අර්හත් නිර්භයප්‍ර‍ශ්නය

නැවතත් ප්‍ර‍ශ්නයක් පිළිවිසනු කැමැත්තා වූ මිලිඳුමහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රහත්හු[1] පහ වූ භයසන්ත්‍රාස ඇත්තාහු ය’ යි කියා මේ වචනය වදාරණ ලද්දේ ය. නැවතත් ‘රජගහනුවර දී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි එළවා එන්නා වූ ධනපාල නම් නාලාගිරි හස්තිරාජයා දැක පන්සියයක් රහතුන් වහන්සේ සර්වඥයන් වහන්සේ හැර එක ම අනඳමහතෙරුන් වහන්සේ පමණක් ම හිඳුවා දිසානුදිසාවට ගියාහු ය’ යි කියා නුඹ වහන්සේ කියනසේක. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පන්සියයක් පමණ ඒ රහතන් වහන්සේලා ඇත්රජහට භයින් පැන ගියාහු ද? ශාන්තදාන්ත වූ ස්වකීය කටයුත්තෙන් තමන් වහන්සේට ම දැනෙනවා ඇතැ යි කියා දසබලධාරී වූ ලොවුතුරා බුදුන් ඇද හෙළවනු කැමැති ව පැන ගියාහු ද? නොහොත් තථාගතොත්තමයානන් වහන්සේගේ අතුල්‍ය වූ මහත් වූ අසදෘශ වූ ප්‍රාතිහාර්ය දක්නා කැමැති ව පැන ගියාහු ද? ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විගතභයසන්තාසා අරහන්තො’ යි කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘නගරෙ රාජගහෙ ධනපාලකං හත්ථිං භගවති ඔපතන්තං දිස්වා පඤ්චඛීණාසව සතානි පරිච්චජිත්වා ජිනවරං පක්කන්තානි දිසාවිදිසං එකං ඨපෙත්වා ථෙරං ආනන්දං’ යි කියා වදාළ බව සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘විගතභයසන්තාසා අරහන්තො’ යි කියා වදාළ වචනය හෝ බොරු වන්නේ ය. නුඹ වහන්සේ කරා පැමිණියේ (247) මේත් උභතොකොටිකප්‍ර‍ශ්නයෙක. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රහත්හු පහ වූ භය සන්ත්‍රාස ඇත්තාහු ය’ යි කියා මෙම කාරණයෙන් වදාරණ ලද්දේ ය. රාජගෘහනගරවරයෙහි දී භාග්‍යවතුන් වහන්සේ කරා ලං ව එන්නා වූ ධනපාලක නම් නාලාගිරිහස්තියා දැක පන්සියයක් පමණ රහතන් වහන්සේලා සර්වඥරාජොත්තමයා හැර දිසානුදිසාවට එක ම අනඳ මහ තෙරුන් වහන්සේ පමණක් බුදුන් ලඟ තබා ඒ ඒ අත ගියාත් සැබෑ ම ය. ඒ හැර ගිය කාරණය වනාහි භයකිනුත් නො වන්නේ ය. මහරජානෙනි, යම් හෙතුවකින් රහතන් වහන්සේලා භය වන්නාහු වූ නම්, තැති ගන්නාහු වූ නම් රහතන් වහන්සේලාගේ ඒ හෙතුව මූලොච්ඡින්න වි ය. එහෙයින් රහත්හු පහ වූ භයසන්ත්‍රාස ඇතිසේක් ලා ය. මහරජානෙනි, මහාපෘථිවිය සාරණ කල්හි ද, බිඳිනා කල්හි ද සමුද්‍ර‍ පර්වත ගිරිශිඛරයන් ධරණ කල්හි ද භය ගණී දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ.

“මහරජානෙනි, හේ කුමන කාරණයකින් දැ?’ යි විචාළසේක. “ස්වාමීනි, යම් හෙතුවකින් මහාපෘථිවිය භය වේ ද, උත්ත්‍රාසත් වේ ද, එබඳු හෙතුවක් මහාපෘථිවියෙහි නැතැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් හෙතුවකින් රහතන් වහන්සේලා භය වනසේක් ලා ද, තැති ගන්නාසේක් ලා ද, එබඳු වූ හෙතුවෙක් රහතන් වහන්සේලාගේ නැත්තේ ය. තවද, මහරජානෙනි, ‘පර්වතශිඛරය සිඳින කල්හි ද, උගුළුවා හෙළන කල්හි ද, බිඳින කල්හි ද, ගින්නෙන් දවන කල්හි ද භය වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, හේ කවර කාරණයකින් දැ” යි විචාළසේක. “ස්වාමීනි, යම් හෙතුවකින් පර්වතශිඛරය භය වේ ද, තැති ගණී ද, එබඳු කාරණයෙක් පර්වතශිඛරයාගේ නැතැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කාරණයකින් රහත්හු භය වෙද් ද, උත්ත්‍රාස වෙද් ද, එබඳු කාරණයක් රහතුන් වහන්සේලාගේ නැත්තේ ය. ඉදින් මහරජානෙනි, ශතසහස්‍රලොකධාතුයෙහි සත්වකායපරියාපන්න වූ යම් කිසි සත්වකෙනෙක් ඇද් ද, ඒ සියල්ලෝ ම නානාවිධ ආවුධ ගත් අත් ඇති ව එක ම රහතුන් වහන්සේ කෙනකුන් කරා දිව අවුත් වට කොට ගෙණ ‘මරම්හ’ යි කියා තැති ගන්වන්නාහු වූ නමුත්, ඒ රහතන් වහන්සේගේ සිතට මඳකුත් අන්‍යථාත්වයක් නො වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්:- භයට අවකාශයක් නො වන බැවින් අස්ථානයෙකි.

“මහරජානෙනි, එතෙකුදු වුවත් ඒ ක්ෂීණාශ්‍ර‍වයන් වහන්සේලාට මෙබඳු වූ චිත්තවිතර්කයෙක් වූයේ ය. ‘අහෝ! අද දවස් නරවරප්‍ර‍වර වූ ජිනවරොත්තමයානන් වහන්සේ නගරප්‍ර‍වරයට ප්‍ර‍විෂ්ට වූ කල්හි නුවර මහාවීථියෙහි ද, නාලාගිරි නම් ධනපාල හස්තිරාජයා අභිමුඛයට දිව එන්නේ ය. එකල බුද්ධුපස්ථායක වූ ආනන්දස්ථවිරයන් විසින් එකාන්තයෙන් ම දෙවාතිදෙව වූ මතිසාගරයන් වහන්සේට ජීවිතපරිත්‍යාගය කරනු ලැබෙයි. ඉදින් අපි සියල්ලෝ ම භාග්‍යවතුන් වහන්සේ හැර නො ගියමෝ නම්, ආනන්දස්ථවිරයන්ගේ ගුණය ප්‍ර‍කාශ නො වන්නේ ය. නො සෙලවී හිඳිනා අප බොහෝ දෙනෙකුන් දැක හස්තිරාජතෙම ද, තථාගතයන් වහන්සේ ලඟට නො එන්නේ ම ය. එබැවින් අපි පහ ව යම්හ. මෙසේ ඇති කල මහත් වූ ජනසමූහයාගේ ක්ලේශබන්ධනයෙන් මිදීම වන්නේ ය. ආනන්දස්ථවිරයන්ගේ ද, ගුණය ප්‍ර‍සිද්ධ වන්නේ ය’ යි සිතා මෙසේ ඒ රහතන් (248) වහන්සේලා මහත් ආනිසංසය දැක දිසානුදිසාවට වැඩ වදාළසේක්ලාහ” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍ර‍ශ්නය මනා ව ම විභාග කොට වදාරණ ලද්දේ ය. මේ කාරණය එසේ ම ය. රහතන් වහන්සේලාට භයක් හෝ සන්ත්‍රාසයෙක් හෝ නැත්තේ ය. ආනිසංසය දැක ඒ රහතන් වහන්සේලා දිසානුදිසාවට වැඩ වදාළහ” යි කීහ.

අර්හත්නිර්භයප්‍ර‍ශ්නය නිමි.

  1. රහත්