අභෙද්‍යපිරිස් ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ‘තථාගතයන් වහන්සේ අභෙද්‍යපිරිස් වූසේකැ’ යි කියනසේක. නැවත ද දෙවදත්ත තෙරුන් වහන්සේ විසින් ‘පන්සියයක් භික්ෂූන් එක පහරින් බිඳින ලදැ’ යි කියනසේක. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ අභෙද්‍යපිරිස් ඇතිසේක් වූ නම්, එහෙයින් දෙවදත්තයන් විසින් ‘එකපහරින් පන්සියයක් භික්ෂූහු බිඳින ලදැ’ යි කී යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘දෙවදත්තෙන එකප්පහාරෙන පඤ්චභික්ඛුසතනා භින්නානි’ යි කී වචනය සැබෑ වී නම්, එහෙයින් ‘තථාගතො අභෙජ්ජපරිසො’ යි කී වචනය බොරු වන්නේ ය. නුඹ වහන්සේ කරා පැමිණියා වූ මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද අතිගම්භීර වන්නේ ය. අවිශදබුද්ධියකු විසින් නිර්වෙඨනය නො කළ හැකි බැවින් උනා ලිය නො හැකි ගණ්ඨියකටත් වඩා ගණ්ඨිතරයෙක. මේ ප්‍ර‍ශ්නයෙහි[1] මේ ලෝවැසිතෙම විමතියෙන් ආවෘත වන ලද්දේ ය. නිවෘත වන ලද්දේ ය. වැසෙන ලද්දේ ය. වලඳනා ලද්දේ ය. එහි නුඹ වහන්සේගේ ඤාණබලය පරවාදනිග්‍ර‍හයෙහි දක්වා වදාළ මැනැවැ” යි කීහ.

“මහරජානෙනි, තථාගතයන් වහන්සේ අභෙද්‍යපිරිස් ඇතිසේක. දෙවදත්තතෙරුන් වහන්සේ විසින් ද එක පැහැර පන්සියයක් භික්ෂූහු බිඳින ලද්දාහු ය. ඒ බිඳුනු කාරණය භෙදකයාගේ බලයෙක් වන්නේ ය. මහරජානෙනි, භෙදකයන් ඇති කල්හි නො බිඳෙන පිරිසෙක් නම් නැත්තේ ය. භෙදකයන් ඇති කල්හි මෑනියෝ පුත්‍ර‍යා හා බිඳෙන්නාහ. පුත්‍ර‍යාත් මෑනියන් හා බිඳෙන්නේ ය. පියානෝත් පුත්‍ර‍යා හා බිඳෙන්නාහ. පුත්‍ර‍යාත් පියානන් හා බිඳෙන්නේ ය. බෑයාත් නැගනියන් හා බිඳෙන්නේ ය. නැගනියෝත් බෑයා හා බිඳෙන්නාහ. යහළුවාත් යහළුවා හා බිඳෙන්නේ ය. නොයෙක් දාරුසමූහයෙන් සංඝටිත වූ නැවත් රැළවෙග ප්‍ර‍හාරයෙන් බිඳෙන්නේ ය. මී හා සමාන රස ඇති ඵලසම්පන්න වූ වෘක්ෂය වාතබලවෙගයෙන් ඇඹර වී බිඳෙන්නේ ය. ජාතිමත් ස්වර්ණයත් ලොහයෙන් බිඳෙන්නේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් තථාගතයන් වහන්සේ ‘භෙද්‍යපිරිස් ඇතිසේකැ’ යි කියන්නා වූ මේ අභිප්‍රාය නුවණැත්තන්ගේ අභිප්‍රායයෙක් නො වන්නේ ය. මේ තොමෝ ගුණනුවණින් (176) වැඩ සිටි වෘද්ධයන්ගේ අධිමුත්තියක් නො වන්නීය. මේ තෙම පණ්ඩිතවරුන්ගේ ආලයෙක් නො වන්නේ ය. එතෙකුදු වුවත් මෙහි යම් කාරණයකින් තථාගතයන් වහන්සේ ‘අභෙද්‍යපිරිස් ඇතිසේකැ’ යි කියා කියනු ලැබේ ද, එබඳු වූ කාරණයක් ඇත්තේ ය. මෙහි ඒ කාරණය කවරේ ද? යත්:- මහරජානෙනි, තථාගතයන් වහන්සේගේ කරණ ලද අදාන[2] ක්‍රියාවකින් හෝ අප්‍රියවචනයෙකින් අනර්ථචර්යාවකින් හෝ අසමානාත්මතාවකින් හෝ යම් කිසි හෙයකින් හැසිර වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ පිරිස බිඳෙන ලදැ යි කියා මා විසින් නො අසන ලද්දේ ය. ඒ කාරණයෙන් ‘තථාගතයන් වහන්සේ අභෙද්‍යපිරිස් වූසේකැ’ යි කියනු ලැබෙයි. මහරජානෙනි, මේ කාරණය තොප විසිනුත් දත යුත්තේ ය. නවාංගශාසනබුද්ධවචනයෙහි පෙර බොධිසත්වයන් වහන්සේ විසින් කරණ ලද්දා වූ මෙනම් කාරණයෙන් තථාගතයන් වහන්සේගේ ‘පිරිස බිඳෙන ලදැ’ යි කියා සූත්‍රයෙහි ආවා වූ කිසිවක් ඇසුයේ ඇද් ද?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, මෙබන්දක් ලොකයෙහි නො ම දක්නා ලැබෙයි. අසනුත් නො ලැබෙයි. යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වදාළ මේ කාරණය එපරිද්දෙන් පිළිගන්නෙමි” යි කීහ.

අභෙද්‍යපිරිස් ප්‍ර‍ශ්නය නිමි.

සකලජනමනොනන්දනීය වූ මෙණ්ඩකප්‍ර‍ශ්න නම් වූ මේ ශ්‍රීසද්ධර්මාදාසයෙහි දෙවෙනි වර්ගය නිමියේ ය.

  1. ප්‍ර‍ශ්නය

  2. අධි