“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාරණ කල්හි මේ අචෙතන වූ මහාපෘථිවිතොමෝ මිටිතැන් පිරි සමතලා වන්නී ය.[1] උස්තැන් නැමී සමභූමි වන්නී ය’ යි කියා නුඹ වහන්සේ කියන සේක. නැවත ද, ‘භාග්‍යවතුන් වහ්නසේගේ ශ්‍රීපාදයතෙම ගල්පතුරකින් වදින ලද්දේ ය’ යි කියනසේක. යම් ඒ ගල්පතුරක් බුදුන්ගේ ශ්‍රීපාදයෙහි පතිත වන ලද ද, ඒ ගල්පතුර බුදුන්ගේ ශ්‍රීපාදය කෙරෙන් පහ ව කුමක් පිණිස නො නවත්නා ල්දදේ ද? ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘භගවතො ගච්ඡන්තස්ස අයං අචෙතනා මහාපඨවි නින්නං උන්නමතී, උන්නතං ඔනමතී’ කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘භගවතො පාදො සඛලිකාය ඛතො’ කියා යම් වචනයක් වදාළේ[2] ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘භගවතො පාදො සඛලිකාය ඛතො’ යි කී වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘භගවතො ගච්ඡන්තස්ස අයං අචෙතනා මහාපඨවි නින්නං උන්නමතී, උන්නතං ඔනමතී’ යි කී වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නයත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ විසින් ම ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“සැබෑව, මහරජානෙනි, ‘වැඩම කර වදාරන්නා වූ අප භාග්‍යවතුන් වහන්සේට මේ අචෙතන වූ මහාපෘථිවිය මිටිතැන් පිරී යන්නේ ය. උස් තැන් මිටි වන්නේ ය’ යි කී මේ වචනය ඇත්තෙක් ම ය. (205) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි ගල්පතුරක් වදින ලද්දේ ය. ඒ ගල්පතුර තමාගේ ස්වභාවයෙන් ඉබේ ම නො වැටෙන ලද්දේ ය. දෙවදත්තයාගේ උපක්‍රමයෙන් වැටෙන ලද්දේ ය. මහරජානෙනි, දෙවදත්තයෝ බොහෝ ජාතිසියදහස්ගණන් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෛර බැඳ ගෙණ ආවාහ. එසේ හෙයින් ඒ දෙවදත්තයෝ ඒ වෛරයෙන් කූටාගාරයක් ප්‍රමාණ මහගලක් ‘භාග්‍යවතුන් වහන්සේගේ හිස මත්තෙහි හෙළමි’ යි සිතා අද්දා හෙළුහ. එකල භාග්‍යවතුන් වහ්නසේගේ කුශලමහිමයෙයන් මහාපර්වතයෝ දෙදෙනෙක් පෘථිවියෙන් විසිරියනක් පමණ උස් ව නැඟී ඒ මහගල දෙඅතින් ඇල්ලූ කලක් මෙන් පිළිගත්තාහු ය. එකල ඔවුන්ගේ වැද ගැණීමෙන්් මතු ගලින් ගල්පතුරක් බිඳී ඉගිල යම් ඒ කොයි අතක වත් වැටෙන්නා වූ ගල් පතුර භාග්‍යවතුන් වහ්නසේගේ ශ්‍රීපාදයෙහි වැටෙන ලද්දේ ය” යි කීසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ප්‍රකාරයකින් ම ඒ පර්වතයෝ දෙදෙන උඩින් එන ගල පිළිගත්තාහු ද, එපරිද්දෙන් ම ගල්පතුරෙක් පිළිගන්ට නපුරු දැ?” යි කීහ. “මහරජානෙනි, මේ ලොකයෙහි පිළිගන්නා ලද්දා වූත් ඇතැම් දෙයක් පග්ඝරණය වන්නේ ය. ඉතිරි වාහින්නේ ය. අස්ථානයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, යම් සේ දෙඅතින් ගන්නා ලද පෑන් ඇඟිලි අතුරෙන් පග්ඝරණය වන්නේ ය. වාහින්නේ ය. අස්ථානයට පැමිණෙන්නේ ය. තව ද අතින් ගන්නා ලද කිරිමෝරු මීපැණි ගිතෙල් තලතෙල් මත්ස්‍ය ඉස්ම මාංස ඉස්ම ඇඟිලි අතුරෙන් පග්ඝරණය වන්නේ ය. වාහින්නේ ය. යථාස්ථානයෙහි නො සිට නැමෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ගල පිළිගන්නා පිණිස පැමිණියා වූ පර්වතයන් දෙදෙනාගේ වැද ගත් පහරින් ගලේ ගල්පතුරක් ඉගිළ යම් ඒ තැනෙක කොතන වත් වැටෙන්නා වූ ගල්පතුර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි වැටුනේ ය.
“තවද, මහරජානෙනි, යම් සේ මෘදු සියුම් වූ ක්ෂුද්‍රරජස් සම වැලි මිටින් ගත් කල්හි ඇඟිලි අතුරෙන් නැමෙන්නේ ය. ප්‍රස්‍රවණ වන්නේ ය. යථාස්ථානයෙහි නො සිටින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ගල පිළිගන්නා පිණිස සම ව ගියා වූ පර්වතයන් දෙදෙනාගේ සම්ප්‍රහාරයෙන් ගලින් පතුරක් බිඳී යම් තැනෙක්හි හෝ එතැන්හි හෝ වැටෙන්නා වූ පපටිකාතොම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි වැටෙන ලද්දී ය. තවද, මහරජානෙනි, යම් සේ මුඛයෙන් ගන්නා ලද්දා වූ බත්පිඩ මේ ලොකයෙහි ඇතැම් කෙනෙකුන්ගේ මුඛයෙන් මිදී වැගිරෙන්නේ ය. වාහින්නේ ය, බත්හුළු වැටෙන්නේ ය, යථාස්ථානයට ම පැමිණ නො සිටින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ගල පිළිගන්ට සම ව යන්නා වූ පර්වතයන් දෙදෙනාගේ සම්ප්‍රහාරයෙන් පාසාණයෙන් ගල් පතුරක් බිඳී යම් අතක වැටෙන්නා වූ ගල්පතුර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි වැටුනේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහ්නස, ඒ එසේ ම වේවා. පර්වතයන් දෙදෙනා විසින් වැටෙන ගල පිළිගන්නා ලද්දේ වේවා. නැවත ගල්පතුර විසිනුත් ඛාණුකණ්ටකකඨලාදි උපද්‍රව පහ කොට සමභූමි වන මහාපෘථිවිය යම් සේ ද, එමෙන් අපචිති කටයුතු[3] නො වේ දැ?” යි කීහ.
“මහරජානෙනි, දොළොස් දෙනෙක් අපචිතියක් නො කරති. ඒ දොළොස් දෙන කවරු[4] ද? යත්:- රාගයෙන් රත් වූ පුරුෂතෙම නිරන්තරයෙන් රාගස්වාදය කරණ වශයෙන් (206) අපචිති නම් පූජාසත්කාරයක් තුණුරුවන් කෙරෙහි නො කරන්නේ ය. ද්වේෂයෙන් දූෂිත වූ පුරුෂ තෙම තමාගේ ද්වේෂය කරණ කොට ගෙණ පූජාසත්කාර නො කරන්නේ ය. මොහයෙන් මුළා වූ පුරුෂතෙම තමාගේ නුනුවණ වශයෙන් පූජාසත්කාර නො කරන්නේ ය. උඩඟු වූ පුරුෂතෙම මාන වශයෙන් හා නිර්ගුණිකපුරුෂතෙම කිසි විශෙෂතාවක් නො දන්නා බැවින් හා නඟුලිස ගිලපු පිඹුරකු මෙන් මහතුන්ගේ අවවාදයට නො නැමෙන ඉතා දැඩි පුරුෂතෙම නො මැඩෙන බැවින් හා, හීනයා තමාගේ හීනස්වභාව බැවින් හා, කීවාක් කරන්ට හැදී සිටින වචනකරයා තමාගේ අප්‍රමාණික බැවින් හා, ලාමකයා තමාගේ කදරිය බැවින් හා, දුකට පත් වූ තැනැත්තේ දුක්ඛිත බැවින් හා, ලොභීපුරුෂතෙම ලොභයෙන් මැඩ පවත්නා බැවින් පූජාසත්කාරයක් නො කරන්නේ ය. ආයූහිතයා ඥාතිමිත්‍රයන්ට අර්ථ සාධනයෙන් පූජාසත්කාරයක් රත්නත්‍රයෙහි නො කරන්නේ ය. මහරජානෙනි, මෙකී දොළොස්දෙන අපචිතියක් නො කරන්නාහු ය. ඒ ගල්පතුරු තොම ද ගල් ප්‍රහාරයෙන් බිඳී අනිමිත්තකෘත දිශා ගමන් ඇති ව යම් තැනෙක හෝ වැටෙමින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපතුලෙහි පතිත වූ ය.
“තවද, මහරජානෙනි, යම් සේ මෘදු සියුම් ක්ෂුද්‍රරජස් වාතබලයෙන් මඩනා ලද්දේ අනිමිත්තකෘතදිශා ගමන් ඇති ව යම් තැනක හෝ එතැන්හි හෝ විසිර යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ ගල්පතුර පාෂාණ ප්‍රහාරයෙන් බිඳී ‘මේ දිසාවට එමි’ යි කියා නියම නො කළ අනිමිත්තකෘතදිශා ඇති ව යම් තැනෙක හෝ ඒ තැන්හි හෝ වැටෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි පතිත වූ ය. මහරජානෙනි, ඉදින් ඒ ගල්පතුර තොම උඩින් වැටුනු ගල කෙරෙන් වෙන් නො වූවා නම් බුදුන් ඇඟට නිය ම එකවිට ම ආවා නම්, ඒ පර්වතයෝ දෙදෙන ඒ ගල්පතුරක් උඩ පැන අල්වා ගන්නාහු ය. මුඛයට ගත් බත් පිඩින් හුළක් වැටුනු කලක් මෙන් සිලාඝට්ටනයෙන් ගල්පතුරක් සරස වෙන් ව පලා ගියේ ය. මහරජානෙනි, ඒ ගල්පතුර භූමියෙහි සිට ගියෙත් නො වෙයි. අහස්හි සිට ආයෙත් නො වෙයි. අන්තරයෙහි ශීලාසම්ප්‍රහාරවෙගයෙන් බිඳී අනිමිත්තකෘතදිශා ගමන් ඇති ව යම් අතක හෝ ඒ අතක හෝ වැටෙමින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි පතිත වූ ය.
තව ද, මහරජානෙනි, යම් සේ වාතමණ්ඩලයෙන් නඟා ගත් පරඬලා පත්‍රය අනිමිත්තකෘත දිශා ගමන් ඇති ව යම් දිසාවක හෝ එතැන්හි හෝ වැටෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ ගල්පතුර ගල් සම්ප්‍රහාර වෙගයෙන් ම අනිමිත්තකෘතදිශා ගමන් ඇති ව යම් තැනක හෝ එතැන්හි හෝ වැටෙන්නී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි පතිත වූ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් මහාඅකෘතඥ වූ අනාර්ය වූ ලාමක වූ අසත්පුරුෂ වූ දෙවදත්තයාහට මඳකින් නො හැර කල්පයක් මුළුල්ලෙහි අවීචියෙහි හෙළා කප්ලක්ෂයක්[5] මුළුල්ලෙහි සතර අපායෙහි මහදුක් අනුභව කරණු පිණිස ඒ ගල්පතුරුතොම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි පතිත වූ ය” යි වදාළසේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ වදාළ කාරණය මමත් එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
පපටිකාපතිත ප්‍රශ්නය නිමි.