මුසාවාදපාරාජිකාප්‍ර‍ශ්නය.

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දැන දැන මුසාවාද කීමෙහි පාරාජිකා වන්නේ ය’ යි යන මේ වචනය වදාරන ලද්දේ ය. නැවත ද, ‘දැන දැන මුසාවාද කීමෙහි ලහුකාපත්තියට පැමිණෙන්නේ ය. එක භික්ෂුනමක් ලඟ දී දෙශනාවෙන් ශුද්ධ වන දෙශනාවස්තුක ය’ යි කියාත් වදාරණ ලද්දේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙය වනාහි විශෙෂය කවරේ ද? ඉදින් එකමුසාවාදයකින් මූලොච්ඡින්න ව ශාසනයෙන් පහ ව යන්නේ ය. ඉදින් එකමුසාවාදයකින් සතෙකිච්ඡ වන්නේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සම්පජානමුසාවාදෙ පාරාජිකො හොති’ කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘සම්පජානමුසාවාදෙ ලහුකං ආපත්තිං ආපජ්ජති එකස්ස සන්තිකෙ දෙසනා වත්ථුකං’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහ්නසේ විසින් ‘සම්පජානමුසාවාදො ලහුකං ආපත්තිං ආපජ්ජති එකස්ස සන්තිකෙ දෙසනාවත්ථුකං’ යි කියා වදාළ ඒ වචනය සැබෑ වී නම් ඒ කාරණයෙන් ‘සම්පජානමුසාවාදෙ පාරාජිකො හොති’ යි කියා වදාළ ඒ වචනය බොරු වන්නේ ය. මේත් උභතොකොටිකප්‍ර‍ශ්නයෙක. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, වැදෑරට වග්ගුමුදා නම් ගංතෙර වස් විසූ බොහෝ භික්ෂූහු ප්‍ර‍ත්‍යය ඵාසු නො ලදින් ‘මේ නම් වහන්දෑ ප්‍ර‍ථමධ්‍යාන ලාභීසේක. සෝවාන් සේක, රහත්සේකැ’ යි යනාදීන් ඔවුනොවුන්ගේ නැති ගුණ ගෘහස්ථයන්ට පහළ කොට පහදවා ගෙණ ප්‍ර‍ත්‍යය ලබා සමග සතුටු ව ජීවත් වෙමින් වස් අන්තයෙහි බුදුන් කරා ගොස් වැඳ එකත්පස් ව උන්හ. බුදුරජානන් වහන්සේ ඒ භික්ෂූන්ගේ සැපදුක් විචාරමින් නැති ගුණ පහළ කොට ප්‍ර‍ත්‍යය ලැබූබව අසා අනෙකාකාරයෙන් ගර්හා කර වදාරමින් ‘කෙසේ න්ම තෙපි, තුච්ඡ පුරුෂයෙනි, උදරාර්ථය පිණිස ගෘහස්ථයන්ට තොප කෙරේ නැති ලොකොත්තරධර්මයාගේ ගුණ කිවු ද? මොඝපුරුෂයෙනි, තොප උදරාර්ථය පිණිස ඔවුනොවුන් කෙරෙහි නැති උත්තරී මනුෂ්‍යධර්මයාගේ ගුණ කියා ලොව රවටා කෑමට වඩා තීක්ෂ්ණ වූ ගෙරි කපන කැත්තෙන් බඩවැල් කපා ඉරණ ලද්දේ මැනවැ. දිලියෙන ලොහොගුළි ගිලින ලද්දේ ඉතා උතුම. මාගේසද්ධර්මචක්‍ර‍යට විරුද්ධ ව හැසිර නරකයෙහි උපදින මහසොරහු පස්දෙනෙක. එක් මහසොරෙක් (නම් යමෙක්) ‘අහෝ! මම (220) කවර දවසක සියයක් හෝ දහසක් හෝ පිරිවරා ගෙණ ගෘහස්ථප්‍ර‍ව්‍ර‍ජිතයන්ගෙන් සිවුපසය ලදින් සත්කාර ගරුකාරාදිය ලදින් ග්‍රාමනිගමරාජධානි ආදියෙහි හැසිරෙම් දෝ? හො’ යි සිතා අනෙකඅකර්තව්‍යසමාදානයෙන් පිරිස් සාධා ගෙණ එසේ ම හැසිරෙන්නේ වී නම්, මේ ප්‍ර‍ථම මහසොරා ය. අනිකුත් ඇතැම් පවිටු මහණෙක් ධර්මවිනය ඉගෙණ එහි නො පිහිටා මිහිරිබසින් ලොව රවටා අන්‍යාපදෙශ[1] රහිත ව ඒ ධර්මය තමා කෙරෙහි ම පිහිටුවා ගන්නේ වී නම්, මේ දෙවෙනි සොරා ය. තවත් පවිටුමහණෙක් සුපිරිදු ව බ්‍ර‍හ්මචර්යය හැසිරෙන්නා වූ සුශීලභික්ෂුනමකට අමූලික වූ ස්ත්‍රීධර්මයෙන් වරද නගන්නේ වී නම්, මේ තුන්වැනි මහසොරා ය. තවත් මාගේ මේ ශාසනයෙහි ඇතැම් පවිටුමහණෙක් සාංඝික වූ පුෂ්පාරාම ඵලාරාම ආරාමවාස්තු ඇඳ පුටු බිසි බිම්බොහන ලොහොසැළ කටාරම් ලොහොකළ ලොහො කටාහ වෑ පොරෝ කෙටේරි උදලු නියංකටු වේවැල් හුණ මෘදුතෘණ බබුස්තෘණ මැටි මැටිභාණ්ඩ දාරු දාරුභාණ්ඩ යන ගරු භාණ්ඩාදියෙන් ගිහින්ගේ සිත් ගන්නේ වී නම්, නළවන්නේ වී නම්, එතෙම සතර වැනි මහසොරා ය. යමෙක් ‘තමා කෙරෙහි අවිද්‍යමාන වූ උත්තරීමනුෂ්‍යධර්මය තමා කෙරෙහි ඇතැ’ යි ප්‍ර‍කාශ කොට කියා නම්, සියලු දිව්‍ය බ්‍ර‍හ්ම මාර මානුසික සකලසත්වලොකයෙහි මේ තෙම අග්‍ර‍මහාසොරෙක. එබැවින් මහණෙනි, තොප විසින් ගෘහස්ථයන් රහතුන් උදෙසා දුන් පිණ්ඩපාතය සොරකමින් වළඳන ලද්දේ ය. ලොකොත්තුගුණධරම් තමා කෙරෙහි නැතිබව දැන දැන බොරු කීමෙහි කෙලෙස්සොරුන් විසින් පරදවන ලද බැවින් පාරාජික වන්නේ ය’ යි කියා මෙම කාරණය බුදුන් විසින් වදාරණ ලද්දේ ය. නො කී නො කළ දෙයක් කියන ලද්දේ ය. කරණ ලද්දේ ය. කියා දැන දැන බොරු කීමෙහි ලහුක වූ පචිති ආපත්තියට පැමිණෙන්නේ ය. එක ම භික්ෂුනමක්හුගේ සමීපයෙහි උක්කුටුකයෙන් හිඳ දසනඛසමොධානයෙන් වැඳ ගෙණ තමා[2] බාල වූ ව ‘අහම්භන්තෙ සම්බහුලා සම්පජාන මුසාවාදාපත්තියො ආපජ්ජිං, තා තුම්හමූලෙ පටිදෙසෙමි’ කියා ‘ආපත්ති දෙශනාවෙන් ශුද්ධ වන දෙශනාවස්තුකය වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. ඒ කාරණය වස්තුවශයෙන් ගරුක ලහුක වන්නේ ය.

“මහරජානෙනි, තෙපි ඒ කුමක් සිතවු ද? මේ නුවර වීථියෙහි කිසි පුරුෂයේක අන්‍ය පුරුෂයක්හට අතින් පහරක් දුන්නේ වී නම්, තෙපි ඕහට කවර දඬුවමක් පමණවන්නාහු ද?” යි විචාළසේක. “ඉදින්, ස්වාමීනි, ඒ පුරුෂයා ‘ක්ෂමා නො වෙමි’ යි කීයේ වී නම්, ඔහුගෙන් අපි ක්ෂමා නො වන කල්හි කහවණුවක් දඩ ගන්වම්හ” යි කීහ. “මහරජානෙනි, මෙහි ඒ පුරුෂයා ම එම අතින් ම තොපට පහරක් දුන්නේ වී නම්, තෙපි ඕහට එවිට කවර දඬුවමක් පණවන්නහු දැ?” යි විචාළසේක. “අහෝ! ස්වාමීනි, එසේ වී නම් මඳකින් නො හරුම්හ. ඔහුගේ අතත් සිඳුවා ලවම්හ. පයත් සිඳුවා ලවම්හ. ඔහුගේ හිස දක්වාත් කලීරච්ඡෙදයෙන් සිඳුවා ලවම්හ. ඔහුගේ සියලු ම ගෙය බඩු පැහැර ගන්වා ලම්හ. ඔහුගේ මවුපිය දෙපක්ෂයෙන් සත්වන කුලපරම්පරාව දක්වාත් නස්වා ලම්හ” යි කීහ. “මහරජානෙනි, එකක්හට දුන් පාණිප්‍ර‍හාරයෙහි යම් සියුම් කහවණුවක් දඩවන්නේ ය. තොපට දුන් පාණිප්‍ර‍හාරයෙහි යම් හස්තච්ඡෙදනය පාදච්ඡෙදනය (221) යම් කලීරච්ඡෙදනය සර්වගෘහාදානය මවුපියදෙපක්ෂයෙන් සත්වන කුලපරම්පරාව දක්වා නැසීම වන්නේ ය. මෙහි විශෙෂ කවරේ ද? කාරණ කවරේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, හීනොත්කෘෂ්ට වූ මනුෂ්‍යභෙදයෙනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම, සම්පජාන මුසාවාදය ද, හීනොත්කෘෂ්ටවස්තුවශයෙන් ගරුක ලහුක වන්නේ ය” යි කියා වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වදාළ මේ කාරණය යම් සේ ද, එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

මුසාවාදපරාජිකාප්‍ර‍ශ්නය නිමි.

  1. අන්‍යොපදෙශ

  2. තෙමේ