සිවිරාජ ප්‍ර‍ශ්නය

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘සිවි මහරජානන් විසින් අන්ධ වූ යාචකයක්හට තමන්ගේ ඇස් දෙන ලද්දේ ය. නැවැත අන්ධ වූ ඒ සිවිරජහට දිවඇස් උපන්නේ ය’ යි කියා මෙසේ නුඹ වහන්සේ කියනසේක. මේ වචනයත් වචනරසයට කසටක් මෙන් දැනෙන බැවින් කසට සහිත ය. පූර්වාපර විරොධයක් මෙන් දැනෙන බැවින් නිග්‍ර‍හ සහිත ය. වැරැද්දක් මෙන් දැනෙන බැවින් දොෂ සහිත ය. දිවඇස් ඉපදීමට කාරණ වූ ඇස් නැසී ගිය කල්හි ‘අහෙතුක වූ අවස්තුක අක්ෂිකූපයෙහි දිව ඇසගේ ඉපදීමෙක් නැතැ’ යි කියා සූත්‍ර‍ධර්මයෙහි වදාරණ ලද්දේ ය. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සිවිමහරජානන් විසින් ඇස් ඉල්ලූ යාචකයාහට ඇස් දෙන ලද්දේ වී නම් ඒ කාරණයෙන් ‘නැවත දිව ඇස් උපන්නේ[1] ය’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් සිවිමහරජානන්ට දිවඇස් උපන්නේ වී නම්, ඒ කාරණයෙන් ‘සිවිමහරජානන් විසින් ඇස් ඉල්ලූ යාචකයාහට ඇස් දෙන ලදැ’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය විසඳාලිය නො හැකි ග්‍ර‍න්ථිස්ථානයෙනුත් ගණ්ඨිතර වූයේ ය. බලවත් වූ වාද විදීමෙනුත් අතිශයින් වාද විදීමෙක් වන්නේ ය. හැරිය නො හෙන බලවත් වූ අවුල් හෙයිනුත් අතිශයින් අවුලෙක් වන්නේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. පරවාදයන්ගේ ව්‍යුපශමනය කිරීම පිණිස හා නිග්‍ර‍හය පිණිස ඒ ප්‍ර‍ශ්නයෙහි ආලය උපදවා වදාළ මැනැවැ” යි කීහ.

“මහරජානෙනි, සකලසිරිනිධාන වූ සිවි නම් මහරජානන් විසින් රජසැපතින් යුත් ජීවිතයෙහි ලොභයක් නො කොට දෙඇස පතා ආ අන්ධශක්‍ර‍බමුණාහට තමන්ගේ දෙඇස උගුල්වා දෙන ලද්දේ ය. එහි තොප විමතියක් නො උපදවා ලුව මැනැව. නැවතත් ඇස් දන් දුන් ප්‍රීතියෙන් දවස් ගණනක් ඉකුත් වූ කල සක්දෙවිඳුගේ සලස්න හුණු ව අවුත් ‘බුද්ධාංකුරයානන් වහන්ස, නුඹ වහන්සේගේ ශරීරයට (129) වන වෙහෙස බලා අපි දෙව්ලොව සිට ආම්හ. එසේ වුවත් අනුන්ට ඇස් දෙන්ට නො හැක්කෙමු. නුඹ වහන්සේ දුන් දානබලයෙන් ම ඇස් ලැබුව මැනැව’ යි කී කල්හි:-

“භීය්‍යො මං ආවිසි පීති-සොමනස්සං අනප්පකං”

යනාදීන් ‘ඇස් දන් දුන්නෙන් මට බොහෝ වූ ප්‍රීතියෙක් ආවෙස වූයේ ය. අප්‍ර‍මාණ වූ සොම්නස් උපන්නේ ය. මේ මාගේ සත්‍යානුභාවයෙන් මට දිව ඇස් ලැබේව’ යි කියා සත්‍යක්‍රියා කළ කල්හි ඝන බහල භිත්තිප්‍රාකාර පර්වතයන් විනිවිද ගෙණ සියක් යොදුන් තැන් දක්නා දිව ඇස් උපන්නේ ය. එයින් තොප විමතියක් නො උපදව” යි කීසේක. “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දිවැස් ඉපදීමට හේතු වූ ඇස නැසී ගිය කල්හි අහෙතුක වූ අවස්තුක වූ අක්ෂිකූපයෙහි දිවඇස උපන්නේ දැ?” යි විචාළහ. “නැත, මහරජානෙනි,” යි කීසේක. “ස්වාමීනි, මෙහි කාරණා කවරේ ද? හෙතු නැසී ගිය කල්හි අහෙතුක වූ අවස්තුවෙහි යම් කාරණයකින් දිව ඇස් උපදනේ වී නම්, වහා ම මට එපමණ කාරණයකින් අවබොධ කර වදාළ මැනැවැ” යි කීහ.

“කිමෙක් ද මහරජානෙනි, ලොකයෙහි සත්‍යවාදීහු යම් සත්‍යයක් කරණ කොට ගෙණ සත්‍යක්‍රියා කෙරෙද් ද, එබඳු සත්‍ය නම් දෙයක් ඇද් දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, ලොකයෙහි සත්‍ය නම් දෙයක් ඇත්තේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සත්‍යවාදීහු සත්‍යයෙන් සත්‍යක්‍රියා කොට වැසි වස්වන්නාහු ය. ගිනි නිවන්නාහු ය. විෂ බස්වන්නාහු ය. අනිකුත් නානාප්‍ර‍කාර කට යුතු කරන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් සිවිරජ්ජුරුවන්ගේ සත්‍යබලයෙන් දිව ඇස් උපන්නේ ය යි වදාළ මේ කාරණය හා දෙක එකට යෙදෙන්නේ ය. සම වන්නේ ය. මහරජානෙනි, සත්‍යබලයෙන් අවස්තුවෙහි දිවැස් උපන්නේ ය. සත්‍යය ම ඒ දිවැස් ඉපදීමෙහි දිව්‍යචක්ෂුවගේ ඉපදීම පිණිස වස්තු වන්නේ ය. මහරජානෙනි, යම් සේ මහත් වූ මන්ත්‍රෞෂධ දන්නා යම්කිසි සිද්ධකෙනෙක් ‘මහාමෙඝය වසීව’ යි කියා සත්‍යගායනා කෙරෙති. ඔවුන්ගේ සත්‍යගායනාව හා සමග මහාමෙඝය වස්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, යම් හෙතුවකින් මහාමෙඝය වස්නේ ය යි ආකාශයෙහි වැස්සට හෙතුවක් රැස් වූයේ ඇද් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, සත්‍යය ම එහි මහත් වූ මෙඝයාගේ වැසීම පිණිස කාරණා වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ සිවිරජ්ජුරුවන්ට දිවැස් ලබන ප්‍ර‍කෘති හේතුවෙක් නැත්තේ ය. සත්‍යය ම එහි දිවැස් ඉපදීම පිණිස වස්තු වූයේ ය.

“තවද මහරජානෙනි, යම් සේ යම්කිසි සිද්ධකෙනෙක් ජ්වලිත ප්‍ර‍ජ්වලිත වූ මහගිනිකඳෙක් නො දා වළකීව යි කියා සත්‍යගායනා කෙරෙති. ඔවුන්ගේ සත්‍යගායනාව හා සමග ම ජ්වලිත ප්‍ර‍ජ්වලිත මහාවහ්නිස්කන්ධය ක්ෂණයකින් ම නිවෙන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ජ්වලිත ප්‍ර‍ජ්වලිත මහාවහ්නිස්කන්ධයතෙම යම් හේතුවකින් ක්ෂණයකින් වළක්නේ වේ ද, එබඳු රැස් ව තුබූ හේතුවෙක් ඒ ජ්වලිතප්‍ර‍ජ්වලිත මහගිනිකඳෙහි ඇද් ද?” යි විචාල සේක. “නැත, ස්වාමීනි, සත්‍යය ම එහි ඒ ජ්වලිත ප්‍ර‍ජ්වලිත වූ මහා (130) වහ්නිස්කන්ධයාගේ ක්ෂණයකින් ම වැළකීම පිණිස වස්තු වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ඒ සිවිරජ්ජුරුවන්ට දිවැස් ලබන ප්‍ර‍කෘතිහෙතුවෙක් නැත්තේ ය. සත්‍යය ම මෙහි දිව්‍යචක්ෂුවගේ උත්පාදය පිණිස වස්තු වූයේ ය” යි කීසේක. “මහරජානෙනි, යම් සේ කිසි සිද්ධකෙනෙක් වහා නැඟෙන හලාහලමහාවිෂයක් ‘විෂ නැති ව මිහිරි බෙහෙත් වේව’ යි කියා සත්‍යගායනා කරන්නාහ. ඔවුන්ගේ ඒ සත්‍යානුගීතය හා සමග ම හලාහලවිෂය ක්ෂණයකින් ම අමෘතබෙහෙත් වන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, හලාහලමහාවිෂය යම් හේතුවකින් ම ක්ෂණයකින් ම අමෘත බෙහෙත් වේ ද, ඒ හලාහලමහාවිෂයෙහි එක් ව තුබූ (එබඳු) හේතුවෙක් ඇද් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, සත්‍යය ම එහි හලාහලවිෂයාගේ ඇසිල්ලකින් ම නැසී යාම පිණිස හේතු වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍කෘතිහේතුවක් හැර සත්‍යය ම මෙහි දිවඇසගේ උත්පාදය පිණිස හේතු වුයේ ය.

තවද, මහරජානෙනි, චතුරාර්යසත්‍යධර්මයන්ගේ ප්‍ර‍තිවෙධය පිණිස අනික් හෙතුවෙක් නැත. සත්‍යය ම හෙතු කොට ගෙණ නිවන් පතන්නාහු චතුරාර්‍ය්‍යසත්‍යධර්මයන් ප්‍ර‍තිවෙධ කරන්නාහු ය. තවද මහරජානෙනි, චීන දෙශයෙහි චීන නම් රජෙක් ඇත. ඒ චීනරජ මහාසමුද්‍රයෙහි බිලි පූජා කරනු කැමැති වූයේ සාරමසක් සත්‍යක්‍රියා කොට ඔහුගේ සීහ නම් රථයෙන් ඇතුළු මහාසමුද්‍රයෙහි යොදුනක් තැන් යන්නේ ය. ඒ රථහිසට ඉදිරි ඉදිරියෙන් මහාජලස්කන්ධයතෙම ඉවත් වන්නේ ය. මුහුදින් ගොඩට නික්ම ගිය කල්හි නැවත ජලය ඔත්ථරණ ව හාවන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාසමුද්‍ර‍යතෙම දිව්‍යමනුෂ්‍යයන් සහිත වූ ලොකයා විසින් ප්‍ර‍කෘතිශරීරබලයෙන් ක්මවාපියන්නට හැකි වේ දැ” යි විචාළසේක. “ස්වාමීනි, ඉතා කුඩා විලෙකත් ජලය දිව්‍යමනුෂ්‍යයන් සහිත වූ ලොකයා විසින් ප්‍ර‍කෘතිශරීරබලයෙන් ඉවත් කරන්නට නො හැකි වන්නේ ය. මහාසමුද්‍රයෙහි ජලය බැරි බව කියනු ම කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, මේ කාරණයෙනුත් සත්‍යබලය දත යුත්තේ ය. සත්‍යයෙන් නො පැමිණිය හැකි[2] යමක් ඇද් ද එබඳු ස්ථානයක් නැත්තේ ය. තවද මහරජානෙනි, පැළලුප්නුවරෙහි වසන ධර්මාශොකමහරජානෝ එක් දවසක් සනෙගම ජානපද බල මහාඅමාත්‍යයන් විසින් පිරිවරමින් ගඟබඩ හිඳ පන්සියයක් යොදුන් ඇත්තා වූ සතරගව්වක් පළල ඇත්තා වූ නවසලිලයෙන් සම්පූර්ණ වූ සමතිත්තික වූ සමහරිත වූ දෙගොඩ තළා නිති වැහෙන්නා වූ ගංගා නම් මහානදිය දැක සිනා කෙරෙමින් සගයෙනි, මේ ගංඟාව ඉහළට හරවන්නට සමර්ථ වූ යම් කිසිවෙක් ඇද් ද? යි කියා අමාත්‍යයන්ට මෙසේ කීහ. ඒ අසා අමාත්‍යයෝ ‘දෙවයන් වහන්ස, ඉතා දුෂ්කර දෙයෙක. කවරක්හටත් නො හැකි දෙයෙකැ’ යි කීවාහු ය. එකල්හි ඒ ගංඟාව සමීපයෙහි සිටියා වූ බින්ධුමතී නම් වෙශ්‍යාදූතොමෝ රජහු විසින් වනාහි ‘මේ මහාගංඟාව උඩුගඟට හරවන්ට හැකි වෙ දැ?’ යි මෙසේ කියන ලද්දා වූ වචන ඇසුවා ය. ඒ අසා ‘මම වනාහි (131) මාගේ රූපයෙන් ම ජීවත් වන්නා වූ අන්තිම ජීවිකා ඇත්තා වූ පැළලුප්නුවරෙහි වෙසී වූ මාගේ එතෙක් ම සත්‍යක්‍රියාව රජ්ජුරුවන් වහන්සේ බලා වදාරණසේක්ව’ යි ඈ මෙසේ කියා නැවත සත්‍යක්‍රියා කළා ය. ඇග් සත්‍යක්‍රියාව හා සමග ම ක්ෂණයකින් ම ඒ මහාගංගාතොමෝ මහත් වූ මහාජනසමූහයා බලබලා හින්ද දී ම ‘ගලගල’[3] ගිගුම් දෙමින් උඩුගඟට ගලා යන්නට පටන් ගත්තා ය.[4] ඉක්බිති රජ්ජුරුවෝ මහා ගංඟාවෙහි ආවෘත්තරළවේගයෙන් ජනින වූ ‘ගලගල’ ශබ්දය අසා විස්මය පත් ව ආශ්චාර්‍ය්‍යාද්භූතව ‘සගයෙනි, මේ මහාගංගාතොම උඩුගඟට කවර කාරණයකින් හැරී යන්නී දැ?’ යි මෙසේ අමාත්‍යයන්ගෙන් විචාළහ. ඒ අසා අමාත්‍යයෝ ‘මහාරාජොත්තමයානන් වහන්ස, බින්ධුමතී නම් වෙශ්‍යාතොම ඔබ වහන්සේ වදාළ වචනය අසා සත්‍යක්‍රියා කළා ය. ඇගේ සත්‍යක්‍රියාබලයෙන් මේ ගංගාතොම ඌර්ධ්වමුඛ ව සන්‍දනය වන්නී ය’ යි දැන්නූහ. ඒ ඇසූ ඉක්බිති සංවෙගට පැමිණි හෘදයෙන් යුක්ත වූ රජ්ජුරුවෝ තෙමේ ම වහවහා ගණිකාව ලඟට ගොස් ‘එම්බල, බින්දුමතිය, තී විසින් මේ ගංගාව සත්‍යක්‍රියාවෙන් උඩුගඟට හරවන ලද්දේ සැබැ දැ?’ යි කියා ගණිකාව අතින් විචාළෝ ය. ‘එසේ ය, දෙව ස්වාමීන් වහන්සැ’ යි කීවා ය. රජ්ජුරුවෝ ඒ අසා ‘එම්බල, තිට ඒ ගංගාව නවත්වා ලීමෙහි කුමන බලයෙක් ඇද් ද? කවරෙක් තිගේ වචනය සැබෑ ය යි කියා ගන්නේ ද? ඉතා ස්වල්ප වූ බලයකින් තී මහාගංගාව ප්‍ර‍තිස්‍රොත කොට හරවා ලූවා දැ?’ යි විචාළෝ ය.

ඒ අසා ඕ තොමෝත් නො බා[5] ම දෙවයන් වහන්ස, මම මාගේ සත්‍යබලයෙන් මේ මහාගංගාව උඩුගඟට හරවා ලීමි’ යි කීවා ය. එකල රජ්ජුරුවෝ ‘එම්බල, චොරී වූ ධූර්ත වූ අසත්පුරුෂ වූ ලජ්ජාවිච්ඡෙදනී වූ පාපී වූ ස්ත්‍රීසීමාව බිඳ පවත්නී වූ ඉක්ම ගිය ගුණසොභා ඇත්තී වූ, කාමාන්ධජනයන්ගේ වස්තු පැහැර ගන්නා වූ තීගේ කුමන සත්‍යබලයෙක් ඇද් දැ?’ යි කීහ. “ස්වාමීනි, දෙවයන් වහන්ස, මම එබඳු වූයෙත් සැබෑ ම ය. ස්වාමීනි, දෙවයන් වහන්ස, එබඳු වූ මාගේත් සත්‍යක්‍රියාවෙක් ඇත. යමක් කැමැත්තා වූ මම දෙවියන් සහිත වූ ලොකය පරිවර්තනය කෙරෙමි’ යි කීය.[6] රජ්ජුරුවෝත් ඒ අසා ‘තීගේ ඒ සත්‍යක්‍රියාව කවරෙක් වේ ද? වහා මට අස්වාලව’ යි කීහ. ‘මහාරාජොත්තමයානන් වහන්ස, යම් ක්ෂත්‍රියෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ අනික් කිසියම් කෙනෙක් හෝ මට ධනය දෙන්නේ නම් ඔවුන්ට එක සම ව උපකාර කෙරෙමි. රජකෙනෙකැ යි කියා විශෙෂයෙක් නැත්තේ ය. ශුද්‍ර‍ කෙනෙකැ යි කියා ලාමක කොට සිතීමෙක් නැත්තේ ය. අනුනයයෙන් හා ක්‍රොධයෙන් මිදී ධනස්වාමියා කෙරෙහි හැසිරීමි’ යි ‘දෙවයන් වහන්ස, මම යම් සත්‍යක්‍රියාවකින් මේ මහාගංගාව ප්‍ර‍තිස්‍රොතයට සන්දාපනය කෙළෙම් ද, මෝතොම මාගේ සත්‍යක්‍රියාව ය’ යි කීවා ය.

“මහරජානෙනි, මේ කාරණයෙනුත් සත්‍යධර්මයෙහි සිටියාහු මනාප වූ කිසි අර්ථයක් නො විඳින්නාහු ද? නැවැත මහරජානෙනි, සිවි මහරජානන් විසින් ඇස් ඉල්ලූ යාචකයාහට බුදුබව පතා ඇස් දන් දෙන ලද්දේ ම ය. නැවැත සත්‍යානුභාවයෙන් සාරසියයක් ගවු දුර පෙණෙන දිවඇස් උපදනා (132) ලද්දේ ම ය. ඒ දිවැස් ලැබීම සත්‍යක්‍රියානුභාවයෙන් ම ය. යමක් වනාහි ‘මාංසචක්ෂුව නැසී ගිය කල්හි අහෙතුක වූ අවස්තුවෙහි දිවඇසගේ උත්පාදයෙක් නැතැ’ යි කියා සූත්‍රයෙහි වදාරණ ලද්දේ ය. ඒ ඇස භාවනාමය දිවඇස් සඳහා වදාරණ ලද්දේ ය. මහරජානෙනි, සිවිමහරජානන් දිවැස් ලැබූ මේ කාරණය මේ යථොක්තප්‍ර‍කාරයෙන් සිත්හි දරා ගණුව” යි වදාළසේක.

“මෙසේ ඉදින්, ස්වාමීනි, සිවිමහරජානන් විසින් අන්ධ වූ බ්‍රාහ්මණයා හට ඇස් දන් දුන් බව සැබෑ වී නම්, ‘දිවැස් ඉපදීමට වස්තු වූ ඇස නැසී ගිය කල්හි අවස්තුවෙහි දිවැස් නූපදනේ ය’ යි කියා සූත්‍ර‍ධර්මයෙහි පෙනී තිබෙන්නේ ය. එහෙයින් අන්ධ වූ ඒ සිවිරජහට නැවත දිවැස් උපන්නේ ය යි කී වචනය බොරු වන්නේ ය. ඒ බව සැබෑ වී නම් ‘සිවිරජ්ජුරුවෝ ඇස් දන් දුන්සේකැ’ යි වචනය බොරු වන්නේ ය” යි කියා මේ උභතොකොටිකප්‍ර‍ශ්නය විචාළ මිලිඳුරජහට ඒ කාරණා දෙක ම සැබෑ කොට වදාළ කල්හි අතිප්‍ර‍සන්න වූ ඒ මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉතා යහපත. ප්‍ර‍ශ්නයතෙම මනා ව නිර්වෙඨනය කරණ ලද්දේ ය. පරවාදීන්ගේ නිග්‍ර‍හයතෙම මනා කොට ම දැක වදාරණ ලද්දේ ය. සුමර්දිතචර්මයක් සෙයින් පරවාද මර්දනය කරණ ලද්දේ ය. නුඹ වහන්සේ වදාළ මේ කාරණය අපි එපරිද්දෙන් ම පිළිගණුම්හ” යි කීහ.

සිවිරාජ ප්‍ර‍ශ්නය නිමි.

  1. ඇත්තේ

  2. යුතු

  3. ගල ගලා

  4. ගත්තේ ය

  5. නො බව

  6. කීහ