(188) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්,
“කායෙන සංවරො සාධු-සාධු වාචාය සංවරො,
මනසා සංවරො සාධු-සාධු සබ්බත්‍ථ සංවරො,
සබ්බත්‍ථ සංවුතො භික්ඛු-සබ්බදුක්ඛා පමුච්චති”
යන මේ ගාථාවෙන් ‘කායද්වාරයට හසු වන ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයට සිත නො දුවවන විසින් කයින් සිත රැක්ම යහපත. මුසාවාදාදිය නො කියන විසින් වචනයෙන් සිත රැක්ම යහපත. මනොද්වාරයට හසු ව අභිධ්‍යා ව්‍යාපාදාදිය නො සිතන විසින් තමාගේ සිත රැක්ම යහපත. චක්ෂුරාදි සදොර ම සංවරය යහපත. සදොර ම රක්ෂිත වූ මහණතෙම සියලු ම සංසාර දුක්ඛයෙන් මිදෙන්නේ ය’ යන මේ අර්ථය වදාරණ ලද්දේ ය. මෙසේ කියා නැවත ද ඒ තථාගතයන් වහන්සේ සිව්වණක් පිරිස්මැද වැඩහිඳ දිව්‍යමනුෂ්‍යයන්ගේ ඉදිරියෙහි සෙල නම් බ්‍රාහ්මණයාහට කොසොහිත වස්ත්‍රගුය්හය දක්වා වදාළසේක. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කයින් සංවරවීම යහපතැ’ යි යනාදීන් වදාරණ ලද්දේ වී නම්, එහෙයින් සෙලබ්‍රාහ්මණයාහට ‘කොසයෙහි අවහිත වූ වස්ත්‍රගුය්හ නම් පුරුෂලක්ෂණය දක්වා වදාළසේකැ’ යි කියන වචනය බොරු වන්නේ ය. ඉදින් සෙලබ්‍රාහ්මණයාහට ඒ ‘කොසොහිතවස්ත්‍රගුය්හ දක්වා වදාළා ය’ යි යන වචනය සැබෑ වී නම්, එහෙයින් ‘කායෙන සංවරො සාධු’ යනාදීන් කී වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටික ප්‍රශ්නයත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඒ ප්‍රශ්නය ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කායෙන සංවරො සාධු’ යනාදී මේ ගාථාවත් වදාරණ ලද්දේ ය. සෙල නම් බ්‍රාහ්මණයාහට කොසයෙහි අවහිත වූ වස්ත්‍රගුහ්‍යයත් දක්වන ලද්දේ ම ය. මහරජානෙනි, යමෙකුට යම් හෙයකින් තථාගතයන් වහන්සේ කෙරෙහි කාංක්ෂා උපන්නේ ද, ඕහට අවබොධ කරවන පිණිස භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් ඒ හා සමාන කයක්[1] මවා දක්වන සේක. හේ[2] ඒ ප්‍රාතිහාර්ය දක්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් කාරණයකින් පිරිසට පැමිණි කල්හි ‘එකෙක් ම[3] ඒ වස්ත්‍රගුය්හය දක්නේ ය. ඒ පිරිසෙහි ම විද්‍යමාන වූ සෙසු සත්වයෝ නො දක්නාහු ය’ යි කියන මේ වචනය කවරෙක් නම් අදහන්නේ ද? එබැවින් මට නුඹවහන්සේ එහි කාරණයක් දක්වා වදාළ මැනව. කාරණයකින් මට අඟවා වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, ඥාතිමිත්‍රයන් විසින් පිරිවරණ ලද්දා වූ ව්‍යාධියෙන් පීඩිත වූ කිසි පුරුෂයෙක් තොප විසින් දක්නා ලද්දේ ඇද් දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්සැ” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ඒ පුරුෂතෙම යම් දුක්ඛවේදනාවකින් දුක් විඳිනු ලැබේ ද, ඒ වේදනාව ඒ පිරිස දකිද් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඒ පුරුෂතෙම තෙමේ ම වෙහෙස විඳින්නේ ය” යි කීහ.
“මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කෙනෙකුන්ට ම තථාගතයන් වහන්සේ කෙරෙහි කාංක්ෂා උපදනා ලද ද, ඕහට අවබොධය කරවන පිණිස තථාගතයන් වහන්සේ සෘද්ධියෙන් ඊට ම සුදුසු වූ ලෙසක් දක්වා වදාරණසේක. ඔහු ම ඒ ප්‍රාතිහාර්යය දක්නේ ය. තවද මහරජානෙනි, (189) යම් සේ කිසියම් පුරුෂයකුහට යක්ෂයෙක් ආවෙස වන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, එතැන්හි රැස් වූ ඒ පිරිස ඒ යක්ෂග්‍රහණය දකිද් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඒ ආතුරයා ම යක්ෂයාගේ එන ගමන දක්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කෙනෙකුන්ට බුදුන් කෙරෙහි කාංක්ෂා උපදනා ලද ද, හේ ම ඒ ප්‍රාතිහාර්යය දක්නේ ය” යි කීහ. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් එකක්හටත් නො දැක්විය යුතු වේ ද? ඒ බව ද්කාව ලීමෙන් අතිදුෂ්කර දෙයක් කරණ ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ පුරුෂගුහ්‍යය නො ම දක්වා වදාළසේක. සෘද්ධියෙන් ඡායාව දක්වා වදාළසේකැ” යි කීසේක. “ස්වාමීනි, ඡායාවෙන් වුවත් යමක් දැක නිෂ්ඨාවට ගිය බැවින් දැකීමෙන් පුරුෂගුහ්‍යය දක්නා ලද්දේ ම වන්නේ ය” යි කීහ. “දුෂ්කර දෙයත්, මහරජානෙනි, තථාගතයන් වහන්සේ බොධනෙය්‍ය වූ සත්වයන්ට අවබොධය කරන්ට කර වදාරණසේක. මහරජානෙනි, ඉදින් තථාගතයන් වහ්නසේ ඒ එ ක්‍රියා හැර[4] වදාරණසේක් වී නම්, නිවන් අවබොධ කට හෙන[5] සත්වයෝ චතුස්සත්‍යාවබොධය නො කරන්නාහු ය. මහරජානෙනි, යම් හෙයකින් අවබොධ වන[6] සත්වයන්ට අවබොධය කරවන්ට තථාගතයන් වහන්සේ උපාය දන්නාසේක. එහෙයින් තථාගතයන් වහන්සේ යම් යම් උපායකින් නිවන් අවබොධය වන3 සත්වයෝ චතුස්සත්‍යය අවබොධය කෙරෙද් ද, ඒ උපායෙන් අවබොධය වන3 සත්වයන් අවබොධය කරවනසේක. “මහරජානෙනි, යම් සේ ශල්‍යකත්තෘ වූ වෙදෙක් යම් යම් හෛතකින් ආතුරතෙම අරොගී වේ ද, ඒ ඒ බෙහෙතින් ආතුරයා කරා එළඹෙන්නේ ය. එළඹ, වමනය කළ යුතු දෙය[7] වමනය කර වන්නේ ය. විරෙකය කළ යුතු දෙය4 විරෙක කරවන්නේ ය. ආලෙපය කළ යුතු දෙය[8] ආලෙපය කරවන්නේ ය. තෙල් වස්ති කළ යුතු දෙය1 තෙල් වස්ති කරවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ යම් යම් උපායකින් අවබොධය වන[9] සත්වයෝ අවබොධය කරත්[10] ද, ඒ ඒ උපායෙන් අවබොධය කරවනසේක. තවද, මහරජානෙනි, යම් සේ මූඪ වූ දරුගර්භය ඇති ස්ත්‍රීතොම වෛද්‍යාචාර්යයාහට නො දැක්විය යුතු වූ ස්ත්‍රීගුහ්‍යය දක්වන්නී ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ අවබොධ කළ මනා සත්වයන් අවබොධ කරවන්ට අදර්ශනීය වූ ගුහ්‍යයෙහි[11] සෘද්ධියෙන් ඡායාව දක්වා වදාළසේක. මහරජානෙනි, පුද්ගලයකු නිසා අදර්ශනීය නම් වූ අවකාශස්ථානයෙක් නැත්තේ ය. ඉදින්, මහරජානෙනි, කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේගේ හෘදයවස්තුව දැක අවබොධය කෙරේ[12] නම්, ඕහටත් භාග්‍යවතුන් වහන්සේ උපායෙන් තමන් වහන්සේගේ හෘදයවස්තුව දක්වා වදාරණසේක. මහරජානෙනි, පරසිත් හැඳින ධර්ම දෙශනා කිරීමෙහි දක්ෂ වූ තථාගතයන් වහන්සේ නොයෙක් උපාය දන්නාසේක.
“මහරජානෙනි, තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ මල් වූ නන්ද වූ නම් තෙරුන් වහන්සේගේ අභිප්‍රාය දැන ඒ නන්ද තෙරුන් වහන්සේ දිව්‍යභවනයට ගෙණ ගොස් ‘මේ කාරණයෙන් මේ කුලපුත්‍රතෙම නිවන් අවබොධය කෙරෙ’ යි සිතා කකුටපාදිනී නම් දෙවඟනන් දක්වා වදාළසේක් නො වේ ද? එහෙයින් ඒ කුලපුත්‍රතෙම නිවන් අවබොධය (190) කෙළේ ය. මහරජානෙනි, මෙසේ තථාගතයන් වහන්සේ නොයෙක් කාරණයෙන් ශුභනිමිත්තග්‍රහණයට ගර්හා කෙරෙමින් නින්දා කෙරෙමින් පිළිකුල් කෙරෙමින් ඒ නන්ද තෙරුන් වහන්සේට චතුස්සත්‍ය අවබොධය කරවනු පිණිස කකුටපාදිනී නම් දිව්‍යාංගනාවන් දක්වා වදාළසේක. මෙසේත් උපාය දන්නා තථාගතයන් වහන්සේ ධර්මදෙශනායෙහි දක්ෂසේක.
“මහරජානෙනි, නැවත ද අනිකුදු කාරණයෙක් ඇත. තථාගතයන් වහන්සේ භ්‍රාතෘ වූ මහාපන්ථක තෙරුන් වහන්සේ විසින් වෙහෙරින් යව යි පහ කරණ ලද්දා වූ එහෙයින් ම දොම්නස් වූ චුල්ලපන්ථක තෙරුන් වහන්සේට ‘මෙයින් ම මේ කුලපුත්‍රතෙම නිවන් අවබොධය කරන්නේ ය’ යි දැන පෙරමඟට වැඩ ‘චුල්ලපන්ථකය, දොම්නස් වන්නට කරුණු කිම් දැ?’ යි විචාරා, ‘ස්වාමීනි, මාගේ බෑයානන් විසින් වෙහෙරින් පහ කරණ ලද්දෙමි’ යි කී කල්හි ‘චුල්ලපන්ථක ය තෙපි කොයි යවු ද? මේ ශාසනය මාගේ මුත්, තාගේ බෑයා සතු දෙයෙක් නො වෙ’ යි වදාරා ‘මොහු කසුප් බුදුන් සමයෙහි ධර්මය පුහුණු කරණ මහණක්හට හීලනය කොට ඒ පාපයෙන් මේ සමයෙහි සාරමසකින් එක ම ගාථාව ප්‍රගුණ කරන්ට නො හැකි වි ය. තවත් අතීතයෙක කලෙක රජ පැමිණ සිවුරඟසෙනඟ පිරිවරා ඇත්කඳපිටීන් නුවර ප්‍රදක්ෂිණා කෙරෙමින් මුහුණ තෙමී ගිය ඩහදිය සළුපටින් පිස අනිත්‍යය භාවනා කළ කුශලයෙන් මෙසමයෙහි රහත් වන්නේ ය’ යි දැක ‘චුල්ලපන්ථකය, මා කීවාක් කරව. හිරට මුහුණ ලා හිඳ ‘රජො හරණං’ ‘රජො හරණං’ කිය කියා මෙයින් මූණ පිසව’ යි කියා සියුම් වූ වස්ත්‍රකඩක් මවා දුන්සේක. ඒ කුලපුත්‍රතෙම ද ඒ කාරණයෙන් ම රහත් ව ජිනශාසනයෙහි වශීභාවයට පැමිණියේ ය. මෙසේ ද උපාය දන්නා වූ තථාගතයන් වහන්සේ ධර්මදෙශනායෙහි දක්ෂ වූසේක.
“මහරජානෙනි, නැවත ද අනික් කාරණයකුත් ඇත. මොඝරාජ බ්‍රාහ්මණයා විසින් තුන්වරක් දක්වා ම ප්‍රශ්න විචාරණ ලද්දා වූ තථාගතයන් වහන්සේ ‘මොඝරාජය, තෙපි හිඳුව’ යි දෙවරක් වදාරා ප්‍රශ්නය නො වදාරමින් තුන්වැනි වාරයෙහි ‘මේ ආකාරයෙන් මේ කුලපුත්‍රයාගේ මානය ව්‍යපශමනය වන්නේ ය. මානොපසමය වීමෙන් නිර්වාණාභිසමය වන්නේ ය’ යි දැන තුන්වැනි වාරයෙහි දී ප්‍රශ්නය විසඳා ‘සුඤ්ඤතො ලොක අවෙක්ඛස්සු’ යනාදීන් ධර්මදෙශනා කළසේක. ඒ කාරණයෙන් ද ඒ කුලපුත්‍රයාගේ මානය ව්‍යපශමනය විය. මානොපසමය වීමෙන් රහත් වන්ට කුසල් මූකළා වූ බ්‍රාහ්මණතෙම බුදුසසුන් වැද මහණ ව රහත් ව දිවඇස්නුවණ ය, දිවකන්නුවණ ය, පෙර විසූ කඳපිළිවෙල දන්නා නුවණ ය, නොයෙක් ලෙසින් සෘද්ධිප්‍රාතිහාර්ය කරණ නුවණ ය, පරසිත් දන්නා නුවණ ය, සකලක්ලෙශයන්ගේ සිවි නැති කොට කැඩූ ආශ්‍රවක්ෂයකර ඥානය යන ෂඩභිඥායෙහි වශීභාව ප්‍රාප්ත වූසේක. මෙසේ ද උපාය දන්නා වූ තථාගතයන් වහන්සේ ධර්මදෙශනායෙහි දක්ෂ වූසේක.
සෙල නම් බ්‍රාහ්මණතෙම සර්වලොකාග්‍ර වූ සර්වඥයන් වහන්සේ එක්දහස් දෙසියපණසක් පමණ සංඝයා වහන්සේ හා සමග අංගුත්තරාපණ නම් දනව්වෙහි සැරිසරණ කල ‘ශාක්‍යපුත්‍ර වූ සිද්ධාර්ථකුමාරයානන් වහන්සේ ලොවුතුරා බුදු ව දැන් අවුත් මේ ආපණ නම් නිගමග්‍රාමයෙහි වැඩවසන සේකැ’ යි කියා තමාගේ මිත්‍ර වූ කෙණිය නම් ජටිලයන්ගෙන් (191) අසා විස්මය පත් ව ‘අහෝ! සර්වඥවරයෝනම් ලොකයෙහි අති දුර්ලභ වන්නාහ. සර්වඥචක්‍රවර්ති වන මහාපුරුෂලක්ෂණයන් දන්නා ශාස්ත්‍රයෙහි මම පාරප්‍රාප්තයෙමි. එබැවින් බුදු නො බුදුබව පරීක්ෂා කෙරෙමි’යි සිතා තුන්සියයක් පමණ බ්‍රාහ්මණමාණවකයන් හා බුදුන් කරා ගොස් ආදර දක්වා එකත්පසෙක සිට දෙසියසොළසක් පමණ මංගල්‍ය ලක්ෂණයෙන් ශොභමාන ව පුරා සිටි ස්වර්ණමිරිවැඩි දෙකක් මෙන් සම්පූර්ණ වූ දෙපතුල් දුටුයේ ය. ඒ යටිපතුල්තලවල හට ගත්තා වූ පද්ම රේණු වැනි දහසක් දැවී ඇති චක්‍රාන්තයෙහි පිහිටි නිම්වලළු ඇති නාභි සහිත වූ නාභිය වඩා සිටි රෙඛාදි සර්වාකාර පරිපූර්ණ වූ දෙපතුල් පුරා සිටි චක්‍රලක්ෂණය දුටුයේ ය. වට වූ රත්පලස් පිඩු දෙකක් වැනි වූ විලිඹු ලක්ෂණය ද, දීර්ඝාංගුලි බව ද, මෘදුමොළොක් හස්තපාද බව ද, ජාලහස්ත පාදාදිසමතිසක් පමණ මහාපුරුෂලක්ෂණයන් දැක පහූතජිව්හාලක්ෂණය හා කොසොහිතවස්ත්‍රගුය්හය නො දැක කාංක්ෂා කරන්ට වන. එකල භාග්‍යවතුන් වහන්සේ ඔහු කෙරෙහි පතළ මහාකරුණාවෙන් ජිව්හා ධාතුව දිගු කොට දෙකන් නාසා නලල්තලය පිරිමදිමින් ඕහට ම පෙණෙන සේ සෘද්ධියෙන් සිවුරු සහ ඡායාරූපමාත්‍රයෙකින් වස්ත්‍රගුය්හය දක්වා වදාළසේක. එකල කාංක්ෂා විරහිත වූ බ්‍රාහ්මණතෙම ප්‍රීතියෙන් පිණා බුදු වූ බව නො දැන:-
“රාජා අරහසි භවිතුං-චක්කවත්ති රථෙසභො,
චාතුරන්තො විජිතාවී-ජමබුසණ්ඩස්ස ඉස්සරො.
ඛත්තියා භොජරාජානො-අනුයුත්තා භවන්තු තෙ,
රාජාභිරාජා මනුජින්‍න්‍දො-රජ්ජං කාරෙහි ගොතම.”
යනාදීන් උදිතොදිතශාක්‍යකුලපුසූත වූ ගෞතමගොත්‍ර ඇති සිද්ධාර්ථ කුමාරයෙනි, නුඹ වහන්සේගේ ආශ්චර්යවත් වූ ශ්‍රීශරීරයෙහි චක්‍රවර්ති ලක්ෂණ වූ දෙතිස්මහාපුරුෂලක්ෂණයෝ විද්‍යමාන වූහ. ශරීරය ස්වර්ණවර්ණයෙන් අතිමනොහර ය. විදුලිය වන් කන්සඟලින් හා දෙව්දුනු වැනි බැමිසඟලින් හා නීලොත්පලදලාකාර නෙත්‍රයුගලින් හා අකුණුසනක් මෙන් නිති දිලෙන ඌර්ණරොමයෙන් හා පුන්සඳක් මෙන් බබළන ශ්‍රී මුඛමණ්ඩලයෙන් යුක්තව ශ්‍රමණගණයා මධ්‍යයෙහි සූර්යදිව්‍යරාජයා සේ බබළා වදාරණසේක. මෙ බඳු වූ උතුම් රූපවර්ණයක් ඇත්තා වූ නුඹ වහන්සේට ශ්‍රමණභාවයෙන් කම් කිම් ද? සතරදිගින් චක්‍රාවාරය අන්ත කොට ඇති සතරදිග ජය ගන්නා වූ සතරදිගට ඊශ්වර වූ රථශ්‍රෙෂ්ඨ වූ චක්‍රවර්තිරජ වන්ට සුදුසු වනසේක. සතරදිග අනන්තභොගවත් රජ දරුවෝ නුඹ වහන්සේගේ ආඥාචක්‍රයට අනුයුක්ත වෙති. සප්තවිධ රත්නාධිපති වූ රාජාධිරාජොත්තම චක්‍රවර්තිරාජ්‍යශ්‍රීකර වදාළ මැනැවැ’ යි කී කල්හි:-
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං-භාවෙතබ්බඤ්ච භාවිතං,
පහාතබ්බං පහීණම්මෙ-තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.
විනයස්සු මයි කඞ්ඛං-අධිමුච්චස්සු බ්‍රාහ්මණ,
දුල්ලභං දස්සනං හොති-සම්බුද්ධානං අභිණ්හසො.
(192) යෙසං වෙ දුල්ලභො ලොකෙ-පාතුභාවො අභිණ්හසො.
සොහං බ්‍රාහ්මණ සම්බුද්ධො-සල්ලකත්තො අනුත්තරො.
බ්‍රහ්මභූතො අතිතුලො-මාරසෙනප්පමද්දනො,
සබ්බාමිත්තෙ වසීකත්‍වා-මොදාමි අකුතොභයො.’
යනාදීන් ‘එම්බා සෙලයෙනි’ තා කී තාක් චක්‍රවර්තිරාජ්‍යශ්‍රී සම්පත්තිය අලුයම දැමූ කෙළපිඬක් සේ දමා රාගාදිසකලක්ලෙශයන් භග්නය කොට අනුත්තර වූ සුන්දරාර්යමාර්ගයෙන් ගොස් සද්ධර්මවරචක්‍රවර්තිරජ වීමි. සමස්තලොකයෙහි කිසි කෙනෙකුන් විසින් පවත්වාලිය නො හැක්කා වූ සද්ධර්මවරචක්‍රය යට අජටාකාශයෙහි පටන් මත්තෙන් භවාග්‍රය පර්යන්ත කොට සරසින් අනන්තාපරිමාණලොකධාතුයෙහි ධර්මයෙන් පවත්වන්නෙමි. තවද, සෙලබ්‍රාහ්මණය, මා විසින් දත මනා ‘දුක්ඛසත්‍ය ධර්මය එකාන්ත දුකැ’ යි කියා අවබොධය කරණ ලද්දේ ය. භාවිත කළමනා වූ මාර්ගසත්‍යධර්මයන් භාවිත කරණ ලද්දේ ය. ප්‍රහාණය කට යුතු වූ සමුදයසත්‍යධර්මයන් ප්‍රහාණය කරණ ලද්දේ ය. අවබොධ කළ යුතු වූ චතුරාර්යසත්‍යධර්මයන් හස්තාමකක්‍රමයෙන් ම අවබොධය කළ හෙයින් බුද්ධ නම් වීමි. සෙලබ්‍රාහ්මණයෙනි, සර්වඥවරයන්ගේ නිරන්තරයෙන් දර්ශනය දුර්ලභ වන්නේ ය. මා කෙරෙහි අසර්වඥ දෝ හො? යි කියා උපන් කාංක්ෂාව දුරු කරව. නිෂ්ඨාවට යව. තවද, බ්‍රාහ්මණයෙනි, ලොකයෙහි යම් සර්වඥකෙනෙකුන් නිරන්තරයෙන් පහළ වීම එකාන්තයෙන් ම දුර්ලභ වේ ද, ඒ දුර්ලභ වූ මම ක්ලෙශව්‍යාධි අනුපත්ති කරණයෙන් අනුත්තර වූ රාගාදි ව්‍යාධියට ශල්‍යකත්තෘ වූ සම්‍යක්සම්බුද්ධ යෙමි. එහෙයින් තුන් ලොවට අග්‍ර වීමි. ශ්‍රෙෂ්ඨ වීමි, අතුල්‍ය වීමි. ප්‍රවර වීමි. වස්තුකාමාදි මාරසෙනාව මර්දනය කෙළෙමි. ක්ලෙශාභිසංස්කාරස්කන්ධමෘත්‍යු දෙවපුත්‍රමාරසංඛ්‍යාත වූ සර්වාමිත්‍රයන් වසඟ කොට ගෙණ කිසිවකිනුත් භයක් නැත්තා වූ මම අර්හත්ඵලසමාපත්තිසැප විහරණයෙන් සතුටු වන්නෙමි’ යි වදාළසේක. එකල්හි චක්‍රවර්තිරජ වන්ට ආරාධනා කොට සිටි සෙලබ්‍රාහ්මණයානෝ චක්‍රවර්තිරාජ්‍යසම්පත් තෙමේ ලද්දාක් මෙන් ප්‍රීතියෙන් භරිත ව බුදුන්ගේ ශ්‍රීපාදයෙහි වැඳ වැටී ‘සාධු, සාධු, ස්වාමීනි, දශසහශ්‍රීලොකධාතුව එකබසින් වසඟ කරණ බව අද දන්නෙමි. පස්මරුන් මුළු වද්දා මුළුලොවට නිවන්රසය බෙදන බව අද දන්නෙමි. තුන්ලොවට තිලකබව අද දන්නෙමි. මාරවාරණකෙශරීන්ද්‍රභූත වූ මාගේ තිලෝගුරු බුදුරජානෙනි, අප හැමත් ශාසනයෙහි මහණ කොට නිර්වාණමෘතපානය කරවා වදාළ මැනැවැ’ යි කියා ආරාධනා කළහ. එකල[13] ‘සෙලයෙනි, මාගේ බ්‍රහ්මචරියයෙහි තෙපි හැමත් හැසිරේව’ යි කියා වදාළ බසින් තුන්සියයක් බ්‍රාහ්මණමාණවකයන් හා සමග පෙර කළ පිණින් සෘද්ධිමය පාසිවුරු ධරා සැටවයස් පිරුණු සඟපෙළක් සේ පුන්සඳ වටා සිටි තරුපෙළක් මෙන් බුදුන් පිරිවරා සිට ගත්හ. මෙසේ වන පරවැඩ තකා භාග්‍යවතුන් වහන්සේ කොසොහිතවස්ත්‍රගුය්හය දක්වා වදාළසේකැ’ යි කියා මේ උභතොකොටිප්‍රශ්නය විසඳා වදාළ කල්හි “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අනෙකවිධ වූ කාරණයෙන් ප්‍රශ්නය සුනිර්වෙඨනය කරණ ලද්දේ ය. ගහනය අගහනය කරණ ලද්දේ ය. අන්ධකාරයෙහි (193) ආලොකය කරණ ලද්දේ ය. ගණ්ඨිභෙදය කරණ ලද්දේ ය. පරවාදවල් බිඳින ලද්දේ ය. අනාගතයෙහි පහළ වන සර්‍වඥපුත්‍රවරුන් වහන්සේලාට නුඹවහන්සේ විසින් ප්‍රඥා ඇස උපදවන ලද්දේ ය. ප්‍රවරගණීන්ද්‍රභූත වූ නුඹ වහන්සේ කරා පැමිණ තීර්ථකයෝ කථා නැති වූහ” යි කියා ස්තුති කළහ.
සෙලප්‍රශ්නය නිමි.