“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, තථාගතයානන් විසින් කියන ලද ධර්මවිනයතෙම විවෘත ව බබළන්නේ ය. පටිච්ඡන්න නො වන්නේ’ ය.[1] යන මේ පාළිය වදාරණ ලද්දේ ය. (217) නැවත ද, ‘සියලු විනයපිටකය හා ප්‍රාතිමොක්ෂොද්දෙශය පිහිත ය, ප්‍රතිච්ඡන්න ය’ යි කියන ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විනයප්‍රඥප්තිය විවෘත ව බබළන්නේ වී නම් ජිනශාසනයෙහි යුක්තයක් හෝ ප්‍රාප්තදෙයක් හෝ ප්‍රතිවෙධධර්මයක් හෝ ලබන්නේ ය. ඒ විනයපිටකයෙහි දශවිධශික්ෂාපදසංවර ශීලය, ඛන්ධකාදිවත්ය, ශීල ගුණය, ආචාරප්‍රඥප්ති, අර්ථරසය, ධර්මරසය, විමුක්තිරසය යන සියලු ම විනය කවර කාරණයකින් ප්‍රතිච්ඡන්න වී ද? පිහිත වී ද ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තථාගතප්පවෙදිතො භික්ඛවෙ ධම්මවිනයො විවටො විරොචති නො පටිච්ඡන්නො’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, එහෙයින් ‘පාතිමොක්ඛුද්දෙසො කෙවලඤ්ච විනයපිටකං පිහිතං පටිච්ඡන්නං’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘පාතිමොක්ඛුද්දෙසො කෙවලඤ්ච විනයපිටකං පිහිතං පටිච්ඡන්නං’ යි කියා වදාළ වචනය සැබෑ වී නම්, එහෙයින් ‘තථාගතප්පවෙදිතො භික්ඛවෙ ධම්මවිනයො විවටො විරොචති නො පටිච්ඡන්නො’ යි කියා වදාළ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තථාගතප්පවේදිතො භික්ඛවෙ ධම්මවිනයො විවටො විරොචති නො පටිච්ඡන්නො’ යි කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. නැවත ද, ‘පාතිමොක්ඛුද්දෙසො කෙවලඤ්ච විනයපිටකං පිහිතං පටිච්ඡන්නං’ යි කියාත් වදාරණ ලද්දේ ය. ඒ බව වනාහි භික්ෂූන් හැර සෙසු සියල්ලන්ට වැද්ද නො දී සීමා කොට වසන ලද්දේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් ප්‍රකාරයකින් ප්‍රාතිමොක්ෂොද්දෙශය සීමා කොට අනුපසම්පන්නයන්ට නො දක්වා වසන ලද්දේ ය. පූර්වතථාගතයන්ගේ වංශය වශයෙනුත් වසන ලද්දේ ය. සද්ධර්මයන්ගේ ගුරු බැවිනුත් පිහිත කරණ ලද්දේ ය. භික්ෂුභූමියගේ මහත් බැවිනුත් ප්‍රතිච්ඡන්න කරණ ලද්දේ ය.
“පුරාණ ගෞතම, දීපංකරාදි පූර්වතථාගතයන්ගේ වංශ වශයෙන් ප්‍රාතිමොක්ෂොද්දෙශය සීමා කොට කෙසේ වසන ලද්දේ ද? යත්:- මහරජානෙනි, පූර්ව සියලු තථාගතයන් වහන්සේලාගේ යම් මේ භික්ෂූන් මධ්‍යයෙහි දෙසන ප්‍රාතිමොක්ෂොද්දෙශයෙක් ඇද් ද, මේ තෙම අනන්ත තථාගතවංශයෙක. අවශෙෂ වූ දිව්‍යමනුෂ්‍යයන්ට නෙ ාදක්වා වසන ලද්දේ ය. මහරජානෙනි, යම් සේ ක්ෂත්‍රියයන්ගේ ක්ෂත්‍රියමායා ක්ෂත්‍රියයන් කෙරෙහි ම පවත්නේ ය. හැසිරෙන්නේ ය. මෙසේ මේ කාරණය ක්ෂත්‍රියයන්ගේ[2] ලොක ප්‍රවෙණයක. අවශෙෂ වූ දිව්‍යමනුෂ්‍යයන්ට නො දක්වා වසන ලද්දේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පූර්වයෙහි වූ සියලු ම තථාගතයන් වහන්සේලාගේ යම් මේ භික්ෂූන් මධ්‍යයෙහි ම දෙසන ප්‍රාතිමොක්ෂොද්දෙශයෙක් ඇද් ද, මේ තෙම අනන්ත වූ බුදුන්ගේ වංශයෙක, සෙසු දිව්‍යමනුෂ්‍යයන්ට නො දක්වා වසන ලද්දේ ය.
“තවද, මහරජානෙනි, යම් සේ මහාපෘථිවියෙහි ජනසමූහයෝ වෙන් වෙන් ව පවතිති. හේ කවරේ ද? යත්:- මල්ලවයෝ ය, අනොණයෝ ය, පබ්බතයෝ ය, ධර්මගිරියෝ ය, බ්‍රහ්මගිරියෝ ය, නාටකයෝ ය, නෘත්‍යකාරයෝ ය, ලංගිකයෝ ය, පිසාචයෝ ය, මණිභද්‍රයෝ ය, (218) පූර්ණභද්‍රයෝ ය, චන්ද්‍රසූර්යභක්තිකයෝ ය, සිරිදෙවතාවෝ ය, කාළි දෙවතාවෝ ය, ශිව නම් ඊශ්වරභක්තිකයෝ ය, වාසුදෙවයෝ ය, ඝනිකයෝ ය, අසිපාසයෝ ය, භද්දියපුත්‍රයෝ ය යනාදි ජනසමූහ කෙනෙක් ඇද් ද, ඔවුනොවුන්ගේ රහස් ඒ ඒ ජනසමූහයා කෙරෙහි ම පවතින්නේ ය. හැසිරෙන්නේ ය. එයින් පිටත් අවශෙෂයන්ට නො දක්වා වසන ලද්දේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පූර්ව වූ සියලු ම තථාගතයන්ගේ යම් මේ භික්ෂුමධ්‍යයෙහි ප්‍රාතිමොක්ෂොද්දෙශයෙක් ඇද් ද, මේ තෙම අනන්ත තථාගතවංශයෙක, අවශෙෂ වූ දිව්‍යමනුෂ්‍යයන්ට නො දක්වා වසන ලද්දේ ය. මෙසේ පූර්වතථාගතයන්ගේ වංශය වශයෙන් ප්‍රාතිමොක්ෂොද්දෙශය සීමා කොට වසන ලද්දේ ය.
“සද්ධර්මයාගේ මහත් බැවින් ප්‍රාතිමොක්ෂොද්දෙශය කෙසේ නම් සීමා කොට වසන ලද්දේ ද? යත්:- මහරජානෙනි, ධර්මයතෙම ඉතා මහත් වන්නේ ය. ඉතා බැරෑරුම් වන්නේ ය. එහි චතුරාර්යමාර්ගය භාවිත කිරීමෙන් සම්මත්තකාරී වූ භික්ෂුතෙම අර්හත්ඵලය සිද්ධ කරන්නේ ය. ඒ භික්ෂුතෙම ඒ ධර්මයෙහි පරම්පරාවෙන් සම්මත්තකාරිත්වයට පැමිණෙන්නේ ය. ඒ භික්ෂුතෙම ඒ ධර්මයෙහි පරම්පරාවෙන් සම්මත්තකාරිත්වයට නො පැමිණියේ වී නම් ‘අහෝ! මේ සාරධර්මය ප්‍රවරධර්මයතෙම ආර්යමාර්ගභාවිතාවක් නැති බැවින් අසම්මත්තකාරී වූ දෘෂ්ටිවාදීන්ගේ හස්ගත ව ලාමක ව දැනීමෙක්, නින්දා ව දැනීමෙක්, නින්දා කිරීමෙක්, බිඳීමෙක්, ගර්හාවෙක් නො වේ ව’ යි කියා ද, මේ ‘සාරධර්මය ප්‍රවරධර්මය දුර්ජනයන් කරා පැමිණ ලාමක ව දැනීමෙක්, නින්දා ව දැනීමෙක්, නින්දා කිරීමෙක්, ධර්මයාගේ භෙදයෙක්, ගර්හා කිරීමෙක් නො වේ ව’ යි කියා ද මෙසේ විනයධර්මයාගේ මහත් බැවින් ප්‍රාතිමොක්ෂොද්දෙශය හා විනයපිටකය භාග්‍යවතුන් වහන්සේ විසින් සීමා කොට අප්‍රකට කොට වසන ලද්දේ ය.
“මහරජානෙනි, ‘යම් සේ සාරවරප්‍රවරාභිජාත වූ ජාතිමත් ලක්ෂයක් අගේ ඇති රත්නප්‍රමාණ වූ රක්තලොහිතසඳුන්හරය සවරපුර නම් වූ චණ්ඩාල නුවරට පැමිණ ඔඤාත වන්නේ ය. අවඥාත වන්නේ ය. හීලිත වන්නේ ය. ඛලිත වන්නේ ය, ගර්හිත වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මේ සාරධර්ම ප්‍රවරධර්මය පරම්පරාවෙන් පමණ නො දන්නා අසම්මත්තකාරීන්ගේ හස්තගත ව ඔඤාත අවඤාත හීළිත ඛිලිත ගර්හිතයෙක් නො වේ ව’ යි කියා ද, ‘මේ සාරධර්මය ප්‍රවරධර්මය දුර්ජනගත වූයේ ඔඤාත අවඤාත හීළිත ඛිලිත ගර්හිතයෙක් නො වේ ව’ යි කියා ද, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ධර්මයාගේ මහත් බැවින් ප්‍රාතිමොක්ෂොද්දෙශය සීමා කොට වසන ලද්දේ ය.
“භික්ෂුභූමියගේ ගරු බැවින් ප්‍රාතිමොක්ෂොද්දෙශය කෙසේ නම් සීමා කොට වසන ලද්දේ ද? යත්:- මහරජානෙනි, භික්ෂුභාවය වනාහි සදෘශ දෙයක් නැති බැවින් අතුල්‍ය වන්නේ ය. ප්‍රමාණ කළ යුතු දෙයක් නැති බැවින් අප්‍රමාණ වන්නේ ය. අගය කළ නො හැකි බැවින් අනර්ඝ වන්නේ ය. ‘මා විසින් මෙබඳු වූ භික්ෂුභාවයෙහි සිටින ලද්දේ ය. ලොකය හා සම සම වේ ය’ යි කියා කිසිවක් කරණ කොට ගෙණ අගය කරන්නට සදෘශ කරන්නට පමණ කරන්නට නො හැකි වන්නේ ය. එහෙයින් භික්ෂූන් වහන්සේගේ අතුරෙහි ම ප්‍රාතිමොක්ෂොද්දෙශය හැසිරෙන්නේ ය.
“මහරජානෙනි, යම් සේ ලොකයෙහි ප්‍රවර උතුම් භාණ්ඩයක් හෝ වස්ත්‍රයක් හෝ ආස්තරයක් හෝ හස්ත්‍යශ්ව රථ ස්වර්ණ රජත මුතු මැණික් ස්ත්‍රී රත්නාදියක් හෝ (219) ජයගෘහිත කෘත්‍ය සුරාපානයක් හෝ ජයග්‍රහණය කරණ ශිල්පකර්මාන්ත ඇති ශූර කෙනෙක් හෝ ඇද් ද? ඒ සියල්ල ම රජුන් කරා පැමිණෙන්නාහ. මහරජානෙනි, එපරිද්දෙන් ම ලොකයෙහි යම් තාක් සුගතාගමපර්යාප්ති ශික්ෂාපදයෙක් ඇද් ද, ආචාර සංයමසීලසංවරගුණයෙක් ඇද් ද, ඒ සියල්ල ම භික්ෂුසංඝයා කරා පැමිණියාහු වෙති. මෙසේ භික්ෂුභූමියගේ ගරු බැවින් ප්‍රාතිමොක්ෂොද්දෙශයතෙම දිව්‍යමනුෂ්‍යයන්ට ආවරණ කිරීමෙන් සීමා කොට ප්‍රතිච්ඡන්න කරණ ලදැ” යි කිසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ වදාළ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
විනයප්‍රතිච්ඡන්න ප්‍රශ්නය නිමි.