින් සැක නැති වෙම් ද, එසේ ම මට එබඳු වූ කාරණයක් නුඹ වහන්සේ වදාළ මැනැවැ” යි කීහ.
“මහරජානෙනි, අප බුදුරජානන් වහන්සේ උපන් තිඹිරිගෙයක් වැනි වූ මේ දශසහශ්‍රීලොකධාතුතොම එක බුද්ධධාරණීය ය. එක ම බුදු කෙනෙකුන්ගේ ගුණය ධරන්නී ය.
‘යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්‍ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්‍ය, චලෙය්‍ය, කම්පෙය්‍ය, නමෙය්‍ය ඔනමෙය්‍ය, විනමෙය්‍ය, විකිරෙය්‍ය, විධමෙය්‍ය, විධංසෙය්‍ය, නට්ඨානමුපගච්ඡෙය්‍ය.’
‘ඉදින් දෙවෙනි බුදුන් වහන්සේ කෙනෙක් උපන්නෝ වූ නම්[2] සශසහශ්‍රී ලොකධාතුතොම නො දරන්නී ය. වෙවුලන්නී ය. කම්පා වන්නී ය, නැමෙන්නී ය, ඔනමනය වන්නී ය, විශෙෂයෙන් නැමෙන්නී ය, විකිරෙන්නී ය, විධමනය වන්නී ය විධ්වංසනය වන්නී ය, යථාස්ථානයට පැමිණ නො සිටින්නී ය. මහරජානෙනි, යම් සේ එක් පුරුෂයකු එතෙර කරන්නා වූ නැවෙක් වී නම්, එක පුරුෂයෙකු නැඟි කල්හි සමබර වන්නී ය, උසුලන සුලු වන්නී ය. නැවත ද එබඳු වූ ආයුෂයෙන් වර්ණයෙන් යෞවනයෙන් ප්‍රමාණයෙන් කෘශස්ථූලයෙන් සර්වාංගප්‍රත්‍යංගයෙන් යුක්ත වූ දෙවෙනි පුරුෂයෙක් එන්නේ ය. ඒ ආ පුරුෂතෙමේත් ඒ නැවට නැඟුනේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ කොල්ලෑ නම් නැව ඒ පුරුෂයන් දෙන්නා ම උසුලා දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, එසේ වී න්ම, ඒ කොල්ලෑව- ‘චලෙය්‍ය කම්පෙය්‍ය නමෙය්‍ය විනමෙය්‍ය විකිරෙය්‍ය විධමෙය්‍ය විද්ධංසෙය්‍ය’ තීරස්ථානයට නො පැමිණෙන්නේ ය. ජලයෙහි ගිලෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම එක බුදුකෙනෙකුන් උසුලන්නා වූ මේ දශසහශ්‍රීලොකධාතුව එක ම බුදුකෙනෙකුන්ගේ ගුණය ම උසුලන්නේ ය. ඒ එක ම බුදුන්ගේ මේ මඟුල් සක්වළ මවුකුස උපදනා දවස් බිහිවන දවස් බුදු වන දවස් දම්සක් දෙසන දවස් ආයුෂය හරණා දවස් පිරිනිවන් පානා දවස් මේ දශසහශ්‍රී ලොකධාතුව යදණ්ඩෙන් ගැසූ ලෝතලියක් මෙන් ශතසහස්‍ර වාරයෙහි කම්පා වෙයි. මහාමෙරුපර්වතයෝ අත්බඹර සේ භ්‍රමණය වෙති. ඉදින් දෙවෙනි බුදු කෙනෙකුන් වහන්සේ උපන්සේක් වී නම්, ‘නායං දසසහස්සීලොකධාතු ධාරෙය්‍ය චලෙය්‍ය කම්පෙය්‍ය නමෙය්‍ය ඔනමෙය්‍ය විනමෙය්‍ය විකිරෙය්‍ය විධමෙය්‍ය විද්ධංසෙය්‍ය නට්ඨානමුපගච්ඡෙය්‍ය’ යන මේ අර්ථ සම්බන්ධ යි. තව ද, මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් අභිප්‍රාය පමණක් භොජනය පැවරි කෙරෙමින් උගුර දක්වා මනා කොට පුරුවා අනුභව කරන්නේ ය. අනුභව කිරීමෙන් පිරුණා වූ සම්පූර්ණ වූ පරිපූර්ණ වූ අතුරක් නැත්තා වූ සමෘද්ධ කරණ ලද්දා වූ නො නැමිය[3] හැක්කා වූ දඬු වූ ඒ පුරුෂතෙම නැවතත් පෙර සේ ම සම්පූර්ණ කොට භොජනය අනුභව කෙළේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ පුරුෂයා සුවපත් වේ දැ” යි විචාළසේක. නැත, ස්වාමීන් වහන්ස, නැවැත අනුභව කළ එකවරින් ම මැරෙන්නේ ය” කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම:-
(285) “අයං දසදහස්සීලොකධාතු එකබුද්ධධාරණී එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති. යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්‍ය, නායං දසසහස්සිලොකධාතු ධාරෙය්‍ය, චලෙය්‍ය කම්පෙය්‍ය නමෙය්‍ය ඔනමෙය්‍ය විනමෙය්‍ය විකිරෙය්‍ය විධමෙය්‍ය විද්ධංසෙය්‍ය නට්ඨානමුපගච්ඡෙය්‍ය.’
යන මේ තාක් අනර්ථ වෙයි” වදාළසේක.
“කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිධර්මභාරයෙන් පෘථිවිය කම්පා වන නියා දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ මනුෂ්‍යලොකයෙහි ගැල් දෙකක් ගැල්මුහුණ සම කොට රත්න පුරවන ලද වන්නාහු වී නම්, එයින් එක් ගලකින් රත්න ගෙණ අනික් ගැලෙහි ම බහා ලන්නාහු වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ ගැල ගැල්දෙකේ ම රත්න උසුලා දැ” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, ඒ සකටයාගේ නාභියත් පැලෙන්නේ ය. ඒ ගැලෙහි අරද බිඳී යන්නාහු ය. ඒ ගැලෙහි නිම්වළලු ද ගලවා වැටෙන්නාහු ය. ඒ ගැලෙහි ගැල්අකුර ද බිඳෙන්නේ ය.” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, රත්නයන්ගේ ඉතා බර බැවින් ගැල බිඳෙන්නේ දැ?” යි විචාලසේක. “එසේ ය, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අතිධර්මභාරයෙන් පොළෝ සෙලවෙන්නේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් මේ අප කී කාරණය අසදෘශ වූ බුදුබලය දක්වන පිණිස අස්වන ලද්දේ ය. එහි යම් කාරණයකින් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේලා දෙදෙනෙක් එකවිට නොවුපදනසේක්ලා ද, ඊට ම අනිකුදු ස්වරූප වූ කාරණයක් තෙපි ඉඳුරා ම අසා ගණුව, මම කියන්නෙමි. ඉදින්, මහරජානෙනි, සර්වඥවරයෝ දෙදෙනෙක් එකවිට ම උපන්සේලා නම්, ඒ බුදුවරයන් දෙදෙනාගේ පිරිසෙහි විවාදයෙක් උපදින්නේ ය. ‘තොපගේ බුදුහු අපගේ බුදුහ’ යි කියා දෙපාර්ශවයෙහි පක්ෂ වන්නාහු ය. මහරජානෙනි, යම් සේ මහත් බල ඇත්තා වූ අමාත්‍යයන් දෙදෙනෙකුන්ගේ පිරිසෙහි විවාදයෙක් උපන්නේ ය. ‘තොපගේ අමාත්‍යයහ, අපගේ අමාත්‍යය’ යි කියා දෙපක්ෂයෙහි ම පක්ෂ ග්‍රහණය වෙයි.[4] මහරජානෙනි, එපරිද්දෙන් ම ඉදින් බුදුවරයන් වහන්සේලා දෙදෙනෙක් එකවිට උපන්සේක්ලා නම්, ඒ දෙදෙනා වහන්සේලාගේ පිරිසෙහි විවාදයෙක් උපදනේ ය. ‘තොපගේ බුදුවරයානෝ ය. අපගේ බුදුවරයානෝ ය’ යි කියා දෙපාර්ශවයෙහි පක්ෂග්‍රහණය වෙයි. මහරජානෙනි, යම් කාරණයකින් සර්වඥවරයෝ දෙදෙනෙක් එකවිට නූපදනාහු ද, ඒ මේ පළමුවන කාරණය යි.
“තවද, මහරජානෙනි, යම් කාරණයකින් සම්‍යක් සම්බුද්ධවරයෝ දෙදෙනෙක් එකවිට නූපදනාහු ද, ඊට ම අනිකුදු ඉතිරි කාරණයක් ඇසුව මැනැව. ඉදින්, මහරජානෙනි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා දෙනමක් එකවිට ම උපන්නාහු වී නම්, සර්වඥතෙම අග්‍ර ය’ යි කියන්නාවූ යම් වචනයක් ඇද් ද, ඒ වචනයත් මිථ්‍යා වන්නේ ය. සර්වඥයන් වහන්සේ ජ්‍යෙෂ්ඨය’ යි කියන්නා වූ යම් වචනයක් ඇද්ද, ඒ වචනයත් මිථ්‍යා වන්නේ ය. ‘ශ්‍රෙෂ්ඨ බුද්ධ ය’ යි කියන්නා වූ යම් වචනයක් ඇද්ද, ඒ වචනයත් බොරු වන්නේ ය. ‘විසිට්ඨො බුද්ධො’ කියන වචනය ද ‘උත්තමො බුද්ධො’ කියන වචනය ද ‘ප්‍රවරබුද්ධ ය’ කියන වචනය ද ‘අසමබුද්ධය’ යි කියන වචනය ද, ‘අසමසම බුද්ධ ය’ යි කියන වචනය ද, ‘අප්‍රතිම බුද්ධ ය යි කියන වචනය ද ‘අප්‍රතිභාග බුද්ධ ය’ යි කියන වචනය ද, ‘අප්‍රතිපුද්ගල බුද්ධ ය’ යි කියන වචනය ද යන (286) යම් වචනයක් ඇද්ද, ඒ වචනය මිථ්‍යා වන්නේ ය. මහරජානෙනි. යම් කාරණයකින් සර්වඥවරයෝ දෙදෙනෙක් එකවිට නොවුපදනාහු ද, ඊට ම මේ කාරණයත් තෙපි අර්ථ වශයෙන් පිළිගණුව. එතෙකුදු වුවත් මහරජානෙනි, මේ එක ම බුදුකෙනෙකුන් වහන්සේ කෙනෙක් ලෝකයෙහි උපදනාසේකැ යි යන මෝතොම භාග්‍යවත් වූ බුදුවරයන් වහන්සේලාගේ ස්වභාව ප්‍රකෘතියෙක. හේ කවර කාරණයකින් ද? යත්- සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ බුදුගුණය ඉතා මහත් බැවින. මහරජානෙනි, මේ ලොකයෙහි අනිකුදු මහත් දෙයක් ඇත් නම්, එකෙක් ම වන්නේ ය. මහරජානෙනි, මේ මහාපෘථිවිය මහත් වූවා ය. ඒ පෘථිවිතොම එකක් ම වූවා ය. මහා සාගරයතෙම ඉතා මහත් වූයේ ය. ඒ මහාසමුද්‍රයතෙම එකෙක් ම වන්නේ ය. මහාමෙරුපර්වතයතෙම ඉතා මහත් වන්නේ ය. ඒ පර්වතය එකක් ම වන්නේ ය. ආකාශයතෙම ඉතා මහත් වන්නේ ය. ඒ ආකාශය එකක් ම වන්නේ ය. ශක්‍රදෙවෙන්ද්‍රතෙම ඉතා මහත් වන්නේ ය. ඒ ශක්‍රදෙවෙන්ද්‍රතෙම එක් කෙනෙක් ම වන්නේ ය. මාරදිව්‍යපුත්‍රතෙම මහත් වුයේ ය. ඒ මාරතෙම එක්කෙනෙක් ම වන්නේ ය. මහාබ්‍රහ්මරාජතෙම ඉතා මහත් වන්නේ ය. ඒ මහාබ්‍රහ්මරාජ තෙම එක්කෙනෙක් ම වන්නේ ය. අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතොත්තමයානන් වහන්සේ ඉතා මහත් වන්නේ ය. ඒ තථාගතොත්තමයානන් වහන්සේ එක්කෙනෙකුන් වහන්සේ ම ය. ලොකයෙහි යම් තැනෙක ඒ මහත් වූ පෘථිවි ආදීහු උපදිද්ද, එහි එබඳු වූ අනිකක්හට අවකාශයක් නො වන්නේ ය. මහරජානෙනි, එහෙයින් අප තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ සර්වඥරාජොත්තම වූ එක් කෙනෙකුන් වහන්සේ ම ලොකයෙහි උපදනාසේකැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස. මේ ප්‍රශ්නය තෙම නුඹ වහන්සේ විසින් සුන්දරතර උපමා කාරණයන් දැක්වීමෙන් මනා කොට ම වදාරණ ලද්දේ ය. ප්‍රඥායෙහි දක්ෂ නො වූ මඳ නුවණැත්තකු දු මේ ප්‍රශ්නය අසා සතුටු වන්නේ ය. මා වැනි වූ මහාප්‍රාඥයෙකු සන්තොෂ වන බව කියනු ම කවරේ ද? සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍රශ්නය එසේ ම පිළිගන්නෙමි” යි කීහ.
එකබුද්ධධාරණීප්‍රශ්නය යි.