උණුලේ නිර්ගත ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ‘තථාගතයන් වහන්සේ සකල සත්වයන්ගේ අහිතය පහ කොට හිතවැඩ උපදවන සේකැ’ යි කියනසේක. නැවත ‘අග්නිස්කන්ධොපමධර්මදෙශනාව වදාරණ කල්හි සැටනමක් පමණ භික්ෂූන්ගේ මුඛයෙන් උණුලේ උද්ගත වී ය’ යි කියනසේක. ස්වාමීනි, අග්නිස්කන්ධොපම ධර්මදෙශනාව දෙශනා කරණ තථාගතයන් වහන්සේ විසින් සැටක් පමණ භික්ෂූන්ගේ හිතවැඩ පහ කොට අවැඩ උපදවන ලද්දේ ය. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සකල සත්වයන්ගේ අවැඩ පහ කොට වැඩෙහි පිහිටුවනසේක් වූ නම්, එහෙයින් අග්ගික්ඛන්ධොපමධර්මදෙශනාව වදාරණ කල්හි සැටක් පමණ භික්ෂූන්ගේ මුඛයෙන් උණුලේ නිර්ගත වී ය’ යි කී යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘අග්ගික්ඛන්ධොපමෙ ධම්මපරියායෙ භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛුනං උණ්හං ලොහිතං මුඛතො උග්ගතං’ යි කී වචනය සැබෑ වී නම්, එහෙයින් ‘තථාගතො සබ්බසත්තානං අහිතමපනෙත්වා හිතමුපදහති’ යි කී වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නය නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, අප තථාගතයන් වහන්සේ සකලසත්වයන්ගේ අවැඩ පහ කොට වැඩ උපදවනසේක. අග්ගික්ඛන්ධොපම ධර්මදෙශනාව දෙශනා කරණ කල්හි සැටක් පමණ භික්ෂූන්ගේ මුඛයෙන් උනුලේ නික්මෙන ලද්දේ ය. ඒ ලේ වමනය වූ බව වනාහි තථාගතයන් වහන්සේගේ කෘතියකින් නො වන්නේ ය. ඔවුන්ගේ ම තමන් කළ දෙයින් ම ය” යි කීසේක. “ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ අග්ගික්ඛන්ධොපම ධර්මදෙශනාව නො වදාළසේක් වී නම්, කිමෙක් ද, ඒ භික්ෂූන් වහන්සේලාගේ (180) මුඛයෙන් උණුලේ වමනය වේ දැ” යි විචාළෝ ය. “නැත, මහරජානෙනි, මිත්ථ්‍යාප්‍ර‍තිපන්න වූ ඒ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදෙශනාව අසා ශරීරයෙහි ගිනියම උපන්නේ ය. ඒ ගිනියමින් ඔවුන්ගේ මුඛයෙන් උණුලේ වමනය වන ලද්දේ ය” යි කීසේක.

“එහෙයින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ කළ ධර්මදෙශනාවෙන් ම ඔවුන්ගේ මුඛයෙන් උණුලේ උද්ගත වන ලද්දේ ය. තථාගතයන් වහන්සේ ඔවුන්ගේ නැසීම පිණිස එහි ප්‍ර‍ධාන වනසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නාගයෙක් යම් සේ තුඹසකට ප්‍රවෙශ වේ නම්, එකල පස් ඕනැ කැමැත්තා වූ එක්තරා පුරුෂයෙක් ඒ තුඹස බිඳ පස් ගෙණ යන්නේ ය. ඒ පුරුෂයාගේ පස් ගැණීමෙන් වම්මිකයාගේ සුසිර නම් වූ තුඹස් කට වැහෙන්නේ ය. එකල ඒ සර්පතෙම ඒ තුඹස ඇතුළෙහි ම ආශ්වාස නො ලබමින් නසින්නේ ය. ස්වාමීනි, ඒ නාගතෙම ඒ පුරුෂයා කළ ක්‍රියාවෙන් මරණයට පැමිණියේ නො වේ දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, කීසේක. “එපරිද්දෙන් ම ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ ම ඒ භික්ෂූන්ගේ නැසී යාම පිණිස එහි ප්‍ර‍ධාන වූසේකැ” යි කීහ.

“මහරජානෙනි, සද්ධර්මය දෙශනා කරන්නා වූ අප තථාගතයන් වහන්සේ අනුනයප්‍ර‍තිඝය නො කරණසේක. අනුනය සංඛ්‍යාත ආලයෙන් හා ප්‍ර‍තිඝසංඛ්‍යාත ක්‍රොධයෙන් මිදී ධර්මදෙශනා කරණසේක. මෙසේ ධර්මදෙශනා කරණ කල්හි ඒ ධර්මයෙහි යම් කෙනෙක් මනා කොට පිළිපැද්දාහු ද, ඒ සත්වයෝ අර්හත්ඵලය අවබොධ කෙරෙති. යම් කෙනෙක් නපුරු කොට පිළිපැද්දාහු ද, ඒ සත්වයෝ සසරට වැටෙති. මහරජානෙනි, යම් සේ පුරුෂයෙකු විසින් අඹවෘක්ෂයක් හෝ දඹවෘක්ෂයක් හෝ මීගසක් හෝ සොලවන කල්හි එහි බලවත් වූ දැඩි වූ නැටි ඇති යම් ඵලකෙනෙක් ඇද් ද, ඒ ඵලයෝ එහි ම නො ඉගිල සිටින්නාහ. එහි කුණු වූ නැටි මුල් ඇත්තා වූ දුර්වල බන්ධන ඇත්තා වූ යම් ඵල කෙනෙක් ඇද් ද, ඒ ඵලයෝ බිම වැටෙන්නාහ. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ ධර්මදෙශනා කර වදාරමින් ආලය ක්‍රොධය නො කරණසේක. අනුනය ප්‍ර‍තිඝයෙන් මිදෙමින් ධර්මදෙශනා කරණ සේක. මෙසේ ධර්ම දෙශනා කරණ කල්හි ඒ ධර්මයෙහි යම් කෙනෙක් මනා කොට පිළිපන්නාහු ද, ඒ සත්වයෝ නිවන් අවබොධ කරන්නාහු ය. ධර්මවිනයෙහි මිත්‍යාප්‍ර‍තිපන්න වූ යම් කෙනෙක් ඇද් ද, ඒ සත්වයෝ සංසාරසාගරයෙහි වැටෙන්නාහු ය. තව ද, මහරජානෙනි, යම් සේ ධාන්‍ය රොපණය කරණු කැමැත්තා වූ සීසාන පුරුෂතෙම කෙත සාන්නේ ය. ඔහු සීසාන කල්හි නොයෙක් සියදහස්ගණන් තෘණයෝ[1] නසින්නාහ. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ ශ්‍ර‍ද්ධාදිපඤ්චෙන්ද්‍රියන්ගේ වශයෙන් පැසුනා වූ සිත් ඇති සත්වයන්ට චතුස්සත්‍යාවබොධය කෙරෙමින් අනුනයප්‍ර‍තිඝයෙන් මිදී ධර්මදෙශනා කරණසේක. මෙසේ ධර්මදෙශනා කරණ කල්හි එහි යම් කෙනෙක් මනා ව පිළිපන්නාහු ද, ඒ උත්තමයෝ ප්‍ර‍තිවෙධය අවබොධ කරන්නාහ. යම් කෙනෙක් මිථ්‍යාව පිළිපන්නාහු ද, ඒ අනුවණයෝ කෙතෙහි මියන වල් මෙන් මියන්නාහු ය.

“තවද, මහරජානෙනි, යම් සේ මනුෂ්‍යයෝ රසය නිසා (181) උක්දඬු යන්ත්‍රයෙහි ලා මිරිකන්නාහු ය. ඔවුන් විසින් උක්දඬු මිරිකන කල්හි එහි යන්ත්‍ර‍මුඛයට පැමිණියා වූ යම් ක්‍රිමීහු කෙනෙක් ඇද් ද, ඒ පණුවෝ[2] මිරිකෙන්නාහ. එපරිද්දෙන් ම, මහරජානෙනි, තථාගතයන් වහන්සේ මූකළා වූ ශ්‍ර‍ද්ධාදි සිත් ඇති සත්වයන්ට චතුස්සත්‍යධර්මයන් අවබොධ කෙරෙමින් සද්ධර්මමහායන්ත්‍ර‍ය මිරිකනසේක. ඒ සද්ධර්මයන්ත්‍රයෙහි යම් කෙනෙක් මිථ්‍යාව පිළිපන්නාහු ද, ඒ සත්වයෝ පණුවන් මෙන් නසින්නාහු ය” යි කීසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ භික්ෂූන් වහන්සේලාගේ ඒ ධර්මදෙශනාවෙන් ම ලේ වැටෙන ලද්දේ නො වේ ද?” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, ලී සහිත වඩුපුරුෂතෙම කපා හෙලූ වෘක්ෂය නො සැහැ රක්ෂා කෙරෙමින් සෘජු කොට පිරිසිදු කෙරේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, හැරිය යුතු ඇද පහ කොට වඩුතෙම මෙසේ මේ දැව ඇද හැර පිරිසිදු කරන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ පිරිස් රක්ෂා කෙරෙමින් චතුස්සත්‍යාවබොධය වන සත්වයන්ට නිවන් අවබොධය කරවන්ට නො හැකි[3] වනසේක. මිථ්‍යාප්‍ර‍තිපන්න සත්වයන් පහකොට මෙසේ මේ අවබොධ වන පින්වත් සත්වයන්ට නිවන් අවබොධය කර වදාරණසේක. මහරජානෙනි, තමන් කර ගත් දෙයින් ම ඒ මිථ්‍යාප්‍ර‍තිපන්න සත්වයෝ විනාශයෙහි වැටෙන්නාහු ය.

“තවද, මහරජානෙනි, යම්සේ කදලිවෘක්ෂය (හා උණගස ද) ආජානෙයඅශ්වධෙනුව ද තමා නිසා උපන් දෙයින් ම නස්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මිත්‍යාප්‍ර‍තිපන්න වූ යම් කෙනෙක් ඇද් ද, ඒ සත්වයෝ තමන් කර ගත් දෙයින් ම නස්නාහ. වැටෙන්නාහ. තවද, මහරජානෙනි, යම් සේ නොයෙක් රට ගම් පෙරළි කරණ සොරු තමන් කර ගත් දෙයින් ම නොයෙක් වධ විඳ ඇස් උපුටා හැරීමට ද වදබෙර ගැස්වීමට ද[4] දිවස් උල හිඳුවාලීමට ද හිස් කැපීමට ද පැමිණෙන්නාහ. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් සත්වකෙනෙක් මිථ්‍යාප්‍ර‍තිපන්න වූවාහු ද, ඒ සත්වයෝ තමන් කර ගත් දෙයින් ම නස්නාහු ය. සර්වඥ ශාසනයෙන් පහව වැටෙන්නාහු ය.

“මහරජානෙනි, යම් ඒ සැටනමක් පමණ භික්ෂූන්ගේ මුඛයෙන් උණු ලේ වමනය වන ලද ද, ඔවුන්ගේ ඒ ලේ වමනය උණුබව භාග්‍යවතුන් වහන්සේ විසින් කළ දෙයකිනුත් නො වන්නේ ය. අනුන් විසින් කළ දෙයකිනුත් නො වූයේ ය. තමන් කර ගත් දේ ම ය. අප භාග්‍යවතුන් වහන්සේ මහසඟ පිරිවරා කොසොල්රට මහාමාර්ගයෙක වඩනාසේක්, හාත්පසින් ගිනි ගෙණ ඇවිලෙන්නා වූ ගිනි ම කඳක් වූ මහා ගිනිකඳක් දැක ‘මේත් වෛනෙයජනපියුම් ප්‍රබොධ කිරීමට කාරණයෙකැ’ යි සිතා මාර්ගයෙන් වෙන් වූ මහරුකක් මුල වැඩහිඳ ‘මහණෙනි, තෙල ගිනිකඳ දක්නාහු දැ?’ යි විචාරා ‘එසේ ය, වහන්සැ’ යි දැන්වූ කල්හි ‘මහණෙනි, තෙපි හේ කුමක් නම් සිතවු ද? දිලිහෙන්නා වූ හාත්පසින් ගිනි ගෙණ ඇවිළෙන්නා වූ ගිනි ම කඳක් වූ යම් මේ මහගිනිකඳ දෙඅතින් වැලඳ ගෙණ සමීපයෙහි හිඳින්නේ හෝ වේ ද, ලඟ සයනය කරන්නේ හෝ වේ ද, මෘදු තරුණ වූ හස්ත පාද ඇති සර්වලක්ෂණ සම්පන්නරාජ කුමාරිකාවක හෝ බ්‍රාහ්මණකුමාරිකාවක හෝ ගෘහපතිකුමාරිකාවක හෝ දෙඅතින් ආලිංගනය (182) කොට සමීපයෙහි හිඳින්නේ හෝ වේ ද, සමීපයෙහි සයනය කරන්නේ හෝ වේ ද, මෙයින් කවරක් උතුම් දැ?’ යි විචාළසේක. ‘ස්වාමීනි, මෘදු මොළොක් වූ හස්තපාදයන් ඇති සර්වලක්ෂණ සම්පන්න යම් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපතිකුමාරිකාවක වැලඳගෙණ සමීපයෙහි හිඳින්නේ හෝ වේ ද, සමීපයෙහි සයනය කරන්නේ හෝ වේ ද, මේ බව ම උතුම් වන්නේ ය. ස්වාමීනි, මේ දිලියෙන මහගිනිකඳ වැලඳ ගෙණ ලඟ හිඳීමෙක් සයනය කිරීමෙක් ඇද් ද, මේ බව මරණ වන මහදුකැ’ යි දැන්වූහ. ‘මහණෙනි, තොපට මම කියමි. මහණෙනි, තොපට මම දන්වමි. සර්වාපවිත්‍රයෙන් කෙලෙසුනු වස්ත්‍ර‍කඩක් මෙන් සර්වප්‍ර‍කාරයෙන් කෙලෙසුනු සිල් ඇති බැවින් දුශ්ශීල වූ පවිටු වූ ක්‍රියාවෙන් ශික්ෂාපදයන් ඉක්මවා පැමිණි සප්තාපත්තිස්කන්ධයන් ඇති අසුචියට කැත නො වී වදින ගම්හූරකු මෙන් දුශ්ශිල්‍ය ක්‍රියායෙහි ම හැසිරෙණ සමාචාර ඇති ‘මාගේ ශික්ෂාපද ව්‍යතික්‍ර‍මණය සෙස්සෝ නො දනිත්ව’ යි කියා පවත්නා වූ ප්‍ර‍තිච්ඡන්න කර්මාන්ත ඇත්තා වූ ක්ලෙශව්‍යුපශමනශ්‍ර‍මණගුණයක් නැති බැවින් අශ්‍ර‍මණ වූ අභ්‍යන්තරයෙහි ශීලශුද්ධිවිරහිත ව ශ්‍ර‍මණවෙශමාත්‍රයෙන් ම ‘ශ්‍ර‍මණ යෙමි’ යි කියා ප්‍ර‍තිඥා දෙන්නා වූ කායාදිද්වාරත්‍රයෙන් කරණ සුචරිතක්‍රියාවක් නැති බැවින් අබ්‍ර‍හ්මචාරී වූ සිංහසම් පොරොවා ගත් කොටළුවෙකු මෙන් අර්හද්ධ්වජය ධාරණමාත්‍රයෙන් බ්‍ර‍හ්මචරියවාසය ලොවට ප්‍ර‍තිඥා කරන්නා වූ අභ්‍යන්තරයෙහි දුශ්ශීල්‍යකුණු ම කුණු වීමෙන් අවස්සුත වූ ක්ලෙශකුණු ඉපදීමට කසළගොඩක් වැනි වූ ඕහට ගිනි ගෙණ දිලියෙන්නා වූ හාත්පසින් ගිනි ගෙණ ඇවිළෙන්නා වූ ගිනිකඳක් ම වූ යම් මේ මහගිනිකඳක් දෙඅතින් වැලඳ ගෙණ ලඟ හිඳින්නේ හෝ වේ ද, ලඟ සයනය කරන්නේ හෝ වේ ද, යන මේ බව උතුම් වන්නේ ය.

‘ඊට කාරණ කවරේ ද? යත්:- මහණෙනි, ඒ තෙම ඒ කාරණයෙන් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේ ය. එපමණෙක් මුත් ඒ ගිනි වැලඳ ගත් කාරණයෙන් ශරීරභෙදයෙන් මරණින් මත්තෙහි සියලු ම සැපතින් පහ වූ සියලු ම දුකට පිහිට වූ විවස ව වැටෙන්නා වූ සැප ආස්වාදයක් නැති මහානරකයෙහි නො උපදින්නේ ය. මහණෙනි, පාපධර්මයන් ඇත්තා වූ අපවිත්‍ර‍ වූ කායවාක්සමාචාර ඇත්තා වූ ප්‍ර‍තිච්ඡන්නක්‍රියාවන් ඇත්තා වූ අශ්‍ර‍මණ වූ ශ්‍ර‍මණ ප්‍ර‍තිඥා ඇත්තා වූ බ්‍ර‍හ්මචාරී නො වන්නා වූ ‘බ්‍ර‍හ්මචාරීය’ යි ප්‍ර‍තිඥා දෙන්නා වූ ඇතුළු සතන උපදනා අකුශලධර්මයන් විසින් ඇතුළතින් කුණු වු කෙලෙස් කසළ උපදින කසළගොඩක් වූ ඒ දුශ්ශීලතෙම මෘදු මොළොක් වූ හස්තපාදයන් ඇති සර්වලක්ෂණ සම්පන්න වූ ක්ෂත්‍රියබ්‍රාහ්මණගෘහපතිකුමාරිකාවක ආලිංගනය කොට සමීපයෙහි හිඳින්නේ වී නම්, සමීපයෙහි සයනය කරන්නේ වී නම්, මහණෙනි, ඒ කාරණය ඕහට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වන්නේ ය. ශරීර භෙදයෙන් මරණින් මත්තෙහි සැපතින් පහ වූ දුකට පිහිට වූ විවස ම පතිත වන්නා වූ සැප ආස්වාදයක් නැත්තා වූ නරකයෙහි උපදින්නේ ය.

‘මහණෙනි, හේ තෙපි කුමක් සිතවු ද? බලවත් වූ පුරුෂයෙක් යම් දුශ්ශීලයකු අල්වා අස්ලොමින් ඇඹරූ දැඩි වූ යොතකින් දෙකකුල් දැඩි කොට වෙළවෙළා වැර දී අහුරුවන්නේ වී නම්, ඒ යොත්තෙම වහා දුක් (183) උපදවමින් ඡවිය සිඳින්නේ ය. ඡවිය සිඳ මස් සිඳින්නේ ය. මස් සිඳ හැර නහර සිඳින්නේ ය. නහර සිඳ හැර අස්ති සිඳින්නේ ය. අස්ථි සිඳ හැර ඇටමිදුළු පැහැර සිටින්නේ ය. යම් දුශ්ශීලයේක ක්ෂත්‍රියමහාසාරයන්ගේ බ්‍රාහ්මණමහාසාරයන්ගේ ගෘහපති මහාසාරයන්ගේ හෝ පසඟ පිහිටුවා කරණ නමස්කාරය ඉවසන්නේ වී නම් මේ දෙකින් කවරක් උතුම් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ක්ෂත්‍රිය බ්‍රාහ්මණගෘහපතිකයන්ගේ පසඟ පිහිටුවා කරණ යම් නමස්කාරයක් ඉවසීමෙක් ඇද් ද, ඒ බව ම උතුම් වන්නේ ය. ස්වාමීනි, බලවත් වූ පුරුෂයෙක් යමෙකු අල්වාගෙණ දැඩි වූ වාලයොතකින් දෙකකුල් මුල දක්වා දැඩි කොට වෙළවෙළා ඝංසනය කරන්නේ වී නම්, ඒ වාලරජ්ජුව[5] ඡවි චර්ම මස් නහර ඇටමිදුළු පැහැර සිටින්නේ වී නම්, මේ බව මහදුක් වන්නේ ය’ යි දැන්වූහ.

‘මහණෙනි, තොපට කියන්නෙමි. මහණෙනි’ තොපට දන්වන්නෙමි. යම් සේ දුශ්ශීල වූ පාපධර්ම සමන්නාගත වූ අසූචි සංකස්සර සමාචාර වූ ප්‍ර‍තිච්ඡන්නකර්මාන්ත ඇති අශ්‍ර‍මණ වූ ශ්‍ර‍මණප්‍ර‍තිඥා ඇති ශ්‍රෙෂ්ඨචාරී නො වන්නා වූ ‘ශ්‍රෙෂ්ඨචාරිය’ යි ප්‍ර‍තිඥා දෙන්නා වූ ඇතුළත්හි දුශ්ශීලකුණෙන් අවස්සුත වූ කෙලෙස් උපදින කසළගොඩක් වැනි වූ ඔහු[6] බලවත් වූ පුරුෂයෙක් අල්වා දෙකකුල් දැඩි වූ වාලයොතකින් දැඩි කොට වෙළවෙළා ඝංසනය කරන්නේ වී නම්, ඒ වාලයොත්තෙම ඡවි චර්ම මස් නහර ඇට ඇටමිදුළු පැහැර සිටින්නේ වී නම්, මේ බව ම උතුම් වන්නේ ය. ඊට කාරණා කවර? යත්:- මහණෙනි, ඒ කාරණයෙන් ඒ තෙම මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණ සමාන දුකකට හෝ පැමිණෙන්නේ ය. එපමණක් මුත් ඒ කාරණයෙන් ඝොර වූ නරක දුකට නො පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ දුශ්ශීලතෙම ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන්ගේ පසඟ පිහිටුවා කරණ යම් නමස්කාරයක් ඉවසන්නේ වී නම්, මහණෙනි, ඒ කාරණය ඕහට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මරණින් මිය නරකයෙහි උපදින්නේ ය.

‘මහණෙනි, හේ තෙපි කුමක් සිතවු ද? බලවත් වූ පුරුෂයෙක් තෙල් ගා මුවහත් තබන ලද්දා වූ තීක්ෂණ වූ ශස්ත්‍ර‍යකින් ශරීරමධ්‍යයෙහි කොටන්නේ වී නම්, යමෙක් ක්ෂත්‍රියබ්‍රාහ්මණ ගෘහපත්‍යාදීන්ගේ දෙයත නඟා වඳින අඤ්ලිකර්මය ඉවසන්නේ වී නම්, මෙයින් කවරක් උතුම් දැ’ යි විචාළසේක. ‘ස්වාමීනි, ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන්ගේ අඤ්ලිකර්මය ඉවසන්නේ වී නම්, මේ බව උතුම් වන්නේ ය. ස්වාමීනි, බලවත් වූ පුරුෂයෙක් තෙල් ගා මුවහත් තබන ලද්දා වූ තීක්ෂ්ණ වූ ශස්ත්‍ර‍යකින් හෘදය මධ්‍යයෙහි පහර දෙන්නේ වී නම්, ඒ බව මහත් දුක් වන්නේ ය’ යි දැන්වූහ. ‘මහණෙනි, තොපට කියන්නෙමි. මහණෙනි, තොපට දන්වන්නෙමි. කිසි ශීලසංවෘතගුණයක් නැති දුශ්ශීලයාහට බලවත් වූ පුරුෂයෙක් තීක්ෂ්ණ ව මුවහත් කළ ශස්ත්‍ර‍යකින් හෘදයමධ්‍යයෙහි පහරන්නේ ය යන මේ බව උතුම් වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්- මහණෙනි, එතෙම ඒ කාරණයෙන් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණ සමාන දුකට හෝ පැමිණෙන්නේ ය. එපමණක් මුත් ඒ කාණයෙන් මරණින් මත්තෙන් ඝොර වූ නරකදුකට නො පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ පාපී වූ දුශ්ශීලයා ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන්ගේ අඤ්ලිකර්මය ඉවසුයේ වී නම් මහණෙනි, ඒ (184) කාරණය ඕහට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක්ඛවිපාකය පිණිස වන්නේ ය. මරණින් මත්තෙහි ඝොර වූ දුක් ඇති නරකයෙහි උපදින්නේ ය.

‘මහණෙනි, හේ තෙපි කුමක් සිතවු ද? බලවත් වූ පුරුෂයෙක්තෙම ගිනි ගෙණ දිලියෙන්නා වූ හාත්පසින් ගිනි ගෙණ ඇවිළෙන්නා වූ ගිනි ම සහිත වූ රත් වූ ලොහොදැලින් සකල ශරීරය වෙළන්නේ ය යන යමක් ඇද් ද, ක්ෂත්‍රියබ්‍රාහ්මණ මහාසාරාදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් දෙන ලද්දා වූ සිවුරු වලඳින්නේ ය යන යමක් ඇද් ද, මෙයින් කවරක් උතුම් වන්නේ දැ?’ යි විචාළසේක. ‘ස්වාමීනි, ක්ෂත්‍රියබ්‍රාහ්මණමහාසාරාදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් දෙන ලද සිවුරු වලඳින්නේ ය යන යමක් ඇද් ද, ඒ බව ම උතුම් වන්නේ ය. ස්වාමීනි බලවත් වූ පුරුෂයෙක් ගිනි ගෙණ දිලියෙන ලොහොදැලින් සකලශරීරය වෙළන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව ඉවසිය නො හැකි මහදුකැ’ යි දැන්වූහ. ‘මහණෙනි, තොපට කියන්නෙමි. මහණෙනි තොපට දන්වන්නෙමි. ඒ පාපී වූ ආපත්ති සමාදාන ඇති දුශ්ශිලයාහට බලවත් වූ පුරුෂයෙක් ගිනි ගෙණ දිලියෙන සජොතිභූත වූ අයොමය වූ දැලින් සකලශරීරය වෙඨනය කරන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව උතුම් වන්නේ ය. ඊට කාරණ කවරේ ද? යත්- මහණෙනි, ඒ කාරණයෙන් ඒ දුශ්ශීලයා මරණයට හෝ මරණ සමාන දුකට හෝ පැමිණෙන්නේ ය. ඒ කාරණයෙන් මරණින් මත්තෙහි ඝොර වූ නරකයෙහි නො උපදින්නේ ය. මහණෙනි, ඒ දුශ්ශීලයා රජ බමුණු වෙළෙඳ ගොවි ආදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් දෙන ලද සිවුරු පරිභොග කරන්නේ ය යන යමක් ඇද් ද, ඒ කාරණය, මහණෙනි, ඕහට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මරණින් මත්තෙහි නරකයෙහි උපදින්නේය.

‘මහණෙනි, හේ තෙපි කුමක් සිතවු ද? බලවත් වූ පුරුෂයෙක් ගින්නෙන් රත් වූ යකඩ අඬුවකින් මුඛය විවෘත කොට ගිනි ගෙණ දිලියෙන්නා වූ සම්ප්‍ර‍ජ්වලිත වූ සජොතිභූත වූ රත් වූ ලොහො ගුලියක් මුඛයෙහි බහා ලන්නේ වී නම්, ඒ ලොහොගුළිය ඔහුගේ ඕෂ්ඨයත් දවමින් මුඛයත් දවන්නේ ය. දිවත් දවන්නේ ය. උගුරත් දවන්නේ ය. බඩත් දවන්නේ ය. බඩවැලුත් අතුනුබහනුත් ඇද ගෙණ අධොභාගයෙන් නික්ම යන්නේ ය යන යමක් ඇද් ද, ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් දෙන ලද පිණ්ඩපාතය වළඳන්නේ ය යන යමක් ඇද් ද, මෙයින් කවරක් උතුම් දැ?’ යි විචාළසේක. ‘ස්වාමීනි, ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් දෙන ලද පිණ්ඩපාතය වළඳන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව උතුම් වන්නේ ය. ස්වාමීනි, බලවත් වූ පුරුෂයෙක් ගින්නෙන් රත් වූ යකඩ අඬුවකින් මුඛය විවෘත කොට ගිනි ගෙණ දිලියෙන ලොහො ගුළියක් මුඛයෙහි බහාලන්නේ වී නම්, ලෝගුළිය ඔහුගේ ඔෂ්ඨයත් දවමින් මුඛය රහදිව උගුර බඩ දවා බඩවැල අතුනුබහන ඇද ගෙණ අධොමාර්ගයෙන් නික්ම යන්නේ ය යන නමක් ඇද් ද, ඒ බව ම අහෝ! මහදුකැ’ යි දැන්වූහ. ‘මහණෙනි, තොපට කියන්නෙමි. මහණෙනි, තොපට දන්වන්නෙමි. භින්නාජිවිකපාපී වූ ඒ දුශ්ශීලයාහට බලවන්ත පුරුෂයෙක් ගිනි ගෙණ දිලියෙන යකඩඅඬුවෙන්මුඛය විවෘත කොට ගිනි ගෙණ දිලියෙන ලොහොපිණ්ඩය මුඛයෙහි බහා ලන්නේ (185) වී නම්, ඒ ලොහොගුළිය ඔහුගේ ඔෂ්ඨයත් දවමින් මුඛය උගුර බඩ දවා බඩවැල අතුනුබහන ඇද ගෙණ අධොභාගයෙන් නික්ම යන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව ම උතුම් වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්- මහණෙනි, ඒ කාරණයෙන් එතෙම මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණ සමාන වූ දුකට හෝ පැමිණෙන්නේ ය. ඒ ප්‍ර‍ත්‍යයයෙන් මරණින් මත්තෙහි නරකයෙහි නො ම උපදින්නේ ය. මහණෙනි, ඒ අශ්‍ර‍මණ වූ දුශ්ශීලපුද්ගලතෙම රජ බමුණු ආදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් දෙන ලද පිණ්ඩපාතය වළඳා නම්, ඒ කාරණය, මහණෙනි, ඕහට බොහෝ කාලයක් අවැඩ පිණිස සතර අපා දුක් පිණිස වන්නේ ය. මරණින් මත්තෙහි නරකයෙහි උපදින්නේ ය.

‘මහණෙනි, හේ තෙපි කුමක් සිතවු ද? බලවත් වූ පුරුෂයෙක්තෙම දැඩි කොට හිස හෝ අල්වා ගෙණ පිටිකර හෝ අල්වා ගෙණ ගිනි ගෙණ දිලියෙන යකඩමය ඇඳක හෝ යඩමය පුටුවෙක හෝ හිඳුවා ලන්නේය. සයනය කරවා ලන්නේ ය යන යමක් ඇද් ද, ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් දෙන ලද ඇඳ පුටු පරිභොග කරන්නේ ය යන යමක් ඇද් ද, මෙයින් කවරක් උතුම් දැ? යි විචාළසේක. ‘ස්වාමීනි, රජ බමුණු ආදී වූ ශ්‍ර‍ද්ධාවතුන් විසින් දෙන ලද ඇඳපුටු ආදිය පරිභොග කරන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව ම උතුම් වන්නේ ය. ස්වාමීනි, බලවත් වූ පුරුෂයෙක් හිස හෝ අල්වා ගෙණ ශරීරය හෝ අල්වා ගෙණ ගිනි ගෙණ දිලියෙන යකඩමය පුටුවෙක්හි හිඳුවා ලන්නේ ය. යකඩ ඇඳෙහි සයනය කරවා ලන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව මහදුක් වන්නේ ය’ යි දැන්වූහ. ‘මහණෙනි, තොපට කියන්නෙමි. මහණෙනි, තොපට දන්වන්නෙමි. පාපී වූ අකර්තව්‍යසේවනය කරණ දුශ්ශීලයාහට බලවත් පුරුෂයෙක් හිස හෝ කඳ හෝ අල්වා ගෙණ ගිනි ගෙණ දිලියෙන පුටුවක හිඳුවා ලන්නේ ය. ඇඳක හෝ සයනය කරවා ලන්නේ ය යන යමක් ඇද් ද, මේ බව ම උතුම් වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්:- මහණෙනි, ඒ තෙම ඒ කාරණයෙන් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණ සමාන වූ දුකට හෝ පැමිණෙන්නේ ය. එපමණක් මුත් ඒ කාරණයෙන් මරණන් මත්තෙහි නරකයෙහි නො උපදින්නේ ය. මහණෙනි, ඒ දුශ්ශීලතෙම ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන්ගේ ශ්‍ර‍ද්ධාවෙන් දුන් ඇඳපුටු පරිභොග කරන්නේ ය යන යමෙක් ඇද් ද, ඒ කාරණය, මහණෙනි, බොහෝ කලක් ඕහට අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මරණින් මත්තෙහි නරකයෙහි උපදින්නේ ය.

‘මහණෙනි, හේ තෙපි කුමක් සිතවු ද? බලවත් වූ පුරුෂයෙක්තෙම යමෙකු ඌර්ධ්වපාද කොට අධඃශීර්ෂ කොට අල්වා ගෙණ ගිනි ගෙණ දිලියෙන්නා වූ සම්ප්‍ර‍ජ්වලිත වූ සජොතිභූත වූ රත් වූ මහලොහොකටාරයෙක බහාලන්නේ වී නම්, එතෙම ඒ ලොහොකටාරයෙහි පෙණ නැඟෙන ශරීරයෙන් පැසෙමින් වරෙක පැසිපැසී මත්තට යන්නේ ය. වරෙක පැසිපැසී අධොභාගයට යන්නේ ය. වරෙක පැසිපැසී සරස යන්නේ ය යන යමක් ඇද් ද, ක්ෂත්‍රියබ්‍රාහ්මණාදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් තනවා දෙන ලද පන්සල් විහාරවල් පරිභොග කරන්නේ ය යන යමක් ඇද් ද, මෙයින් කවරක් උතුම් දැ?’ යි විචාළසේක. ‘ස්වාමීනි, ක්ෂත්‍රියබ්‍රාහ්මණමහාසාරාදීන් විසින් ශ්‍ර‍ද්ධාවෙන් කරවා දෙන ලද විහාර පරිභොග කරන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව උතුම් වන්නේ ය. ස්වාමීනි, බලවත් වූ පුරුෂයෙක් (186) යමෙකු ඌර්ධ්වපාද අධඃශීර්ෂ කොට අල්වා ගෙණ ගිනි ගෙණ දිලියෙන තප්ත වූ ලොහොකුම්භියෙක ප්‍ර‍ක්ෂෙප කරන්නේ වී නම්, එතෙම ඒ සැළෙහි පෙණ නැඟෙන ශරීර ඇති ව පැසෙමින් වරෙක ඌර්ධ්ව යන්නේ ය වරෙක යට යන්නේ ය. වරෙක සරස යන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව ‘ඉතා දුකැ’ යි දැන්වූහ. ‘මහණෙනි, තොපට මම කියන්නෙමි. මහණෙනි, තොපට මම දන්වන්නෙමි. ඒ පාපී වූ දුශ්ශීලයාහට බලවත් වූ පුරුෂයෙක් ඌර්ධ්වපාද අධඃශීර්ෂ කොට අල්වා ගෙණ ගිනි ගෙණ දිලියෙන මහාලොහකුම්භියෙක බහා ලන්නේ වී නම්, එතෙම ඵෙණුද්දේහක ව පැසෙමින් ඌර්ධවාධොසරස පැසෙන්නේ ය යන යමක් ඇද් ද, ඒ බව උතුම් වන්නේ ය. ඊට කාරණ කවරේ ද? යත්:- ඒ කාරණයෙන්, මහණෙනි, එතෙම මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණ සමාන දුකට හෝ පැමිණෙන්නේ ය. ඒ ප්‍ර‍ත්‍යයයෙන් මරණින් මත්තෙහි නරකයෙහි නො උපදින්නේ ය. මහණෙනි, ඒ දුශ්ශීල වූ පාපධර්මයන් ඇති අසුචිසංකස්සරසමාචාර ඇති ප්‍ර‍ච්ඡන්නකර්මාන්තයන් ඇති අශ්‍ර‍මණ වූ ශ්‍ර‍මණප්‍ර‍තිපදා ඇති ශ්‍රෙෂ්ඨචාරී නො වූ ශ්‍රෙෂ්ඨචාරි ප්‍ර‍තිඥා ඇති ඇතුළත්හි අකුශලධර්මයෙන් කුණු වූ නිත්‍යයෙන් කෙලෙසුන් විසින් මඩනා ලද්දා වූ පාපකසළ එකතු වන කසළ ගොඩක් වූ පුද්ගලතෙම ක්ෂත්‍රියමහාසාරයන්ගේ බ්‍රාහ්මණමහාසාරයන්ගේ ගෘහපතිමහාසාරයන්ගේ විහාරවල් පරිභොග කරන්නේ ය යන යමක් ඇද් ද, ඒ කාරණය, මහණෙනි, ඕහට බොහෝ කාලයක් අහිත පිණිස දුක්ඛවිපාකය පිණිස වන්නේ ය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැපතින් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන්නා වූ සැපආස්වාදයක් නැත්තා වූ නරකයෙහි උපදින්නේ ය.

“තස්මා තිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං; යෙසඤ්ච මයං පරිභුඤ්ජාම චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං තෙසං තෙ කාරා මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා, අම්හාකං චෙවායං පබ්බජ්ජා අනවජ්ජා භවිස්සති සඵලා සඋද්‍ර‍යාති, එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං, අත්තත්‍ථං චා භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං පරත්‍ථං වා භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං, උභයත්‍ථං වා භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතු”න්ති.

“එහෙයින්, මහණෙනි, මේ ජිනශාසනයෙහි අර්හද්ධ්වජය ධරණුවන් විසින් මෙසේ හික්මිය යුත්තේ ය. අපි යම් ශ්‍ර‍ද්ධාවත් ගෘහස්ථකෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත සෙනාසන ග්ලානප්‍ර‍ත්‍යය බෙහෙත් පිරිකර වළඳින්නමෝ වෙමු ද? ඔවුන්ගේ ඒ ප්‍ර‍ත්‍යුපකාරයෝ මහත්ඵල වෙද් ද, මහානිසංස වෙද් ද, අපගේ මේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාවත් අපට සිස් නො වේ ද, ස්වර්ග මොක්ෂ සැපත් ලැබීමෙන් සඵල වේ ද, ස්වර්ගමොක්ෂසැපතට කැඳවීමෙන් සඋද්‍ර‍ය වේ ද, මෙසේ මහණෙනි, තොප විසින් හික්මිය යුත්තේ ය. මහණෙනි, ආත්මාර්ථය හෝ බලන්නාහු විසින් අප්‍ර‍මාදයෙන් ත්‍රිවිධ ශික්ෂාව සම්පාදනය කරන්නට සුදුසු වන්නේ ය. මහණෙනි, පරාර්ථය හෝ බලන්නාහු විසින් ත්‍රිවිධශික්ෂාව අප්‍ර‍මාදයෙන් සම්පාදනය කරන්ට සුදුසු වන්නේ ය. (187) මහණෙනි, ආත්මාර්ථපරාර්ථද්වය හෝ බලන්නාහු විසින් ත්‍රිවිධශික්ෂාව සම්පාදනය කරන්නට සුදුසු වන්නේ මය’ යි කියා මේ දුශ්ශීල භයංකර වූ අග්ගික්ඛන්ධොපම සූත්‍ර‍ය ත්‍රෛලොක්‍යතිලක වූ අප භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මේ වෙය්‍යාකරණ නම් නිර්ගාථකසූත්‍රාන්තධර්මදෙශනාව වදාරණ කල්හි සැටක් පමණ අශික්ෂිතාචාර වූ දුශ්ශීලභික්ෂූන්ගේ හෘදය උණු ව ලේ ඉතිරෙමින් මුඛයෙන් හුණු ලේ වමනය වි ය. සැටක් පමණ භික්ෂූහු ‘අපි මහණ ව සිට සිල් රක්නට නො හැකියම්හ’ යි සිතා හික්ෂ්‍යාප්‍ර‍ත්‍යාඛ්‍යානය කොට ගිහි වූහ. ජිනානුශාසනයෙහි පිරිසිදු ව හැසුරුණා වූ සැටදෙනෙකුන් වහන්සේ මාරවාරණදර්පමර්නදය කළා වූ තථාගතයන් වහන්සේට දොහොත් මුදුන් දී ‘දුක්කරං භගවා සුදුක්කරං භගවා’ යනාදීන් ප්‍ර‍තිවචන දෙමින් ධර්මදෙශනාව පිළිගත්හ. ඒ සැටදෙනා වහන්සේගේ චිත්තයෝ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් නො ගැණීමෙන් චතුරාශ්‍ර‍වයන් කෙරෙන් මිදුනාහු ය. එහෙයින් ඒ සැටදෙනා තමන් කර ගත් දෙයින් ම විනාශ වූහ.

“මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් සියල්ලන්ට ම අමෘතරසයක් දෙන්නේ ය. ඒ ජනයෝ ඒ අමෘතරසය අනුභව කොට අරෝගී ව දීර්ඝායුෂ්ක ව සියලු ම උපද්‍ර‍වයෙන් මිදෙන්නාහු ය. එකල එක්තරා අඥානපුරුෂයෙක් ඒ අමෘතය අනුභව කොට ඔහුගේ දුරුපචාරයෙන් මරණයට පැමිණෙන්නේ ය. කිමෙක් ද? මහරජානෙනි, ඒ අමෘතය දුන් පුරුෂතෙම ඒ කාරණයෙන් මඳකුත් අපුණ්‍යයකට පැමිණේ දැ” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ දසසහශ්‍රීලොකධාතුයෙහි දිව්‍යමනුෂ්‍යයන්ට අමෘතමහාධර්මදානය දෙනසේක. යම් ඒ සත්වකෙනෙක් සද්ධර්මාමෘතපානය කිරීමට යොග්‍යයෝ ද, ඒ සත්වයෝ සද්ධර්මාමෘතය පානය කිරීමෙන් චතුස්සත්‍යය අවබොධ කෙරෙති. යම් ඒ සත්වකෙනෙක් අභව්‍යයෝ ද, ඒ සත්වයෝ ධර්මාමෘතය පානය කිරීමෙන් නසින්නාහ. පතිත වන්නාහ. මහරජානෙනි, භොජනය සකලසත්වයන්ගේ ජීවිතය රක්ෂා කරන්නේ ය. ඒ භොජනය සමහර කෙනෙක් අනුභව කොට අජීර්ණ ව විරෙකාබාධයෙන් නසින්නාහු ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ භොජනය දුන් පුරුෂතෙම ඒ කාරණයෙන් මඳකුත් අපුණ්‍යයකට පැමිණේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ දශසහශ්‍රීලොකධාතුයෙහි වසන දිව්‍යමනුෂ්‍යයන්ට සද්ධර්මාමෘතමහාදානය දෙනසේක. යම් ඒ සත්වකෙනෙක් යොග්‍ය වූ ද, ඒ සත්වයෝ සද්ධර්මාමෘතපානයෙන් චතුස්සත්‍යය අවබොධ කරන්නාහ. යම් ඒ සත්වකෙනෙක් නිවන් ලැබීමට අයොග්‍ය වූ ද, ඒ සත්වයෝ සද්ධර්මාමෘතයෙන් නසින්නාහ. පතිත වන්නාහ” යි වදාළසේක. මේ ප්‍ර‍ශ්නව්‍යාඛ්‍යානයෙන් අතිප්‍ර‍සන්න වූ මිලිඳු මහරජානෝ “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ජිනෙන්ද්‍ර‍ ශාසනයෙන් පහ ව දුවන රඟට දුශ්ශීලයන්ට තර්ජනය කර වදාළසේක. දුශ්ශීලරජස් පිඹ හැර වදාළසේක. යහපත, ස්වාමීනි, නුඹ වහන්සේ වදාළ මේ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කියා ස්තුති කළහ.

උණුලේ නිර්ගත ප්‍ර‍ශ්නය නිමි.

  1. තෘණ

  2. පණුවන්

  3. කරන්නට හැකි

  4. ගැසීමට

  5. වාලරජ්ජුතොමෝ

  6. ඕහට