සර්වඥානුමාන ප්‍ර‍ශ්නය

නැවතත් “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ‘තථාගතයන් වහන්සේ සියල්ල දන්නාසේකැ’ යි කියනසේක. නැවත ද, ‘තථාගතයන් වහන්සේ විසින් ශාරිපුත්‍ර‍ මුගලන් ප්‍ර‍මුඛ වූ භික්ෂුසංඝයා පනාමය[1] කර වදාළ කල්හි චාතුමෙය්‍යක නම් ශාක්‍යයෝ ද සහම්පතී නම් මහාබ්‍ර‍හ්මයා ද, බීජූපමාව හා තරුණ වච්ජූපමාව ද දක්වා ලොවුතුරා බුදුන් පහදවා ලූවාහු ය. ක්ෂමා කෙරෙව්වාහු ය, ආදරය කෙරෙව්වාහු ය’ යි කියා කියනසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් උපමා දෙකකින් තථාගතයන් වහන්සේ සංඝයා කෙරෙහි ඇලුනුසේක් ද, ක්ෂමා කළ සේක් ද, සන්හිඳුනුසේක් ද, දයාවට පැමිණිසේක් ද, ඒ උපමාද්වය තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ද, ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් ඒ උපමා නො දන්නා ලද්දේ වී නම්, ඒ කාරණයෙන් බුදුරජානන් වහන්සේ අසර්වඥ වූසේක. ඉදින් දන්නා ලද්දේ නම්, ඒ කාරණයෙන් සංඝයා ආකඩ්ඪනය කොට අභිභවනය කරවා විමසනු කැමැති ව පනාමය1 කර වදාළසේක. ඒ කාරණයෙන් සර්වඥයන් වහන්සේගේ අකාරුණිකතාව සම්භ වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, තථාගතයන් වහන්සේ සර්වඥසේක් ම ය. භාග්‍යවතුන් වහන්සේ ඒ උපමාවලින් ද ප්‍ර‍සන්න වූසේක. ඇලුනුසේක. ක්ෂමා වූසේක. උපශාන්ත වූසේක. නිජ්ඣන්තියට පැමිණිසේක. මහරජානෙනි, ධර්මස්වාමි වූ තථාගතයන් වහන්සේගේ ඒ කථාගතප්පවෙදිත වූ උපමාවලින් ම තථාගත වූ බුදුන් සිත් ගත්තාහු ය. සන්තොස කළාහු ය, පැහැදීම කළාහු ය. ඔවුන්ගේ වචනයට ද, තථාගතයන් වහන්සේ ප්‍ර‍සන්න ව ‘මැනැවැ’ යි වදාරා පිළිගෙන වදාළසේක. මහරජානෙනි, යම්සේ ස්ත්‍රීතොම ස්වාමිපුරුෂයා සන්තක වූ ධනයෙන් ම ස්වාමිපුරුෂයා සිත් ගන්නී ය. සන්තොස කරවන්නී ය. පහදවන්නී ය. ඒ ඒ කටයුත්ත ද ස්වාමිතෙම ඉතා මැනවැ යි කියා අනුමෝදන් වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම චාතුමෙය්‍යක නම් ශාක්‍යයෝ ද, සහම්පතී නම් මහාබ්‍ර‍හ්මයානෝ ද, තථාගතප්පවෙදිත වූ උපමාවෙන් ම බුදුන් සිත් ගත්තාහු ය. සතුටු කෙරෙව්වාහු ය. පැහැදීම කෙරෙව්වාහු ය. ඔවුන්ගේ වචනයට ද, තථාගතයන් වහන්සේ ප්‍ර‍සන්න ව ‘ඉතා මැනවැ’ යි වදාරා පිළිගත්සේක.

“තවද, මහරජානෙනි, යම් සේ අන්දම් තබන කප්පපුරුෂතෙම රජ්ජුරුවන් ම සන්තක වූ රන්පණාවෙන් රජ්ජුරුවන්ගේ උත්තමාංගය පෑපත නඟා පීරමින් රජ්ජුරුවන් සිත් ගන්නේ ය, සතුටු කරන්නේ ය, පහදවන්නේ ය. ඒ කපුවාහට ද ප්‍ර‍සන්න වූ රජ්ජුරුවෝ ‘මැනැවැ’ යි කියා අනුමෝදන් (249) වන්නාහු ය යම් කැමැති දෙයක් දෙන්නාහු ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම චාතුමෙය්‍යක නම් ශාක්‍යයෝ ද, සහම්පතී නම් මහාබ්‍ර‍හ්මයානෝ ද, තථාගතප්පවෙදිත වූ උපමාවලින් ම බුදුන් සිත් ගත්තාහු ය, සතුටු කළාහු ය, පහදවා ලූවාහු ය. ඔවුන්ගේ වචනයට ද තථාගතයන් වහන්සේ ප්‍ර‍සන්න ව ‘යහපතැ’ යි අනුමෝදන් වූසේක.

“තවද, මහරජානෙනි, යම් සේ සද්ධිවිහාරිකතෙම තමාගේ උපාධ්‍යායයන් විසින් ගෙණෙන ලද පිණ්ඩපාතය ගෙණ උපාධ්‍යායයන් වහන්සේට පිරිනමමින් උපාධ්‍යායයන් සිත් ගන්නේ ය. සතුටු කරන්නේ ය, පහදවන්නේ ය, ඒ කෘත්‍යයට ද උපාධ්‍යායයන් වහන්සේ ප්‍ර‍සන්න ව යහපතැ යි පිළිගන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම චාතුමෙය්‍යක නම් ශාක්‍යරජදරුවෝ ද සහම්පතී නම් මහාබ්‍ර‍හ්මයානෝ ද තථාගතයන් වහන්සේ දැන වදාරන්නා වූ බීජතරුණවච්ඡුපමාවලින් ම බුදුන් සිත් ගත්තාහු ය, සන්තොස කෙරෙව්වාහු ය, ප්‍ර‍සාදය කෙරෙව්වාහු ය. ඔවුන්ගේ වචනයට ද තථාගතයන් වහන්සේ ප්‍ර‍සන්න වෙමින් ‘ඉතා මැනැවැ’ යි පිළිගෙණ සියලු ම සංසාරදුක්ඛයෙන් මිදීම පිණිස සද්ධර්ම දෙශනා කර වදාළසේකැ” යි කියා මේ ප්‍ර‍ශ්නය විසඳූසේක.

එකල රජ්ජුරුවෝ “සාධු, සාධු, ස්වාමීනි, නාගසේනයන් වහ්නස, මේ ප්‍ර‍ශ්නය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.

සර්වඥානුමානප්‍ර‍ශ්නය නිමි.

සකලජනමනොනන්දනීය වූ මෙණ්ඩකප්‍ර‍ශ්න නම් වූ මේ ශ්‍රීසද්ධර්මාදාසයෙහි සතරවන වර්ගය නිමියේ ය.

  1. ප්‍ර‍ණාමය