“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, තෙපි තථාගතයාගේ ශරීරපූජාව පිණිස ව්‍යාපෘත නොවවු’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. නැවත ‘පූජනීයයාගේ ඒ ධාතු යථාශක්තීන් පූජාසත්කාර කරවු. මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මේ මිනිස්ලොවින් ස්වර්ගලොකයට යන්නාහ’ යි කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් ‘අව්‍යාවටා තුම්හෙ ආනන්ද හොථ තථාගතස්ස සරීරපූජාය’ යි කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘පූජෙථ නං පූජනීයස්ස ධාතුං, එවංකරා සග්ගමිතො ගමිස්සථ’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘පූජෙථ නං පූජනීයස්ස ධාතුං, එවංකරා සග්ගමිතො ගමිස්සථ’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘අව්‍යාවටා තුම්හෙ ආනන්ද, හොථ තථාගතස්ස සරීරපූජාය’ යි කියා වදාළ ඒ වචනය බොරු වන්නේ ය. මේත් උභතොකොටිකප්‍රශ්නයෙක. නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නය නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අව්‍යාවටා තුම්හෙ ආනන්ද, හොථ තථාගතස්ස සරීරපූජාය’ යන මේ කාරණයත් වදාරණ ලද්දේ ය. නැවත ද ‘පූජෙථ නං පූජනීයස්ස ධාතුං, එවංකරා සග්ගමිතො ගමිස්සථ’ යි යන මේ කාරණයත් වදාරණ ලද්දේ ම ය. ඒ වදාළ කාරණය වනාහි ‘අව්‍යාවටා තුම්හෙ ආනන්ද, හොථ තථාගතස්ස සරීරපූජාය’ යි කියා මෙසේ සියලු ම ජිනපුත්‍රයන් අරභයා නො වදාරණ ලද්දේ ය. මහරජානෙනි, සර්වඥරාජොත්තමයානන් වහන්සේ එම පිරිනිවන් සමයෙහි අනඳ මහතෙරුන් වහන්සේට:-
‘අව්‍යාවටා තුම්හෙ ආනන්ද, හොථ තථාගතස්ස සරීර පූජාය, ඉඞ්ඝ තුම්හෙ ආනන්‍ද, සදත්‍ථෙ ඝටත. සදත්‍ථමනුයුඤ්ජථ සදත්‍ථෙ අප්පමත්තා ආතාපිනො පහීතත්තා විහරථ. සන්තා නන්‍ද, ඛත්තියපණ්ඩිතා‘පි බ්‍රාහ්මණපණ්ඩිතා‘පි ගහපති පණ්ඩිතා‘පි තථාගතෙ අභිප්පසන්තා, තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්ති.’
යනුවෙන් ‘ආනන්දයෙනි, තෙපි තථාගතයාගේ ශරීරපූජාව පිණිස ව්‍යාපෘත නො වවු. ආනන්දයෙනි, තෙපි උතුම් වූ අර්හත්ඵලයෙහි ව්‍යායාම කරවු. එම අර්හත්ඵලය උපදවාලීමට නො හැර ම වීර්ය කරවු. තමන්ගේ ස්වකීය වූ උතුම් නිර්වාණාර්ථ සිද්ධියෙහි අප්‍රමාද ව කෙලෙසුන් නසන වීර්යයෙන් (203) යුක්ත ව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වාසය කරවු. ආනන්දයෙනි, තථාගත වූ මා කෙරෙහි අභිප්‍රසන්න වූ රාජපණ්ඩිතවරුන් ඇත. බ්‍රාහ්මණපණ්ඩිතවරුත් ඇත. ගෘහපතිපණ්ඩිතවරුත් ඇත. ඒ ගෘහස්ථපණ්ඩිතවරු තථාගත වූ මාගේ ශරීරධාතු පූජා කෙරෙති’ යි කියා භික්ෂූන් ප්‍රතිපත්තිපූජායෙහි යොදා ගෘහස්ථයන් ආමිෂ පූජායෙහි යොදා වදාළසේක.
“මහරජානෙනි, යම් මේ ආමිසපූජාවක් ඇද් ද, මේ තෙම වනාහි සර්වඥපුත්‍රයන් විසින් කට යුතු කර්මයෙක් නො වන්නේ ය. සර්වසංස්කාරයන් අනිත්‍යවශයෙන් සම්මර්ශනය කිරීම ද, යොනිසොමනස්කාරය ද, සතරසතිපට්ඨානුපස්සනා කෙනෙක් ඇද් ද, අනිත්‍යාදි ආරම්මණයෙහි සාරග්‍රහණයෙක් ඇද් ද, ක්ලෙශයන් හා යුද්ධයක් ඇද් ද, අර්හත්ඵලයෙහි යෙදීමෙක් ඇද් ද, මේ තෙම ජිනපුත්‍රයන් විසින් කට යුතු දෙය නම් වන්නේ ය. අවශෙෂ වූ දිව්‍යමනුෂ්‍යයන් විසින් ආමිසපූජා කට යුතු වන්නේ ය. මහරජානෙනි, යම් සේ මහාපෘථිවියෙහි රජදරුවන් විසින් හස්තිශිල්පය, අශ්වශිල්ප ය, රථශිල්ප ය, ඛඞ්ගශිල්ප ය, ධනුශ්ශිල්ප ය, අක්ෂරලිඛිත ය, ඇඟිල්ල අල්ලා කියන සාමුද්‍රිකාශිල්ප ය, ක්ෂත්‍රිය[1] මායම් දන්නා ක්ෂත්‍රියමන්ත්‍ර ය, ශ්‍රැතිශාස්ත්‍ර ය, ස්මෘතිශාස්ත්‍ර ය, යුද්ධප්‍රයොග ක්‍රියාව ය (යන මෙය) කට යුතු වන්නේ ය. අවශෙෂ වූ බොහෝ ගෘහපතිශුද්‍රයන් විසින් කෘෂිවණික් ගව රක්ෂා කට යුතු වන්නේ ය.
“මහරජානෙනි, එපරිද්දෙන් ම යම් මේ ආමිසපූජාවෙක් ඇද් ද ජිනපුත්‍රයන් විසින් මේ තෙම කට යුතු දෙයක් නො වන්නේ ය සංස්කාරයන් සම්මර්ශනය කිරීම ද, යොනිසොමනස්කාරය ද සතර සතිපට්ඨාන දර්ශනය ද අරමුණෙහි සාරග්‍රහණය ද කිලෙසයුද්ධය ද නිර්වාණාර්ථයෙහි යෙදීම ද යන මේ තෙම සර්වඥපුත්‍රයන් විසින් කට යුතු වන්නේ ය. අවශෙෂ වූ දිව්‍යමනුෂ්‍යයන් විසින් සෙසු පූජා කට යුතු වන්නේ ය.
“මහරජානෙනි, යම් සේ බ්‍රාහ්මණමාණවකයන් විසින් සෘග්වෙදය යජුර්වෙදය සාමවෙදය අථර්වන් නම් ඉන්ද්‍රජාලවිද්‍යාය[2] මෙබඳු ලක්ෂණයෙන් සමන්විත වූයේ රජ වන්නේ ය, යනාදීන් කියන ලක්ෂණශාස්ත්‍රය ද භාරතරාමායණාදි පුරාණකථාව ද, වෘක්ෂාදීන්ගේ නම් කියන[3] නිඝණ්ඩු ශාස්ත්‍රය ද, වර්ණපාදබන්ධන පදාර්ථාදියෙන් සර්වාකාරනිර්මල වූ කෙටුභ නම් ප්‍රබන්ධ කරණ ශාස්ත්‍රය ද, මූර්ධජඔෂ්ඨජාදී විසින් අක්ෂරයන්ගේ ස්ථාන කරණ නිර්වචනභාවයෙන් අක්ෂරප්‍රභෙදය ද, නාමාඛ්‍යාතොපසර්ගනිපාතය යන චතුර්විධ පදය ද, ඒ ඒ ශබ්දාර්ථයන් ප්‍රකාශ කරන්නා වූ ව්‍යාකරණ ශාස්ත්‍රය ද, අර්ථකථනමාර්ගය දෝ හෝ නොහොත් භාෂ්‍ය මාර්ග නම්[4] ශාස්ත්‍රය ද, සෙණ ගැසීම් ආදිය දැක ‘මෙබඳු ඉෂ්ටානිෂ්ටයෙක් ඇතැ’ යි කියන්නා වූ උත්පාතිකශාස්ත්‍රය ද, ස්වප්නයන්ගේ ඉෂ්ටානිෂ්ට කියන්නා වූ ස්වප්නමාලාශාස්ත්‍රය ද, ඒ ඒ කාර්ය පරීක්ෂා කොට බලා කියන්නා වූ නිමිතිශාස්ත්‍රය ද, ෂඩ්විධ වූ වෙදාංගශාස්ත්‍රය ද, චන්ද්‍රග්‍රහණය ද, සූර්යග්‍රහණය ද, ශුක්‍රරාහුචරිතය ද, ග්‍රහතාරකායුද්ධ ද, අසනිපාත වශයෙන් ආකාශයෙහි ශුෂ්ක වලාහක ගර්ජනා කෙරෙමින් යන දෙවදුන්හිස්සරය ද, චන්දුසූර්යාදීන්ගේ රාශි ගමන දෝ හෝ නොහොත් අවක්‍රාන්තිය ද, ආකාශයෙන් ගිනිසිළු වැටීම් වශයෙන් පවත්නා උල්කාපාතය ද, පෘථිවි කම්පාව ද, වහ්නිශිඛාවෙන් දික් දාහය ද, භූම්‍යන්තරීක්ෂයෙහි දොෂ පරීක්ෂා කොට (204) ගෘහවස්තුශුද්ධිය කියන්නා වූ භූම්‍යන්තරීක්ෂශාස්ත්‍රය ද, ගණිතාඛ්‍ය වූ ජ්‍යොතිශ්ශාස්ත්‍රය ද, ලොකායතික නම් තර්කය ද, සාවක්‍ර නම් ශාස්ත්‍රය ද, මෘගචක්‍ර නම් ශාස්ත්‍රය ද, අන්තරචක්‍ර නම් ශාස්ත්‍රය ද, මිශ්‍රකොත්ථාශාස්ත්‍රය ද, පක්ෂීන්ගේ හැඬීම් ශබ්ද අසා ඵලාඵල කියන ශාස්ත්‍රය ද යන මෙකී ශික්ෂාවෝ කට යුත්තාහු ය. බොහෝ වෛශ්‍ය ශුද්‍රයන් විසින් කෘෂිවණික් ගව රක්ෂා කට යුත්තාහු ය.
“මහරජානෙනි, එපරිද්දෙන් ම සර්වඥපුත්‍රයන් විසින් යම් මේ ආමිස පූජා කිරීමෙක් ද ඇද් ද, මේ තෙම කට යුත්තෙක් නො වන්නේ ය. සර්ව සංස්කාරයන් කෙරෙහි සම්මර්ශනය යොනිසොමනස්කාරයෙන් පැවැත්ම ද කායානුපස්සනාදි සතරසතිපට්ඨානය දැකීම ද, අරමුණෙහි සාරග්‍රහණය ද, තත් තත් මාර්ගයෙන් ක්ලෙශයන් නැසීම් වශයෙන් කරණ ක්ලෙශ යුද්ධය ද, අර්හත්ඵලයෙහි යෙදීම ද යන මේ ප්‍රතිපත්තිපූජාව සර්වඥ පුත්‍රයන් විසින් කට යුතු වන්නේ ය. අවශෙෂ වූ දිව්‍යමනුෂ්‍යයන් විසින් ආමිසපූජා කට යුතු වන්නේ ය.
“මහරජානෙනි, එහෙයින් අප බුදුරජානන් වහ්නසේ ‘මාගේ මේ ශ්‍රාවකයෝ අකර්මයෙහි නො යෙදෙත්ව’ යි ‘මාගේ මේ ශ්‍රාවකයෝ කට යුතු කර්මයෙහි ම යෙදෙත්ව’ යි කියා කරුණා කර වදාරමින් ‘අව්‍යාවටා තුම්හෙ ආනන්ද, හොථ තථාගතස්ස, සරීරපූජාය’ යි කියා මේ පාළිය වදාළසේක. මහරජානෙනි, ඉදින් අප තථාගතයන් වහන්සේ මේ කාරණය මෙසේ නො වදාළසේක් නම් පස්වාදහසක් හවුරුදු මුළුල්ලෙහි භික්ෂූහු තමතමන්ගේ පාත්‍රසිවුරුත් පූජා පිණිස ගෙණ බුද්ධපූජාව ම කරන්නාහු ය” යි කීසේක. “යහපත ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ කාරණය වදාළ නිසා යම් පරිද්දෙකින් ද එපරිද්දෙන් ම පිළිගන්නෙමි” කීහ.
ආමිසපූජාප්‍රතික්ෂෙපප්‍රශ්නය නිමි.