ඉන්පසු අජාසත්ත රජුගේ පුත් උදයභද්‍ර තෙමේ ඒ රජු මරා සොළොස් අවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහුගේ පුත් අනුරුද්ධ කුමරා ඒ රජු මරා රාජ්‍යය කෙළේය. අනුරුද්ධගේ පුත් මුණ්ඩක තෙමේ ඒ රජු මරා රජ විය. අනුරුද්ධ-මුණ්ඩක දෙදෙනා අටවසක් රාජ්‍යය කළහ. මුණ්ඩකගේ පුත්‍ර නාගදාසතෙමේ ඔහු නසා සූවිසිවසක් රාජ්‍යය කෙළේය. එකල්හි “මෙය පිතෘඝාතක වංශයකැ”යි කිපුණු නාගරිකයෝ නාගදාස රජු පහකොට යහපතැයි සම්මත වූ සුසුනාග නම් ඇමතියා රාජ්‍යයෙහි අභිෂේක කළහ. හෙතෙමේ අටළොස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. (47) අජාතසත්ත-උදයභද්ද රජවරුද අනුරුද්ධ රජ ද නැවත මුණ්ඩ රජ ද නාගදාස ද යන දරු-මුණුබුරු රජහු ද නැවත සුසුනාග රජ ද යන මේ රජවරු සදෙන මගධාධිපති වූ බිම්සර රජු විසින් වජ්ජීන් වැළැක්වීම සඳහා මහාගංගාවට නුදුරු තැන සුනිධ-වස්සකාර ඇමතියන් ලවා කරවූ පාටලීපුත්‍ර නුවර පිළිවෙළින් රාජ්‍යය කළහ. සුසුනාග රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර කාළාසෝක තෙමේ අටවිසි වසක් රාජ්‍යය කෙළේය. ඒ රජුගේ දශවෙනි රාජ්‍ය වර්‍ෂයේ දී බුදුන් පිරිනිවීමෙන් අවුරුදු සියයක් පිරුණි. එකල වේසාලියෙහි දසදහසක් භික්‍ෂූහු දශවස්තූන් ප්‍රකාශ කෙරෙති. එවිට කාකණ්ඩ බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ යශ ස්ථවිර තෙමේ සසුන් පවත් අසා දොළොස් ලක්‍ෂයක් භික්‍ෂූන් මහාවනයෙහි රැස්කර විය. එකල වෙසාලිවස වජ්ජිජාතික පවිටු භික්‍ෂූහු පුෂ්පපුරය (=පාටලීපුත්‍ර) ට ගොස් කාළාසෝක රජුට මෙසේ කීහ. “මහරජ, අපි වේසාලියෙහි මහාවනයේ බුදුන්ගේ ගඳකිළිය පිළිදැගුම් කරමින් වසමු. දැන් වනාහි ගම්වැසි භික්‍ෂූහු ඒ විහාරය අත්පත්කර ගන්නෙමුයි රැස්වෙති. ඔවුන් වැළැක්වුව මැනැවැයි”යි. එවිට රජ මුළාවී එය වැළැක්වීම සඳහා ඇමැතියන් යැවීය. ඒ නිලධාරීහු දේවතානුභාවයෙන් මංමුළා වී නොයෙක් දිශාවන්හි ගියහ. ඔවුන් යැවූ රජ එදා රාත්‍රි කාලයේදී තමා ලෝහකුම්භියෙහි ටැටී සිටින බව දිටී. පිබිදුණු හෙතෙම අතිශයෙන් භයපත් විය. රජුගේ සොහොයුරිය වූ නන්‍දා නමැති රහත් තෙරණිය අහසින් අවුත් (48) අලජ්ජීන්ට අනුබල දී මාගේ ශාසනය පසු බැස්විය. ජීවත් වන්නේම ගැඹුරු වූ ලොහො කුඹු නරකයෙහි උපන්නෙහි (49.) ඔබ විසින් බැරෑරුම් පවක් කරන ලදී. ධාර්මික වූ තෙරවරුන් සමාකර ගනුව. ඒ තෙරවරුන්ට පක්‍ෂ වී ශාසනය නගා සිටුවීම කරව; එසේ කළවිට ඔබට සෙතක් වන්නේය”යි කියා ඉවත්ව ගියාය.
පසුදා පහන් වූ විට රජතෙමේ පුෂ්පපුරයෙන් නික්ම වේසාලියට ගොස් මහාවනයෙහි භික්‍ෂු සංඝයා රැස් කරවා දෙපක්‍ෂයේ වාදය අසා පාවෙය්‍යක භික්‍ෂූන් ධාර්මික බවත්, ප්‍රාචීන දේශවාසී වජ්ජි පුත්‍රයන් අධාර්මික බවත් දැනගෙන “ස්වාමීනි, මම ධාර්මික පක්‍ෂයෙහි සිටිමි; මාගේ අණසකය, ඔබවහන්සේගේ දහම්සකය”යි කියා සංඝයා වැඳ සියනුවරට ගියේය. ඉක්බිති සංඝ තෙමේ මේ අධිකරණය සංසිඳවීම සඳහා බහුජන ඡන්‍දයෙන් (දෙපක්‍ෂයෙන්) තෙරුන් අටනමක් තේරුවේය. (50) සබ්බකාමී තෙරද සාළ්හ තෙරද ඛුජ්ජසෝභිත තෙරද වාසභගාමී තෙරද යන මේ සතර නම ප්‍රාචීන දේශීයයෝය. (51) රේවත තෙරය, සම්භූත සෝණ තෙරය, කාකණ්ඩක පුත්‍ර යස තෙරය, සුමන තෙරය යන මේ සතර නම පාවාදේශවාසීහුය. (52) ඒ රහත් තෙරවරු ඒ දශවස්තූන් සන්සිඳුවීම සඳහා අල්ප ශබ්ද ඇති මහාජනයාගෙන් ගැවසී නොගත් වාලුකාරාමයට ගියහ. එහිදී රේවත තෙර ඒ කරුණු එකිනෙක විචාළේය. සබ්බකාමී තෙර ඒවා කැප නොවෙතියි විසඳීම් කෙළේය. ඉක්බිති ඒ තෙරහු මහාවන විහාරයට ගොස් සියලු භික්‍ෂූන් රැස් කරවූහ. එකල දොළොස් ලක්‍ෂයක් භික්‍ෂූහු රැස්වූහ. නැවත ඒ මහපිරිස මැදදී රේවත තෙරුන් ලවා දශවස්තූන් විචාරාවා අනඳමහ තෙරුන්ගේ ශිෂ්‍ය වූ බුදුරදුන් දැක ඇති අවුරුදු එක්සිය විස්සක් වයසැති සබ්බකාමී තෙරුන් ලවා විසඳවා ඒ දශවස්තූහු ධර්‍මයට විරුද්ධ වෙතියි ශාස්තෘ ශාසනයෙන් ඉවත් වූවාහු යයි නිශ්චය කරන ලදහ. මෙසේ ඒ අධිකරණය (=විවාදය) සංසිඳුවන ලදී.
(53.) සබ්බකාමී තෙරද සාළ්හ තෙරද රේවත තෙරද ඛුජ්ජසෝභිත තෙරද කාකණ්ඩක පුත්‍ර යස තෙරද සාණවාසී සම්භූත තෙරද (54) යන මේ සය නම ආනන්‍ද ස්ථවිරතුමාගේ සමග විසූ ශිෂ්‍යයෝය. වාසභගාමික තෙරද සුමන තෙරද යන දෙනම (55) අනුරුද්ධ තෙරුන්ගේ ශිෂ්‍යයෝය. මෙසේ ඒ තෙර අටනම බුදුරදුන් දුටුවෝය. මෙසේ ඒ තෙරහු ත්‍රිපිටකධර පිළිසිඹියාපත් සත්සියයක් භික්‍ෂූන් තෝරා වේසාලියේ වාලුකාරාමයෙහි රැස්ව කාළාසෝක රජු විසින් ශුද්ධ කරමින් ධර්‍ම සංගීතිය කළහ. එය අටමසකින් නිමියේය. (56) සත්සියයක් තෙරුන් විසින් කළ බැවින් ඒ සංගීතිය ‘සත්තසතා’ යයිද පෙර කළ සංගීතිය ගණන් ගෙන දෙවෙනි සංගීතිය යයිද කියනු ලැබේ.
දෙවෙනි සංගීති කාලය නිමියේයි