සන්තිකෙ නිදාන කථාව

දැන් සන්තිකෙ නිදාන කථාව පැමිණියේයි

මෙසේ අරුණ නැගෙන කල්හි බුදුවී ඒ පර්‍යඞ්කයෙහිම නිදහස් සැප විඳිමින් සත්දිනක් කල් යැවී. වෙසක්මස අවඅටවක්දා පටන් අනිමිසලෝචනයෙන් සතියක් ගතකෙළේය. ඒ මාසයේ අවතුදුස්වක්දා පටන් සත්දිනක් සක්මනින් ගත කෙළේය. පොසොන් පුරපක්‍ෂයේ සත්වෙනිදා පටන් සත්දිනක් රතනඝරයෙහිද, ඒ පක්‍ෂයේ තුදුස්වක්දා පටන් අජපාල නුගගස මුලද පොසොන් අවපස සවෙනිදා පටන් සත් දිනක් මිදෙල්ල ගස මුලද, ඒ පක්‍ෂයේ තෙළෙස්වක්දා පටන් සත් දිනක් කිරිපලු ගස මුලද කල් යැවීය. ඉක්බිති බුදුරද සත් සතියක් ඉක්මවා ඇසළ මස පුරඅටවක්දා සක්දෙව් රජු දුන් දැහැටි වළඳා අරලු අනුභවකොට සිවුවරම් රජුන් දුන් ගල්පාත්‍රය පිළිගෙන තපස්සුභල්ලුකයන්ගේ මීපිඬු හා අත්සුණු අනුභව කොට නැවත අජපාල නුග ගසමුල නැවතී තෙළෙස්වක් තුදුස්වක් දිනයන්හි බෝමැඩ සමීපයෙහිම පිඬු පිණිස හැසිරෙමින් වාසය කොට ඇසළ පුණු පොහෝදා කල් ඇතිවම පාත්‍ර සිවුරු ගෙන අටළොස් යොදුන් මගට බැස්සේ එදිනම සවස ඉසිපතනයට වැඩියේය. උතුරුසළ නැකැත පවත්නා කල්හි එහිදී පස්වග මහණුන්ට දම්සක් දෙසීම සඳහා ආමන්ත්‍රණය කෙළේය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවසානයේදී අටළොස් කෙළක් බ්‍රහ්මයන් සමග අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙර සෝවාන් පෙලෙහි පිහිටියේය.

33. මහාබ්‍රහ්මයා විසින් ආරාධිත වූ බුදුරජ දම්සක පැවැත්විය. අටළොස්කෝටියකට ධර්‍මාවබෝධය විය. එදවස් රාත්‍රියෙහිම අනුස්සවප්පසන්නකාළීතොමෝ[1] සෝවාන් විය. අවපක්‍ෂයේ පළමුදා වප්ප තෙරුන්ට ද දෙවෙනිදා භද්දිය තෙරුන්ටද, තෙවෙනිදා මහානාම තෙරුන්ටද, සිවුවෙනිදා අස්සජී තෙරුන්ටද දහම් ඇස උපණි. පස්වෙනිදා ඒ සියලු පස්වග තෙරහු අනන්තලක්‍ඛණ සූත්‍ර දේශනාවසානයේ දී රහත් බවට පැමිණියහ. අටවෙනිදා නාළක තෙරුන්ට මොනෙය්‍ය ප්‍රතිපදාව දෙසී. ඉක්බිති යසකුල පුත්‍රයා සිය ගෙය හැරදමා ගිය රාත්‍රියේදීම ඔහු සෝවාන් පලයෙහි පිහිටුවා පසුදා රහත් බවෙහි පිහිටුවිය. එහිදීම ඔහුගේ මිත්‍ර වූ සූපණස් දෙනෙකුන් රහත් බැව්හි පිහිටුවිය. මෙසේ බුදුවීමෙන් පසු ප්‍රථම වස් කාලයේදී බුදුරජය, පස්වග භික්‍ෂූුහුය, යස තෙරය, ඔහුගේ මිත්‍රයෝ සූපණස් දෙනදැයි ලෝකයෙහි රහත්හු එක්සැට නමක් වූහ.

පැවැත්වූ උතුම් දම්සක් ඇති බුදුරද ඉසිපතනයෙහි පළමු වස වැස පවාරණය කොට ඒ සැටනමක් රහතුන් නා නා දිශාවන්හි යවා තෙමේ උරුවේලාවට යන්නේ අතරමග කප්පාසික වනරොදේදී භද්දවග්ගිය කුමරුන් තිස්දෙනෙකුන් හික්මවා ඒහිභික්‍ෂු පැවිද්දෙන් පැවිදි කරවා දිශාවන්හි යවා ක්‍රමයෙන් උරුවේලාවට පැමිණුනි. එහි තුන් මසක් වසන්නේ එක් දිනක් උරුවේල කාශ්‍යපයාගේ ගිනිගෙයි වසන නා රජකු දමනය කෙළේය. පසුදා උරුවේල කාශ්‍යපයන් වසන තැනට නුදුරු වන ලැහැබක විසී. එක් දිනක් රාත්‍රි කාලයේදී සිවුවරම් රජවරු බුදුන් වෙත පැමිණියහ. පසුදා රාත්‍රි සක්දෙව් රජ පැමිණියේය; ඊට පසුදා සහම්පති බ්‍රහ්මයා පැමිණියේය. දුරුතු පසළොස්වක්දා ලක්දිවට වැඩියේය. එකල උරුවේල කාශ්‍යප තෙමේ “මහාශ්‍රමණයා අද නොඑන්නේ නම් යෙහෙකැ”යි සිතී. ඔහුගේ ඒ සිතිවිල්ල දැන පසුදා පහන් වූ කල්හි පාත්‍ර සිවුරු ගෙන හිමවතට ගොස් සිරුර පිළිදැගුම් කොට උතුරුකර දිවයිනෙන් ආහාර ගෙනවුත් අනෝතත්ත විලේදී වලඳා එහිම දිවාවිහරණය කොට හවස් කාලයේදී ලක්දිව ශුද්ධ කිරීම සඳහා ගොස් මහියංගණය සෑය පිහිටි තැන අහසෙහි වැඩ සිටියේය. එහි කළ යුතු දේ කොට ඒ රාත්‍රි කාලයෙහිම උරුවේලාවට හැරී ආවේය.

පසුදා හිමවතෙන් දඹ ගෙඩියක් ගෙනවුත් උරුවේල කාශ්‍යපට දුණි; ඊට පසුදින අඹ ගෙඩියක්ද ඊට පසුදා නෙල්ලි ගෙඩියක් ද ගෙනැවිත් දුණි. පසුදා ජටිලයෝ එක්වරම පන්සියයක් දඬු පැළුහ; පන්සියයක් ගිනි දැල්ලූහ. ඊටපසුදා ගිනි තපින ලිප් පන්සියයක් මවා දුණි. ඊටපසුදා බුදුරජ හාත්පසින් ජලය උස්ව සිටින්ට සලස්වා ධූලි නැති බිමෙහි සක්මන් කෙළේය. මෙසේ තුන්දහස් පන්සියයක් ප්‍රාතිහාර්‍යයන් පෙන්වා දහසක් ජටිල පිරිවර ඇති උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන් දමනය කොට ගයාශීර්‍ෂයේදී ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීමෙන් රහත් බවෙහි පිහිටුවා ඒ රහතන් දහස විසින් පිරිවරන ලදුව “බිම්බිසාර රජුට දුන් පොරොන්දුව මුදන්නෙමි”යි පිළිවෙළින් රජගහ නුවරට ගොස් රජගහ නුවර සමීපයෙහි ලට්ඨිවන උයනේදී නාරද ජාතකය දෙසී. දේශනාවසානයෙහි බිම්සර රජ එක්ලක්‍ෂ දශදහසක් පිරිස සමග සෝවාන් පලයෙහි පිහිටියේය.

පසුදා දුරුතු මස අවතුදුස්වක්දා වේළුවනය පිළිගෙන පුරපෑළ වියදා දෙසිය පණසක් පරිව්‍රාජකයන් සමග අගසව් යුවල පැවිදි කරවිය. ඒ දෙනම අතුරෙන් මහමුගලන්තෙර නවම්මස සත්වෙනිදා ශ්‍රාවක පාරමී ඥානයාගේ මස්තකයට පැමිණියේය. සැරියුත් මහතෙර වනාහි නවම් පසළොස්වක්දා පාරමී ඥානයාගේ කෙළවරට පැමිණියේය. කුමක් හෙයින්ද? කලින් සම්පාදනය කළ යුතු දේ බොහෝ බැවිනි. නවම් පසළොස්වක්දා මානැකැත් යෝගය පවත්නා කල්හි එක්දහස් දෙසිය පණසක් භික්‍ෂූන් මධ්‍යයෙහි වූ බුදුරද වේළුවනයේදී ශ්‍රාවක දෙනමට අගසව් තනතුරු දී අංග සතරකින් යුත් ශ්‍රාවකයන් රැස්කොට පාමොක් උදෙසී. “එක්දහස් දෙසියපණස” නම් උරුවෙල් කාශ්‍යපාදි කාශ්‍යපයන් තිදෙනගේ පිරිවර ජටිල දහසය, අග්‍රශ්‍රාවකදෙනමගේ දෙසියපණසදැයි මෙසේ පණසක් අධිකකොට ඇති දොළොස් සියයයි. “අංග සතර නම්: සියල්ලෝ ඒහිභික්‍ෂුහු වෙති; සියල්ලෝ ෂඩභිඥාලාභීහු වෙති; සියල්ලෝ කැඳවීමක් නැතිව ආහ; පසළොස්වක පෝය දිනය යන සතරයි. ඒ කරුණු යම් සමාගමයක වෙත්නම් එය “අංග සතරින් යුත් රැස්වීම” යයි කියනු ලැබේ. මෙහි කී මානැකැත් යෝගය වනාහි ප්‍රථම මානැකතයි. අනියම් වශයෙන් කිසිකලක දෙවෙනි මානැකතද වේ.

බුදුරජ උරුවේලාවෙහි තුන් මසක්ද රජගහවෙහි දෙමසක්ද විසී යයි බරණැසින් නික්මුණුදා සිට මේ දක්වා පස්මසක් ඉකුත් විය. මෙසේ එතුමන් ඒ ඒ තැන වසන කල්හි ශුද්ධෝදන රජ “මාගේ පුත්‍රයා සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට උතුම් බුද්ධත්‍වයට පැමිණ පැවැත්වූ උතුම් දම්සක් ඇත්තේ රජගහවට ගොස් වේළුවනයෙහි වෙසේය”යි අසා “එම්බා පින්වත, මිනිසුන් දහසක් සමග රජගහවට ගොස් මාගේ වචනයෙන් ඔබගේ පිය වූ ශුද්ධෝදන මහරජ ඔබ දකිනු කැමැත්තේ යයි කියා මාගේ පුත්‍රයා රැගෙන එව”යි කියා දශවරක් ඇමතියන් දශදෙනෙකුන් යැවීය. ඒ සියලුදෙන දසදහසක් පිරිවර සමග රහත් බවෙහි පිහිටියාහ. බුදුරද ඔවුන් ඒහිභික්‍ෂු පැවිද්දෙන් පැවිදි කරවීය. මැදින් පුණු පොහෝදා ඒ සියලු දෙනාට පසුව පැමිණි කාලුදායි තෙර හේමන්තය ඉකුත් විය, වසන්ත කාලය පැමිණියේ යයි සිතා බුදුන් කරා එළඹ ගාථා සැටකින් ගමන් වර්‍ණනාව කොට “ස්වාමීනි, ඔබගේ පියවූ ශුද්ධෝදන මහරජ ඔබවහන්සේ දකිනු කැමැත්තේය; නෑයන්ට සංග්‍රහ කළ මැනවැයි කීය. “යහපත, උදායීති”යි කියා බුදුරද විසිදහසක් රහත් භික්‍ෂූන් විසින් පිරිවරන ලදුව අවපෑළවියදා රජගහවෙන් නික්ම සැටයොදුන් මගට බැස දවසකට යොදුන බැගින් යමින් දෙමසක් ඉක්මවා වෙසක් පුණු පොහෝදා කපිලපුරයට පැමිණියේය. එදවස්හිම ශාක්‍ය රජුන්ගේ මාන්නය දුරුකරවීම සඳහා යමක ප්‍රාතිහාර්‍යය කෙළේය. තමාගේ බුද්ධානුභාවය දක්වමින් දොළොස් යොදුනක් පළලැති දසදහස් සක්වළ පමණ දිගැති රුවන් සක්මනක් මවා එහි සක්මන් කරමින් මහාප්‍රාර්‍ථනාවද පෙරුම් පිරීමද පිළිවිසූ සැරියුත් මහතෙරුන්ට බුද්ධවංශය දේශනා කෙළේය. නැවත “ස්වාමීනි, කෙතෙක් ජාතීන්හිදී කෙසේ මේ බුද්ධකාරක ධර්‍මයෝ පුරණ ලද්දාහුදැ”යි විමසූ සැරියුත් තෙරුන්ට චරියාපිටකය දෙසී. රුවන් සක්මනින් බැස නිග්‍රෝධාරාමයෙහි වසමින් විසිදහසක් රහතුන් විසින් පිරිවරන ලද්දේ පොකුරු වැසි වැසීම නිමිතිකොට වෙස්සන්තර ජාතකය දෙසී. සියලුදෙන පසුදා දන් පිණිස ආරාධනා නොකොට ගිය කල්හි බුදුරද ඊට පසුදින කපිල වස්තුවෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණි.

රාහුල මෑණිතොමෝ සීමැදුර විවෘතකොට බලන්නී බුද්ධශ්‍රීය දැක නරසීහ ගාථා අටකින් ස්තූති කෙළේය. බුදුරද ශුද්ධෝදන රජුට “උත්තිඨෙ නප්පමජ්ජෙය්‍ය (=නැගී සිටුව, ප්‍රමාද නොවෙව)” යනාදී ගාථාවෙන් දහම් දෙසී. ගාථාවගේ අවසන්හි රජ සෝවාන් පෙලෙහි පිහිටියේය. “ධම්මං චරෙ සුචරිතං” යනාදී ගාථාවගේ කෙළවර දී සකෘදාගාමී ඵලයෙහි පිහිටියේය. බුදුරද යශෝධරාවගේ කාමරයට ගොස් චන්‍දකින්නර ජාතකය වදාරා අස්නෙන් නැගිට වැඩියේය.

කපිල වස්තුවට පැමිණි දිනයෙන් තෙවෙනිදා නන්‍ද කුමරු පැවිදි කරවීය. සත්වෙනිදා රාහුල කුමරු පැවිදි කරවිය. කපිල වස්තුවට පැමිණි කාලය නිමියේයි.

ප්‍රථම වර්‍ෂයයි

දෙවෙනි තෙවෙනි සිවුවෙනි වස්ද වේළුවනයෙහිම විසී. පස්වෙනි වස වේසාලී නුවර මහාවනයේ කූටාගාර ශාලාවේ විසී. ඒ අවුරුද්දේ බක්මස කළුවර පෝයදා චූළෝදර - මහෝදර නාරජුන් දෙදෙන දමනය කිරීම සඳහා ජේතවනයෙන් නාගදීපයට වැඩියේය, සවෙනි වස මංකුල පර්‍වතයෙහිය. සත්වෙනි වස තව්තිසා දෙව්ලොවය. ඒ වර්‍ෂයේ ඇසළ පුණු පොහෝදා උතුරුසළ නැකත පවත්නා කල්හි සැවත් නුවරට දොරටුව සමීපයේ ගණ්ඩ නම් අඹ ගස මුලදී යමක ප්‍රාතිහාර්‍යය දක්වන්නේ සෙවනැලි වැඩෙන කල්හි සතිස් යොදුනක් පැතිර සිටිනා සෙනඟ රැස්වූ කල්හි අහසෙහි සක්මනක් මැවී. එය එක් සක්වළක් පමණ දිගැත්තේ විය. බුදුරද එහි ප්‍රාතිහාර්‍ය කොට දකුණු පය ඔසවා යුගන්‍ධර පර්‍වතය මත්තෙහි තබා අනික් පය ඔසවා මහමෙර මත්තෙහි තැබී මෙසේ සැටඅටදහසක් යොදුන් පමණ තැන පියවර තුනක් වූහ. බුදුරද දෙවිපිරිස මැද වැඩහිඳ මෑණියන් අරබයා අභිධර්‍මය දෙසී. තුන්මසක් මුළුල්ලේ අතර නොහැර අභිධර්‍මය දෙසා වස් පවාරණය කොට මහාපවාරණය පැවති දිනයෙහි අස්විද නැකත පවත්නා කල්හි තව්තිසා භවනයෙන් බැස සංකස්ස නුවර දොරටුව සමීපයෙහි වැඩ සිටියේය.

අටවෙනි වස භග්ග නුවර හෙසකලා වනයෙහිය. ඒ වර්‍ෂයෙහි වෙසක් පොහෝදා බුදුරද කපිලවස්තු - කෝලිය දෙනුවර උපන් පන්සියයක් රහතන් විසින් පිරිවරන ලද්දේ සයකෝටියක් නාගයන් පිරිවර ඇති සුමන නාරජු විසින් බුදුරදුන් මත්තෙහි වැටෙන හිරුරැස් වැළැක්වීම සඳහා ඔසවන ලද මනාසේ පිපුණු සපුගසක්[2] ඇත්තේ මිණිඅක් නාරජුට අනුග්‍රහ සඳහා ජේතවනයෙන් කැළණි පෙදෙසට වැඩියේය. ඉක්බිති මණිඅක්‍ඛික නාරජ බුදුපාමොක් සංඝයාට දිව්‍යභෝජන වලඳවා එකත්පස්ව හුණි. බුදුරද ඔහුට භුත්තානුමෝදනා කොට සුමනකූට පර්‍වතයෙහි පාද චෛත්‍යය දක්වා ඒ පර්‍වතයේ පැත්තක දිවාවිහරණය කෙළේය. එතැනින් නැගිට දීඝවාපී සෑය පිහිටන තැන නිරෝධසමාපත්තියට සමවැද එතැන රැකීම පිණිස මහසෙන් දෙවියාට බාරදුණි. එතැනින් නැගිට මහාසෑය පිහිටන තැන (වැඩහිඳ) එතැන රැකීමට සාලරූප දේවපුත්‍රයාටද, එතැනින් ථූපාරාම චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ එය පුථුවිමාල දේවපුත්‍රයාටද, එතැනින් මිරිසවැටිය සෑය පිහිටන තැන වැඩහිඳ එතැන ඉන්‍ද්‍ර දේවපුත්‍රයාට ද ඉක්බිති කතරගම චෛත්‍යස්ථානය මහාඝෝෂ දේවපුත්‍රයාටද, එතැනින් තිස්සමහාරාම චෛත්‍යස්ථානයට පැමිණ එය මණිකාර දේවපුත්‍රයාටද, නාගමහා චෛත්‍යස්ථානය මහින්‍ද දේවපුත්‍රයාටද බාරදී එතැනින් නැගිට ලලාට ධාතුව පිහිටන තැන සමවතට සමවැදී එතැන රැකීම පිණිස සුමන නාගරාජයාටද පාවා දුණි. හැම තන්හිම සමවත් සමවැදුණ කල පොළොව කම්පා විය. බුදුරද “අප්‍රමාදී වෙව”යි සුමන නා රජුට අවවාද කොට පන්සියයක් භික්‍ෂූන් සමග ජේතවනයට වැඩියේය.

නවවෙනි වස කොසඹෑ නුවරය. දසවෙනි වස පාරිලෙය්‍යක වනයෙහිය. එකොළොස්වෙනි වස නාළ නමැති බමුණු ගමය. දොළොස්වෙනි වස වෙරඤ්ජාවෙහිය. තෙළෙස්වෙනි වස රජගහ නුවර පාලිය පර්‍වතයෙහිය.[3] තුදුස්වෙනි වස ජේතවනයෙහිය. පසළොස්වෙනි වස කපිල වස්තුවෙහිය. දොළොස්වෙනි වස ආලවකයා දමනය කොට අසූහාර දහසක් ප්‍රාණීන්ට අමෘතය පොවා ආළවී නුවර විසී. සතළොස්වෙනි වස රජගහවෙහිය. අටළොස්වෙනි - දසනවවෙනි වස් දෙක පාලිය පර්‍වතයෙහිය. විසිවෙනි වස රජගහවෙහිය. මෙසේ විසි වසක් අස්ථිරවාස ඇතිව පහසු ඇති තැන වස් විසී. එතැන් පටන් විසිපස් වසක් ජේතවනය, පූර්‍වාරාමය යන දෙතැන නිත්‍ය වාසස්ථානයන් ලෙස පරිභෝග කෙළේය. කුමක් හෙයින්ද? ඒ පවුල් දෙකේ ගුණමහත්වය නිසාය. අන්තිම වර්‍ෂයේදී වජ්ජිරට වෙසාලි නුවර සමීපයෙහි බේලුව ගමේ වස් එළඹි සේක. ඉක්බිති වස් අවසන් කොට බේලුව ගමින් නික්ම පිළිවෙළින් අවුත් සැවත් නුවර ජේතවනයට පිවිසියේය. එකල දම්සෙනෙවි සැරියුත් මහතෙර “බුදුවරයෝ පළමුකොට පිරිනි වෙත්ද? නැතහොත් අගසව්වෝදැ”යි විමසා බලන්නේ අගසව්වෝ පළමුකොට පිරිනිවෙතියි දැන තමාගේ ආයුෂ පවත්නා කාලය බැලී. සත්දිනක් පමණක් එය පවත්නේ යයි දැන “කොතැන්හි පිරිනි වෙන්නෙම්දැයි සිතී. ඉක්බිති “අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙර ඡද්දන්තවිල සමීපයෙහි ද රාහුල තෙර තව්තිසාවෙහිද පිරිණිවියේය. මම වනාහි නාළක ගමේ උපන් ගබඩාවේදීම පිරිනි වන්නෙමි”යි සනිටුහන් කොට බුදුන්ගෙන් අවසර ගෙන හැමතැන එක්රැයක් විසීමෙන් අතරමග මිනිසුන්ට අනුග්‍රහ කරමින් හවස නාළක ගමට පැමිණ රූපසාරී නමැති තමාගේ මෑණියන්ට ධර්‍මාවබෝධය කරවීය. එසේ කරවා ඉල් පසලොස්වක්දා රාත්‍රි පශ්චිම යාමයේදී පිරිණිවියේය. බුදුරද භික්‍ෂු සංඝයා සමග සැවත් නුවරින් නික්ම ක්‍රමයෙන් රජගහවට ගොස් වේළුවනයෙහි විසී. එකල මහමුගලන් තෙර ඉසිගිලි පර්‍වතය අසල කාළසිලා නම් තැන වසන්නේ කර්‍ම බලය නිසා සොරුන් විසින් පහරදෙන ලද්දේ සිහිය ලැබ බුදුරදුන් වැඳ ඉල්මස කළුවර පොහෝදා එහිදී අපවත් විය. ශ්‍රාවක යුගලය පැවිදි වී සතළිස් වසක් විසී යයි දතයුතු.

දෙඅගසව්වන් පිරිනිවන් පා වැඩිකලක් ගතවෙන්ට පෙර බුදුරද විශාල භික්‍ෂු පිරිසක් රජගහවෙන් නික්මී වේසාලියට පැමිණ මහාවනයේ කූටාගාර ශාලාවෙහි විසී. ඉක්බිති එතුමා වේසාලියෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පාවාල චෛත්‍යය තිබෙන තැනට දිවාවිහාරය සඳහා පැමිණ එහිදී ආයු සංස්කරණය අතහැරියේය. මෙසේ පිළිවෙළින් අන්තිම වස වැස උඳුවප් මස මානැකත ඇතිකල්හි “මෙයින් තුන්මසක් ඇවෑමෙන් බුදුරද පිරිනි වෙන්නේය”යි පාවාල චෛත්‍ය භූමියේදී සිහිනුවණින් යෙදී ආයුසංස්කාරය අත්හැරියේය. ඉන්පසු තුන්මසක් ඇවෑමෙන් වෙසක් පුණු පොහෝදා විසා නැකත පවත්නා කල්හි බුදුරද කුසිනාරා නුවර මල්ල රජුන්ගේ සල්වෙනෙහි පිරිනිවෙන ආසනයෙහි වැදහොත්තේ “මහරජ, අද සිංහබාහු රජුගේ පුත් විජය කුමරා සත්සියයක් මිනිසුන් සමග ලක්දිවට ගියේය. අනාගතයේදී ඒ ලක්දිව ද රැක්ක මැනවැ”යි සක්දෙව් රජුට කියා පඤ්චමහා අධිෂ්ඨානයක් ද කෙළේය. කවර පස්දෙනෙක්ද? (1.) ලක්දිව මහබෝ පිහිටුවීම සඳහා අශෝක මහරජ බෝධි ශාඛාව ගැනීමට යන්නේය. එකල මහාබෝධියේ දකුණු අත්ත තෙමේම සිඳී රන් කටාරමෙහි පිහිටාවායි අධිෂ්ඨාන කෙළේය. මේ එක් අධිෂ්ඨානයකි. (2.) ලක්දිව එය සිටුවන කල්හි ඒ බෝඅත්ත හිමවලා ගැබට පිවිස සිටීවායි අධිෂ්ඨාන කෙළේය. මෙය දෙවෙනි අධිෂ්ඨානයයි. (3.) සත්වෙනිදා හිම වලාගැබින් බැස රන්කටාරමේ පිහිටන බෝ ගසේ කොළවලින් හා ගෙඩිවලින් ෂඩ්වර්‍ණ රශ්මීහු නික්මෙත්වායි අධිෂ්ඨාන කෙළේය. මෙය තෙවෙනි අධිෂ්ඨානයයි. (4.) දකුණු අකුධාතුව ථූපාරාම චෛත්‍යයෙහි පිහිටන දවසේ යමක ප්‍රාතිහාර්‍ය්‍ය කෙරේවායි අධිෂ්ඨාන කෙළේය. මෙය සිවුවෙනි අධිෂ්ඨානයයි. මාගේ ද්‍රෝණයක් පමණ ධාතූහු මහාසෑයේ පිහිටවන දවසෙහි බුදුවෙස් ගෙන යමක ප්‍රාතිහාර්‍ය්‍ය කෙරෙත්වායි අධිෂ්ඨාන කෙළේය. මේ පස්වෙනි අධිෂ්ඨානයයි.

මෙසේ සන්තිකේ නිදානකථාවෙහි කෘත්‍යසාධකකාලය නිමියේයි.

නිදාන සයයි

  1. මෙය අපේ පොත්වල නැත. මේ පොතේ මුල් කොටසේ කී බොහෝ කරුණු ද අපේ පොත්වල නැත.

  2. මෙය කිරිපලු ගසක් යයි අපේ පොත්වල කියවේ.

  3. අපේ පොත්වල චාලිය හෝ ජාලිය යයි පෙනේ.