කුසිනාරාවැසි මල්ලයෝ සත්දිනක් උත්සව පවත්වා සත්වෙනිදා බුද්ධ ශරීරය දැවූහ. දීර්‍ඝායුෂ්ක බුදුවරුන්ගේ සිරුර රන් කඳක් මෙන් වෙන් නොවී සිටියි. අපේ බුදුරදුන්ගේ ධාතුහු ද්‍රෝණ දහසයක් පමණ වූහ. “මම වැඩිකලක් නොසිට පිරිනිවෙමි; මාගේ ශාසනය තවම හැමතැන පැතුරුණේ නැත. එබැවින් පිරිනිවියා වූද මාගේ අබැටක් පමණ වූ ධාතුවක් හෝ ගෙන තම තමන් වසන තැන චෛත්‍යයක් කොට පුදපවත්වන මහජනයා ස්වර්‍ගපරායණ වේවා”යි සිතා ධාතූන් විසිර යාමට අධිෂ්ඨාන කෙළේය. එබැවින් විසිරුණු ධාතූහුද නොවිසුරුණු ධාතූහු ද වූහ. දළඳා සතර ද අකුදා දෙක ද නළල ද යන මේ ධාතූහු සත්දෙන නොවිසුරුණාහ. ඉතිරි ධාතුහු විසුරුණාහ. එයින් කුඩා ඒවා අබඇට පමණ වූහ. මධ්‍යම ඒවා දෙකට කැඩුණු සහල් ඇට පමණ වූහ. විශාල ඒවා මැදින් ගැලවී ගිය මුංපියලි පමණ වූහ. කුඩා ධාතු සමන්මල් කැකුළු පැහැයෙන් යුක්ත වෙති. මධ්‍යම ධාතු පිරිසිදු කළ මුතුඇට පැහැයෙන් යුක්තය. විශාල ධාතු රන් පැහැයෙන් යුක්තවෙති. කුසිනාරාවැසි මල්ලයෝ සත්දිනක් ධාතු පූජාව කොට සත්වෙනිදා ඒවා බෙදූහ.
(34) එක් ද්‍රෝණයක් රජගහවෙහි විය; එකක් වේසාලී නුවර විය; එකක් කපිල වස්තුවෙහි විය; එකක් අල්ලකප්පයෙහි විය; (35) එකක් රාමගාමයෙහි විය; එකක් වේඨදීපක දේශයෙහි විය; එකක් පාවෙය්‍යක මල්ලයන්ගේ රටෙහි විය; එකක් කුසිනාරාවෙහි විය; (36) ද්‍රෝණ බමුණා (ධාතු බෙදූ) ලාහ පිහිටුවා චෛත්‍යයක් කරවිය. සතුටු සිතැති මෞර්‍යයෝ අඟුරු පිහිටුවා චෛත්‍යයක් කළහ. (37) ශාරීරික චෛත්‍යයෝ අටදෙනෙකි; නවවැන්න කුම්හ ස්තූපයයි. (ලාහ පිහිටුවා කළ සෑයයි) දශවෙනි අඞ්ගාර චෛත්‍යය ද එකල්හිම පිහිටියේය. (38) එක් දළදාවක් තව්තිසා දෙව්ලොවය, එකක් නාග ලෝකයෙහි විය; එකක් ගන්‍ධාර රටෙහි විය; එකක් කලිඟු රටෙහිය. (39) ඉතිරි දත් සතළිස ද හිසකෙස් ද ලොම් ද එක එක බැගින් අන්‍ය සක්වළවල දෙවිවරු ගෙන ගියහ. (40) බුදුන්ගේ පාත්‍රය ද සැරයටිය ද සිවුරද වජිරා නුවරය; අඳනය කුරු රටෙහිය; ඇතිරිල්ල කුරරඝරයෙහිය.[1] (41) ඩබරාව ද බඳ පටියද පැළලුප් නුවරය; නහනකඩ චම්පා නුවරය; ඌර්‍ණරෝමධාතුව කොසොල් රටෙහිය; (42) සිවුර බඹලොවය; (ගිහි කාලයේ හිස්වෙළුම) තව්තිසාවෙහිය. පාසාණක චෛත්‍යයෙහි[2] පාසටහන ඇත.[3] (43) වැඩ හිඳිනා ඇතිරිල්ල අවන්ති රටෙහිය; සැතපෙන ඇතිරිල්ල දේව රටෙහිය ගිනිගානා දණ්ඩ මිථිලාවෙහිය; පෙරහන විදේහ රටෙහිය. (44) කරකැත්ත හා ඉඳිකටුකුළාව ඉඳිපත් නුවරය. සෙසු පිරිකර අපරාන්ත ජනපදයෙහිය. (45) ධාතූහු ද්‍රෝණ අටක් වෙති; එයින් සතක් දඹදිවය; රාම ගමෙහි වූ එක් ද්‍රෝණයක් නාරජෙක් රැගෙන ගියේය.
ධාතුවර්‍ණනාව නිමි.