මෙත්තානිසංසප්‍ර‍ශ්නය

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, ආසෙවනය කරණ ලද්දා වූ භාවිත කරණ ලද්දා වූ බහුලීකෘත කරණ ලද්දා වූ යානාවක් මෙන් කරණ ලද්දා වූ ගෘහවාස්තුවක් මෙන් කරණ ලද්දා වූ අනු ව ම සිටින ලද්දා වූ පුරුදු කරණ ලද්දා වූ මනා ව පටන් ගන්නා ලද්දා වූ ව්‍යාපාදචිත්තයෙන් මිදෙන ලද්දා වූ මෛත්‍රියගේ එකාදසානිසංසකෙනෙක් සිතින් කැමැති වන ලද්දාහ. කවර එකාදසානිසංසයෙක් ද? යත්:- සුව සේ නිද්‍රොපගත වන්නේ ය. සුව සේ ම පුබුදින්නේ ය. දුඃස්වප්න නො දක්නේ ය. මනුෂ්‍යයන්ට ප්‍රිය වන්නේ ය. අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වන්නේ ය. දෙවතාවෝ රක්ෂා කෙරෙති. ඒ මෛත්‍රීසමංගීපුද්ගලයා හට (226) වහ්නියක් හෝ විෂයක් හෝ ශස්ත්‍ර‍යක් හෝ නො වදින්නේ ය. රූපශබ්දාදියෙහි නො දුවන විසින් වහා සිත එකඟ වන්නේ ය. මුඛ වර්ණය දුටුවන්ට ප්‍රාසාදික වන්නේ ය. නො මුළා ව කාලක්‍රියා කරන්නේ ය. අධිගම ප්‍ර‍තිවෙධ නො කළහොත් මරණින් මත්තෙහි බ්‍ර‍හ්ම ලොකූපගත වන්නේ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. “නැවත ද, ‘මෛත්‍රීවිහරණයෙන් යුක්ත වූ සාමකුමාරයන් වහන්සේ මෘග සමූහයා විසින් පිරිවරණ ලදු ව, වනයෙහි හැසිරෙණසේක් පිළියක්ඛ නම් රජ්ජුරුවන් විසින් විෂ පෙවූ හීයකින් විදින ලද්දේ එතැන්හි ම මූර්ඡිත ව වැටෙන ලද්දේ ය’ යි කියා නුඹ වහන්සේ කියනසේක. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙත්තාය භික්ඛවෙ’ යනාදීන් ‘බ්‍ර‍හ්මලොකයෙහි උපදින්නේ ය’ යි කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘සාමො කුමාරො මෙත්තාවිහාරි මිගසංඝෙන පරිවුතො පවනෙ විචරන්තො පිළියක්ඛෙන රඤ්ඤා විද්ධො විස පීතෙන සල්ලෙන තත්ථෙව මුච්ඡිතො පතිතො’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘සාමො කුමාරො මෙත්තාවිහාරි මිගසංඝෙන පරිවුතො පවනෙ විචරන්තො පිළියක්ඛෙන රඤ්ඤා විද්ධො විසපීතෙන සල්ලෙන තත්ථෙව මුච්ඡිතො පතිතො’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘මෙත්තාය භික්ඛවෙ’ යනාදීන් ‘මෛත්‍රීසමංගී ඒ පුද්ගලයාහට වහ්නියක් හෝ විෂයක් හෝ ශස්ත්‍ර‍යක් හෝ නො වදින්නේ ය’ යි කියා වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද අතිතීක්ෂ්ණ වන්නේ ය. පහ වූ මෘදුත්වය ඇත්තේ ය. සියක්වර පැළු අස්ලොම් අගක් මෙන් අතිසියුම් වන්නේ ය. මදුරුතුඩින් සමුද්‍ර‍ජලය බී පියා පමණ කළ නො හැක්කා සේ අතිගම්භීර වන්නේ ය. වාලවෙධි රූපීන් වැනි ප්‍ර‍ඥාවෙන් අති දක්ෂ වූ මනුෂ්‍යපණ්ඩිතවරුන්ගේ ද ශරීරයෙහි දහඩිය සොලවන්නේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. මහඅවුලෙන් වැළඳ සිටියා වූ ඒ ප්‍ර‍ශ්නය නිරවුල් කොට විජටනය කර වදාළ මැනැව. මේ ප්‍ර‍ශ්නයාගේ ඉසිලීම පිණිස අනාගතයෙහි පහළ වන සර්වඥපුත්‍ර‍ වූ පිටකත්‍ර‍යධාරීන් වහන්සේලාට ප්‍ර‍ඥානෙත්‍ර‍ය ශුද්ධ කොට දෙවා වදාළ මැනවැ” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙත්තාය භික්ඛවෙ’ යනාදීන් ‘මෛත්‍රීසමංගීපුද්ගලයාහට වහ්නියක් හෝ විෂයක් හෝ ශස්ත්‍ර‍යක් හෝ නො වදින්නේ ය’ යි කියා මේ කාරණයත් වදාරණ ලද්දේ ම ය. ‘සාමො කුමාරො මෙත්තාවිහාරි මිගසංඝෙන පරිවුතො පවනෙ විචරන්තො පිළියක්ඛෙන රඤ්ඤා විද්ධො විසපීතෙන සල්ලෙන තත්ථෙව මුච්ඡිතො පතීතො’ යි කියා වදාළ වචනයක් සැබෑ ම ය. මහරජානෙනි, එහි කාරණයක් ඇත. ඒ කවරේ ද? යත්:- මහරජානෙනි, මේ ආනිසංසයෝ පුද්ගලයෙකුගේ නො වන්නාහ. මේ ආනිසංසයෝ මෛත්‍රීභාවනාවගේ ම ය. මහරජානෙනි, කිසි පවක් සීනයෙනුත් නො සිතා සාමකුමාරයන් වහන්සේ පැන් කළය පුරවා ඔසවා ගන්නසේක් ඒ ක්ෂණයෙහි මෛත්‍රීභාවනායෙහි ප්‍ර‍මාද වූසේක. මහරජානෙනි, යම් ක්ෂණයෙක පුද්ගලතෙම මෛත්‍රියට පැමිණියේ වී නම්, ඒ පුරුෂයාහට ඒ ක්ෂණයෙහි වහ්නියෙක් (227) හෝ ශස්ත්‍ර‍යක් හෝ නො වදින්නේ ය. ඔහුට අහිතකාමී වූ යම් කිසි කෙනෙක් දිව අවුත් ඔහු නො දක්නාහ. එහි හානියකට අවකාශයක් නො ලබන්නාහ. මහරජානෙනි, මේ පුද්ගලයාගේ ආනිසංසයක් නො වන්නේ ය. මෛත්‍රීභාවනාවගේ මේ ආනිසංසයෝ ය. මහරජානෙනි, මේ ලොකයෙහි සංග්‍රාමාවචර ශූරපුරුෂයෙක්තෙම කිසිවකින් භෙද්‍යය කළ නො හැක්කා වූ අයොමය දැලින් කළ බලවත් වූ සන්නාහයකින් සන්නද්ධ ව යුද්ධයට බස්නේ වී නම් ඕහට විදින ලද්දා වූ හීගස් ලඟට ගෝ නො වැද වැටෙන්නාහ. විසිරෙන්නාහ. ඔහු කෙරෙහි අවකාශයක් නො ලබන්නාහ. මහරජානෙනි, මේ ආනිසංසයෝ සංග්‍රාමශූරයාගේ නො වන්නාහු ය. මේ සංග්‍රාමශූරයක්හට විදින ලද සැරයෝ සමීපයට අවුත් වැටෙත් ද, විසිරෙද් ද, ඒ මේ ආනිසංසය අභෙද්‍ය සන්නාහ ජාලිකයාගේ වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ආනිසංසයෝ පුද්ගලයක්හුගේ නො වන්නාහු ය. මේ ආනිසංසයෝ මෛත්‍රීභාවනාවගේ වන්නාහු ය. මහරජානෙනි, යම් ඇසිල්ලෙක පුද්ගලතෙම මෛත්‍රීසමන්නාගත වූයේ වේ ද, ඒ පුද්ගලයාහට ඒ ඇසිල්ලෙහි ගින්නක් හෝ විෂයක් හෝ ශස්ත්‍ර‍යක් හෝ නො වදින්නේ ය. ඕහට අහිත කැමැත්තා වූ යම් කිසි කෙනෙක් ශස්ත්‍රාදිය ගෙණ දිව අවුත් ඔහු නො දකිති. විනාශයට ඔහු කෙරෙහි අවකාශයක් නො ලබති. මහරජානෙනි, මේ ආනිසංසයෝ ඔහුගේ නො වන්නාහු ය. මේ ආනිසංසයෝ මෛත්‍රීභාවනාවගේ වන්නාහු ය.

“තවද, මහරජානෙනි, මනුෂ්‍යලොකයෙහි පුරුෂයෙක්තෙම දිව්‍යමය අන්තර්ධාන ඇති බෙහෙත් මුලක් හස්තයට ග්‍ර‍හණය කෙළේ වී නම්, බෙහෙත් මුල යම් තාක් ඔහුගේ හස්තගත වන ලද්දේ වේ ද, ඒ තාක් කල් අනික් කිසි ප්‍ර‍කෘතිමනුෂ්‍යයෙක් ඒ පුරුෂයා නො දක්නේ ය. මහරජානෙනි, මේ ආනිසංසය පුරුෂයාගේ නො වන්නේ ය. අන්තර්ධානයාගේ යමක් ඒ ප්‍ර‍කෘතිමනුෂ්‍යතෙම චක්ෂුඃපථයෙන් නො දක්නේ වී නම්, ඒ බෙහේත මූලයාගේ ම ඒ ආනිසංසය වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ගුණානිසංසය පුද්ගලයාගේ නො වන්නේ ය. මේ ගුණානිසංසය මෛත්‍රීභාවනාවගේ ම ය. මහරජානෙනි, යම් ක්ෂණයක පුද්ගලතෙම මෛත්‍රියට පැමිණියේ වේ ද, ඒ පුද්ගලයාහට ඒ ක්ෂණයෙහි ගින්නක් හෝ විෂයක් හෝ ශෂ්ත්‍ර‍යක් හෝ නො වදින්නේ ය. ඕහට අහිත කැමැත්තා වූ (228) යම් කිසි කෙනෙක් ලඟට අවුත් ඔහු නො දකිති. ඔහු කෙරෙහි අවකාසයක් නො ලබති. මහරජානෙනි, මේ ආනිසංසය පුද්ගලයාගේ නො වන්නේ ය. මේ ආනිසංසය මෛත්‍රීභාවනාවගේ ම ය.

“තව ද, මහරජානෙනි, යම් සේ මනා කොට කරණ ලද මහත් වූ මහගල්ලෙනකට ප්‍ර‍විෂ්ට වූ පුරුෂයකු විශෙෂයෙන් වර්ෂා කරන්නා වූ මහාමෙඝයතෙම තෙමන්ට නො හැකි වන්නේ ය. මහරජානෙනි, මේ ආනිසංසය පුරුෂයාගේ නොවන්නේ ය. මහත් වූ මහාමෙඝය වර්ෂා කෙරෙමින් යම් පුරුෂයකු නො තෙමෙන්නේ වේ ද? ඒ ආනිසංසය මහා ලෙනයාගේ ම ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ආනිසංසයෝ පුද්ගලයාගේ නො වන්නාහු ය, මේ ආනිසංසයෝ මෛත්‍රීභාවනාවගේ ම ය. මහරජානෙනි, යම් ක්ෂණයක පුද්ගලතෙම මෛත්‍රීසමන්නාගත වූයේ වේ ද, ඒ ක්ෂණයෙහි ඒ පුරුෂයාහට ගින්නක් හෝ විෂයක් හෝ ශස්ත්‍ර‍යක් හෝ නො වදින්නේ ය. ඕහට අවැඩ කැමැත්තා වූ යම් කිසි කෙනෙක් ලඟට අවුත් ඔහු නො දක්නාහු ය. ඕහට අවැඩක් කරන්ට නො හැකි වන්නාහු ය. මහරජානෙනි, මේ ගුණානිසංසයෝ පුද්ගලයාගේ නො වන්නාහු ය. මේ ගුණානිසංසයෝ මෛත්‍රිභාවනාවගේ ම ය.

ශක්‍ර‍යන්ගේ ආරාධනාවෙන් දුකූල තපස්වීන් වහන්සේ පාරිකා නම් තපස්සීනීන්දෑගේ නාහිපරාමර්ශනය කළ වේලෙහි බොධිසත්වයෝ දෙව්ලොවින් අවුත් පාරිකාවන් බඩ ඉපිද මව්කුසින් බිහි ව ස්වර්ණවර්ණ වූ ශරීරයක් ඇති බැවින් සාම නම් කුමාර වූසේක. ඔවුන්ගේ මෛත්‍රී ආනුභාවයෙන් ඒ වනයෙහි වසන කිඳුරුධෙනූහු අවුත් බොධිසත්වයන් වඩා ගෙණ ගොස් කඳුරැළිආදියෙන් නහවා අනෙකවිධ විසිතුරු වන කුසුමයෙන් සරහා හිරියල්තිලක දෙමින් පන්සල ගෙණ ලා නිති රකිති. මෘගපොතකයෝ අවුත් බොධිසත්වයන් ක්‍රීඩාමඩුල්ලෙන් නළවා රකිති. මේ නියායෙන් සොළොස් අවුරුදු පිරුණු කල දෙමවුපියන්ගේ පූර්ව කර්මයකින් ඇස් අන්ධ වි ය. මහබෝසතානෝ අන්ධ වූ දෙමවුපියන් පන්සැල හිඳුවා උණුදිය සිහිල්දිය මධුර වූ ඵලාඵලයන් දී පොෂ්‍ය කෙරෙමින් වැස දිනෙක දෙමවුපියන් වැඳ සමු ගෙණ මෘගයන් පිරිවරා ඵලාඵල පිණිස පර්වතාන්තරයෙහි කිඳුරන් හා සමග ඇවිදිමින් ඵලාඵල ගෙණවුත් පන්සැල තබා ‘පැන් ගෙණෙමි’ යි කියා කළය ගෙණ මුවන් දෙදෙනෙකු පිට කළය තබා අල්වා ගෙණ මෘගයන් පිරිවරා මිගසම්මතා නම් ගඟට පැමිණිසේක. එකල බරණැස් නුවර රජ කරණ පිළියක්ඛ නම් රජ්ජුරුවෝ මෘගමාංසලොභයෙන් දහසක් දෙන ඇද නඟන දළ්හධනුව හා විෂපීත හී ගෙණ හිමාලයෙහි මෘගඝාතනය කොට ඇවිදිමින් මෘගසම්මතා නම් ගඟට පැමිණ මෘගපාද සටහන් බලා ගොස් මෘගයන් එන මං බලා කොටුපතෙක සැඟවී හිඳ, සාම කුමාරයන් දැ, විස්මය පත් ව, ‘යක්ෂයෙක් දෝ හො? නොහොත් නාගයෙක් දෝ හො?’ යි ‘කථා කරපීම් නම් අන්තර්ධාන ව යෙයි. එහෙයින් විදපියා දුර්වල කොට තොරතුරු අසා ගෙණ ගොස් අමාත්‍යයන්ට කියමි’ යි සිතසිතා හුන්නාහු ය. එකල සාමකුමාරයන් සියලු මුවන් පැන් බී ගොඩ නැඟි කල්හි ගඟට බැස පැන් නා ගෙණ ගොඩ නැඟී වැහැරි සිවුර හැඳ අජිනචර්මය එකාංශ කොට බහා ගෙණ පැන් කළය ඔසවා වම්කර තබාපියන වේලෙහි දුක්ඛවෙදනාව ඉපිද මෛත්‍රීභාවනාවයහි සිත මදක් ප්‍ර‍මාද වි ය. ඒ ක්ෂණයෙහි ම රජ්ජුරුවෝ සාමකුමාරයන්ට විද්දාහු ය. ඒ සැරය සාමකුමාරයන්ගේ දකුණැලෙහි වැදී වම්ඇළයෙන් නික්ම ගියේ ය.

ඒ දැක මෘගයෝ භයින් තැති ගෙණ පලා ගියහ. ඒ සැරය වදින ලද්දා වූ ස්වර්ණවර්ණ වූ සාමකුමාරයෝ පැන්කළය බිම නො හෙළා ම සිහි උපදවා ගෙණ සනික ම කරින් බා වැලි පීරා, කළය තබා දෙමවුපියන් වසන දිසාවට හිස දමා වැඳ වැතිර වැලි මත්තෙහි රන්පිළිමයක් සේ මුණින් හිඳ ‘මේ වනයෙහි මට සතුරුකෙනෙක් නැත්තේ ය. මාගෙත් කිසි කෙනෙකුන් කෙරෙහි වෛරයක් නැත්තේ ය’ යි කියමින් මුඛයෙන් එන ලේ වමාර වමාරා-

‘කො නු මං උසුනා විජ්ඣි - පමත්තං උදහාරකං,

ඛත්තියො බ්‍රාහ්මණො වෙස්සො - කො මං විද්ධා නිලීයසී.’

(229) යනාදීන් පැන් ඔසවා ගෙණ යන්නා වූ. එහෙයින් ම මෛත්‍රී භාවනායෙහි ප්‍ර‍මාද වූ මට බලවත් වූ හී පහරින් කවරෙක් විද්දේ ද? රජ කෙනෙක් ද? බ්‍රාහ්මණ කෙනෙක් ද? ගෘහපතිකෙනෙක් ද? කවරෙක් මා විද සැඟවී ගියේ ද? මාගේ මංස කෑ යුතු දේකුත් නො වන්නේ ය. සමින් ප්‍රයෝජනයකුත් නැත්තේ ය. එසේ කල කුමන කාරණයකින් මා විදින්ට සිතුයේ ද? මා විද්දා වූ තෙපි කුවරු දැ?’ යි විචාළසේක. එබස් අසා රජ්ජුරුවෝ ‘අහෝ! මේ තෙම මා විසින් විෂපීත සැරයෙන් විද හෙළන ලදු ව ද, කිසි ක්‍රොධයක් නො කොට ප්‍රියවචනයෙන් ම කථා කරන්නේ ය’ යි සිතා වහා ලඟට දිව අවුත් සිට-

‘රාජාහමස්මි කාසීනං - පිළියක්ඛොති මං විදූ,

ලොභා රට්ඨං පහත්‍වාන මිගවෙ සඤ්චරාමහං.

ඉස්සත්‍ථෙ චස්මි කුසලො - දළ්හධම්මොති විස්සුතො.

නාගොපි මෙ න මුඤ්චෙය්‍ය - ආගතො උසුපාතනං.’

යනාදීන් ‘පින්වත, මම කාශිදෙශවාසීන්ට රජ වීමි. ‘මා පිළියක්ඛරජය’ යි කියා දන්නේ ය. මම මාංසලොභයෙන් බරණැස හැර අවුත් මුවන් සොයමින් මේ වනයෙහි හැසිරෙන්නෙමි. මම ධනුශ්ශිල්පයෙහි අති දක්ෂ වීමි. දහසක් දෙනා ඇද නඟන (දුන්න නඟන හෙයින්) දළ්හධනුර්ධර ය යි කියා ප්‍ර‍සිද්ධයෙමි. මා විසින් විද හරණ ලද හී සැරය තෙම හස්ති රාජයකු වුවත් නො හැර විනිවිද යන්නේ ය’ යි ‘මෙසේ යක්ෂනාගාදීහුත් මනුෂ්‍යභාෂාවෙන් කථා කෙරෙති. මොහු යක්ෂනාගාදී කවරෙකු බවත් නො දනිමි. කිපී මාගේ දිවි නැසුයේ වී නම් නපුර.’ ‘මම රජ්ජුරුයෙමි’ යි කීකල ‘භය නො වන්නා වූ කෙනෙක් නම් නැතැ” යි සිතා තමාගේ තෙජස් හා බලය දක්වා කථා කොට සාමකුමාරයන්ගේ නාමගොත්‍ර‍ය විචාළෝය. ඒ අසා සාමකුමාරයෝ-

‘නෙසාද පුත්තො භද්දන්තෙ - සාමො ඉති මඤ්ඤාතයො,

ආමන්තයිංසු ජීවන්තං - සො අජ්ජෙවං අතො සයෙ,

යනාදීන් ‘පින්වත් මහරජ, නුඹ වහන්සේට වැඩෙක් වේව යි. මම නෙසාද පුත්‍රයෙක්මි. ජීවත් ව සිටින්නා වූ මට සාම ය යි කියා මෙසේ මාගේ දෙමවුපියනෑයෝ ආමන්ත්‍ර‍ණය කරන්නාහු ය. ඒ මම අද මරණමුඛයෙහි පිහිටියෙමි. මරණපරායණ ව සයනය කෙරෙමි. මහරජානෙනි, විෂවත් මහත් යවුලකින් විනිවිද ගිය මෘගයකු මෙන් මාගේ ශරීරයෙන් ගලන රුධිරධාරායෙහි ගැලී සුසුම් හෙළමි. මාගේ දකුණැළයෙන් වැද වම් ඇළයෙන් සම්මස්විනිවිද ගිය යවුල බැලුව මැනැව. මුඛයෙන් ගලන ලේ බැලුව මැනැව. නාසයෙන් එන ලේ කිඹිස හරිමි. මෙබඳු වූ බලවත් මරණාතුර ව විචාරමි. කුමක් පිණිස මා විදපියා වනගහනයෙහි සැඟවී ගියේ දැ?’ යි කියා මෛත්‍රීසිතින් ම විචාළසේක. එකල රජ්ජුරුවෝ අනෙකාකාරයෙන් විමසා බලා, මනුෂ්‍යයෙක් ම ය යි නිශ්චය කොට දැන බලවත් වූ ශොකයට පැමිණ ‘මෙබඳු වූ ස්වර්ණවර්ණ වූ සාමකුමාරයෝ එකලා ම ව මෙම මහාවනයෙහි වාසය කරන්නෝ නො වෙති. නෑ කෙනෙකුන් හා සමග විසිය යුතු වන්නේ ය’ යි සිතා ‘පින්වත් වූ මා යහළු සාමකුමාරයෙනි, තෙපි කවර දෙශයකින් මේ වනයට අවුත් වසවු ද? ‘ගඟට ගොස් පැන් ගෙණෙව යි (230) කියා කවුරුන් විසින් එවන ලද්දා වූ තෙපි මේ මෘගසම්මතා නම් ගඟට ආවාහු දැ?’ යි විචාළෝ ය. එකල ආ තොරතුරු කියනු කැමැති වූ මහබෝසතානෝ මුඛයෙන් ලේ වමාරවමාරා-

‘අන්‍ධා මාතා පිතා මය්හං - තෙ භරාමි බ්‍ර‍හාවනෙ

තෙසාහං උදහාරකො - ආගතො මිගසම්මතං’

-

අත්‍ථි තෙසං උසා මත්තං - අථ සාහස්ස ජීවිතං

උදකස්ස ච අලාභෙන - මඤ්ඤෙ අන්‍ධා මරිස්සරෙ,

-

ඉදං දුතියකං සල්ලං - කම්පෙති හදයං මම,

යං ච අන්‍ධෙ න පස්සාමි - යං ච හෙස්සාමි ජීවිතං.’

යනාදීන් ‘මහරජානෙනි, මාගේ මවුපියෝ දෙදෙන අන්ධ වූහ. මේ මහා වනයෙහි මධූර වූ ඵලාඵල ගෙණවුත් දෙමින් ඒ අන්ධ වූ මවුපියන් දෙදෙනා පොෂ්‍ය කෙරෙමින් ඒ අන්ධවූ දෙමවුපියන්ට පැන් ගෙණ යන්නා වූ මම කළය ගෙණ මේ මෘගසම්මතාවට ආයෙමි. ඒ දෙමවුපියන්ට පැන් ගෙණ යන්නා වූ මම කළය ගෙණ මේ මෘගසම්මතාවට ආයෙමි. ඒ දෙමවුපියන්ට භොජනමාත්‍රයෙක් ම ඇත. ඒ භොජනමාත්‍රයෙන් සදවසක් පමණ ජීවිතය පවත්නේ ය. පැන් නො ලැබීමෙන් මාගේ අන්ධ වූ දෙමවුපියෝ මැරෙත් ම ය’ යි සිතන්නෙමි. මට පැමිණියා වූ මේ දුකට වඩා මාගේ අන්ධදෙමවුපියන් නො දක්නා දුක ඉතා බලවත් වන්නේය. ඒ මාගේ අන්ධ වූ මෑනියෝ ඉතා දිළිඳු ව බොහෝ කලක් හඩනදෑ ය. දිළිඳු වූ ඒ මාගේ පියානෝ බොහෝ කලක් හඩනදෑ ය. මා නො දක්නා වූ මාගේ මවුපිය දෙදෙන ‘සාම, සාම ය’ යි විලාප කියමින් මහවනයෙහි ඇවිදිති. මාගේ අන්ධ වූ දෙමවුපියන් නො දක්නා යම් දුකෙක් ඇද් ද, අද මාගේ දිවි නැසී යන යම් දුකෙක් ඇද් ද, එයින් දෙමවුපියන් නො දක්නා මේ දෙවෙනි මහාශොක ශල්‍යය මාගේ හෘදය කම්පා කරන්නේ ය’ යි අනෙක අඳෝනා කියා සිටි කල්හි රජ්ජුරුවන් ‘අහෝ! මේ තෙම අත්‍යන්තබ්‍ර‍හ්මචාරී ව අන්ධ වූ දෙමවුපියන් රක්ෂා කෙරෙයි. මේ සා මහත් මරණදුකට පැමිණපියාත් දෙමවුපියන් උදෙසා ම හඬන්නේ ය. මා කළ මහාඅපරාධයෙන් නරකයෙහි වැටේ ම ය. එයින් මට රාජ්‍යසම්පත්තියෙන් කම් කිම් ද? මොවුන්ගේ දෙමවුපියන්ට දාසභූත ව උපස්ථාන කෙරෙමි’ යි සිතා ‘මාගේ ස්වාමීනි, සාමකුමාරයෙනි, නුඹගේ දෙමවුපියන්ට මම උපස්ථාන කෙරෙමි. නුඹ වහ්නසේ ශොක නො කළ මැනැව. දෙමවුපියන් වසන දෙස මට වදාළ මැනැවැ’ යි කියා සිටි කල්හි දෙමවුපියන් වසන පන්සලට පාර කියා දෙමවුපියන්ට උපස්ථාන කරන්ට රජහට ගරුතර ව අඤ්ජලිය කොට යවා තමා විසංඥබවට පැමිණියේ ය. ඒ බව දක්වා වදාරණ ලොවුතුරා බුදුන් විසින්:-

‘ඉදං විත්‍වාන සො සාමො - යුවං කල්‍යාණදස්සනො,

මුච්ඡිතො විසවෙගෙන - විසඤ්ඤං සමපජ්ජථා.’

යනුවෙන් ‘මහණෙනි, ඒ කල්‍යාණදර්ශනය ඇත්තා වූ ලදරුවයස් ඇත්තා වූ ස්වර්ණවර්ණ වූ සාමකුමාරතෙම පිළියක් රජහට ‘මහරජානෙනි, මාගේ දෙමවුපියන් රක්ෂා කරන්නැ’ යි යන මේ වචනය කියා සැරපහර වැදගත් විෂවෙගයෙන් ශරීරය ථද්ධ වීමෙන් මුඛය වැසී ගියේ ය. කථා සිඳී (231) ගියේ ය, ඇස් පියවී ගියේ ය, චිත්තසන්තතිය හෘදයවස්තුව නිසා පැවැත්තේ ය. එහෙයින් මුර්ඡා වෙමින් විසංඥබවට පැමිණියේ ය. සකලශරීරය ලෙහෙයෙන් ආලෙප විය. ඒ දැක පිළියක් රජ්ජුරුවෝ හෘදය පැළී යන සේ අධිකතර වූ සංවෙගයට පැමිණ ‘සාමකුමාරයෝ මළහ’ යි කියා හට ගත්තා වූ ශොකය දරා ගත නො හී දෑත් මුදුනෙහි තබා ගෙණ මහහඬින් හඬමින් ‘අහෝ! මම මෙතෙක් කල් මුළුල්ලෙහි මා අජරාමර කෙනෙකුන් මෙන් සිතා උන්නෙමි. අද මේ සාමකුමාරයන් නැසුනුබව දැක ඒ මරණ මටත් සෙස්සන්ටත් පැමිණෙන බව අද දැන ගත්තෙමි. මීට පළමුවෙන් නො දත්තෙමි’ යනාදී අනෙකවිලාපයෙන් හඬන්ට වන. එකල සාමකුමාරයන්ට සත්වැනි ආත්මභාවයෙහි මාතෘ වූ බහුසොදරී නම් දිව්‍යාංගනාවක් ගන්ධමාදනපර්වතයෙහි සිට මහාබොධිසත්වයන් පුත්‍ර‍ස්නෙහයෙන් ආවර්ජනා කොට බලා දැක ‘අහෝ! පිළියක් රජහු මා පුතනුවෝ සාමකුමාරයා[1] විද හෙළා මළහ’ යි කියා හඬන්නේ ය. ඉදින් මම එතැනට නො ගියේ වී නම්, මාගේ පුත්‍ර‍ වූ ස්වර්ණවර්ණසාම කුමාරයෝ ඒ ගඟ වැල්ලෙහි ම නස්නාහ. රජහුගේත් හෘදය පැළෙයි. සාමකුමාරයන්ගේ මවුපියෝ දෙදෙන ද අහරපැන් නො ලැබ වියලී නස්නාහු ය. මා ගිය කල්හි සාමකුමාරයෝ ජීවත් වෙති. දෙමවුපියෝ ඇස් ලබති. රජ්ජුරුවෝ සාමකුමාරයන්ගෙන් බණ අසා පැහැද මහදන් පවත්වා දශරාජධර්මයෙන් රජ කෙරෙමින් දෙව්ලොව උපදනාහ’ යි කියා දැක මහත් වූ ප්‍රීතියෙන් ගන්ධමාදනපර්වතයෙන් අන්තර්ධාන ව ආකාශයෙහි නො පෙණී සිට:-

‘ආගුං කරී මහාරාජ - අකරා කම්ම දුක්කරං,

අදූසකා පිතා පුත්තා - තයො එකුසුනා හතා.’

‘මහරජානෙනි, තෙපි මහාඅපරාධ වූ මහාපායක් කළාහු ය. නපුරු වූ ලාමකකර්මයක් කළාහු ය. නිර්දොෂ වූ මාතෘපිතෘ පුත්‍ර‍ යන තුන් දෙනෙක්[2] එක හී පහරින් විදින ලද්දෝ ය.[3] එහෙයින් තොප[4] මෑත අව මැනැව. යම් ලෙසකින් තොපට සුගතියෙක් වේ නම්, එපරිද්දෙන් තොපට මම අනුශාසනා කෙරෙමි. සාමකුමාරයන් මෙන් මේ වනයෙහි අන්ධ වූවන් ධර්මයෙන් පොෂ්‍යය කරව. එසේ කල තොප විසින් සුගතියට ගිය යුතු වන්නේ ය යි කියන්නෙමි’ යි කියා අවවාද කළාහ. රජ්ජුරුවන් දිව්‍යාංගනාවගේ අවවාදය අසා අතිශයින් භය ගෙණ ‘මට රාජ්‍යසුවෙන් කම් නැත. සාමකුමාරයන්ගේ අන්ධ වූ දෙමවුපියන්ට උපස්ථානය කෙරෙමින් නරකදුක්ඛයෙන් මිදී යෙමි’ යි සිතා අනෙකවිධ වූ විසිතුරු වූ වනකුසුමයෙන් සාමකුමාරයන්ට පූජා කොට තුන් වරක් ප්‍ර‍දක්ෂිණා කෙරෙමින් සතර තැනෙක බැස හෙව වැඳ වැතිර මහාශොකයෙන් හඬ හඬා පැන් කළය ගෙණ පන්සලට ගොස් දුකුල තාපසයයන් හා පාරිකා නම් තපස්විනීන් දැක පිළිසඳර කථා කොට සාමකුමාරයන් මළ පවත් හා තමන් උපස්ථානයට ආ පවත් කී කල්හි මහාශොකයෙන් ලය පැහැර ගෙණ ඒ රජහුගේ දෙපත්ලස හඬා පෙරළෙමින් ‘අනේ! කසීමහරජානෙනි, තොප වඳුම්හ. අප සාමකුමාරයන් මළ තැනට ගෙණ ගොස් හරුව. අපි දු සාමකුමාරයන් මළ තැන මරණකල් බලා හිඳුම්හ. අනේ, කසීමහරජානෙනි, අප සාමකුමාරයන් මළ තැනට ගෙණ ගොස් හරුව’ යි කියකියා විලාපයට පටන් ගත්කල්හි (232) පිළියක්ඛරජ්ජුරුවන් ද හෘදය පැළීයන තරම් අධිකතර වූ ශොකයට පැමිණ ‘අහෝ! දැන් හිරු අස්තංගත වීමෙන් අන්ධකාරය පැමිණියේ ය. මේ අන්ධකාරයෙහි දැන් සාමකුමාරයන් මළ තැනට මොවුන් කැඳවා ගෙණ ගියේ වීම් නම්, එතැන ම හෘදය පැළී නස්නාහු ය. එසේ කල මා නරකයෙහි උපන්නාක් වැන්න. එහෙයින් මොවුන් කල් යවා ශොක තුනී කොට කැඳවා ගෙණ යෙමි’ යි සිතා ‘බ්‍ර‍වාහාලමිගාකිණ්ණං’ යනාදීන් ‘අන්ධකාරවනගහනයෙහි දොෂ දක්වාපියාත් නවත්වා ගත නො හී කැඳවා ගෙණ ගොස් ‘අම්ම, පියානෙනි, මේ තොපගේ පුතනුවෝ සාමකුමාරයෝ ය’ යි කියා දැන්වූ කල්හි ‘පුතණ්ඩ, මාගේ සාමකුමාරයෙනි, නුඹට වන් දුක් අසා අපි ආම්හ. අපට වන් දුක් ගෙවා නැගිටින්නැ’ යි ‘අම්ම පියානෙනි, කියන බසක් කියාලන්නැ’ යි කියාකියා මෑනියෝ දෙපය ගෙණ ඔක්ක තබා ගෙණ හඬන්ට වන්හ. පියානෝ හිස ඔක්ක තබාගෙණ හඬන්ට වන්හ. මෙසේ අනෙක ශොකාතුර ව ආලාපවිලාපයෙන් මෙසේ හඬහඬා මෑනියන් සාම කුමාරයන්ගේ ලය අත තබා උෂ්ණගති පරීක්ෂා කෙරෙමින් ‘නො මළහ’ යි දැන මහාප්‍රීතින් ‘සත්‍යක්‍රියා කොට විෂ විනාශය කෙරෙමින් උපදවමි’ යි සිතා:-

‘යෙන සච්චෙන යං සාමො - ධම්මචාරී පුරෙ අහූ,

එතෙන සච්චවජ්ජෙන - විසං සාමස්ස හඤ්ඤතු.’

යනාදීන් ‘මේ සාමකුමාරතෙම මීට පූර්වභාගයෙහි ඇත්තා වූ යම් කාරණයකින් කුශලකර්මපථචාරී වී ද, මේ සත්‍යානුභාවයෙන් සාමකුමාරයාගේ සැරවවෙගවිෂය අලපත වතුර සෙයින් විනාශ වේවා. තවද, මේ සාම කුමාරතෙම උපන් තැන් පටන් අද දක්වා ම බ්‍ර‍හ්මචාරී වී ද, සත්‍යවාදී වී ද, මාතෘපිතෘපොෂක වී ද, කුලජෙට්ඨාපචායික වී ද, මාගේ ප්‍රාණයට වඩා ප්‍රියතර වී ද, දෙමවුපිය වූ අප විසින් කරණ ලද යම් කුශලකර්මයක් ඇද් ද, මේ සත්‍යානුභාවයෙන් හිරු දුටු අඳුරක් මෙන් සාමකුමාරයන්ගේ ශරීරගත විෂය විනාශ වේව’ යි සත්‍යක්‍රියා කළ කල්හි සාමකුමාරයෝ ආශ්වාස ලදින් එක් ඇළයට කරකැවී හුන්නාහ. එකල පියානෝ ‘අහෝ! මා පුතනුවෝ ජීවත් ව වෙසෙති. මම ද සත්‍යක්‍රියා කෙරෙමි’ යි කියා එසේ ම සත්‍යක්‍රියා කළෝ ය. එකල මහබෝසතානෝ ආශ්වාසප්‍ර‍ශ්වාස ලදින් ඇළයට කැකැවී වැද හොත් සේක. ඒ දැක දිව්‍යාංගානෝ ද. සත්‍යක්‍රියා කරණුවෝ:-

‘පබ්බත්‍යාහං ගන්‍ධමාදනෙ - චිරරත්ත නිවාසීනී,

න මෙ පියතරො කොචි - අඤ්ඤො සාමා න විජ්ජති,

එතෙන සච්චවජ්ජෙන - විසං සාමස්ස හඤ්ඤතු.

යනාදීන් ‘සර්වසුගන්ධයෙන් සුගන්ධිත වූ ගන්ධමාදනපර්වතයෙහි බොහෝ කාලයක් වාසය කළා වූ මට සාමකුමාරයන්ට වඩා අනික් ප්‍රියතර කෙනෙක් නැත්තේ ය. මේ මාගේ සත්‍යානුභාවයෙන් සාමකුමාරයාගේ ශස්ත්‍ර‍විෂය නසීව’ යි කියා සත්‍යක්‍රියා කළාහ. මෙසේ ඒ දෙමවුපියන් හා දිව්‍යාංගනාවන්ගේ බැගෑපත් කරුණා මෛත්‍රීසත්‍යගුණානුභාවයෙන් සත්‍යක්‍රියාවසානයෙහි සාමකුමාරයන් වහන්සේ නිරොගි ව නැගී සිට කථා කළසේක. සකල ශරීරයෙහි ව්‍යාප්ත වූ විෂවෙගය පියුම්පත්‍රයෙහි (233) නො රඳා වැටෙන ජලබින්දුවක් සෙයින් පහ ව ගියේ ය. ‘විදි සැරය වැදී ගියේ මෙතන දෝ හෝ? මෙතන දෝ හො?’ යි කියා සොයා දක්නටත් නො හැකි වි ය. මෙසේ මහාබොධිසත්වයන් වහන්සේගේ නීරොගබව ද, අන්ධ වූ දෙමවුපියන්ගේ ඇස් ලැබීම ද, රාත්‍රිය ගෙවී අරුණු නැඟීම ද, ඔවුන් සතරදෙනාගේ පර්ණශාලාප්‍රවෙශය ද දෙවානුභාවයෙන් එකවිට ම විය. ඒ ආශ්චර්යයට පැමිණි දෙමවුපියෝ ප්‍රීතියෙන් පිණා අවුත් මහා බොධිසත්වයන් වැලඳ ගෙණ හඬමින් සතුටුකඳුළෙන් දෙනුවන් පුරා ගත්හ. පිළියක්ඛරජ්ජුරුවෝ ද ප්‍රීතිවෙගයෙන් කුල්මත් වෙමින් දොහොත් මුදුනේ තබා ගෙණ ‘ස්වාමීනි, මාගේ සාමකුමාරයෙනි, මම නුඹ වහන්සේගේ සරණ යෙමි. නුඹ වහන්සේ මට නරක මාර්ගය වළක්වා ස්වර්ගමාර්ගයට හරවා පිළිසරණ වී වදාළ මැනැවැ’ යි කියා වැඳ වැතිර ගියාහ. එකල ඒ බුද්ධාංකුරයානෝ ‘මහරජානෙනි, ඉදින් තෙපි දෙව්ලොවට නුමුළා ව යනු කැමැතියවු නම්:-

‘ධම්මං චර මහාරාජ - මාතාපිතුසු ඛත්තිය,

ඉධ ධම්මං චරිත්‍වාන - රාජා සග්ගං ගමිස්සසි.’

යනාදීන් ‘මහරජානෙනි, මාතෘපිතෘන් කෙරෙහි දෙමවුපිය පොෂක ධර්මයෙහි හැසුරුණ මැනැව. ක්ෂත්‍රියමහරජානෙනි, මේ මනුෂ්‍යලොකයෙහි ධර්මයෙහි හැසිරෙමින්, මහරජානෙනි, නුඹ වහන්සේ ස්වර්ග ලොකයට නුමුළා ව යනසේකැ’ යි කියා ගාථාදහසකින් දශරාජධර්මයෙන් ධර්මදෙශනා කළසේක. එහි පිළියක්ඛරජහු ධර්මදෙශනාව ශිරොමස්තකයෙන් පිළිගෙණ බරණැසට ගොස් දශරාජධර්මයෙන් රාජ්‍ය කෙරෙමින් (සිට මරණින් මත්තෙහි) දෙව්ලොව උපන්නාහු ය. බෝසතුන් වහ්නසේ ධ්‍යාන උපදවා දෙමවුපියන් හා සමග ම බඹලොව උපන්හ’ යි වදාළසේක. “අහෝ! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉතා ආශ්චර්ය ම ය. ස්වාමීනි, නාගසෙනයන් වහ්නස, ඉතා අද්භූත වන්නේ ය. අත්‍යර්ථයෙන් ම මෛත්‍රි භාවනාතොම සියලු ම පව් වළකන්නේ ය” යි කියා ස්තුති කළහ. මහරජානෙනි, මෛත්‍රීභාවනාතොම හිතයන්ට ද, යම් ඒ සත්වකෙනෙක් විඥාන ප්‍ර‍තිබද්ධ වූ ද, ඒ සියල්ලන්ට ම සියලු කුශලගුණය එළවන්නී ය.[5] මෛත්‍රී භාවනාතොම සියල්ලන්ට ම මහානිසංසය විභජනය කරන්නී ය”[6] යි වදාළසේක.

මෙත්තානිසංසප්‍ර‍ශ්නය නිමි.

  1. සාමකුමාරයෝ

  2. දෙනෙකුන්

  3. ලද්දේ ය.

  4. තෙපි.

  5. එලවන්නේ ය.

  6. කරන්නේ ය.