ලොමසකාශ්‍යපප්‍ර‍ශ්නය

star_outline

“භන්තෙ, නාගසෙන, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පූර්වයෙහි මම මනුෂ්‍යභූත වූයේ සත්වයන්ට වෙහෙස නො කරණ සල වීමි’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද, ‘ලොමසකාශ්‍යප නම්, සෘෂි වූයේ නොයෙක් සියගණන් ප්‍රාණයන් නසා යාගය කළ යුතු වූ මහායාගයක් කෙළේ[1] යි’ කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පුබ්බෙවාහං මනුස්සභූතො සමානො සත්තානං අවිහෙඨකජාතිකො අහොසිං’ කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘ලොමසකස්සපෙන ඉසිනා අනෙකසතෙ පාණෙ ඝාතයිත්වා වාජපෙය්‍යං මහායඤ්ඤං යජිතං’ කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘ලොමසකස්සපෙන ඉසිනා අනෙකසතෙ පාණෙ ඝාතයිත්වා වාජපෙය්‍යං මහායඤ්ඤං යජිතං’ කියා වදාළ වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘පුබ්බෙවාහං මනුස්සභූතො සමානො සත්තානං අවිහෙඨකජාතිකො අහොසිං’ කියා වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පුබ්බෙවාහං මනුස්සභූතො සමානො සත්තානං අවිහෙඨකජාතිකො අහොසිං’ යන මේ වචනයත් වදාරණ ලද්දේ ය. ‘ලොමසකාශ්‍යප නම් සෘෂීන් වහන්සේ විසින් නොයෙක් සියගණන් ප්‍රාණයන් නසා කළ යුතු වූ මහායාගය යදින ලදැ’ යි කියාත් වදාරණ ලද්දේ ම ය. ඒ යාගයට පටන් ගත් කාරණය වනාහි රාගවශයෙන් විසංඥ වෙමින් විෂමචෙතනාවකින් නො වන්නේ ය”[2] යි වදාළසේක. “එසේ ය, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මේ පුද්ගලයෝ අටදෙනෙක් පරප්‍රාණය නසති. ඒ කවර අටදෙනෙක් ද? යත්:- රාගයෙන් තැවුනු පුරුෂතෙම රාගවශයෙන් පරප්‍රාණය නසන්නේ ය. ද්වෙෂයෙන් දූෂිත පුරුෂතෙම ද්වෙෂවශයෙන් පරප්‍රාණය නසන්නේ ය. මොහයෙන් මුළා වූ පුරුෂතෙම මොහවශයෙන් පරප්‍රාණය නසන්නේ ය. මානයෙන් තැවුනු පුරුෂතෙම මානයෙන් පරප්‍රාණය නසන්නේ ය. ලොභීපුරුෂතෙම ලොභ වශයෙන් පරප්‍රාණය නසන්නේ ය. කිසි ධනයක් නැති අකිංචන පුරුෂයා තමාගේ ජීවිකාර්ථය පිණිස පරප්‍රාණය නසන්නේ ය. බාල වූ ලදරුතෙම සිනා වශයෙන් පරප්‍රාණය නසන්නේ ය. පෘථිවිශ්වර රජ තෙම ලොකයා හික්මවාලීම් වශයෙන් පරප්‍රාණය නසන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙකී පුද්ගලයෝ අටදෙන පරප්‍රාණය නසන්නාහු ය. (260) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ලොමසකාශ්‍යප වූ බොධිසත්වයන් වහන්සේ විසින් ප්‍ර‍කෘතියක් ම කරණ ලදැ” යි කීහ. “මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේ විසින් ප්‍ර‍කෘතියක් කරණ ලද්දේ නො වෙයි. මහරජානෙනි, ඉදින් බොධිසත්වයන් වහන්සේ ප්‍ර‍කෘතිභාවයෙහි සිටිසේක් වූ නම්, ඒ මහායාගය යදින්නට නො නැමෙන සේක. මේ ගාථාව ද නො කියනසේක.

“සසමුද්දපරියායං-මහිං සාගරකුණ්ඩලං,

න ඉච්ඡෙ සහ නින්‍දාය-එවං සය්හ විජානහි’ යි.

‘මහරජානෙනි, ලොමසකාශ්‍යප නම් සෘෂීන් වහන්සේගේ ශීල සමාධ්‍යාදි තපොතෙජසින් ශක්‍ර‍යාගේ පාණ්ඩුකම්බලශෛලාසනය හුණු වී ය. එකල ශක්‍රදෙවෙන්ද්‍රතෙම ‘මේ කවර කාරණයක් දෝ හො’ යි කියා දහසක් නුවණැසින් මුළුලොව බලා මහාබොධිසත්වයන් දැක භයින් තැති ගෙණ ‘මේ තෙම මා ශක්‍ර‍සම්පත්තියෙන් පහ කෙරේ දෝ? හො’ යි කියා මොහයෙන් මුළා ව ශීලවිනාශය කරවනු පිණිස ශක්‍ර‍භවනයෙන් අන්තර්ධාන වෙමින් බරණැස් රජ්ජුරුවන්ගේ සයනඝරයෙහි පෙණී සිට ‘මහරජ, ‘මම ශක්‍රදෙවෙන්ද්‍රයෙමි, තෙපි සියලු ම පෘථිවිතලයට අධිපති ව ශක්‍රදෙවෙන්ද්‍ර‍විලාශයෙන් රාජ්‍යශ්‍රීසම්පත් විඳිනු කැමැත්තහු නම්, හිමාලයෙහි වසන ලොමසකාශ්‍යප නම් සෘෂීන් ගෙන්වා ඇතුන් පටන් සර්ව චතුෂ්පදික සතුන් නසා මහායාගයක් කරව’ යි කියා අවවාද කොට ගියේ ය.

“එවිට බරණැස් රජ්ජුරුවෝ ද ‘යහපත, ශක්‍රදෙවෙන්ද්‍ර‍න් වහන්සැ’ යි කියා නුවර බෙර හසුරුවා හිමාලයට යන මාර්ගොපදෙශක වැද්දක්හු ලදින් ඔහු හා සය්හ නම් මහාමාත්‍යයෙකු යවූහ. ඒ අමාත්‍යයා මහාබොධිසත්වයන් කරා ගොස් වැඳ වැතිර, ‘ස්වාමීනි, ලොමසකාශ්‍යපයානන් වහන්ස, අප බරණැස් මහාරාජෝත්තමයානන් වහන්සේ චතුෂ්පාදික මහායාගයක් කරවා සියලු ම පෘථිවිතලයට රජ වනු කැමැති ව නුඹවහන්සේ ලවා යාග කරවා නුඹ වහන්සේට කැමැති සැපයක් දෙන සේ මා එවූසේක. මා හා වැඩිය මැනවැ’ යි කී කල්හි ‘සය්හයෙනි, සතරමහාසාගරය පිරිවරා සිටි චක්‍රාවාටපර්වතය හා සතරමහදිවයින වටා පිහිටි මුහුද කරණ කොට ගෙණ කර්ණලතායෙහි තැබූ කුණ්ඩලාභරණයක් වැනි වූ චක්‍රාවාටය මධ්‍යගත සියලු ම පෘථිවිතලයෙහි රාජ්‍යසම්පත්තිය උතුම් තපොගුණයක් හැර ලාමක වූ රජසැපතට පැමිණියේ ය’ යි ලොකයා කරණ නින්දාවෙන් යුක්ත ව[3] නො කැමැත්තෙමි. ‘මෙසේ දැන ගණුව’ යි කියා මේ ගාථව වදාළසේක් නො වේ ද?

“මහරජානෙනි, මෙබඳු වාදී වූ බොධිසත්වයන් වහන්සේ චන්ද්‍ර‍වතී නම් රාජකන්‍යාව දැකීම හා සමග රාගවශයෙන් විසංඥ වූසේක. පඤ්චෙන්ද්‍රියයන් බිඳීමෙන් සිත වික්ෂිප්ත කළ සේක.[4] රාගයෙන් රත් වූ සේක. සංඥාවගේ විපර්යාසයට පැමිණිසේක.[5] ආකුලාකුල වූසේක. වහවහා (කරන්නෙක්) වූසේක. ඒ වික්ෂිප්ත භ්‍රාන්ත ලුලිත සිතින් මහත් වූ මහා චතුෂ්පදඝාත වූ ආශීවිෂයකු වුවත් අතින් අල්වා ගන්නේ ය. මත්තහස්තියා සමීපයට නො බා ව ම යන්නේ ය. පරතෙරක් නො දැක මහාසමුද්‍ර‍යටත් පනින්නේ ය. ග්‍රීෂ්මකාලයෙහි නොයෙක් පණුවන් පැසෙන ගවරවළ ද, ගම්දොර නොයෙක් කුණු දමන ඔලිගල්ලය ද, පයින් මැඩ ඇවිදින්නේ ය. කටු සහිත ප්‍රදෙශයට ද නහින්නේ ය. ප්‍ර‍පාතයෙහි ද පනින්නේ ය, අසුචිය ද අනුභව කරන්නේ ය, නග්න (261) වූයේ ද වීථියෙහි ඇවිදින්නේ ය. අනෙකප්‍ර‍කාර වූ අනිකුදු බොහෝ අකර්තව්‍යය කරන්නේ ය, මහරජානෙනි, එපරිද්දෙන් ම බොධිසත්වයන් වහන්සේ බරණැස්රජ්ජුරුවන්ගේ දුවනියන් වූ චන්ද්‍ර‍වතී නම් රාජකන්‍යාව දැකීම හා සමග ම විසංඥ වූසේක. චිත්ත වික්ෂෙප වූසේක, විපර්යාස වූසේක, ආකුල වූසේක, ඒ වික්ෂිප්ත භ්‍රාන්ත ලුලිත චිත්තයෙන් මහත් වූමහාපසුඝාතන ගලරුධිර රාසියක් වන්නා වූ මහායාගයක් කළසේක. මහරජානෙනි, වික්ෂෙප වූ උමතුසිතින් කරණ ලද අකුශලකර්මය දෘෂ්ටධර්මයෙහිත් මහත් සාවද්‍ය නො වන්නේ ය. පරලොව විපාක දෙන තන්හි ද, එසේ ම මහත් නො වන්නේ ය. මහරජානෙනි, මේ ලොකයෙහි කිසි උම්මත්තකයෙක් තෙම වරදකට පැමිණියේ වී නම්, ඕහට තෙපි කවර දඬුවමක් පනවන්නහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, උම්මත්තකයාහට කවර දඬුවමක් වේ ද? අපි ඕහට තළවා පහ කරවා ලවම්හ, ඔහුට දඬුවම් මෙපමණ ය” යි කීහ.

“මහරජානෙනි, මෙසේ වනාහි උම්මත්තකයාගේ අපරාධය යි දඬුවමකුත් නො වන්නේ ය. එහෙයින් උම්මත්තකයා විසින් කළ කෘත්‍යයෙහි ද දොෂයෙක් නො වන්නේ ය, පිළියම් කළ නො හැකි වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ලොමසකාශ්‍යප නම් සෘෂීන් වහන්සේ චන්ද්‍ර‍වතී නම් රාජකන්‍යාවගේ දර්ශනය හා සමග ම විසංඥ වූසේක. වික්ෂිප්ත සිත් ඇති වූසේක, රාගයෙන් රත් වූසේක, විපර්යාස වූසේක, පතළා වූ කාමතෘෂ්ණාවට පැමිණියේ ය, කාමතෘෂ්ණාවෙන් ආකුලාකු වූයේ ය, එම තෘෂ්ණාවෙන් වහවහා යොමු වූයේ ය, ඒ වික්ෂිප්ත භ්‍රාන්ත ලුලිත චිත්තයෙන් මහත් වූ මහාපසුඝාතන ගලරුධිරරාශියක් වූ වාජපෙය්‍ය නම් මහායාගය කළසේක.

“තව ද, ලොමකකාශ්‍යප නම් ජාතකයෙහි ශක්‍රදෙවෙන්ද්‍රයෝ නැවතත් පෙර සෙයින් ම බරණැස් රජ්ජුරුවන් කරා අවුත් ‘මහරජ, ලොමසකාශ්‍යපයානන් ගෙන්වන උපායක් කියමි. තොපගේ චන්ද්‍ර‍වතී නම් කුමාරිකාවන් සරහා යවා ලොමසකාශ්‍යපයන් ගෙන්වා යාගය කරව’ යි කීහ. ඒ අසා බරණැස් රජ්ජුරුවෝ තමන් චන්ද්‍ර‍වතී නම් දුවනියන් දෙවඟනක සේ සර්වාභරණයෙන් සරහා ලවා මහපිරිවරින් සය්හ නම් ඇමතියා හා සමග හිමාලයට හැරියාහ. සය්හ නම් අමාත්‍යයා මහාබොධිසත්වයන් වැඳ ගෙණ, ‘ස්වාමීනි, අපගේ බරණැස් රජ්ජුරුවෝ වාජපෙය්‍ය නම් මහායාගය කරවා නුඹ වහන්සේට මේ චන්ද්‍ර‍වතී නම් කුමාරිකාවන් හා අර්ධරාජ්‍ය සම්පත්තිය දෙන සේ මා ආරාධනාවට එවූසේකැ’ යි කී කල්හි ඉඳුරන් බිඳ චන්ද්‍ර‍වතී කුමාරිකාවන් මුහුණ දැකීමෙන් ම සියලු ම ධ්‍යානගුණයෙන් පිරිහී කාමුම්මත්තක ව බරණැස්නුවර කරා ගොස් රාජ විධානයෙන් කළ මහායාගශාලායෙහි ඇත් අස් ගව මහිස මෘගාදී නොයෙක් සිවුපා සතුන් බන්ධනය කරවා ප්‍ර‍ථම යාගස්තම්භයෙහි බැඳි මංගලහස්ති රාජයා ඝාතනය කරණු පිණිස කඩුව ඔසවා ඝාතනයට ආරම්භ කළසේක. ඒ දැක හස්තිරාජතෙමේ මරණ භයින් තැති ගෙණ මහහඬින් හැඬූහ. එකල මහබෝසතානෝ කළකිරී අඳුන්දිවිසම් කක්ෂලොම ජටාමඬුලු දැක ‘අප වැනි තපස්වීන්ට මේ සුදුස්සෙක් නො වන්නේ ය’ යි සිතා කඩුව දමා යම් කලෙක ප්‍ර‍කෘති සිත් වූසේක් ද, මනා වූ සිහිය ලැබූසේක් ද, එකල්හි නැවතත් ප්‍ර‍ව්‍ර‍ජිතධර්මය පුරා හිමයට (262) වැඩ පඤ්චඅභිඥා උපදවා වාසය කොට ‘නො පිරිහුණා වූ ධ්‍යානයෙන් බ්‍ර‍හ්ම ලොකූපගත වූසේකැ’ යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

ලොමසකාශ්‍යපප්‍ර‍ශ්නය නිමි.

  1. යාගයක් කරණ ලද්දේ

  2. ‘රාගවසෙන විසඤ්ඤිනා නො සචෙතනෙන’ යන පාලි පාඨයෙහි මේ පරිවර්තනය වැරදි යි. ‘ඒ වනාහි රාගවශයෙන් විසංඥවූවහු විසින් කරණ ලද්දකි. චෙතනා සහිත වූවහු නො වේ.’ යනු එහි අදහස යි.

  3. යුක්ත වනු

  4. වූ

  5. විපර්යාසය වූ සේක.