අචෙතනවෘක්‍ෂප්‍ර‍ශ්නය

star_outline

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් පලාසජාතකයෙහි:-

“අචෙතනං බ්‍රාහ්මණ අසුන්නතං,

ජාතො අජානන්තං ඉමං පලාසං,

ආරද්ධවිරියො ධුවං අප්පමත්තො,

සුඛසෙය්‍යං පුච්ඡසි කිස්ස හෙතු.”

යන ගාථාවෙන් කැලෑවෘක්ෂයෙහි වෘක්ෂදෙවතා ව උපන් බොධිසත්වයන් තමන් වසන කෑලවෘක්ෂය සකසා සරසා උදය සැපසෙය්‍යාව විචාරමින් නිති පුදන දුගීබ්‍රාහ්මණයකුහට ‘බ්‍රාහ්මණය කිසි චෙතනාවක් නැත්තා වූ කිසිවක් නො අසන්නා වූ කිසිවක් නො දන්නා වූ මේ පලාසවෘක්ෂය අතින් නො දනිමින් ම අප්‍ර‍මාද ව පටන් ගන්නා ලද වීර්යයෙන් යුක්ත ව කවර නම් අර්ථයක් පිණිස අත්‍යර්ථයෙන් සැපසෙය්‍යාව විචාරන්නෙහි දැ?’ යි යන මේ කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද-

“ඉති එන්‍දනරුක්ඛොපි-තාවදෙවජ්ඣභාසථ,

මය්හම්පි වචනං අත්‍ථි-භාරද්වාජ සුණොහි මෙ.”

යන මේ ගාථාවෙන් එන්දනජාතකයෙහි කාලසිංහයාගේ වචනයෙන් කෝන්වෘක්ෂය කපන්ට ආවා වූ භාරද්වාර නම් වඩුබ්‍රාහ්මණයාහට එවේලෙහි ම කෝන්වෘක්ෂය තෙමේත් ‘භාරද්වාජයෙනි, මාගේ වචනයක් ඇත. මාගේ වචනය අසව’ යි මෙසේ කීයේ ය යි කියා වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වෘක්ෂයතෙම සිත් නැත්තේ වී නම්, එහෙයින් එන්‍දනවෘක්ෂය භාරද්වාජබ්‍රාහ්මණයා හා සග කථා කරණ ලදැ යි කී යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ස්වාමීනි, එන්දනවෘක්ෂයතෙම භාරද්වාරබ්‍රාහ්මණයා සමග කථා කරණ ලද්දේ සැබෑ වී නම්, එහෙයින් වෘක්ෂයතෙම අචෙතනය යි කී වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඒ ප්‍ර‍ශ්නය ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රුක්ඛො අචෙතනො’ කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. ‘එන්දන වෘක්ෂය භාරද්වාජ බ්‍රාහ්මණයා හා සමග කථා කරණ ලදැ’ යි කියාත් වදාරණ ලද්දේ ය. ඒ වචනය වනාහි ලොකව්‍යවහාරයෙන් වදාරණ ලද්දේ ය. මහරජානෙනි, අචෙතන වූ වෘක්ෂයාගේ කථාවෙක් නම් නැත්තේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් වෘක්ෂය යි කියා ඒ වෘක්ෂයෙහි අධිගෘහිත වූ දෙවතාවාහට මේ පර්යායවචනයෙක. ‘වෘක්ෂය කථා කරන්නේ ය’ යි යන මේ වචනය ලොකව්‍යවහාරයෙක. මහරජානෙනි, යම් සේ ධාන්‍යයෙන් පුරවන ලද ගැල ‘ධාන්‍ය ගැල ය’ යි කියා ලෝවැසිතෙම ව්‍යවහාර කරන්නේ ය. ඒ ගැල ධාන්‍යමය ගැලක් නො වන්නේ ය. වෘක්ෂමය (196) ගැල නම් වන්නේ ය. ඒ දාරුමයගැලෙහි ධාන්‍ය[1] පුරවන ලද බැවින් ධාන්‍ය ගැල ය යි කියා ලෝවැසි ජනතෙම කියන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වෘක්‍ෂය තෙම කථා නො කරන්නේ ය. වෘක්ෂය සිත් නැත්තේ ය. ඒ වෘක්ෂයෙහි වනාහි අධිගෘහිත වූ යම් දෙවතාවෙක් ඇද් ද, වෘක්ෂය යි කියා ඒ දෙවතාවාහට මේ පර්යාය වචනයෙක. ‘වෘක්ෂය තෙම කථා කරන්නේ ය’ යි යන මේ කථාතොම ලොක ප්‍ර‍ඥප්තියෙක. මහරජානෙනි, යම් සේ ‘දීකිරි මථනය කෙරෙමින් මෝරු මථනය කරන්නෙමි’ යි කියන්නේ ය. යමක් ඒ පුරුෂතෙම මථනය කෙරෙමින් මෝරු මථනය කෙරෙමි යි කියන්නේ ද ඒ මථනය කළ දෙය මෝරු නො වන්නේ ය. දී ම ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වෘක්ෂයතෙම කථා නො කරන්නේ ය. ඒ වෘක්ෂයතෙම අචෙතන ය. ඒ වෘක්ෂයෙහි වනාහි අධිගෘහිත වූ යම් දෙවතාවෙක් ඇද් ද, ‘ඒ වෘක්ෂය’ යි කියා ඒ දෙවතාවාහට මේ පර්යායවචනයෙක. වෘක්ෂය තෙම කථා කරන්නේ ය යි කියා මෝ තොමෝ ලොක ව්‍යවහාරයෙක. තවද මහරජානෙනි, යම් සේ අවිද්‍යමාන වූ දෙයක් සාදනු කැමැත්තා වූ පුරුෂතෙම ‘නැත්තක් සාදමි’ යි කියන්නේ ය. අසිද්ධයක් සිද්ධ ය යි කියන්නේ ය. මෙසේ කියන්නා වූ කථාතොම ලොකව්‍යවහාරසංඥාවෙක. මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ වෘක්ෂයතෙම නො ම කථා කරන්නේ ය. වෘක්ෂය සිතක් නැත්තේ ය. ඒ වෘක්ෂයෙහි වනාහි අධිගෘහිත වූ යම් දෙවතාවෙක් ඇද් ද, ‘වෘක්ෂය’ යි කියා ඒ දෙවතාවාහට මේ පර්යාය වචනයෙක. ‘වෘක්ෂය කථා කරන්නේ ය’ යි මෝ තොමෝ ලොක ව්‍යවහාරයෙක. මහරජානෙනි, යම් ලොකප්‍ර‍ඥප්තියකින් ලෝවැසිතෙම ව්‍යවහාර කෙරේ ද අප තථාගතයන් වහන්සේත් ඒ ලොකව්‍යවහාරයෙන් ම සත්වයන්ට ධර්මදෙශනා කර වදාරණ සේකැ” යි කීසේක. “සාධු, සාධු, ස්වාමීනි නාගසෙනයන් වහන්ස. ඒ මේ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.

අචෙතනවෘක්ෂප්‍ර‍ශ්නය නිමි.

  1. ධාන්‍යයෙන්