උදරසංයත ප්‍ර‍ශ්නය

(251) නැවැතත් “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘භික්ෂාටනය කොට ලැබිය යුතු ආහාරයෙහි ගෙපිළිවෙළින් සිඟන විසින් ප්‍ර‍මාද නො වන්නේ ය. උදරපොෂණයෙහි පමණ දැන වැළඳීමෙන් සංයතකාරී වන්නේ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද එම භාග්‍යවතුන් වහන්සේ විසින් මහාඋදායිසූත්‍රයෙහිඋදායී පරිබ්‍රාජකයෙනි, මම වනාහි සමහර දවසෙක මාගේ මේ පාත්‍රයෙන් සම්පූර්ණ වූ ආහාරයත් වළඳමි. එයට වඩාත් වළඳන්නෙමි’ යි කියා වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය උදරෙ සංයතො සියා’ යි කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘අහං ඛො පනුදායි අප්පෙකදා ඉමිනා පත්තෙන සමිතිත්තිකම්පි භුඤ්ජාමි. භීය්‍යොපි භුඤ්ජාමි’ කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘අහං ඛො පනුදායි අප්පෙකදා ඉමිනා පත්තෙන සමතිත්ති කම්පි භුඤ්ජාමි. භීය්‍යොපි භුඤ්ජාමී’ කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය, උදරෙ සංයතො සීයා’ කියා වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය උදරෙ සංයතො සියා’ යන මේ කාරණයත් වදාරණ ලද්දේ ම ය. තවද ‘අහං ඛො පනුදායි අප්පෙකදා ඉමිනා පත්තෙන සමතිත්තිකම්පි භුඤ්ජාමි. භිය්‍යොපි භුඤ්ජාමි’ කියාත් වදාරණ ලද්දේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය උදරෙ සංයතො සියා’ කියා යමක් වදාරණ ලද්දේ ද, ඒ ස්වභාවවචනයෙක, අශෙෂ වචනයෙක, නිරවශෙෂවචනයෙක, කාරණසහිත වචනයෙක, විද්‍යමාන වූ වචනයෙක, සත්‍යවචනයෙක, යථාස්වරූප වචනයෙක, අවිපරීත වචනයෙක, සෘෂීන්ගේ වචනයෙක, මුනීන්ද්‍ර‍වචනයෙක, භාග්‍යවතුන්ගේ වචනයෙක, රහතුන්ගේ වචනයෙක, ප්‍රත්‍යෙකබුද්ධ වචනයෙක, ජිනෙන්ද්‍ර‍ වචනයෙක, සර්වඥවචනයෙක, තථාගතඅර්හත්සම්‍යක්සම්බුද්ධ වචනයෙක. මහරජානෙනි, යමෙක් උදර පොෂණයෙහි අසංඥතකාරී වී නම්, එතෙම පරප්‍රාණය ද නසන්නේ ය. නුදුන් වස්තුව ද ගන්නේ ය. පරදාරයෙහි ද හැසිරෙන්නේ ය, මුසාවාද ද කියන්නේ ය, සුරාපානය ද කරන්නේ ය, මෑනියන්ගේ ජීවිතයත් තොර කරන්නේ ය. පියානන්ගේ ජීවිතයත් තොර කරන්නේ ය. අරහන්තඝාතනය ද කරන්නේ ය, සංඝභෙදය ද කරන්නේ ය, දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලේ උපදවන්නේ ය.

“මහරජානෙනි, දෙවදත්තයන් වහන්සේ උදරපොෂණයෙහි අසංයත වූහ.[1] සමානසංඝයා බිඳ කල්පස්ථායික වූ අකුශලකර්මයක් රැස් කර ගත්තේ නො වේ ද? මහරජානෙින, මෙබඳු වූ අනිකුදු බොහෝ විවිධ වූ කාරණයන් දැක භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය උදරෙ සංයතො සියා’ යි කියා වදාරණ ලද්දේ ය. මහරජානෙනි, උදරයෙහි සංයතකාරී වූ පුද්ගලතෙම චතුරාර්යසත්‍යය ප්‍ර‍තිවෙධය කරන්නේ ය. සෝවාන්ඵලාදි චතුර්විධ ශ්‍රාමණ්‍යඵලය සිද්ධ කරන්නේ ය. අර්ථ (252) ධර්ම නිරුක්ති ප්‍ර‍තිභාන පටිසම්භිදා ය යි කියන ලද සිවුපිළිසිඹියායෙහි ද, ප්‍ර‍ථමධ්‍යාන ද්විතීයධ්‍යාන තෘතීයධ්‍යාන චතුර්ථධ්‍යානය යන සතර රූපධ්‍යාන හා ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය යන මේ අෂ්ටසමාපත්තියෙහි ද, දිව්‍යචක්ෂුරභිඥානය, දිව්‍යශ්‍රොත්‍ර‍ඥානය, පරචිත්තවිජානනඥානය, පූර්වෙනිවෙසානුස්මෘතිඥානය, අනෙකවිධ වූ සෘද්ධිවිධඥානය, සකල ක්ලේශයන්ගේ සිවි නැති කොට කැඩූ ආශ්‍ර‍චක්ෂයකරඥානය යන ෂඩභිඥායෙහි ද වශීභාවප්‍රාප්ත වන්නේ ය. සියලු ම ශ්‍ර‍මණධර්මය සම්පූර්ණය කරන්නේ ය.

“මහරජානෙනි, අතීතයෙහි නොයෙක් ලක්ෂගණන් ගිරාපොතකයෝ හිමාලයෙහි රුකින් රුක දිඹුල්ඵල අනුභව කෙරෙමින් වාසය කෙරෙති. එක් ගිරාපොතකයෙක් තමන් වසන දිඹුල්රුක ම ඵලපත්‍ර‍ අනුභව කෙරෙමින් නිමි කල සුඹුලු අනුභව කරමින් ගඟින් පැන් බී, අපිස් සතොස් ගුණය යි කියන ලද උදරයෙහි සංයතකාරී ව තාවතිංසභවනය දක්වා කම්පා කොට ශක්‍රදෙවෙන්ද්‍ර‍යන් උපස්ථානයට ගෙන්වූයේ නො වේ ද? එකල ශක්‍රතෙම ‘පාණ්ඩුකම්බලසිලාසනය හුණු වූයේ කාට වන් දුකකින් දෝ හො?’ යි බලා අවුත් දිඹුල්රුක ක්ෂය නො වන ඵලපත්‍ර‍ ලියලවා දී ගියේ ය. මහරජානෙනි, මෙබඳු වූ අනිකුදු බොහෝ කාරණයන් දැක භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය උදරෙ සංයතො සියා’ කියා වදාරණ ලද්දේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අහං ඛො පනුදායි අප්පෙකදා ඉමිනා පත්තෙන සමතිත්තිකම්පි භුඤ්ජාමි. භිය්‍යොපි භුඤ්ජාමි’ කියා යමක් වදාරණ ලද ද, ඒ වදාළ කාරණය සර්වඥ බොධිය පිණිස කොට නිමවන ලද කෘත්‍යයන් ඇත්තාවූ නිෂ්ඨාක්‍රියාවන් ඇත්තා වූ දීපංකරපාදමූලයෙහි දී සිතූ අර්ථය සිද්ධ කළා වූ වැස නිමවන ලද දීපංකරාදිබුද්ධානුශාසනාවන් ඇත්තා වූ කිසිවෙක ආවරණයක් නැත්තා වූ සියල්ල දත්තා වූ ස්වයම්භූඥාන වූ අප තථාගතොත්තමයානන් වහන්සේ විසින් තමන් වහන්සේ උදෙසා ම වදාරණ ලද්දේ ය.

“මහරජානෙනි, යම් සේ වමනය කරවන ලද්දා වූ විරේකය කරවන ලද්දා වූ වස්තිකර්මය කරවන ලද්දා වූ රොගාතුරයාහට සප්පායක්‍රියාවෝ කැමැති විය යුත්තාහු වෙද් ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ‘ක්ලේශයන් සහිත ව පවත්නා වූ චතුස්සත්‍යධර්මය නො දැක්කහු විසින් සතර පස් පිඩක් අහර නො වළඳා[2] පැන් බී සසරකතර ගෙවන්ට උත්සාහ කළ මැනැවැ’ යි වදාළ අවවාද සිතට නඟා ගෙණ උදරපොෂණයෙහි සංයම කට යුතු වන්නේ ය. තවද මහරජානෙනි, එසේ ම ඝනාන්ධකාරයෙහි හාත්පසින් සතර ගව්වක් ප්‍ර‍මාණ තන්හි ආලොක කරන්නා වූ ප්‍ර‍භා ඇත්තා වූ ජාතිමත් වූ උපන් තැන් පටන් ම අතිපරිශුද්ධ වූ චක්‍ර‍වර්තිමාණික්‍ය රත්නයාගේ ඔප් නැගීම පිණිස මර්දන ඝංසන ධොවනයෙන් කටයුත්තක් නො වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම සර්වඥබුද්ධවිෂයයෙහි පාරමිතා ධර්මයට පැමිණියා වූ තථාගතයන් වහන්සේගේ කෘත්‍යකරණයෙහි ආවරණයක් නො වන්නේ ය” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ අතිප්‍ර‍සන්න ව “සාධු, භන්තෙ නාගසෙන, එවමෙතං, තථා සම්පටිච්ඡාමි” යි කීහ.

උදරසංයතප්‍ර‍ශ්නය නිමි.

  1. වූයේ ය.

  2. අහර පිඩු කොට වළඳා