“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ ‘නො දැන යමෙක් පාණාතිපාතය කරන්නේ ද, එතෙම බලවත් වූ අපූණ්‍යය රැස් කරන්නේ ය’ යි කියනසේක. නැවත ද ඔබගේ භාග්‍යවතුන් වහන්සේ විසින් විනයප්‍රඥප්තියෙහි ‘මෙනම් සත්වයා මරමි’ යි කියා නො දන්නාහට ආපත්ති නැතැ’යි කියා වදාරණ ලද්දේ ය. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නො දැන පාණාතිපාතය කෙරෙමින් බලවත් වූ අකුසල් රැස් කරන්නේ වී නම්, එහෙයින් ‘අනාපත්ති අජානන්තස්ස’ කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘අනාපත්ති අජානන්තස්ස’ කියා වදාළ වචනය සැබෑ වී නම්, එහෙයින් ‘අජානිත්වා පාණාතිපාතං කරොන්තො බලවතරං අපුඤ්ඤං පසවති’ යි කියා වදාළ වචනය බොරු වන්නේ ය. මේත් උභතොකොටිකප්‍රශ්නයෙක. උත්තරවිරහිත වූ, කිසිවකු විසින් අතික්‍රමණය කළ නො හැකි බැවින් දුරතික්‍රම වූ, ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යො අජානන්තො පාණාතිපාතං කරොති, සො බලවතරං අපුඤ්ඤං පසවතී’ ති යනු වදාරණ ලද්දේ ය. නැවැත විනයප්‍රඥප්තියෙහි භාග්‍යවතුන් වහ්නසේ විසින් ‘අනාපත්ති අජානන්තස්ස’ කියා වදාරණ ලද්දේ ය. ඒ වදාළ දෙශනායෙහි අර්ථවිශෙෂයෙක් ඇත්තේ ය. කවර නම් අර්ථ විශෙෂයෙක් ද? යත්-
“මහරජානෙනි, චිත්තාංගයාගේ අභාවයෙන් (173) මිදෙන බැවින් ‘සඤ්ඤාවීමොක්ඛ’ නම් වූ ආපත්ති ඇත්තේ ය. චිත්තාංගයාගේ අභාවයෙන් නො මිදෙන බැවින් ‘නොසච්චාවිමොක්ඛ’ නම් ආපත්තිත් ඇත්තේ ය. මහරජානෙනි, යම් මේ ආපත්තියක් සඤ්ඤාවිමොක්ඛ වී ද, ඒ ආපත්තිය අරභයා විශාලාමහනුවර භීක්ෂාවෙහි ගිය භික්ෂුනමෙක් පුටුවක් පිට රෙද්දක් වසා හුන් බිළිඳකු හිඳ මරා පසු ව දැන ‘පාරාජික’ වන්නෙම් දෝ හො’ යි මහාශොකයෙන් බුදුන් කරා ගොස් සැළකෙළේ ය. එසේ ම භික්ෂුනමෙක් විෂමිශ්‍රභොජනයක් ලදින් වෙහෙරට ගෙණ ගොස් විෂමිශ්‍රබව නො දැන සභාගභික්ෂුනමකට වළඳවා විෂයෙන් මළ කල මහාශොකයෙන් බුදුන් කරා ගොස් සැළකෙළේ ය. එකල බුදුහු ‘මහණෙනි, තෙපි දනු දැ?’ යි විචාරා ‘අනේ! ස්වාමීනි, අපි නො දනුම්හ’ යි කී කල මේ ප්‍රයොගයෙන් මේ සත්වයා නස්නේ ය’ යි කියා නො දුන්නහුගේ ප්‍රයොගයකින් අනුන් මළ ද වරද නැති බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, නො දන්නාහට අනාපත්තිය’ යි වදාරණ ලද්දේ ය. ආසනයෙහි පරීක්ෂාකාරී නො වී හුන් භික්ෂූහු අරභයා ‘මහණෙනි, ගෘහස්ථයන් විචාරා ම ආසනයෙහි හුන මැනව. යමෙක් නො විචාරා ආසනයෙහි හුන්නේ වී නම්, ඕහට දුක්කටාපත්තියක් වන්නේ ය’ යි දුක්කටයක් පණවා වදාළසේක. මෙසේ ඉදින් ස්වාමීනි, ‘නො දැන ප්‍රාණඝාත කළාහට අකුසල් බොහෝ වන්නේ ය’ යි කියා වදාළ කාරණය සැබෑ වී නම්, ඒ විනයප්‍රඥප්තියෙහි එම ‘ප්‍රාණඝාතය නො දැන කළාහට ආපත්තිය නැතැ’ යි කියා වදාළ වචනය බොරු වන්නේ ය.” යනාදීන් විචාළ රජහට “මහරජානෙනි, අකුශලවිපාකය නො දැන ප්‍රාණඝාත කළාහට පව් බොහෝ වන නියාවත් සැබෑ ම ය. විනයප්‍රඥප්තියෙහි ‘මෙනම් ප්‍රයොගයෙන් ජීවිතයක් නස්නේ ය’ යි කියා නො දන්නා භික්ෂුහටත් අනාපත්ති ය යි වදාළ කාරණයත් සැබෑ ම ය” යි කියා වදාළ කල්හි අතිප්‍රසන්න වූ මිලිඳු මහරජානෝ “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
අනාපත්තිප්‍රශ්නය නිමි.