නැවතත් මිලිඳුමහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ විසින් ‘මහණෙනි, මහත් වූ පෘථිවි චලනයාගේ පහළ වීම පිණිස වන්නා වූ මේ කාරණයෝ අටදෙනෙක. ප්‍රත්‍යයයෝ අටෙකැ’ යි කියා මේ වචනය වදාරණ ලද්දේ ය. මේ අවශෙෂ නො වූ සර්වප්‍රකාර වචනයෙක. මේ ඉතිරි නො වූ නිරවශෙෂ වචනයෙක. මේ ඉතිරි කාරණයක් නැති තීන්දු වචනයෙක. එහෙයින් මහත් වූ පෘථිවි චලනයාගේ පහළවීම පිණිස වන්නා වු අනික් නව වැනි කාරණයෙක් නැත්තේ ය. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මහත් වූ පෘථිවි චලනයාගේ පහළ වීම පිණිස නවවැනි වූ අනික් කාරණයක් වන්නේ වී නම්, භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ ඒ කාරණයත් වදාරණ සේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් හෙයකින් මහත් වූ පෘථිවිචලනයාගේ පහළ වීම පිණිස අනික් නවවැනි කාරණයෙක් නැත්තේ ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද්දේ ය. ස්වාමීනි, වෙස්සන්තර රජ්ජුරුවන් විසින් පුත්‍රදානාදි මහාදානය දෙන කල්හි සත් වරක් ‘මහාපෘථිවිය[1] කම්පිත වී ය’ යි කියා වදාළ යම් වචනයක් ඇත් නම්, මහත් වූ පෘථිවිචලනයාගේ පහළ වීම පිණිස ඒ මේ නව වැනි කාරණයෙක් මා විසින් දක්නා ලැබෙයි. ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මහත් වූ පෘථිවිකම්පාවගේ පහළ වීම පිණිස අෂ්ටප්‍රත්‍යයයන් හා කාරණා අට නියම වී නම්, එයින් ‘වෙස්සන්තර නම් රජ්ජුරුවන් විසින් පුත්‍රදානාදි මහාදානය දෙන කල්හි සත්වරක් පෘථිවි කම්පාවී ය’ යි කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් වෙස්සන්තර රජ්ජුරුවන් විසින් පුත්‍රදානාදිමහාදානය දෙන කල්හි සත්වරෙක මහ පොළොව කම්පා වී ය යි වදාළ වචනය සැබෑ වී නම්, එහෙයින් ‘මහත් වූ පොළොව කම්පාව පහළ වීම පිණිස වන්නා වූ ප්‍රත්‍යය අටෙක, කාරණා අටෙක් ම ය’ යි කියා වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. ජල පොළෝ සෙයින් අතිගම්භීර වූ ප්‍රඥාඇසට ඝනාන්ධකාරය කරන්නා වූ හැරිය නො හැකි තද වෙළුමක් වැනි වූ සියක් වර පැළු අස්ලොම් අගක් මෙන් සුඛුම වූ ඒ මේ උභතොකොටිකප්‍රශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. මේ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ වැනි වූ ප්‍රඥාවතුන් වහන්සේලා හැර මඳ නුවණැති අනික් කෙනෙකුන් විසින් තෝරා විසඳා පියන්නට නො හැකි වන්නේ ය. ස්වාමීනි, ප්‍රඥාවික්‍රමය බලව” යි කීහ.
(122) “මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මහත් වූ පෘථිවිකම්පාව පහළ වීම පිණිස මේ කාරණයෝ අටදෙනෙකැ’ යි කියා මේ අටකාරණය වදාරණ ලද්දේ ය. ‘වෙස්සන්තර රජ්ජුරුවන් විසින් මහාදානය දෙන කල්හිත් සත්වරෙක මහාපෘථිවිතොම කම්පා වී ය’ යි කියා වදාළ කාරණයත් සැබෑ ම ය. ඒ කම්පා වීම වනාහි අකාලික ය. කිසිකලෙක උපදින දෙයෙක. අටකාරණයෙන් මිදුනේ ය. එහෙයින් අටකාරණය හා ගණනට නො ගන්නා ලද්දේ ය. මහරජානෙනි, යම් සේ ලොකයෙහි වස්සානිකය, හෙමන්තනිකය, පාවුස්සික ය යි මේඝයෝ තුන්දෙනෙක් ම ගණන් ගණිති. ඉදින් ඒ වර්ෂා තුණ හැර අනික් වර්ෂාවෙක් වසී නම්, ඒ වර්ෂාව ලොකසම්මත වූ මෙඝයන් හා ගණනට නො ගන්නා ලැබෙයි. ‘අකාල මෙඝය’ යි කියා සංඛ්‍යාවට යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වෙස්සන්තරරජ්ජුරුවන් විසින් පුත්‍රාදීමහාදානය දෙන කල්හි සත්වරක් මහාපෘථිවිය කම්පිත වී ය. මේ කාරණය කිසි කලෙක වන්නා වූ අකාලිකයෙක. අටකාරණයෙන් මිදුනේ ය. ඒ කාරණය අටකාරණයන් හා ගණන් නො ගන්නා ලැබෙයි. තවද, මහරජානෙනි, යම් සේ හිමාලය පර්වතයෙන් පන්සියයක් පමණ ගංගාවෝ වහින්නාහු ය. මහරජානෙනි, ඒ පන්සියයක් පමණ ගංගාවන්ගෙන් ගංගාදසයක් පමණ නදී සංඛ්‍යාවට ගණන් ගණිති. ඒ කවරේ ද? ගංගා ය, යමුනා ය, අචිරවතී ය සරභූ ය, මහි ය, සින්ධු ය, සරස්වතී ය, වෙත්‍රවතී ය, වීනංසා ය, චන්ද්‍රභාගා ය, යන මේ දසය ලොකසම්මත ය. අවශෙෂ වූ ගංගාවෝ නදී සංඛ්‍යාවට ගණන් නො ගන්නා ලද්දාහු ය.
“කාරණා කවරේ ද? යත්- ඒ දශනදීහු ප්‍රධාන ජලාශයයෝ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වෙස්සන්තර රජ්ජුරුවන් විසින් මහදන දෙන කල්හි සත්වරක් මහාපෘථිවිතොම කම්පිත වූවා ද, මේ කම්පිත වූ කාරණය ද කිසි දවසක උපදින්නා වූ අකාලිකයෙක. අටකාරණයෙන් මිදුනේ ය. වෙස්සන්තරජාතකයෙහි යම් ඒ පොළෝ කම්පා වූ කාරණය අටකාරණයන් හා ගණන් නො ගන්නා ලැබෙයි. තවද, මහරජානෙනි, යම් සේ රජ්ජුරුවන්ගේ සියයක් හෝ දෙසියයක් හෝ පන්සියයක් හෝ අමාත්‍යයෝ වෙති. ඔවුන්ගෙන් ජනයෝ සදෙනෙක් ම අමාත්‍යගණයට ගණිනු ලැබෙති. ඒ කවුරු[2] ද? අග්‍රසෙනාපති ය, පුරොහිතයානෝ ය, ධර්මවිනිශ්චයමහාමාත්‍යයානෝ ය, භාණ්ඩාගාරිකයානෝ ය, රාජඡත්‍රය උසුලනුවානෝ ය, රාජඛඞ්ගය උසුලනුවානෝ ය, මොවුහු පමණක් ම අමාත්‍යගණනාවට ගණිනු ලැබෙති. කාරණ කවර? යත්- මේ සදෙනා රාජගුණයෙන් යුක්ත බැවින් ප්‍රධාන වෙති. අගණිත වූ අවශෙෂ සියල්ලෝ ම අමාත්‍යයෝ ය යි කියා සංඛ්‍යාවට යෙති, එපරිද්දෙන් ම මහරජානෙනි, වෙස්සන්තර රජ්ජුරුවන් විසින් මහාදානය දෙන කල්හි සත්වරක් ම මේ මහාපෘථිවිතොම කම්පිත වූවා ය. මේ කාරණය කිසි කලෙක උපදින්නා වූ අකාලිකයෙක. අටකාරණයෙන් මිදුනේ ය. ඒ කාරණය අටකාරණයන් හා නො ගණිනු ලැබෙයි. මහරජානෙනි, දැන් මේ (123) ගෞතමජින ශාසනයෙහි කෘතාධිකාරයන්ගේ දෘෂ්ටධර්මසුඛවෙදනීය වූ පුණ්‍යකර්මයක් අසන ලද්දේ ද, යම් කෙනෙකුන්ගේ කීර්ති තොම දිව්‍යමනුෂ්‍යයන් කෙරෙහි ඉතා උස් ව පැන නගින ලද ද, ඒ බවත් ඇසූයෙහි දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, දැන් මේ ගෞතමජිනශාසනයෙහි කෘතාධිකාරයන් ඇත්තා වූ යම් කෙනෙකුන්ගේ දෘෂ්ටධර්මසුඛවෙදනීය වූ යම් පු්‍යකර්මයක් වී ද, දිව්‍යමනුෂ්‍යයන් කෙරෙහි ඉතා උස් ව පැන නැංගා වූ කීර්තියක් ඇද් ද, ඒ බව මා විසින් අසන ලද්දේ ය. ඒ ජනයෝ සත් දෙනෙකැ” යි කීහ. “මහරජානෙනි, ඔහු කවුරු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, බිම්බිසාර රජ්ජුරුවන්ට ගෙණ යන මල් අට නැළියකින් බුදුන් පුදා මහසැපත් ලැබූ සුමන නම් මාලාකාරයානෝ ය. අඹුව හා තෙමේත් වරින් වර පෙරව ගෙණ කලඑලි බලා යන එකසාටකය බණ අසා බුදුන්ට පුදා එදවස් නොයෙක් සැප ලැබූ එකසාටකබමුණානෝ ය, බත්බැළයෙන් ජීවත් වෙමින් සැරියුත් මහතෙරුන් වහන්සේට දන් දී සිටුසැපත් ලැබූ පූර්ණ නම් බහුධනසිටානෝ ය. කොමපිඬුතුණක් පැසෙක ලා ගෙණ මග යමින් ලොවුතුරා බුදුන්ට පුදා එදවස් එම කුශලබලයෙන් කොසොල්රජහට අග්‍රමෙහෙසිකා තනතුරට පැමිණී මාලාකාර දුවනියෝ ය. රන්මසු දහසකට අගය වඩා මිලයට ඉල්ලූ තමන් කොණ්ඩය නෙ ාදී සිස් පා අතින් ගෙණ ගෙදොරට පැමිණි කසයින්මහතෙරුන් ඇතුළු වූ සඟ අටනමක් දැක පිදිය යුතු වතක් නැත්තෙන් තමන් කොණ්ඩය කපා දී රන් මසුඅටක් ගෙණ එයින් දන් සපයා පිළිගන්වා සඟුරුවන් දකුත් ම හිසකේ දික් ව ඒ කුශලබලයෙන් උදේනි නම් නරනිඳුන්හට අග්‍රමෙහෙසිකා තනතුරට පැමිණි ගොපාලමාතා නම් දුක්පත් සිටුදුවනියෝ ය. රොගාතුරනමක්හට කලවේ මස් කපා දන් දෙමින් මරණාසන්න ව බුදුන් දකුත් නීරොගී ව බණ අසා සොවාන් වූ සුප්පියා නම් උපාසිකාවෝ ය. කුඩුකැවුම පුදා බණ අසා සෝවාන් වූ පුණ්ණා නම් දාසීන්දෑ ය යන මේ සත්දෙන මෙ ම ජන්මයෙහි දෘෂ්ටධර්මසුඛවෙදනීයකුශලකර්මයට පැමිණි සත්වයෝ ය. දිව්‍ය මනුෂ්‍යයන් කෙරෙහි මොවුන්ගේ කීර්තිගුණය ද ඉතා උස් ව පැනනැංගේ ය” යි කීහ.
“මහරජානෙනි, හේ කිමෙක් ද? දන්-පින් කළ කෙනෙකුන් පරලොව ලබන ආනිසංස මුත් මෙලො ව ම ලබන ආනිසංසයක් ඇසුයේ ඇද් ද? මේත් එක් කාරණයක් කොට සිත්හි තබා ගත මැනැව. මහරජානෙනි, අනික් කෙනෙක් අතීත කාලයෙහි මානුසික වූ ශරීරදෙහයෙන් ම ශක්‍රභවනයට ගියාහු ය යි කියා අසන ලද්දේ ද?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, මා විසින් ඔවුහු අසන ලද්දාහු ය” යි කීහ. මහරජානෙනි, ඔහු කවුරු කවුරු දැ?” යි විචාළසේක. ස්වාමීනි, වීණාගාන්ධර්වයෙහි දක්ෂ වූ ගුත්තිලපණ්ඩිතයෝ ය. සාධීනරජ්ජුරුවෝ ය. නිමිරජ්ජුරුවෝ ය. මහාමන්දාතුරජ්ජුරුවෝ ය යන මේ සතරදෙන එම මනුෂ්‍යශරීරයෙන් ම ශක්‍රභවනයට ගියාහු ය යි කියා මා විසින් අසන ලද්දේ ය. බොහෝ ඈත කරණ ලද සුචරිතදුශ්චරිතය අසන ලද්දේ ය” යි කීය.
“යහපත, මහරජානෙනි, තෙපි ඉතා අතීතයෙහි බොහෝ කාරණයන් අසා දන්නහු ය. මහරජානෙනි, ‘අතීත කාලයෙහි හෝ වර්තමානකාලයෙහි හෝ මෙනම් ඇත්තහුගේ දානය දෙන කල්හි වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ මහාපෘථිවිය කම්පා වන ලදැ’ යි කියා තොප විසින් පෙර අසන ලද්දේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” කීහ. “මහරජානෙනි, (124) ආගමාධිගම පර්යාප්තිශ්‍රවණය හා ත්‍රිවිධ වූ ශික්ෂාබලය ද පූර්වාචාරීන්ගෙන් ඇසීමෙන් හා නැවත නැවතත් විචාරීමෙන් ගුරුන් ආශ්‍රයත් මට ඇත්තේ ය. එසේ උවත් මා විසිනුත් මෙනම් ඇත්තහුගේ දානය දෙන කල්හි වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ මහපොළොව කම්පිත වී ය යි කියා පෙර නො අසන ලද්දේ ය” යි කීහ.
“මහරජානෙනි, වෙස්සන්තර නම් රාජශ්‍රෙෂ්ඨයානන්ගේ දානප්‍රවරය තබා කාශ්‍යප නම් භාග්‍යවතුන් වහන්සේගේ ද ශාක්‍යමුනි වූ ගෞතම නම් භාග්‍යවතුන් වහන්සේගේ ද යන බුදුවරයන් දෙදෙනා වහන්සේලාගේ අතුරෙන් ගණනපථය අතිකාන්ත වූ අනෙකවර්ෂකොටිගණනෙක් අතික්‍රාන්ත වී. ඒතාක් කාලය මුළුල්ලෙහිත් මෙ නම් තැනැත්තහුගේ දානය දෙන කල්හි වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ මහපොළොව කම්පා වී ය යි කියා මාගේත් ඇසීමෙක් නැත්තේ ය. මහරජානෙනි, එපමණ වූ වීර්යයකින් එපමණ වූ පරාක්‍රමයකින් මහපොළොව කම්පා නො වන්නේ ය. ගුණභාරභරිත ව කම්පිත වන්නේ ය. මහරජානෙනි, සියලු ම සුචි[3] ක්‍රියා ගුණභාරයෙන් භරිත වූ මහාපෘථිවිතොම ඒ ගුණය ධරන්නට නො හැකි වී සෙල වී යන්නී ය. කම්පා වන්නී ය. වෙවුලන්නී ය.
“මහරජානෙනි, යම් සේ බොහෝ බඩු පිරීමෙන් ඉතා බර බොහෝ වූ ගැල්සකටයාගේ ගැල්චක්‍රය මධ්‍යගතනාභිය ද කරකැවෙන්නා වූ චතුෂ්කයෝ ද කීරි නැඟී පැළෙති. ගැල්අකුර ද බිඳී යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සියලු ම සුචි[4] ක්‍රියා ගුණභාරයෙන් භරිත වූ මහාපෘථිවිය බොධිසත්වයන් ධරන්නට නො හැකි ව චලිත වන්නී ය. කම්පා වන්නී ය. වෙවුලන්නී ය. මහරජානෙනි, යම් සේ වනාහි අනිලජලප්‍රවෙශයෙන් හාත්පසින් වැසී ගියා වූ වැඩුනා වූ මහාවර්ෂාජලභාරයෙන් භරිත වූ ගගන තලය මහත් වූ වාතයෙන් ඵුටිත[5] වන බැවින් මහත් නාද කරන්නේ ය. රාවය කරන්නේ ය. ‘ගල ගල’ යන ශබ්දයෙන් ගුගුරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වෙස්සන්තර නම් මහරාජොත්තමයානන්ගේ මහත් වූ දානපාරමිතාබලයෙන් උත්සන්නභාරයෙන් භරිත වූ මහපොළෝ ධරන්නට නො හැකි ව සෙලවෙන්නේ ය. කම්පා වන්නේ ය. වෙවුලන්නේ ය.
“මහරජානෙනි, වෙස්සන්තර රජ්ජුරුවන්ගේ චිත්තය රාග වශයෙන් නො පැවැත්තේ ය. ද්වේෂ වශයෙන් නො පැවැත්තේ ය. මොහ වශයෙන් නො පැවැත්තේ ය, මාන වශයෙන් නො පැවැත්තේ ය, දෘෂ්ටි වශයෙන් නො පැවැත්තේ ය, විතර්ක වශයකිනුත් නො පැවැත්තේ ය. ක්ලේශ වශයෙකිනුත් නො පැවැත්තේ ය. ‘රජ වූ මට සුදුසු ය’ යි සිතා සුදුසු වශයකිනුත් නො පැවැත්තේ ය, නැවත කුමක් වශයෙන්[6] ද? යත්- බොහෝ සෙයින් දානපාරමිතාව වශයෙන් පැවැත්තේ ය. ‘කිමෙක් දෝ හෝ යි නො ආවා වූ යාචකයෝ මාගේ සමීපයට ධන ඉල්වා ආවාහු නම් මැනැව. ආවා වූ යාචකයෝ කැමැති පරිද්දෙන් ධන ලැබ සතුටු වනු ලැබෙත්ව’ යි කියා නිරන්තරයෙන් දානයට ආදර කරණ සිත තබන ලද්දේ වෙයි.
“මහරජානෙනි, වෙස්සන්තර නම් මහරජානන්ගේ මානසය ඉන්ද්‍රිය දමනයෙහි ද, කායචිත්තශමනයෙහි ද, අධිවාසනක්ෂාන්තියෙහි ද, කාය වාචාසංවරයෙහි ද, ශීලගුණයෙහි ද, ව්‍රතසමාදානයෙහි ද, පරහට ක්‍රොධ නො කිරීමෙහි ද, හිංසා නො කිරීමෙහි ද, වාක්සත්‍යයෙහි ද, සුචි[7] භාවයෙහි ද, (125) යන මේ දශස්ථානයෙහි නිරන්තරයෙන් තබන ලද්දේ වෙයි. මහරජානෙනි, වෙස්සන්තර නම් මහරජානන්ගේ කාමෙසනා තොම ප්‍රහීණ වී ය. භවය සෙවීම සංහිඳී ගියේ ය. ශ්‍රෙෂ්ඨචර්යාව සෙවීමෙහි ම උත්සාහයට පැමිණියේ ය. මහරජානෙනි, වෙස්සන්තර නම් මහරජානන්ගේ ආත්මාරක්ෂාව ප්‍රහීණ වී ය. අනුන් රක්ෂා කිරීමෙහි උත්සාහයට පැමිණියේ ය. ‘කිමෙක් ද, මේ සත්වයෝ සමගි වෙත්වා, නීරොගී වෙත්වා, සධනී වෙත්වා, දීර්ඝායුෂ්ක වෙත්ව’ යි කියා මෙසේ බොහෝ සෙයින් ම සිත පවත්නේ ය.
“මහරජානෙනි, ඒ දානය දෙන්නා වූ වෙස්සන්තරමහාරජානෝ භව සම්පත්තිය පිණිස නො දෙන්නාහ. ධනසම්පත්තිය පිණිසත් නො දෙන්නාහ. තමහට දෙන දෙයක් තකාත් නො දෙන්නාහ. අනුන්ගේ සිත් ගෙන්නා පිණිසත් නො දෙන්නාහ. ආයු වඩන පිණිසත් නො දෙන්නාහ. වර්ණ ලබන පිණිසත් නො දෙන්නාහ. සැප ලබන පිණිසත් නො දෙන්නාහ. ශරීරබල ලබන පිණිසත් නො දෙන්නාහ. පිරිස්යස පිණිසත් නො දෙන්නාහ. පුතුන් ලබන පිණිසත් නො දෙන්නාහ. දූන් ලබන පිණිසත් නො දෙන්නාහ. අඹුවන් පිණිසත් නො දෙන්නාහ. නැවැත කුමක් පිණිස දෙනසේක් ද? යත්- සර්වඥතාඥානය පිණිස සර්වඥතාඥානරත්නය පිණිස මෙබඳු වූ අසදෘශ වූ මහත් අනුත්තරදාන ප්‍රවරයන් දුන්නාහු ය. සර්වඥතාඥානයට පැමිණ ද මේ ගාථාව වදාළසේක:-
‘ජාලිං කණ්හාජිනා ධීතං මද්දිදෙවිං පතිබ්බතං,
චජමානො න චින්තෙසිං-බොධියායෙව කාරණා’ යි.
යනු හෙයින් ‘මහණෙනි, මා වෙස්සන්තර ව උපන්කල මේ සර්වඥබොධිය පිණිස ම මහත් වූ දානපරිත්‍යාග කරන්නා වූ මම් ගුණනුවණින් තුන්ලෝ අගනා ජාලිය කුමාරයන් හා කෘෂ්ණාජිනා නම් දුහිතෘන් හා පවිත්‍රවිචිත්‍ර චාරිත්‍රපතිව්‍රතාධර්මයෙන් යුක්ත වූ මද්‍රිදෙවීන් ද ආලයක් කොට නො සිතීමි’ යි කියා තුන්ලෝ විස්මය පත් කොට වදාළසේක. මහරජානෙනි, ඒ වෙස්සන්තර නම් මහරජානෝ ක්‍රොධ නො කිරීමෙන් ක්‍රොධය ජය ගන්නාහ, සත්පුරුෂගුණයෙන් අසත්පුරුෂයා ජය ගන්නාහ. තෑගි දීමෙන් මසුරුසිත්කාරයා ජය ගන්නාහ. සත්‍යවචනයෙන් බොරු කියන පුද්ගලයා ජය ගන්නාහ. සියලු ම අකුශලධර්මය කුශලධර්මයෙන් ජය ගන්නාහ.
“මහරජානෙනි, මෙබඳු ප්‍රකාරයෙන් දන් දෙන්නා වූ කුශලධර්මයට පැමිණියා වූ පාරමිතාධර්මයාගේ මස්තකප්‍රාප්ත වූ ඒ වෙස්සන්තර නම් බුද්ධාංකුරයානන්ගේ අසදෘශ වූ දානනිස්සන්දඵල[8] වීර්යවිපුලතරවිහරණයෙන් යට අජටාකාශයෙහි පිහිටි නවලක්ෂසැටදහසක් යොදුන් පමණ ඝනය ඇති මහාවාතයෝ චලිත වන්නාහු ය. ඒ වාතයෝ සනිකසනික ව වරින් වර ඒ ඒ අතට ආකුලව්‍යාකුල වන්නාහු ය. එකල මේ පොළොව එක් ඇළයට පාත් ව ඔනමනය වන්නී ය. එක් අතකට උස් ව උන්නමනය වන්නී ය. අපරාපර ව විශෙෂයෙන් විනමනය වන්නී ය. පොළෝතලයෙහි කල් ගෙවී පත්‍ර වැටීමට පැමිණියා වූ වෘක්ෂයෝ ඇද වැටෙන්නාහ. ‘මේ කිම් හෝ?’ යි භය ගෙණ වලාහකදෙවතාවෝ රාසි රාසී ව අහස්තලයෙහි ඒ ඒ අත දිවන්නාහු ය. රජසින් රැස් වුනා වූ (126) වාතයෝ අහස දුවන දෙවතාවන්ගේ ඇස් හයාගත නො දී ඉතා දරුණු වන්නාහු ය. ගගනතලය පීළනය කොට වාතයෝ හමන්නාහ. කඹුරු සමින් දුවන සුළං සෙයින් සියලු අහස්තලයෙහි වහා වහා ‘ධම ධම’ ය අනුක්‍රියාශබ්දයෙක්[9] වන්නාහ. මහත් වූ භයානක ශබ්දය පැතිරෙන්නේ ය. මෙසේ වාතය කුපිත වූ කල්හි සියලු ගංගා සමුද්‍ර ජලය සනිකසනික ව ම චලිත වන්නේ ය. උදකය චලිත වූ කල්හි මත්ස්‍ය ඉදිබු ආදීහු චලිත වන්නාහු ය. රැළපතර නිතර යුවල යුවල ව ජනිත වන්නාහ. ජලචර සකලසත්වයෝ තැති ගන්නාහ. සකලසමුද්‍රයතෙම ජල රැළ යුවලින් වැලඳ පවත්නේ ය. තොර නො වන රැළ නාදය පවත්නේ ය. ඝොර වූ දියබුබුල් නැගෙන්නාහු ය. සියලු ගං මුහුදවල පෙණමාලාවෝ ඇති වන්නාහ. මහාසමුද්‍රය ඉතිරී යන්නේ ය. දිසාවෙන් දිසාවට වතුර දුවන්නේ ය. පටිසොත වූ සියලු ජලධාරාවෝ උඩුගගට යන්නාහ. අසුරගුරුළු නාග යක්ෂයෝ භය වන්නාහ. කළකිරෙන්නාහ. ‘කිමෙක් දෝ හො? යි, කවරෙක් දෝ හො?’ යි මහාසාගරය විපරිවර්තනය වන්නේ ය යි බියපත් සිත් ඇත්තාහු පැන දුවන්ට යන මං සොයන්නාහ. පෘථිවිසන්ධාරකමහා ජලධාරය චලිත ව ලෙලදුනු කල්හි මහාපෘථිවිය කම්පා වන්නේ ය. නාගයන් සහිත නාගභවනය හා සත්මුහුදු සහිත සාගරය විපරිවර්තනය වන්නේ ය. සිනෙරුපර්වතකූටශෛලශිඛරයතෙම ඒ ඒ අතට නැමෙන්නේ වෙයි. එකල මෙර මත්තෙහි පිහිටි සත්සියයක් යොදුන් උස ඇති වෛජයන්ත ප්‍රාසාදය මල්ඔටුන්නක් මෙන් ඒ ඒ අතට නැමෙන්නේ වෙයි. සර්ප මුගටි බළල් ශෘගාල ඛුරු මෘග පක්ෂීහු දොම්නස්සිත් වන්නාහ. පින් මද අල්පෙශාඛ්‍යයක්ෂයෝ භයින් හඬන්නාහ. මහානුභාවසම්පන්න නිර්භීත මහෙශාඛ්‍යයක්ෂයෝ මහපොළොව කම්පා වන කල්හි ‘මේ කුමන විස්මයෙක් දැ?’ යි මහසිනා කරන්නාහ.
“මහරජානෙනි, යම් සේ උදකයෙන් සම්පූර්ණ වූ තණ්ඩුලයෙන් ආකීර්ණ වූ ඉතා මහත් වූ මහාභාජනයක් මහත් උදුනකට පැමිණි කල්හි යටින් ගිනි ඇවිළෙමින් පළමු කොට භාජනය රත් කරන්නේ ය. රත් වූ භාජනය වතුර රත් කරන්නේ ය. එත් වූ වතුර සහල් රත් කරන්නේ ය. කකියා රත් වූ සහල් ඌර්ධ්ව ව ඉල්පෙන්නේ ය. වහා නිම්මුජ්ජනය වන්නේ ය. බුබුල් ඉපදීම වන්නේ ය. පෙණමාලා ඉතිරෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වෙස්සන්තර නම් මහරජානෝ ලොකයෙහි කිසිවකු විසින් දීපිය නො හැක්කා වූ යම් දානවස්තුවක් ආලය හැර දෙන සේක් ද, එකල්හි ඒ දානයාගේ ස්වභාවානිසංසයෙන් බොධිසත්වයන් දරන්නට නො හැක්කා වූ යට මහාවාතයෝ කුපිත වූහ. ඒ මහාවාතය කුපිත වූ කල්හි දියදබරාවක් සොලවා ලූ කලක් මෙන් සාරලක්ෂඅසූදහසක් යොදුන් ඝනය ඇති ජලපොළොව කම්පා වී ය. ජලපොළොව කම්පා වූ කල්හි දෙලක්ෂසතළිස්දහසක් යොදුන් ඝනය ඇති මේ පස්පොළොව කම්පා වී ය. මෙසේ එදවස් මහාවාතය ද, ජලපොළොව ද, පස්පොළොව ද යන මේ තුන්දෙන ම එක සිත් ඇත්තවුන් මෙන් වූහ.
“මහරජානෙනි, යම් සේ වෙස්සන්තර මහරජ්ජුරුවන්ගේ මහත් වූ දානානුභාවයෙක් ඇද් ද, විපුල් ඵල[10] වීර්යයෙන් හා මහාදානානිසංසයෙන් (127) මෙබඳු වූ අනික් කෙනෙකුන්ගේ දානානුභාවයෙක් නැත්තේ ය. මහරජානෙනි, යම් සේ භූමියෙහි බහුප්‍රකාර වූ මාණික්‍යයෝ ඇත්තාහු ය. ඒ කවරේ ද? ඉන්ද්‍රනීලය, මහානීලය, ජොතිරසය, වෛඩූර්යය, දියමෙඬෙරිපුෂ්පය, මාරාපුෂ්පය, මනොහාරය, සූර්යකාන්තය, චන්ද්‍රකාන්තය, වජිරය, ඛජ්ජොපනකය, පුෂ්පරාගය, ලොහිතංකය, මසාරගල්ලය යන මේ මේ සියලු මාණික්‍යයන් ඉක්ම චක්‍රවර්තිමාණික්‍යරත්නය අග්‍ර ය යි කියනු ලැබෙයි. මහරජානෙනි, චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ රත්න ප්‍රමාණ වූ මාණික්‍යරත්නය හාත්පසින් සතරගව්වක් ප්‍රමාණයෙහි ආලොක කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් මේ මහාපෘථිවිතලයෙහි යම්කිසි දානයක් ඇත්තේ වී නම්, නොහොත් බුදුන් දවස කොසොල් රජහුගේ අසදෘශදානය පරම ය. ශ්‍රෙෂ්ඨ ය, ඒ සියලු ම දානයක් ඉක්මවා වෙස්සන්තර රජ්ජුරුවන්ගේ මහාදානය අග්‍ර ය යි කියනු ලැබේ. මහරජානෙනි, අප වෙස්සන්තර නම් මහරජානන් විසින් අටවැනි වයස්හි ‘දිවි පුදමි’ යි සිතූ ජීවිතදානය[11] ද, බමුණන්ට දුන් හස්තිදානය ද, තපසට යන දවස් ‘මෙබඳු දෙව්පුරයක් වැනි රජසැපත් හැර යෙමි’ යි සිතූ රාජ්‍ය දානය ද, ජූජකයාහට දුන් පුත්‍රදානය ද, ශක්‍රබමුණාහට දුන් මද්‍රීදානය ද, දෙරට නෑරජසෙනඟ වනමැදට පැමිණි දා හැමගේ දුක් නිවා දුන් සාමග්‍රීදානය ද, ජයතුරා නම් තමන්ගේ නුවරට පැමිණි දවස් ‘තවත් දන් දෙමි’ යි සිතූ අතුල්‍යදානචෙතනාව ද යන මේ මහාදානයන් දෙන කල්හි සත්වරක් මහාපෘථිවිතොමෝ කම්පා වූ ය” යි වදාළසේක.
එයින් කීහ:-
“ජීවිතොස්සජ්ජනෙ හත්‍ථි-දානෙ පුරවිලොකනෙ,
පුත්තදානෙ මද්දිදානෙ-වනෙ ඤාතිසමාගමෙ
ජෙතුත්තරම්හි සම්පත්තෙ-මෙදිනී කම්පිතා අහූ” ති.
මෙසේ නාගසෙන මහාථෙර සාමීන් විසින් “මහරජානෙනි, පොළොව කම්පා වන අටකාරණයන් වදාරණ බුදුරජානන් වහන්සේ විසින් ‘මහණෙනි, මහාවාතය චඤ්චල වීමෙහි ද, මහානුභාවසම්පන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණයන් විසින් ආපොකසිණසමවත් සමවැදීමෙහි ද, මහා බොධිසත්වයන්ගේ මව්කුස ඉපදීමෙහි ද, බිහිවීමෙහි ද, බුදු වීමෙහි ද, දම්සක් දෙසීමෙහි ද, ආයුසංස්කාරහැරීමෙහි ද, පිරිනිවන්පෑමෙහි ද යන නමේ අටතැන පොළෝ කම්පා වන්නේ ය’ යි වදාළ අටකාරණයත් සැබෑ ම ය. ‘වෙස්සන්තර මහදන් දෙන කල්හි සත්වරක් මහපොළොව කම්පා වූ ය’යි වදාළ කාරණයත් සැබෑ ම ය” යි කියා අනෙකකාරණොපමාවන් ගෙණහැර දක්වා වදාළ කල්හි අතිප්‍රසන්න වූ මිලිඳු මහරජානෝ දොහොත් මුදුන් දී “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥබුදුවරයන් වහන්සේලාගේ ගුණය ඉතා ආශ්චර්ය වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ පාරමිතාගුණ ධර්මය ඉතා අද්භූත වන්නේ ය. යම් කාරණයකින් මෙබඳු වූ ක්ෂාන්තියක් ඇත්තා වූ මෙබඳු වූ දානචෙතනාවක් ඇත්තා වූ මෙබඳු වූ අධිෂ්ඨානයක් ඇත්තා වූ, මෙබඳු වූ අභිප්‍රායක් ඇත්තා වූ, තථාගතයන් (128) වහන්සේ පෙර බොධිසත්ව වූසේක් ද, ලොකයා හා අසම වූසේක් ම ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බොධිසත්වවරයන්ගේ පරාක්‍රමය දක්වා වදාරණ ල්දදේ ය. ජිනෙන්ද්‍රයානන් වහන්සේලාගේ පාරමිතාධර්මය ද බොහෝ සෙයින් ම දීප්තිමත් කොට දක්වන ලද්දේ ය. පළමු කොට ම බොධිසත්වචරියායෙහි හැසුරුණා වූ තථාගතයන් වහන්සේගේ ද දෙවියන් සහිත වූ ලොකයා කෙරෙහි ශ්‍රෙෂ්ඨභාවය දක්වා වදාරණ ලද්දේ ය. යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ජිනෙන්ද්‍රශාසනයට ස්තුති කරණ ලද්දේ ය. සර්වඥපාරමිතා බබුළුවන ලද්දේ ය. තීර්ථකයන්ගේ ද වාද ගණ්ඨි සිඳ හරණ ලද්දේ ය. පරාපවාදකුම්භස්ථලයන් බිඳහරිණ ලද්දේ ය. ගම්භීර වූ ප්‍රශ්නය ලැහැල්ලු කර වදාරණ ලද්දේ ය. ග්‍රහණය අග්‍රහණය කරණ ලද්දේ ය.[12] සර්වඥපුත්‍රයන්ගේ අභිවෘද්ධිය මනා කොට ම නුඹ වහන්සේ විසින් ලබන ලද්දේ ය. ප්‍රවර ගණීන්ද්‍රයානන් වහන්ස, නුඹ වහන්සේ වදාළ මේ කාරණාය අපි ත් එසේ ම පිළිගණුම්හ” යි කීහ.
වෙස්සන්තරපෘථිවිකම්පාප්‍රශ්නය නිමි.