“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, ඡද්දන්ත නම් නාගෙන්ද්‍රතෙම:-
‘වධිස්ස මේ නත්‍ථි පරාමසන්තො-කාසාවමද්දක්ඛි ධජං ඉසීනං
දුක්ඛෙන ඵුට්ඨස්සුදපාදි සඤ්ඤා-අරහද්ධජො සබ්භි අවජ්ඣරූපො.’
යන මේ ගාථාවෙන් ‘වල හුන් මේ සොණුත්තරයා වධ කොට මරමි’ යි සිතා සොඬින් අල්ලා පරාමර්ශනය කෙරෙමින් බුද්ධාදි සෘෂිවරයන්ගේ ධ්වජය යි කියන ලද කාසායවස්ත්‍රය දුටුයේ ය. දැක අර්හත්ධ්වජය නම් සත්පුරුෂපණ්ඩිතවරුන් විසින් අවධ්‍යස්වරූප හෙයින් ‘එකාන්තයේ ම සත්කාර ගරුකාර කට යුත්තේ ය’ යි කියා එබඳු බලවත් දුක්ඛවෙදනාවෙන් වැලඳ සිටියා වූ හස්තිරාජයාහට ‘මෙබඳු වූ සත්පුරුෂසංඥාවෙක් පහළ වූයේ ය’ යි කියා මේ බව වදාරණ ලද්දේ ය. නැවත ද ‘ජොතිපාල නම් බ්‍රාහ්මණමාණවක වූ බොධිසත්වයන් වහන්සේ කාශ්‍යප නම් භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධ සර්වඥයන් වහන්සේට මුණ්ඩකවාදයෙන් සත්පුරුෂ නො වන්නා වූ පරුෂවචනයෙන් ආක්‍රොශ කළහ.[1] අවනම්බු වචන කීවෝ ය’ යි කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බොධිසත්වයන් වහන්සේ තිරශ්චීනාත්ම ගත වූයේ ද, කාෂායවස්ත්‍රයට මනා කොට ම පිදූසේක. එහෙයින් ‘ජොතිපාලමානවකයන් විසින් කාශ්‍යප නම් භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මුණ්ඩකවාදයෙන් ශ්‍රමණකවාදයෙන් සත්පුරුෂ නො වන්නා වූ පරුෂ වචනයෙන් ආක්‍රොෂය කරණ ලද්දේ ය. අවනම්බු කරණ ලද්දේ ය’ යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ජොතිපාල නම් මාණවකයානන් විසින් කාශ්‍යපගොත්‍ර සම්භූත වූ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මුණ්ඩකවාදයෙන් ශ්‍රමණක වාදයෙන් අසභ්‍ය වූ පරුෂවචනයෙන් ආක්‍රොශ කරණ ලද්දේ අවනම්බු කරණ ලද්දේ සැබෑ වී නම්, එහෙයින් ‘ඡද්දන්ත නම් හස්තිරාජයාන්න විසින් කාෂායවස්ත්‍රය පුදන ලද්දේ ය’ යි කී වචනය හෝ බොරු වන්නේ ය. ඉදින් තිරශ්චීනගත වූ කර්කශක්‍රෑරතර කටුක වෙදනාව විඳින්නා වූ බොධිසත්වයන් වහන්සේ විසින් සොණුත්තර වැද්දහු ඇඳි කාෂායවස්ත්‍රය පවා පුදන ලද්දේ ය. එසේ කල සර්වඥතාඥානයට පාරමිතාධර්මය මුහුකළ කල මනුෂ්‍ය ව ද නුවණ මුහුකුරා සිට කල දසබලධාරී වූ ලොක නායක වූ උදිතොදිත බ්‍රාහ්මණ කුලප්‍රසූත වූ නිති දිලිහෙන බ්‍යාමප්‍රභාවක් ඇත්තා වූ ප්‍රවරොත්තම වූ මනා කොට වලඳින ලද්දා වූ ප්‍රවර මනොහර කායික කාෂායවස්ත්‍රයන් ඇත්තා වූ කාශ්‍යප නම් භගවත් අර්හත් සම්බුද්ධයන් වහන්සේ දැක කුමක් පිණිස පූජා නො කළසේක් ද? මේ උභතොකොටිකප්‍රශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. (263) ඒ ප්‍රශ්නය තෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, ඡද්දන්ත නම් හස්ති නාගරාජතෙම:-
‘වධිස්ස මෙ නත්‍ථි පරාමසන්තො-කාසාවමද්දක්ඛි ධජං ඉසීනං,
දුක්ඛෙන ඵුට්ඨස්සුදපාදිසඤ්ඤා-අරහද්ධජො සබ්භි අවජ්ඣරූපො
යන මේ ගාථාවෙන් මෙම අර්ථයත් වදාරණ ලද්දේ ය. ජොතිපාල නම් බ්‍රාහ්මණමාණවකයානන් විසින් ද මුණ්ඩකවාදයෙන් ශ්‍රමණකවාදයෙන් අසභ්‍ය වූ පරුෂවචනයෙන් කාශ්‍යප නම් භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධ සර්වඥරාජොත්තමයානන් වහන්සේට ආක්‍රොශය කරණ ලද්දේ ය. අවනම්බු වචනය කියන ලද්දේ ය. ඒ ආක්‍රොශ පරිභව කළ කාරණය වනාහි ජාතිවශයෙන් කුලවශයෙන් කරණ ලද්දේ ය. මහරජානෙනි, ජොතිපාලබ්‍රාහ්මණමාණවකතෙම අශ්‍රද්ධාවත් වූ අප්‍රසන්නකුලයෙහි උපන්නේ ය. ඒ ජොතිපාලමාණවකයානන්ගේ මාතෘ පිතෘ නැගනි භාතෘ දාසි දාස කම්කරු පරිවාරක මනුෂ්‍යයෝ සියල්ල ම මහාබ්‍රහ්මයා දෙවතා කොට ඇත්තාහු ය. මහාබ්‍රහ්මයා ම ගරු කොට ඇත්තාහු ය. ඒ සියල්ලෝ ම ‘බ්‍රාහ්මණයෝ උත්තමයෝ ය. ප්‍රවරයෝ ය’ යි කියා අවශෙෂ වූ ප්‍රව්‍රජිතයන්ට නින්දා කෙරෙති. පිළිකුල් කෙරෙති. බ්‍රහ්ම භක්තික වූ ඔවුන්ගේ ඒ වචනය අසා බාලකාලයෙහි පටන් පුරුදු වූ ජොතිපාලමාණවකතෙම වැලිකෙළයෙහි පටන් මිත්‍ර වූ ඝටීකාර නම් කුම්භකාරයා විසින් බුදුන් දක්නා පිණිස කැඳවනු ලද වූයේ ‘සම්ම ඝටීකාරයෙනි, ඒ ශ්‍රමණවෙශධාරී වූ මුඬුමහණහු දැකීමෙන් අපට කවර ප්‍රයොජනයෙක් දැ?’ යි මෙසේ අවනම්බු වචනයක් කීයේ ය. මහරජානෙනි, යම් සේ මහත් වූ අමෘතරසය පවා නපුරු විෂයට පැමිණ තිත්තරස වන්නේ ද, යම් සේ සීතොදකය ගින්නට පැමිණ හුණු වන්නේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ජොතිපාලමාණවකයෝ අශ්‍රද්ධ වූ අප්‍රසන්න වූ බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝ ය. ඒ ජොතිපාලතෙම තමාගේ කුල වසයෙන් දෘෂ්ටි ගෙණ ලොවුතුරා බුදුන්ට ආක්‍රොශ කෙළේ ය. අවනම්බු කොට කීයේ ය.
තව ද, මහරජානෙනි, යම් සේ ජ්වලිතප්‍රජ්වලිත වූ ප්‍රභා සහිත වූ මහා අග්නීස්කන්ධයතෙම ජලයට පැමිණ නැසුනා වූ උෂ්ණප්‍රභා ඇති ව සීතල වන්නේ ද, පැසුනා වූ නිර්ගුණ්ඨිඵලයක් හා සදෘශ ව කළු වන්නේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම අනන්තපුණ්‍යසම්භාරයන් ඇත්තා වූ විශුද්ධ ශ්‍රද්ධාවක් ඇත්තා වූ මහත් වූ ඤාණාලොකය සහිත වූ ජොතිපාල නම් මාණවකයෝ අශ්‍රද්ධ වූ අප්‍රසන්න වූ කුලයෙහි උපන්නෝ ය. ඒ ජොතිපාල මාණවකතෙම මිථ්‍යාදෘෂ්ටි කුලවශයෙන් අප කාශ්‍යප නම් තථාගතයන් වහන්සේට ආක්‍රොශ කෙළේ ය. අවනම්බු කොට කීයේ ය. ඒ අසා ඝටීකාර නම් කුම්භකාරතෙම ‘අහෝ! මාගේ යහළු වූ ජොතිපාල කුමාරයන් අවැඩින් මුදා වැඩෙහි සලස්වාලමි’ යි සිතා බොධිසත්වයන්ගේ හිසකේ වරල වැරයේ අල්වා අදිමින් ‘මා යහළු වූ ජොතිපාලකුමාරයෙනි, ලොවුතුරා බුදුන් දක්නට යම්හ’ යි කැඳවා ලී ය. එවිට ජොතිපාල කුමාරතෙම ‘අහෝ! මොහු මොහුගේ නීචජාතිගොත්‍රයත් නො සලකා ම මාගේ හිස ගෙණ ඇත්තේ ය. එකාන්තයෙන් මට මහත් වූ අභිවෘද්ධි (264) සාධක වූ කාරණයක් ඇතැ’ යි සිතා ‘සම්ම, ඝටීකාරයෙනි, බුදුන් දක්නට එමි. හිස වරල හරුව’ යි කියා ගලවා ගෙණ මිත්‍රසහායත්වයෙන් ලොවුතුරා බුදුන් ලඟට ගොස් බණ අසා බුදුගුණ දැනීමෙන් දාසභූත වූවාක් මෙන් වූයේ ය. ඒ ජිනශාසනයෙහි පැවිදි ව උපසම්පදා වෙමින් සිල් පුරා විවරණශ්‍රී ලදින් අභිඥාසමාපත්ති උපදවා බ්‍රහ්මලොකූපගත වුයේ යැ” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍රශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.
ජොතිපාල මාණවකප්‍රශ්නය නිමි.
-
කෙළේ ය. ↑