“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මිත්‍රසන්ථවයෙන් භය උපදින්නේ ය. ගෘහයෙන් කෙලෙස් රජස් උපදින්නේ ය. අගෘහය අසන්ථවය යන මේ කාරණය එකාන්තයෙන් ම ඤාණයෙන් අගතැන්පත් මුනීන්ගේ නිරවද්‍ය දර්ශනය’ යි කියා මෙම අර්ථය වදාරණ ලද්දේ ය. නැවත ද ‘රම්‍ය වූ විහාර කරවන්නේ ය. ඒ විහාරයෙහි බහුශ්‍රැත භික්ෂූන් වාසය කරවන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින්:-
‘සන්‍ථවාතො භයං ජාතො - නීකෙතා ජායතී රජො,
අනිකෙතමසන්‍ථවං - එතං වෙ මුනිදස්සනං.’
කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ’ කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ’ කියා වදාළ වචනය සැබෑ වී නම්, එහෙයින් ‘සත්ථවාතො භයං ජාතං’ යනාදීන් වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය ද නුඹවහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නය තෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ. “සැබැව මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-
(250) ‘සන්‍ථවාතො භයං ජාතං - නීකෙතා ජායතී රජො,
අනිකෙතමසන්‍ථවං - එතං වෙ මුනිදස්සනං.’
කියාත් ගෘහදොෂ වදාරණ ලද්දේ ය. ‘විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ’ කියාත් ආවාසදානානිසංස වදාරණ ලද්දේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ ‘සන්ථවාතො’ යනාදීන් යමක් වදාරණ ලද ද, ඒ ස්වභාවවචනයෙක. අශෙෂවචනයෙක. නිස්සෙසවචනයෙක. නිෂ්පර්යාය වචනයෙක, ශ්‍රමණානුච්ඡවික වචනයෙක, ශ්‍රමණසාරුප්‍ය වචනයෙක, ශ්‍රමණපතිරූප වචනයෙක, ශ්‍රමණාර්හවවචනයෙක, ශ්‍රමණවිෂය වූ වචනයෙක, ශ්‍රමණප්‍රතිපදාවචනයෙක, ශ්‍රමණප්‍රතිපත්තිවචනයෙක, මහරජානෙනි, යම්සේ ආරණ්‍යක මෘගතෙම අරණ්‍ය වනාන්තරයෙහි ගොචරය කොට හැසිරෙමින් එක තැනෙක ආලයක් නැති ව ගෘහයක් නැත්තේ ය, අභිප්‍රාය තැනෙක සයනය කරන්නේ ය, මහරජානෙනි, එපරිද්දෙන් ම උපසම්පදා වූ භික්ෂූහු විසින්:-
‘සන්‍ථවාතො භයං ජාතං - නීකෙතා ජායතී රජො,
අනිකෙතමසන්‍ථවං - එතං වෙ මුනිදස්සනං.’
යන මේ ශ්‍රී මුඛ පාලියෙහි අර්ථය සිතියයුත්තේ ය, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-
‘විහාරෙ කාරයෙ රම්මෙ - වාසයෙත්ථ බහුස්සුතෙ,
පපං ච විවනෙ කයිරා - දුග්ගෙ සංකමනානි ච.’
යන මේ ගාථායෙන් කොසලසංයුත්තකයෙහි යම් ආවාසදානානිසංසයක් වදාරණ ලද ද, ඒ වදාළ කාරණය ආවාසයාගේ ප්‍රයොජනද්වයයක් දැක වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ඒ ප්‍රයොජනද්වය කවරේ ද? යත්:- විහාරදානය නම් සියලු ම සර්වඥවරයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේ ය. අනුදන්නා ලද්දේ ය, ස්තුති කරණ ලද්දේ ය. ප්‍රශස්ත කර වදාරණ ලද්දේ ය. ඒ ආවාසදානය දී දායකයෝ එකාන්තයෙන් ම ජාති ජරා ව්‍යාධි මරණ දුකින් මිදෙමින් නිවන් දක්නාහු ය. විහාරදානයාගේ මේ පළමුවන ආනිසංසය නම් වන්නේ ය. තවද, ආවාසය ඇති කල්හි භික්ෂුණීහු ව්‍යක්ත වූ සලකුණු ඇති වෙති. භික්ෂූන් දක්නා කැමැත්තවුන්ට දර්ශනය සුලභ වන්නේ ය. ගෘහය නැති කල්හි දුඃඛදර්ශනය ඇත්තාහු වෙති. සුව සේ භික්ෂූන් දක්නට නො ලැබෙති. විහාරදානයෙහි මේ දෙවෙනි ආනිසංසය නම් වන්නේ ය. මේ ප්‍රයොජනද්වය දැක වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ’ යන මේ ආවාසදානිසංසය වදාරණ ලද්දේ ය. එතෙකුදු වුවත් බුද්ධපුත්‍රයන් විසින් ඒ ආවාසයෙහි ආලය නො කළ යුත්තේ ය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍රශ්නය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
සෙනාසනප්‍රශ්නය නිමි.