“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, තථාගතයන් වහන්සේට වනාහි ‘මම භික්ෂුසංඝයා පරිහරණය කෙරෙමි’ යි කියා හෝ ‘භික්ෂුසංඝතෙම මා ම උද්දෙසක[1] කොට ඇත්තේ ය යි කියා හෝ මෙබඳු සිතෙක් නො වන්නේ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. නැවැත ද මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාව ගුණය දක්වා වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දැන් මම යම් සේ නොයෙක් සියගණන් භික්ෂුසංඝයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ මෛත්‍රෙය ද්විපදොත්තමයානෝ අනෙකසහස්‍ර ගණන් භික්ෂුසංඝයා පරිහරණය කරණසේකැ’ යි කියා මෙසේ වදාරණ ලද්දේ ය. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයානන් වහන්සේ විසින් ‘තථාගතස්ස ඛො ආනන්ද එවං හොති, අහං භික්ඛු සංඝං පරිහරාමීති වා මමුද්දෙසිකො භික්ඛුසංඝොති වා’ යි කියා වදාරණ ලද්දේ (174) වී නම්, එහෙයින් මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ ස්වභාව ගුණය දක්වා වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සො අනෙක සහස්සං භික්ඛුසංඝං පරිහරිස්සති, සෙය්‍යථාපි අහං එතරහි අනෙකසතං භික්ඛුසංඝං පරිහරාමි’ යි කියා වදාළ වචනය බොරු වන්නේ ය. ඉදින් මෛත්‍රෙය භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාව ගුණය දක්වා වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සො අනෙකසහස්සං භික්ඛුසංඝං පරිහරිස්සති සෙය්‍යථාපි අහං එතරහි අනෙකසතං භික්ඛුසංඝං පරිහරාමි’ යි කියා වදාළ වචනය සැබෑ වී නම්, ‘එහෙයින් තථාගතස්ස ඛො ආනන්ද න එවං හොති අහං භික්ඛුසංඝං පරිහරාමීති වා මමුද්දෙසිකො භික්ඛුසංඝොති’ කියා වදාළ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නයත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, තථාගතයන් වහන්සේගේ වනාහි ‘මම භික්ෂුසංඝයා පරිහරණය කෙරෙමි’ යි කියා හෝ ‘භික්ෂුසංඝතෙම මා උද්දෙස කොට ඇත්තේ ය’ යි කියා හෝ මෙසේ සිතෙක් නො වන්නේ ය’ යි කියා මේ කාරණයත් වදාරණ ලද්දේ ය. මෛත්‍රෙය නම් ද්විපදොත්තමයානන් වහන්සේගේ ස්වභාවගුණය දක්වා වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දැන් මම යම් සේ නොයෙක් සියගණන් භික්ෂුසංඝයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ මෛත්‍රෙය ද්විපදෝත්තමයානෝ නොයෙක් දහස්ගණන් භික්ෂුසංඝයා පරිහරණය කරණ සේකැ’ යි කියාත් වදාරණ ලද්දේ ම ය. මහරජානෙනි, ඒ වදාළ දෙශනායෙහි ද ප්‍රශ්නයෙක් ඇත. එක් අර්ථයෙක් සාවශෙෂ ය. එක් අර්ථයෙක් නිරවශෙෂ ය. මහරජානෙනි, තථාගතයන් වහන්සේ පිරිස හා අනුගාමික නො වනසේක. පිරිස වනාහි තථාගතයන් වහන්සේට අනුගාමික වන්නාහ. මහරජානෙනි, මේ කාරණයතෙම සම්මුතියෙක. ‘මම ය කියා හෝ මාගේ ය’ යි කියා හෝ මේ තෙම පරමාර්ථයෙක් නො වන්නේ ය. මහරජානෙනි, තථාගතයන් වහන්සේගේ ප්‍රෙමය පහ වන ලද්දේ ය. ස්නේහය ද පහ ව ගියේ ය. ‘මාගේ ය’ යි කියා තථාගතයන් වහන්සේගේ ග්‍රහණයක් නැත්තේ ය. ගැණීම පිණිස වනාහි ලොකයහට පිහිට වනසේක. ආධාර වනසේක. මහරජානෙනි, යම් සේ පෘථිවිතොම භූමියෙහි වසන සියලු සත්වයන්ට ප්‍රතිෂ්ඨා වන්නී ද, ආවාසය වන්නී ද, මහරජානෙනි, පෘථිවියෙහි සිටින්නා වූ ‘මේ සකල සත්වයෝ මාගේ ය’ යි කියා සිතිවිල්ලක් වත් පෘථිවියගේ අපෙක්ෂාවෙක් වත් නො ම ඇති වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ සියලු ම සත්වයන්ට ප්‍රතිෂ්ඨා වනසේක. මේ සකල සත්වයෝ තථාගතයන් වහන්සේ නිසා සිටින්නාහ. තථාගතයන් වහන්සේට මොවුහු ‘මාගේ ය’ යි කියා අපෙක්ෂාවක් නො වන්නේ ය.
“මහරජානෙනි, යම් සේ මහත් වූ මහාමෙඝයෙක් වර්ෂා කෙරෙමින් තෘණ වෘක්ෂ ලතා ගව මහිෂ මනුෂ්‍යයන්ට මහත් වෘද්ධිය දෙන්නේ ය. සන්තතිය පාලනය කරන්නේ ය. සියලු ම මේ සත්වයෝ වෘෂ්ටිය[2] ම උපජීවනය කොට ඇත්තාහු ය. මහාමෙඝයාහට මේ සත්වයෝ ‘මාගේ ය’ යි කියා අපෙක්ෂාවක් නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ සකල සත්වයන්ගේ (175) කුශල ධර්මය උපදවන්නේ ය. උපන් කුශලධර්මය පාලනය කරන්නේ ය. මේ සකල සත්වයෝ ම සර්වඥයන් වහන්සේ නමැති[3] වෘෂ්ටිය උපජීවනය කොට ඇත්තාහු ය. මොවූහු ‘මාගේ ය’ යි කියා තථාගතයන් වහන්සේට අපෙක්ෂාවක් නො වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්:- ‘සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වූ බැවිනැ” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්නය තෙම බහුවිධ වූ කාරණයෙන් සුනිර්වෙඨනය කරණ ලද්දේ ය. ගම්භීරය උත්තානී කරණ ලද්දේ ය. ගණ්ඨිය බිඳින ලද්දේ ය. ගහනය අගහනය[4] කරණ ලද්දේ ය. අන්ධකාරයෙහි ආලොකය කරණ ලද්දේ ය. පරවාද බිඳිනා ලද්දේ ය. සර්වඥපුත්‍රවරුන්ට ප්‍රඥාචක්ෂුස උපදවන ලදැ” යි ස්තුති කළහ.
පිරිස්පරිහරණ ප්‍රශ්නය නිමි.