නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතීත කාලයට මුල් කවරේ ද, අනාගතකාලයට මුල් කවරේ ද? වර්තමාන කාලයට මුල් කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, අතීතකාලයට ද අනාගතකාලයට ද ප්‍රත්‍යුත්පන්නකාලයට ද ඇස වසා බැඳි කඩක් මෙන් මුළා කොට චතුස්සත්‍යධර්මයන් දැක්ක නො දෙන හෙයින් අවිද්‍යා නම් වූ මොහය මුල් වන්නේ ය. නො වින්ද යුතු වූ කායදුශ්චරිතාදිය විඳින බැවින් ද වින්ද යුතු වූ කායසුචරිතාදිය නො විඳින බැවින් ද පඤ්ච ස්කන්ධයන්ගේ රාශිගතභාවය දැක්ක නො දෙන බැවින් ද, ෂඩායතනයන්ගේ චක්ෂුර්විඥානාදීන් පවත්වන ස්වභාවය දැක්ක නො දෙන බැවින් ද, අෂ්ටාදශධාතූන්ගේ ශූන්‍යතාව දැක්ක නො දෙන බැවින් ද, චක්ෂුරාදි ෂඩින්ද්‍රියයන්ගේ ආධිපත්‍යය දැක්ක නො දෙන බැවින් ද, කෙළවරක් නැති සංසාරයෙහි ලා සත්වයා සියලු ම භව යොනි ගති ස්ථිති සත්වාවාසයෙහි උපදවන (54) බැවින් ද, අවිද්‍යා නම් වූ මොහය හෙතු කොට ගෙණ එකුන්තිසක් පමණ කුශලාකුශලචිත්තයෝ උපදිති. ඒ කුශලාකුශලසිත් හෙතු කොට ගෙණ ප්‍රතිසන්ධිවිඥාන ය යි කියන ලද එකුන්විස්සක් පමණ පිළිසිඳ ගන්නා චිත්තයෝ පහළ වෙති. ඒ ප්‍රතිසන්ධිචිත්තයන් හෙතු කොට ගෙණ නාමරූපය යි කියන ලද පඤ්චස්කන්ධයෝ පහළ වෙති. ඒ පඤ්ච ස්කන්ධයන් හෙතු කොට ගෙණ ඇස් කන් නාසාදී කාය මන[1] යන ෂඩ්විධ ආයතනයෝ පහළ වෙති. ඒ චක්ඛායතනාදීන් හෙතු කොට ගෙණ බාහිර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය, ධර්ම යන ෂඩ්විධ වූ ස්පර්ශයෝ පහළ වෙති. ඒ ස්පර්ශයන් හෙතු කොට ගෙණ දුක් සැප උපෙක්ෂා වීම ය යි කියන ලද ත්‍රිවිධවේදනාවෝ පහළ වෙති. ඒ සුඛදුඃඛොපෙක්ෂා ය යි කියන ලද වේදනාව කරණ කොට ගෙණ කාමතෘෂ්ණාදී වූ එක්සිය අටක් පමණ තෘෂ්ණාවෝ පහළ වෙති. ඒ ආශාව හෙතු කොට ගෙණ කාමූපාදානාදි චතුර්විධඋපාදානය වන්නේ ය. ඒ අරමුණු දැඩි කොට ගැණීම හෙතු කොට ගෙණ ත්‍රිවිධ වූ භවය වන්නේ ය. ඒ භවය හෙතු කොට ගෙණ ජාති ඉපදීම වන්නේ ය. ඉපදීම හෙතු කොට ගෙණ රූපාදීන්ගේ මුහු කිරීම ය යි කියන ලද ජරාව ද, රූපාදීන්ගේ බිඳීම ය යි කියන ලද මරණය ද, නැසුනු දෙයට ශොක කිරීම ද, ඊට ම හැඬීම ද, දුක් වීම ද, දොම්නස් වීම ද, සිත් තැවුල් ද යන මෙතෙක් දෙය වන්නාහු ය. මහරජ, මෙසේ සියලු ම කාලත්‍රයාගේ පූර්වකෙළවර නො පැණෙ”යි වදාළසේක. ඒ අසා “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
මීට ම උපමාවක් අසනු කැමැති වූ රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පූර්වකෙළවර නො පෙණෙ” යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද, ඊට උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් කුඩාබිජුඇටක් පෘථිවියෙහි රොපණය කරන්නේ ය. එයින් දලුව නැඟී ක්‍රමයෙන් වෘද්ධියට මහත් වීමට විපුලත්වයට පැමිණ ඵල දෙන්නේ ය. ඒ ඵලයෙන් බිජු ගෙණ නැවැතත් රෝපණය කරන්නේ ය. එයින් දළු නැඟී ක්‍රමයෙන් වෘද්ධියට මහත් වීමට විපුලත්වයට පැමිණ ඵල දෙන්නේ ය. මෙසේ මේ සන්තතියගේ කෙළවරක් ඇද්දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ කාලයාගේත් පූර්වකෙළවර නො පෙණෙ” යි කියා වදාළසේක. “ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිකිළියගේ බීජයක් වේ ද, ඒ බීජයෙන් කිකිළියක් වේ ද, ඒ කිකිළියගේ නැවත බීජයෙක් වේ ද, මෙසේ මෙම ක්‍රමයෙන් කෙළවරෙක් ඇද්ද?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ කාලයාගේ පූර්වකෙළවර නො පෙණෙ” යි කියා වදාළසේක.
“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. එකල තෙරුන් වහන්සේ භූමියෙහි චක්‍ර-වළල්ලක් මෙන් කව සුද්ධ ඉරක් ලියා “මහරජ, මේ චක්‍රයාගේ අක්මුල්කෙළවරක් ඇද්ද?” යි මිලිඳුරජහට මෙසේ කීසේක. “ස්වාමීනි, එසේ නැතැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප භාග්‍යවත් වූ අනන්තබුද්ධීන් වහන්සේ විසින් මේ ප්‍රතීත්‍යසමුප්පාදචක්‍රය වදාරණ ලද්දේ ය. ආධ්‍යාත්මික වූ ඇස නිසාත් බාහිර වූ රූපය නිසාත් චක්ෂුර්විඥානය උපදනේ ය. (55) මේ තුන්දෙනාගේ එකතුවීමෙන් ස්පර්ශය වන්නේ ය. ස්පර්ශප්‍රත්‍යයයෙන් ත්‍රිවිධ වූ වේදනාව වන්නේ ය. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව හට ගන්නේ ය. ඒ තෘෂ්ණා ප්‍රත්‍යය හෙතු කොට ගෙණ කර්මය සම්පාදනය කිරීම වන්නේ ය. කර්මයෙන් ඉක්බිති ව නැවැතත් ඇස කරණ කොට ගෙණ චක්ෂුර්විඥානය උපදනේ ය. මෙසේ මේ පටිපාටියගේ කෙළවරක් ඇද් දැ?” යි විචාළ සේක්. “නැත, ස්වාමීනි” යි කීහ. “කණ නිසාත් ශබ්දය නිසාත් ශ්‍රොත විඥානය උපදනේ ය. එසේ ම නාසය නිසාත් ගන්ධය නිසාත් ඝ්‍රාණවිඥානය උපදනේ ය. දිව නිසාත් රස නිසාත් ජිහ්වාවිඥානය උපදනේ ය. කය නිසාත් බාහිරරූපය නිසාත් කායවිඥානය උපදනේ ය. එසේ ම මනස නිසාත් ධර්මචින්තාවන් නිසාත් මනොවිඥානය උපදනේ ය. මේ තුන් දෙනාගේ එකතුවීමෙන් ස්පර්ශය වන්නේ ය. ඒ ස්පර්ශප්‍රත්‍යයෙන් විඳීම වන්නේ ය. ඒ වේදනාප්‍රත්‍යයෙන් ආලය වන්නේ ය. ඒ තෘෂ්ණා හෙතු කොට ගෙණ ඒ ඒ කට යුතු කර්මය වන්නේ ය. ඒ කර්මයෙන් නැවැතත් මනසාදිය උපදනේ ය. මෙසේ කල මේ පිළිවෙළගේ අන්තයෙක් ඇද්දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ කාලයාගේ පූර්වකෙළවර නො පෙණේ” යි කියා වදාළසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිසමර්ථසේක. අතිදක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පූර්ව කෙළවරක් නො පෙණෙන්නේ ය යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද, ඒ පූර්වකෙළවර කවරේ දැ?” යි විචාළහ. “මහරජානෙනි, යම් ඒ අතීත වූ කාලයෙක් ඇද්ද, ඒ මේ පූර්ව කෙළවරය” යි වදාළ සේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පූර්වකෙළවර නො පෙණෙ යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද, ස්වාමීනි, කිමෙක් ද, සියලු ම පූර්ව කෙළවර නො පෙණේ දැ’ යි විචාළෝ ය. “මහරජානෙනි, කිසිවක් පෙණෙ යි, කිසිවක් නො පෙණෙ යි” වදාළසේක. “ස්වාමීනි, කවරක් පෙණේ ද? කවරක් නො පෙණේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මීට පළමුවෙන් සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාර අවිද්‍යාව නො වූයේ ය” යි කියා මෙබඳු වූ පූර්වකෙළවර නො පෙණෙන්නේ ය. යමක් නො වී වේ ද, ඉපද විනාස වේ ද, මෙබඳු වූ පූර්වකෙළවර පෙණෙන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමක් නො වී ම උපදී නම්, ඉපද විනාස වූයේ නම්, ඉදින් ඒ මේ කාරණය දෙකෙළවර සිඳිනු ලද්දේ නැස්මට යන්නේ නො වේ දැ?” යි කීහ. “මහරජානෙනි, ඉදින් දෙකෙළවර සිඳින ලද අවිද්‍යාව නැස්මට යන්නේ ය” යි වදාළසේක. “දෙකෙළවර සිඳින ලද්දා වූ අවිද්‍යාව වඩන්නට හැකි වේ දැ?” යි විචාළෝ ය. “එසේ ය. දෙකෙළවර සිඳුනු අවිද්‍යාවත් වඩන්නට හැක්කැ” යි වදාළසේක. “ස්වාමීනි, මම මේ කාරණය නො විචාරමි. කෙළවර පටන් වඩන්නට හැකි වේ දැ?” යි කීහ. “එසේ ය, කෙළවර පටන් වඩන්නට හැකි වන්නේ ය” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. තෙරුන් වහන්සේ මිලිඳු රජහට වෘක්ෂොපමාවක් කර වදාළසේක. “සියලු ම සංසාරදුක් සමූහයාගේ උපදවාලීමට ස්කන්ධධර්මයෝ බිජුඇට වන්නාහු ය” යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.
නැවතත් (56) රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම්කිසි සංස්කාරධර්මකෙනෙක් උපදින්නාහු ද, එබඳු ධර්මකෙනෙක් ඇද් දැ?” යි විචාළසේක. “එසේ ය, මහරජානෙනි, උපදින්නා වූ යම් සංස්කාරධර්මකෙනෙක් ඇතැ” යි වදාළසේක. “ස්වාමීනි, ඒ ධර්මයෝ කවුරු දැ?” යි කීහ. “මහරජානෙනි, ඇස ඇති කල්හි ද රූපය ඇති කල්හි ද චක්ෂුර්විඥානය වන්නේ ය. චක්ෂුර්විඥානය ඇති කල්හි චක්ෂුඃස්පර්ශය වන්නේ ය. චක්ෂුඃස්පර්ශය ඇති කල්හි විඳීම වන්නේ ය. වේදනාව ඇති කල්හි ආලය වන්නේ ය. තෘෂ්ණාව ඇති කල්හි ගැණීම වන්නේ ය. උපාදානය ඇති කල්හි භවය වන්නේ ය. ඒ භවය ඇති කල්හි ජාති-ඉපදීම වන්නේ ය. ඒ ජාතිය ඇති කල්හි ම මහලු ව ජරාපත් වීම ද ශරීරභෙදයෙන් නැසීම ද සෝකකිරීම ද දුක් වීම ද දොම්නස් වීම ද සිත් තැවුලි දැ යි යන මේ ධර්මයෝ වෙති. මෙසේ මේ සියලු ම දුක්ඛරාශියගේ ඉපදීම ද වන්නේ ය. “මහරජානෙනි, ඇස නැති කල්හි ද රූපය නැති කල්හි ද චක්ෂුර්විඥානය නො වන්නේ ය. චක්ෂුර්විඥානය නැති කල්හි චක්ෂුඃස්පර්ශය නො වන්නේ ය. චක්ෂුඃස්පර්ශය නැති කල්හි වේදනාව නො වන්නේ ය. වේදනාව නැති කල්හි තෘෂ්ණාව නො වන්නේ ය. උපාදානය නැති කල්හි භවය නො වන්නේ ය. භවය නැති කල්හි ජාති-ඉපදීම නො වන්නේ ය. ජාතිය නැති කල්හි ජරා මරණ සෝක හැඬීම් දුක් දොම්නස් සිත් තැවුලි දැ’ යි යන මේ ධර්මයෝ නො උපදනාහු වෙති. මෙසේ මේ සියලු ම දුක් පිඩක් වැනි වූ ශරීරයාගේ හා දුක්ඛයාගේ නිරුද්ධ වීම වන්නේ ය” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අති දක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම්කිසි සංස්කාරධර්මකෙනෙක් නො වන්නා වූත් උපදිද් ද, එබඳු ධර්මකෙනෙක් ඇද් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, නො වන්නා වූ යම් කිසි සංස්කාරධර්මකෙනෙක් නැත. මහරජානෙනි, වන්නා වූ ම සංස්කාරධර්මයෝ උපදනාහු ය” යි වදාළසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, ඒ කුමක් සිතන්නාහු ද? යම් තැනෙක්හි තෙපි හිඳින්නාහු ද, එතන්හි ම මේ තොපගේ රාජගෘහය නො වන්නා වූ දෙයක් උපන්නේ දැ?”යි විචාළසේක. “ස්වාමීනි, මේ ගෘහයෙහි නො වන්නා වූ කිසිවක්හට නැති වන්නා වූ දේ ම උපන්නේ ය. ස්වාමීනි, මේ ලී දඬු වනාන්තරයෙහි උපන්නාහු ය. මේ ගෙට ගත් මැටි පෘථිවියෙහි වූයේ ය. එසේ වුවත් ස්ත්‍රීන්ගේත් පුරුෂයන්ගේත් තත්කෘත්‍යසාධක වූ ව්‍යායාමයෙන් මෙසේ මෙබඳු වූ මේ රාජගෘහය උපන්නේ ය”යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො වන්නා වූ යම්කිසි සංස්කාරධර්මකෙනෙක් උපදිද් ද, එබඳු ධර්මකෙනෙක් නැත. වන්නා වූ ම සියලු සංස්කාරධර්මයෝ උපදනාහු ය” යි වදාළසේක.
“නැවතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් බීජගාමභූතගාම කෙනෙක් පෘථිවියෙහි පිහිටුවන ලද්දාහු වූ නම්, අනුක්‍රමයෙන් වෘද්ධියට මහත් වීමට විපුලත්වයට පැමිණෙමින් මල් හා ඵල ගෙණ දෙන්නාහු වෙද් ද, ඒ වෘක්ෂයෝ නො වන්නාහු වූවාහු නො වෙති. වන්නා වූ ම ඒ වෘක්ෂයෝ වූවාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො වන්නා වූ කිසි යම් සංස්කාරධර්ම කෙනෙක් උපදිද් ද, එබඳු ධර්ම (57) කෙනෙක් නැත. වන්නා ම වූ ඒ සංස්කාරධර්මයෝ උපදින්නාහු ය” යි කීසේක.
“නැවැතත් උපමාවක් කර වදාළ මැනව” යි කීහ. “මහරජානෙනි, යම් සේ කුම්භකාරයා පොළොවින් මැටි නඟා ගෙණ නානා ප්‍රකාර භාජන කෙරෙයි. ඒ භාජනවල් නො වන්නාහු වූවාහු නො වෙති. වන්නාහු ම උපන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නො වන්නා වූ යම් කිසි සංස්කාරධර්මකෙනෙක් නැත. වන්නා ම වූ සංස්කාරධර්මයෝ උපදින්නාහු ය” යි වදාළසේක.
“නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ වීණාවෙහි පත්‍රය [2]නැත් නම්, සම නො වී නම්, ඔරුව නො වී නම්, වීණාලිය නො වී නම්, තත්වෙළුම් නො වී නම්, තත් නො වූ නම්, කොණය නො වී නම්, පුරුෂයාගේ තත්කෘත්‍යසාධකව්‍යායාම නො වී නම්, ශබ්දය උපදී දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, යම් හෙයකින් වීණාවෙහි පත්‍රය වී නම්, සම වී නම්, ඔරුව වී නම්, වීණා දණ්ඩ වී නම්, තත්වෙළන ලීය වී නම්, තත් වූවාහු වූ නම්, කඹය වී නම්, පුරුෂයාගේ තත් කෘත්‍යසාධකව්‍යායාම වී නම්, ශබ්දය උපදී දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ශබ්දය උපදනේ ය” යි කීහ. එපරිද්දෙන් ම, “මහරජානෙනි, යම් කිසි සංස්කාරධර්මකෙනෙක් නො වන්නාහු වෙද් ද, එසේ නැත. වන්නා වූ ම සංස්කාරයෝ උපදිති” යි කීසේක.
“නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ගිනි ගාන යට ලීය නො වී නම්, මතු ලීය නො වී නම්, එ ම ලී මැද අදින යොත නො වී නම්, උතුරු ලීය නො වී නම්, වස්ත්‍ර කඩ නො වී නම්, පුරුෂයාගේ එම කෘත්‍ය සාධක වූ ව්‍යායාම නො වී නම්, ගිනි උපදී දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, යම් හෙයකින් ගිනිගාන ලී දෙක වූ නම්, උතුරු ලීය වී නම්, රෙදිකඩ වී නම්, පුරුෂයාගේ තත්කෘත්‍යසාධක වූ ව්‍යායාම වී නම්, ඒ ගිනි උපදී දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ගිනි උපදී ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො වන්නා වූ යම් කිසි සංස්කාරකෙනෙක් උපදිද් ද, එසේ නැත. වන්නා වූ ම සංස්කාරයෝ උපදින්නාහු ය” යි කීසේක.
“නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ජොතිපාසාණය නො වී නම්, සූර්යතාපය නො වී නම්, ගොම වැරටි නො වී නම්, හේ ගිනි උපදී දැ?” යි විචාළසේක. නැත; ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, යම් හෙයකින් ජොතිපාසාණය වී නම්, ආතපයත් වී නම් ගොමවැරටිත් වී නම්, අග්නි උපදී දැ?” යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, අග්නි උපදනේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො වන්නා වූ යම් කිසි සංස්කාර කෙනෙක් උපදිද් ද, එසේ නැත. වන්නා වූ ම සංස්කාරයෝ උපදින්නාහු ය” යි කීසේක.
“නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ආදාසය නො වී නම්, ආලොකය නො වී නම්, මුහුණ නො වී නම්, ආත්මභාවය සදෘශ වූ අන්‍යරූපයක් උපදී දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, යම් හෙයකින් ආදාසයත් වී නම්, ආලෝකයත් වී නම්, මුහුණත් වී නම්, තමන් වැනි ශරීරයක් පෙණේ දැ?” යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, උපදනේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම නො වන්නා වූ යම් කිසි සංස්කාරධර්මකෙනෙක් උපදිද් ද, එසේ නැත. වන්නා වූ ම සංස්කාරයෝ උපදනාහු ය” යි (58) වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්න විසඳීමෙහි දක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනන් වහන්ස, වෙදගූ ඇද් ද? ලැබේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ තොප කී වෙදගූ නම් කවුරු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අභ්‍යන්තරයෙහි යම් ප්‍රාණජීවයෙක්තෙම ඇසින් රූපය දකී ද, කණින් ශබ්දය අසා ද, නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කෙරේ ද, දිවින් රසාස්වාදය කෙරේ ද? ශරීරයෙන් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්ශ කෙරේ ද, සිතින් ධර්මචින්තාවන් දැන ගණී ද, යම් සේ මේ ප්‍රාසාදයෙහි සිටින්නා වූ අපි යම් යම් කවුළු දොරකින් බලන්නට කැමැත්තමෝ ද, ඒ ඒ කවුළුදොරින් බලමු. පූර්වදිගට වූ, කවුළුදොරිනුත් බලම්හ. පශ්චිමදිසාවෙහි වාතපානයෙනුත් බලම්හ. උත්තරදිශාවෙහි කවුළුවෙනුත් බලම්හ. දක්ෂිණදිශාවෙහි කවුළුවෙනුත් බලම්හ. එපරිද්දෙන් ම, ස්වාමීනි” අභ්‍යන්තරයෙහි මේ ප්‍රාණජීවයතෙම චක්ෂුර්ද්වාරාදි යම් යම් ද්වාරයකින් බලන්නට කැමැති නම්, ඒ ඒ ද්වාරයෙන් බලන්නේ ය” යි කීහ. එකල තෙරුන් වහන්සේ කියනසේක්, “මහරජානෙනි, ඒ ෂඩ්ද්වාරය මමත් කියමි. තෙපි ඒ මනා කොට ම අසවු. මනා ව ම සිතට ගණිවු. ඉදින් අභ්‍යන්තරයෙහි වූ ජීවයතෙම ඇස කරණ කොට ගෙණ රූපය දකී නම්, යම් සේ මේ ප්‍රාසාදයෙහි හුන්නා වූ අපි යම් යම් කවුළුවකින් බලන්නට කැමැත්තමෝ නම්, ඒ ඒ කවුළුවෙන් රූපය ම දකුම්හ. පූර්වදිග්වාතපානයෙනුත් රූපය ම දකුම්හ. පශ්චිම වාතපානයෙනුත් රූපය ම දකුම්හ. උතුරුදිගවාතපානයෙනුත් රූපය ම දකුම්හ. දකුණු වාතපානයෙනුත් රූපය ම දකුම්හ. මෙසේ ම අභ්‍යන්තරයෙහි වූ මේ ප්‍රාණ ජීවය විසින් ඇස කරණ කොට ගෙණ රූපය දැක්ක යුතු ය. සොතයෙනුත් රූපය ම දැක්ක යුතු ය. නාසයෙනුත් රූපය ම දැක්ක යුතු ය. දිවෙනුත් රූපය ම දැක්ක යුතු ය. ශරීරයෙනුත් රූපය ම දැක්ක යුතු ය. සිතිනුත් රූපය ම දැක්ක යුතු ය. ඇසිනුත් ශබ්දය ම ඇසිය යුතු ය. කණිනුත් ශබ්දය ම ඇසිය යුතු ය. නාසයෙනුත් ශබ්දය ම ඇසිය යුතු ය. දිවෙනුත් ශබ්දය ම ඇසිය යුතු ය. ශරීරයෙනුත් ශබ්දය ම ඇසිය යුතු ය. සිතිනුත් ශබ්දය ම ඇසිය යුතු ය. ඇසිනුත් ගන්ධය ම ආඝ්‍රාණය කට යුතු ය. කණෙනුත් ගන්ධය ම ආඝ්‍රාණය කට යුතු ය. දිවෙනුත් ගන්ධය ම ආඝ්‍රාණය කට යුතු ය. කයිනුත් ගන්ධය ම ආඝ්‍රාණය කට යුතු ය. සිතිනුත් ගන්ධය ම ආඝ්‍රාණය කට යුතු ය. ඇසිනුත් රසය ම සායනය කට යුතු ය. සොතයෙනුත් රසය ම සායනය කට යුතු ය. නාසයෙනුත් රසය ම සායනය කට යුතු ය. කයිනුත් රසය ම සායනය කට යුතු ය. සිතිනුත් රසය ම සායනය කට යුතු ය. ඇසිනුත් ස්ප්‍රෂ්ටව්‍යය ම ස්පර්ශ කට යුතු ය. කණෙනුත් ස්ප්‍රෂ්ටව්‍යය ම කට යුතු ය. නාසයෙනුත් ස්ප්‍රෂ්ටව්‍යය ම ස්පර්ශ කට යුතු ය. දිවෙනුත් ස්ප්‍රෂ්ටව්‍යය ම ස්පර්ශ කට යුතු ය. සිතිනුත් ස්ප්‍රෂ්ටව්‍යය ම ස්පර්ශය කට යුතු ය. ඇසිනුත් ධර්මචින්තාව ම දැන ගත යුතු ය. කණෙනුත් ධර්මචින්තාව ම දැන ගත යුතු ය. නාසයෙනුත් ධර්මචින්තාව ම දැන ගත යුතු ය. දිවෙනුත් ධර්මචින්තාව දැන ගත යුතු ය. ශරීරයෙනුත් ධර්මචින්තාව ම දැන ගත යුතු වේ දැ?” යි විචාළ සේක. “එසේ නැත; ස්වාමීනි” යි කීහ.
“මහරජානෙනි, තොපගේ පූර්වවචනයෙන් (59) පශ්චිමවචනය ද පශ්චිමවචනයෙන් පූර්වවචනය ද එකිනෙකට නො යෙදෙයි. සම නො වෙයි. ‘මහරජානෙනි, යම් සේ වනාහි මෙතැන්හි ප්‍රාසාදයෙහි හුන්නා වූ අපි මේ දැල්කවුළුදොරවල් හැරිකල්හි මහත් වූ අවකාශයෙන් පිටතට මුහුණ පොවා සැප සේ ම රූපයන් දකුම්හ. එපරිද්දෙන් ම මේ අභ්‍යන්තරයෙහි වූ ප්‍රාණජීවයෙනුත් චක්ෂුර්ද්වාරය හැරිය කල්හි මහත් වූ අවකාශයෙන් සැප සේ ම රූපයන් දැක්ක යුතු ය. සොතද්වාරය හැරිය කල්හි ඝාණද්වාරය හැරිය කල්හි ජිව්හාද්වාරය හැරිය කල්හි කායද්වාරය හැරිය කල්හි මහත් වූ අවකාශයෙන් සැප සේ ම ශබ්දය ඇසිය යුතු ය. ගන්ධයත් ආඝ්‍රාණය කට යුතු ය. රසයත් සායනය කට යුතු ය. ස්ප්‍රෂ්ටව්‍යයත් ස්පර්ශය කට යුතු වූයේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නැතැ” යි කීහ. “මහරජානෙනි, තොපගේ පූර්වවචනය හා පශ්චිමවචනයත් පශ්චිමවචනය හා පූර්වවචනයත් දෙක ඔබිනොබ යෙදේ ද, ‘මහරජානෙනි, යම් හෙයකින් වනාහි මේ දින්න නම් අමාත්‍යතෙම මේ උන්තැනින් නික්ම ගොස් දොරටුවෙහි පිටත සිටින්නේ වී නම්, මහරජානෙනි, තෙපි මේ දින්නයා මෙයින් නික්ම ගොස් දොරටුවෙහි පිටත සිටින්නේ ය යි කියා දන්නහු දැ?” යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, දනිමි” යි කීහ. “මහරජානෙනි, යම් සේ වනාහි මේ දින්නයා ඇතුළු රජගෙට අවුත් තොපගේ ඉදිරිපිට සිටියේ වී නම්, මහරජ, තෙපි මේ දින්නයා ඇතුළු රජගෙට ප්‍රවෙශ ව මාගේ ඉදිරිපිට සිටියේ ය යි කියා දන්නහු දැ?” යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, දනිමි” යි කීහ.
“මහරජානෙනි, එපරිද්දෙන් ම අභ්‍යන්තරයෙහි වූ ඒ ප්‍රාණජීවය තෙම දිවෙහි රසය තිබූ කල්හි ඇඹුල්බව හෝ ලුණුබව හෝ තිත්ත බව හෝ කටුකබව හෝ කසටබව හෝ මධුරබව හෝ දන්නේ ද?” යි විචාළ සේක. “එසේ ය; ස්වාමීනි, දනී ය” යි කීහ. “ඒ අම්බිලාදිරසය ඇතුළු බඩට ප්‍රවිෂ්ට වූ කල්හිත් අම්බිලත්වය ලවණත්වය තික්තභාවය කටුක භාවය භාවය කසටභාවය මධුරත්වය හෝ දැනේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි,’ යි කීහ. “මහරජානෙනි, තොපගේ පූර්වවචනයෙන් පශ්චිම වචනය හෝ පශ්චිමවචනයෙන් පූර්වවචනය හෝ දෙක එකට අවිරුද්ධ ව නො යෙදෙයි. “මහරජ, යම් සේ කිසියම් පුරුෂයෙක් මීපැණි කළසියයක් ගෙන්වා මහත් වූ මීපැණිඔරුවක් පුරවා, පුරුෂයකුගේ මුඛය අයා ගත නො දී හොඳින් වසා බැඳ මීපැණි ඔරුවෙහි එබුයේ වී නම්, මහරජ, ඒ පුරුෂතෙම මීපැණි මධුරබවක් හෝ අමධුරබවක් හෝ දනී දැ?”යි විචාළ සේක. “ස්වාමීනි, කිසි රසයක් නො දන්නේ ම ය” යි කීහ. “කුමන කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ඔහුගේ මුඛයෙහි මධුරත්වය ප්‍රවිෂ්ට නො වූ හෙයිනැ”යි කීහ. “මහරජානෙනි, තොපගේ පූර්ව වචනයෙන් හෝ පශ්චිමවචනය පසු ව කී වචනයෙන් හෝ පූර්වවචනය ඔබිනොබ නො යෙදෙනේනේ ය” යි කීසේක. “ස්වාමීනි, මම නුඹ වහන්සේ වැනි වූ තිලකවාදීන් සමග කථා කරන්නට නො හැක්කෙමි. මනා කොට මට අර්ථ වදාළ මැනැවැ”යි කීහ. එකල තෙරුන් වහන්සේ අභිධර්මයෙන් යුක්ත වූ කථාවෙන් මිලිඳුරජ්ජුරුවන්ට චිත්තවිභාගය අවබෝධ කරවා වදාළසේක.
“මෙහි මහරජානෙනි, ඇස නිසාත් රූපය නිසාත් චක්ෂුර්විඥානය උපදනේ ය. ඒ විඤ්ඤාණය සහ උපන්නා වූ ස්පර්ශ වෙදනා සංඥා චෙතනා එකාග්‍රතා ජීවිතේන්ද්‍රිය (60) මනස්කාර ය යි මෙසේ මේ යථොක්ත චෛතසිකධර්මයෝ ප්‍රත්‍යය වශයෙන් උපදින්නාහු ය. මේ ශරීරාභ්‍යන්තරයෙහි වෙදගූ නම් ජීවයෙක්[3] නො ලැබෙයි. තව ද, මහරජ, සොතය නිසාත් ශබ්දය නිසාත් සොතවිඤ්ඤාණය උපදනේ ය. එසේ ම ඝාණය නිසාත් ජිව්හාව නිසා ත් කය නිසා ත් මනස නිසා ත් ධර්මචින්තාවල් නිසා ත් මනොවිඤ්ඤාණය උපදනේ ය. ඒ මනොවිඤ්ඤාණය සහ උපන්නා වූ ස්පර්ශ වෙදනා ව ය, සංඥාව ය, චේතනාව ය, එකාග්‍රතාව ය, ජීවිතෙන්ද්‍රිය ය, මනස්කාරය යි මෙසේ යථොක්ත වූ ධර්මයෝ ප්‍රත්‍යයවශයෙන් උපදනාහු වෙති. එසේ මිසක් මේ රූපාභ්‍යන්තරයෙහි ඇස ආදියෙන් රූපාදිය බලන්නා වූ තොප කී වෙදගූ නම් ජීවකෙනෙක් නො ලැබෙති’ යි කියා වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් වස්තුවක චක්ෂුර්විඥානය උපදනේ වී නම්, එහි ම මනොවිඤ්ඤාණයත් උපදනේ දැ?” යි කීහ. “එසේ ය, මහරජ, යම් තැනෙක චක්ෂුර්විඥානය උපදනේ වී නම් එහි ම මනොවිඤ්ඤාණයත් උපදනේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පළමු කොට චක්ෂුර්විඥානය උපදී ද? පසු ව මනොවිඤ්ඤාණය උපදනේ ද? නොහොත් මනොවිඤ්ඤාණය පළමු කොට උපදනේ ද? පසු ව චක්ෂුර්විඥානය උපදනේ දැ?” යි කීහ. “මහරජ, පළමු කොට චක්ෂුර්විඥානය උපදනේ ය. පසු ව මනො විඤ්ඤාණය උපදින්නේ ය” යි කීසේක. “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, චක්ෂුර්විඥානය මනොවිඤ්ඤාණයට ‘මම යම් තැනෙක උපදිම් නම්, තෙපිත් එතැන්හි උපදුව’යි කියා අණවා[4] කථා කර ගන්නේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඔවුන්ගේ ඔවුනොවුන් හා එබඳු කථා සල්ලාපයක් නැතැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් තැනෙක චක්ඛුවිඤ්ඤාණය උපදනේ වී නම් එතන්හි මනෝවිඤ්ඤාණයත් කෙසේ උපදී දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මනොවිඤ්ඤාණය නින්න බැවින් ද ද්වාර බැවින් ද පුරුදු බැවින් ද සමග හැසුරුණු බැවින් ද එසේ උපදනේ ය” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නින්න බැවින් යම් තැනෙක චක්ෂුර්විඥානය උපදනේ වී නම්, එතැන ම මනොවිඤ්ඤාණයත් කෙසේ උපදී ද? ඊට උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජ, හේ කුමක් සිතන්නෙහි ද? වැසි වස්නා කල්හි කවර තැනකින් උදකය යේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි යම් අතකින් මිටි නම්, ඒ අතින් යන්නේ ය” යි කීහ. “නැවැත අනික් සමයෙක වැසි වස්නේ වී නම් කවර තැනකින් ඒ අළුත් වැසිවතුර යේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, යම් තැනකින් පළමුව වතුර ගියේ ද, ඒ අළුත්වතුරත් ඒ අතින් ම යන්නේ ය” යි කීහ. “කිමෙක් ද, මහරජ, පළමු වතුර පසු වතුරට මම යම් අතකින් යෙම් ද, තෝත් එතැනින් ම යව” යි කියා ඇණවූ වේ ද? නොහොත් පසු වතුර පළමු වතුරට තෙපි යම් තැනකින් ගියාහු නම් මමත් එතැනින් ම යෙමි”යි කියා අණවා[5] කථා කර ගත්තේ දැ?” යී විචාළසේක. “නැත ස්වාමීනි, ඔවුන්ගේ ඔවුනොවුන් හා (61) කර ගත් වචනයෙක් නැත. බිම මිටි බැවින් ම යන්නාහු ය” යි කීහ. “එපරිද්දෙන් ම මහරජානෙනි, යම් තැනැක චක්ෂුර්විඥානය උපදනේ වී නම්, එතැන ම මනොවිඥානයත් නින්න බැවින් උපදනේ ය. චක්ෂුර්විඥානය මනොවිඥානයට ‘මම යම් තැනෙක උපදිම් ද, තෙපිත් එතැන උපදුව” යි කියා අණවන්නේත් නො වෙයි. නොහොත් මනොවිඥානය චක්ෂුර්විඥානයට ‘තෙපි යම් තැනෙක උපදිවු නම්, මමත් එතැන උපදිමි” යි කියා නො ම අණවන්නේ ය. ඔවුන්ගේ ඔවුනොවුන් හා කථාවකුත් නැත්තේ ය. නින්න බැවින් ම උපදනාහු ය” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කෙසේ නම් ද්වාර බැවින් යම් තැනෙක චක්ෂුර්විඥානය උපදී නම් එතැන ම මනොවිඥානයත් උපදී ද? ඊට උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, හේ කුමක් නම් සිතන්නහු ද? රජ්ජුරුවන්ගේ බලවත් ප්‍රාකාර තොරණ පන්ති ඇති ප්‍රත්‍යන්තනුවරෙක්හි එක ම වාසල් දොරෙක් වී නම්, එයින් පුරුෂයෙක් නික්ම යනු කැමති වූයේ වී නම්, කොතැනින් නික්ම යේ දැ?” යි විචාළ සේක. “ස්වාමීනි, ඒ දොරටුවෙන් නික්ම යන්නේ ය”යි කීහ. “නැවැත අනික් පුරුෂයෙක් නික්ම යනු කැමති වූයේ වී නම්, කවර තැනකින් නික්ම යේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, යම් තැනකින් පළමු පුරුෂයා නික්ම ගියේ ද, ඒ දෙවෙනි පුරුෂයාත් එතැනින් ම නික්ම යන්නේ ය”යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, පළමු පුරුෂයා පසුව ගිය පුරුෂයාහට ‘මම යම් තැනකින් යන්නෙම් ද, තෙපිත් එතැනින් ම යව’ යි කියා අණවා කීයේ වේ ද? නොහොත් පසු ව ගිය පුරුෂයා පළමු පුරුෂයාට ‘තෙපි යම් තැනකින් ගියාහු නම් මමත් ඒ මගින් යෙමි” යි කියා කීයේ ද?’යි විචාළසේක. “එසේ නැත, ස්වාමීනි, ඔවුනොවුන් හා ඔවුන්ගේ කථාවෙක් නැත. යන්නට නිසි දොර බැවින් යන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් තැනක චක්ෂුර්විඥානය උපදනේ නම්, එතැන ම මනොවිඥානයත් ද්වාර බැවින් උපදනේ ය. ‘මම යම් තැනක උපදිම් ද, තෙපිත් එතැන ම උපදුව’ යි කියා චක්ෂුර්විඥානය මනොවිඥානයට අණ වන්නේ නො වෙයි. නොහොත් ‘යම් තැනක තෙපි උපදිවු නම්, මමත් එතැන ම උපදිමි’ යි කියා මනොවිඥානය චක්ෂුර්විඥානයට අණවා කියන්නේත් නො වෙයි. ඔවුනොවුන් හා ඔවුන්ගේ වචනයකුත් නැත්තේ ය. ද්වාර බැවින් ම උපදනාහු ය” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් තැනෙක චක්ෂුර්විඥානය උපදී නම්, එතැන ම මනොවිඥානයත් කෙසේ නම් පුරුදු බැවින් උපදී ද? ඊට උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජ, හේ කුක් සිතන්නෙහි ද? පළමු කොට එක් ගැලක් යන්නේ ද, නැවැත යන දෙවෙනි ගැල කවර මගකින් යේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, යම් මගකින් පළමු ගැල ගියේ ද, ඒ දෙවෙනි ගැලත් එම මාර්ගයෙන් ම යන්නේ ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ‘යම් මගකින් මම යෙම් ද, තෙපිත් ඒ මගින් ම යව’ යි කියා පළමු ගැල පසු ගැලට කියන්නේ ද, එසේ නැත්නම් පසුව යන ගැල ‘තෙපි යම් මගකින් යන්නහු නම්, මමත් ඒ මගින් ම යන්නෙමි’ යි කියා පළමු වූ ගැලට අණවා කියන්නේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඔවුන්ගේ ඔවුනොවුන් හා අකථාව ම ය. පුරුදු බැවින් යන්නාහු ය” යි (62) කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම චක්ෂුර්විඥානය හා පුරුදු බැවින් යම් තැනෙක චක්ෂුර්විඥානය උපදියි න්ම, එතැන්හි මනොවිඥානයත් උපදනේ ය. ‘යම් තැනෙක මම උපදිම් ද, තෙපිත් එතැන්හි උපදුව’ යි කියා චක්ෂුර්විඥානය මනොවිඥානයට නො ම අණ වන්නේ ය. නොහොත් ‘යම් තැනෙක තෙපි උපදින්නහු නම්, මමත් එතැන්හි උපදිමි’යි කියා මනොවිඥානය චක්ෂුර්විඥානයට නො ම අණ වන්නේ ය. ඔවුන්ගේ ඔවුනොවුන් හා අකථාව ම ය. බොහෝ කලක් පුරුදු බැවින් උපදනාහු ය” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කෙසේ නම් සමග හැසුරුණු බැවින් චක්ෂුර්විඥානය යම් තැනෙක උපදී ද, එතැන ම මනොවිඥානයත් උපදනේ ද? ඊටත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ඇඟිලිපුරුක්හි අල්වා ගෙණ සංඥා කොට කියන හස්ත මුද්‍රශාස්ත්‍රය, අච්ඡිද්‍ර වූ ගණන් ශාස්ත්‍රය, ක්ෂේත්‍රවෘක්ෂ විලොකනය කොට ඵලප්‍රමාණය කියන්නා වූ සංඛ්‍යාශාස්ත්‍රය, අක්ෂරලෙඛනශාස්ත්‍රය, උගන්නා ශිල්පස්ථානයෙහි අළුත උගන්නා ආදිකර්මිකයාහට මුළා වීම වන්නේ ය. නැවැත මෑත භාගයෙහි පරීක්ෂා කිරීමෙන් හැසුරුණු බැවින් නුමුළා වීම වන්නේ ය. එපරිද්දෙන් ම “මහරජ, එක් ව හැසුරුණු බැවින් යම් තැනෙක චක්ෂුර්විඥානය උපදී ද? එතැන්හි මනොවිඥානයන් උපදනේ ය. ‘යම් තැනක මම උපදිම් ද, තෙපිත් එතැන උපදුව’ යි කියා චක්ෂුර්විඥානය මනොවිඥානයට නො ම අණවන්නේ ය. නොහොත් ‘යම් තැනෙක තෙපි උපදින්නහු නම්, මමත් එතැන උපදිමි’ යි කියා මනොවිඥානය චක්ෂුර්විඥානයට නො ම අණවන්නේය. ඔවුන්ගේ ඔවුනොවුන් හා අකථාව ම ය. සමග හැසුරුණු බැවින් උපදනාහු ය” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් තැනෙක සොතවිඤ්ඤාණය උපදනේ වී නම් එතැන මනොවිඤ්ඤාණයත් උපදනේ වේ දැ” යි විචාළෝ ය. “එසේ ය, මහරජ, චක්ෂුර්විඥානයෙහි කී ලෙසින් ම දත යුතු ය” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඝාණවිඤ්ඤාණය යම් තැනෙක උපදී ද, ජිව්හාවිඤ්ඤාණය යම් තැනෙක උපදී ද, කායවිඤ්ඤාණය යම් තැනෙක උපදී ද, එතැන්හි මනොවිඤ්ඤාණයත් උපදී දැ” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, යම් තැනෙක කායවිඤ්ඤාණය උපදී නම්, මනොවිඤ්ඤාණයත් එතැන ම උපදනේ ය” යි වදාළසේක “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වන්ස, පළමු කොට කායවිඤ්ඤාණය උපදී ද? පසු ව මනොවිඤ්ඤාණය උපදී ද? නොහොත් මනොවිඤ්ඤාණය පළමු කොට උපදී ද? පසුව කායවිඤ්ඤාණය උපදී දැ” යි කීහ. “නැත, මහරජානෙනි, කී සේක. “එසේ වී නම්, මනොවිඤ්ඤාණය කායවිඤ්ඤාණයට තෙපි පළමු කොට උපදුව. මම පසු ව උපදිමි” යි කීයේ ද?” යි විචාළෝ ය. “නැත, මහරජානෙනි, ඔවුන්ගේ ඔවුනොවුන් හා එබඳු කථාවෙක් නැත. අකථාව ය. බොහෝ කලක් එකට ම හැසුරුණු බැවින් මෙසේ උපදනේ ය” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මනොවිඤ්ඤාණය යම් තැනෙක උපදනේ වී නම්, වේදනාවත් උපදනේ දැ?” යි කීහ. “එසේ ය, මහරජ, යම් තැනෙක මනොවිඤ්ඤාණය උපදනේ වීනම්, (63) එතැන ස්පර්ශයත් උපදනේ ය. එතැන වේදනාවත් උපදනේ ය. එතැන සංඥාවත් උපදනේ ය. චේතනාවත් උපදනේ ය. විතර්කයත් උපදනේ ය. විචාරයත් උපදනේ ය. ස්පර්ශප්‍රධාන වූ සියලු ධර්මයෝත් එතැන්හි උපදනාහු ය” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ස්පර්ශය කවර ලක්ෂණ දැ?” යි කීහ. “මහරජ, ස්පර්ශය ඵුසනලක්ෂණය” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ මෙණ්ඩක නම් බැටළුවෝ දෙදෙනෙක් පොර ගසන්නාහු වූ නම්, ඔවුන් අතුරෙන් එක බැටළුවෙක් යම් සේ ද, එසේ ම චක්ෂුස දත යුතු ය. දෙවෙනි මෙණ්ඩකයා යම් සේ ද, එපරිද්දෙන් ම රූපය දත යුතු ය. ඔවුන්ගේ එකට ඇනීම යම් සේ ද, එපරිද්දෙන් ස්පර්ශය දත යුතු ය” යි කීසේක. “නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ දෙඅත් එකට තළන්නාහු වූ නම්, එයින් එක් අල්ලක් යම් සේ ද, එපරිද්දෙන් චක්ෂුස දත යුතු ය. දෙවැනි අල්ල යම් සේ ද, එපරිද්දෙන් ඇසට පෙණෙන රූපය දත යුතු ය. ඔවුන්ගේ එකතුව ඝට්ටනය යම් සේ ද, එපරිද්දෙන් ස්පර්ශය දත යුතු ය” යි කීසේක. “තවත් නැවැත උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ සම්ම නම් තාලම් දෙකක් එකට ගසන්නාහු වූ නම්, එයින් එක් තාලම්පටක් යම් සේ ද? එපරිද්දෙන් ඇස දත යුතු ය. දෙවෙනි තාලම්පට යම් සේ ද? එපරිද්දෙන් රූපය දත යුතු ය. ඔවුන්ගේ එක් වීම යම් සේ ද, එපරිද්දෙන් ස්පර්ශය දත යුතු ය” යි වදාළ සේක. “සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වේදනාව කවර ලක්ෂණ දැ?” යි කීහ. “මහරජානෙනි, වේදනාව විඳින ලක්ෂණ ද වෙයි. අනුභව කරණ ලක්ෂණ ද වෙයි. කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් රජක්හට අධික වූ දස්කමක් කෙළේ වී නම්, ඒ පුරුෂයාහට රජ්ජුරුවෝ සතුටු ව අධිකාරම්[6] තනතුරු දෙන්නෝ ය. ඒ පුරුෂතෙම අධිකාරම් තනතුර කරණ කොට ගෙණ පංචකාමසම්පත්තියෙන් සමප්පිතව සමංගීභූත ව හැසිරෙන්නේ ය. ඕහට මෙබඳු සිතක් වන්නේ ය:- ‘මා විසින් වනාහි පෙර රජ්ජුරුවන්ට රාජකෘත්‍යය දස්කම් කරණ ලද්දේ ය. ඒ මට රජ්ජුරුවෝ සතුටු ව අධිකාරම්1 (තනතුර) දුන්සේක. ඒ මම ඒ කාරණයෙන් මෙබඳු වූ මේ සැප වේදනාව විඳිමි’යි සතුටු වන්නේ ය. තවද “මහරජානෙනි, යම් සේ කිසි යම් පුරුෂයෙක්තෙම ත්‍රිවිධකුශලකෘත්‍යය කොට ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම් වූ ස්වර්ගලොකයෙහි උපන්නේ වී නම්, ඒ දිව්‍යපුත්‍රතෙම එහි දිව්‍යමය වූ පඤ්චකාමසම්පත්තියෙන් සම්ප්පිත ව සමංගීභූත ව හැසිරෙන්නේ ය. ඕහට මෙබඳු සිතෙක් වන්නේ ය: මම වනාහි මීට පෙර කුශලධර්මය කෙළෙමි. ඒ මම ඒ කාරණයෙන් මෙබඳු වූ මේ දිව්‍යමය වූ සැපවේදනාව අනුභව කෙරෙමි යි කියා සතුටු ව්නනේ ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම වේදනාව වෙදයිත ලක්ෂණ ද අනුභව කරන ලක්ෂණ ද වෙ” යි කියා වදාළසේක. “යහපත; ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූ සේකැ” යි ස්තුති කළහ.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සංඥාතොමෝ කවර ලක්ෂණ දැ?” යි කීහ. “මහරජානෙනි, සංඥාතොමෝ සංජානන(64) ලක්ෂණය” යි කීසේක. “කුමක් හැඳින ගණී දැ?”යි කීහ. “නිල්පැහැයත් හඳුන්නේ ය. රන්වන් පැහැයත් හඳුනන්නේ ය. රතුපැහැයත් හඳුනන්නේ ය. සුදු පැහැයත් හඳුනන්නේ ය. මාංජිෂ්ඨකවර්ණයත් හැඳින ගන්නේ ය. “මහරජානෙනි, මෙපරිද්දෙන් ම සංඥාතොම සංජානනලක්ෂණ ය”යි කීසේක. “උපමාවකුත් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරිකයා අරමුදල්ගෙට ගොස් නීල පීත ලොහිත ඔදාත මාංජිෂ්ඨ ලක්ෂණ වූ රාජපරිභොග වූ වස්ත්‍රාභරණාදිරූපයන් දැක හැඳින ගන්නේ ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම සංඥාතොමෝ සංජානන ලක්ෂණ ය”යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූ සේකැ” යි ස්තුති කළහ.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වේතනාතොමෝ කවර ලක්ෂණ දැ?” යි කීහ. “මහරජානෙනි, සිතන ලක්ෂණ ද මනා කොට කරණ ලක්ෂණ ද වෙ” යි කීසේක. “ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් තෙම විෂයක් කොට ගෙණ තෙමේත් පානය කරන්නේ ය. සෙස්සන්ටත් පානය කරවන්නේ වී නම්, ඒ විෂය තැනූ පුරුෂ තෙමේත් දුකට පැමිණෙන්නේය. විෂය බුත්[7] සෙස්සෝත් දුකට පැමිණෙන්නාහු ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ලොකයෙහි සමහර පුද්ගලයෙක්තෙම ප්‍රාණඝාතාදී වූ අනෙකප්‍රකාර අකුශලකර්මය්න සිතින් සිතා ඒ පාපයෙන් ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැපතින් පහ වූ දුර්ගති නම් වූ නැවත නැවත වැටී පැසෙන්නා වූ සැප ආස්වාදයකුදු නැති නරකයෙහි උපදින්නේ ය. යම් කිසි කෙනෙක් ඔහුගේ වචනයෙහි හික්මුනාහු නම් වෙද් ද, ඔහුත් ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැපතින් පහ වූ බැවින් අපාය නම් වූ දුකට ම පිහිට බැවින් දුර්ගති නම් වූ විව ද වැටෙන බැවින් විනිපාත නම් වූ නරකයෙහි උපදනාහු වෙති. “මහරජානෙනි, යම් සේ වනාහි කිසියම් පුරුෂයෙක් තෙම ගිතෙල් වෙඬරු මධු ශර්කරා තෛලාදි නොයෙක් රසයන් එක් කොට රසයක් තනා තෙමේත් පානය කරන්නේ ය. සෙස්සන්ටත් පානය කරවන්නේ වී නම් ඒ රසය තනා ගත් එතෙමේත් සුවපත් වන්නේ ය. ඒ රසය බීපු සේසෝත් සුවපත් වන්නාහු ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ලොකයෙහි සමහර පුද්ගලයෙක්තෙම දානශීලාදි වූ අනෙක ප්‍රකාර වූ කුශලකර්මයන් සිතින් සිතා ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුන්දර වූ ගමන් ඇති සැපයෙන් අග්‍ර වූ ස්වර්ගලොකයෙහි සැප සේ ම උපදනේ ය. යම්කිසි කෙනෙක් ඔහුගේ වචනයෙහි හික්මුනාහු වෙද් ද, ඔහු ද ශරීරභෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත ස්වර්ග ලොකයෙහි උපදනාහු ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම චෙතනාතොම චේතයිත ලක්ෂණ ද වෙයි. අභිසංඛරණ ලක්ෂණ ද වෙ” යි වදාළසේක. එකල “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විඤ්ඤාණය කවර ලක්ෂණ දැ”යි කීහ. “මහරජානෙනි, විඥානය දැන ගන්නා ලක්ෂණය”යි කීසේක. “ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ නුවර රක්ෂාවෙහි නියුක්ත වූ පුරුෂතෙම නුවර මධ්‍යයෙහි වූ සතරමංසන්ධියෙහි සිටිමින් (65) පූර්වදිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය. දකුණුදිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය. පශ්චිම දිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය. උත්තරදිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි පුරුෂතෙම ඇසින් යම් රූපයක් දකී ද, ඒ දුටු රූපය විඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. සොතයෙන් යම් ශබ්දයක් අසා ද, ඒ ඇසූ ශබ්දය සොතවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. නාසයෙන් යම් සුගන්ධාදියක් ආඝ්‍රාණය කෙරේ ද, ඒ ගන්ධය ඝාණවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. දිවින් යම් රසයක් ආස්වාද කෙරේ ද, ඒ රසය ජිව්හාවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. ශරීරයෙන් යම් ස්පර්ශයක් කෙරේ ද, ඒ ස්පර්ශය කායවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. සිතින් යම් ධර්මචින්තාවක් දැන ගණී ද, ඒ සිතිවිලි මනොවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම විඤ්ඤාණය විජානනලක්ෂණ වන්නේ ය” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, “දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විතර්කය කවර ලක්ෂණ දැ?” යි කීහ. “මහරජානෙනි, විතර්කය පිහිටන ලක්ෂණය”යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ වඩුවා මනා කොට සැහැ කොටා විද කරණ ලද දැවය වුවමනා සන්ධියෙහි පිහිටුවා ද, එපරිද්දෙන් ම මහරජානෙනි, විතර්කය පිහිටන ලක්ෂණය”යි කීසේක. “සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ”යි කීහ.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විචාරයතෙම කවර ලක්ෂණ දැ?” යි කීහ. “මහරජානෙනි, විචාරයතෙම නැවත නැවත මාර්ජන ලක්ෂණ ය”යි කීසේක. “ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ලීයෙන් ගසන ලද ලොහොතළිය පසු ව අනුරාවය කෙරේ ද, අනු ව පිහිටා ද, මහරජානෙනි, යම් සේ ආකොටනය ද එපරිද්දෙන් ම විතර්කය දත යුතු ය. අනුරාවය යම් සේ ද, එපරිද්දෙන් විචාරය දත යුතු ය”යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්න විසඳීමෙහි දක්ෂ වූසේකැ”යි ප්‍රශංසා කළහ.
සකලජනමනොනන්දනීය වූ මේ මිලින්දප්‍රශ්න නම් වූ ශ්‍රීසද්ධර්මාදාසයෙහි තෘතීය වර්ගය නිමියේ ය.