දෙවදත්තප්‍ර‍ව්‍ර‍ජ්‍යාප්‍ර‍ශ්නය

star_outline

නැවැතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දෙවදත්තයන් වහන්සේ කවුරුන් විසින් පැවිදි කරණ ලද්දේ දැ?” යි විචාළෝය. “මහරජානෙනි, භද්දිය කුමාරයෝ ය, අනුරුද්ධ කුමාරයෝ ය, ආනන්ද කුමාරයෝ ය, භගු කුමාරයෝ ය, කිම්බිල කුමාරයෝ ය, දෙවදත්ත කුමාරයෝ යන මේ උපාලි නම් කපුවානන් සත්වැනි කොට ඇති, ශාක්‍යකුමාරවරු සදෙන අප ලොවුතුරා ශාස්තෘන් වහන්සේ බුදු වූ කල්හි භාග්‍යවතුන් වහන්සේට සන්තොස උපදවමින් ශාක්‍යවංශයෙන් බුදුන්ට පසු ව මහණ වන්නාහු අපමණ වූ සැපත් හැර ගිහිගෙන් නික්මුනාහු ය. අප භාග්‍යවතුන් වහන්සේ ඒ සද්දෙනා මහණ කර වදාළසේකැ” යි කීසේක. “ස්වාමීනි, ඒ මහණ ව උපසම්පන්න වූ දෙවදත්තයන් වහන්සේ විසින් සංඝභෙද කර්මය කරණ ලද්දේ ය. ගෘහස්ථතෙම සංඝභෙදය කරන්නේ නො වෙයි. ශික්ෂ්‍යමාණාතොමෝ[1] සංඝභෙදය කරන්නේ නො වෙයි. සාමණෙර තෙම සංඝභෙදය කරන්නේ නො වෙයි. සාමණෙරි ද සංඝභෙදය කරන්නී නො වෙයි. සීලාදි එකාකාරගුණයෙන් ප්‍ර‍කෘති ව සුශීලසංඝයා හා සමග කරණ පොහෝපවාරණාදී සමානසංවාසය ඇත්තා වූ සමාන වූ එක සීමාවෙහි සිටියා වූ උපසම්පන්නභික්ෂුතෙම සංඝභෙදකර්මය කරන්නේ ය” යි කීසේක.

“ස්වාමීනි, ඒ සංඝයා බිඳගෙණ එක සීමාවෙක වෙන ම පොහොය කළා වූ සංඝභෙදක පුරුෂතෙම කවර අකුශලකර්මයක් විඳී දැ?” යි විචාළහ. ‘මහරජානෙනි, අවීචිමහානරකයෙහි කපක් මුළුල්ලෙහි නො ගෙවී සිටින්නා වූ අකුශලකර්මයට පැමිණෙන්නේ ය” යි කීසේක. “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දෙවදත්තයන් වහන්සේ පැවදි ව සංඝභෙදකර්මය කොට කල්පයක් මුළුල්ලෙහි අවීචිමහානරකයෙහි පැසෙන්නේ ය යි කියා බුදුරජානන් වහන්සේ දැන වදාරණ සේක් දැ” යි විචාළහ.

“එසේ ය, මහරජානෙනි, දෙවදත්තයන් වහන්සේ මහණ ව සංඝභෙදය කරන්නේ ය. සංඝභෙදය කොට කල්පයක් මුළුල්ලෙහි අවීචිමහා නරකයෙහි පැසෙන්නේ ය යි කියා අප තථාගතයන් වහන්සේ දැන වදාරණසේකැ” යි කීසේක. “ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දෙවදත්තයන් වහන්සේ මහණ ව සංඝභෙදය කරන්නේ ය. සංඝභෙදය කොට කල්පයක් මුළුල්ලෙහි අවීචි නම් මහානරකයෙහි (116) පැසෙන්නේ ය” යි කියා බුදුරජානන් වහන්සේ දන්නාසේක් වී නම්, ඒ කාරණයෙන් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘බුදුරජානන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි කරුණා ඇතිසේක. අනුකම්පා ඇතිසේක. හිතෙසිසේක. සියලු සත්වයන්ගේ අවැඩ දුරු කොට වැඩ උපදවනසේකැ’ යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය මිථ්‍යා වන්නේ ය. බොරු වන්නේ ය. ඉදින් ඒ දෙවදත්තයානන් අපායෙහි වැටෙන බව දිව්‍යඥානයෙන් නො දැන මහණ කරවා වදාළසේක් වී නම් ඒ කාරණයෙන් බුදුරජානන් වහන්සේ අසර්වඥසේක. සර්වඥතාඥානය ඇති සේක් වී නම්, සියලු සත්වයන් කෙරෙහි කරුණාව නැතිසේක. කරුණාව ඇතිසේක් නම්, දිව්‍යඥානය නැතිසේක. මේ උභතොකොටිකප්‍ර‍ශ්නයත් නුඹ වහන්සේට ම පැමිණියේ ය. මේ මහාඅවුල විජටනය කර වදාළ මැනව. පරවාදයන් බිඳ හැර වදාළ මැනැව. අනාගතකාලයෙහි නුඹ වහන්සේ හා සදෘශ වූ ප්‍ර‍ඥාවත් භික්ෂූන් වහන්සේලා දුර්ලභ වන්නාහු ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නයෙහි නුඹ වහන්සේගේ ප්‍ර‍ඥාබලය ප්‍ර‍කාශ කර වදාළ මැනැවැ” යි කීහ.

“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ සකලසත්වයන් කෙරෙහි පතළා වූ කරුණාවත් ඇතිසේක. සර්වඥතාඥානයත් ඇතිසේක. මහරජානෙනි, එහෙයින් ලොකාලොකදිවාකර වූ භාග්‍යවතුන් වහන්සේ මහාකරුණාව කරණ කොට ගෙණ සර්වඥතාඥානයෙන් දෙවදත්තයන් වහන්සේගේ ගතිය බලා වදාරමින් අපරාපර්යය වූ අකුශලකර්මයන් රැස් කොට ගෙණ අනෙකකල්පකොටිශතසහස්‍ර‍යක් මුළුල්ලෙහි නරකයෙන් නරකයට වැටීමෙන් වැටීමට යන්නා වූ ඒ දෙවදත්තයානන් දැක වදාළ සේක. මොහු විසින් කෙළවරක් නො කොට කරණ ලද්දා වූ අකුශල කර්මයමාගේ ශාසනයෙහි පැවිදි වූවාහට කෙළවර වන්නේ ය. පූර්ව අකුශලකර්මය නියාවට දුක් කෙළවර වන්නේ ය. පැවිදි නො වූයේ වී නමුත් මේ තුච්ඡ වූ පුරුෂතෙම කල්පයක් මුළුල්ලෙහි මහදුක් විදුවන්නා වූ අකුශලකර්මයන් රැස් කරන්නේ ය යි කියා භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ සර්වඥතාඥානයෙන් දැන කරුණාවෙන් ම දෙවදත්තයන් පැවිදි කර වදාළසේකැ” යි කීසේක.

ඒ අසා “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, බුදුරජානන් වහන්සේ සත්වයන්ට නොයෙක් වධ කොට තළා තෙලින් ඇඟ ආලේප කරණසේක. මහාප්‍ර‍පාතයක ඔසවා දමා ගොඩ නගින්නට අත දෙනසේක. මරාදමා ජීවිතය සොයනසේක. අහෝ! කරුණාවක ලෙසක් බැලුව මැනැව. ඒ බුදුරජානන් වහන්සේ යමෙකුට සැප දෙනු කැමැතිසේක් වී නම්, පළමු කොට මහත් දුක් දී පසු ව සැපතෙහි පිහිටුවනසේකැ” යි කීහ. ‘මහරජානෙනි, තථාගතයන් වහන්සේ වධ කරන්නෝ වූ නමුත් සත්වයන්ට හිතසැප පිණිස ම ය. ප්‍ර‍පාතයකින් හෙළන්නෝ වූ නමුත් සත්වයන්ට හිතසැප පිණිස ම ය. මරතත් සත්වයන්ට වැඩ පිණිස ම ය. මහරජානෙනි වධ කොට වී නමුත් තථාගතයන් වහන්සේ සත්වයන්ට හිතවැඩ ම උපදවන සේක. ප්‍ර‍පාතයකින් හෙළා දමා වී නමුත් සත්වයන්ට හිත වැඩ ම උපදවනසේක. මරාදමා වී නමුත්, සත්වයන්ට හිතවැඩ ම උපදවනසේක. මහරජානෙනි, යම් සේ දෙමවුපියෝ නම් වධ කොට තළාත් ගෙඩි දී ඔසවා දමාත් පුත්‍ර‍යනට හිතවැඩ ම උපදවන්නාහු වෙති. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් (117) වහන්සේත් සත්වයන්ට වධයක් කරතත් හිතවැඩ පිණිස ම ය. ඇද හෙළතත් සත්වයන්ට හිත වැඩ පිණිස ම ය. මරන්නේ වී නමුත් සත්වයන්ට හිතවැඩ පිණිස ම ය. මහරජානෙනි, තථාගතයන් වහන්සේ වධ කොට සත්වයන්ට හිත වැඩ ම උපදවනසේක. මරාපියාත් සත්වයන්ට හිතවැඩ ම උපදවනසේක. යම් යම් කාරණයකින් සත්වයන්ගේ ගුණ නුවණ පුණ්‍යඵල වැඩි වේ ද, ඒ ඒ කාරණයෙන් ඒ ඒ උපායෙන් සකලසත්වයන්ට හිතවැඩ ම උපදවන සේක. ඉදින් මහරජානෙනි, දෙවදත්තයන් වහන්සේ පැවිදි නො වූවෝ වූ නම් ගිහි ව වසමින් නරකයට පමුණුවන්නා වූ බොහෝ අකුශල කර්මයන් රැස් කොට අනෙකකල්පකොටිශතසහස්‍රයෙහි නරකයෙන් නරකයට විනිපාතයෙන් විනිපාතයට යෙමින් අප්‍ර‍මාණ වූ බොහෝ දුක් විඳින්නේ ය. ඒ කාරණය භාග්‍යවත් සර්වඥයන් වහන්සේ දිවැසින් දැන වදාරමින් ‘මාගේ ශාසනයෙහි පැවිදි වූවාහට දුක් කෙළවර වන්නේ ය’ යි කරුණාවෙන් දෙවදත්තයන් මහණ කර වදාළසේක. මහණ කොට කරුණාවෙන් බලවත් වූ දුක් ලැහැල්ලු කළසේක. මහරජානෙනි, යම් සේ මහාධන යශශ්ශ්‍රීඥාතිබලයෙන් බලවත් වූ පුරුෂයෙක් තෙම තමාගේ නෑකෙනෙකුන්ට හෝ මිත්‍රකෙනෙකුන්ට හෝ රජකෙනෙකුන්ගෙන් පැමිණියා වූ බලවත් දඬුවමක් දරන්නා දැක තමාගේ රජහට බොහෝ විශ්වාසභාවයෙන් හා උපායෙහි සමර්ථතාවෙන් මහත් වූ දණ්ඩනය මඳක් ලැහැල්ලු කෙරේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ බොහෝ කල්පකොටිශතසහස්‍ර‍යක් මුළුල්ලෙහි නරකදුක් විඳින්නා වූ කාරණය දිව්‍යඥානයෙන් දැක දුක් කෙළවර කරණ කරුණාවෙන් දෙවදත්තකුමාරයානන් මහණ කොට ශීලසමාධිප්‍ර‍ඥාවිමුක්තිබල සමර්ථභාවයෙන් මහත් වූ දුක් ලඝුකර වදාළසේක. තවද, මහරජානෙනි, යම් සේ වනාහි අතිදක්ෂ වූ ශල්‍යකර්තෘ වූ වෙදෙක් මහත් වූ බලවත් වූ ව්‍යාධියක් ඖෂධබලයෙන් මඬවා ලහැල්ලු කෙරේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම බොහෝ වූ කල්පකොටිශසසහස්‍ර‍යක් මුළුල්ලෙහි දුක් විඳින්නා වූ දෙවදත්තකුමාරයන් භාග්‍යවතුන් වහන්සේ උපාය දැනීමෙන් මහණ කොට සකලසත්වයන් කෙරෙහි පතළා වූ මහාකරුණා බලයෙන් උපස්තම්භක වූ සද්ධර්මඖෂධබලයෙන් දුක් නමැති මහත් වූ ව්‍යාධිය ලැහැල්ලු කර වදාළසේක.

“කිමෙක් ද, මහරජානෙනි, ඒ භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ බොහෝ දුක් විඳින්නා වූ දෙවදත්තකුමාරයාට විඳින දුක් ඉතා මඳ කෙරෙමින් මඳ වුවත් අකුශලයකට පැමිණිසේක් දැ?” යි විචාළසේක. “අනේ! ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ යටත් පිරිසෙයින් කිරිපීරක් දොවනා කල් මාත්‍ර‍යක් වත් මඳකුත් අපුණ්‍යයකට නො පැමිණි සේකැ”යි කීහ. “මහරජානෙනි, තෙපි වනාහි යම් කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ දෙවදත්ත කුමාරයා මහණ කළසේක් ද, ඒ මේ කාරණයත් අර්ථවශයෙන් පිළිගනුව. මහරජානෙනි, අනිකුත් ඉතිරි කාරණයෙක් ඇත. යම් කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ දෙවදත්ත කුමාරයා මහණ කළසේක් ද, ඒ කාරණයත් ඇසුව මැනව.

“මහරජානෙනි, යම් සේ ආත්මාර්ථපරාර්ථවිනාශකරණයෙහි දක්ෂ වූ මං පැහැර උමං බිඳ ගම් පැහැර ගම්පෙරළි කරන්නා වූ සොරෙකු අල්වා බැඳ ගෙණ රාජපුරුෂයෝ රජ්ජුරුවන් (118) කරා ගොස් ‘දෙවයන් වහන්ස, මේ සොර පුරුෂතෙම ඔබ වහන්සේගේ ආඥාචක්‍ර‍යට විරුද්ධ ව හැසුරුණේ ය. මෝහට යම් වධයක් කරණු කැමැතිසේක් නම්, ඒ දඬුවම් පණවා වදාළ මැනැවැ’ යි කියා රජ්ජුරුවන්ට දැක්වූවාහු වී නම්, සගයෙනි, එසේ වී නම්, මේ සොරා වදබෙර ගසා නුවරින් පිටත ගෙණ ගොස් ආඝාතනයෙහි දී ඉස කපා දමව්’ කියා රජ්ජුරුවෝ ඔවුන්ට මෙසේ කීවාහු වූ නම්, එසේ ය, දෙවයන් වහන්ස, යි කියා ඒ පුරුෂයෝ රජ්ජුරුවන්ගේ වචනය අසා ඒ සොරා වදබෙර ගසා නුවරින් පිටත ගෙණ ගොස් මිනී මරණ ආඝාතනභූමියට පැමිණියාහු වී නම්, එකල රජ්ජුරුවන්ගේ සමීපයෙන් ලබන ලද වරප්‍ර‍සාද ඇත්තා වූ ලබන ලද යශස්ධනභොග ඇත්තා වූ ඇදහිය යුතු වචන ඇත්තා වූ බලීවිනිශ්චිතකාර වූ රාජාභ්‍යන්තර වූ කිසියම් පුරුෂයෙක්තෙම මරණයට පැමිණියහු දුටුයේ ඉක්බිති ඒ රාජාභ්‍යන්තර පුරුෂතෙම මරන්ට සිටින ඒ පුරුෂයාහට කරුණා කොට ඒ රාජපුරුෂයන්ට මෙසේ කියන්නේ ය. ‘පින්වත්නි, තොපට මොහුගේ සීසච්ඡෙදනය කිරීමෙන් කම් කිම් ද? එහෙයින්, පින්වත්නි, මොහුගේ අතක් හෝ පයක් හෝ කපා දමා නො මරා ජීවිතය රක්ෂා කරව්. මම රජ්ජුරුවන්ගේ සමීපයෙහි දී මොහු පිණිස වචන කථා කොට රජහට සැල කෙරෙමි’ යි කියා ය.[2] ඒ අමාත්‍යපුරුෂයාගේ බලවත් ව කියන්නා වූ වචනය කරණ කොට ගෙණ ඒ ගම් රැකවල්ලු ඒ සොර පුරුෂයාගේ අතක් හෝ පයක් හෝ මඳක් කපා හැර ජීවිතය රක්ෂා කළාහු වී නම්, කිමෙක් ද? මහරජානෙනි, ඒ අමාත්‍යපුරුෂතෙම මේ සොරපුරුෂයාගේ හස්තච්ඡෙදනය කරලීමෙන් ඔහට අනර්ථකාරී වූයේ දැ?” යි විචාළසේක.

“ස්වාමීනි, ජීවිත දායක වූ ඒ පුරුෂතෙම ඒ සොරාහට ජීවිතදානය දුන් කල්හි ඒ සොරුහට කවර නම් උපකාරයක් නො කරණ ලද නම් ඇද් දැ?” යි කීහ. “ඒ සොරාගේ හස්තපාදච්ඡෙදනයෙහි යම් දුක්ඛ වේදනාවක් ඇද් ද, ඒ දුක්ඛවේදනාවෙන් මඳකුත් අකුශලකර්මයකට ඒ දිවි දුන් පුරුෂතෙම පැමිණේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ඒ සොරපුරුෂ තෙම තමා විසින් ම කර ගත් දෙයින් ම දුක්ඛවේදනාව විඳින්නේ ය. ජීවිත දායක වූ පුරුෂතෙම වනාහි මඳකුත් අකුශලයකට නො පැමිණෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ ‘මාගේ ශාසනයෙහි මහණ වූ දෙවදත්තයාහට දුක් කෙළවර වන්නේ ය’ යි කියා බුදුඇසින් දැක ඔහු කෙරෙහි කරුණාවෙන් දෙවදත්ත කුමාරයා පැවිදි කර වදාළසේක. මහරජානෙනි, දෙවදත්තයන් වහන්සේගේ දුක් කෙළවර ඇත්තේ ය. මහරජානෙනි, ඒ දෙවිදත් තෙරුන් වහන්සේ පූර්වවෛරයෙන් බුදුන් හා විරුද්ධ ව ‘බුදුන් මරා බුද්ධරාජ්‍යය ගණිමි’ යි සිතා සංඝභෙදකර්මය කොට වෙන් ව සිට බුදුන් මරන්ට නොයෙක් උත්සාහ කොටත් බුදුන් මරා ගත නො හී පොළොව පැළී නරකයට යන දවස් බුදුන් ගුණ සිහි කෙරෙමින් මරණ කාලයෙහි:-

“ඉමෙහි අට්ඨෙහි තමග්ගපුග්ගලං

දෙවාතිදෙවං නරදම්ම සාරථිං,

සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං

පාණෙහි බුද්ධං සරණං උපෙමි.”

(119) යන මේ ගාථාවෙන් ‘සනරාමරලොකාග්‍ර‍පුද්ගල වූ දෙවාති දෙව වූ, දමනය කළ යුතු වූ මනුෂ්‍යයන් තදංගවිනයාදියෙහි හික්මවා දමනය කරන්නා වූ, සියල්ල දක්නා සමන්තචක්ඛු නම් සර්වඥතාඥානයක් ඇත්තා වූ, ශතපුණ්‍යලක්ෂණයෙන් යුක්ත වූ, ඒ බුදුන් දිවිහිමියෙන් සරණට පැමිණෙමි. එහෙයින් ස්වාමීනි, මාගේ ලොවුතුරා බුදුරජානෙනි, (නුඹ වහන්සේ) නුඹ වහන්සේට අපරාධ කළ මා කෙරෙහි ද නුඹගේ අත ඇඟිලි කපා මරන්නට පැන්නූ අංගුලිමාල මහසොරානන් කෙරෙහි ද, නුඹ ඇන මරන්නට පැන්නූ ධනපාලයා කෙරෙහි ද, නුඹගේ ඖරසපුත්‍ර‍ වූ රාහුල කුමාරයන් කෙරෙහි ද, මෙකී සතර තැන එකාකාර ව පවත්නා කරුණාවෙන් (යුක්තසේක.) ලොවුතුරා බුදු වූ නුඹට සුහුරුබඩු වීමි. අප සුද්ධොදන මහරජානන්ට බෑන වීමි. මා නැගනියන් යශොධරාවන්ට වැඩි සිටියෙමි. රාහුල කුමරුවන්ට මයිලනු වීමි. ස්වාමීනි, මේ අට කාරණය කරණ කොට ගෙණ මා නරකදුකින් ගලවා ගෙණ වදාළ මැනැවැ’ යි කියකියා පොළෝ ගිලෙමින් ම දිවි කෙළවර කොට බුදුන් සරණ ගියේ යි. මහරජානෙනි, මේ කල්පය සකොට්ඨාශයක් කොට බෙදූ කල්හි පළමු කොට්ඨාශය අතික්‍රාන්ත වූ කල්හි දෙවදත්තයන් වහන්සේ සංඝභෙදය කළ සේක. එහෙයින් ඉතිරි පස්කොට්ඨාසයෙහි අවීචිනිරයෙහි පැසී ් අවීචියෙන් මිදී මතු සට්ඨිස්සර නම් පසේබුදු වන්නාහ. කිමෙක් ද, මහරජානෙනි, මෙසේ දුක් කෙළවර කළා වූ භාග්‍යවතුන් වහන්සේ දෙවදත්තයන් වහන්සේට කළ මනා කාරී වූ සේක් ද? නැද් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ දෙවදත්ත තෙරණුවන්ට සියල්ල ම දෙවූසේක. තථාගතයන් වහන්සේ යම් ඒ දෙවදත්තයන් ප්‍රත්‍යෙකබොධියට පමුණුවු වදාරණසේක් වී නම්, තථාගතයන් වහන්සේ දෙවදත්තයන්ට නො කරණ ලද්දා වූ කවර නම් උපකාරයෙක් ඇද්ද?” යි කීහ. “මහරජානෙනි, දෙවදත්තයන් සංඝභෙදය කොට නරකයෙහි යම් දුක්ඛවේදනාවක් විඳිනු ලබන්නේ වී නම් කිමෙක් ද, අප භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණයෙන් මඳකුත් අපුණ්‍යයකට පැමිණ වදාරණසේක් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, දෙවදත්තයෝ තමා විසින් ම කර ගත්තා වූ අකුශලකර්මයෙන් කල්පයක් නරකයෙහි පැසෙන්නාහ. ස්වාමීනි, දුක් කෙළවර කාරක වූ ශාස්තෘන් වහන්සේ මඳකුත් අපුණ්‍යයකට නො පැමිණිසේකැ” යි කීහ.

“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ යම් කාරණයකින් දෙවදත්තයන් මහණ කළසේක් ද, ඒ මේ කාරණයත් තොප අර්ථ වශයෙන් සලකා පිළිගත මැනැව. මහරජානෙනි, තවත් ඉතිරි කාරණයක් ඇත. භාග්‍යවතුන් වහන්සේ යම් කාරණයකින් දෙවදත්තයන් මහණ කළ සේක් ද, ඒ කාරණයත් සකසා ඇසුව මැනැව. මහරජානෙනි, යම් සේ වෙදකමෙහි දක්ෂ වූ ශල්‍යකතෘ වූ මහාවෛද්‍යාචාර්‍ය්‍යයෙක්තෙම වාත පිත්ත ශ්ලෙෂ්ම සන්නිපාත සෘතූපරිවර්තනයකින් හෝ යම් කිසි විෂමපරිහරණඋපක්‍ර‍මයකින් ජනිත වූ කකියන කුණුමස් දුර්ගන්ධ ඇත්තා වූ ඇතුළත්හි ඔඩු දැක සිල්ව ගියාවූ නිති වැහෙන සැරව කුණුලෙයින් සම්පූර්ණ වූ අසාධ්‍ය වූ මහත් වණපිළිකාවක් දැක මහත් වූ කරුණාව උපදවා ඒ වණය ව්‍යුපශමනය කරන්නේ වණමුහුණතෙහි කර්කශ තීක්ෂ්ණ කටුක තදකාරම් බෙහෙතින් ලිම්පනය (120) කරන්නේ ය. පැසවීමෙන් වුවමනා පමණකට පැසවා හැර වණය මෘදුභාවයට පැමිණි කල්හි තියුනු සැත්කටුවකින් දුමස්දළු කුණුමස් කපා හැර යකඩ කූරකින් ඔඩු කූරකින් ඔඩු ගත් තැන් පුළුස්සන්නේ ය. දැවී ගිය කල්හි ඊට සුදුසු වූ කාරම්බෙහෙත් දෙන්නේ ය. වණයෙහි මස් වැඩෙන පිණිස මිහිරිබෙහෙතින් ආලිම්පනය කරන්නේ ය. මෙසේ කිරීම[3] ඔහුගේ ව්‍යාධිය නීරෝගිභාවයට පැමිණීම පිණිස වන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ශල්‍යකර්තෘ වූ ඒ වෛද්‍යාචාර්යතෙම අහිතසිතකින් බෙහෙතින් වණය ආලිම්පණය කෙළේ ද? ශස්ත්‍රයෙන් කැපුයේ ද? යකඩකූරකින් පිළිස්සුයේ ද? කාරම්බෙහෙත් දුන්නේ දැ?” යි විචාළසේක. “නැත; ස්වාමීනි, හිතචිත්තයෙන් රොගීහට සැප කැමැත්තා වූ වෛද්‍යාචාර්යතෙම ඒ කට යුතු කරන්නේ ය” යි කීහ. “ඕහට වනාහි බෙහෙත් ක්‍රියාකරණයෙන් උපන්නා වූ යම් දුක්ඛවේදනාවක් ඇද් ද, ඒ කාරණයෙන් ඒ ශල්‍යකර්තෘවෛද්‍යාචාර්යයා මඳකුත් අකුශලයකට පැමිණේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, රොගීහට සැප කැමැත්තා වූ හිත සිත් ඇත්තා වූ ශල්‍යකර්තෘ වූ ඒ වෛද්‍යාචාර්යතෙම ඒ කට යුතු ම කරන්නේ ය. ඒ තෙම ඒ කාරණයෙන් කුමන පවකට පැමිණේ ද? ස්වාමීනි, ඒ ශල්‍යකර්තෘ වූ වෛද්‍යාචාර්යතෙම ස්වර්ගගාමී ව දෙව්ලොවට යන්නේ ය” යි කීහ.

“මහරජානෙනි, එපරිද්දෙන් ම අප භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ දෙවදත්තයා දුකින් මුදනු පිණිස කරුණාවෙන් මහණකර වදාළ සේක. මහරජානෙනි, අනිකුත් ඉතිරි කාරණයක් ඇත. යම් කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ දෙවදත්තයා මහණ කර වදාළසේක් ද, ඒ කාරණයත් ඇසුව මැනැව. මහරජානෙනි, යම් සේ වළගොඩ නො බලා මග යන්නා වූ අලසකාරී පුරුෂයකු කටුවකින් ඇණෙන ලද්දේ වී නම්, නැවත ඒ මග යන්නා වූ අනික් පුරුෂයෙක් ඔබිනොබ හැරෙණ පෙරළෙන ඕහට හිත කැමැති ව සැප කැමැති ව කරුණා උපදවා වෙනින් සියුම් කටුවකින් හෝ ශස්ත්‍ර‍මුණයකින් හෝ උල ඇනුනු තැන හාත්පසින් වට කපා පූයා වැහෙන්නා වූ ලෙහෙයෙන් යුක්ත වූ කටුව උපුටා හරින්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ පුරුෂතෙම අහිතකාමී ව ඒ කටුව උපුටා හරණේ[4] දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, ඕහට සැප කැමැත්තා වූ හිත කැමැත්තා වූ ඒ පුරුෂතෙම කටුව උපුටා හරින්නේ ය. ඉදින්, ස්වාමීනි, ඒ පුරුෂතෙම ඒ පය ඇනුනු කටුව නො හැරියේ වී නම්, ඔහු එයින් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහ්නසේ දෙවදත්තයන් සසරදුකින් මුදනු පිණිස කරුණාවෙන් ම මහණ කළසේක. ඉදින්, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ දෙවදත්තයා මහණ නො කළසේක් වී නම්, කල්පකොටිශතසහස්‍ර‍යක් මුළුල්ලෙහි භවපරම්පරාවෙන් දෙවදත්තයෝ නරකයෙහි පැසෙන්නාහ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගත වූ බුදුරජානන් වහන්සේ උදකස්‍රොතයෙන් පහළ බලා යන දෙවදත්තයන් උඩු ගඟට හැර වදාළසේක. අමාර්ගයට පැමිණි දෙවදත්තයන් මාර්ගයට පමුණුවා වදාළසේක. ප්‍ර‍පාතයෙන් වැටුනා වූ (121) දෙවදත්තයාහට ප්‍ර‍තිෂ්ඨාවක් දුන්සේක. විෂමස්ථානගත වූ දෙවදත්තයන් තථාගතයන් වහන්සේ සම වූ ක්ෂේමස්ථානයකට නඟා වදාළසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වදාළා වූ මේ වචනාවයව කථාස්වරූපයන් හා මේ විසිතුරු වූ කාරණයන් නුඹ වහන්සේ හා සදෘශ වූ අතුල්‍යප්‍ර‍ඥාවතුන් වහන්සේලා හැර මඳ නුවණැති අනික් කෙනෙකුන් විසින් දක්වන්නට නො හැකි වන්නේ ය” යි කියා ප්‍ර‍ශංසා කළහ.

දෙවදත්ත ප්‍ර‍ව්‍ර‍ජ්‍යා ප්‍ර‍ශ්නය නිමි.

  1. ශික්ෂ්‍යමාණ තෙමෙ

  2. කීයේ ය.

  3. කිරීමෙන්

  4. හැරියේ