“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සද්ධර්මසෙනාධිපති වූ ශාරිපුත්‍ර ස්ථවිර ස්වාමීන් වහන්සේ විසින් ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ පිරිසිදු වූ වාක්සමාචාර ඇතිසේක. තථාගතයන් වහන්සේ ‘මාගේ මේ වාග්දුශ්චරිතය අන්‍යසත්වතෙම නො දනීව’ යි කියා යම් වචීසමාචාරයක් රක්ෂා කරන්නේ වී නම්, එබඳු වාග්දුශ්චරිතයක් තථාගතයන් වහන්සේගේ නැතැ’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද, එම තථාගතයන් වහන්සේ කලන්දකපුත්‍ර නම් සුදින්න තෙරුන් වහන්සේගේ අපරාධයෙහි ප්‍රථමපාරාජිකාව පණවා වදාරමින් පරුෂවචන වූ මොඝපුරුෂවාදයෙන් වදාළසේක. මොඝපුරුෂවාදය කරණ කොට ගෙණ කලන්දක තෙරුන් වහන්සේ මහත් වූ නින්දාවට පැමිණියේ ය. භය ව විප්පටිසාර ව ආර්ය මාර්ගය ප්‍රතිවෙධය කරන්ට නො හැකි වූ සේක. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘පරිසුද්ධවචීසමාචාරො ආවුසො තථාගතො. නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං’ කියා වදාළ වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘ථෙරස්ස සුදින්නස්ස කලන්දකපුත්තස්ස අපරාධෙ මොඝ පුරිසවාදෙන සමුදාචිණ්ණං’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “ථෙරස්ස සුදින්නස්ස කලන්දකපුත්තස්ස අපරාධෙ මොඝපුරිසවාදෙන සමුදා චිණ්ණං’ යි කියා වදාළ වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘පරිසුද්ධ වචීසමාචාරො ආවුසො තථාගතො නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං’ යි කියා වදාළ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, සද්ධර්මසෙනාධිපති වූ ශාරිපුත්‍ර ස්ථවිර ස්වාමින් වහන්සේ විසින් ‘පරිසුද්ධවචීසමාචාරො ආවුසො තථාගතො, නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං යං තථාගතො රක්ඛෙය්‍ය මා මෙ ඉදං පරො අඤ්ඤාසි’ යි යන මේ කාරණයත් වදාරණ ලද්දේ ය. ආයුෂ්මත් වූ සුදින්න නම් නම් කලන්දක පුත්‍රයානන්ගේ අපරාධයෙහි පාරාජිකාව පණවන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තුච්ඡපුරිසවාදයෙන් වදාරණ ලද්දේ ය. ඒ වදාළ බව දුෂ්ට සිතකිනුත් නො වන්නේ ය. උපද්‍රව කරණ සිතකිනුත් නො වන්නේ ය. ස්වභාවලක්ෂණයෙන් ම එහි වදාළ කිසිවෙක් ඇත් නම්, ඒ ස්වභාව ලක්ෂණ ම ය. මහරජානෙනි, යම් පුරුෂයෙකුට මේ ඉහාත්ම භාවයෙහි දී චතුස්සත්‍යාවබොධ නො වේ නම්, ඔහුගේ පුරුෂත්වය සිස් වන්නේ ය. අනිකක් කරණු ලබන්නේ අනිකෙක් පැමිණෙන්නේ ය. ඒ කාරණයෙන් මොඝපුරුෂය යි කියන ලද්දේ ය. මහරජානෙනි, මේ කාරණයෙන් ද භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් වූ සුදින්න නම් කලන්දක පුත්‍ර තෙරුන් වහන්සේට ස්වභාව වූ වචනයෙක් වදාරණ (194) ලද්දේ ය. අභූතවාදයකින් කී වචනයක් නො වන්නේ ය” යි කීසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඇති වූ ස්වභාව දෙයකට වුවත් යමෙක් ආක්‍රොශ කෙරෙමින් අනුන්ට ආක්‍රොශ කරන්නේ වී නම්, ඕහට අපි කහවණුවක් පමණ දඩ කරම්හ. ඒ ආක්‍රොශ කරණ පුද්ගලතෙම කාරණයක් පිණිස වෙන් වූ වචන ව්‍යවහාරයෙකින් හැසිරෙමින් ආක්‍රොශ කරන්නේ වී නම් අපරාධය ම ය” යි කීහ. “මහරජානෙනි, යම් කිසි අපරාධයක් කළ පුරුෂයෙකුහට එතැන්හි ම පසඟ පිහිටුවා වැඳීමෙක් හෝ දැක ආසනයෙන් නැඟී සිටීමෙක් හෝ සත්කාර කිරීමෙක් හෝ උපාසනානුප්‍රදානයක් හෝ කළ බවක් තොප විසින් අසන ලද්දේ ඇද් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහ්නස, යම් කිසිවෙකින් යම් කිසිවෙක්හි අපරාධික පුරුෂතෙම බැණීම් ඇසීමට සුදුසු වන්නේ ය. තර්ජනයට සුදුසු වන්නේ ය. ඔහුගේ උත්තමාංගයත් කපා හරිති. හිංසාත් කෙරෙති. පිටිතොල හයා බඳිති. දිවි නසිති. ධන හානියෙන් නිර්ධනික කෙරෙති” යි කීහ.
“මහරජානෙනි, එහෙයින් භාග්‍යවතුන් වහ්නසේ විසින් නො සරුප් ක්‍රියාවෙහි ම නිග්‍රහ කරණ ලද්දේ ය. අක්‍රියායෙක්හි නිග්‍රහයක් නො කළ සේකැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ක්‍රියාවක් වුවත් කරන්නාහු විසින් සුදුසු වූ දෙයකින් ම කට යුත්තේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුසුදුසු වචන ශ්‍රවණයෙන් තථාගතයන් වහන්සේට දෙවියන් සහිත වූ ලෝවැසිතෙම භය වන්නේ ය. ලජ්ජා වන්නේ ය. දැකීමෙන් ද, එළඹීමෙන් ද, ආශ්‍රය කිරීමෙන් ද, ඊටත් වඩා බොහෝ සෙයින් ම භය වන්නේ ය. ලජ්ජා වන්නේ ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, චිකිත්සාකාරතෙම දොස් කුපිත ව සකලශරීරයෙහි ව්‍යාප්ත වූ කල්හි ස්නෙහනීය වූ මෘදුබෙහෙත් දෙන්නේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහ්නස, නිරොග කරණු කැමැත්තා වූ වෛද්‍යතෙම රොගීහට තීක්ෂ්ණ වූ ලෙඛනීය වූ බෙහෙත් දෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ සකල ක්ලෙශව්‍යාධිය ව්‍යපශමනය පිණින අනුශාසනා නමැති බෙහෙත් දෙනසේක.
“මහරජානෙනි, තථාගතයන් වහන්සේ පරුෂවචනය වුවත් සත්වයන්ට ස්නෙහය කරන්නේ ය. මෘදු කරන්නේ ය. මහරජානෙනි, යම් සේ උෂ්ණ උදකය ස්නෙහනීය වූ යම් කිසිවක් තෙත් කරන්නේ ය. මෘදු කරන්නේ ය. එපරිද්දෙන් ම මහරජානෙනි, තථාගතයන් වහන්සේගේ පරුෂවචනය කරුණා සහගත වූ අර්ථවත් වන්නේ ය. මහරජානෙනි, යම් සේ පිතෘවචනය පුත්‍රයන්ට කරුණාසහගත වූ අර්ථවත් වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේගේ පරුෂවචනය වුවත් කරුණාසහගත වූ අර්ථවත් වන්නේ ය. මහරජානෙනි, තථාගතයන් වහන්සේගේ පරුෂවචනය සත්වයන්ගේ ක්ලෙශප්‍රහාණය කරණ සුලු වන්නේ ය. මහරජානෙනි, යම් සේ දුර්ගන්ධ ඇති බොන ලද්දා වූ ගොමුත්‍රය ද පහ වූ රස ඇති අනුභව කරණ ලද බෙහෙත් ද, සත්වයන්ගේ සියලු ව්‍යාධීන් නසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පරුෂ වුවත් තථාගතයන් වහන්සේගේ කරුණා සහගත වූ වචනතෙම ප්‍රයෝජනවත් වන්නේ ය. තවද මහරජානෙනි, යම් සේ පර්වතයක් සා මහත් වූ පුලුන්ගොඩක් අනුන්ගේ ශරීරයෙහි වැටී රුදාව නො කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේගේ පරුෂවචනය කිසි කෙනෙකුන්ට දුකක් නූපදවන්නේ ය” යි කීසේක. (195) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්නයතෙම අනෙකවිධ කාරණයෙන් මනා කොට ම විනිශ්චය කරණ ලද්දේ ය. සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍රශ්න (විසර්ජනය) එසේ ම පිළිගන්නෙමි” යි කීහ.
මොඝපුරිසවාදප්‍රශ්නය නිමි.