චුන්‍ද භත්ත ප්‍ර‍ශ්නය

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ථමධර්මසංගීතිකාරක මහාථෙරස්වාමීන් වහන්සේලා අතුරෙන්:-

“චුන්‍දස්ස භත්තං භුඤ්ජිත්‍වා-කම්මාරස්සාතී මෙ සුතං,

ආබාධං සමඵුසී බුද්ධො-පබාළහං මාරණන්තිකං”

යන ගාථාවෙන් ‘සර්වඥයන් වහන්සේ චුන්ද නම් කර්මාරපුත්‍ර‍යාගේ බත වළඳා බලවත් වූ මාරණාන්තික වූ ආබාධය ස්පර්ශ කළසේකැ’ යි කියා මා විසින් අසන ලද්දේ ය. යන මේ අර්ථය ආනන්දස්ථවිර ස්වාමීන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැත ද, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, සම වූ සමඵල ඇති සමවිපාක ඇති මේ පිණ්ඩපාතදෙදෙන අනික් පිණ්ඩපාතදානයන්ට වඩා ඉතා මහත්ඵලතර ද වන්නේ ය. මහානිසංසතර ද වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, චුන්දයාගේ බත වළඳා වදාළා වූ භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර වූ ආබාධය උපන්නේ වී නම්, මරණාසන්න වූ බලවත් වේදනාව පැවැත්තේ වී නම්, ඒ කාරණයෙන් ‘ද්වෙ මෙ පිණ්ඩපාතා සමා සමඵලා (197) සමවීපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා චෙව මහානිසංසතරා චා ති’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘ද්වෙ ‘මෙ පිණ්ඩපාතා සමා සමථලා සමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා චෙව මහානිසංසතරා වා ති’ කියා වදාළ වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘භගවතො චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරො ආබාධො උප්පන්හො, බාළ්හා වෙදනා පවත්නා මාරණන්තිකා’ යි කියා වදාළ ඒ වචනය බොරු වන්නේ ය. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ පිණ්ඩපාතයතෙම බුදුන්ගේ දිවි නසන විෂයක් මෙන් විෂ ගත බැවින් මහත්ඵල වී ද? රොගුප්පාදක බැවින් මහත්ඵල වී ද? බුදුන්ගේ ආයුෂ විනාශ කළ බැවින් මහත්ඵල වී ද? බුදුන්ගේ ජීවිතය නැසූ බැවින් මහත්ඵල වී ද? එහි මට අන්‍යදෘෂ්ටීන්ට නිග්‍ර‍හ කරණු පිණිස කාරණයක් වදාළ මැනැව. මේ අර්ථයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ රසලොභයෙන් පමණ නො දැන ඉතා බොහෝ කොට වැළඳූ බැවින් අජීර්ණ ව ලොහිතපක්ඛන්දිකාබාධය උපන්නේ ය’ යි කියා ලෝවැසි තෙම ඉතා මුළාබවට පැමිණියේ ය. මේත් මිහිරි වූ අර්ථරස ඇති පණ්ඩිත ගොචර වූ උභතොකොටික ප්‍ර‍ශ්නයෙක. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, ධර්මසංගීතිකාරක මහාථෙර ස්වාමීන් වහන්සේ විසින්:-

“චුන්‍දස්ස භත්තං භුඤ්ජිත්‍වා-කම්මාරස්සාති මෙ සුතං,

ආබාධං සම්ඵුසී බුද්ධො-පබාළහං මාරණන්තිකං”

යන ගාථායෙන් මේ අර්ථය වදාරණ ලද්දේ ය. අප භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිනිවන් මංගල්‍යයට කුසිනාරානුවරට වඩනාසේක් නෛකකොටි සහස්‍ර‍ගණන් භික්ෂූන් වහන්සේ පිරිවරා පාවා නම් නුවරට වැඩ චුන්ද නම් කර්මාරපුත්‍ර‍යාගේ අඹඋයන්හි ලැගුම් ගත්සේක. එකල චුන්ද නම් කර්මාර පුත්‍රතෙම සතුටින් පිණා දිව අවුත් වැඳ වැතිර බුදුන්ට ප්‍ර‍මුඛ වූ නොයෙක් දහස්ගණන් භික්ෂූන් වහන්සේට ආරාධනා කොට ගොස් තමාගේ නිවෙසනයෙහි ආහාරසූපාදිය සම්පාදනය කරවමින් තරුණ වූ හූරුමසක් ලදින් ‘මෙයින් බුදුන් වළඳවමි’[1] යි සිතා තෙමේ ම සකස් කොට පිසන්ට පටන් ගත. එකල සකලලොකවාසී වූ දෙවතාවේ ‘අනේ! අප බුදුරජානන් වහන්සේ සුජාතා නම් සිටු දුවනියන් විසින් දුන් කිරිබත වළඳා ලොවුතුරා බුදු ව පන්සාළිස්හවුරුද්දක් මුළුල්ලෙහි අපට ධර්මදෙශනා කර වදාළසේක. අද වූ කලී චුන්දයාගේ හූරුමස වළඳා පිරිනිවන් පා වදාරණසේක. ලොවුතුරා සර්වඥයන් වහන්සේ කෙනෙකුන්ගේ ලොකයෙහි පහළ වීම කල්පඅසංඛ්‍යයකිනුදු දුර්ලභ වන්නේ ය’ යි සිතා සතරමහදිවයින ඇති තාක් දිව්‍යමයරසඔජස් ගෙණ එක ම හූරුමසෙහි බහාලූහ. කර්මාරපුත්‍ර‍ තෙමේත් දෙවෙනි දවස් සපිරිවර බුදුන් වඩා හිඳුවා වළඳවා ලී ය.

“සර්වඥයන් වහන්සේ චුන්දයා ප්‍ර‍මුඛ වූ දිව්‍යමනුෂ්‍යයන්ට දානකථාදියෙන් ධර්මදෙශනා කොට ‘ආනන්දයෙනි, කුසිනාරා නුවරට යම්හ’ යි නැඟී සිට නිර්මලතර අනන්ත වූ තාරකාසමූහය පිරිවරා ගමන් ගත් අනන්තශොභාරංජිතචන්ද්‍ර‍මණ්ඩලය සේ ගණන පථය අතික්‍රාන්ත වූ ශ්‍ර‍මණසමූහයා (198) පිරිවරා කුසිනාරා නුවර කරා වඩනට පටන් ගත්සේක. එකල සර්වඥ අතුල්‍ය වූ සිවුමැලි ශරීරයෙහි චන්ද්‍ර‍යාගේ හූරු මාංසය නිධාන ගත වූ කාරණයෙන් ලොහිතපක්ඛන්දිකා නම් රොගය හට ගෙණ මරණාසන්න ව වෙදනාව ඉතා බලවත් වී ය. සර්වඥයන් වහන්සේ සිහිනුවණින් යෙදී ඒ වේදනාව ධ්‍යානබලයෙන් මැඩ පවත්වා ගෙණ වඩනාසේක් මාර්ගයෙන් ඉවත් ව එක්තරා රුකක් මුලට වැඩ ‘ආනන්දයෙනි, ක්ලාන්ත වීමි. හිඳිනා කැමැත්තෙමි. සඟළසිවුර සතර ගුණ කොට අතුරව’ වි වදාරා මඳක් කල් එහි වැඩහිඳ ‘ආනන්දයෙනි, පිපාසිතයෙමි. පැන් වළඳනු කැමැත්තෙමි’ යි පැන් ගෙන්වා වළඳා වදාරා එයින් නික්ම වඩනාසේක් පුක්කුස නම් මල්ල පුත්‍ර‍යාහට ධර්මදෙශනා කොට සරණ සිල් ගන්වා ඔහු පිදූ ශෘංගීස්වර්ණවර්ණ වස්ත්‍ර‍යුගලය හැඳ පෙරෙවගෙණ කකුත්ථා නම් ගංගාවට වැඩ පැන් සනහා වදාරමින් චීවර ශරීරාලොකයෙන් දෙගංභිත්ති ස්වර්ණවර්ණ කෙරෙමින් ඊට නුදුරු වූ ආම්‍රොද්‍යානයට වැඩ ආනන්ද නම් තෙරුන් කැඳවා ‘ආනන්දයෙනි, ක්ලාන්ත වීමි. සයනය කරණු කැමැත්තෙමි. වහා චතුර්ගුණ කොට සඟළ සිවුර අතුරව’ යි වදාරා පණවන ලද සිවුර මත්තෙහි සිහි නුවණින් යෙදී සිංහශය්‍යාවෙන් වැද හොත් සේක.

“මෙසේ ස්වභාවබලයෙන් කෙළදහසක් ඇතුන්ගේ බල ධරන්නා වූ මාගේ සර්වඥරාජොත්තමයානන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරයෙහි රොගය හට ගත් වේලෙහි පටන් ශ්‍රීපාදද්වන්දද්වය නගා යා නො හැකි ව මහත් වූ ශරීරායාසයෙන් වඩනාසේක්, යෞවන මදමත්ත ජනයන්ගේ යෞවනමදයට නින්දාකරන්නා සේ, සංසාරයෙහි ඇලුම් කරණ සත්වයන්ට සංසාරදොෂය දක්වන්නා සේ, සියලු සත්වයන්ට ජාති ජරා ව්‍යාධි මරණ දුක් දක්වන්නා සේ, ඇසුවන්ගේ සිත් කම්පා කරවමින්, දුටුවන්ගේ ඇස් කඳුළු ගන්වමින්, සිතූවන්ගේ සිත් ශොක කරවමින්, තුන්ලෝවාසීන්ට සංසාරදුක් තෝරවමින්, ‘ආනන්දයෙනි, ක්ලාන්ත වීමි, ආනන්දයෙනි, පිපාසිතයෙමි. ආනන්දයෙනි, පැන් වළඳනු කැමැත්තෙමි. ආනන්දයෙනි, වැද හෝනා කැමැත්තෙමි’ යි වදාරවදාරා තුන්ගවු පමණ දුර මාර්ගයෙහි පස්විසි තැනෙක වැඩ හිඳහිඳ මහත් වූ ශරීරායාසයෙන් වඩනාසේක්, කුසිනාරා නුවරට නුදුරු වූ අම්‍රොද්‍යානයට වැඩ ‘ආනන්දයෙනි, චුන්දයාහට යම් කිසිවෙක් චුන්දය, තා දුන් දානය වළඳා බුදුරජානන් වහන්සේ පිරිනිවන් පා වදාළසේක. තොපට වූයේ මහත් අලාභයෙකැ’ යි කියා කුකුස් උපදවා ලූයේ වී නම්, ‘ආනන්දයෙනි, තෙපි මෙසෙයින් චුන්දයාගේ කුකුස් සන්සිඳුවාලව. ඇවැත්නි, චුන්දයෙනි, තොපට වූයේ මහත් ලාභයෙක. ඇවැත්නි, චුන්දයෙනි, අප ලොවුතුරා බුදුන්ගේ සම්මුඛයෙන් ම අසන ලද්දේ ය. සම්මුඛයෙන් ම පිළිගන්නා ලද්දේ ය. ආනන්දයෙනි, සම වූ සමඵල ඇත්තා වූ සමවිපාක ඇත්තා වූ අනින් පිණ්ඩපාතදානයන්ට වඩා ඉතා මහත්ඵලතර වූ, මහානිසංසතර වූ මේ පිණ්ඩපාතයෝ දෙදෙනෙක් වෙති. ඒ පිණ්ඩපාතද්වය කවරේ ද? තථාගතයන් වහන්සේ සුජාතාවන් දුන් යම් පිණ්ඩපාතයක් වළඳා අනුත්තර වූ සම්‍යක්සම්බොධිය අවබොධකර වදාළසේක් ද, චුන්දයා දුන් යම් පිණ්ඩපාතයක් වළඳා අනුපාදිශෙෂ වූ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පානාසේක් ද, මේ පිණ්ඩපාතායෝ දෙදෙන එක සම වූහ. සම ඵල වූහ. සමවිපාක වූහ. සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵලතර ද, මහානිසංසතර ද වන්නාහ.[2] (199) ආයුෂ්මත් වූ චුන්ද නම් කර්මාර පුත්‍ර‍යා විසින් ආයුසංවත්තනික වූ කුසලකර්මයක් රැස් කරණ ලද්දේ ය. වර්ණ සැප යස සංවත්තනික වූ ස්වර්ගසංවත්තනික වූ ආධිපත්‍ය[3] සංවත්තනික වූ කුශලකර්මයක් රැස් කරණ ලද්දේ ය’ යි කියා, ආනන්දයෙනි, චුන්දයාගේ කුකුස් සන්හිඳුවා ලව’ යි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ම ය. ඒ පිණ්ඩපාතය වනාහි බොහෝ වූ ගුණ ඇත්තේ ය. අනෙකානිසංස ඇත්තේ ය.

“මහරජානෙනි, සන්තොෂ වූ ප්‍ර‍සන්න වූ සිත් ඇති දෙවතාවෝ ‘මේ අප භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වූ පිණ්ඩපාතයෙකැ’යි සිතා දිව්‍යමය වූ රසඔජස් ගෙණ සූකරමද්දව නම් ඒ තරුණ වූ ඌරුමාංසයෙහි බහාලූහ. ඒ මස වනාහි මනා ව විපාක වූයේ ය. මෘදු වූ විපාක වූයේ ය. මනොඥ වූයේ ය. බොහෝ රස ඇත්තේ ය. ජඨරාග්නිතෙජො ධාතුවට හිත වූයේ ය. මහරජානෙනි, ඒ මාංසය වළඳා වදාළ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේට නො උපන්නා වූ කිසි රොගයක් නො උපන්නේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ ක්ෂීණ වූ ආයුසංස්කාරය ඇති ප්‍ර‍කෘතියෙන් ම දුර්වල වූ ශරීරයෙහි උපන්නා වූ රොගය බොහෝ සෙයින් ම වැඩුනේ ය. මහරජානෙනි, යම් සේ ප්‍ර‍කෘතියෙන් ම ඇවිළ දිලියෙන්නා වූ ගින්නෙහි වෙනින් ගිනිපෙනෙලි දුන් කල්හි බොහෝ සෙයින් ම ගිනි ගෙණ ඇවිළෙන්නේ ම ය. මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍ර‍කෘතියෙන් ම ක්ෂීණ වූ ආයුසංස්කාර ඇති දුර්වල වූ ශරීරයෙහි උපන් රොගය බොහෝ සෙයින් ම වැඩුනේ ය. තවද, මහරජානෙනි, යම් සේ නිති වැහෙන්නා වූ ප්‍ර‍කෘති වූ උදකශ්‍රොතය මහාමෙඝය වර්ෂා කරණ කල්හි බොහෝ සෙයින් මහොඝය වූ උදකවාහකය වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍ර‍කෘතියෙන් ම ක්ෂීණායුස්සංස්කාරය ඇති දුර්වල වූ ශරීරයෙහි උපන්නා වූ රොගයතෙම බොහෝ සෙයින් ම වැඩුනේ ය.

“තවද, මහරජානෙනි, යම් සේ ප්‍ර‍කෘතියෙන් ම පිරුණා වූ ආහාර ධාතු කුක්ෂිය[4] අන්‍ය ආහාරයක් වැළඳූ කල්හි බොහෝ සෙයින් ම නො දිරා වළකින්නේ ය. මහරජානෙනි, ඒ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහ්නසේගේ ප්‍ර‍කෘතියෙන් ම දුර්වල වූ ගෙවුනු ආයුසංස්කාරය ඇති ශරීරයෙහි උපන් රොගයතෙම බොහෝ සෙයින් ම වැඩුනේ ය. මහරජානෙනි, එහෙයින් ඒ පිණ්ඩපාතයෙහි දොෂයෙක් නැත්තේ ය. ඒ පිණ්ඩපාතයට දොෂය ආරොපණය කරන්ට නො හැකි වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් ඒ පිණ්ඩපාතයෝ දෙදෙන එකසම වූ ද? සමඵල වූ ද? සමවිපාක වූ ද? සෙසු පිණ්ඩපාතයන්ට වඩා ඉතා මහත්ඵලතර වෙද් ද? මහානිසංසතර වෙද් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඒ පිණ්ඩපාතයෝ දෙදෙන ධර්මානුමාර්ජන සමාපත්ති වශයෙන් එකසම වූහ. සමඵල වූහ. සමවිපාක වූහ. සෙසු පිණ්ඩපාත දානයන්ට වඩා ඉතා මහත්ඵලතර වූහ. මහානිසංසතර වූහ” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර ධර්මකෙනෙකුන්ගේ අනුමාර්ජනසමාපත්ති වශයෙන් ඒ පිණ්ඩපාතයෝ දෙදෙන එක සම වූ ද? සමඵල වූ ද? සමවිපාක වූ ද? සෙසු පිණ්ඩපාතයන්ට වඩා ඉතා මහත් ඵලතර වූ ද? මහානිසංසතර වූ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ (200) වහන්සේ එදවස් සවස් වේලෙහි ඒ ආම්‍රොද්‍යානයෙන් නික්ම හිරණ්‍යවතී නම් ගඟෙන් එතෙර කුසිනාරාවෙහි[5] ශාලොද්‍යානයට වැඩ උද්‍යාන ක්‍රීඩාවට ගෙණා මල්ලරජුන්ගේ ශ්‍රී යහනක් දැක ‘ආනන්දයෙනි, ක්ලාන්ත වීමි, සයනය කරණු කැමැත්තෙමි. වහා මට ශාලවෘක්ෂයන් දෙදෙනා අතුරෙහි උත්තර ශීර්ෂ කොට ශ්‍රීයහන පණවව’ යි වදාරා පණවන ලද ශ්‍රීයහන් මස්තකයෙහි උතුරට හිස ලා නැවැත නැඟී නො සිටින පරිද්දෙන් සිහිනුවණින් යෙදී දක්ෂිණපාර්ශවයෙන් සිංහශය්‍යාවෙන් දසදහසක්සක්වළ දිව්‍යබ්‍ර‍හ්මයන් විසින් නිති පුදන පූජාවෙන් යුක්ත ව වැදහොත් සේක. මෙසේ වැඩහිඳ ‘ආනන්දයෙනි, මල්ලරජුන්ට කථා නො කොට නිවන්පුර ගියෙම් නම්, මල්ල රජදරුවෝ, ‘අනේ! අප බුදුරජානන් වහන්සේ අපගේ ග්‍රාමක්ෂෙත්‍රයෙහි දී ම පිරිනිවන් පා වදාළ සේක. අහෝ! අන්තිම කාලයෙහි දෑස් පුරා බුදුන් දක්නට නො ලදුම්හ. අප කරා වැඩි බුදුන්ගෙන් දහම් අසාපියන්ටත් නො ලදුම්හ. සිත් සකසා වැඳපියන්ටත් නො ලදුම්හ’ යි මහාශොකී වෙති. එබැවින් මා ආ පවත් මල්ලරජුන් කරා ගොස් කියව’ යි වදාළසේක. ‘යහපත, ස්වාමීන් වහන්සැ’ යි කියා ආනන්ද ථෙරස්වාමීන් වහන්සේ මල්ල රජුන්ගේ සන්ථාගාරශාලාවට ගොස් ‘පින්වත් වූ වාසෙට්ඨවරුනි, අප බුදුරජානන් වහන්සේ දැන් තොපගේ සල්උයනෙහි වැඩ වසනසේක. අද අලුයම්හි පිරිනිවන් පා වදාරණසේක. ‘අහෝ! බුදුරජානන් වහන්සේ අපගේ ගම් දොර දී පිරිනිවන් පා වදාළසේක. ‘අහෝ! අන්තිමකාලයෙහි බුදුන් දැක බණ අසාපියන්ට නො ලදුම්හ’ යි පශ්චාත්තාප නො වී වහා ගොස් අප බුදුන් දකිත්වා’ යි වදාළසේක. එපවත් ඇසූ සැටදහසක් පමණ මල්ලරජදරුවෝ ද ඒ තාක් බිසෝවරුන් හා කුමාරවරු ද, යේළිනී කුමාරිකාවරු ද:-

“අඝාවීනො දුම්මතා චෙතොදුක්ඛසම්ප්පිතා අප්පෙකචෙව කෙසෙ පකිරිය කන්‍න්ති, බාහා පග්ගය්හ කන්‍දන්ති, ඡින්න පපාතං පපතන්ති, ආවට්ටෙන්ති, විවට්ටෙන්ති, අතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතො පරිනිබ්බායිස්සති. අතිඛිප්පං චක්ඛුං ලොකෙ අන්තරධායිස්සතී’ති.”

යනාදීන් උපන්නා වූ මහදුක් ඇති ව දොම්නස් ඇති ව චිත්තදුක්ඛයෙන් සමප්පිත ව ‘අනේ අප භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ ඉතා කඩිනමින් පිරිනිවන් පා වදාරණසේක. අහෝ! අප සුගත තථාගතයන් වහන්සේ ඉතා කඩිනමින් පිරිනිවන් පා වදාරණසේක. අහෝ! ලොකයෙහි අප සියල්ලන් ගේ දුක් බලන්නා වූ බුදුඇස ඉතා කඩිනමින් අන්තර්ධාන වන්නේ ය’ යි කියකියා සමහර කෙනෙක් හිසකෙස් විසුරුවා[6] ගෙණ හඬන්නාහ. සමහර කෙනෙක් හිස අත බැඳ ගෙණ හඬන්නාහ. සමහර කෙනෙක් ඡින්නවෘක්ෂපතනාකාරයෙන් ඒ ඒ අතට නැමිනැමී හඬන්නාහ. සමහර කෙනෙක් හඬා වැටී පෙරළී එමින් ආවර්තනය වන්නාහ. ඒ ඒ අතට පෙරළිපෙරළී යමින් විවර්තනය වන්නාහ. මෙසේ අනෙක ශොකාතුර ව හඬා වැලප ආනන්දස්ථවිර දර්ශනප්‍රීතියෙන් සිහි උපදවා ගෙණ නැඟී සිට මහාශොකයෙන් හඬහඬා බුදුන් කරා ගොස් බුද්ධදර්ශනයට විෂය වන තාක් තන්හි වැතිර සිට ගත්තාහ. ඔවුන්ට ධර්මදෙශනා (201) කිරීමෙන් ශොක තුනී කොට සමු දෙමින් සුභද්‍ර‍ නම් පරිබ්‍රාජකයා විනයනය කොට රහත් කරවා මහාසුදර්ශනසූත්‍ර‍ය දෙශනා කොට දසදහසක් සක්වළින් අවුත් රැස් වූ දිව්‍යබ්‍ර‍හ්මාදීන්ට ධර්මදෙශනා කොට ශක්‍රදෙවෙන්ද්‍ර‍යාහට ශක්‍රදෙවෙන්ද්‍ර‍ය යි වදාරා:-

“පතිට්ඨස්සති දෙවින්‍ද-ලඞ්කායං මම සාසනං,

තස්මා සපරිවාරං තං-රක්ඛ ලඞ්කඤ්ච සාධුකං.

විජයො ලාළවිසයා-සීහබාහුනරින්‍දජො,

එකො ලඞ්කමනුප්පත්තො-සත්තාමච්චසතානුයො” යී

යනාදීන් ‘එම්බා! ශක්‍රදෙවෙන්ද්‍රයෙනි, මාගේ ත්‍රිවිධ වූ ශාසනය මෙහි ශ්‍රී ලංකාද්වීපයෙහි සුස්ථිර ව පිහිටයි. සිංහබාහු නම් නරෙන්ද්‍ර‍යාගේ පුත්‍ර‍ වූ විජය නම් එක් රාජකුමාරයෙක් ලාඩ දේශයෙන් සත්සියයක් අමාත්‍ය යොධයන් ගෙණ ශ්‍රී ලංකාද්වීපයට පැමිණ මනුෂ්‍යවාස කෙරෙයි. එබැවින් පිරිවර සහිත වූ ඒ රාජකුමාරයා හා ලංකාශාසනය යහපත් කොට රක්ෂා කරව’ යි කියා ලංකාරජුන් හා ශාසනය ශක්‍රදෙවෙන්ද්‍ර‍යාහට භාර කොට අලුයම්වේලෙහි සංඝයාට ආමන්ත්‍ර‍ණය කොට ‘මහණෙනි, මා විසින් පන්සාළිස්හවුරුද්දක් මුළුල්ලෙහි කී ධර්මයෙහි තොපට සැකයක් ඇත් නම්, බුදුන්ගෙන් අසාපියන්ට නො ලදුම්හ’ යි කියා ශොක නො කොට මාගෙන් ඇසුව මැනැව. එසේත් භය ඇතියා නම් ඔවුනොවුන් හා සමග කථා කළ මැනැවැ’ යි වදාරා එබඳු සැකයක් නැති බැවින් තූෂ්ණීම්භූත ව හුන් සංඝයා බලා ‘භන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, වයධම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ’ යි යනුවෙන් එසේ වී නම්, ‘මම නිවන්පුර යන්නෙමි. තොපට ආමන්ත්‍ර‍ණය කරන්නෙමි. සර්වසංස්කාර ධර්මයෝ ව්‍යයස්වභාව වූහ. ත්‍රිවිධශික්ෂාව අප්‍ර‍මාදයෙන් සම්පාදනය කරව්’ කියා අප්‍ර‍මාදපදයෙන් අවවාද කොට නවමහාඅනුපූර්වවිහාරසමාපත්ති සංඛ්‍යාත වූ ප්‍ර‍ථමධ්‍යානය ද්විතීයධ්‍යානය තෘතීයධ්‍යානය චතුර්ථධ්‍යානය අරූපධ්‍යානසතර ය සංඥාවෙදයිතනිරොධසමාපත්තිය යන මේ සූවිසි කෙළලක්ෂයක් පමණ ප්‍රභෙද ඇති නවවිධ වූ අනුපූර්වවිහාරසමාපත්තීන්ට නො වරදවා ම අනුලොමප්‍ර‍තිලොම වශයෙන් සමවැද වදාළසේක.

“මහරජානෙනි, නවවිධ වූ අනුපූර්වවිහාරසමාපත්තීන්ගේ අනුලොම ප්‍ර‍තිලොම සමවැදීම් වශයෙන් ඒ පිණ්ඩපාතයෝ දෙදෙන සම වූහ. සම ඵල වූහ. සමවිපාක වූහ. අනික් පිණ්ඩපාතයන්ට වඩා ඉතා මහත්ඵලතර ද වූහ. මහානිසංසතර ද වූහ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ලොවුතුරා බුද්ධරාජ්‍යයට පැමිණ වදාළා වූ ද, පිරිනිවන් පා වදාළ වූ ද දෙදවස්හි ම අධිකමාත්‍ර‍ ව තථාගතයන් වහන්සේ නවානුපූර්වවිහාර සමාපත්ති අනුලොමප්‍ර‍තිලොම වශයෙන්[7] සමවැද වදාළසේක් දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි,” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉතා ආශ්චර්ය ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉතා අද්භූත ය, මේ අප බුදුන්ගේ බුද්ධක්ෂෙත්‍රයෙහි අසදෘශ වූ පරම වූ යම් අසදෘශදානයෙක් ඇද් ද, ඒ අසදෘශදානයත් මේ පිණ්ඩපාතද්වය හා සදෘශ බවට නො ගණින ලද්දේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉතා (202) ආශ්චර්ය ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉතා අද්භූත ය. යම් තාක් නවමහාඅනුපූර්වවිහාරසමාපත්තීන් යම් තෙනෙක්හි නම්, ඒ තාක් නවානුපූර්වවිහාරසමාපත්ති වශයෙන් චුන්දයාගේ දානය මහත් ඵලතර වන්නේ ය. මහානිසංසතර වන්නේ ය. සාධු, සාධු, ස්වාමීනි නාගසෙනයන් වහන්ස, මෙසේ මේ වදාළ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.

චුන්දභත්තප්‍ර‍ශ්නය නිමි.

  1. වළඳමි

  2. වන්නේ ය

  3. ආධිප්‍ර‍ත්‍යය

  4. කුක්ෂිතොම

  5. කුසිනාරාවන්ගේ

  6. විසිර

  7. අනුලොම ප්‍ර‍තිලොමයට