ශ්‍රෙෂ්ඨධර්‍ම ප්‍ර‍ශ්නය

නැවතත් මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අග්ගඤ්ඤසූත්‍රයෙහි වාසෙට්ඨ නම් බ්‍රාහ්මණයා හට ‘වාසෙට්ඨයානෙනි, මේ ජනසමූහයා කෙරෙහි ඉහාත්මභාවයෙහි ද, පරලෙව්හි ද ගුණධර්මය වනාහි ශ්‍රෙෂ්ඨ ය’ යි කියා මෙම වචනය වදාරණ ලද්දේ ය. නැවැතත් එම බුදුමුඛයෙන් ම ‘වසන ලද සතර අපායද්වාරයන් ඇත්තා වූ සම්‍යක්දෘෂ්ටියගේ වශීප්‍රාප්ත වූ සර්වඥානුශාසනාව දැන ගත්තා වූ එහෙයින් ම සෝවාන් වූ ගෘහස්ථ වූ උපාසකතෙම පෘථග්ජන වූ උපසම්පන්න නමක් වුවත් සාමණෙරනමක් වුවත් පසඟ පිහිටුවා වඳින්නේ ය. දැක ආසනයෙන් නැඟී සිටින්නේ ය’ යි කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ධම්මො හි වාසෙට්ඨ සෙට්ඨො ජනෙතස්මිං දිට්ඨෙ ව ධම්මෙ අහිසංපරායෙ වා’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම් එහෙයින් ‘උපාසකො ගිහී සොතාපන්නො පිහිතාපායො දිට්ඨිප්පත්තො විඤ්ඤාතසාසනො භික්ඛුං වා සාමණෙරං වා පුථුජ්ජනං අභිවාදෙති පච්චුට්ඨෙති’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘උපාසකො ගිහී සොතාපන්නො පිහිතාපායො දිට්ඨිප්පත්තො විඤ්ඤාතසාසනො භික්ඛුං වා සාමණෙරං වා පුථුජ්ජනං අභිවාදෙති පච්චුට්ඨෙති’ යි කියා වදාළ වචනය සැබෑ වී නම්, එහෙයින් ‘ධම්මො හි වාසෙට්ඨ සෙට්ඨො ජනෙතස්මිං දිට්ඨෙව ධම්මෙ අහිසම්පරායෙ වා’ යි කියා වදාළ වචනය බොරු වන්නේ ය. (177) මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඒ ප්‍ර‍ශ්නයතෙම ඉසිලිය යුත්තේ ය” යි කීහ.

‘මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් වාසෙට්ඨ නම් බ්‍රාහ්මණයාහට ‘වාසෙට්ඨය, මේ ලොකවාසී ජනයා කෙරෙහි ඉහාත්ම භාවයෙහි ද පරලෙව්හි ද ධර්මය වනාහි ශ්‍රෙෂ්ඨ වන්නේ ය’ යි කියාත් මෙම වචනය වදාරණ ලද්දේ ය. නැවැත ද ‘වසන ලද සතරඅපායයන් ඇත්තා වූ දෘෂ්ටියගේ වශීප්‍රාප්ත වූ සර්වඥානුශාසනාව දැන ගත්තා වූ සෝවාන් ගෘහස්ථඋපාසකතෙම පෘථග්ජනඋපසම්පන්න නමකට හෝ සාමණෙරනමකට හෝ පසඟ පිහිටුවා වඳින්නේ ය. දැක ආසනයෙන් නැඟී සිටින්නේ ය’ යි කියාත් වදාරණ ලද්දේ ම ය. එහි කාරණයක් ඇත. ඒ කාරණය කවරේ ද? යත්:- මහරජානෙනි, යම් ගුණධර්ම කෙනෙකුන් කරණ කොට ගෙණ ශ්‍ර‍මණතෙම අභිවාද ප්‍ර‍ත්‍යුපස්ථාන සම්මාන පූජනයට සුදුසු වේ ද, ශ්‍ර‍මණයාගේ ශ්‍ර‍මණකරණධර්මයෝ ඒ මේ විසිදෙනෙක් වෙති. වේසයෝ ද විවිධ වන්නාහු ය.

“කතමෙ විසති සමණස්ස සමණකරණාධම්මා ද්‍වෙ ව ලිඞ්ගානි? සෙට්ඨභුමිසයො[1] අග්ගො නීයාමො[2] චාරො විහාරො සංයමො සංවරො ඛන්ති සොරච්චං එකත්තචරියා එකත්තා භීරති පටිසල්ලානං හිරිඔත්තප්පං විරියං අප්පමාදො සික්ඛාපදානං උද්දෙසො පරිපුච්ඡා සීලාභිරතා නිරාලයතා සික්ඛා පදපරිපූරිතා කාසාවධාරණං භණ්ඩුභාවො, ඉමෙ ඛො, මහාරාජ, වීසති සමණස්ස සමණකරණා ධම්මා ද්‍වෙ ව ලිඞ්ගානි.”

‘ඒ ද්විවිධ ලිඟු හා ශ්‍ර‍මණයාගේ ශ්‍ර‍මණකරණ ධර්මයෝ විසිදෙන කවර? යත්:- බුද්ධාදී ආර්යයන් විසින් පසස්නා ලද බැවින් ගෘහස්ථයන්ට වඩා ප්‍ර‍ශස්ත වූ ගුණයෙන් යුක්ත බව ය[3], කායවාදා මනස්සංඛ්‍යාත ත්‍රිවිධද්වාරය ක්ලෙශසංසර්ගයෙන් නො ඉසිලී ම ය, ශ්‍රෙෂ්ඨගුණයෙන් යුක්තබව ය, නිවන් දෙන ප්‍ර‍තිපත්තියෙන් යුක්තබව ය, ප්‍ර‍තිපත්තියෙහි හැසිරීමෙන් යුක්තබව ය, සන්හුන් ඊර්යාපථවිහරණයෙන් යුක්තබව ය, කායවාක් සංයමයෙන් යුක්තබව ය, ඉන්ද්‍රියසංවරයෙන් යුක්තබව ය, ක්ෂාන්තියෙන් යුක්තබව ය, සුවච කීකරු භාවයෙන් යුක්තබව ය, එකලා ව හැසිරීමෙන් යුක්ත බව ය, එකලා ව හැසිරීමෙහි ඇලීමෙන් හා කාය විවේකයෙන් යුක්තබව ය, චිත්තෛකාග්‍ර‍තාවෙන් යුක්තබව ය, පාපයෙහි ලජ්ජා භයින් යුක්තබව ය, නිවන් සාධන සතර සම්‍යක්ප්‍රධානවීර්යයෙන් යුක්තබව ය, නිවන් සොයන අප්‍ර‍මාදස්මෘතියෙන් යුක්තබව ය, ශික්ෂාපදයන්ගේ ඉගෙණීම ය, ශික්ෂාපදයන්ගේ අර්ථ විචාරීම ය, ශීලාදිගුණ ධර්මයෙහි ඇලීම ය, පඤ්චකාමයෙහි ඇලුම් නැති බව ය, ප්‍ර‍ඥප්තශික්ෂාපද සම්පූර්ණ කොට ඉගෙණීම ය, සිවුරු ධාරණයෙන් යුක්තබව ය, හිස මුඩු බව දැ යි යන මේ විසි ගුණය වනාහි, මහරජානෙනි, ශ්‍ර‍මණයාගේ ද්විවිධ වූ වේසය හා ශ්‍ර‍මණකරණධර්මයෝ’ යි.

‘භික්ෂූන් වහන්සේ මේ යථොක්ත වූ ගුණධර්මයන් සමාදන් ව ගෙණ පවත්වනසේක. ඒ භික්ෂුතෙම ඒ ගුණධර්මයන්ගේ අනූන බැවින් පරිපූර්ණ බැවින් සම්පන්න බැවින් සමන්නාගත බැවින් හික්මීමට ඉතිරි දෙයක් නැති බැවින් අසෙඛභූමි නම් වූ අරහත්තභූමියට පැමිණෙන්නේ ය. ශ්‍රෙෂ්ඨ වූ අමෘතමහාඅවකාශභූමියට පැමිණෙන්නේ ය. (178) මහරජානෙනි, මහණ වීමෙන් රහතුන්ගේ ආසන්නයට ගියසේකැ’ යි කියා සෝවාන් උපාසකතෙම පෘථග්ජනභික්ෂුනමට පසඟ පිහිටුවා වඳින්නට ද දැක ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය. ‘ක්ෂීණාශ්‍ර‍වයන් වහන්සේලා හා යම් භික්ෂුනමෙක් සමාන බවට පැමිණිසේක් ද, ඒ සාමග්‍රී ලාභය මට නැතැ’ යි සිතා සෝවාන් වූ උපාසකතෙම පෘථග්ජන භික්ෂුනමට අභිවාදනය කරන්නට ද ආසනයෙන් නැඟී සිටින්ට ද සුදුසු වන්නේ ය. ‘උන්වහන්සේ රහතුන්ගේ අග්‍ර‍පිරිසට පැමිණිසේක. මම ඒ ඉසුරට නො පැමිණියෙමි’ යි සිතා සෝවාන් උපාසකතෙම පෘථග්ජනභික්ෂු නමට වඳින්නට ද ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය. ‘උන් වහන්සේ පොහොය කෙරෙමින් පාමොක්දෙශනාව අසන්ට ලබනසේක. මම ඒ දෙශනාව අසන්ට නො ලබමි’ යි සිතා සෝවාන් වූ උපාසකතෙම පෘථග්ජනභික්ෂුනමට වඳින්නට ද ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය. ‘උන් වහන්සේ දශවයස් පිරි උපාධ්‍යාය ව කර්මාචාර්ය ව සෙස්සන් මහණ කරණසේක. නිසදෙනසේක. උපසම්පදා කරණසේක. ජිනශාසනය වර්ධනය කරණසේක. මෙබඳු කට යුතු කරන්නට මම නො ලබමි’ යි සිතා සෝවාන් වූ උපාසකතෙම පෘථග්ජනභික්ෂුනමට වඳින්නට ද ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය. ‘උන් වහන්සේ අප්‍ර‍මාණ වූ ශික්ෂාපදයෙහි සම්පූර්ණකාරී වනසේක. මම ඒ ශික්ෂාපදයන් කෙරෙහි නො පවත්නෙමි’ යි සිතා සෝවාන් වූ උපාසක තෙම පෘථග්ජන‍ භික්ෂුනමට වඳින්නට ද ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය. ‘උන්වහන්සේ ශ්‍ර‍මණවෙශයට පැමිණෙමින් බුද්ධාභිප්‍රායෙහි සිටිසේක. මම ඒ ශ්‍ර‍මණවෙශයෙන් දුරට පහ ව ගියෙමි’ යි සිතා සෝවාන් වූ උපාසකතෙම පෘථග්ජනතෙම භික්ෂුනමට පසඟ පිහිටුවා වඳින්නට ද දැක ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය. ‘උන්වහන්සේ දික් වූ කක්ෂලොමයන් ඇතිසේක. වස්ත්‍රාභරණයෙන් හා අඳුන් නො ඇඳීම් නො සැරසීම් ඇතිසේක. ආලෙප වූ ශීලසුගන්ධයන් ඇතිසේක. මම වනාහි මණ්ඩනාභරණයෙහි ඇලුම් ඇත්තේමි’ යි සිතා සෝවාන් වූ උපාසකතෙම පෘථග්ජන භික්ෂුනමට වඳින්නට ද දැක ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් ‘යම් ඒ විසිවැදෑරුම් වූ ශ්‍ර‍මණකරණධර්මකෙනෙක් ඇද් ද, ද්විවිධ වෙශයෙන් ඇද් ද, සියලු ම ඒ ගුණධර්මයෝ භික්ෂූහු කෙරෙහි පවත්නාහ. භික්ෂූහු ම ඒ ධර්මයන් ධරණසේක. සෙස්සනුත් එහි හික්මවන සේක. ඒ ආගමධාරණය ද හික්මවා ලීම ද මට නැතැ’ යි සිතා සෝවාන් වූ උපාසක තෙම පෘථග්ජන භික්ෂුනමට බැස වඳින්නට ද දැක නැඟී සිටින්නට ද සුදුසු වන්නේ ය.

“තවද මහරජානෙනි, යම් සේ රාජකුමාරතෙම පුරොහිතයාගේ සමීපයෙහි විද්‍යාව උගන්නේ ය. රාජධර්මය ශික්ෂණය කරන්නේ ය.[4] ඒ රාජකුමාරතෙම මෑතභාගයෙහි පිය රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් රාජාභිෂෙකයට පැමිණ ‘මේ තෙම මාගේ ශික්ෂක ගුරුන්වහන්සේ ය’ යි සිතා ගුරුවරයාට බැස වඳින්නේ ය. දැක ආසනයෙන් නැඟී සිටින්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ශික්ෂක[5] වූ ‘මුන්වහන්සේ (179) ශාසනවංශය ධරණසේකැ’ යි සිතා සෝවාන් වූ උපාසකතෙම පෘථග්ජනභික්ෂු නමට බැස වඳින්නට ද දැක ආසනයෙන් නැඟී සිටින්නට ද සුදුසු වන්නේ යි.

“තවද, මහරජානෙනි, භික්ෂුභූමියෙහි මේ මහත්බව ද අසමවිපුල බව ද මේ කාරණයෙනුත් දැන ගත මැනැව. ඉදින්, මහරජානෙනි, සෝවාන් ව සිටි උපාසකතෙම අර්හත්ඵලය සිද්ධ කෙළේ නම්, ඕහට ගතීහු දෙකෙක් වන්නාහ. අනික් ගතියක් නැත්තේ ය.[6] කවර දෙගතියෙක් ද? යත්:- ඒ රහත් වූ දවසෙහි ම පිරිනිවන් පාන්නේ හෝ භික්ෂුභාවයට පැමිණෙන්නේ හෝ ය. මහරජානෙනි, ඒ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාතොම අචල වූවා ය. ඉතා මහත් වූවා ය. යම් මේ භික්ෂුභූමිය ඉතා උස් ව පැන නැංගාය” යි වදාළසේක. එකල මිලිඳු මහරජානෝ “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තීක්ෂණඥානයෙන් යුක්ත වූ මේ ප්‍ර‍ශ්නයතෙම බලවත් වූ දෘඨ වූ බුද්ධි ඇති නුඹ වහන්සේ විසින් යහපත් කොට නිර්වෙඨනය කරණ ලද්දේ ය. නුඹ වහන්සේ සදෘශ වූ ප්‍ර‍ඥාවතුන් වහන්සේ කෙනෙකුන් විසින් හැර මේ ප්‍ර‍ශ්නය මෙලෙස නිර්වෙඨනය කරන්ට අනික් සමර්ථ කෙනෙක් නැතැ” යි කියා ප්‍ර‍ශංසා කළහ.

ශ්‍රෙෂ්ඨධර්මප්‍ර‍ශ්නය නිමි.

  1. සෙට්ඨො සමො

  2. සංයමො

  3. ‘ගෘහස්ථයන්ට වඩා ශ්‍රෙෂ්ඨ වූ ප්‍ර‍ව්‍ර‍ජ්‍යා භූමියෙහි සිටින බව ය’ යි පරිවර්තනය විය යුතු ය.

  4. කරවන්නේ ය

  5. ශික්ෂාපිත

  6. නැත්තාහ