නැවතත් මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ විසින්:-
“තිණ්ණං ඛො පන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්ස අවක්කන්තී හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති. මාතා ච උතුනී හොති. ගන්‍ධබ්බො ච පච්චුපට්ඨිතො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං සන්නිපාතා ගබ්භස්ස අවක්කන්ති හොතී.”
යනු හෙයින් ‘කාරණා තුණක් එකතු වීමෙන් දරුඵලය හට ගන්නේ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. මේ අශෙෂ වූ වචනයෙක. මේ නිරවශෙෂ වූ වචනයෙක. මේ අන්‍යකරණයක් නැති වචනයෙක. මේ අරහස්වචනයෙක. සදිව්‍යමනුෂ්‍යයන් මධ්‍යයෙහි වැඩ හිඳ වදාරණ ලද වචනයෙක. සාමජාතකයෙහි දුකූලතාපසයන් වහන්සේ විසින් ශක්‍රයාගේ ආරාධනාවෙන් පාරිකා නම් තපස්විනියගේ ලොහිතසෘතුවාරයෙහි නාභිය දක්ෂිණහස්තාංගුලියෙන් පරාමර්ශනය කරණ ලද්දේ ය. ඇගේ ඒ නාභි පරාමර්ශනයෙන් සාමකුමාරයෝ උපන්නාහ. අපගේ මාතංගසෘෂීන් වහන්සේ විසිනුත් තමන්ගේ දක්ෂිණහස්තාංගුලියෙන් ලොහිතසෘතු කාලයෙහි දිට්ඨමංගලිකා නම් බ්‍රාහ්මණකන්‍යාවගේ නාභිය පරාමර්ශනය කරණ ලද්දේ ය. ඒ නාභිපරාමර්ශනයෙන් ඇගේ කුක්ෂියෙහි මණ්ඩව්‍ය මාණවකයෝ උපන්හ. මේ දෙදෙනෙකුන්ගේ සන්නිපාතයෙන් දරු ගර්භයාගේ ඉපදීම දක්නා ලැබෙයි.
“ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහ්නසේ විසින් ‘මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සන්නිපාතයෙන් ගර්භයාගේ අවක්‍රාන්තිය වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. (133) එහෙයින් ‘සාම කුමාරයන්[1] හා මණ්ඩව්‍යමාණවකයෝත් යන දෙදෙන නාභිපරාමර්ශනයෙන් උපන්නාහ’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘සාමකුමාරයෝ ද, මණ්ඩව්‍යමාණවකයෝ ද යන දෙදෙන නාභිපරාමර්ශනයෙන් උපන්නාහ’ යි කියා වදාරණ ලද්දේ වී නම්, එහෙයින් ‘මහණෙනි, තුන්දෙදෙනකුන්ගේ සන්නිපාතයෙන් දරුගර්භයාගේ අවක්‍රාන්තිය වන්නේ ය’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ස්වාමීනි, මේ උභතොකොටිකප්‍රශ්නය තෙමේත් අතිගම්භිර වන්නේ ය. සියක්වර පැලූ අස්ලොම්අගක් මෙන් අතිසියුම් වන්නේ ය. ප්‍රඥාවතුන්ට ම විෂය වන්නේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹවහන්සේ කරා පැමිණියේ ය. විමති මහාපථය සිඳ හැර වදාළ මැනැව. ප්‍රවරඤාණපජ්ජොතය දීප්තිමත් කොට ධරා වදාළ මැනැවැ” යි කීහ.
“මහරජානෙනි, භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ විසින් ‘මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සන්නිපාත වීමෙන් ගර්භයාගේ අවක්‍රාන්තිය වන්නේ ය’ යි මෙහි මාතෘපිතෘ දෙදෙන සන්නිපතිත වෙද් ද, මාතෘතොම උතුනී වේ ද, මාතෘගර්භයට පැමිණිය යුතු වූ සත්වයෙක් එළඹ සිටියේ වේ ද, මෙසේ තුන් දෙනෙකුන්ගේ සන්නිපාතයෙන් දරුගර්භයාගේ අවක්‍රාන්තිය වන්නේ ය’ යි කියා දරුගැබට හෙතු වූ මේ කාරණා තුණ වදාරණ ලද්දේ ත් සැබෑ ම ය. ‘සාමකුමාරයෝ ය, මණ්ඩව්‍යකුමාරයෝ ය යන දෙදෙන නාභිපරාමර්ශනයෙන් උපන්නාහ’ යි කියා වදාරණ ලද්දේ ත් සැබෑ ම ය” යි කීසේක. “එහෙයින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් කාරණයකින් ප්‍රශ්නය මනා ව ම නිශ්චය වේ ද, එබඳු කාරණයකින් මට අවබොධ කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, සංකිච්චකුමාරයෝ ය, ඉසිසිංගතාපසයෝ ය, කුමාරකාශ්‍යපතෙරණුවෝ ය යන ඒ තුන් දෙන මෙනම් කාරණයෙන් උපන්නාහ’ යි කියා තොප විසින් වනාහි මීට පෙර අසන ලද්දේ දැ?” යි විචාළසේක.
“එසේ ය, ස්වාමීනි, අසන ලද්දේ ය. ඔවුන්ගේ ජාති ඉතා උස් ව පැතිර ගියේ ය. මෘගධෙනුදෙදෙනෙක් තමන් දරුගැබ් ගන්නා සෘතු කාලයෙහි පළමු කොට ම තපස්වීන් දෙදෙනකුන්ගේ මුත්‍ර නික්මවන තැනට ගොස් සම්භව නම් කෙලෙස්කුණ සමග මුත්‍ර බුන්නාහු ය. ඒ මුත්‍ර සහිත වූ සම්භවයෙන් සංකිච්චකුමාරයෝ ද, ඉසිසිංගතාපසයෝ ද යන දෙදෙන උපන්නාහ. ‘භික්ෂුණීන්ගේ ආවාසයට ගියා වූ රාගයෙන් රත් වූ සිතින් භික්ෂුණියගේ අංගජාතය බලන්නා වූ උදායි ස්ථවිරයන්ගේ සම්භව නම් කෙලෙස් දොෂය මිදී අවුත් සිවුරෙහි පතිත වී ය. නැවැත උදායි ස්ථවිරයානෝ ඒ භික්ෂුණියට ‘යව, නැගනියෙනි, පැන් ගෙණෙව. අඳනය සෝදන්නෙමි’ යි මෙසේ කීසේක. එවිට උදායි තෙරණුවන්ගේ පුරාණදුතියිකා වූ ඒ භික්ෂුණීතොමෝ පැන් ගෙණවුත් ‘ආර්යයන් වහන්ස, ලඟට ගෙණ අව මැනැව. අඳනය මම සෝදන්නෙමි’ යි කියා ගෙණ අඳනය සෝදා දෙමින් එහි තුබූ සම්භවයෙන් එක් භාගයක් මුඛයෙන් ගත්තේ ය. එක් භාගයක් අංගජාතයෙහි බහා ගත්තේ ය. එදවස් දරුගැබ් ගන්නා සෘතුකාලය හෙයින් එයින් කුමාරකාශ්‍යපතෙරණුවෝ උපන්සේකැ’ යි (134) මේ කාරණය ලෝවැසිතෙම කියන්නේ ය” යි කීහ.
“කිමෙක් ද, මහරජානෙනි, ඒ වචනය තෙපි අදහා ගන්නහු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, එහි ‘මේ කාරණයෙන් ද, කුමාර කාශ්‍යපයෝ උපන්සේකැ’ යි කියා යම් කාරණයකින් අපි අදහන්නමෝ ද, එබඳු බලවත් වූ කාරණයක් අප ලදුම්හ” යි කීහ. “මහරජානෙනි, මෙහි තෙපි දුටු කාරණය කවරේ ද?” යි විචාළසේක. “ස්වාමීනි, මඩ මර්දනය කොට වප්[2]තනා ගොවිකර්මාන්තය කරණ ලද මඩෙහි වී යට වැටීම වහා ම යහපත් කොට පැළ වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ එසේ ය” යි කීසේක. “ස්වාමීනි, එපරිද්දෙන් ම දරුගැබ් ගන්නා සෘතු කාල ඇති ඒ භික්ෂුණීතොම තමන්ගේ රුධිරවේගය සිඳී ඉතා ශෙෂ ව ලොහිතධාතුව සිටි කල්හි මනා ව සිටි කලලයෙහි පුරුෂසම්භවය ගෙණ ඒ කලලයෙහි ප්‍රක්ෂෙප කළා ය. ඒ කාරණයෙන් ඇගේ දරුගර්භය පිහිටියේ ය. ඒ ගර්භ ප්‍රතිෂ්ඨානයෙහි ඔවුන්ගේ ගර්භොත්පාදය පිණිස මෙබඳු වූ කාරණය අපි දනුම්හ” යි කීහ. “මහරජානෙනි, ‘සම්භවය යොනිප්‍රවෙශයෙනුත් ගර්භය පිහිටන්නේ ය’ යි කියා තෙපි මෙකී කාරණය එසේ ම පිළිගන්නහු ද? මහරජානෙනි, තෙපි වනාහි කුමාරකාශ්‍යප ස්ථවිරයන්ගේ ගර්භාවක්‍රමණය සැබෑ කොට පිළිගන්නහු දැ?” යි විචාළ සේක. “එසේ ය, ස්වාමීන් වහන්සැ” යි කීහ.
“යහපත, මහරජානෙනි, එක ම ප්‍රකාරයෙන් ගර්භවක්‍රාන්තිය කියමින් මාගේ විෂයට පැමිණියාහු ය. මට අනුබල වූවහු ය. මහරජානෙනි, මීට අනතුරු ව කී අර්ථයෙහි යම් ඒ මෘගධෙනූහු දෙදෙනෙක් මුත්‍ර පානය කොට දරුගැබ් ලද්දාහු ද, ඔවුන්ගේ ගර්භාවක්‍රමණය තෙපි අදහන්නහු දැ?” යි විචාළසේක. එසේ ය, ස්වාමීනි, මඳක් වත් යමක් අනුභව කරණ ලද ද, කඩා කන ලද ද, ලොභ කරණ ලද ද, ඒ සියල්ල ම කලලය කරා බස්නේ ය. ඒ ස්ථානයට පැමිණ වෘද්ධියට පැමිණෙන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සේ යම්කිසි නදී නම් කෙනෙක් ඇද් ද, ඒ සියලු ම ගංගාවෝ මහාසමුද්‍රය කරා යන්නාහු ය. තමන් නවත්නා ස්ථානයට ගියාහු වෘද්ධියට පැමිණෙන්නාහ. එපරිද්දෙන් ම, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මඳක් වත් යම් අනුභව කළ දෙයෙක් ඇද් ද, පානය කළ දෙයෙක් ඇද් ද, කඩා කෑ දෙයෙක් ඇද් ද, ලොභ කළ දෙයෙක් ඇද් ද, ඒ සියල්ල ම කලලය කරා බස්නේ ය. ස්ථාන ගත ව වෘද්ධියට පැමිණෙන්නේ ය. ඒ කාරණයෙන් මම ‘මුඛගත වීමෙනුත් ගර්භාවක්‍රාන්තිය වන්නේ ය’ යි කියා අදහන්නෙමි” යි කීහ. “යහපත, මහරජානෙනි, මාගේ විෂයට ම ඉතා බලවත් කොට පැමිණියාහු ය. මුඛයෙන් පානය කිරීමෙනුත් සන්නිපාතද්වය වන්නේ ය. සංකිච්ච කුමාරයන්ගේ ද, ඉසිසිංගතාපසයන්ගේ ද, කුමාරකාශ්‍යපයානන් වහන්සේගේ ද, ගර්භාවක්‍රමණය සැබෑ කොට අදහා ගන්නහු දැ?”යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ඒ සන්නිපාතද්වය සන්නිපාතත්‍රයයට ඇතුළත් වන්නේ ය” යි කීහ.
“මහරජානෙනි, සාමකුමාරයෝ ද, මණ්ඩව්‍ය මාණවකයෝ ද යන දෙදෙන සන්නිපාතත්‍රයෙහි ඇතුළත් වූහ. ඒ කාරණයෙන් උපන් හෙයින් එක කෘත්‍යයෝ ම ය. එහි පූර්වයෙහි පටන් කාරණය කියමි. මහරජානෙනි, (135) දුකූල නම් තාපසයෝ ද, පාරිකා නම් තපස්සිනීන්දෑ ද යන දෙදෙන ම බඹලොවින් අවුත් බරනැස් නුවර වැදිගම්හි ඉපිද දෙවුකුමරුවන් සෙයින් වැඩිවිය පැමිණි කල්හි ක්ලේශකාමයෙහි ඔවුන්ගේ ආලයක් නැතත් නෑයන් විසින් ඔවුන්ගේ රූපශ්‍රීය බලා දෙදෙනා ම ඔවුනොවුන්ට සෑහෙන්නාහු ය යි කියා ඔවුන්ගේ නො කැමැත්තෙන් ම සරණ පාවා දුන්හ. ඒ දෙදෙන එක විමනක වසන බ්‍රහ්මරාජයන් දෙදෙනෙකුන් මෙන් කිසි පවක් නො කොට කලක් ගිහි ගෙයි වැස ගෘහ වාසයෙහි කළකිරී සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව උතුම් වූ නිර්වාණාර්ථය සොයන්නා වූ විවේකසැපයෙහි ඇලුනා වූ ශීලාධිෂ්ඨාන ඇත්තා වූ ඒ දෙදෙන ම ආරණ්‍යවාසී වූහ. ඔවුන්ගේ තපෝතෙජානුභාවයෙන් බ්‍රහ්මලොකය දක්වා තැති ගැන්නෙව්වාහු ය. එකල ශක්‍රදෙවෙන්ද්‍රතෙම උදය සවස ඔවුන්ට උපස්ථානයට එන්නේ ය. ඒ ශක්‍රදෙවෙන්ද්‍රතෙම ඔවුන් කෙරෙහි ගරුතර මෛත්‍රිය කරණ කොට ගෙණ ‘වනයෙහි වසන ඔවුන්ට වන උපද්‍රවයෙක් ඇද්දෝ හො?” යි බලමින් අනාගත කාලයෙහි දී ඒ දෙදෙනාගේ ඇස් අන්ධ වන බව දුටුයේ ය. දැක දොහොත් මුදුන් දී නැමී සිට ‘පින්වත්නි, මාගේ එක වචනයක් කර වදාළ හොත් යහපත. එක ම පුත්‍රයෙකු උපදවාලුව මැනැව. ඒ පුත්‍රතෙම නුඹ වහන්සේලාට උපස්ථායක ද වන්නේ ය. අත් දී යන්ට ආලම්බන ද වන්නේ ය’ යි ඒ තපස්වීන්ට මෙසේ කීයේ ය.
ඒ අසා තපස්වී දෙදෙන ‘එම්බා ශක්‍රදෙවෙන්ද්‍රයෙනි, අපට එසේ නො කියව” යි කියා ප්‍රතික්ෂේප කොට ඒ ශක්‍රයන්ගේ ඒ වචනය ඔවුහු නො පිළිගත්තාහු ය. එකල්හිත් ඔවුන් කෙරෙහි මහත් වූ අනුකම්පා ඇත්තා වූ ඔවුන්ට අභිවෘද්ධි කැමැත්තා වූ ශක්‍රදෙවෙන්ද්‍රතෙම දෙවනුවත් තුන්වනුවත් “පින්වත්නි, මාගේ එක වචනයක් කරව. එක ම පුත්‍රයෙකු උපදවා ලවව. එසේ නම් ඉතා යහපත. එතෙම නුඹ වහන්සේලාට උපස්ථායක වන්නේ ය. ආලම්බන ද වන්නේ ය” යි කියා මෙසේ ඒ තපස්වීන්ට කීයේ ය. දෙවනුවත් තුන්වනුවත් ඒ තපස්වීහු “එම්බා ශක්‍රදෙවෙන්ද්‍රයෙනි, තෙපි අප අනර්ථයෙහි නො යොදාලව. කෙතෙක් කල් ජීවත් වුවත් මේ ශරීරය කවර දවසෙක මරණින් බිඳී නො යේ ද? මැටි වළඳක් මෙන් භෙදනස්වභාව වූ මේ ශරීරය මරණින් බිඳී යේවා. මහාපෘථිවිය බිඳී නැති වන මුත් මහාමෙරුපර්වතය ඉපිල වැටෙන්නෙ වී නමුත් මහාආකාශය පැළී යේ නමුත්, චන්ද්‍ර සූර්යයෝ දෙදෙන පෘථිවියෙහි වැටෙන්නාහු වූ නමුත් අපි කෘමිගූථයක් වැනි ලොකධර්මය හා මිශ්‍ර නො වම්හ. තෙපි අපගේ සම්මුඛභාවයට අද පටන් නො එළඹෙව. අප කරා එළඹුනා වූ තොපගේ මේ විශ්වාසයතෙම දක්නා ලද්දේ ය. තෙපි අපට අනර්ථ වර දෙන කෙනෙකැ යි සිතම්හ” යි කියා දෙදෙන ම කීවාහු ය. මෙසේ කී ඉක්බිති ශක්‍රදෙවෙන්ද්‍රතෙම ඔවුන්ගේ සිත් ගත නො හැකි ව ගරුගත ව ඇඳිලි බැඳ වැඳ ගෙණ ‘ඉදින් මාගේ වචනය කරන්නට උත්සාහ නො කරණ සේක් නම් යම් දවසෙක තපස්සිනීන් වහන්සේ දරුගැබ් ගන්නා මල්වර ඇති සෘතුකාල ඇත්තී වේ ද, එකල්හි, ස්වාමීනි, නුඹවහන්සේ දක්ෂිණ හස්තාංගුලියෙන් නාභිය පරාමර්ශනය කර වදාළ මැනැව. ඒ කාරණයෙන් ම ඕ තොමෝ දරුගර්භය ලබන්නී ය. ගර්භාවක්‍රාන්තිය පිණිස මේ බව නුඹ වහන්සේලාගේ සන්නිපාතය ම වන්නේ ය’ යි කියා නැවැතත් (136) යාච්ඤා කර සිටියේ ය. එවිට දුකූලතාපසයෝ “එම්බා කොසියගොත්‍රයෙහි උපන් ශක්‍රදෙවෙන්ද්‍රයානෙනි, ඒ වචනය කරන්නට හැක්කෙමි. එපමණකින් අපගේ තපස් නො බිඳෙන්නේ ය. තොපගේ අභිප්‍රාය එසේ ම වේව” යි කියා පිළිගත්තාහු ය. ඒ වේලාවට වනාහි ශක්‍රභවනයෙහි වැඩුනා වූ, කුශලමූලයන් ඇත්තා වූ ක්ෂය වූ ආයු ඇත්තා වූ ආයුඃක්ෂයට පැමිණියා වූ ඉදින් කැමැති නම් චක්‍රවර්තිවංශයෙහි හෝ කැමැති වෙන උත්පත්තියකට හෝ යන්නට සමර්ථ වූ දිව්‍යපුත්‍රයෙක් ඇත්තේ ය. ඉක්බිති ශක්‍රදෙවෙන්ද්‍රතෙම වහා දෙව්ලොව කරා ගොස් ඒ දිව්‍යපුත්‍රයා ලඟට එළඹ මෙසේ කීයේ ය:-
“ශ්‍රෙෂ්ඨයානෙනි, මෑත අව මැනැව. දෙදෙව්ලොවට අධිපති වූ මම යම් කරුණකින් තොපට උපස්ථානයට ආයෙම් ද, එහෙයින් තොපට මහත් වූ අර්ථසිද්ධියෙක් පැමිණියේ ය. තොපට මේ දිවසභාගය මනා කොට ම ප්‍රභාවත් ව ගියේ ය. රමණීය වූ අවකාශස්ථානයෙක තොපගේ වාසය කිරීම වන්නේ ය. තොපට ම සුදුසු වංශයෙක ප්‍රතිසන්ධිග්‍රහණය වන්නේ ය. යහපත් වූ මාතෘපිතෘන් විසින් වර්ධනය කට යුතු වන්නේ ය. මිනිස්ලොවට යන පිණිස අව මැනව. මාගේ වචනය කරව” යි කියා යාච්ඤා කෙළේ ය. දෙවනුවත් තුන්වනුවත් යාච්ඤා කොට සිටියේ ය. එකල දිව්‍යපුත්‍රතෙම සිරසෙහි අත තබා වැඳ ගෙණ අපගේ “ශ්‍රෙෂ්ඨයානන් වහන්ස, නුඹ වහන්සේ යම් ගොත්‍රයක නැවැත නැවැත වහා ම ගුණ කියන සේක් ද? ඒ ගොත්‍රය කවරේ දැ?” යි මෙසේ කීයේ ය.
“නිදුකානෙනි, සියලු පවින් මිදී වසන ‘දුකූල’ තාපසයෝ ද ‘පාරිකා’ නම් තපස්සිනීන් වහන්දෑ ය” යි කීහ. ශක්‍රයන්ගේ වචනය අසා සතුටු වූ ඒ දිව්‍යපුත්‍රතෙම “යහපත, නිදුකානන් වහන්ස, නුඹ වහන්සේගේ යම් අභිප්‍රායක් ඇද් ද, ඒ අභිප්‍රාය එසේ ම වේව” යි කියා පිළිගත්තේ ය. එසේ පිළිගෙණ “අපගේ ශ්‍රෙෂ්ඨයානන් වහන්ස, කැමැත්තා වූ මම ප්‍රාර්ථිත වූ වංශයෙක උපදිමි යි සුපර්ණනාගාදීන් මෙනේ අණ්ඩජයෙහි හෝ මනුෂ්‍ය ගවාදීන් මෙන් ජලාබුජයෙහි හෝ සංසෙදජයෙහි හෝ දෙවියන් මෙන් ඔපපාතිකයෙහි හෝ කවර යොනියෙක උපදිම් දැ?” යි විචාළේ ය. ‘නිදුකානෙනි, ජලාබුජ වූ මනුෂ්‍යයොනියෙහි උපදුව’ යි කීයේ ය. ඉක්බිත්තෙන් ශක්‍රදෙවෙන්ද්‍රතෙම උත්පත්ති දවස ගණන් බලා අසවල් නම් දවසේ දී තපස්සිනීන් වහන්සේ දරු ගැබ් ගන්නා මල්වර ඇති ව කිළි වන්නී ද, එදවස් ‘ස්වාමීනි, නුඹ වහන්සේ දක්ෂිණහස්තාංගුලියෙන් නාභිය පරාමර්ශනය කර වදාළ මැනැවැ’ යි කියා දුකූල නම් තාපසයන්ට කීයේ ය.
“මිලිඳු මහරජානෙනි, එදවසෙහි දී ම තපස්සිනීතොම දරු ගැබ් ගන්නා මල්වර ඇති ව සෘතුකාල ඇති වූවා. දිව්‍යපුත්‍රතෙමේ ද ඒ ගර්භයෙහි ප්‍රතිසන්දියට උපගත ව එළඹෙන ලද්දේ වී ය. තාපසයන් වහන්සේ ද දක්ෂිණහස්තාංගුලියෙන් තපස්සිනීයගේ නාභිය පරාමර්ශනය කළහ. මෙසේ ඒ ත්‍රිවිධසන්නිපාතයෝ වූවාහු ය. නාභිපරාමර්ශනයෙන් තපස්සිනීන්දෑට රාගාස්වාදය උපන. ඒ තපස්සිනියගේ ඒ රාගයතෙම නාභි පරාමර්ශනය කළ සන්නිපාතය නිසා වි ය. තෙපි ඒ බව ‘නුසුදුසු අධ්‍යාචාරය ම ය’ යි කියා නො සිත ව. සතුටු ආකාරයෙන් සිනා පහළ කිරීමත් එක් සන්නිපාතයෙක. එසේ ම කථා කිරීමත් එක් සන්නිපාතයෙක. (137) සිතින් සිතා බැලීමත් එක් සන්නිපාතයෙක. රාගයාගේ උත්පාදය පිණිස පූර්වභාගභාවයෙන් ම හස්තාදිය ආමර්ශනය කිරීමෙන් සන්නිපාතය උපදනේ ය. මෙසේ සන්නිපාතයෙන් ගර්භප්‍රතිග්‍රහණය වන්නේ ය. මහරජානෙනි, අධ්‍යාචාර නම් සංසර්ගයක් නැති කල්හිත් පරාමර්ශනයෙන් ගර්භාවක්‍රාන්තිය වන්නේ ය. මහරජානෙනි, යම් සේ දිලිසෙමින් ඇවිළෙන්නා වූ ගිනි ආමර්ශනය නො කළ කල්හිත් සමීපයට පැමිණියහුගේ ශීත නසන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අධ්‍යාචාරයක් නැති කල්හිත් පරාමර්ශනය පමණින් ම ගර්භාවක්‍රාන්තිය වන්නේ ය. මහරජානෙනි, කර්මවශයෙන් ද, ජාතිවශයෙන් ද, කුල වශයෙන් ද, ආයාචනවශයෙන් දැ යි කියා සතර ආකාරයකින් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය වන්නේ ය. මෙකී සියලු ම සත්වයෝ තමන්ගේ කුශලාකුශලකර්මය ම භවය කොට ඇත්තාහු ය. කර්මය ම උත්පත්ති කාරණය කොට ඇත්තාහු ය.
“මහරජානෙනි, කුශලකර්මවශයෙන් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය කෙසේ වේ ද? යත්:- මහරජානෙනි, බොහෝ සෙයින් ම වැඩුනා වූ කුශල මූලයන් ඇත්තා වූ සත්වයෝ ක්ෂත්‍රියමහාසාරකුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාරකුලයෙහි හෝ ගෘහපතිමහාසාරකුලයෙහි හෝ සදෙව්ලොව දෙවියන් කෙරෙහි හෝ කුන්තපුත්‍රාදීන් මෙන් මිනිසුන් කෙරෙහි ම හෝ අණ්ඩජයොනියෙහි හෝ මනුෂ්‍යාදීන් මෙන් ජලාබුජයොනියෙහි හෝ පොක්ඛරසාත්‍යාදීන් මෙන් සංසෙදජයොනියෙහි හෝ අම්බපාලි ගණිකාදීන් මෙන් ඔපපාතිකයොනියෙහි හෝ කැමැති තැනෙක උපදනාහ.
“පෙර පැළලුප් නුවර වසන වැද්දෙක් වනයෙහි ඇවිදිමින් කුන්ත නම් කිඳුරුධෙනුවක හා ලොකධර්මයෙහි හැසුරුණේ ය. ඒ කාරණයෙන් දරුගැබ පිහිටා කිඳුරුබීජ දෙකක් වැදූ ය. ක්‍රමයෙන් මෝරා කල් පැමිණි කල බිජුකබල් පළා ගෙන මනුෂ්‍ය කුමරුවෝ දෙදෙනෙක් නික්මුනාහු ය. එයින් එක් කෙනෙක් තිස්ස නම් වූහ. එක්කෙනෙක් සුමිත්ත නම් වූහ. ඒ දෙදෙන තමන්ගේ ආකාර නොවන කිඳුරන්ගේ විකාර දැක සසර කළකිරී වසන්නාහු මහාවරුණ නම් තෙරුන් ලඟ පැවිදි ව රහත් වූහ.
“පොක්ඛරසාතිය බ්‍රාහ්මණතෙම පෙර කාශ්‍යපබුදුන් සම්යෙහි වෙදත්‍රයෙහි කෙළ පැමිණ කාශ්‍යප නම් දශබලධාරීන් වහන්සේට මහදන් දෙමින් බණ අසා බොහෝ පින්කම් කොට දෙව්ලොව ඉපද අනන්ත වූ දිවසැපත් වළඳා මිනිස්ලොව උපදනා කැමැති වූයේ මාතුකුච්ඡිවාසය නම් අමෙධ්‍යනරකයක් සේ මහත් වූ දුක් වන්නේ ය යි සිතා හිමවන්තප්‍රදෙශයෙහි මහවිලෙක පියුම් ගැබෙක්හි උපන්නේ ය. ඒ විල සමීපයෙහි වසන්නා වූ තපස්වී කෙනෙක් සද්දවසක් නො පිපී තිබෙන්නා වූ ඒ මහ නෙළුම්කැකුළ දැක නෙළා ගත්තාහ. එකෙණෙහි රජතම ධවලච්ඡත්‍රයක් මෙන් ප්‍රබොධ විය. එහි රන්කූඩුවෙක රන්සුණු ආලෙප ව සිටි රිදී පිළිමයක් මෙන් පියුම්රේණු පඤ්ජරයෙහි සිටි ශ්වෙතවර්ණ කුමාරයන් දැක ‘අහෝ! මොහු මහපින් ඇති කෙනෙකැ’ යි සිතා පන්සලට ගෙණ ගොස් පොෂ්‍යය කෙරෙමින් සත්හවුරුදු වූ කල වෙදත්‍රය උගන්වා කොසොල් රජහට පාවා දුන්නාහ. රජ්ජුරුවෝ රූපය හා ශිල්පයත් දැක ප්‍රසන්න ව උක්කට්ඨා නම් මහනුවරක් (138) බ්‍රහ්මදායාදය කොට දුන්නාහ. ඒ බ්‍රාහ්මණයාගේ දෙපතුල් හස්තතල ඔෂ්ඨද්වය කුසුම්භපුෂ්පවර්ණයෙන් අතිමනොහර ය. කාලවර්ණශීර්ෂය ඉන්ද්‍රනීලමාණික්‍යයක් සේ බබළන්නේ ය. දැළිරැවුල චන්ද්‍රමණ්ඩලය වටා සිටි කාලමෙඝරාජියක් වැන්නේ ය. දෙව්දුනු වැනි භ්‍රූයුග්මයෙන් හා නළල්තලය අඩසඳක් වැන්නේ ය. ශ්වෙතවර්ණ වූ ශරීරය කරණ කොට ගෙණ දෙව්ලොව පැන නැඟි රිදී තොරණක් මෙන් නීති බබළන්නේ ය. විද්‍යාවෙන්-පණ්ඩිතත්වයෙන් දඹදිව්තෙලෙහි අග්‍රප්‍රාප්ත වි ය. එතෙම බුදුන් උක්කුට්ඨා නම් ජනපදයට වැඩි සමයෙහි බණ අසා සෝවාන් වි ය.
“අම්බපාලි ගණිකාතොම මීට එක්තිස් වන කල්පයෙක සිඛී නම් බුදුන්ගේ භික්ෂුණීශාසනයෙහි උපසම්පා ව සිල් රකිමින් දිනෙක බොහෝ වූ භික්ෂුණීන් හා සමග චෛත්‍යස්ථානයක් වැඳ පුදා පැදකුණු කොට යන්නී ය.[3] පෙරටු ව ගිය රහත් මෙහෙණියක් යුහු ව කිබිසිමින් කෙළ පිඬක් චෛත්‍යාංගණයෙහි හෙළා නො දැක ගියා ය. මෝ තොමෝ[4] පසු ව යමින් කෙළපිඩ දැක කවර නම් වේසියක් මේ මළුයෙහි කෙළ දමා ගියා දැ?” යි කියා බිණූහ. බොහෝ කලක් සිල් රකිමින් මවුකුස්හි ඉපදීමට පිළිකුල් ව ඔපපාතිකභාවය පතමින් පින් කොටත් ආර්යාපවාදඅකුශලය බලවත් බැවින් දෙව්ලොවින් නො ගොස් නරකයෙහි ඉපද අනන්ත වූ බොහෝ කාලයක් දුක්විඳ මිනිස්පියට පැමිණ ඉතා දුක්ඛිත ව දසදහසක් ජාතියෙහි වේසී වූහ. කාශ්‍යප බුදුන්ගේ ශාසනයෙහි දීත් බොහෝ පින් කොට දෙව්ලොව ඉපිද බොහෝ කාලයක් දිව්‍යශ්‍රීසම්පත් විඳ එයින් චුතව විශාලාමහනුවර රාජොද්‍යානයෙහි අඹරුකක් මුල සොළොස්හවුරුදු පිරුණු කෙනෙකුන් මෙන් ඔපපාතික ව දෙවඟනක සේ පහළ වූහ. උද්‍යානපාලයා ඈ දැක විස්මය පත් ව ‘රාජභාණ්ඩයක් දක්නා ලද්දේ ය’ යි කියා රජගෙට දිව ගෙණ ගොස් එපවත් කී ය. ඒ අසා රාජකුමාරවරු සියදහසෙක් දිව අවුත් ‘අප අපට සරණ මඟුල් කරම්හ’ යි කියා කලහ වැඩූහ. එකල ඇගේ ශෙෂ ව සිටි අකුශලකර්මයා විසින් චෝදනා කරණ ලද්දා වූ රාජකුමාරවරු ‘අප හැමට සාධාරණ කොට මෑ වේසී කරම්හ’ යි කථා කොට අල්පසත්වපරිභොග නො වන න්‍යායෙන් දවස මසුරන් ලක්ෂයක් අගය වඩා වේසී කළාහු ය. මෝ තොමෝත් බුදුන් කෙරෙහි අතිප්‍රසන්න ව තමන්ට නිල වූ රාජොද්‍යානයෙහි මහාවිහාරයක් කරවා බුදුන් ප්‍රමුඛ වූ මහාසංඝයා වහන්සේට පූජා කොට මෑත භාගයෙහි තමන්ගේ පුත්‍ර වූ විමලකොණ්ඩඤ්ඤ නම් මහතෙරුන් වහන්සේ කරා කොටියක් පමණ මහපිරිවට පිරිවරා ගෙණ රාජලීලාවෙන් ගොස් පැවිදි ව රහත් වූහ.
“මෙසේ පින්වත් සත්වයෝ කැමැති තැනෙක උපදනාහු ය. මහරජානෙනි, යම් සේ සකල සම්පත්තියෙන් ආඪ්‍ය වූ මහත් ධන ඇත්තා වූ මහාභොග ඇත්තා වූ බොහෝ වූ රන්රිදී ඇත්තා වූ බොහෝ වූ වස්තූන් හා උපකරණයන් ඇත්තා වූ බොහෝ වූ ධනධාන්‍යයන් ඇත්තා වූ හිතෙසි වූ බොහෝ වූ නෑපක්ෂයන් ඇත්තා වූ පුරුෂයෙක්තෙම, දාසියක් හෝ දාසයෙක් හෝ කෙතක් හෝ භූමිවස්තුවක් හෝ ගමක් හෝ සල්පිල් ඇති නියම්ගමක් හෝ ජනපදයක් හෝ සිතින් කැමැති වන ලද්දා වූ යම්කිසි වස්තුවක් (139) ඇද් ද, ඒ දාසිග්‍රාමාදී වූ යම් කැමැති දෙයක් ද්විගුණත්‍රිගුණයක් වත් ධනය දී විකුණා ගන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වැඩුනා වූ පුණ්‍ය හේතු ඇත්තා වූ සත්වයෝ ක්ෂත්‍රියමහාසාරකුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාරකුලයෙහි හෝ ගෘහපතිමහාසාරකුලයෙහි හෝ දෙවියන් කෙරෙහි හෝ අණ්ඩජයෝනියෙහි හෝ ජලාබුජයොනියෙහි හෝ සංසෙදජ යොනියෙහි හෝ ඔපපාතිකයොනියෙහි හෝ යම් කැමැති යොනියෙක උපදනාහ. මෙසේ පුණ්‍යකර්මවශයෙන් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය වන්නේ ය.
“කෙසේ නම් ජාති වශයෙන් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය වේ ද? යත්- මහරජානෙනි, වාතය කරණ කොට ගෙණ කුක්කුටයන්ගේ ගර්භාවක්‍රාන්තිය ව්නනේ ය. මේඝශබ්දය කරණ කොට ගෙණ කොකුන්ගේ ගර්භාවක්‍රාන්තිය වන්නේ ය. සියලු ම දෙවියෝ ගැබක නූපදනා හෙයින් අගර්භසෙය්‍යකයෝ ය. නිජ්ඣාමතණ්හිකප්‍රෙතයන් හා නරකයෙහි නිරිසත්වයෝත් ඔපපාතිකයෝ ම ය. මනුෂ්‍ය ගවාදීසත්වයෝ ම ගර්භසෙය්‍යකයෝ ය. ඔවුන්ගේ නානාප්‍රකාරයෙන් ගර්භාවක්‍රාන්තිය වන්නේ ය. මහරජානෙනි, යම් සේ මනුෂ්‍යයෝ නානාප්‍රකාරලක්ෂණයෙන් පොළොවෙහි හැසිරෙති. කිසි කෙනෙක් ඉදිරිපිටින් සකස් කොට වසා පිළී හඳිති. කිසි කෙනෙක් පසු අතින් සකස් කොට වසා පිළී හඳිති. කිසිකෙනෙක් පිළී නො හැඳ නග්න වෙති. කිසිකෙනෙක් ශ්වෙතපටධර ව මුඬු වෙති. කිසිකෙනෙක් ඔටුනු බඳනා ලද්දාහු වෙති. කිසිකෙනෙක් හිස මුඬු ව කසාවස්ත්‍ර හඳනාහු වෙති. කිසිකෙනෙක් කසාවස්ත්‍ර හැඳ කොණ්ඩය බඳනා ලද්දාහු වෙති. කිසිකෙනෙක් ජටාධර ව වැහැරිචීවරධරයෝ වෙති. කිසිකෙනෙක් දිවිසම් ආදිය අඳනාහු වෙති. කිසි කෙනෙක් ලනු ගොතා අඳින්නාහු ය. මේ සියලු මනුෂ්‍යයෝ ම නානාප්‍රකාරලක්ෂණයෙන් පොළෝතෙලෙහි හැසිරෙන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මනුෂ්‍ය ගව විභගාදී වූ ඒ සියලු සත්වයෝ ම ගර්භසෙය්‍යකයෝ ය. ඔවුන්ගේ නානා ආකාරයෙන් ගර්භාවක්‍රාන්තිය වන්නේ ය. මෙසේ ජාති වසයෙන් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය වන්නේ ය.
“කෙසේ නම් කුලවශයෙන් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය වේ ද? යත්- මහරජානෙනි, කුලය නම් අණ්ඩජය, ජලාබුජය, සංසෙදජය, ඔපපාතිකය යි කියා සතර කුලයෙක. ඉදින් මවුකුසකට පැමිණිය යුතු වූ සත්වයෙක් යම්කිසි තැනෙකින් අවුත් එහි අණ්ඩජකුලයෙහි උපදනේ ය. ඒ තෙම එහි අණ්ඩජ නම් වන්නේ ය. එසේ ම ජලාබුජකුලයෙහි උපන්නේ වී නම් ජලාබුජ වන්නේ ය. ස්වෙදජකුලයෙහි උපන්නේ වී නම් ස්වෙදජ වන්නේ ය. ඔපපාතිකකුලයෙහි උපන්නේ වී නම් ඒ තෙම ඔපපාතික වන්නේ ය. ඒ කුලවල එබඳු වූ ම සත්වයෝ වන්නාහු ය. මහරජානෙනි, යම් සේ හිමාලයෙහි වූ නෙරු නම් ස්වර්ණපර්වතය කරා යම්කිසි හංස අඕව මෘග පක්ෂි කෙනෙක් වාසයට පැමිණියාහු වූ නම්, ඒ සියල්ලෝ ම තමතමන්ගේ ස්වකීයවර්ණය හැර ස්වර්ණවර්ණ වන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යම්කිසි පැමිණිය යුතු සත්වයෙක් යම්කිසි තැනෙකින් අවුත් අණ්ඩජයෝනියෙහි උත්පත්තියට පැමිණ තමාගේ ස්වභාවජාතිය හැර අණ්ඩජ වන්නේ ය. එසේ ම ජලාබුජයොනියට ස්වෙදජයොනියට ඔපපාතිකයොනියට පැමිණ ස්වභාවජාතිය හැර ඔපපාතික වන්නේ ය. මෙසේ කුලවශයෙන් සත්වයන්ගේ (140) ගර්භාවක්‍රාන්තිය වන්නේ ය.
“කෙසේ නම් ආයාචනවශයෙන් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය වේ ද? යත්- මහරජානෙනි, මේ මනුෂ්‍යලොකයෙහි බොහෝ වූ වස්තූන් ඇත්තා වූ ශ්‍රද්ධාව ඇත්තා වූ රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ සීලවන්ත වූ යහපත් වූ කල්‍යාණගුණයෙන් ඇත්තා වූ තපොනිශ්ශ්‍රීත[5] වූ දරුවන් නැත්තා වූ කුලයෙක් වී නම් එකල වැඩුනා වූ කුශලහෙතූන් ඇත්තා වූ දිව්‍යපුත්‍රයෙක්තෙම දෙව්ලොවින් චුතවන ස්වභාව ඇත්තේ වී නම්, නැවැත ශක්‍රදෙවෙන්ද්‍රතෙම එ ගොත්‍රයට අනුකම්පාවෙන් ඒ දිව්‍යපුත්‍රයා කරා ගොස් කැඳවා ‘එම්බා නිදුකානෙනි, තෙපි මිනිස් ලොව උපන්නාහු නම්, ලොකයට මහත් අභිවෘද්ධි වන්නේ ය. ශාසනයට මහත් අභිවෘද්ධි වන්නේ ය. ලොකශාසන දෙකට ම මහත් අභිවෘද්ධි වන්නේ ය. මෙනම් ගොත්‍රයෙහි මහෙසිකාවන්ගේ කුක්ෂියෙහි උත්පත්තිය පිණිස ප්‍රාර්ථනා කරව’ යි කියා යාච්ඤා කරන්නේ ය. ඒ ශක්‍රයන්ගේ ආරාධනාව හෙතු කොට ගෙණ ඒ දිව්‍යපුත්‍රතෙමේත් ශක්‍රයන් ගුණ කී ඒ වංශය ප්‍රාර්ථනා කොට උපදින්නේ ය. මහරජානෙනි, යම් සේ මනුෂ්‍යයෝ කුසල් කැමැත්තාහු මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගෘහයට වැඩපුසේක් නම් සියලු ම අපගේ කුලගොත්‍රයට සැප පැමිණීම වන්නේ ය යි සිතා ගෙණ භාවනා කරන්නා වූ ශ්‍රමණයන් වහන්සේ නමකට ආරාධනා කොට තමන්ගේ ගෙට පමුණුවා ගණිද් ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ශක්‍ර දෙවෙන්ද්‍රතෙම ඒ ආයු ගෙවුනු දිව්‍යපුත්‍රයාහට ආරාධනා කොට ඒ පින්වත් ශ්‍රද්ධාවන්තකුලයට පමුණුවන්නේ ය. මෙසේ ආයාචන වශයෙන් සත්වයන්ගේ ගර්භාවක්‍රාන්තිය වන්නේ ය.
“මහරජානෙනි, ශක්‍රදෙවෙන්ද්‍රයන් විසින් ආරාධනා කරණ ලද්දා වූ සාමකුමාරයෝ පාරිකා නම් තපස්සිනීන්දෑගේ කුක්ෂියට පැමිණියාහු ය. මහරජානෙනි, ඒ සාමකුමාරතෙමේ කරණ ලද බොහෝ පින් ඇත්තේ ය. තුන් දෙනෙකුන්ගේ චෙතොප්‍රණිධියෙහි උත්පත්තියට සමර්ථ වූ ශක්‍රයන් විසින් ආයාචනය කරණ ලද්දා වූ ඒ සාමකුමාරතෙම සිල්වත් වූ මනොඥ වූ ගුණධර්මයන් ඇත්තා වූ මාතෘපිතෘන් කෙරෙහි උපන්නේ ය. මහරජානෙනි, මේ මනුෂ්‍යලොකයෙහි උපායෙහි දක්ෂ වූ පුරුෂතෙම යහපත් කොට සී සා කොටන ලද සරු වූ ක්ෂේත්‍රයෙක මාවී ආදි වූ බීජයන් රොපණය කෙළේ වී නම්, කිමෙක් ද, වපුරණ ලද ඒ බීජයන්ට වන අන්තරායන් නැවත නැවතත් අභිවෘද්ධිය පිණිස දුරු කරණ කල්හි කිසි අන්තරායක් වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, කිසි අන්තරායක් නැත්තා වූ නො නැසුනා වූ ඒ බීජයෝ ස්වාමීනි, වහා ම යහපත් සේ ම පැළවන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම සාමකුමාරයන් වහන්සේ උත්පත්ත්‍යන්තරාවන්ගෙන් මිදී තුන් දෙනෙකුන්ගේ චිත්තප්‍රාර්ථනාවෙන් උපන්සේක.
“කිමෙක් ද, මහරජානෙනි, ‘සෘෂින්ට කරණ ලද චිත්තදූෂණයෙන් සකල සමෘද්ධියෙන් පිරුණා වූ අනන්තජනයන් සහිත වූ මහාජනපද නැසී යන ලදැ’ යි කියා තොප විසින් පෙර අසන ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, පොළෝ තෙළෙහි දණ්ඩකී රජ්ජුරුවන් විසින් කිසවච්ච සෘෂීන්ට කළ අනාදරයෙන් මිනිසුන් සහිත රට නැසී අරණ්‍යගත වූ දණ්ඩකාරණ්‍යය ද පෙර කලිඟුරට නාලිකෙර රජ්ජුරුවන් පන්සියයක් (141) තපස්වීන් වහන්සේලාට ‘අසූචි කව’ යි නිග්‍රහ කොට මැරීමෙන් රට සහ නැසී ගියා වූ කාලිංගාරණ්‍යය ද එසේ ම මෙද්ධ්‍ය නම් රට මෙද්ධ්‍ය නම් රජ්ජුරුවන් විසින් අහර වළඳමින් සිටි මාතංගසෘෂීන් වහන්සේගේ හිස කප්පවා ලූ හෙයින් මාතාංගාරණ්‍ය නම් වූ මෙද්ධ්‍යාරණ්‍යය ද යන මේ සියලු ම අරණ්‍යයෝ තුන්දෙන මනුෂ්‍ය අපරිභොග ව අරණ්‍ය වන ලද්දාහු ය.
“සියලු ම මේ ජනපදයන්හි සෘෂීන්ට කරණ ලද චිත්තප්‍රසාදයෙන් කිසි අභිවෘද්ධිධර්මයකුත් උපදී දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි,” කීහ. “මහරජානෙනි, එසේ වී නම්, සාමකුමාරයෝ මහාබලවත් වූ පින් ඇති තුන් දෙනකුන්ගේ චිත්තප්‍රසාදයෙන් උපන්සේක. දුකූල නම් සෘෂීන් විසින් නිර්මිත වූසේක. ශක්‍රයන් විසින් නිර්මිත වූසේක. පුණ්‍යමහිමයෙන් නිර්මිත වූ සේකැ” යි කියා “මහරජානෙනි, මෙසේ මේ කාරණය තෙපි සිත්හි ධරා ගනුව. මහරජානෙනි, මේ දිව්‍යපුත්‍රයෝ තුන්දෙනෙක් ශක්‍රදෙවෙන්ද්‍රයන් විසින් යාච්ඤා කර සිටින ලද්දාහු කුලයෙහි උපන්නාහු ය. ඒ තුන්දෙන කවරේ ද? මෙකී සාමකුමාරයෝ ද මහාපණාද කුමාරයෝ ද කුස රජ්ජුරුවෝ ද යන මේ තුන්දෙනා ය මේ තුන්දෙනත් මහාබොධිසත්වයෝ ම ය” යි වදාළසේක.
මෙසේ මිලිඳු මහරජානන් “ස්වාමීනි, බුදුරජානන් වහන්සේ විසින් ‘කාරණා තුනකින් දරුගැබ හට ගන්නේ ය’ යි කියා වදාළ මේ කාරණය සැබෑ වී නම් ‘නාභිය පිරිමැදීමෙන් සාමකුමාරයෝ උපන්හ’ යි කියා වදාළ කාරණය බොරු වන්නේ ය. ඒ කාරණය සැබෑ වී නම් ‘කාරණා තුණකින් දරුගැබ හට ගන්නේ ය’ යි කියා වදාළ කාරණය බොරු වන්නේ ය” යි කියා මේ උභතොකොටික ප්‍රශ්නය විචාළ කල්හි “මහරජානෙනි, ඒ කාරණාදෙක ම සැබෑ ම ය” යි කියා අනෙකවිචිත්‍රාකාර උපමාවන් ගෙණ හැර දක්වා වදාළ කල්හි අතිප්‍රසන්න වූ මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ විසින් ගර්හාවක්‍රාන්තිය මට යහපත් කොට දක්වා වදාරණ ලද්දේ ය. ඊට ම කාරණයෝ සුන්දර කොට කථනය කරණ ලද්දාහු ය. ඝනාන්ධකාරයෙහි සතර රියන් ගෙයක ප්‍රදීපසහස්‍රයක් දැල් වූ කලක් මෙන් ආලොක කරණ ලද්දේ ය. මිථ්‍යාජටා විජටනය කරණ ලද්දේ ය. මිථ්‍යාදෘෂ්ටීන්ගේ පරවාදයෝ විශෙෂයෙන් පැහැර දමන ලද්දාහ. මෙසේ නුඹ වහන්සේ වදාළ මේ කාරණය මමත් එසේ ම පිළිගන්නෙමි” යි කීහ.
ගර්හාවක්‍රාන්තිප්‍රශ්නය නිමි.