ප්‍රකීර්‍ණක කථාව

දැන් ප්‍රකීර්‍ණක කථාව කිය යුතුය.

හැම බුදුවරුම උතුරුසළ නැකතින් මවුකුසෙහි පිළිසිඳ ගනිති, මහාභිනිෂ්ක්‍රමණය කෙරෙති, දම්සක් පවත්වති, යමක ප්‍රාතිහාර්‍යය කරති. විසා නැකතින් මුල් ප්‍රාර්‍ථනාව කෙරෙති, උපදිති, බුදුවෙති, පිරිනිවෙති. මානැකතින් ශ්‍රාවකසන්නිපාතය ද ආයුසංස්කාරය හැරීමද සිදුකෙරෙති. අස්විද නැකතින් දෙව්ලොවින් බසිති. මේ නැකත් නියමයයි.

බුදුවරුන්ගේ වෙනස්කම් පසකි. කවර පසක්ද? කාල-ආයුෂ-නිමිත්ත-වයස-ප්‍රදහන යන පසයි. එහි ක්‍රමයෙන් ප්‍රඥාධික-ශ්‍රද්ධාධික-වීර්‍යාධික- බෝසත්වරු කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය සතරක්ද, අසංඛ්‍ය අටක්ද, අසංඛ්‍ය සොළසක්ද පෙරුම් පුරාත්. මේ කාල ප්‍රමාණයේ වෙනසයි. දීපංකර-කොණ්ඩඤ්ඤ-අනොමදස්සී-පදුම-පදුමුත්තර-අත්‍ථදස්සී-ධම්මදස්සී-සිද්ධත්‍ථ-තිස්ස යන මේ නව බුදුවරු අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ඇත්තෝය. මංගල-සුමන-සෝභිත-නාරද-සුමෙධ-සුජාත-පියදස්සී-ඵුස්ස යන බුදුවරු අටනම අනූදහසක් අවුරුදු ආයුෂ ඇත්තෝය. විපස්සී බුදුරද අසූදහසක් ආයුෂ ඇත්තේය. සිඛී බුදුරද සැත්තෑ දහසක් ආයුෂ ඇත්තේය. රේවත-වෙස්සභු දෙනම සැටදහසක් අවුරුදු ආයුෂ ඇත්තේය. කකුසඳ-කෝණාගමන-කාශ්‍යප යන බුදුවරු ක්‍රමයෙන් සතළිස්දහස්-තිස්දහස්-විසිදහස් අවුරුදු ආයුෂ ඇත්තෝය. අපේ බුදුරද අවුරුදු සියයක් ආයුෂ ඇත්තේය. හැම බුදුවරුම තමන්ගේ ආයුෂ පසට බෙදා එක් කොටසක් ඉතිරිව තිබියදී පිරිනිවෙති. මේ ආයුෂයේ වෙනසයි.

දීර්ඝායුෂ්ක බෝසත්වරු අවුරුදු සියයක් ඉක්මි කල්හි ජරාජීර්ණාදි නිමිතිවලින් එක එක දැක්කාහුය. අපේ බෝසත්තෙමේ අල්පායුෂ්ක කාලයෙහි උපන්නේ සිවුමසක් ඇවෑමෙන් උයනට යමින් පිළිවෙළින් එක් එක් නිමිත්ත දැක්කේය. මේ නිමිති පහළ වීමේ වෙනසයයි.

දීපංකර-කොණ්ඩඤ්ඤ-අනොමදස්සී-පදුම-පදුමුත්තර-අත්‍ථදස්සී-සිද්ධත්‍ථ බුදුවරුන්ගේ ගිහිගෙයි විසීම දසදහසක් අවුරුදුය. මංගල-සුමන-සෝභිත-නාරද-සුමේධ-සුජාත-පියදස්සී-ඵුස්ස බුදුවරුන්ගේ ගිහිගෙයි විසීම අවුරුදු නවදහසකි. ධම්මදස්සී-විපස්සී බුදුවරුන්ගේ ගිහිකාලය අවුරුදු අටදහසකි. තිස්ස-සිඛී බුදුවරුන්ගේ ගිහිකාලය අවුරුදු සත්දහසකි. රේවත-වෙස්සභු බුදුවරුන්ගේ ගිහිකාලය අවුරුදු හයදහසකි. කකුසඳ බුදුන්ගේ ගිහිකාලය අවුරුදු සාරදහසකි. කෝණාගමන බුදුන්ගේ ගිහිකාලය අවුරුදු තුන්දහසකි. කාශ්‍යප බුදුන්ගේ ගිහිකාලය අවුරුදු දෙදහසකි. අපගේ බුදුන්ගේ ගිහිකාලය අවුරුදු විසිනවයකි. මේ වයසේ වෙනසයි.

දීපංකර-කොණ්ඩඤ්ඤ-සුමන-අනෝමදස්සී-සුජාත-සිද්ධත්‍ථ-කකුසඳ බුදුවරුන්ගේ ප්‍රදහන කාලය දසමසකි; මංගල-සුමෙධ-තිස්ස-සිඛී බුදුවරුන්ගේ ප්‍රදහනය අටමසකි. රේවත බුදුන්ගේ ප්‍රදහනය සත්මසකි. පියදස්සී-ඵුස්ස-වෙස්සභු-කෝණාගමන බුදුවරුන්ගේ ප්‍රදහනය සමසකි. පදුම-අත්‍ථදස්සී-විපස්සී බුදුවරුන්ගේ ප්‍රදහනය අඩමසකි. සෝභිත-නාරද-පදුමුත්තර-ධම්මදස්සී-කාශ්‍යප බුදුවරුන්ගේ ප්‍රදහනය සත්දිනකි. අපේ බුදුන්ගේ ප්‍රදහන කාලය අවුරුදු සයකි. මේ ප්‍රදහනයේ වෙනසයි.

ප්‍රකීර්‍ණ කථාව නිමියේයි.