“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මම ක්‍රොධ නැත්තෙමි යි උපුටා හැරීමෙන් පහ කරණ ලද පඤ්ච චෙතොඛිලයන් ඇත්තේ වීමි’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද, තථාගතයන් (211) වහන්සේ සියලු ම පිරිස් සහිත වූ ශාරිපුත්‍ර මහමුගලන් තෙර ස්වාමීන් වහන්සේවරුන් පනාමය[1] කර වදාළසේක. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහ්නසේ කිපෙමින් සංඝපිරිස පනාමය කර වදාළසේක් ද? නොහොත් සන්තොස වෙමින් ‘යව’ යි කියා එළවා වදාළසේක් ද? මේ කාරණය ඇති තාක් ම මෙබඳු ය යි කියා දැන් වදාළ මැනැව. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කිපෙමින් සංඝපිරිස පනාමය කර වදාළසේක් වී නම්, ඒ කාරණයෙන් තථාගතයන් වහන්සේ විසින් ක්‍රොධය නො මැඩ පවත්වන ලද්දේ ය. ඉදින් සන්තොෂයෙන් පනාමය කර වදාළසේක් වී නම්, එහෙයින් සංඝයා කෙරෙහි කිසි වරදක් නැති ව අකාරණයෙහි ම කුමකුත් නො දැනීමෙන් පන්නා වදාළසේක. මේ උභතොකොටිකප්‍රශ්නය තෙමේත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඒ ප්‍රශ්නයතෙමේ ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, ධනිය නම් සිටු පුත්‍රතෙම කාශ්‍යප බුදුන්ගේ ශාසනයෙහි විසිදහසක් හවුරුදු පවත්නා සමයෙහි පින් කෙරෙමින් සලාකදාන විස්සක් දෙමින් එයින් චුත ව දෙව්ලොව ඉපද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව්‍යසම්පත් වළඳා අප බුදුන් සමයෙහි දෙවුලොවින් අවුත් වෙදෙහරට සිටුපුත්‍රයෙක් ව ඉපද වැඩිවිය පැමිණ තිස්දහසක් ගවයන් හා විසිදහසක් කිරිදෙනුන් පොෂ්‍ය කෙරෙමින් ජීවිකා කෙරෙයි. ඔහුගේ පුත්‍රයෝ සත් දෙනෙක. දියනියෝ සත්දෙනෙක. යේළිනීහු සත්දෙනෙක. වැඩකරුවෝ නොයෙක් සියදහස්ගණනෙක. එතෙම හෙමන්ත ග්‍රීෂ්මසෘතුද්වයයෙහි ගවයන්ට තෘණොදකය දුර්ලභ බැවින් ගමින් නික් ම ඵාසු තැන් සොයමින් මහාසමුද්‍රය සමීපයෙහි මහී නම් ගංගාව බෙදී ගොස් අන්තරදිවයිනාකාරයෙන් පිහිටා ගියා වූ මහාරම්‍යභූමියෙක නිවාසයක් කොට ගෙණ පිරිවර සහිත ව වාසය කෙරෙයි. එක් දිනෙක පක්ෂීන්[2] වෘක්ෂාග්‍රශාඛායෙහි කැදලි තනන්නා වූ කර්කටකයන් උදක සමීපයෙහි බිලවල් වසා ථල සමීපයෙහි බිල තනා සංචාරණය කරන්නා වූ වර්ෂානිමිත්තලක්ෂණය දැක තමා හුන් අන්තරදීපයෙන් නික්ම මහාමහී නම් ගංගාවගේ පරතීරයෙහි සත්සතියක් මුළුල්ලෙහි වර්ෂා කරණ කල්හිත් උදකයෙන් ඔත්ථරණය නො වන්නා වූ ස්ථානයෙක නිවාසස්ථානය කොට ගෙණ වාසය කෙරෙමින් සියලු ම ගවයන්ට තෘණොදකය සම්පාදනය කරවා පුත්‍රදාර දාසකර්මකරපුරුෂයන්ට නානාප්‍රකාර වූ ඛාද්‍යාභොජ්‍යාදිය පිළියෙල කළ කල්හි සතරදිගින් මෙඝය නඟා වසින්ට වන. සිටු පුත්‍රතෙම සත්විසි දහසක් කිරිදෙනුන්ගෙන් ක්ෂීරදොහනය කරවා තබා, වච්ඡාසාලාවෙහි ගවදරුවන් බන්ධනය කරවා, ගවයන්ට සතර දිගින් දුම් කරවා, සියලු පිරිවර ජනයන්ට බත් අනුභව කරවා, ඒ ඒ තන්හි පහන් දල්වා, තෙමේත් මිහිරි කිරෙන් බත් අනුභව කොට, මහාසයනයකට නැඟී සිට, තමාගේ මහාඓශ්වර්යසම්පත්තිය විමසා බලා, සතුටෙන් පිණා ඒ ඒ අත මෙඝධ්වනි අසා ප්‍රීතියෙන් පිරී සිට, ‘පක්කොදනො දුද්ධඛීරොහමස්මි’ යනාදි ගාථාවෙන් ‘සිද්ධ කරණ ලද බත් ඇත්තෙමි. දෙනුන්ගෙන් කිරි දෙව ගන්නා ලද්දේ වීමි’ යි යනාදීන් උදන් ඇනී ය.
‘එකල සත්සියයක් යොදුනෙන් හෙවත් අටසිය දෙදහසක් ගව්වෙන් ඔබ්බෙහි වූ දෙව්රම්වෙහෙර ශ්‍රී මහාසුගන්ධගන්ධකුටියෙහි වැඩ වසන්නා වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ ඒ (212) ධනියයාගේ උදන් ගාථාව මනුෂ්‍යකණ ඉක්ම සිටියා වූ විශුද්ධ වූ දිව්‍යශ්‍රොත්‍රධාතුවෙන් අසා වදාරමින් බුද්ධඥානයෙන් බලා වදාරා ගවසම්පත්ති ම ධන කොට ඇති බැවින් ධනිය නම් වූ ධනියයා හා ඔහුගේ භාර්යාව ද දැක, ‘මේ දෙදෙන ම කෘතාධිකාර ඇත්තෝ ය. ඉදින් මම ගොස් ඔවුන්ට ධර්ම දෙශනා කෙළෙම් නම්, දෙදෙනා ම සියලු සැපත් හැර මාගේ ශාසනයෙහි මහණ ව රහත් ව අමාමහනිවන් දක්නාහ. ඉදින් නො ගියේ වී නම්, සෙට දවස් මහත් වූ උදකොඝයෙන් මුහුදු බත් ව නස්නාහ’ යි කියා දැක ඒ ක්ෂණයෙහි ම සෘද්ධියෙන්[3] ඔවුන් වසන තැනට අහසින් වැඩ ඔවුන්ගේ ගේ මුදුනෙහි ආකාශයෙහි වැඩ සිටිසේක. සිටුපුත්‍රයා නැවතත් එම ගාථාව ම ගායනා කරන්නේ ය. නිෂ්ඨා නො කරන්නේ ය. එකල සර්වඥ රාජොත්තමයානන් වහන්සේ ‘ධනිය, තෝ ඔදනක්‍රියාවෙන් සතුටු වෙමින් ජීවිතාන්තය දක්වා ධනය සෙවීමෙන් ක්ෂය කිරීමෙන් දුක්ඛයෙහි ම සිට, දුකින් ම සතුටු වන්නෙහි ය. ක්‍රොධීපුද්ගලතෙමේ නව ආඝාතවස්තුවෙන් ක්‍රොධය උපදවමින් හෘදය උණු ව ගෙණ තවන්නේ ය. ඇතැම් කෙනෙක් ඊට වැඩියක් කිපෙමින් මුඛශබ්ද මාත්‍රයක් ම කරන්නේ ය. ඇතැම් කෙනෙක් ඊටත් වඩා කිපී පරුෂවචන කියනු කැමැති ව හනුව සොලවන මාත්‍රයක් ම කරන්නේ ය. සමරෙක් ඊටත් වඩා කිපී පරුෂ වචන කියන්නේ ය. අනිකෙක් ඊටත් වඩා කිපී වෙව්ලවෙව්ලා අනුන් නසන්ට දණ්ඩක් හෝ ශස්ත්‍රයක් හෝ සොයමින් ඒ ඒ අත දිවන්නේ ය. එසේ ම අනිකෙක් කිපී දණ්ඩශස්ත්‍රාදියක් ඇද ගෙණ පනින්නේ ය. එසේ ම අනිකෙක් කිපී දණ්ඩශස්ත්‍රාදිය ගෙණ දිවන්නේ ය. අනිකෙක් බලවතරයෙන් කිපී දෙතුන් පහරක් තළන්නේ ය. අනිකෙක් ක්‍රොධයෙන් මත් ව ගොස් ඥාතිමිත්‍රසුහෘදය්නගේ දිවි නසන්නේ ය. අනිකෙක් ඊට වඩා[4] බලවතරයෙන් කිපී විපිළිසර ව තමාගේත් දිවි නසා ගන්නේ ය. මම එබඳු ක්‍රොධය බුදු වූ දා ම නැසුයෙමි. අක්‍රොධ වීමි. සන්තොස වෙමින් සාන්දෘෂ්ටිකසාම්බරායිකදුඃඛයාගේ අභාවෙන් සතුටු වන්නෙමි. ධනිය, තෝ ‘දොහනය කරණ ලද කිරි ඇත්තේ වීමි’ යි සතුටු වන්නෙහි ය. මම වනාහි ‘පහකරණ ලද පඤ්චචෙතොඛිලයන් ඇත්තේ වීමි’ යි සතුටු වන්නෙමි. යනාදීන් ධනිය සූත්‍රධර්මදෙශනාව කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අක්කොධනො විගතඛිලො හමස්මි’ කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ චාතුමා නම් නුවර ශාක්‍යයන්ගේ ආමලකී නම් උයනෙහි වැඩ වසන කල්හි සැරියුත් මුගලන් දෙදෙනා වහ්නසේ ප්‍රධාන කොට ඇති පන්සියක් දෙනා වහන්සේ බුදුන් දක්නට ආමලකාරාමයට අවුත් නෙවාසිකභික්ෂූන් වහන්සේලා හා සමග සතුටු වෙමින් සෙනාසනවල් පණවමින් පාත්‍රසිවුරු තැන්පත් කරමින් තබන්නාහු උස් වූ ශබ්ද මහාශබ්ද කළාහු ය. සර්වඥයන් වහන්සේ ඒ අසා ‘ආනන්දයෙනි, මච්ඡවිලොපනයෙහි කෙවුළන් සේ උස් වූ මහාශබ්ද කරන්නෝ[5] කවුරු දැ?’ යි විචාරා ‘ස්වාමීනි, ආයුෂ්මත් වූ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ හා ආගන්තුක ව පැමිණියා වූ පන්සියයක් දෙනා වහන්සේට සෙනාසනාදිය පැණවීමෙන් පැවැති ශබ්දය’ යි දැන්වූ කල්හි ‘යව, ආනන්දයෙනි, මාගේ වචනයෙන් සියලු ම සංඝයා කැඳවා ලව’ යි වදාරා අනඳමහතෙරුන් (213) වහන්සේ සංඝයා සන්නිපාත කළ කල්හි ‘කිමෙක් ද, මහණෙනි, තෙපි මත්ස්‍යවීලොපනයෙහි කෙවුළන් සේ උස් වූ ශබ්ද මහාශබ්ද මාගේ සම්මුඛයෙහි ම කරව් ද? ‘ගච්ඡථ භික්ඛවෙ, පනාමෙමි චො, න වො මම සන්තිකෙ වත්ථබ්බං’ යනුවෙන් ‘යව, මහණෙනි, තොප පනාමය කෙරෙමි. තොප විසින් මාගේ සමීපයෙහි නො වැසිය යුතු ය’ යි වදාළ කල්හි බුද්ධතෙජසින් භය ගෙණ සියලු ම සංඝයා වහන්සේ බුදුන් වැඳ පැදකුණු කොට සමු ගෙණ පාත්‍රසිවුරු ධරා ශාක්‍යරජ්ජුරුවන්ගේ සන්ථාගාරශාලව සමීපයෙන් වඩනාසේක. ඒ දැක චාතුමෙය්‍යක නම් ශාක්‍යරජදරුවෝ වහා දිව ගොස් වැඳ වැටී, ‘ස්වාමීනි, බොහෝ දෙනෙකුන් වහන්සේ මේ අවේලාවෙහි කොයි යන ගමනෙක් දෝ හො?’ යි විචාළ කල ‘ඇවැත්නි, ලොවුතුරා බුදුන් විසින් වෙහෙරන් එලවනු ලදුම්හ’ යි වදාළසේක. ‘එසේ වී නම්, ආයුෂ්මතුන් වහන්සේලා මෙහි මදක් කල් වැඩ හුන මැනැව. අපි බ ුදුන් කරා ගොස් පහදවා අභය ගෙණ දෙම්හ’ යි කියා බුදුන් කරා ගොස් වැඳ වැටී දොහොත් නඟා ගෙණ ‘අනේ! ස්වාමීනි, ලොවුතුරා බුදුරජානෙනි, භික්ෂුසංඝයා කෙරෙහි අභිනන්දනය කර වදාළ මැනව. ඉවසා වදාළ මැනැව. ස්වාමීනි, යම් සේ පැන් නො ලබන්නා වූ තරුණ වූ බීජජාතීන්ගේ අන්‍යථාත්වය වේ ද, විනාශය වේ ද? යම් සේ මෑනියන් නො දක්නා තරුණ වූ ගවබිලිඳක්හට අන්‍යථාත්වය වේ ද, විනාශය වේ ද, ස්වාමීනි, එමෙන් මේ ශාසනයෙහි අළුත මහණ වූ දහරභික්ෂූන් වහන්සේවරුත් ඇත. මේ ධර්මවිනයට අළුත පැමිණි මහතෙරුන් වහන්සේවරුත් ඇත. ලොවුතුරා බුදුන් නො දක්නා වූ ඒ ලදරු වූ තරුණු වූ භික්ෂූන් වහන්සේලාට අන්‍යථාත්වය වන්නේ ය. විනාශය වන්නේ ය. එසේ හෙයින්, ස්වාමීනි, භික්ෂුසංඝයා කෙරෙහි අභිනන්දනය කර වදාළ මැනැව’ යි කියා ආරාධනා කර සිටින වේලෙහි සහම්පති මහාබ්‍රහ්මතෙමේත් එපවත් දැක බ්‍රහ්මලොකයෙන් අන්තර්ධාන වෙමින් ක්ෂණයෙකින් අවුත් බුදුන් පෙරටු ව නැමී වැඳ ගෙණ සිට ‘අභිනන්දතු භන්තෙ භගවා භික්ඛුසංඝෙ’ යනාදීන් එසේ ම ආරාධනා කොට සිටියේ ය. එපවත් දිවැසින් බලා සිටි මුගලන්මහතෙරුන් වහන්සේ ‘ආයුෂ්මත්නි, ශාක්‍යයන් හා මහාබ්‍රහ්මයා විසින් අපගේ බුද්ධ සෙවනය පිණිස යාච්ඤා කර සිටින ලද්දේ ය. සර්වඥයන් වහන්සේ ද ඉවසූසේක. ‘බුදුන් දක්නට යම්හ. බුදුන් දක්නට යම්හ’ යි කියකියා ගොස් බුදුන් වැඳ පිරිවරා උන්හ. එකල සර්වඥයන් වහන්සේ ‘ශාරිපුත්‍රයෙනි, මා විසින් භික්ෂුසංඝයා පනාමය කළ කල තොපට කුමන සිතිවිල්ලෙක් වූයේ දැ?’ යි විචාරා ‘ස්වාමීනි, අල්පොත්සාහි ව දෘෂ්ටධර්මසැප විහරණයෙන් යුක්ත ව වසම්හ යි කියා සිතිමි’ යි දැන්වුසේක. එවිට සර්වඥයන් වහන්සේ ‘ආගමෙහි ත්වං සාරිපුත්ත. ආගමෙහි ත්වං සාරිපුත්ත න ඛො තෙ සාරිපුත්ත පුනපි එවං චිත්තං උප්පාදෙතබ්බං’ යනුවෙන් ‘ශාරිපුත්‍රයෙනි, තෙපි හිඳුව. ශාරීපුත්‍රයෙනි, තොප විසින් නැවත මෙබඳු සිතක් නො උපදවාලිය යුත්තේ ය’ යි වදාරා ‘මොග්ගල්ලානයෙනි, තොපට කුමන සිතිවිල්ලෙක් වූයේ දැ?’ යි විචාළසේක. ‘ස්වාමීනි, ලොවුතුරා සර්වඥයන් වහන්සේ සංඝයා හැර දෘෂ්ටධර්මසැපවිහරණයෙන් යුක්ත ව වාසය කරණ සේක. එහෙයින් දැන් මම හෝ ආයුෂ්මත් වූ ශාරීපුත්‍ර ස්ථවිරයානෝ හෝ භික්ෂුසංඝයා පරිහරණය (214) කොට රක්ෂා කරම්හ යි කියා සිතීමි’ යි දැන්නූසේක. ‘සාධු, සාධු, මොග්ගල්ලානයෙනි, තොපි සිතුයේ කල්‍යාණ වූ චෙතනාවෙකැ’ යි යනාදීන් මධ්‍යමනිකායවරයෙහි වූ චාතුමසූත්‍රය වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිවර සහිත වූ සැරියුත් මුගලන් මහාසංඝයා පනාමය ද කරණ ලද්දේත් සැබැව. ඒ නෙරපු කාරණය ද, කිපි සිතකින් නො වන්නේ ය.
“මහරජානෙනි, මේ ලොකයෙහි කිසියම් පුරුෂයෙක්තෙම මහා පෘථිවියෙහි මුලෙක හෝ කණුවෙක හෝ ගලෙක හෝ කැටෙක හෝ විෂම වූ භූමිභාගයෙක හෝ පය වැදී පැකිල වැටෙන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, මහාපෘථිවිය කිපී ඒ පුරුෂයා හෙළන්නී දැ?” යි විචාළ සේක. “නැත, ස්වාමීනි, මහාපෘථිවියගේ කිපීමෙක් හෝ ප්‍රසාදයෙක් හෝ නැත්තේ ය. මහාපෘථිවිතොම ආලය ක්‍රොධය දෙකින් මිදුනා ය. ඒ අලසපුරුෂතෙම තෙමේ ම පය පැකිල වැටුනේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේලාගේ කිපීමෙක් හෝ ප්‍රසාද වීමෙක් හෝ නැත්තේ ය. තථාගත වූ අර්හත්සම්‍යක්සම්බුද්ධ සර්වඥයන් වහන්සේලා අනුනයප්‍රතිඝයෙන් මිදුනුසේක් ලා ය. එහෙයින් ම සංඝයා වහන්සේලා තමන් කරණ ලද්දා වූ තමන්ගේ අපරාධයෙන් ම පනාමය කරණ ලද්දාහු ය.
“තවද, මහරජානෙනි, මේ ලොකයෙහි මහාසමුද්‍රයතෙම මළා වූ කුණපය හා එක් ව නො වසන්නේ ය. මළා වූ යම් කුණපයක් ඇත් නම්, ඒ කුණපය සමුද්‍රයතෙම වහා ම ගොඩ දමන්නේ ය. තලයට නඟන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, මහාසමුද්‍රයතෙම කිපෙමින් ඒ කුණපය ගොඩ දමා දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, මහාසමුද්‍රයාගේ කිපෙන්නා වූ ක්‍රොධයක් හෝ සතුටු වන්නා වූ ප්‍රසාදයෙක් හෝ නැත්තේ ය. මහාසමුද්‍රය තෙම අනුනයප්‍රතිඝයෙන් මිදුනේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේලාගේ කෝපයෙක් හෝ ප්‍රසාදයෙක් හෝ නැත්තේ ය. තථාගත වූ අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහ්නසේලා අනුනයප්‍රතිඝයෙන් මිදුනුසේක් ලා ය. එහෙයින් ඒ සංඝයා වහන්සේලා තමන් විසින් කරණ ලද්දා වූ තමන්ගේ අපරාධයෙන් ම පනාමය කරණු ලද්දාහු ය.
“මහරජානෙනි, යම් සේ පොළොවෙහි ඛලිත වූයේ වැටෙනු ලැබේ ද, එපරිද්දෙන් ම සර්වඥානුශාසනවරයෙහි ඛලිත වූයේ බුදුන් විසින් පනාමය කරණු ලැබෙයි. යම් සේ මහාසමුද්‍රයෙහි මළා වූ කුණපය රැළින් ගොඩ ලනු ලැබේ ද, එපරිද්දෙන් ම සර්වඥශාසනවරයෙහි ඛලිත වූයේ පනාමය කරණු ලැබෙයි. මහරජානෙනි, තථාගතයන් වහන්සේ ‘යම් කාරණයකින් ඒ සංඝයා වහන්සේලා පනාමය කළසේක් ද, ඒ කාරණය මේ ආකාරයෙන් මේ භික්ෂූහු ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයෙන් මිදෙන්නාහු ය’ යි දැක භික්ෂූන්ට වැඩ කැමැත්තා වූ හිත කැමැත්තා වූ සැප කැමැත්තා වූ ක්ලේශශුද්ධිය කැමැත්තා වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ සංඝයා පනාමය කර වදාළසේකැ” යි කීසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹවහන්සේ වදාළ මේ කාරණය එසේ ම පිළිගන්නෙමි” යි ස්තුති කළහ.
සංඝපනාමිත ප්‍රශ්නය නිමි.
සකලජනමනොනන්දනීය වූ මෙණ්ඩකප්‍රශ්න නම් වූ මේ ශ්‍රීසද්ධර්මාදාසයෙහි තෘතීයවර්ගය නිමියේ ය.