“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතතෙම නූපන් මාර්ගය උපදවන සුලුසේකැ’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද, එම භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මම පූර්ව වූ සම්‍යක් සම්බුද්ධයන් විසින් හැසුරුණා වූ ‘පුරාණ අඤ්ජසය යි කියන ලද පුරාණ මාර්ගය දුටුයෙමි’ යි කියා වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ නූපන් මාර්ගය[1] උපදවනසුලු සේක් වූ නම්, ඒ කාරණයෙන් ‘අද්දසං ඛො අහං භික්ඛවෙ පුරාණං මග්ගං පුරාණං අඤ්ජසං පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතං’ කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘අද්දසං ඛො අහං භික්ඛවෙ පුරාණං මග්ගං පුරාණං අඤ්ජසං පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතං’ කියා වදාරණ ල්දදේ සැබෑ වී නම්, එහෙයින් ‘තථාගතතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා’ කියා වදාළ ඒ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තථාගතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා’ කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. නැවත ද, ‘අද්දසං ඛො අහං භික්ඛවෙ පුරාණං මග්ගං පුරාණං අඤ්ජසං පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතං’ කියාත් වදාරණ ලද්දේ ම ය. ඒ වදාළ කාරණද්වයය මත් ස්වභාවවචනයෙක් ම ය. මහරජානෙනි, පූර්වතථාගතයන් වහන්සේලාගේ අන්තර්ධාන වීමෙන් අනුශාසනා කරණ මාර්ගදෙශකයන් නැති කල්හි ආර්යමාර්ගය අන්තර්ධාන වි ය. සිඳුනා වූ නැසුනා වූ ගූළ්හ වූ වැසුනා වූ ප්‍රතිච්ඡන්න වූ අසංවරණ වූ ආර්යමාර්ගය තථාගත වූ ඒ අප බුදුරජානන් වහන්සේ චතුස්සත්‍යය දක්නා ප්‍රඥාචක්ෂුසින් සම්මර්ශනය කර වදාරණ සේක් ‘පූර්ව සම්‍යක්සම්බුද්ධයන් විසින් ගිය මාර්ගය මේය’ යි (258) කියා දැක වදාළසේක. ඒ කාරණයෙන් ‘අද්දසං ඛො අහං භික්ඛවෙ පුරාණං මග්ගං පුරාණං අඤ්ජසං පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතං’ යන මේ පාළිය වදාළසේක. මහරජානෙනි, පූර්ව තථාගතයන්ගේ අන්තර්ධානය වීමෙන් අනුශාසක වූ ශ්‍රාවකයන් නැති කල්හි යම් ආර්යමාර්ගයක් සිඳී ගියේ ද, නැසී ගියේ ද, ගූළ්හ වී ද, පිහිත වී ද, ප්‍රතිච්ඡන්න වී ද? ඒ ආර්ය මාර්ගය මෙසමයෙහි දැන් අප තථාගතයන් වහන්සේ ලොකයෙහි හැසිරීම කර වදාළසේක. උපදවා වදාළසේක. ඒ කාරණයෙන් ‘තථාගතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා’ කියා වදාළසේක.
“තව ද, මහරජානෙනි, මේ ලොකයෙහි චක්‍රවර්තිමහරජානන් අන්තර්ධාන වීමෙන් මාණික්‍යරත්න වෙපුල්ලපර්වතශිඛරාන්තරයෙහි සැඟවී යන්නේ ය. අනික් චක්‍රවර්තිමහරජානකෙනෙකුන්ගේ මනා ව චක්‍රවර්තිවත් පිරීමෙන් මාණික්‍යරත්නය අහසින් අවුත් සමීපයට පැමිණෙන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ මාණික්‍යරත්නය ඒ පශ්චිම චක්‍රවර්තිරජහු විසින් නිර්මිත කරන ලද්දේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, ඒ මාණික්‍යරත්නය විද්‍යමාන වූ ප්‍රකෘතියක් ම ය. ස්වාමීනි, ඒ චක්‍රවර්තිරජහු විසින් වනාහි උපදවන ලදැ” යි[2] කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍රකෘතික වූ අෂ්ටාංගිකනිර්වාණමාර්ගය පූර්ව තථාගතයන් විසින් නො හැර පුරුදු කරණ ලද්දේ ය. අනුශාසක වූ පුද්ගලයන් නැති කල්හි ලුග්ග වි ය. පලුග්ග විය, ගූළ්හ වි ය, පිහිත වි ය, ප්‍රතිච්ඡන්න වි ය, අසංවරණ වි ය. ‘තථාගතො භික්ඛවෙ අරහං සම්මා සම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා’ කියා වදාළසේක.
“තව ද, මහරජානෙනි, යම් සේ විද්‍යමාන වූ ම පුත්‍රයා යොනිමාර්ගයෙන් උපදවා මෑනියෝ ‘ජනිකාවය’ යි කියනු ලැබෙත් ද,[3] මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේත් ලුග්ග වූ පලුග්ග වූ ගූළ්හ වූ ප්‍රතිච්ඡන්න වූ අසංචරණ වූ පෙරත් ඇත්තා ම වූ නිර්වාණමාර්ගය ප්‍රඥා චක්ෂුසින් සම්මර්ශනය කර වදාරමින් උපදවා වදාළසේක. හැසිරීම කර වදාළසේක. ඒ කාරණයෙන් ‘මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ නූපන් මාර්ගය උපදවන සේකැ’ යි කියා වදාළසේක.
“තව ද, මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් නටුවා වූ යම් කිසි වස්තුවක් දුටුයේ වී නම්, ඒ පුරුෂයා විසින් ඒ භාණ්ඩය උපදවන ලදැ යි කියා ලොකවාසී සත්වතෙම කියන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ ලුග්ග පලුග්ග වූ ගූළ්හ පිහිත වූ ප්‍රතිච්ඡන්න අසංචරණ වූ පෙරත් ඇත්තා ම වූ මාර්ගය ප්‍රඥාචක්ෂුසින් සම්මර්ශනය කෙරෙමින් උපදවා වදාළසේක. සංචරණය කර වදාළසේක. ඒ කාරණයෙන් ‘මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ නූපන් මාර්ගය උපදවන සේකැ’ යි කියා වදාළසේක.
“තව ද, මහරජානෙනි, යම් සේ කිසි පුරුෂයෙක්තෙම වනාන්තරය කොටා පායා ශුද්ධ කොට භූමිය ආවරණය කර ගන්නේ ය. ඒ භූමිතොම ඒ පුරුෂයාගේ ය යි කියා ලොකවාසී ජනතෙම ව්‍යවහාරය කරන්නේ ය. ඒ භූමිතොම ඒ පුරුෂයා විසින් සම්බ කරණ ලද්දේත් නො වේ ම ය. ඒ භූමිය ශුද්ධ කෙරීම් ආදි කටයුතු කොට භූමිස්වාමික නම් වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ සිඳී ගියා වූ නැසී ගියා වු ගූළ්හ වූ පිහිත වූ ප්‍රතිච්ඡන්න වූ සංචරණයක් නැත්තා වූ පූර්වයෙහිත් ඇත්තා ම වූ නිර්වාණමාර්ගය ප්‍රඥාචක්ෂුසින් දැක (259) උපදවා වදාළසේක. ලොකයෙහි හැසිරීම කර වදාළසේක. ඒ කාරණයෙන් අප තථාගතයන් වහන්සේ ‘මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගත තෙම නූපන් මාර්ගය[4] උපදවන සේකැ’ යි කියා වදාළසේක. මහරජානෙනි, පූර්ව තථාගතයන් සමයෙහිත් මේ නිර්වාණමාර්ගය ඇතැ” යි වදාළසේක.
“සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍රශ්නය නුඹ වහන්සේ වදාළ පරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
නිර්වාණමාර්ගප්‍රශ්නය නිමි.