මෞද්ගල්‍යාන සෘද්ධිවිභාගප්‍ර‍ශ්නය.

(215) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මාගේ සෘද්ධි ඇත්තා වූ ශ්‍රාවකභික්ෂූන් අතුරෙන් යම් මේ මහාමොග්ගල්ලාන ස්ථවිරයෝ ය යන (යම් කෙනෙක් වෙත් ද) මේ තෙම අග්‍ර‍ ය’ යි කියා මේ එතදග්‍ර‍පාලිය වදාරණ ලද්දේ ය. නැවත ද ඒ මුගලන් මහාථෙරස්වාමීන් වහන්සේ ‘සොරුන් විසින් මුගුරුවලින් පොථිත කරණ ලදු ව බිඳුනු හිස් ඇති ව අස්ථි සුණු ව මස්නහර මර්දිත ව ගර්හා වෙමින් පිරිනිවන් පෑසේකැ’ යි යනු ඇසීමි. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මහමුගලන් තෙරුන් වහන්සේ සෘද්ධියෙහි කෙළ පැමිණිසේක් වී නම්, ඒ කාරණයෙන් ‘සොරුන් විසින් මුගුරුවලින් පොළු බාන ලදු ව පිරිනිවන් පෑසේකැ’ යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් මුගුරුවලින් පොථිත ව පිරිනිවන් පෑසේක් වී නම්, එහෙයින් ‘සෘද්ධියෙහි කෙළ පැමිණිසේකැ’ යි කියන්නා වූ ඒ වචනය බොරු වන්නේ ය. කිමෙක් ද, සෘද්ධ්‍යානුභාවයෙන් තමහට පැමිණියා වූ නැස්ම පහ කර ගන්ට අසමර්ථ කල දෙවියන් සහිත වූ ලොකයාහට පිළිසරණ වන්ට සුදුසු වනසේක් ද? මේ උභතොකොටික ප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානො’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. ආයුෂ්මත් වූ මහාමොග්ගල්ලානස්ථවිරයෝ ද මුගුරු වැද පිරිනිවීසේක. ඒ බව වනාහි ‘කර්මාධිගෘහීත හෙයිනැ’ යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සෘද්ධිමතුන් වහන්සේලාගේ සෘද්ධිවිෂයත් කර්මවිෂයත් දෙක ම අචින්තෙය්‍ය වන්නාහ. එසේ කල අචින්තෙය්‍ය වූ සෘද්ධියෙන් අචින්තෙය්‍ය වූ කර්මය පහ කළ යුතු නො වේ ද? ස්වාමීනි, යම් සේ ඵල කැමැත්තා වූ කිසි කෙනෙක් දිවුල්ගෙඩියෙන් දිවුල්ගෙඩිය පොථනය කෙරෙති. අඹයෙන් අඹය පොථනය කෙරෙති. එපරිද්දෙන් ම ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අචින්තෙය්‍යයෙන් අචින්තෙය්‍යය පොථනය කොට පහ කළ යුත්තේ ය” යි කීහ. “මහරජානෙනි, අචින්තෙය්‍ය වූ ධර්මයන්ගෙන් ද එක ම ධර්මයක් අධික වූ බලතර වන්නේ ය. මහරජානෙනි, යම් සේ පොළෝතලයෙහි සමානජාති ඇත්තා වූ රජදරුවෝ වෙති. සමජාති ඇත්තා වූ ඔවුන් අතුරෙන් එක් කෙනෙක් ම සියල්ලන් ම අභිභවනය කොට ආඥාව පවත්වන්නාහ.[1] මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ අචින්ත්‍ය ධර්මයන්ගෙන් කර්මවිපාකය ම ඉතා අධික වූ බලවත් වන්නේ ය. කර්ම විපාකය ම සියල්ලන් අභිභවනය කොට ආඥා පවත්වන්නේ ය. අකුශල කර්මය අධිගෘහිත වූ කල්හි අවශෙෂකුසලක්‍රියාවෝ අවකාශයක් නො ලබති. මහරජානෙනි, මේ ලොකයෙහි වනාහි කිසියම් පුරුෂයෙක් කිසි යම් කට යුත්තෙක අපරාධයක් කෙළේ වී නම්, ඔහුගේ මෑනියෝ හෝ පියානෝ හෝ නැගනි භාතෘකෙනෙක් හෝ මිත්‍ර‍ යහළුකෙනෙක් හෝ, අසමර්ථ බැවින් රක්ෂා නො කරති. එකල රජ්ජුරුවෝ ම එහි සියල්ලන් අභිභවනය කොට (216) රාජාඥාව පවත්වන්නෝ ය. එහි කාරණා කවරේ ද? යත්:- රාජාපරාධය කළ බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම අචින්තනීය ධර්මයන්ට වඩා කර්මවිපාකය ම අධික වූ බලතර වන්නේ ය. කර්මවිපාකය ම සියල්ල මැඩ පවත්වා ගෙණ ආඥාව පවත්වන්නේ ය. කර්මාධිගෘහීතයාගේ අවශෙෂ වූ කුශලක්‍රියාවෝ අවකාශයක් නො ලබති.

“මහරජානෙනි, යම් සේ මහාපෘථිවියෙහි ලැව්ගින්නක් නැගි කල්හි කළදහසකින් ගෙණෙන ලද ජලය වුවත් ඒ ගින්න නිවන්ට නො හැකි වන්නේ ය. එකල වනාහි වහ්නිය එහි අභිභවනය කොට ආඥාව පවත්වන්නේ ය. එහි කාරණා කිම? යත්:- වහ්නියගේ බලවත් බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ අචින්තනීයධර්මයන් අතුරෙන් කර්ම විපාකය ම අධිකමාත්‍රයෙන් බලතර වන්නේ ය. කර්මවිපාකය ම සියල්ල අභිභවනය කොට ආඥාව පවත්වන්නේ ය. කර්මය අධිපති වූ පුරුෂයාගේ සෙසු කුශලක්‍රියාවෝ අවකාශයක් නො ලබන්නාහු ය.

“මහරජානෙනි, මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ සූවිසි බුදුවරයන් වහන්සේලාට ම පෙණිපෙණී අග්‍ර‍ශ්‍රාවකබොධිය පිණිස පාරමිතාධර්මයන් පූරණය කරණසේක් සසර එක් ජාතියෙක තමන්ගේ දෙයැස් අන්ධ වූ දෙමවුපියන් රක්ෂා කෙරෙමින් වාසය කොට කල් යාමෙන් අඹුව කෙරෙහි සිත් බැඳි කාමයෙන් අන්ධ ව භාර්යාවගේ වචනයෙන් දෙමවුපියන් මරණ උපායක් සොයමින් ‘මිනිසුන් නැති වනයෙහි දී මරමී’ යි සිතා ‘අපගේ ඔබ්බේ ගම්හි නෑයෝ නුඹලා දක්නා කැමැත්තම්හ’ යි කියා එවූහ. එබැවින් නෑයන් දක්නට යම්හ’ යි කියා මහවනයක් මධ්‍යයෙන් යමින් ‘අම්ම, පියානෙනි, මේ මග සොරහු මිනී මරති, සොරුන් එන ලෙසක් මෙන් පෙණෙන්නේ ය’ යි කියා වඤ්චාවෙන් තෙමේ ම දිව ඉවුත් අන්ධ වූ දෙමවුපියන් මුගුරෙන් තළන කල්හි ‘පුතණ්ඩ, සොරු අප මරති, පුතණ්ඩ, සොරු අප මරති, පුතණ්ඩ, තෙපි දිවි රැක ගණුව’ යි කියාකියා මහහඬ තළන කල්හි ද, කිසි කරුණාවක් නො කොට දෙමවුපියන් තලා මරා මහවනයට දමා ගොස් අඹුව හා සිත් සේ වාසය කොට එයින් මිය මහනරකයෙහි වැටී බොහෝ දීර්ඝකාලයක් මුළුල්ලෙහි මහනරක දුක් විඳපියාත් පව් නො ගෙවුනු හෙයින් සියක් ජාතියෙක තැළුම් කා මරණයට පැමිණ පෙර කළ මහපින් ඇති හෙයින් අප බුදුන් සමයෙහි ද්විතීය අග්‍ර‍ශ්‍රාවකතනතුරට පැමිණ සෘද්ධිමතුන් කෙරෙහි අග්‍ර‍ස්ථානාන්තරය ලදින් වසන කල මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් අල්ලස් ගත් සොරු අල්වා ගෙණ මුගුරුවලින් සකලශරීරය තළා පයියක පුරා ලූ සාල් මෙන් අස්ථීන් බිඳ ‘මළාහ’ යි දමා ගියාහු ය. එහෙයින් කර්මාධිගෘහීත වූ මුගුරුවලින් පොථනය වන්නා වූ ආයුෂ්මත් වූ මහමුගලන් තෙරුන් වහන්සේට සෘද්ධියෙන් තමන් ගළවා ගැණීම නො වූයේ ය” යි කීසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ මේ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.

මෞද්ගල්‍යාන සෘද්ධිවිභාග ප්‍ර‍ශ්නය නිමි.

  1. පවත්වන්නේ ය.