අමරාදේවීප්‍ර‍ශ්නය

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්,

‘සචෙ ලභෙථ ඛණං වා රහො වා

නිමන්තකං වාපි ලභෙථ තාදිසං,

සබ්බාපි ඉත්‍ථියො කරෙය්‍යුං පාපං

අඤ්ඤං අලද්ධා පීඨසප්පිනා සද්ධිං’

(244) යන මේ ගාථාවෙන් ‘ඉදින් සියලු ස්ත්‍රීහු අවකාශයක් හෝ රහස් වීමක් හෝ ලද්දාහු වූ නම්, එබඳු වූ නිමන්ත්‍ර‍ණයක් හෝ ලද්දාහු වූ නම්, අන්‍ය සුදුසු පුරුෂයකු නො ලදින් අත් පා නැති පීඨසප්පි නම් පුරුෂයා හා සමගත් පරපුරුෂ සෙවනය කරන්නාහු ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. නැවැත ද ‘නුවරින් පිටත ගමෙක සිටියා වූ, වැස ගිය[1] පුරුෂයා ඇත්තා වූ දෙවෙනි කෙනෙකුන් නැති බැවින් රහසි ව සිටියා වූ, එසේ ම හුදකළා වූ, මහෞෂධපණ්ඩිතයන්ගේ භාර්යාව වූ අමරා නම් ස්ත්‍රීතොම රජකෙනෙකුන් හා සදෘශ වූ ස්වාමිපුරුෂයකු සරහා හරණ ලද පුරුෂයා විසින් මසුරන්දහසකින් නිමන්ත්‍ර‍ණය කරණ ලදු ව පාපයක් නො කළා ය’ යි කියා නුඹ වහන්සේ විසින් කියනු ලැබෙයි. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්:-

‘සචෙ ලභෙථ ඛණං වා රහො වා

නිමන්තකං වාපි ලභෙථ තාදිසං,

සබ්බාපි ඉත්‍ථියො කරෙය්‍යුං පාපං

අඤ්ඤං අලද්ධා පීඨසප්පිනා සද්ධිං.’

කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘මහොසධස්ස හරියා අමරා නාම ඉත්ථි ගාමකෙ ඨපිතා පවුත්ථපතිකා රහො නිසින්නා විවිත්තා රාජපටිසමං සාමිකං කරිත්වා සහස්සෙන නිමන්තියමානා පාපං නාකාසී’ යනාදීන් කී යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘මහොසධස්ස භරියා අමරා නාම ඉත්ථි ගාමකෙ ඨපිතා පවුත්ථපතිකා රහො නිසින්නා විවිත්තා රාජපටිසමං සාමිකං කරිත්වා සහස්සෙන නිමන්තියමානා පාපං නාකාසී’ යි වදාළ වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන්:-

‘සචෙ ලභෙථ ඛණං වා රහො වා

නිමන්තකං වාපි ලභෙථ තාදිසං,

සබ්බාපි ඉත්‍ථියො කරෙය්‍යුං පාපං

අඤ්ඤං අලද්ධා පීඨසප්පිනා සද්ධි’ යි.

කියා වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටික ප්‍ර‍ශ්නය ද නුඹවහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, ස්ත්‍රීන්ගේ අගුණ ප්‍ර‍කාශිත වූ කුණාලජාතකය වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, පෙර බරණැස කණ්ඩරී නම් රජ්ජුරුවන්ගේ සර්වලක්ෂණසම්පන්න වූ කින්නරා නම් අග්‍ර‍මහෙසිකාවක රජහු නිද්‍රොපගත කල්හි මධ්‍යමරාත්‍රියෙහි ප්‍රාසාද කවුළුයෙන් සොරා බැස ඇතුළු ප්‍රාකාරය ලඟ පිහිටි ජම්බුරුක්සෙවණ වසන අත් පා කොර[2] වූ පීඨසප්පී නම් මනුෂ්‍යප්‍රෙතයකු හා සග පාප ක්‍රියා කොට එමින් කල් යවා වාසය කළ බව[3] අරභයා:-

‘සචෙ ලභෙථ ඛණං වා රහො වා

නිමන්තකං වාපි ලභෙථ තාදිසං,

සබ්බාපි ඉත්‍ථියො කරෙය්‍යුං පාපං

අඤ්ඤං අලද්ධා පීඨසප්පිනා සද්ධිං.’

(245) යන මේ කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද උම්මග්ගජාතකයෙහි ගමෙක ගෙණවුත් සිටුවන ලද්දා වූ, බැහැර ගිය ස්වාමිපුරුෂයා ඇත්තා වූ, එකලා වීමෙන් රහස් ව සිටින ලද්දා වූ, හුදකලා වූ, මහෞෂධ නම් පණ්ඩිතොත්තමයාගේ භාර්යාව වූ අමරා නම් ස්ත්‍රීතොම රජ කෙනෙකුන් සදෘශ වූ ස්වාමිපුරුෂයකු කොට සරහා මසුරන් දහසකින් යාච්ඤා කොට සිටින ලදු ව පරපුරුෂපාපක්‍රියාවන් නො කළා ය’ යි කියාත් වදාරණ ලද්දේ ම ය.

“මහරජානෙනි, ඉදින් ඒ අමරාතොමෝ අවකාශයක් හෝ රහසක් හෝ නිමන්ත්‍ර‍කයකු[4] හෝ එබඳු වූ පව් කරණ අවකාශයක් ලැබුවා[5] නම්, පව් නො කරන්නී ද? ඒ ස්ත්‍රීතොම මසුරන් දහසක් ලබමින් එබඳු වූ රාජ ලීලා හා සදෘශ වූ පුරුෂයා හා සමග පාපකර්මය කරා ම ය. මහරජානෙනි, අවකාශයක් හෝ රහසක් හෝ නිමන්ත්‍ර‍කයකු හෝ සොයන්නා වූ ඒ අමරා නම් ස්ත්‍රීතොම එබඳු වූ පව් කරණ අවකාශයක් නො දැක්කාහ. පරලොව විඳිනා නරකදුක්ඛභයින් අවකාශයක් නො දැක්කාහ. ‘පරපුරුෂ සේවනය කරණ පාපය කර්කශවිපාක ඇතැ’යි සිතා අවකාශයක් නො දැක්කාහ. ප්‍රිය වූ පුරුෂයා නො හරිණු කැමැති ව අවකාශයක් නො දැක්කාහ. ස්වාමිපුරුෂයාගේ මහත් ගරු බැවින් අවකාශයක් නො දැක්කාහ. ධර්මයට ගෞරව කරමින් අවකාශයක් නො දැක්කාහ. ආර්ය නො වන්නා ව නීචකෘත්‍යයට ගර්හා කෙරෙමින් අවකාශයක් නො දැක්කාහ. පතිව්‍ර‍තාක්‍රියාව නො බිඳුනු කැමැති ව අවකාශයක් නො දැක්කාහ. මෙබඳු වූ බොහෝ කාරණයන් කරණ කොට ගෙණ අවකාශයක් නො දැක්කාහ. ඒ අමරාවෝ ලොකයෙහි රහසකුදු සොයා නො දැක පාපයක් නො කළාහ.

“ඉදින් ඒ අමරාතොමෝ මනුෂ්‍යයන් කෙරෙන් රහසක් ලැබුවා නම්, එකල අමනුෂ්‍යයන්ගෙන් රහසක් නො ලබන්නී ය. ඉදින් අමනුෂ්‍යයන් කෙරෙන් රහසක් ලැබුවා නම්, නැවැත ද, පරසිත් දන්නා දිවැස් ඇති ප්‍ර‍ව්‍ර‍ජිතයන් වහන්සේලාගෙන් රහසක් නො ලබන්නී ය.[6] ඉදින් පරසිත් දන්නා ප්‍ර‍ව්‍ර‍ජිතයන් වහන්සේලාගෙන් රහසක් ලැබුවා නම්, නැවත ද, පරසිත් දන්නා දෙවියන්ගෙන් රහසක් නො ලබන්නී ය. ඉදින් පරසිත් දන්නා දෙවියන්ගෙන් රහසක් ලැබුවා නම්, නැවැත ද, තොමෝ[7] ම පාපයෙන් රහසක් නො ලබන්නී ය. ඉදින් තොමෝ පාපයෙන් රහසක් ලැබුවා නම්, තව ද අධර්මයෙන් රහසක් නො ලබන්නී ම ය. මෙබඳු වූ අනෙකප්‍ර‍කාර වූ කාරණයන් කරණ කොට ගෙණ රහසක් නො ලදින් පාපයක් නො ම කළාහ. ඒ මහෞෂධපණ්ඩිතොත්තමයාගේ අමරාවෝ ලොකයෙහි නිමන්ත්‍ර‍කයකු දු සොයා එබන්දක්හු නො ලදින් පාපයක් නො ම කළාහ.

“මහරජානෙනි, ඒ මහෞෂධ නම් පණ්ඩිතොත්තමයානෝ අෂ්ට විංශතිගුණගණාංගයකින් සමන්නාගත වූහ. කවර නම් අටවිසි ගුණගණාංගයකින් සමන්නාගත වූ ද යත්:- මහරජානෙනි, මහෞෂධ පණ්ඩිතයානෝ මහත් ශූරබල ඇත්තාහ. මහත් ලජ්ජා ඇත්තාහ. පාපයෙහි මහත් භය ඇත්තාහ. පක්ෂබල ඇත්තාහ. බොහෝ මිත්‍ර‍යන් ඇත්තාහ. බොහෝ ඉවසීම් ඇත්තාහ. නො කඩ වූ සිල් ඇත්තාහ. සත්‍යවාදීහ. සුවචගුණයෙන් සමන්විතයහ. පරහට (246) ක්‍රොධ නැත්තාහ. නිහතමානීහ. ඊර්ෂ්‍යාව නැත්තාහ. මහත් වීර්යය ඇත්තාහ ධන පිරිස් රැස් කිරීම් ඇත්තාහ. සකල ජනයාට සංග්‍ර‍හ කිරීම් ඇත්තාහ. දානසංවිභාගය කිරීම් ඇත්තාහ. සර්වජනප්‍රියවචන ඇත්තාහ, යටත් ප්‍ර‍වෘත්ති ඇත්තාහ. ශඨප්‍රයොග නැත්තාහ, වංචා නැත්තාහ. ඉතා මහත් වූ ප්‍ර‍ඥාවෙන් සමන්විතයහ, දෙවිමිනිසුන් කෙරෙහි පතළ කීර්ති ඇත්තාහ. ලොකයෙහි ඇති තාක් විද්‍යාවෙන් සමන්විත වූහ, සියල්ලන්ට හිතවැඩ කැමැත්තාහ, ආශ්‍ර‍ය කරන්නවුන් විසින් ප්‍රාර්ථනීය වූවෝ ය, සියලු ජනයාගේ ධන සම්පත්තියක් වැනි වූවෝ ය සියලු ජනයාගේ යසශක් වැනි වූවෝ ය. මහරජානෙනි, ඒ මහෞෂධ නම් පණ්ඩිතොත්තමයානෝ මේ යථොක්ත වූ අෂ්ටවිංශතිගුණගණාංගයෙන් සමන්නාගත වූවාහු ය. මහරජානෙනි, ඇති තාක් සියලු ම ස්ත්‍රීගුණයෙන් යුක්ත වූ ඒ අමරා නම් මහෞෂධ භාර්යාවෝ නුවණන් විමසා බලමින් එබඳු වූ අනික් කියා සිටින නිමන්ත්‍ර‍කයකු නො ලැබ පරපුරුෂ සෙවනය වූ පාපය නො කළාහ” යි වදාළසේක.

එකල රජ්ජුරුවෝ අතිප්‍ර‍සන්න ව “සාධු, සාධු, ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මේ ප්‍ර‍ශ්නය නුඹ වහන්සේ යම් පරිද්දෙකින් වදාළසේක් ද, මමත් එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කියා ප්‍ර‍ශංසා කළහ.

අමරාදේවීප්‍ර‍ශ්නය නිමි.

  1. වැස යන ලද

  2. කොට

  3. තළාවූ බිසවක්

  4. නිමන්ත්‍ර‍ණයකු

  5. ලැබූයේ.

  6. නො ලබන්නේ ය

  7. තමා