“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, තමන් නො හෙළිය යුත්තේ ය. යමෙක් තමන් හෙළන්නේ වී නම්, ඕහට ධර්මය වූ පරිද්දෙන් කට යුත්තේ ය’ යි කියා මේ පාලිධර්මය වදාරණ ලද්දේ ය. නැවත ද, යම් කිසි තැනෙක දී සුගතශ්‍රාවකයන්ට ධර්ම දෙශනා කර වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ‘නොයෙක් කාරණයෙන් ජාති ජරා ව්‍යාධි මරණයාගේ නැසීම පිණිස ධර්මය දෙශනා කර වදාරණසේක. යම් කිසිවෙක් ජාති ජරා ව්‍යාධි මරණය අතික්‍රමණය කෙරේ නම්, ඔහුට උතුම් වූ ප්‍රශංසාවෙන් ප්‍රශංසා කර වදාරණසේකැ’ යි කියා නුඹ වහන්සේ කියනසේක. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘න භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය යථා ධම්මො කාරෙතබ්බො’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘ජාති ජරා ව්‍යාධි මරණයාගේ නැසීම පිණිස ධර්මය දෙශනා කරණසේකැ’ යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘ජාතියා ජරාය ව්‍යාධිනො මරණස්ස සමුච්ඡෙදාය ධම්මං දෙසෙති’ යි කී වචනය සැබෑ වී නම්, එහෙයින් ‘න භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය, යථා ධම්මො කාරෙතබ්බො’ යි කියා වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටික ප්‍රශ්නය ද, නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නය තෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, ‘ගිහිගේ හැර මහණ වූ එක්තරා භික්ෂුනමෙක් ක්ලේශකාමයෙහි සිත් බැඳී අනභිරතියෙන් පෙළෙමින් බ්‍රහ්මචරියාව රක්ෂා කළ නො හී පාපවිතර්ක සිතීමෙන් ශාසනයෙහි වාසයට වඩා මිය යාම උතුමැ’ යි සිතා ගිජ්ඣකූටපර්වතයට නැගී මහාප්‍රපාතයෙක්හි (223) පනිමින් බටදඬු සොයා ආ එක්තරා සැඩයක්හු ඇඟ වැතිර ගෙණ මැරූයේ ය. ගිරිමුදුනෙන් පැන පියාත් මරණ නො වූ ඒ භික්ෂූන් වහන්සේ ‘අනුන් නැසීමෙන් පාරාජික වන්නෙම් දෝ හො?’ යි සිතා බුදුන්ට එපවත් සැළකළසේක. සර්වඥයන් වහන්සේ ඒ අසා ‘මහණ, තට පාරාජිකාවෙන් ඇවැත් නැතැ’ යි කියා වදාරා ‘න භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං යො පාතෙය්‍ය, යථා ධම්මො කාරෙතබ්බො’ යි කියා මේ පාළිය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. යම් කිසි තැනෙක්හි දී ශ්‍රාවකයන්ට ධර්ම දෙශනා කරණ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ජාති ජරා ව්‍යාධි මරණයාගේ සිඳීම පිණිස ධර්මයත් දෙශනා කරණ ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ යම් කාරණයකින් දිවි නසා ගැණීම ප්‍රතික්ෂෙප කරණසේක් ද, ජාතිය නැසීමෙහි යොදා වදාරණසේක් ද, එහි කාරණයෙක් ඇතැ” යි කීසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් කාරණයකින් දිවි නසා ගැණීම ප්‍රතික්ෂෙප කරණසේක් ද, ජාතිය නැසීමෙහි සමාදන් කරවනසේක් ද, මෙහි ඒ කාරණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සිල් ඇත්තා වූ සීලසම්පන්න වූ භික්ෂූන් වහන්සේ සකලසත්වයන්ගේ ක්ලේශ විනාශ කිරීමෙහි දිවබෙහෙතක් හා සමාන වූසේක. සත්වයන්ගේ ක්ලේශව්‍යාධිව්‍යපශමනයෙහි දිව්‍යඖෂධයක් හා සදෘශ වනසේක. සකල සත්වයන්ගේ ක්ලේශරජස්දැලි පහ කිරීමෙහි උදකස්කන්ධයක් හා සදෘශ වනසේක. සත්වයන්ට සියලු සම්පත් දීමෙහි සිතුමිණිරුවනක් හා සදෘශ වනසේක. සකලසත්වයන්ට කාමොඝාදි චතුර්විධමහොඝයෙන් එතෙර ව යාමෙහි නැවක් හා සදෘශ වනසේක. සත්වයන්ට ජාතිකාන්තාරයෙන් මිදී යාමෙහි ගැල්සාර්ථවාහකයකු හා සදෘශ වනසේක. සත්වයන්ගේ රාගාදීත්‍රිවිධාග්නිසන්තාපය ශාන්ත කොට නිවීමෙහි මිහිරි මාරුතයක් හා සදෘශ වනසේක. සත්වයන්ගේ මනදොළ පිරීමෙහි මහාමෙඝයක් හා සදෘශ වනසේක. සත්වයන්ට ත්‍රිවිධ කුශලකර්මය උගන්වාලීමෙහි අසහාය වූ ආචාර්යක්හු සදෘශ වනසේක. සකල සත්වයන් නිර්වාණක්ෂෙම නගරප්‍රවෙශ කිරීමෙහි මාර්ගොද්දෙශකකෙනෙකුන් හා සදෘශ වනසේක.
“මහරජානෙනි, ‘මෙබඳු වූ බොහෝ ගුණ ඇත්තා වූ අනෙක ගුණ ඇත්තා වූ අප්‍රමාණගුණ ඇත්තා වූ ගුණරාශියක් වැනි වූ ගුණගොඩක් ඇත්තා වූ සත්වයන්ට අභිවෘද්ධිකර වූ සිල්වත් භික්ෂූන් වහන්සේ නො නසිත්ව’ යි සිතා සකලසත්වයන්ට අනුකම්පාවෙන් ම භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, තමන් මරණට නො ම හෙලිය යුත්තේ ය. යමෙක් තමන් හෙළා නම්, ධර්මය පරිද්දෙන් කට යුත්තේ ය’ යි කියා ශික්ෂාපද පණවා වදාළසේක. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ යම් කාරණයකින් මරණ ප්‍රතික්ෂෙපය කර වදාළසේක් නම්, මේ මෙහි කාරණය වන්නේ ය. මහරජානෙනි, මෙම කාරණය විචිත්‍රචිත්‍රථික වූ කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් පායාසිරාජඤ්ඤ නම් බ්‍රාහ්මණයාහට[1] පරලොකය දක්වා වදාරමින්- ‘රාජඤ්ඤය, කල්‍යාණ ධර්මයෙන් සමන්විත වූ සිල්වත් වූ ශ්‍රමණබ්‍රාහ්මණයෝ යම් යම් පරිද්දෙකින් බොහෝ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නො නැසී සිටිද් ද, ඒ ඒ පරිද්දෙන් බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස දිව්‍යමනුෂ්‍යයන්ට වැඩ පිණිස සැප පිණිස ලොකානුකම්පාවෙන් පිළිපදනාහු ය’ යි කියා වදාරණ ලද්දේ ය.
(224) “ශතපුණ්‍යධරත්වාදී අනෙකභාග්‍යයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ කවර කාරණයකින් ජාතිජරාදීන්ගේ විනාශය සමාදන් කරවන සේක් ද, මහරජානෙනි, මනුෂ්‍යතිරශ්චීනාදී ජාතිය ද දුක් වන්නී ය. ඇඟ වැරලි දන්තචලන හිස පැසීම් ආදි ජරාව ද දුක් වන්නී ය. මධුමෙහ භගන්දරා කුෂ්ඨරොග අතීසාර රුජාදී වූ ව්‍යාධිය ද දුක් වන්නේ ය.[2]’ සර්ව ඥාති මිත්‍ර ග්‍රාම ධන සැපත් හැර මහණ වීම ද, දුක් වන්නේ ය. නැසුනු දෙයට ශොක කිරීමත් දුක් වන්නේ ය. එසේ ම විලාප කියා හැඬීමත් දුක් වන්නේ ය. නො ලැබෙන දෙයට දුක් වීමත් දුක් වන්නේ ය. සිත්හි දොම්නස් ඉපදීමත් දුක් වන්නේ ය. උපායාස නම් සිත්තැවිල්ලත් දුක් වන්නේ ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් වන්නේ ය. ප්‍රියයන්ගෙන් වෙන් වීමත් දුක් වන්නේ ය. මාතුමරණය ද දුක් වන්නේ ය. පීතුමරණය ද දුක් වන්නේ ය. එක කුස උපන් භාතුමරණය ද, දුක් වන්නේ ය. නැගනියන් මරණය ද දුක් වන්නේ ය, පුත්‍ර මරණය ද දුක් වන්නේ ය. අඹු මරණය ද දුක් වන්නේ ය. නෑයන්ගේ මරණය ද දුක් වන්නේ ය. නෑයන්ට වන ව්‍යසනය ද දුක් වන්නේ ය. රොගව්‍යසනය ද දුක් වන්නේ ය. භොග ව්‍යසනය ද දුක් වන්නේ ය. ශීලවිනාශය ද දුක් වන්නේ ය. දෘෂ්ටි ව්‍යසනය ද දුක් වන්නේ ය. රාජදණ්ඩනය ද දුක් වන්නේ ය. සොරුන්ගෙන් වන භය ද දුක් වන්නේ ය. වෛරීන්ගෙන් වන භය ද දුක් වන්නේ ය. දුර්භික්ෂයෙන් වන භය ද දුක් වන්නේ ය. ගින්නෙන් වන භය ද දුක් වන්නේ ය. උදකයෙන් වන භය ද දුක් වන්නේ ය. රළවේගයෙන් වන භය ද දුක් වන්නේ ය. ජලසළායෙන් වන භය ද දුක් වන්නේ ය. කිඹුලන්ගෙන් වන භය ද දුක් වන්නේ ය. සුසූක නම් මත්ස්‍යයන්ගෙන් වන භය ද දුක ්වන්නේ ය. අත්තානුවාදභය ද දුක් වන්නේ ය. පරානුවාදභය ද දුක් වන්නේ ය. ධනදණ්ඩභය ද දුක් වන්නේ ය. දුර්ගතිභය ද දුක් වන්නේ ය. විනිශ්චය පිරිසට එළඹීමෙන් උපදනා සාරජ්ජභය ද දුක් වන්නේ ය. අන්‍යදෘෂ්ටීන්ගෙන් වන ආජීවකභය ද දුක් වන්නේ ය. අනුන්ගෙන් වන මරණභය ද දුක් වන්නේ ය. නො කී නො කළ දෑ කළහ’ යි කියා වේවැලින් තැළීමත් දුක් වන්නේ ය. කසවලින් තැළීමත් දුක් වන්නේ ය. දෙරියන් දිග ඇති මුගුරුවලින් තැළීමත් දුක් වන්නේ ය. අත් කැපීමත් දුක් වන්නේ ය. පා කැපීමත් දුක් වන්නේ ය. අත් පා කැපීමත් දුක් වන්නේ ය. කන් කැපීමත් දුක් වන්නේ ය. නාසචඡෙදය ද දුක් වන්නේ ය. කර්ණනාසච්ඡෙදය ද දුක් වන්නේ ය. හිස්කබල් උගුළුවා කාඩිදිය උණු කොට වත් කරන්නා වූ බිලංගථාලික වධය ද දුක් වන්නේ ය. හිස සම් උගුළුවා බොරළුයෙන් උලා සකක් මෙන් කරන්නා වූ සංඛමුණ්ඩික වධය ද දුක් වන්නේ ය. අඬුවෙන් මුඛය විවෘත කොට පහන්කඩ අවුළුවා මුඛයෙහි බහාලන්නා වූ රාහුමුඛ නම් වධය ද දුක් වන්නේ ය. සකල ශරීරයෙහි තෙල් පිළී සිසාරා ගිනි දල්වන්නා වූ ජොතිමාලික වධය ද දුක් වන්නේ ය. එසේ ම දෙයත් ගිනි දෙන්නා වූ හත්ථපජ්ජොතිකවධය ද, දුක් වන්නේ ්ය. කටියෙහි පටන් චර්මය උගුළුවා කෙණ්ඩයෙහි වළලු කොට තබන්නා වූ එරකවත්තික වධය ද දුක් වන්නේ ය. තන මත්තෙහි පටන් චර්මය උගුළුවා ඉඟෙහි බහා වැහැරි කොට අඳවන්නා වූ චීරකවාසික නම් වධය ද දුක් වන්නේ ය. දෙදණ දෙවැලමිටි එක් කොට යපත් ගසා යවුල හිඳුවා වට කොට (225) ගිනි අවුළුවන්නා වූ එනෙය්‍යක නම් වධය ද දුක් වන්නේ ය. අයොමය බිළීකොක්කෙහි අමුණා එල්වන්නා වූ බළිසමංසික නම් වධය ද දුක් වන්නේ ය. කහවණු මෙන් ශරීරයහි මස් කපා හරින්නා වූ කහාපණක නම් වධය ද දුක් වන්නේ ය. ශරීරයෙහි කෙඳි වත් කොට ක්ෂාරලුණු ඇඹුල් ගල්වන්නා වූ ඛාරාපතච්ඡික නම් වධය ද දුක් වන්නේ ය. එක් ඇළයකින් භූමියෙහි සයනය කරවා කණෙහි යවුලක් ගසා එක කකුලක් අල්වා ගෙණ වට කොට කරකවන්නා වූ පලීඝපරිවත්තික නම් වධය ද දුක් වන්නේ ය. සකල ශරීරයෙහි ඇට මස් තළා පොඩි කොට පිදුරු බිස්සක් මෙන් අකුළුවන්නා වූ පලාලපීඨක වධය ද දුක් වන්නේ ය. ගින්නෙන් රත් කරණ ලද තෙලින් ඇඟට ඉසින්නා වූ වධයත් දුක් වන්නේ ය. සුනඛයන් ලවා කවන්නා වූ වධය ද දුක් වන්නේ ය. දිවස්හුල හිඳුවාලීම ද දුක් වන්නේ ය. වධබෙර ගස්වාලීමත් දුක් වන්නේ ය. කඩුවෙන් ඉස කැපීම ද දුක් වන්නේ ය. මහරජානෙනි, මෙබඳු වූ බොහෝ වධ වූ අනෙකවිධ වූ අනන්තදුක් සංසාරගත සත්වතෙම අනුභව කරන්නේය, විඳින්නේ ය.
“මහරජානෙනි, යම් සේ හිමවත්පර්වතයෙහි වස්නා ලද වර්ෂාජලය පන්සියක් ගවු දිග ඇති ගංගා නම් නදියගේ පාසාණ සක්ඛරා ඛර මරුම්බ දියසළා ගර්හලක රැළ වංක වලා වෙරල ආවරණ මුල් සාඛාදියෙහි පැතිර ගෙණ යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මෙබඳු වූ බොහෝ විධ වූ අනෙකවිධ වූ දුක් අනන්ත වූ සංසාර දුක් සංසාරගත සත්වතෙම අනුභව කරන්නේ ය. එහෙයින් මහරජානෙනි, ජාතියගේ පැවැත්ම දුක් වන්නේ ය. නො පැවැත්ම සැප වන්නේ ය. අප්‍රවෘත්තියගේ ආනිසංසය ඇත්තේ ය. මහරජානෙනි, පැවැත්මෙහි වන භය දක්වා වදාරන්නා වූ බුදුරජානන් වහන්සේ බොහෝ ගුණ ඇත්තා වූ අප්‍රවෘත්තියගේ සාක්ෂාත් කිරීමෙන් සියලු ම ජාති ජරා ව්‍යාධි මරණය ඉක්මවාලීම පිණිස ජාත්‍යාදිධර්මයන්ගේ විනාශයෙහි යොදා වදාළසේක. මහරජානෙනි, සර්වඥරාජොත්තමයානන් වහන්සේ යම් කාරණයකින් ජාතිය නැසීම පිණිස සමාදන් කරවා වදාළසේක් ද, මේ එහි කාරණය” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සංසාරදුඃඛය විශෙෂයෙන් ම දක්වා වදාරණ ලද්දේ ය. ප්‍රශ්නයතෙම සුනිර්වෙඨනය කරණ ලද්දේ ය. ඊට ම කාරණා සුන්දර කොට කථනය කරණ ලද්දේ ය. මෙසේ මේ ප්‍රශ්නය යම් සේ ද, එසේ ම පිළිගත්තෙමි” යි කීහ.
මරණසමුච්ඡෙදප්‍රශ්නය නිමි.