තවත් ප්‍රශ්නයක් අසනු කැමැති වූ මිලිඳු රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් මවුකුසින් උපදනේ ය. ඒ උපන්නා වූ සත්වතෙම මියන තැන් දක්වා ඔහු ම වේ ද? නොහොත් අනික් ආකාර කෙනෙක් ද?” යි කීහ. තෙරුන් වහන්සේ ඒ අසා “ඔහුත් නො වෙති යි. අනිකෙකුත් නො වෙති” යි කීසේක. “ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, ඒ කුමක් සිතෙන්නෙහි ද? යම් කලෙක තෙපි තරුණ වූ (43) කුඩා වූ බලිසයනය කරන්නා වූ ලදරු වූහු[1] ද, දැන් තෙපි ඒ ලදරුවා ම ද? මහත් කෙනෙක් දැ?” යි විචාළසේක. “නැත ස්වාමීනි, ලදරු වූ තරුණවූ කුඩාවූ යමෙක් උත්තානසෙය්‍යක වී ද, ඒ තෙම අනික් කෙනෙක. දැන් මම මහත් වූ අනික් කෙනෙකැ”යි කීහ. “මහරජානෙනි, මෙසේ ඇති කල්හි මෑනිකෙනෙකැ’යි කියාත් නො වන්නේ ය. පියාන කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. ආචාර්ය කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. ශිල්ප දන්නා කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. සිල්වත් කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. ප්‍රඥාවත් කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. කිමෙක් ද? මහරජානෙනි, දිවැසට විෂය වන අතිසියුම් තලතෙල්බින්දු ප්‍රමාණ වූ ප්‍රතිසන්ධි චිත්තය හටගන්නා කලලරූපයට මෑනියෝ අනික් ආකාර කෙනෙක. මස් සේදූ දියත්තක් වැනි වූ අර්බුද අවස්ථාවට මෑනියෝ අනික් කෙනෙක .ලතුදියත්තක් වැනි වූ පෙසීඅවස්ථාවට මෑනියෝ අනික් ආකාර කෙනෙක. මුරුතමල්කැකුළක් වැනි වූ ඝන අවස්ථාවට මෑනියෝ අනික් ආකාර කෙනෙක. දෑත් දෙපා හිස බේරී වැදූ බිලිඳුහට මෑනියෝ අනික් කෙනෙක .මහත් ව ගිහායට මෑනියෝ අනික් කෙනෙක. අනික් කෙනෙක් ශිල්ප උගණිති. අනිකෙකු උගන්නා ලද්දේ වෙයි. අනිකෙක් පවිටුකම් කෙරෙයි. අනිකෙක්හුගේ හස්තපාදාදිය කපන්නාහු ය”යි කීසේක. “නැත ස්වාමීනි”යි කියමින් “ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේ වනාහි මෙසේ යමෙකු කී කල්හි කුමක් කියනසේක් දැ?” යි විචාළාහ. එකල තෙරුන් වහන්සේ “මහරජානෙනි, තරුණ වූ බාල වූ උත්තාන ව සයනය කරන්නා වූත් මම් ම ය. දැන් මහත් වූයේත් මම් ම ය. මේ ශරීරය නිසා ම ඒ කලලරූපය යනාදි වූ ඒ සියල්ල ම එකට ම සංගෘහීතවී[2] ය” යි කීසේක.
“ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, කිසියම් පුරුෂයෙක් යම් සේ ප්‍රදීපයක් දල්වන්නේ ය. කිමෙක් ද? ඒ ප්‍රදීපය සියලු ම රාත්‍රිය මුළුල්ලෙහි ඇවිළේ ද?”යි විචාළසේක. “එසේ ය; ස්වාමීනි, රාත්‍රිය මුළුල්ලෙහි ම ඇවිළෙන්නේ ය” යි කීහ. “කිමෙක් ද මහරජානෙනි, පෙරයම්හි යම් ගිනිදළුවෙක් ඇද්ද, මධ්‍යමයාමයෙහිත් එම ගිනිදළුව ම දැ?”යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මධ්‍යම යාමයෙහි යම් ගිනිදළුවෙක් ඇද්ද, පශ්චිම යාමයෙහිත් එම ගිනිදළුව ම දැ?”යි විචාළසේක. “නැත ස්වාමීනි” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, පෙරයම්හි ඒ ප්‍රදීපය අනිකෙක් වී ද? මැදුයම්හි ප්‍රදීපය අනිකෙක් වී ද? පශ්චිමයාමයෙහි ප්‍රදීපය අනිකෙක් ද?” යි විචාළසේක. “නැත ස්වාමීනි යි ඒ පෙරයම පාන නිසා ම සර්වරාත්‍රිය මුළුල්ලෙහි ම පාන ඇවුළුනේ ය” යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම ධර්මසන්තතිය නිසා පවත්නේ ය. අනික් කෙනෙක් උපදනාහ. අනික් කෙනෙක් කාලක්‍රියා කරන්නාහ. ඉදිරිපසු නැති ව පවත්නා දෙයක් මෙන් සිතට හැඟෙන්නේය. ඒ කාරණයෙන් උපන්නෙත් හේ නො වෙයි. අනිකෙකුත් නො වෙයි. පශ්චිම වූ විඥානසංග්‍රහයට යන්නේ ය” යි කීසේක.
“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ දෝනා ලද්දා වූ කිරි රැයක් ඉකුත් වූ කාලාන්තරයකින් දීකිරි වන්නේ ය. ඒ දීකිරෙන් වෙඬරු වන්නේ ය. වෙඬුරෙන් තෙල් පරිවර්තනය (44) වන්නේ ය. මහරජානෙනි, යමෙක් වනාහි ‘යමක් කිරි නම්, ඒ කිරි ම දීකිරි ම ය. ඒ කිරි ම වෙඬරු ය. ඒ කිරි ම තෙල් ය’ යි කියා මෙසේ කියා නම් මහරජානෙනි, කියන්නා වූ ඒ පුරුෂතෙම මනා කොට ම ඇත්තක් ්ම කියන්නේ දැ? යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඒ කිරි ම නිසා ක්‍රමයෙන් තෙල් හට ගත්තේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ධර්මසන්තතිය හට ගන්නේ ය. අනිකෙක් උපදනේ ය. අනිකෙක් නිරුද්ධ වන්නේ ය. ඉදිරිපසු නො වූවාක් මෙන් සිතට උපදනේ ය. ඒ කාරණයෙන් උපන්නේත් හේ නො වෙයි. අනිකෙකුත් නො වෙයි. පශ්චිම වූ විඥානසංග්‍රහයට යන්නේ ය” යි වදාළසේක. එකල “ස්වාමීනි නාගසෙනස්ථවිරයන් වහන්ස, අතිදක්ෂ වූසේක. අතිසමර්ථ වූසේකැ”යි කියා ප්‍රශංසා කළෝ ය.
නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, යමෙක් තෙම ප්‍රතිසන්ධිවශයෙන් නො උපදී ද? එතෙම මතු නො උපදනෙමි යි කියා දන්නේ දැ?” යි කීහ. “එසේ ය, මහරජානෙනි, යමෙක් නො පිළිසිඳ ගණීද, හෙතෙම නො පිළිසිඳ ගණීමි යි කියා දන්නේ ය”යි කීහ. “ස්වාමීනි, කෙසේ දැනේ ද?” යි කීහ. “මහරජානෙනි, පිළිසිඳ ගැණීම පිණිස යම් කාරණයක් ඇද් ද? යම් ප්‍රත්‍යයක් ඇද් ද? ඒ හෙතුවගේ ඒ ප්‍රත්‍යයාගේ වැළකීමෙන් හෙතෙම නො පිළිසිඳ ගණිමි යි කියා දන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ සී සා වපුරණ ගෘහපතියෙක් සීසා වපුට ගොවිතැන් කොට ධාන්‍යාගාරය පුරවන්නේ ය. ඒ ගෘහපතියා එයින් මෑත කාලයෙහි සීයකුත් නො ම සාන්නේ ය. වියකුත් නො වපුරවන්නේ ය. යම් පරිද්දෙකින් පළමුවෙන් රැස් කළ ධාන්‍යය ම අනුභව කරන්නේ හෝ කාට කාටත් බෙදා දෙන්නේ හෝ කැමැති දෙයක් කරන්නේ ය. “මහරජානෙනි, ඒ කස්සකගෘහපතිතෙම මාගේ ධාන්‍යාගාරය නො පිරෙන්නේ ය” යි කියා දන්නේ දැ?” යි විචාළසේක. “එසේ ය ස්වාමීනි, ඔහු දන්නෝ ය” යි කීහ. කෙසේ දනී දැ?” යි කීසේක. “ස්වාමීනි, ධාන්‍යාගාරයාගේ [3]පරිපූර්ණත්වය පිණිස යම් හේතුවක් ඇද් ද? යම් ප්‍රත්‍යයයක් ඇද් ද? ඒ හෙතුප්‍රත්‍යය සන්හිඳීම පිණිස ගියබව හෙතු කොට ගෙණ මාගේ ධාන්‍යාගාරය නො පිරෙන්නේ ය” යි කියා දන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම පිළිසිඳ ගැණීම පිණිස යම් හෙතුවක් ඇද් ද? යම් ප්‍රත්‍යයක් ඇද් ද, ඒ හේතුවගේ ඒ ප්‍රත්‍යයයාගේ සන්හිඳීම හේතු කොට ගෙණ හෙතෙම සසර නො පිළිසිඳ ගණිමි යි කියා දන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිසමර්ථ සේක. අතිදක්ෂසේකැ”යි කියා ප්‍රශංසා කළෝ ය.
රජ්ජුරුවෝ නැවතත් “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙකුට ඥානය උපන්නේ නම් ඕහට ප්‍රඥාව උපන්නා දැ” යි කීහ. “එසේ ය, මහරජානෙනි, යමෙකුට ඥානය උපන්නේ වී නම් ඕහට ප්‍රඥාව උපන්නා ය” යි කීසේක. “කිමෙක් ද, ස්වාමීනි, යමක් ඥානය නම් ප්‍රඥාවත් ඕ ම දැ”යි කීහ. “එසේ ය, මහරජානෙනි, යමක් ඥානය වී නම් ප්‍රඥාවත් ඕ ම ය”යි කීසේක. “ස්වාමීනි, යමෙකුට ඒ ඥානය ම ඒ ප්‍රඥාව ම උපන්නේ වී නම්, කිමෙක් ද? පුරුෂතෙම මුළාබවට පැමිණේ ද? නොහොත් නො මුළාවේ දැ?” යි කීහ. “මහරජානෙනි, කිසි තැනෙක මුළා වෙයි. (45) කිසි තැනෙක නො මුළා වන්නේ ය”යි කීසේක. “ස්වාමීනි, කොතැන්හි මුළා වේ ද? කොතැන්හි මුළා නො වේ දැ?” යි විචාළාහ. “මහරජානෙනි, පූර්වයෙහි තමන් නො දක්නා ලද ශිල්පස්ථානයෙහි ද, පෙර නො ගිය දිසාභාගයෙහි ද, පෙර නො අසන ලද්දා වූ චිත්තවිභාගප්‍රඥප්තියෙහි ද, මුළාබවට පැමිණෙන්නේ ය” යි වදාළසේක. “කොතැන්හි මුළා නො වන්නේ දැ?” යි කීහ. “මහරජානෙනි, යමක් වනාහි ඒ ප්‍රඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා හෝ කරණ ලදද, එහි මුළා නො වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, ඔහුගේ මොහය කොතැන ගියේ දැ” යි කීහ. “මහරජානෙනි, ඥානය උපන් මාත්‍රයෙහි ම මොහය එතැන් ම නිරුද්ධ වන්නේ ය” යි කීසේක.
“ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් අන්ධකාරයෙහි ගෙයි ප්‍රදීපයක් නගන්නේ වේ ද, එයින් අන්ධකාරය නිරුද්ධ වන්නේ ය. ආලොකය පහළ වන්නේ ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම ඥානය උපන් මාත්‍රයෙහි ම මොහය එතැන්හි ම නැති වන්නේ ය”යි කීසේක. “ස්වාමීනි, ප්‍රඥාව කොතැන්හි ගියේ දැ?” යි කීහ. “මහරජානෙනි, ප්‍රඥාවත් ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. යමෙක් වනාහි ඒ ප්‍රඥාවෙන් අනිත්‍යය යි කියා හෝ, දුකැ යි කියා හෝ, අනාත්මය යි කියා හෝ, කරණ ලද ද, ඒ කටයුත්ත නිරුද්ධ නො වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රඥාතොමෝ ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. යමක් වනාහි ඒ ප්‍රඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා හෝ, කරණ ලද ද ඒ කළ කෘත්‍යය නිරුද්ධ නො වන්නේ ය යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද, ඒ කාරණයට උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම්සේ ඓශ්වර්යයෙන් මහත් වූ යම් පුරුෂයෙක් රාත්‍රියෙහි ලියමනක් යවනු කැමැති වූයේ ලිපිකාරයකු ගෙන්වා පහන දල්වා ලියමනක් ලියවන්නේ ය. ලියමන ලිවූ කල්හි ප්‍රදීපය නිවෙන්නේ ය. ප්‍රදීපය නිවූ කල්හිත් ලෙඛනය විනාස නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍රඥාතොමෝ ස්වකීය කෘත්‍යයය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍රඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා යමක් කරණ ලද ද, ඒ කළ කී කටයුත්ත නිරුද්ධ නො වන්නේ ය”යි කීසේක.
“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ පුරත්ථිමජනපදයෙහි මනුෂ්‍යයෝ ඇවිළගත් ගින්නක් නිවන්නට ගෙයක් ගෙයක් පාසා පැන් ඝටවල් පසක් පසක් බැගින් තබන්නාහු වෙති. ගේ ගිනිගත් කල්හි ඒ පැන්කළගෙඩිපස ම ගෘහයාගේ මත්තෙහි නමන්නාහු ය. එකල ගිනි නිවී යන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, නැවැත ඒ පැන් ගෙණවුත් ඝට කෘත්‍යය කරම්හ යි කියා ඒ මනුෂ්‍යයන්ට මෙබඳු වූ සිතෙක් වේ දැ?” යි කීසේක. “නැත, ස්වාමීනි, ඒ කළගෙඩිවලින් කටයුතු එතෙක් ම ය. ඒ පැන් කළවලින් කම් කිම් දැ?” යි කීහ. “මහරජානෙනි, පැන් කළපස යම් සේ ද, එපරිද්දෙන් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන පඤ්චේන්ද්‍රියයෝ දත යුත්තාහු ය. ඒ ගම මනුෂ්‍යයෝ යම් සේ ද, එපරිද්දෙන් යොගාවචරතෙම දත යුතු ය. ඇවිළ ගත් ගිනි යම් සේ ද, එපරිද්දෙන් ක්ලේශයෝ (46) දත යුත්තාහු ය. යම් සේ පැන්කළ පසකින් ගිනි නිවන ලද්දේ වේ ද, එපරිද්දෙන් ශ්‍රද්ධාදීපඤ්චේන්ද්‍රියයන් විසින් ක්ලේශයෝ නිවනු ලැබෙති. නිවන ලද ක්ලේශයෝ නැවැත නැවැත සම්භව නො වෙත් ම ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍රඥාතොමෝ ස්වකීයකෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍රඥාවෙන් අනිත්‍ය ය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්ම ය යි කියා හෝයමක් කරණ ලද ද, ඒ කටයුත්ත නිරුද්ධ නොවන්නේ ය” යි කිසේක.
“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ වෛද්‍යාචාර්යයා පස්මුල්බෙහෙත් ගෙණ ගිලිනා කරා ගොස් ඒ පස්මුල් බෙහෙත් අඹරා ගිලනාට පොවන්නේ ය. ඒ බෙහෙතින් පැමිණි දෝෂයෝ හැරී ගියාහු වූ නම්, කිමෙක් ද, මහරජානෙනි, නැවත ඒ පස්මුල්බෙහෙතින් ඖෂධ ක්‍රියා කෙරෙමි’ යි කියා ඒ වෛද්‍යාචාර්යයාට මෙබඳු සිතෙක් වේ ද” යි විචාළසේක. “නැත, ස්වාමීනි. ඒ මුල්බෙහෙතින් කට යුතු එතෙක් ම ය. ඒ මුල්බෙහෙතින් කිම් දැ?” යි කීහ. “මහරජානෙනි, පස්මුල්බෙහෙත් යම් සේ ද, එපරිද්දෙන් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන පඤ්චේන්ද්‍රියයෝ දත යුත්තාහු ය. වෛද්‍යාචාර්යතෙම යම් සේ ද, එපරිද්දෙන් ම යොගාවචරතෙම දත යුත්තේ ය. ව්‍යාධිය යම් සේ ද, එපරිද්දෙන් ම ක්ලේශයෝ දත යුත්තාහු ය. ව්‍යාධි[4]ත වූ පුරුෂතෙම යම් සේ ද එපරිද්දෙන් ම පෘථග්ජනතෙම දත යුතු ය. යම් සේ පඤ්චමූලබෙහෙතින් ගිලානයාගේ රොගයෝ නසන ලද්දාහු ද, රොගය නැසුනු කල්හි ගිලානතෙම අරොගී වේ ද, එපරිද්දෙන් පඤ්චේන්ද්‍රියයන් විසින් ක්ලේශයෝ නසනු ලැබෙත්. නස්නා ලද ක්ලේශයෝ නැවත නූපදනාහු වෙති. “මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍රඥාතොම ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍රඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා හෝ යමක් කරණ ලද ද, ඒ කළ කෘත්‍යය නිරුද්ධ නො වන්නේ ය” යි වදාළසේක.
“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ සංග්‍රාමාවචර වූ යොධයෙක්තෙම ශරපසක් ගෙණ සතුරුසේනාව ජය ගන්නට යුද්ධයට බස්නේ ය. සංග්‍රාමයට ගියා වූ යොධයා ඒ ශරපස ම ඛිපනය කරන්නේ ය. ඒ ශරපසින් සතුරුසේනාව බිඳී ගියාහු වූ නම්, කිමෙක් ද ‘මහරජානෙනි, නැවැත ඒ ශරපසින් ශරකෘත්‍යය කෙරෙමි යි කියා ඒ සංග්‍රාමාවචර යොධයාහට මෙබඳු සිතෙක් වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඒ ශරපසින් කට යුතු එපමණින් නිමියේ ය. නැවැත ඒ ශරපසින් ප්‍රයෝජන කිම් දැ?” යි කීහ. මහරජානෙනි, ඒ ශරපස යම් සේ ද, එපරිද්දෙන් ම සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන පඤ්චේන්ද්‍රියයෝ දත යුත්තාහු ය. සංග්‍රාමාවචර වූ යොධතෙම යම් සේ ද, එසේ ම යොගාවචරතෙම දත යුතු ය. සතුරුසේනාව යම් සේ ද, එමෙන් ක්ලේශයෝ දත යුත්තාහු ය. යම් සේ ශරපසින් සතුරුසේනාව බිඳුනාහු වෙත් ද, එපරිද්දෙන් ම පඤ්චේන්ද්‍රියයන් විසින් ක්ලේශයෝ බිඳුනා ලද්දාහු වෙති. බිඳුනා වූ ක්ලේශයෝ නැවැත නො උපදනාහු වෙති. “මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍රඥාව ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍රඥාවෙන් යමක් වනාහි අනිත්‍යය යි කියා හෝ දු½ඛය යි කියා (47) හෝ අනාත්මය යි කියා හෝ කරණ ලද ද, ඒ දාන ශීල භාවනාදි කෘත්‍යය නිරුද්ධ නො වන්නේ ය”යි වදාළසේක. ඒ අසා “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූ සේකැ”යි කියා ප්‍රශංසා කළෝ ය.
නැවතත් මිලිඳුරජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක්තෙම ප්‍රතිසන්ධි වශයෙන් සසර නො පිළිසිඳ ගණී ද, ඒ පුරුෂතෙම කිසියම් දුක්ඛවේදනාවක් විඳී දැ?” යි කීහ. එකල තෙරුන්වහන්සේ “මහරජ, කිසිවක් විඳින්නේ ය. කිසිවක් නො විඳින්නේ ය” යි කීසේක. “විඳින්නේ කවරක් ද? නො විඳින්නේ කවරක් දැ”යි කීහ. “මහරජානෙනි, කායික වූ වේදනාව විඳින්නේ ය. චෛතසික වූ වේදනාව නො විඳින්නේ ය” යි කී සේක. “ස්වාමීනි, කායික වූ වේදනාව විඳින්නේ කෙසේ ද? චෛතසික වූ වේදනාව නො විඳින්නේ කෙසේ දැ” යි කීහ. “මහරජානෙනි, කායික වූ දුක්ඛවේදනාවගේ උත්පත්තිය පිණිස පවත්නා වූ යම් හෙතුවෙක් ඇද් ද, යම් ප්‍රත්‍යයෙක් ඇද් ද, ඒ හෙතුවගේ ඒ ප්‍රත්‍යයයාගේ නො වැළැක්ම වූ බැවින් කායිකදුක්ඛවේදනාව විඳින්නේ ය. චෛතසිකදුක්ඛවේදනාවගේ උත්පත්තිය පිණිස පවත්නා වූ යම් හෙතුවෙක් ඇද් ද? යම් ප්‍රත්‍යයයෙක් ඇද් ද? ඒ හෙතුවගේ ඒ ප්‍රත්‍යයයාගේ වැළකීමෙන් චෛතසික වූ දුක්ඛවේදනාව නො විඳින්නේ ය. “මහරජානෙනි, අප භාග්‍යවත් වූ ත්‍රෛලොක්‍යස්වාමීන් වහන්සේ විසිනුත් යමෙක් තෙම කායික වූ එක් වේදනාවක් විඳින්නේ ය. චෛතසික වූ වේදනාව නො විඳින්නේ ය’ යි යනාදීන් මෙම කාරණය වදාරණ ලදැ”යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ඒ යොගාවචරතෙම කායික දුක්ඛවේදනාව විඳී ද, ඒ තෙම කුමක් නිසා පිරිනිවන් නො පාන්නේ දැ?” යි කීහ. “මහරජානෙනි, රහත් වූවාහුට අනුසයයෙක් හෝ ක්‍රොධයෙක් හෝ නැත්තේ ය. නුවණින් අගතැන් පැමිණියා වූ රහතුන් වහන්සේලා ආයුෂය නො ගෙවුනු හෙයින් නො පැසුනා වූ තමන් නැසීම් වසයෙන් නො ම හෙළන සේක් ම ය. ආයුෂයාගේ පරිපාකය ම ඉවසා බලා හිඳිති. මහරජානෙනි, සද්ධර්මසෙනාධිපති වූ ශාරීපුත්‍ර නම් මහතෙරසාමීන් වහන්සේ විසින් ද මෙම කාරණය වදාරණ ලද්දේ ය. පරවැඩ කිරීමෙහි කුලී නො ලැබ හිඳින බැළ මෙහෙකරුවෙක් යම් සේ ද, එමෙන් මරණයටත් සතුටු නො වෙමි. මාගේ ජීවත් ව ඉඳීමටත් සතුටු නො වෙමි. ආයුෂ කාලය ම කැමැත්තෙමි. තව ද අර්ථානර්ථ දැනගන්න සම්ප්‍රජානන ප්‍රඥාවෙන් යුක්ත වූ එසේ ම සිහියෙන් යුක්ත වූ මම මරණයටත් සතුටු නො වෙමි. ආයුෂයාගේ ජීවිතයටත් සතුටු නො වෙමි. ආයුෂය ගෙවන කාලය ම කැමැත්තෙමි” යි වදාළ මේ ශ්‍රාවකගාථා දක්වා ලූසේක.
“නාභිනන්‍දාමි මරණං - නාභිනන්‍දාමි ජීවිතං,
කාලඤ්ච පතිකංඛාමි - නිබ්බිසං භතකො යථා.
නාභිනන්‍දාමි මරණං - නාභිනන්‍දාමි ජීවිතං,
කාලඤ්ච පතිකංඛාමි - සමපජානො පතිස්සතො” යි
එකල මිලිඳු රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් (48) වහන්ස, සුඛවේදනාතොමෝ කුසල් ද? අකුසල් ද? අව්‍යාකෘත ද?” යි කීහ. “මහරජානෙනි, කුසලත් වන්නේ ය. අකුසලත් වන්නේ ය. අව්‍යාකෘත ද වන්නේ ය” යි කීසේක. “ඉදින්, ස්වාමීනි, කුසල් වී නම්, දුක් නො වන්නේ ය. ඉදින් දුක් වී නම්, කුසල් නො වන්නේ ය. ඒ සුඛවේදනාව කුසල් වී නම්, කුසල් ම ය. අකුසල් වී නම් අකුසල් ම ය. කුසලුත් දුක්ඛයත් දෙක එකට නො උපදනේ ය” යි කීහ. ‘මහරජානෙනි, හේ තෙපි කුමක් සිතන්නාහු ද? මේ ලොකයෙහි පුරුෂයෙකුගේ හස්තතලයෙහි දවසක් මුළුල්ලෙහි රත් වූ යකඩගුළියක් තබන්නේ වී නම්, දෙවෙනි හස්ත තලයෙහි හිමාලයෙහි වූ සීතපිඩක් ගෙණ තබන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ දෙක ම දවන්නාහු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි. ඒ දෙක ම හස්තතලයන් දවන්නාහු ය” යි කීහ. “කිමෙක් ද, මහරජ, ඒ සීතපිඩත් යකඩපිඩත් දෙක ම උෂ්ණ දැ?” විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “කිමෙක් ද මහරජ, එසේ වී නම්, එදෙක ම සීතල දැ?” වි විචාළසේක. “නැත, ස්වාමීනි”යි කීහ. “එසේ වී නම්, “මහරජ, තොප කී වාදයෙහි නිග්‍රහ වූ බව දැන ගණුව. ඉදින් උෂ්ණය ම දවන්නේ වී නම් ඒ දෙක ම උෂ්ණ වන්නේ ය. එකාරණයෙන් සුඛවේදනාව කුසලුත් දුක්ඛයත් දෙක එකට උපදනේ ය යි කී වචනය සැබැව. ඉදින් සීතපිඩ ම දවන්නේ වී නම්, ඒ දෙක ම ත් සීත නො වන්නේ ය. ඒ කාරණයෙනුත් කුසලුත් දුක්ඛයත් දෙක ම එකට නො උපදනේ ය” යි කී වචනය සැබැව. මහරජ, කුමක් නිසා ඒ දෙක ම දවන්නාහු ද? එදෙක මත් උෂ්ණ නො ව්නනේ ය. ඒ දෙක ම සීතලත් නො වන්නේ ය. එකක් උෂ්ණ ය. එකක් සිතල ය. ඒ දෙක ම ත් හස්තයන් දවන්නාහු වෙති. ඒ කාරණයෙන් කුශලයත් දුක්ඛයත් දෙක එකට නො උපදනේ ය” යි කී වචනය සැබෑ වන නියාව ද?” යි කීසේක. එකල රජ්ජුරුවෝ ‘අනේ! ස්වාමීනි, වජ්‍රොපම වූ තීක්ෂණ වූ ප්‍රඥාවෙන් යුක්ත වූ නුඹවහන්සේ වැනි ශ්‍රෙෂ්ඨවාදීන් හා සමග කථා කරන්නට මම අසමර්ථයෙමි. යහපත් කොට අර්ථ වදාළ මැනැවැ” ආරාධනා කළහ.
එකල තෙරුන් වහන්සේ අභිධර්මයෙන් යුක්ත වූ ධර්මකථාවෙන් මිලිඳුරජ්ජුරුවන්ට චිත්තවිභාගය අවබොධ කර වදාළසේක. “මහරජානෙනි, ලොකාමිසය යි කියන ලද පඤ්චකාමසම්පත්තිය අනුභව කරණ පෘථග්ජනතෙම තමන් ලද්දා වූ චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ යහපත් වූ රූපයෙහි හෝ නුමුළා ව ලැබීමට නියත වූ රූපයෙහි හෝ කරණ ලද ගෙහනිශ්‍රීත වූ සන්තොසසිතෙක. එසේ ම සොතවිඤ්ඤෙය්‍ය වූ ශබ්දයෙහි උපදනා සන්තොසසිතෙක. ඝාණවිඤ්ඤෙය්‍ය වූ සුගන්ධයෙහි උපදනා සන්තොස සිතෙක. ජිව්හා විඤ්ඤෙය්‍ය වූ රසයෙහි උපදනා සන්තොසසිතෙක. කාය විඤ්ඤෙය්‍ය වූ ස්පර්ශයෙහි උපදනා සන්තොසසිතෙක. මනොවිඤ්ඤෙය්‍ය වූ සිතිවිල්ලෙහි උපදනා සන්තොසසිතෙකැ’ යි කියා ගෙහනිශ්‍රීත වූ සොම්නස්චිත්තයෝ සදෙනෙක. මෙකී චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ රූපාදි සවැදෑරුම් වූ සම්පත්තීන්ගේ නො ලත් සැපත් නො ලැබීමෙන් හෝ ලත් සැපත් පිරිහීමෙන් හෝ ගෘහස්ථයාට උපදනා ගෙහනිශ්‍රිත වූ දොම්නස්සිත් සදෙනෙක. චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ රූපාදී මෙකී සවැදෑරුම් සම්පත්තීන්ගේ ආදිනවය නො දැන සකුරුපිඩෙහි නිලීන ව වසන මැස්සකු මෙන් පඤ්ච කාමසැපත් (49) ස්ථිරයක් මෙන් සිතා මධ්‍යස්ථාකාරයෙන් පවත්නා ගෙහනිශ්‍රීත උපෙක්ෂාචිත්තයෝ සදෙනෙක. චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ රූපය සොතවිඤ්ඤෙය්‍ය වූ ශබ්දාදි සවැදෑරුම් වූ සම්පත්තීන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, නස්නා ස්වභාව ධර්මයෝ ය යි කියා සම්‍යක්ප්‍රඥාවෙන් බලා ප්‍රථමධ්‍යානවිදර්ශනාදිගුණයට පැමිණියාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් උපදනා සොම්නස් චිත්තයෝ සදෙනෙක. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පඤ්චමධ්‍යාන අර්හත්ඵලයට උත්සාහ කොට නො ලැබ කවර දවසක ලැබේ දේ හෝ යි කියා උපදනා වූ නෛෂ්ක්‍රම්‍යදොම්නස්චිත්තයෝ සදෙනෙක. චක්ෂුර්ද්වාරාදිෂඩායතනයන්ට යහපත් වූ රූපාදියක් පැමිණි කල එහි නො ඇලීමෙන් හා අනිෂ්ටයකත් අදූෂණ ව විදර්ශනාඥානයෙන් යුක්ත වූ නෛෂ්ක්‍රම්‍යඋපෙක්ෂාචිත්තයෝ සදෙනෙකැ යි කියා මේ චක්‍රයෝ සදෙන අතීතයටත් සොම්නස් දොම්නස් උපෙක්ෂා වේදනා වශයෙන් සතිස්වැදෑරුම් වෙති. අනාගතයටත් සතිස්වැදෑරුම් වූ වේදනාකෙනෙක් වෙති. වර්තමානකාලයටත් සතිස්වැදෑරුම් වූ වේදනා කෙනෙක් වෙති. ඒ සියලු ම චිත්තවිශෙෂය එකට සංඥාකොට එකට බහාලමින් එක්සිය අටක් වේදනාචිත්තයෝ වන්නාහු ය” යි කියා සර්වඥසූර්යදිව්‍යරාජයාගේ දෙශනාරශ්මිකදම්බය දක්වා ලූසේක. එකල මිලිඳු රජ්ජුරුවෝ අති ප්‍රසන්න ව “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.
නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, උත්පත්ති වශයෙන් කවරෙක් පිළිසිඳ ගණීදැ?” යි කීහ. ඒ අසා තෙරුන් වහන්සේ “මහරජානෙනි, නාමරූපදෙක පිළිසිඳ ගන්නේ ය” යි කීසේක. “කිමෙක් ද? මේ ජාතියෙහි නාමරූපදෙක ම අනික් තැනකත් පිළිසිඳ ගන්නේ දැ?” යි කීහ. “මහරජානෙනි, මේ සිතත් ඇඟත් කරණ කොට ගෙණ යහපත් වූ පවිටු වූ හෝ කර්මයක් කෙරේ ද, ඒ කර්මයෙන් අනික් නාමරූපයක් පිළිසිඳ ගන්නේ ය” යි කීසේක. “ඉදින් ස්වාමීනි, මේ සිතත් ඇඟත් දෙක ම අනික් තැනක නො උපදී නම්, ඒ සත්වතෙම පාපකර්මයෙන් මිදෙන ලද්දේ ම වන්නේ නො වේ දැ?” යි කීහ. එවිට තෙරුන් වහන්සේ “ඇයි, මහරජ, ඉදින් නො පිළිසිඳ ගන්නේ වී නම්, පාපකර්මයෙන් මිදුනේ වන්නේ ය. යම් හෙයකින් පිළිසිඳ ගණී නම්, එකාරණයෙන් පාපකර්මයෙන් නො මිදුනේ ය” යි කීසේක.
“ස්වාමීනි, උපමාවක් කරන්නැ” යි කීහ. “මහරජානෙනි, කිසියම් පුරුෂයෙක් අනික් පුරුෂයෙකුගේ අඹ සොරා ගෙණ යන්නේ ය. එකල අඹ ස්වාමියා අඹ සොර පුරුෂයා අල්වා ගෙණ ගොස් “දේවයන් වහන්ස, මේ පුරුෂයා විසින් මාගේ අඹ සොරකම් කරණ ලද්දේ ය” යි කියා රජ්ජුරුවන්ට දැක්වූයේ වී නම්, සොරතෙම ‘අනේ! ස්වාමීනි, මම මොහුගේ අඹ සොරකම් නො කෙළෙමි. මොහු විසින් රොපනය කරණ ලද යම් අඹපල කෙනෙක් ඇද් ද, ඒ අඹ වෙන ය. මා විසින් ගන්නා ලද අඹ අනිකෙක. මම දණ්ඩනයට ප්‍රාප්ත නො වෙමි” යි මෙසේ කියා නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ පුරුෂතෙම දණ්ඩප්‍රාප්ත වේ දැ?” යි විචාළ සේක. “එසේ ය, ස්වාමීනි, දණ්ඩප්‍රාප්ත වන්නේ ය” යි කීහ. “කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ඇයි (50) ස්වාමීනි, ඒ පුරුෂතෙම මෙසේ කියන්නේ වී නමුත්, පළමුවෙන් රොපණය කළ අඹ ප්‍රවෘත්ති නො සලකා එයින් පසු ව පල ගත් අඹ කරණ කොට ගෙණ ඒ පුරුෂතෙම දණ්ඩන ප්‍රාප්ත වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ නාමරූපය කරණ කොට ගෙණ යහපත් වූ හෝ පවිටු වූ හෝ කර්මයක් කෙරේ ද, ඒ කර්මය කරණ කොට ගෙණ අනික් නාමරූපයක් පිළිසිඳ ගන්නේ ය. එහෙයින් පාපකර්මයෙන් නො මිදුනේ ය” යි කීසේක.
“ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් අනික් පුරුෂයකුගේ ඇල්වී සොරකම් කෙළේ වී නම්, ඒත් යථොක්ත ක්‍රමයෙන් දත යුත්තේ ය. උක්දඬු සොරකම් කෙළේ වී නම්, ඒත් ආම්‍රොපමාව මෙන් දත යුත්තේ ය. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් තෙම හෙමන්තකාලයෙහි ගිනි දල්වා ගිනි තැප නො නිවා ගියේ වී නම්, නැවත ඒ ගිනි අනික් පුරුෂයෙකුගේ පැසෙන පූදින කුඹුරක් හෝ හේනක් හෝ දවා ගියේ වී නම්, ක්ෂේත්‍රස්වාමියා ඒ පුරුෂයා අල්වා ගෙණ රජගෙට ගොස් ‘දෙවයන් වහන්ස මේ පුරුෂයා විසින් මාගේ ක්ෂේත්‍රය දවන ලද්දේ ය’ යි කියා රජ්ජුරුවන්ට දැක්වූයේ වී නම්, එකල ඒ පුරුෂතෙම ‘අනේ! ස්වාමීනි, මම මොහුගේ කෙත නො දැවූයෙමි. මා විසින් යම් ගින්නක් නො නිවන ලද ද, ඒ ගින්න අනිකෙක. යම් ගින්නකින් මොහුගේ කෙත දවන ලද ද, ඒ ගින්න අනිකෙක. එහෙයින් මම අපරාධ ප්‍රාප්ත නො වෙමි’ යි මෙසේ කියන්නේ වී නම්, කිමෙක් ද මහරජානෙනි, ඒ පුරුෂතෙම දණ්ඩප්‍රාප්ත වේ දැ?” යි විචාළසේක. “එසේ ය ස්වාමීනි, දණ්ඩප්‍රාප්ත වන්නේ ය” යි කීහ. කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ඇයි, ස්වාමීනි, ඒ පුරුෂ තෙම මෙසේ කීයේ වී නමුත් පළමුවෙන් ආ ගිනි කරණ කොට ගෙණ ඒ පුරුෂ තෙම දණ්ඩන ප්‍රාප්ත වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම මේ නාමරූපයෙන් යහපත් වූ කුශලයක් හෝ පවිටු වූ අකුශලයක් හෝ (යන) යම් කර්මයක් කෙරේ ද, ඒ කර්මයෙන් අනික් නාමරූපයක් පිළිසිඳ ගන්නේ ය. ඒ කාරණයෙන් පාපකර්මයෙන් නො මිදෙන්නේ ය” යි කීසේක.
“ස්වාමීනි, නැවතත් විශෙෂ වූ උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක්තෙම ප්‍රදීපයක් ගෙණ උඩුමාලට නැගී බත් අනුභව කරන්නේ ය. එකල ඒ ප්‍රදීපය තෙල් සහ ඇවිලෙමින් ගිනි නැඟී තෘණසෙවෙනි දවන්නේ ය. තෘණසෙවෙනි ද දවා ගෙය දවන්නේ ය. ගෙය දවමින් ගමේ සමීප ගෙවල් දවන්නේ ය. එකල ගමේ ජනයෝ ඒ පුරුෂයා අල්වා ගෙණ ‘එම්බල පුරුෂය, තෝ කුමක් පිණිස අපගේ ගම පිළිස්සුයෙහි දැ?” යි මෙසේ කීවාහු නම්, ඒ පුරුෂතෙම පින්වත්නි, මම තොපගේ ගම නො දැවූයෙමි. මම යම් ප්‍රදීපයක්හුගේ ආලොකයකින් අනුභව කෙළෙම් ද, ඒ ප්‍රදීපාග්නිය අනිකෙක. යම් ගින්නකින් ග්‍රාමය දවන ලද ද, ඒ පසු ඇවුළුනු ගින්න අනිකෙකැ’ යි කියා නම්, ඒ මනුෂ්‍යයෝ විවාද කෙරෙමින් ‘මහරජ, තොපගේ, සමීපයට ආවාහු වූ නම්, මහරජ, තෙපි කාට අර්ථ ධරමින් නඩු කියන්නහු දැ?” යි විචාළ සේක. “ස්වාමීනි, ග්‍රාමජනයාහට නඩු කෙරෙමි” යි කීහ. “හේ කුමක් නිසා දැ?” යි විචාළසේක. (51) ඒ පුරුෂතෙම මේ ආකාරයෙන් කෙසේ කියන්නේ වී නමුත්, කිමෙක් ද, ඒ ප්‍රදීපාග්නියෙන් ම ඒ ග්‍රාමයන් දැවූ ගිනි උපන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කිසිසේත් මරණාන්තිම වූ නාමරූපය අනිකෙක. ප්‍රතිසන්ධියෙහි උපදනා නාමරූපය අනිකෙක. එසේ නමුත් ඒ මරණාසන්න වූ නාමරූපයෙන් ම ඒ ප්‍රතිසන්ධි නාමරූපය උපදනේ ය. ඒ කාරණයෙන් පවිටු වූ අකුශලකර්මයෙන් නො මිදෙන ලද්දේ ය” යි කීසේක.
“ස්වාමීනි, තවත් උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක්තෙම ලදරු වූ කුමාරිකාවක් තමාට සරණ ගෙණ යන පිණිස නියම කොට ගෙණ ජීවත් වීමට වැටුප් දී ගියේ වි නම්, ඕ[5] තොමෝ මෑතභාගයෙහි මහත් ව වයස් ප්‍රාප්ත වූවා ය. ඉක්බිති වෙනින් පුරුෂයෙක් වැටුප් දී සරණමඟුල් කෙළේ වී නම්, අනික් පළමු පුරුෂයා අවුත් ‘එම්බල පුරුෂය, තෝ කුමක් පිණිස මාගේ භාර්යාව සරණ ගෙණ ගියෙහි දැ?’ යි මෙසේ කීයේ වී නම්, ඒ අළුත් පුරුෂයා ‘මම තාගේ භාර්යාවක් නො ගෙණායෙමි. තා විසින් යම් ස්ත්‍රියක් නියම කරණ ලද ද, වැටුප් දෙන ලද ද, ලදරු වූ තරුණ වූ ඒ ලදැරිතොම වෙනින් ස්ත්‍රියක. මා විසින් යම් ස්ත්‍රියක් නියම කරණ ලදද, වැටුප් දෙන ලද ද, යෞවන වයසට පැමිණියා වූ වැඩී මහත් වූ මේ ස්ත්‍රිතොම වෙනින් ස්ත්‍රියක’ යි මේ ආකාර කියන්නේ වී නම්, ඒ දෙදෙනා විවාද කෙරෙමින් තොපගේ සමීපයට ආවාහු වූ නම්, මහරජානෙනි, තෙපි ඒ දෙදෙනාගෙන් කාට අර්ථ සාධමින් නඩු සාදන්නහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, පළමු පුරුෂයාට නඩු සාදමි” යි කීහ. “කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ඒ පුරුෂ තෙම මේ ආකාර කෙසේ කීයේ වී නමුත්, කිමෙක් ද, ඒ ලදැරිතොම ලදරු දා පටන් ක්‍රමයෙන් ම මහත් ව උපන්නී නො වේ දැ?” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කෙසේ නමුත් මරණාන්ත වූ නාමරූපය යි කියන ලද චිත්තචෛතසිකයන් හා අටළොස් වැදෑරුම් වූ රූප ය යි කියන ලද මේ නාමරූපය අනිකෙක. ප්‍රතිසන්ධියෙහි පිළිසිඳිනා නාමරූපය අනිකෙක. එතෙකුදු වුවත් ඒ මරණාන්තිම වූ නාමරූපයන් ම ඒ ප්‍රතිසන්ධියෙහි උපදනා නාමරූපය උපදනා ලද්දේ ය. ඒ කාරණයෙන් පාපකර්මයෙන් නො මිදෙන ලද්දේ ය” යි කීසේක.
“ස්වාමීනි, නැවතත් විසිතුරු වූ උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් ගවපාලයෙකුගේ අතින් කිරිකළයක් මිල දී ගෙණ ඔහුගේ අත ම තබා සෙට ගෙණ යෙමි” යි කියා ගියේ වී නම්, දෙවෙනි දවස් ඒ කිරි දීකිරි වූයේ ය. එකල ඔහු අවුත් ‘මාගේ කිරිකළය දෙව’ යි මෙසේ කියන්නේ වී නම්, ඒ ගවපාලයා දීකිරි දක්වා දෙන්නේ ය. අනික් පුරුෂයා ‘මම තාගේ අතින් මේ දීකිරි මිල දී නො ගත්තෙමි. මාගේ කිරිකළය ම දෙව’ යි මෙසේ කියා නම් ඒ ගවපාල පුරුෂතෙම ‘එම්බල, තාගේ කිරි දීකිරි වූ බව නො දන්නෙහි දැ?” යි මෙසේ කියන්නේ වී නම් විවාද ඇත්තා වූ ඒ දෙදෙනා තොපගේ සමීපයට ආවාහු වූ නම්, “මහරජානෙනි, තෙපි කවරෙකුහට හිතාර්ථය ධරන්නාහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ගවපාලයාහට ය” යි කීහ. “කුමක් පිණිස දැ” යි විචාළසේක. “ඒ පුරුෂතෙම මේ ආකාර කෙසේ කියන්නේ වී නමුත් කිමෙක් ද (52) ඒ දීකිරි එම කිරෙන් ම උපන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කෙසේ නමුත් මරණාන්තිම වූ චිත්තය හා රූපය අනිකෙක. ප්‍රතිසන්ධියෙහි වන චිත්තය හා අතිසුඛුම වූ කලල රූපය අනිකෙක. එතෙකුදු වුවත් ඒ ආත්මභාවය පළමු ආත්මභාවය නිසා ම උපන්නේ ය. එහෙයින් පාපාදිකර්මයෙන් ආත්මය නො මිදුනේ ය” යි කියා වදාළසේක. එකල මිලිඳුරජ්ජුරුවෝ අතිප්‍රසන්න ව ‘ස්වාමීනි, නාගසෙනස්ථවිරයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ නැවැත පිළිසිඳීම් වශයෙන් උපදනාසේක් දැ?” යි කීහ. “මහරජානෙනි, ඒ ඇසූ දෙයින් කම් කිම් ද? එපමණෙක් ම ය. මහරජ, ඉදින් උපාදානසහිත වීම් නම්, පිළිසිඳ ගණිමි. ඉදින් අනුපාදාන වීම් නම් නො පිළිසිඳ ගන්නෙමි’ යි කියා පළමු කොට ම මා විසින් කියන ලද්දේ නො වේ දැ?” යි කීසේක. “උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් රජක්හට අධික වූ රාජකෘත්‍ය කරන්නේ වී නම්, සන්තුෂ්ට වූ රජ්ජුරුවෝ ඕහට ඊශ්වර වූ තනතුරු දෙන්නාහු ය. ඒ අමාත්‍යතෙම ඒ ප්‍රධාන වූ තනතුර කරණ කොට ගෙණ පඤ්චකාම සම්පත්තියෙන් සමප්පිත ව සමංගිභූත ව හැසිරෙන්නේ ය. ඉදින් ඒ අමාත්‍යතෙම “රජ්ජුරුවෝ මට මදකුත් උපකාරයක් නො කරණ සේකැ’ යි කියා මහජනයාට කියන්නේ වී නම්, කිමෙක්ද, මහරජානෙනි, ඒ අමාත්‍යපුරුෂතෙම යුක්තකාරී වේ දැ?” යි විචාළසේක. “නැත. ස්වාමීනි, රජ්ජුරුවෝ තව කුමක් කෙරෙද් ද? එලෙස කීම සුදුසු නැතැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම පළමුවෙන් අසන ලද මේ වචනයෙන් තොපට කම් කිම් ද? ඉදින් හරවා ගත නො හැක්කා වූ කාමතෘෂ්ණාදි වූ උපාදාන සහිත වීම් නම් පිළිසිඳ ගණිමි. ඉදින් කාමතෘෂ්ණාදීන් පහ කිරීමෙන් අනුපාදාන වීම් නම්, සසර නො පිළිසිඳ ගන්නෙමි’යි කියා මා විසින් පළමු කොට ම කියන ලද නො වේ දැ?” යි කීසේක. එකල “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ” යි ප්‍රශංසා කළහ.
නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නාමරූපය” යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද? එහි නාමය කවරේ ද? රූපය කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, ඒ නාමරූපයෙහි යමක් ඔළාරික වී ද, ඒ මේ රූපය රූප නම් වෙයි. ඒ නාමරූපයෙහි යම් සුඛුම වූ චිත්තචෛතසිකධර්මකෙනෙක් ඇද්ද, ඒ මේ නාමය නම් වෙ”යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් සිත ම වෙන ම පිළිසිඳ නො ගණී ද? රූපය ම වෙන ම නො උපදී දැ?”යි විචාළෝ ය. “මහරජානෙනි, මේ රූපාරූපධර්මයෝ මලුත් සුවඳත් මෙන් ඔවුනොවුන් ආශ්‍රය කොට ඇත්තාහු ය. උපදනා කල එකට ම උපදනාහු[6] ය” යි කීසේක.
“ස්වාමීනි, උපමාවකුත් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ කිකිළියකගේ කලල ය යි කියන ලද ආපෝසාරුව නො වන්නේ වී නම් බීජයත් නො වන්නේ ය. ඒ කිකිළියගේ කුක්ෂියෙහි යම් කලලයක් ඇද් ද, යම් බිජුකබලක් ඇද් ද, ඒ දෙක ම ඔවුනොවුන් ආශ්‍රය කොට ඇත්තාහු ය. ඒ දෙදෙනාගේ එකට ම උත්පත්තිය වන්නේ ය. එපරිද්දෙන් ම මහරජානෙනි, ඉදින් ඒ (53) රූපාරූපධර්මයෙහි නාමය නො වන්නේ වී නම්, රූපයත් නො වන්නේ ය. එහි යමක් නාමය වේ ද, යමක් රූපය වේ ද, ඒ දෙදෙන ම අඤ්ඤමඤ්ඤූපනිස්සිත වූවාහු ය. ඒ දෙදෙනාගේ එකට ම ඉපදීම වන්නේ ය. මෙසේ මේ නාමරූපය අනන්ත වූ දීර්ඝකාලයක් මුළුල්ලෙහි පුරුදු වන ලදැ”යි වදාළසේක. එකල ඒ අසා සාධුකාර දෙමින් “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ” යි කියා ප්‍රශංසා කළහ.
නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දීර්ඝ කාල ය” යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද, ඒ මේ අද්ධානය නම් කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, අතීතකාලය අනාගතකාලය වර්තමානකාලය යන මේ අද්ධානය නම් වෙ” යි කීසේක. “කිමෙක් ද, ස්වාමීනි, කායතෙ ඇත්තේම දැ?” යි කීහ. “මහරජානෙනි, කිසි අද්ධානයක් ඇත. කිසි අද්ධානයක් නැතැ” යි කීසේක. “ස්වාමීනි, ඇති කාලය කවරේ ද? නැති කාලය කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, සංසාරොත්පත්තිය කරවන්නා වූ යම් ඒ සංස්කාරධර්මකෙනෙක් අතීත ව ගියාහු ද, පහ ව ගියාහු ද, විපරීත ව ගියාහු ද, ඔවුන්ගේ ඒ කාලයතෙම නැත්තේ ය. විපාක දෙමින් සිටින්නා වූ යම් ධර්මකෙනෙක් ඇද් ද, විපාක දීම පිණිස සිටින්නා වූ යම් ධර්මකෙනෙක් ඇද් ද, ඒ ධර්මයන්ගේ හා යම් ධර්මයෙක් අනික් ජාතියෙක්හි ප්‍රතිසන්ධිය දෙන්නේ වේ ද, මේ කී ධර්මයන්ගේ ඒ කාලයතෙම ඇත්තේ ය. කාලක්‍රියා කරණ ලද්දා වූ යම් සත්වකෙනෙක් අනික් තෙනක උපදනා ලද්දාහු වූ නම් ඒ කාලය ඇත්තේ ම ය. කාලක්‍රියා කරණ ලද්දා වූ යම් සත්වකෙනෙක් අනික් තැනක නො උපදිනා ලද්දාහු වූ නම්, ඒ කාලය නැත්තේ ම ය. යම් සත්වකෙනෙක් පිරිනිවන් පානා ලද්දාහු ද, ඒ සත්වයෝ පිරිනිවී බැවින් ඔවුන්ගේ ඒ කාලය ද නැතැ” යි කියා වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ”යි කියා ප්‍රශංසා කළ හ.
සකලජනමනොනන්දනීය වූ මේ මිලින්දප්‍රශ්න නම් වූ ශ්‍රීසද්ධර්මාදාසයෙහි ද්විතීයවර්ගය නිමි.