අවිදූරේ නිදාන කථාව

දැන් අවිදූරේ නිදාන කථාව පැමිණියේය.

සියලු පාරමිතාවන් පිරූ බැවින් බෝසත්තෙමේ තුසිත භවනෙහි අවුරුදු සත්පණස් කෝටියක් හා හැටලක්‍ෂයක් කල් විසීය. බෝසතුන් තුසිත භවනෙහි වසන කල්හිම (මෙහි) බුද්ධ කෝලාහලය හටගත්තේය. කෙසේදයත්? බුදුවරයෙකු ඉපදීමට අවුරුදු දහසක් කල් තිබියදී ලෝකපාලක දෙවිවරු “පින්වත්නි, මෙයින් අවුරුදු දහසක් අවෑමෙන් සර්‍වඥ බුදුවරයෙක් ලොව උපදින්නේය”යි ඝෝෂා කරමින් ඇවිදිති. දේවතාවන්ට වනාහි මරණය ලංවූ කල්හි මිනිසුන්ගේ දින ගණනින් සත් දිනක් කලින් පස් පෙරනිමිති පහළ වෙති, දිව්‍ය මල් පරවෙති, වස්ත්‍ර කිලිටි වෙති. කිසිලිවලින් ඩහදිය වැගිරේ, ශරීරය දුර්‍වණ වෙයි, තමාගේ දිව්‍යාසනයෙහි නොඇලෙයි. බෝසත්තෙමේ ඒ නිමිති දැක “මෙයින් අනතුරු අත්බැව්හි බුදුවන්නෙමි”යි දැන බිය නොවෙයි. ඉක්බිති ඒ පෙරනිමිති පහළ වූ බව දැනගත්, බුද්ධ කෝලාහල ශබ්දය ද ඇසූ දසදහස් සක්වළ දෙවියෝ එක්තැන්ව බෝසතුන් වෙත පැමිණ.

27. “මහාවීරයන් වහන්ස, මේ ඔබට (බුදුවීමට) කාලයයි. මවුකුසෙහි උපදිනු මැනවි. දෙවියන් සහිත ලෝකයා එතර කරවීම සඳහා නිවණ අවබෝධ කළ මැනවැ”යි ආරාධනා කළහ. දේවතාවන් විසින් මෙසේ ආරාධනා කරනු ලැබූ බෝසත්තෙමේ ඔවුන්ට ප්‍රතිඥා නොදීම කාල-ද්වීප-දේශ-කුල-මාතෘ-ආයුෂ පරිච්ඡෙද වශයෙන් පස්මහ බැලුම් බැලීය. එහි අවුරුදු ලක්‍ෂයෙන් යට අවුරුදු සියයෙන් උඩ බුදුවරුන්ගේ ආයුෂ කාලයයි. එබැවින් බෝසත්තෙමේ දැන් ඉපැදිය යුතු කාලය යයි කාලය දිටී. ඉක්බිති දඹදිව මධ්‍ය දේශය දැක එහි කපිලවස්තු නුවර මා විසින් ඉපදිය යුතුයයි නිශ්චයට පැමිණියේය. ඉක්බිති ලෝකසම්මත වූ ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බමුණු කුලයෙහි බුදුවරු උපති. දැන් ක්‍ෂත්‍රිය කුලය ලෝකසම්මතය, එහි උපදින්නෙමි; ශුද්ධෝදන නම් රජ පියා වන්නේ යයි කුලය බැලුවේය. බුද්ධමාතාව නම් ලොල් වූ මත්පැනෙහි ගිජු වූ ස්ත්‍රියක් නොවේ; කල්ප ලක්‍ෂයක් පිරූ පෙරුම් පුරා උපන්දා පටන් නොකඩ වූ පන්සිල් ඇති තැනැත්තියක් වෙයි. මේ මහාමායා දේවිය එබඳුය. මෝතොමෝ මට මව් වන්නීය. ඈගේ ආයුෂය කොපමණද? දසමසක් හා සත් දිනකැයි ද දිටී. මෙසේ මේ පස්මහ බැලුම් බලා “පින්වත්නි, මෙය මට බුදුවීමට සුදුසු කාලය වේ” යයි දෙවියන්ට ප්‍රතිඥා දී “තෙපි යව්” යයි දේවතාවන් පිටත්කොට තුසිත දෙවියන් විසින් පිරිවරන ලදුව එහි හැසිරෙමින් ච්‍යුතව ඇසළ පුණු පොහෝදා උතුරුසළ නැකතින්, සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත - අසංසකාරික - මහාවිපාක සිතින්, මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගති.

28. තුසිත දෙව්ලොවින් ච්‍යුතව යම්කලක මවුකුසෙහි පිළිසිඳ ගත්තේද එකල දසසහශ්‍රී ලෝකධාතුව කම්පා විය.

එකල මහමායා දේවී තොමෝ ඒ මාසයේ පුර නවවක්දා සිට නැකැත් කෙළියෙහි යෙදී සත්වෙනිදා අටසිල් සමාදන්ව රාජකීය කාමරයට පිවිස තමාගේ සයනයෙහි හෙවැ නින්දට බසින්නී මේ සීනය දිටී: එක් සුදු ඇතෙක් රන් පර්‍වතයකින් බැස ඇය පැදකුණු කොට දකුණු පැත්ත පළාගෙන කුස තුළට පිවිසියාක් මෙන් දිටී. පිබිදුණු ඈ ඒ සිහිනය රජුට දැන්වීය. රජතෙම සූසැටක් බමුණන් ගෙන්වා කුමක් සිදුවන්නේදැයි විචාළේය. බමුණෝ මෙසේ කීහ: “මහරජ, නොසිතුව මැනවි; දේවියට දරු ගැබක් පිහිටියේය. ඒ පිරිමියෙකි. ස්ත්‍රියක් නොවේ. ඉදින් ඒ පුද්ගලයා ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේය; ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් ලෝකයෙහි විවෘතඡ්දන ඇති (-කෙලෙස් වැසීම් දුරුකළ) බුදුවරයෙක් වන්නේය”යි.

ඒ දේවිය මිනිස් ලොව නවවක්දා පටන් නැකැත් කෙළි අනුභව කළ කාලය තුසිත භවනෙහි විසූ බෝසතුන්ට පස් පෙර නිමිති පහළ වූ කාලයමය. බෝසත් මව වනාහි ප්‍රථම වයසේදී සම්පත් අනුභව කොට වස්තු විශද බැවින් (-ගැබ් පිහිටන අවකාශය වැඩුණු බැවින්) මැදුම් වියේ තෙවෙනි කොටසේදී බෝසතුන් දසමසක් කුසින් දරා වෙසක් පුණු පොහෝදා විසා නැකතින් කුමරු බිහිකළාය. ඔහු උපන් කෙණෙහි දෙතිස් පෙරනිමිති පහළ වූහ. (29) සියලු අර්‍ථයන් සිද්ධ කරන, ශාන්තිය හා යහපත සිදුකරන එකුමරු උපන් කල්හි දසදහසක් චක්‍රවාටයෝ කම්පා වූහ, විශේෂයෙන් කම්පා වූහ.

බෝසතාණන් සමග රාහුල මාතාවය, ආනන්‍ද ස්ථවිරතුමාය, ඡන්න ඇමතියාය. කන්ථක අශ්වයාය, නිධිකුම්භීහුය, මහාබෝධිය යන මේ සත්දෙන ද උපන්හ. බෝසතුන් ඉපද සත්දිනක් ගතවූ පසු අන්‍ය සත්ත්‍වයන්ට අසාධාරණ බැවින් මහාමායා තොමෝ වෙසක්මස අවපක්‍ෂයේ සත්වෙනිදා කලුරියකොට තුසිත භවනයෙහි උපණි. ඉක්බිති වප්මඟුල්දා බෝසත්තෙමේ ආශ්වාස ප්‍රශ්වාසයන් පරිග්‍රහණය කොට (-මෙනෙහි කොට) ප්‍රථම ධ්‍යානය ඉපදවිය. පස්වෙනිදා නම් තබන්නෝ සියලු ලෝකාර්‍ථ සිද්ධිය කරන බැවින් එතුමාට සිද්ධාර්‍ත්‍ථ යයි නම් කළහ. ඉක්බිති බෝසත්තෙමේ ක්‍රමයෙන් සොළොස් හැවිරිදි විය. ශාක්‍යයෝ තමන්ගේ දූවරුන් සරසා සතළිස් දහසක් නාට්‍යාංගනාවන් පාදපරිචාරිකා බවට යැවූහ. ඈලා අතුරෙන් රාහුල කුමරුගේ මව වූ භද්දකච්චානා තොමෝ අගමෙහෙසි විය. බෝසත්තෙමේ ඒ ස්ත්‍රීන් විසින් සේවය කරනු ලබන්නේ ඍතු තුනට යෝග්‍ය වූ චන්‍ද-කෝකනුද-කොඤ්ච[1] නම් ඇති ප්‍රාසාද තුනෙහි සම්පත් අනුභව කරයි.

හෙතෙම අටවිසි වයස් කල්හි ඇසළ පොහෝදා උතුම් රථයක නැග උයනට අභිමුඛව යන්නේ ජරාවෙන් දිරාගිය මිනිසකු දැක, එයින් සිවුමසක් ඇවෑමෙන් ඉල් පසළොස්වක්දා රෝගී මිනිසකු දැක, එයින් සිවුමසක් ඇවෑමෙන් මැදින් මස පුණු පොහෝදා මළ මිනිසෙකු දැක හැරී ගියේය. ඉක්බිති විසිනව හැවිරිදි කල්හි ඇසළ පුණු පොහෝදා එසේ යන්නේ පැවිදි වෙසින් යුත් මිනිසකු දැක පැවිදි වීමෙහි රුචි උපදවා උයනට ගියේය. එදවස්හිම රාහුල කුමරා උපන්නේය. උයනෙහි දවල් කාලය තුළ ක්‍රීඩාකොට රාජකීය පොකුණෙහි නා ඉරු අස්තගත වූ කල්හි මඟුල් ගල් තලාවෙහි හිඳ තම ශරීරය සරසවා රථයට නැංගේය. එකෙණෙහි රාහුල කුමරු උපන් පුවත අසා “රාහු ගැනීමක් විය බන්‍ධනයක් ඇති වීය”යි කියා ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව නුවරට ඇතුල් වුණි. ප්‍රාසාදයට නැගී උතුම් සයනෙහි හෙවැ කෙලෙසුන්හි නොඇලුණු සිත් ඇති බැවින් නෘත්‍ය ගීතාදීයෙහි රුචි නැත්තේ මොහොතකින් නින්දට බැස්සේය. මධ්‍යම රාත්‍රියේදී පිබිද මැදපු සක් ගෙඩියක් මෙන් සුදු වූ කන්‍ථක අශ්ව රාජයා පිට නැගී ඡන්නයාට අසුගේ වාලධිය ගන්ට සලස්වා මහාභිනිෂ්ක්‍රමණය සඳහා මහදොරටුව සමීපයට පැමිණියේය. එකල මාරතෙම බෝසතුන් අමතා;

30. “මහාවීරයන් වහන්ස, නික්ම නොගිය මැනව; මෙයින් සත්වෙනිදා ඔබට දිව්‍යමය චක්‍ර රත්නය ඒකාන්තයෙන් පහළ වන්නේය”යි කීය. එවිට බෝසත්තෙමේ (31.) මාරය, මට සක්රුවන පහළ වෙන බව දනිමි; මම රාජ්‍යය ගැන බලාපොරොත්තු නැත්තෙමි. තෝ මෙහි නොසිට යව; (32.) මම වනාහි දශසහශ්‍රී ලෝකධාතුව ශබ්ද කරවා ලෝකයෙහි සමාන නායකයෙකු නැති බුදුරජෙක් වන්නෙමි”යි කීය. හෙතෙම එහිම අන්තර්ධාන විය.

එක් රාත්‍රියකින්ම රාජ්‍ය තුනක් ඉක්මවා තිස් යොදුනක් ගොස් අනෝමා ගංතෙරට පැමිණුනි. එහිදී පැවිදි වූ බෝසත්තෙමේ ඒ පෙදෙසෙහි වූ අනුපිය නම් අඹ වෙනෙහි පැවිදි සුවයෙන් සත්දිනක් ගතකොට එක්දිනකදී තිස්යොදුනක් මග ගෙවා ගොස් අසංගගංගා නම් ගඟෙන් එතෙරව ඇසළ අව අටවක්දා රජගහ නුවරට පිවිස පිඬු පිණිස හැසිර ඇතුල් වූ දොරටුවෙන්ම නුවරින් නික්ම පාණ්ඩව පර්‍වතය සෙවනේ හිඳගෙන වැළඳීය. එහිදී බිම්බිසාර රජු පවා දුන් සියලු සම්පත් ප්‍රතික්‍ෂෙප කොට ඔහුගේ රටට ඒමට ප්‍රතිඥා දී ආළාරකාලාමයන්ද උද්‍රකරාම පුත්‍රයන්ද කරා එළඹ සමාපත්ති උපදවා “මෙය නිවන් ලැබීමට මග නොවේය”යි සිතා උරුවේලාවට ගොස් එහි වසමින් සයහවුරුද්දක් කිරීමට අපහසු වූ මහාප්‍රදාන වීර්‍යය කෙළේය.

ඉක්බිති බෝසත්තෙමේ තිස්පස්වෙනි අවුරුද්දේ තුදුස්වක් දිනයේදී පස්මහ සිහිනයන් දැක වෙසක් පසළොස්වක්දා සුජාතාව දුන් මිහිරි කිරිබත වලඳා රන්තලිය ගෙන නේරඤ්ජරාවේ උඩිකුරුව යන සේ දමා නිදාහුන් කාළතා රජු පුබුදුවා නේරඤ්ජරා ඉවුරෙහි වූ සල්වෙනෙහි දවල් කාලය ගතකොට සවස් කාලයෙහි දෙවියන් විසින් සැරසූ මගින් බෝගස දෙසට ගියේය. එහි යන්නේ සොත්‍ථිය නමැති තණ ගෙනයන්නා දුන් තණමිටිය අතුරා ඇසටු ගස තුන්වරක් පැදකුණු කොට පෙරදිගට මූණලා හුන්නේය. ඉක්බිති බෝසත් හිරු නොබැසී කල්හිම සේනා සහිත මාරයා පරදවා ප්‍රථම යාමයේදී පූර්‍වෙනිවාසය සිහිකොට මධ්‍යම යාමයේදී දිවැස ශුද්ධකොට පශ්චිම යාමයේදී ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි නුවණ බස්වා ආණාපාණ - චතුර්‍ථධ්‍යානය උපදවා එයම පාදකකොට (=අත්තිවාරම කොට) විදසුන් වඩා මාර්‍ග පිළිවෙළින් ගොස් සිවුවෙනි මගින් සියලු කෙලෙසුන් නසා අරුණ නැගෙන විට සියලු බුදුගුණ යුත් සර්‍වඥතා ඥානය ලැබී.

අවිදූරෙ නිදානයෙහි බුද්ධත්‍වයට පැමිණීම නිමි.

  1. රම්ම-සුරම්ම-සුභ යයි අපේ පොත්වල පෙනේ.