“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවෙන් ම ‘බොධිසත්වවරයන්ගේ මාතෘපීතෘදෙදෙන නියත වන්නාහ. බොධිය නියත වන්නේ ය. අග්‍රශ්‍රාවකදෙදෙන නියත වන්නාහ. පුත්‍රතෙම නියත වන්නේ ය, උපස්ථායකතෙම නියත වන්නේ ය. හේ ධර්මතාවෙක. ස්වභාවකාරණයෙකැ’ යි කියා මේ බව වදාරණ ලද්දේ ය. නැවත ද ‘තුසිත කායයෙහි සිටියා වූ බොධිසත්වයන් වහන්සේ කාලය බලනසේක. දිවයින බලනසේක, දෙශය බලනසේක, වංශය බලනසේක, මෑනියන් බලනසේක, ආයුස බලනසේක, මාසය බලනසේක, නෛෂ්ක්‍රම්‍ය බලන සේකැ’ යි කියා නුඹ වහන්සේ වදාරණසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥතාඥානයට ප්‍රඥාව නො මුහු කළ කල්හි සියල්ල අවබොධයෙන් බුදු වීමක් නම් නැත්තේ ය. සර්වඥතාඥානයට ප්‍රඥාව මුහු කළ කල්හි නිමෙසන්තරය යි කියන ලද ලඝු අක්ෂරයක් කථනමාත්‍රකාල වූ ක්ෂණයකුදු නො බුදු ව සිටින්ට නො හැකි වන්නේ ය. පාරමිතාවන්ගේ පිරීමෙන් පැසුනා වූ චිත්තය අතික්‍රමණය කළ නො හැකි වන්නේ ම ය. කවර කලක උපදිම්[1] දෝ හො?’ යි කියා බොධිසත්වයන් වහන්සේ කුමක් නිසා කාලය බලා වදාරණසේක් ද? ඥානය නො මුහු කළ කල්හි බුදුවීමෙක් නම් නැත්තේ ය. ඥානය මෝරා ගිය කල්හි නිමෙෂමාත්‍ර වූ ක්ෂණයකු දු නො බුදු ව සිටින්ට නො හැකි වන්නේ ය. එහෙයින් කුමක් පිණිස බොධිසත්වයන් වහ්නසේ කාලය බලා වදාරණ සේක් ද? ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බොධිසත්වයන්ගේ ඉපදීමට[2] පළමු කොට ම මවුපිය දෙදෙන නියත ව උපදනා බව සැබෑ වී නම්, ඒ කාරණයෙන් වංශය බලනසේකැ යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් උපදනට පළමු ව වංශය බලනසේකැ යි කී වචනය සැබෑ වී නම් ඒ කාරණයෙන් ‘පුබ්බෙව ඛො බොධිසත්තස්ස මාතාපිතරො නියතා’ යි කී වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටික ප්‍රශ්නයත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නය නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, පළමු කොට ම බොධිසත්වයන්ගේ මාතෘපිතෘ දෙදෙන නියත වන බවත් සැබෑ ම ය. කුලය ද බොධිසත්වයන් වහන්සේ බලා වදාරණසේක. කිමෙක් ද, වනාහි මාගේ යම් දෙමවුපිය කෙනෙක් ඇද් ද, ඒ දෙමවුපියෝ රජ දොහො? නොහොත් බ්‍රාහ්මණ දෝ හො?’ යි කියා කුලය බලනසේක. මෙසේ වංශය බලනසේක. මහරජානෙනි, පළමු කොට ම අටදෙනෙකුන් විසින් අනාගතය බැලිය යුතු වන්නේ ය. කවර අටදෙනෙකුන් විසින් ද? යත්:- මහරජානෙනි, වාණිජයා (222) විසින් පළමු කොට ම විකුණන බඩුව බැලිය යුතු වන්නේ ය. හස්ති නාගයා විසින් පළමු කොට ම සොඬින් අනාගතමාර්ගය බැලිය යුතු වන්නේ ය. ගැල්ප පැද ගෙණ යන සාකටිකයා විසින් පළමු කොට ම අනාගතතීර්ථය බැලිය යුතු වන්නේ ය. නැව්කාරයා විසින් පළමු කොට ම පෙර නො ගියා වූ අනාගතතොට සලකා බලා නැව හැරිය යුතු වන්නේ ය. වෙදා විසින් පළමු කොට ම ආයු පරීක්ෂා කොට බලා රොගාතුරයා කරා එළඹිය යුතු වන්නේ ය. හේදඬු ආදියෙන් එතර වන්නාහු විසින් පළමු කොට ම ථිරාථිර බව දැන ගෙණ සේතුවට නැගිය යුතු වන්නේ ය. භික්ෂූන් වහන්සේලා විසින් පළමු කොට ම හිරමුදුන දක්වා ඉතිරි අනාගතකාලය බලා භොජනය වැළඳිය යුතු වන්නේ ය. බොධිසත්වවරයන් වහන්සේලා විසින් පළමු කොට ම ‘රාජවංශය හෝ බ්‍රාහ්මණ වංශය හෝ කවරෙක් උතුම් දෝ හො’ යි කියා උපදනා වංශය බැලිය යුතු වන්නේ ය. මහරජානෙනි, මේ අටදෙනා විසින් පළමු කොට ම අසම්ප්‍රාප්ත වූ අනාගතය බැලිය යුතු වන්නේ ය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ කාරණයත් යම් සේ ද, එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
කාලවිලොකනප්‍රශ්නය නිමි.